Untitled-1

Untitled-1

ජනපතිගේ, අගමැතිගේ, අගවිනිසුරුගේ, නීතිපතිගේ, පොලිසියේ හා නීතියේ රෙදි ගලවන මහේස්ත‍්‍රාත්


jana

කේ ඩබ්ලිව් ජනරංජන

අලි හොරකමට මහේස්ත‍්‍රාත් අත්අඩංගුවට.’ මේ පසුගිය මැයි 15වැනිදා රාවයේ ප‍්‍රධාන පුවතයි. මෙවැනි ප‍්‍රවෘත්ති මීට පෙරද රාවයේ වරින්වර පළවී තිබේ. එහෙත් මේ මහේස්ත‍්‍රාත්වරයා තවමත් කොළඹ නඩු අසයි. මේ ප‍්‍රවෘත්ති රාවයේ වරින්වර පළවන්නේ ඔහු අත්අඩංගුවට ගැනීම හෙට අහවල් වේලාවට සිදුවෙනවායැ’යි කියන තරමට විශ්වාසවන්ත ආරංචි මාර්ග රාවයට තිබෙන නිසාය. එහෙත් පුදුමය නම් ඒ තරම් විශ්වාසවන්ත ආරංචි මාර්ග වුණත් බොරු කරමින් අලි හොරකමකට සැකකාර තිළිණ ගමගේ තවමත් විනිසුරු අසුනට ගොඩවී අනුන්ගේ නඩු අසමින් සිටීමය.

මැයි 12 වැනිදා උදේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සීඅයිඩියට) නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලියුමක් යවන ලදි. නීතිපති වෙනුවෙන් එහි අත්සන් කොට තිබුණේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා හා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස්ය. ඒ ලිපියේ අවසන් ෙඡ්දය මෙසේය. ‘..එම නිසා ඉහත නම් සඳහන් සැකකරුවන් මෙකී නඩුවට අදාළව සැකකරුවන් වශයෙන් නම්කර, ප‍්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව අදාළ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසුව නොපමාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් ඔබට මෙයින් තවදුරටත් උපදෙස් දෙමි.’ ලිපියේ සඳහන් සැකකරුවෝ හතර දෙනෙකි. චන්ද්‍රරත්න බණ්ඩාර යටවර, ප‍්‍රියංකා සංජීවනී, උපාලි පද්මසිරි හා මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේය.

නීත්‍යනුකූල බලයක් හෝ අනුමැතියක් නැතිව අල්ලාගනු ලැබූ හෝ රැුගෙන යනු ලැබූ පොදු දේපළක් වන, රුපියල් ලක්‍ෂ හැට නවයක් වටිනා අලියකු වංචනිකව ලියාපදිංචි කිරීමට හා බලපත‍්‍රයක් ලබාගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අලියා භාරයේ තබාගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, ඊට ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් මේ හතර දෙනාට විරුද්ධව ප‍්‍රමාණවත් සාක්‍ෂි තිබෙන බව එම ලිපිය කියයි. වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක පනත, දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ ඔවුන් හතර දෙනාට අපරාධ චෝදනා ගොනුකිරීමට හැකි බවද ලිපියේ සඳහන්වෙයි. ඊට අමතරව, පොදු දේපළක් වන අලියකු වංක ලෙස භාරයේ තබාගැනීම, අලියා සොරකම් කළ දේපළක් බව දැනුවත්ව වංචනිකව ලබාගැනීම හෝ තබාගැනීම සම්බන්ධයෙන්ද තිළිණ ගමගේට එරෙහිව අපරාධ චෝදනා ගොනුකළ හැකි බව ඉහත රජයේ නීතිඥවරු කියති.

12 වැනිදා මේ ලිපිය තමන්ට ලැබුණු පසුව සීඅයිඩිය කළේ පසුවදා එනම් 13 වැනි සිකුරාදා උදේ 9.30ට සීඅයිඩියට පැමිණ කටඋත්තරයක් ලබාදෙන ලෙස මේ සිවුදෙනාට දන්වා යැවීමයි. ඒ අනුව නීතියේ පාලනය පවතින රටක නම්, සාධාරණ ලෙස විශ්වාස කළ හැක්කේ කුමක්ද? සීඅයිඩිය මේ බරපතළ අපරාධ චෝදනා යටතේ ඔවුන්ගෙන් කටඋත්තර සටහන් කොටගෙන නොපමාව අදාළ මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ඇති බවයි. එහෙත් චා්දනාව පොදු දේපළ පනත යටතේ එන එකක් නිසා සුවිශේෂ හේතු දක්වන්නේ නැතිව ඇප ලබාගැනීම සැකකරුවන්ට දුෂ්කර වෙයි. ඒ නිසා සාමාන්‍ය පරිදි නීතියේ කි‍්‍රයාපටිපාටිය සිදුවෙනවාය කියා හිතුවොත් 13 වැනිදා තිළිණ ගමගේ රිමාන්ඞ් භාරයට පත්විය යුතුය. සුවිශේෂ හේතු ඔහුට තිබේ නම් ඇප ලැබිය යුතුය. එහෙත් එදින ඒ කිසිවක් සිදු නොවීය. සිදුවූ එකම දෙය, තිළිණ ගමගේ සීඅයිඩියට ලියුමක් එවා තමාට අසනීප බව කියා, මැයි 18 වැනිදා වන තුරු ප‍්‍රකාශයක් දීමට කල් ගැනීමය. රටේ පවතින්නේ සාමාන්‍ය නීතිය නම්, එය හැමෝටම එක සමාන නම්, සීඅයිඩියට එන්නට කිවූ විට ලිපියක් ලියා කල් ඉල්ලා ගන්නට සාමාන්‍ය මිනිසකුට නොහැකි බව රටේ හැමෝම දනිති. එහෙත් මේ සැකකාර මහේස්ත‍්‍රාත්වරයාගෙන් මේ ලියන 18 වැනිදා වන විටත් ප‍්‍රකාශයක් සටහන් කරගෙන හෝ වෙනත් පියවරක් ගෙන හෝ නැත. ඔහු දෙවරක්ම සීඅයිඩිය මඟහැර තිබේ. සාමාන්‍ය පුද්ගලයකු මෙවැන්නක් කළා නම් සීඅයිඩිය වහා ඉන්නා තැනකට කඩා පැන ඔහු කුදලාගෙන එනු ඇත. එහෙත් තිළිණ ගමගේට සීඅයිඩිය පැත්තේ එන ලෙස ‘ආරාධනා පත‍්‍ර’ නිකුත් කරමින් සීඅයිඩිය බලා සිටියි.

මේ කුමන විහිළුවක්ද? එසේ මෙසේ විහිළුවක් නොවේ. ජනවාරි 8න් පසු නීතියේ පාලනය පිහිටුවූවායැ’යි කියන රටේ ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් නීතිපතිවරයාගේත් පොලිස්පතිවරයාගේත් රෙදි සහ කෝට් ගැලවෙන විහිළුවකි. ජනවාරි 8 වැනිදා ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශයක් කරා රට වෙනස් කිරීමට උර දුන් සාමාන්‍ය මිනිසුන්ගේ ලේ රත්කරන භයංකර විහිළුවකි. අලි හොරකමක සැකකාරයෙක් ඉහත කී සියල්ලන්ගේම රෙදි උස්සා ඔවුන්ගේ නිරුවත රටටම පන්වමින් නීතියෙන් කට්ටි පනිමින් සිටියි. සිටිනවා පමණක් නොවේ. ඒ අතර කොළඹ මහේස්ත‍්‍රාත් උසාවියේ විනිසුරු අසුනට ගොඩවී අනුන්ගේ නඩු අසා තීරණ ද දෙයි. රටක අධිකරණයකට මේ වැනි ලජ්ජාවක් සාමාන්‍ය දෙයක් ලෙස සැලකිය හැකිද?

අධිකරණ සේවා කොමිසම මහේස්ත‍්‍රාත්වරුන්ගේ පත්කිරීම්, ඉවත්කිරීම් මෙන්ම විනය පාලනය සම්බන්ධයෙන්ද කටයුතු කරන ආයතනයයි. එහි සභාපතිවරයා අගවිනිසුරු කේ ශී‍්‍රපවන්ය. තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් එහි සෙසු සාමාජිකයෝ වෙති. ඒ දෙදෙනා නම්, පියසාත් ඩෙප් හා සිසිර ද ආබෲ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුය. තම කොමිසම යටතේ සිටින මහේස්ත‍්‍රාත්වරයකුට අලි හොරකමක් ගැන දණ්ඩ නීති සංග‍්‍රහය, වන ජීවි හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනත, පොදු දේපළ පනත යටතේ අපරාධ චෝදනා එල්ලවී තිබියදී, ඒ චෝදනාවලින් පිරිසිදුවී එන තෙක් වත් ඔහු විනිසුරු අසුනෙන් බස්සවන්නට තරම් හයිය කශේරුවක් මේ විශිෂ්ට මහත්වරුන්ගෙන් සැදුණු අධිකරණ සේවා කොමිසමට ඇති බවක් නොපෙනෙයි. ඒ කශේරුව නොමැතිකම නිසා ලජ්ජාවට අවමානයට පත්ව සිටින්නේ ඔවුන් මුලසුන් දරන අධිකරණ පද්ධතිය පමණක් නොවේ. මේ රටේ නීතිගරුක සාමාන්‍ය පුරවැසියෝ සියල්ලෝම ය. මේ තත්ත්වය නිසා කිසියම් අවස්ථාවක ඇත්තටම සීඅයිඩිය විසින් තිළිණ ගමගේ අත්අඩංගුවට ගැනුණොත්, එය ලංකාවේ අධිකරණ ඉතිහාසයේ සටහන් වනු ඇත්තේ විනිසුරු අසුනේ නඩු අසමින් සිටියදී අපරාධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහේස්ත‍්‍රාත්වරයකු වශයෙනි. ඔහු අත්අඩංගුවට පත්වන තුරුම විනිසුරු අසුනේ තබාගැනීම නිසා ඒ අවමානයට අදාළ පව් කරගැසිය යුත්තේ අධිකරණ සේවා කොමිසමේ මේ සාමාජිකයෝ තිදෙනා නොවෙත්ද?

අධිකරණ සේවා කොමිසමේ මහත්වරුන්ට වඩා කොන්දක් අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමයට තිබෙන්නේය. අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමය යනු මහේස්ත‍්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන් හා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සාමාජිකත්වයෙන් සැදි ප‍්‍රධාන වෘත්තික සංගමයයි. පසුගිය දිනෙක සැකකාර මහේස්ත‍්‍රාත්වරයා මේ සංගමයට ලියුමක් යවා ඉල්ලා තිබුණේ, අලි හොරකම පිළිබඳ චෝදනාවලට එරෙහිව තමා වෙනුවෙන් මැදිහත්වී පෙනී සිටින ලෙසය. සංගමය ඔහුට පිළිතුරු දෙමින් කීවේ, ඔහු වෙනුවෙන් මැදිහත්වීමට කිසිම අදහසක් සංගමයට නැති බවයි. තමාට විරුද්ධව චෝදනා නැගුණු විට විනිසුරු අසුනෙන් ඉවත්වී එම චෝදනා සම්බන්ධයෙන් බාධාවකින් තොරව කටයුතු කිරීමට අදාළ විමර්ශන අංශවලට ඉඩහැරිය යුතුව තිබුණු බව සංගමය තිළිණ ගමගේට පෙන්වා දුන්නේය. ‘ඔබ එය කළේ නැත. අප තවමත් සිතන විදියට ඔබ නඩු ඇසීමෙන් ඉවත්වී චෝදනා විමර්ශනයට ඉඩ දිය යුතුය. එහිදී ඔබ නිර්දෝෂී වේ නම් නැවතත් විනිසුරු අසුනට පැමිණිය හැකිය. මේ තත්ත්වය මත අධිකරණ පද්ධතියට සිදුවන අවමානය වලක්වාගැනීම සඳහා ඔබ විනිසුරු අසුනෙන් ඉවත්කරන ලෙස අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලා සිටීමට අපි තීරණය කර ඇත්තෙමු’යි සංගමය තිළිණ ගමගේට කීවේය.

එපමණකින් නොනැවතුණු අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමය, අධිකරණ සේවා කොමිසමටද ලියුමක් යවමින් පෙන්වා දුන්නේ, තමා අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝග කරන්නැ’යි ඉල්ලමින් සැකකාර මහේස්ත‍්‍රාත්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ප‍්‍රතික්‍ෂෙප කැරුණු බවය. මේ නිසා තිළිණ ගමගේ අත්අඩංගුවට ගැනීමට ඉඩක් ඇති බවත්, එදිනෙදා විනිසුරු අසුනට ගොඩවෙන විනිසුරුවරයකු පොලිස් අත්අඩංගුවට පත්වුණහොත් එහි අවමානය සමස්ත අධිකරණ පද්ධතියටම බවත් පැහැදිලි කරමින් එවැනි අවලස්සන තත්ත්වයක් ඇතිවීමට පෙර මේ සැකකාර මහේස්ත‍්‍රාත්වරයා විනිසුරු අසුනට ගොඩවීම අත්හිටුවන ලෙස සංගමය අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලා සිටියේය. එහෙත්, අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමය තරම් කොන්දක් නැති අධිකරණ සේවා කොමිසම මේ තාක්ම ඉන්නේ ඇස් අන්ධව කන් බිහිරිව හා ගොලූව ය.

මේ හා සමාන චෝදනාවකට චූදිතයකු වූ උඩුවේ ධම්මාලෝක හිමියන්ද අත්අඩංගුවට ගෙන රිමාන්ඞ්භාරයට පත්කරන ලද්දේ මාසයකට පෙරය. එහිමියන් එක් දිනක් රිමාන්ඞ් බන්ධනාගාරයේ ගතකරද්දී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කරන ලද මෙහෙයුමක් අනුව, ජනාධිපතිවරයා විසින් යවන ලද නීතිඥ කණ්ඩායමක් හරහා නැවත වරක් කොළඹ මහේස්ත‍්‍රාත් උසාවියේ නඩුව කැඳවා, ඇප ලබා දෙන ලදි. පොදු දේපළ පනත යටතේ ඇප ලබාගැනීමට සුවිශේෂ හේතු දැක්විය යුතු අතර, උඩුවේ හිමියන් වෙනුවෙන් ඒ අවස්ථාවේදී දක්වා තිබුණු සුවිශේෂ හේතු, සුවිශේෂ හේතු නොවන දේවල්වලට දැක්විය හැකි හොඳම උදාහරණ වෙයි. කෙසේ වෙතත් උඩුවේ හිමියන්ට තකහනියේ ඇප දෙන ලදි. දැන් එහිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය ඉදිරියේ නඩු පවරා තිබේ.

බලවත් සම්බන්ධතා තිබෙන උඩුවේ හිමියන්ට වුණත් ඇප ගන්නට පෙර දිනයක් වත් රිමාන්ඞ් වී සිටින්නට සිදුවිය. එහෙත් තිළිණ ගමගේ මේ වනවිටත් සීඅයිඩියට කටඋත්තරයක් දෙන්නේවත් නැතිව කට්ටි පනිමින් සිටියි. ‘හෙට උදේ අත්අඩංගුවට ගැනෙනවා’ කිව්වත් ඒ වෙලාවට එය සිදුකෙරෙන්නේ නැත. එහි තේරුම කාටවත් නොපෙනෙන නූල් සූත්තරයක් තිළිණ ගමගේ වෙනුවෙන් ඇදෙමින් පැවතෙන බවය.

ඔහු කළායැයි කියන අලි හොරකම ගැන පළමු වාර්තාව නිකුත් කෙරෙන්නේ 2014 ජූලි මස 22වන දිනය. ඒ ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් විමර්ශනයක් පවත්වා සාක්‍ෂි කරුණු සහිතව වාර්තාව ඉදිරිපත් කරන්නේ විශිෂ්ට විගණකයකු වන නියෝජ්‍ය විගණකාධිපති ඒ එම් එච් එල් අඹන්වල විසිනි. එදා සිට අද දක්වා ගෙවී ඇති කාලය අවුරුදු දෙකකට ආසන්නය. එහෙත්. තීරණාත්මක කිසිවක් සිදුවී නැත.

මේ නූල් සූත්තර අදින අත් කාගේද? ආණ්ඩුවේ ඉහළම තැනකගේද? අධිකරණයට සම්බන්ධ ඇමතිවරයකුගේද? පොලිසියට සම්බන්ධ අලූත් ලොක්කකුගේද? කොළඹ උසාවියේම සහෝදර නඩු අසන්නකුගේද? නැතිනම් නීතිපතිවරයාගේද?

අලූත් නීතිපතිවරයකු පත්වී දැන් සැලකිය යුතු කාලයකි. ඒ කාලය තුළ ඔහු උපයාගෙන ඇත්තේ මල්වලට වඩා ගල්ය. ඒ සුවිශේෂ වංචා දූෂණ පැමිණිලි සම්බන්ධයෙන් ඔහුත් ඔහුගේ දෙපාර්තමේන්තුවත් කටයුතු කරන අතිශය මන්දගාමී හා අකාර්යක්‍ෂම ආකාරය නිසාය. බරපතළ අපරාධ සැකකරුවන් හතර දෙනකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් තමන් විසින් දුන් උපදෙසක් සතියකට වැඩි කාලයකුත් ක‍්‍රියාත්මක නොවී තිබියදීත් ඒ ගැන කිසිම පසු විපරමක් නීතිපතිවරයා කළ බවක් මේ වන තෙක් දැනගන්නට නැත.

යම් හෙයකින් තිළිණ ගමගේ හා ඉතිරි තිදෙනා අත්අඩංගුවට ගැනුණොත් ඔවුන් මහේස්ත‍්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ යුතුය. ඒ අවස්ථාවේදී ඇප ලබාගැනීම සඳහා ඉල්ලීමක් සැකකරුවන්ට කළ හැකිය. මේ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීමට භාරදෙන්නේ සීඅයිඩියේ පොලිස් නිලධාරීන්ට නම්, සැකකරුවන්ගේ නීතිඥයන් සමඟ බලවත් තර්කවල පැටලීමේ සටනේදී ඔවුන් පරාජය වනු ඇත. ඒ අවස්ථාවේදී පැමිණිල්ල නියෝජනය කළ යුතු වන්නෝ රජයේ පළපුරුදු නීතිඥවරුන් මිස සීඅයිඩියේ නිලධාරීහු පමණක් නොවෙති. ඒ නිසා වැඬේ සීඅයිඩියට පමණක් භාර දී පැමිණිල්ල වුවමනාවෙන්ම දුර්වල කිරීමට නීතිපතිවරයා පියවර නොගනු ඇතැ’යි අපි යුක්තියේ නාමයෙන් බලාපොරොත්තු වෙමු.

සාක්කිරුවන්ට ඇප නොදී හිරේ තබාගැනීමට පෙළඹවීමක් මෙහිදී කැරෙන්නේ නැත. තිළිණ ගමගේ රිමාන්ඞ් බන්ධනාගාර විය යුතුයැයි කිසිවෙක් ප‍්‍රාර්ථනා නොකරති. එහෙත්, ඔහු කළ වරදක් තිබේ නම් ඊට නිසි නඩු විභාගයකින් පසු නියමිත දඬුවම ලැබිය යුතුය. ජනවාරි 8 වැනිදා ලක්‍ෂ 62ක ජනතාවක් බරපතළ විදියට කිව්වේ හොරුන්ට කිසිම හේතුවක් නිසා වෙනස් විදියට සලකන්නේ නැතිව, සමහරුන්ට විශේෂ වරප‍්‍රසාද දෙන්නේ නැතිව සුදුසු අධිකරණය ඉදිරියට ගෙනැවිත් සාධාරණව නඩු අසා දඬුවම් දෙන ලෙසය.
ඒ වගකීම උපරිමව ඉටුකිරීම ඊට සම්බන්ධ සෑම කෙනකුගේම වැඩකි.