රාවය

අපට එකතු වෙලා ලෝකයේ ශ්‍රේෂ්ඨම ජාතියක් වෙන්න පුළුවන් | සී.වී. විග්නේශ්වරන් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය

අපට එකතු වෙලා ලෝකයේ ශ්‍රේෂ්ඨම ජාතියක් වෙන්න පුළුවන් | සී.වී. විග්නේශ්වරන් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය

තරිඳු උඩුවරගෙදර

නව ව්‍යවස්ථාවක් ගැන සංවාදය මතුවෙද්දී උතුරු පළාත ෆෙඩරල් ක‍්‍රමයක් අවශ්‍ය බවට යෝජනාවක් සම්මත කරගත්තා. ඒ යෝජනා සම්මතයේ සැබෑ අරමුණ මොකක්ද?

ලංකාවේ තියෙන ජනවාර්ගික ප‍්‍රශ්නයට එකම විසඳුම විදියට අපි දකින්නේ ෆෙඩරල් ක‍්‍රමයක් ඇති කිරීම. මේ යෝජනාව ප‍්‍රශ්නයක් විදියට දකින්නේ දකුණේ සිංහල ජනතාව. දකුණේ මිනිස්සුන්ට ෆෙඩරල් ක‍්‍රමය කියන්නේ සර්පයෙකුගේ ඇෙඟ් භූමිතෙල් ගෑවුණා වගේ දෙයක් වෙලා. දකුණේ අය හිතන්නේ ෆෙඩරල් ක‍්‍රමයෙන් රට බෙදනවා කියලා. ඒත් මේක රට බෙදන ක‍්‍රමයක් නෙවෙයි, රට එකතු කරන ක‍්‍රමයක්. සිංහල සහෝදරවරුන්ට කියලා දෙන්න ඕනෑ දේශපාලනඥයෝ අවුරුදු හතළිහක් පනහක් බොරු ප‍්‍රචාර පැතිරූ නිසා තමයි මේ ප‍්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ කියලා. කැනඩාවේ ක්විබෙක් කියන්නේ ප‍්‍රංශ කතාකරන මිනිස්සු ඉන්න පළාතක්. එයාලාගෙන් ඇහුවා, ඔයාලා වෙන්වෙලා යන්න කැමතිද කියලා. ඒත් එයාලා කැනඩාව ඇතුළේ ඉන්න කැමති වුණා. ස්කොට්ලන්තයෙන් එංගලන්තය ඇහුවා, වෙන්වෙලා යන්න කැමතිද කියලා. එහෙත් ඒ ජනතාවත් බි‍්‍රතාන්‍යය විදියට ජීවත් වෙන්න කැමති වුණා. ඉන්දියාවේ ප‍්‍රාන්තවල භාෂා ගොඩක් තියෙනවා. තෙලෙංගානාවල තෙළිඟු, තමිල්නාඩුවේ තමිල් වාගේ. අපි කියන්නේ උතුරු නැගෙනහිර පළාත්වල මිනිස්සු අවුරුදු දෙදාස් ගාණක් තිස්සේ එකම සංස්කෘතියක් හා භාෂාවක් එක්ක ඉන්නවා. ඒ අයට ආවේණික භාෂාවක් තියෙනවා. ඒ අයට ඒවා පවත්වාගෙන යන්න ඉඩදෙන්න. හැබැයි එකතුවෙලා රටක් විදියට ජීවත්වෙන්න ඕනෑ. මම උතුරේදී කියනවා එයාලාට සිංහල භාෂාවයි ඉංග‍්‍රීසි භාෂාවයි ඉගෙනගන්න කියලා. ඒ වගේම දකුණේදීත් ඉංග‍්‍රීසි හා දෙමළ භාෂාවන් ඉගෙනගන්න ඕනෑ. එහෙම අවබෝධයක් ඇතුළේ අනෙකාව පිළිගනිමින් වැඩකළොත් මේ රට බෙදන්න වුවමනාවක් නැතිවෙයි. සිංහල මිනිස්සුන්ට ලොකු සැකයක් තියෙනවා දෙමළ මිනිස්සු වෙන්වෙලා රට බෙදාගෙන යයි කියලා. එහෙම නෙවෙයි, අපට මෙච්චර දවස් කළ දේවල් නිසා තමයි මෙහෙම අදහසක් දෙමළ මිනිස්සුන්ට ආවේ. ඇයි හමුදාව තියාගෙන ඉන්නේ. අපට තර්ජනය කරන්නයි හමුදාව තියාගෙන ඉන්නේ. දෙමළ ජනතාව බලය යොදා පාලනය කරන්නයි හමුදාව තියාගෙන ඉන්නේ.

අවුරුදු හැත්තෑවක් තිස්සේ ෆෙඩරල් ක‍්‍රමය ගැන සාකච්ඡා කරනවා. යුද්ධය ඉවර කරලාත් අවුරුදු හතක්. මේ වෙලාවේ බලතල බෙදීමක් නොකළොත් ඉන්පස්සේ මොන වාගේ තත්වයක් ඇතිවෙයිද?

අවුරුදු හතක් ගිහිල්ලාත් තාම 150,000ක් හමුදාව උතුරේ තියාගෙන ඉන්නවා. අපට කිසිදෙයක් කරන්න ඉඩදෙන්නේ නැහැ. ඔහොම වුණොත් අවුරුදු සීයක් යනකන් සැකයෙන් ඉන්න වෙන්නේ. අපට තියෙන්නේත් ඔබට තියෙන ප‍්‍රශ්නයම තමයි. මේ තමයි බලය බෙදන්න තියෙන වෙලාව. මේ වෙලාවේ නොකළොත් ආපහු අවස්ථාවක් එන්නේ නැහැ. මේ ආණ්ඩුවට ජිනීවාවල තත්ත්වය හා ජාත්‍යන්තර බලපෑම නිසා බලතල බෙදීමේ අවශ්‍යතාවත් තියෙනවා. ණය ලබාගැනීමේ අවශ්‍යතාවත් ඒකට බලපානවා. අපි වැඩි මොනාවත් ඉල්ලන්නේ නැහැ. ලෝකයේ අනෙක් රටවල්වල තියෙන ෆෙඩරල් ක‍්‍රමය දිහා බලලා ඒකෙන් උදාහරණ ගන්න කියලා අපි ඉල්ලන්නේ. ලංකාවේ භාෂා තියෙන්නේ දෙකයි. ඉන්දියාවේ භාෂා දෙසීය ගාණක් තියෙනවා. මොන තරම් විෂමතා තියෙනවාද ඉන්දියාවේ. ලංකාවේ ඉන්න ජාතීන් අතර වැඩි වෙනසක් ඇත්තේත් නැහැ. ඒ වුණත් අපට තියෙන ප‍්‍රශ්නය එයාලාට නැහැ. ඒ අය වේලාසනින්ම විසඳුම සාකච්ඡුා කරලා ක‍්‍රමයක් හදාගත්තා. අපි එහෙම නැහැ. අපි මුල ඉඳලාම රටේ ඉන්න ජනවර්ග ගැන අනවබෝධයෙන් වැරදි තීරණ අරන් වරද්දාගත්තා. මගේ පෞද්ගලික අත්දැකීමක් කියන්නම්. මම 1955දී සිංහල ඉගෙනගන්න පටන්ගත්තා. 1956දී සිංහල පමණක් කියලා යෝජනාවක් ආවා. ඒ වෙලාවේ මම කිව්වා, මම ආයේ සිංහල කතා කරන්නේ නැහැ කියලා. නැත්නම් මම අද ඔයාලටත් වඩා හොඳට සිංහල කතා කරනවා. ලී ක්වාන් යූ සහ බණ්ඩාරනායක මහත්තයා කතා කරන අතරේ, ලී ක්වාන් යූ අහලා තියෙනවා භාෂා ප‍්‍රශ්නයට විසඳුම් හොයන්නේ කොහොමද කියලා. ඒ වෙලාවේ බණ්ඩාරනායක කියලා තියෙනවා සිංහල පමණක් කියලා සම්මත කළා කියලා. එතකොට ලී ක්වාන් යූ කියලා තියෙනවා, ඒ තීරණය වැරදියි, සිංගප්පූරුවේ නම් චයිනීස්, ටැමිල්, ඉංග්ලිෂ්, මැලේ කියන භාෂා හතරෙන්ම කටයුතු කරනවා කියලා. ආණ්ඩුවෙන් ලියුමක් ආවත් තමන්ගේ භාෂාවෙන් එන්නේ. ආයතනයකට ගියාම තමන්ගේ භාෂාවට පරිවර්තකයෝ ඉන්නවා. අධ්‍යාපන ක‍්‍රමය ඇතුළේ භාෂා හතරම උගන්වනවා. සිංගප්පූරුව දැන් තියෙන්නේ කොහෙද අපි ඉන්නේ කොහෙද?

බලය බෙදීම අවශ්‍ය වන්නේ භාෂාව කියන කාරණය නිසාද?

නැහැ, භාෂාව විතරක් නෙවෙයි හේතුව. 1987දී 13වැනි සංශෝධනය ගෙනාවා. ඒ වෙලාවේ උතුරු නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා, ප‍්‍රාදේශීය ලේකම් හා ග‍්‍රාමසේවක පළාත් සභාව යටතේ හිටියේ. ඒ කාලයේ පරිපාලනය හොඳට කරගෙන යෑමේ හැකියාවක් තිබුණා. ඉන් පස්සේ අනූදෙකේදී පේ‍්‍රමදාස මහත්තයා ඔය තනතුරු තුනම මධ්‍යම ආණ්ඩුවට ගත්තා. දැන් පරිපාලන ඒකක දෙකක් තියෙනවා. ඒ නිසා අපට වැඩ කරගෙන යන්න අමාරුවක් තියෙනවා. මධ්‍යම ආණ්ඩුව හා පළාත අතර ගැටුම් ඇතිවෙන අවස්ථා එනවා. උතුරු පළාතේ දූපතක තට්ටු තිස්හතක හෝටලයක් හදන්න මධ්‍යම ආණ්ඩුව ඉඩ දුන්නා. අපි හොයලා පරිසරය හා භෞමික වශයෙන් අවශ්‍ය සහතික ගත්තාද කියලා බැලූවාම ඒවා මොනවත් කරලා නැහැ. ඉන් පස්සේ අපි කීවා නවත්වන්න කියලා. මේ දූපතේ තට්ටු තිස්හතක බිල්ඩිමක් හදන්න නම් කොච්චර යටට හාරන්න වෙනවාද, අපේ භූමිය ගැන අපට අවබෝධයක් තියෙනවා. අපේ ඉඩම අපි පරිපාලනය කරනකොට යහපත වැඩියි. ඒක උතුරු පළාතට නෙවෙයි දකුණටත් අදාළයි.

දහතුන්වැනි සංශෝධනයෙන් පස්සේ ආ පළාත් සභා ක‍්‍රමය ගැන අදහස මොකක්ද?

පළාත් සභා ක‍්‍රමයේ නෙවෙයි ප‍්‍රශ්නය තියෙන්නේ. ඒකීය ව්‍යවස්ථාවක් වීමයි ප‍්‍රශ්නය. ඒකීය ව්‍යවස්ථාවක් නිසා තමයි 1992දී බලතල අයින් කළේ. ෆෙඩරල් ක‍්‍රමයේ ව්‍යවස්ථාවකින් බලතල වෙනස් කරන්න නම් මධ්‍යම ආණ්ඩුවේ සහ පළාත්වල අවසරය ගන්න ඕනෑ වෙනසක් කරන්න. දහතුන ගැන ජීඇල් පීරිස් මහත්තයා කියලා තිබුණා, දකුණු අතෙන් දීලා වම් අතෙන් බලය අරගත්තා කියලා. බලතල දීලා ඒවා ක‍්‍රියාත්මක කරන්න නම් ආණ්ඩුකාරවරයාගේ අවසරය ගන්න ඕනෑ කියලා සීමා දාලා තියෙනවා. ඒකීයභාවය තමයි වෙනස් කරන්න ඕනෑ.

දකුණේ අය හිතන්නේ ඒකීය කියන්නේ එක රටක්, ෆෙඩරල් කියන්නේ රට බෙදීමක් කියලා. දකුණේ අය ෆෙඩරල් කියන වචනෙට බයයි නම් ඕස්ටේ‍්‍රලියාව, බි‍්‍රතාන්‍යය වගේ ඒකීය හෝ ෆෙඩරල් වචන නැතිව බලතල බෙදීමක් කරන්න පුළුවන් නේද?

අපි ෆෙඩරල් ක‍්‍රමය ඕනෑමයි කියලා අපි ඉල්ලූවේ නැහැ. අපට වචනෙන් නෙවෙයි, ෆෙඩරල් ක‍්‍රමය කියලා හඳුනාගන්න බලතල බෙදීමේ රාමුව ඕනෑ කියලයි ඉල්ලන්නේ. ෆෙඩරල් ක‍්‍රමය කීවාම ලෝකය පුරා හඳුනාගත් ක‍්‍රමවේදයක් තියෙනවා. එතකොට නීතිය ඉදිරියේ වුණත් පැහැදිලි නිර්වචනයක් ලබාගැනීමේ හැකියාවක් තියෙනවා. වෙනස කරන්න තියෙන බාධාව ෆෙඩරල් කියන වචනය විතරක් නම් ඒක අයින් කරලා කරගන්න පුළුවන්. ඒත් මොකක් හරි ප‍්‍රශ්නයක් ඇවිත් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න වුණොත් එතැන ඇතිවෙන තත්ත්වය මම එතැන ඉඳලා තියෙන හින්දා දන්නවා. පැහැදිලි අර්ථකථනයක් නැතිවුණාම එතැනදී කියන්නේ මේක වැඩියෙන් ළංවෙන්නේ ඒකීය ක‍්‍රමයකට, ඒ නිසා මේක ඒකීය ක‍්‍රමයක් කියන උපකල්පනයෙන් තමයි එතැන වැඩ කෙරෙන්නේ. බලය බෙදාගන්නත්, බාධාවකින් තොරව වැඩකටයුතු කරගෙන යන්නත් පුළුවන් වගේම නොබෙදී එක රටක ජීවත්වෙන්නයි අපට ඕනෑ. ෆෙඩරල් කියන වචනය නැතිව ඒ වෙනුවට වෙන මොකක් හරි වචනයක් එක්ක බලතල බෙදන්න පුළුවන්. ඒත් උතුරු නැගෙනහිර පළාත්වලට එම ව්‍යවස්ථාවෙන් දීලා තියෙන බලතල වෙනස් කරනවා නම් පළාත් සභාවේ එකඟතාවත් ලබාගන්න ඕනෑ කියලා ව්‍යවස්ථාවට එකතු වෙන්න ඕනෑ.

දකුණේ අය බලතල බෙදීම හඳුන්වන්නේ ෆෙඩරල් දෙනවා කියලා. ෆෙඩරල් දෙනවා කියන හැඳින්වීමත් එක්ක ඔබ එකඟද?

ෆෙඩරල් දෙන එකක් නෙවෙයි. ෆෙඩරල් ඇවිල්ලා දෙගොල්ලොම එක්කහු වෙලා හදාගන්න ක‍්‍රමයක්. සිංහල මිනිස්සු හිතන්නේ මෙච්චර දවසක් බලය අපේ අතේ තිබුණා. දැන් ඒක චුට්ටක් සාක්කුවෙන් අරගෙන දෙනවා වගේ එකක්. ඒවා ඔක්කොම වැරදියි. ලංකාවටම සිංහල භාෂාව විතරයි කියලා පටන්ගත්ත කාලේ ඉඳලා අපව පහත් කරලා තමයි ඔක්කොම කරලා තියෙන්නේ. අධ්‍යාපන ප‍්‍රමිතිකරණය කියන්නේ ඒ වාගේ එකක්. ඉඩකඩම්වලට පිටින් මිනිස්සු ගෙනල්ලා දාලා තියෙනවා. අපි එකතුවෙලා ඉදිරියට යන්න ඕනෑ නම් ෆෙඩරල් ක‍්‍රමය ඔයාලා අපට දෙන විදියට නෙවෙයි, අපි දෙගොල්ලොම එකතුවෙලා ෆෙඩරල් ක‍්‍රමයක් ඇති කරගත්තොත් මොකද වෙන්නේ කියලා කල්පනා කරන්න ඕනෑ.

ෆෙඩරල් ක‍්‍රමයක් ඇතිකළාම ඊට පස්සේ පියවර විදියට රට බෙදීමක් සිද්ධ වෙන්න ඉඩක් තියෙනවාද?

මම දන්න හැටියට කවදාවත් එහෙම වෙලා නැහැ. හැබැයි වාසුදේව නානායක්කාර කිව්වා රුසියාවේ එහෙම වුණා කියලා. ඒත් මම දන්නා විදියට සෝවියට් රුසියාව වෙන්වීම හා ෆෙඩරල් වීම අතර සම්බන්ධයක් නැහැ. සෝවියට් දේශය වෙන්වෙන්න හේතු බොහොමයක් බලපෑවා. ඒවා කොහොම වුණත් දෙමළ ජනතාව වෙනම රටක් හදාගන්න මේ වෙලාවේ කැමති වෙන්නේ නැහැ. දෙමළ නායකයන් විදියට අපටත් වෙනම රටක අවශ්‍යතාවක් දැන් නැහැ. වෙනම රටක් හදාගත්තොත් රටවල් දෙකටම කවදාවත් දියුණු වෙන්න බැහැ. එක පැත්තකින් ලංකාවේ දේශසීමා ප‍්‍රශ්න විසඳන්න වෙනවා. ඊට පස්සේ අනෙක් පැත්තෙන් ඉන්දියාවෙන් ප‍්‍රශ්න, අනෙක් පැත්තෙන් චීනයෙන් ප‍්‍රශ්න. අපේ භූමි ප‍්‍රදේශයේ ස්වාධීනව රටක් ගොඩනඟන්න තියෙන පහසුකම් අඩුයි. මේ දූපත බෙදන්න ඕනෑ නැහැ. අපට එකතු වෙලා ලෝකයේ ශ්‍රේෂ්ඨම ජාතියක් වෙන්න පුළුවන්. අපේ තරුණයන් කැරලි ගහන්න හේතුවුණ කාරණාව ඊට කලින් දෙමළ ජනතාවට කළ අසාධාරණකම්. හැත්තෑ හතරේ මිනිස්සුන්ව මැරුවා, අසූතුනේ දෙමළ සංහාරය කළා. මේවා නිසා තමයි මේ අය ආයුධ අතට ගත්තේ. ඒ නිසා දෙගොල්ලම එක්කහු වෙලා තමයි මේක කතා කරන්න ඕනෑ. අපට වෙනම රටක් හදන්න ඕනෑ නැති බව සිංහල මිනිස්සු දැනගන්න ඕනෑ.

දෙමළ තරුණයන්ගේ කැරැල්ල තාමත් දකුණ හඳුන්වන්නේ ත‍්‍රස්තවාදයක් විදියට. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

එස් චෙල්වනායගම් මැතිතුමා ගාන්ධිවාදියෙක්. එයා හැත්තෑ හතේ පොදු රාජ්‍ය මණ්ඩලය අමතමින් කියලා තියෙනවා, අපි අවුරුදු විස්සක් විතර අවිහිංසාවාදී විදියට අපේ සටන කළා. ඒකෙන් කිසිම හොඳක් ලැබුණේ නැහැ, දැන් අපට මේ ගැන කල්පනා කරලා බලන්න වෙනවා කියලා. මේ තරම් පරිණත අවිහිංසාවාදය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කළ කෙනෙකුටත් එතැනට එන්න වෙලා තිබුණා. අපව දෙවැනි පන්තියට දාලා පාගලා දාලා තියෙද්දී තමයි තරුණයෝ ආයුධ ගත්තේ. දැන් ඒ පරිසරය නැහැ. ඔක්කෝම එකතු වෙලා ආණ්ඩුවක් හැදුවා. මේ ආණ්ඩුවට ඒ බැඳීම තියෙනවා. ජාත්‍යන්තර සමාජයෙනුත් බලපෑමක් දෙනවා.

දෙමළ ජනතාව සිදු කරන සැමරීම් හඳුන්වන්නේ කොටි සැමරුම් විදියට. මේ සැමරුම මොකක්ද?

දෙදාස්නවයේ මැරුණේ කොටි විතරක් නෙවෙයි. වව්නියා, මන්නාරම් ඉඳලා මිනිස්සුන් බෝම්බ වැටෙද්දී ක‍්‍රමක‍්‍රමයෙන් පහුබැහැගෙන අන්තිමට යුද මුක්ත කලාපයට කොටුවුණා. එතැනදී තමයි මිනිස්සු අතුරුදන් වෙලා තියෙන්නේ. මිනිස්සුන්ගේ විශ්වාසය හමුදාවෙන් යුද මුක්ත කලාපයට බෝම්බ දාලා එක්ලක්ෂ හතළිස්දාහක් විතර මැරුවා කියලා. ඔවුන් පෙන්වන්නේ අවසාන යුද්ධයට කලින් දෙමළ මිනිස්සු මෙච්චර ප‍්‍රමාණයක් හිටියා, යුද්ධයෙන් පස්සේ ඉතිරි මෙච්චරයි කියන පදනමත් එක්ක. හැබැයි ආණ්ඩුවෙන් කියන්නේ හතළිස්දාහක් විතර කියලා. මේ සංඛ්‍යා ගැන නෙවෙයි කියන්නේ. මං හිතන්නේ සම්පූර්ණයෙන්ම කොටි සංඛ්‍යාව ලක්ෂයක්වත් නැහැ. ආණ්ඩුවත් ඒක පිළිගන්නවා. ඒ වුණත් මිනිස්සු ඊට වඩා මැරිලා තියෙනවා. නෑදෑයෝ අදත් හොයනවා මොනවා වෙලාද කියලා. ආනන්දි සසිධරන් කියන අපේ මන්ත‍්‍රීවරියගේ සැමියා ගොඩක් අය ඉස්සරහදී අරන් ගියා කියනවා. එතැන හිටි හැමෝම එයාව හමුදාවෙන් අරන් ගියා කියද්දී, හමුදාවෙන් කියනවා එයාලා අරගෙන ගියේ නැහැ කියලා. මොන කතාව ඇත්ත වුණත් දැන් ඇගේ සැමියා නැහැ. අහිමි වුණ මිනිස්සු වෙනුවෙන් ගෞරව කරන්න අපට අවස්ථාවක් ඕනෑ. ඒ නිසා තමයි මැයි දහඅටවැනිදා සැමරුමක් සංවිධානය කළේ. ඒ උත්සවයේදී මම කතාකළේ යුද්ධය අවසාන වුණාට පස්සේ අපි එකතුවෙලා විසඳුමක් එන්න ඕනෑ කියන පණිවිඩය ජනතාවට දෙන්න.

කුණ යුද්ධය හඳුන්වන්නේ මානුෂීය මෙහෙයුමක් විදියට, ත‍්‍රස්තවාදය අවසාන කිරීමක්, විජයග‍්‍රහණයක් විදියට තමයි යුද්ධාවසානය දකින්නේ. මේ ගැන අදහස මොකක්ද?

මේ යුද්ධය කොටින්ට එරෙහිව කළ යුද්ධයක් විතරක් නෙවෙයි. සාමාන්‍ය මිනිස්සු තොග ගණන් මැරුණා. ඒ අය මේ රටේ පුරවැසියෝ. එහෙම රටක දේශපාලන නායකත්වය අර මිනිස්සුන්ව අමතක කරලා මේක විජයග‍්‍රහණයක් විදියට හඳුන්වන්නේ කොහොමද? අශෝක රජතුමා ලොකු යුද්ධයක් කළාට පස්සේ කනගාටු වුණා. දුටුගැමුණු කනගාටු වුණා. දැන් දකුණ හිතන්නේ අපේ මිනිස්සු කවදාවත් වැරැුද්දක් කරන්නේ නැහැ. අපි කළ ඔක්කොම හරි කියලා. එහෙම හරි වැරදි මනින්න ගියොත් මේකේ අවසානයක් නැති වෙනවා. යුද්ධ අපරාධ පරීක්ෂණ කරන්න උත්සාහ කරනකොට දකුණ විරුද්ධ වෙන්නේ තමන් සර්ව සම්පූර්ණයි කියන තැන ඉඳන්.

උතුරේ හමුදාව ඉවත් කරන්න කියන එක ඔබ හැමදාම කරන ඉල්ලීමක් නේද?

යුද්ධය ඉවරවුණ හැටියෙම හමුදාව අයින් කරලා සිවිල් පාලනයට ක‍්‍රමයෙන් යට කරන්න ඕනෑ. හමුදාව එක්ලක්ෂ පනස්දාහක් තියාගෙන ඉන්නවා. දැන් අපේ ඉඩකඩම් තියාගෙන ඒවායේ අස්වැන්න නෙළාගන්නවා, අපේ ගෙවල් අයිතිකරගෙන ඉන්නවා. ඒක විතරක් නෙවෙයි තව අලූතෙනුත් ඉඩම් ඉල්ලනවා. අනික මහවැලියේ වතුර උතුරට ගේනවා කිව්වා. ඒත් තවත් වතුර බිංදුවක්වත් ගෙනාවේ නැහැ. ටිකක් හරි උතුර පැත්තට එන කලාපයට එල් කලාපයක් දාලා වැලිඔය කියලා සිංහල මිනිස්සුන්ව ගෙනල්ලා පදිංචි කරවලා හමුදාවෙන් ආරක්ෂාවටත් දාලා. අසූනවදාහක් විතර වැන්දඹු කාන්තාවන් උතුරු නැගෙනහිර ඉන්නවා. මේ අය අවුරුදු පහළොව දාසයේදී බැඳලා දැන් ළමයි හතරක් පහක් ඉන්නවා. ඒ වුණත් ඔවුන් තරුණ අය. එහෙම අයට හමුදාවෙන් ආරක්ෂාවට කියලා සෙල්ෆෝන් එපා කියද්දී දීලා තියෙනවා. එහෙම ඇතැම් අයට හමුදාවෙන් එන්න කියලා තියෙනවා. එතැනින් පස්සේ වුණ දේවල් මට කියන්න බැහැ. ඒක ගැන පැමිණිලි කරන්න පොලිසියට ගියත් ඒ අය හමුදාවට එරෙහි පැමිණිලි බාරගන්නේ නැහැ. කිලිනොච්චියේ භටයන් දහදාහකට ගෙවල් හදලා දෙන්න යනවා. ආණ්ඩුව හිතනවා ඇති සිංහල මිනිස්සු මේ පැත්තට ගෙනල්ලා දාලා මේ අයව නැති කරන්න ඕනෑ කියලා. එහෙම පසුබිමක වෙනම රටක් ඉල්ලන එකේ වැරැද්ද මොකක්ද? මේ මිනිස්සුන්ට සංහිඳියාව ගැන හැඟීමක් ඇති කරන්නේ කොහොමද?