දේශපාලනිකව ඉස්සරහට යන්න අපි පාවිච්චි කළේ වර්ගවාදයයි | ආචාර්ය ධම්මික හේරත් සමාජවිද්‍යා අධ්‍යයන අංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර

ලාංකීය දේශපාලනය ඇතුළේ දූෂණය කියන්නේ අතිශය ජනප‍්‍රිය මාතෘකාවක්. දූෂණය අපි හදුනාගන්නේ කොහොමද?

කිසියම් නිලධාරියෙක් තියෙන බලය ඔහු පෞද්ගලික පරමාර්ථයන් සදහා භාවිත කිරීම කියන එක තමයි සරලව දූෂණය කියන්නේ. නමුත් ලංකාව වගේ රටවල දූෂණය සිදුවන ආකාර මීට වඩා තරමක් වෙනස්. හුදෙක් පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් විතරක් දූෂණ සිදුවන්නේ බොහෝවිට අපිට වඩා දියුණු රටවල. අපේ රටවල දූෂණය පෞද්ගලික වගේම කණ්ඩායම් පරමාර්ථ මතත් ගොඩක් වෙලාවට බැදිලා තියෙනවා.

පහුගිය ආණ්ඩු කාලයේ සිදුවුණ දූෂණ දිහා බලද්දී මේ සාමූහික දූෂණය කියන දේට පැහැදිලි උදාහරණ ඕනෑ තරම් තියෙනවා. තාත්තා විදුලි සංදේශන ඇමති වෙලා ඉද්දී, ඔහු තම පුතාට රූපවාහිනී බලපත‍්‍රයක් අරන් දීම වගේ දෙයක් වුනත් මෙතැනදී සරල උදාහරණයකට ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දූෂණයේ ලාංකීය මුහුණුවර ගොඩක් වෙලාවට දේශපාලන තන්ත‍්‍රය සහ රාජ්‍ය තන්ත‍්‍රය කියන කොටස් දෙක වටා කේන්ද්‍ර වෙලායි තියෙන්නේ.

පැවතුණු ක‍්‍රමයත් එක්ක ගනිද්දී වර්තමාන තත්ත්වය ඔබ කොහොමද තක්සේරු කරන්නේ?

ජනවාරි අට වෙනස වෙනුවෙන් ප‍්‍රධාන වශයෙන් කැප වුණේ මේ රටේ සිවිල් සමාජය. මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු පිරිසත්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු ඇතුළු පිරිසත්, තවත් බොහෝ සිවිල් සංවිධානත් ඒ වෙනස ස`දහා ඉතාමත් කැපවෙලා වැඩ කළා. ඒ විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල සිසුන් පවා විශාල වශයෙන් වැඩ කළා පහුගිය ආණ්ඩුව වෙනස් කරන්න. ඇත්තට ම මෙතැනදී දේශපාලනඥයන් කළේ සිවිල් සමාජය පදවාගෙන ගිය බස් එකට නැග්ග එක විතරයි.

කවුරු හරි මගෙන් ඇහුවොත් යහපාලන ආණ්ඩුව ගැන තෘප්තිමත් වෙනවාද කියලා මට දෙන්න තියෙන උත්තරේ නෑ කියන එක. ඒත් කවුරුහරි ඇහුවොත් වෙනස ගැන සතුටුයිද කියලා මට ඇත්තටම ඔව් කියන්න වෙනවා. අපි පුද්ගලයින් මත විශ්වාසය තියලා වැඩ කළ අය නෙමෙයි. ඉතින් මෙතැනදී අපිට තියෙන්නේ පුද්ගලයන් සම්බන්ධ ගැටලූ නෙමෙයි. මේ ආණ්ඩුව පිහිටුවලා සිවිල් සමාජය බලාපොරොත්තු වුණ දේ ඒ විදිහටම සිද්ධවුණාද කියන එක. මීට කලින් පැවතුණු ක‍්‍රමයට සාපේක්ෂව බලද්දී මේ තුළ කිසියම් ගුණාත්මක වර්ධනයක් තියෙනවා.

පහුගිය කාලයේ තිබුණ බරපතළ දූෂණ වංචා අද පෙනෙන්න නෑ. ඒ දූෂණ වංචා සදහා තවමත් නිසි දඩුවම් දීලා නැති එක ගැන සමාජය තෘප්තිමත් නැති එක ඇත්ත. ඒ සදහා බලපාන කාරණා මොනවද කියලා අපිට වෙනම සාකච්ඡා කරන්න පුළුවන්. ඒවාට තවම දඩුවම් දීලා නැතත්, ඒ ආකාරයේ වැරදි සහගත ක‍්‍රියා මේ ආණ්ඩුවේ සිදුවෙනවා පෙනෙන්න නෑ.

උදාහරණයක් විදියට අද මාධ්‍යවේදීන්ට නිදහසේ තමන්ගේ කටයුතු කරගෙන යන්න පුළුවන්. ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ ඇමතිවරුන්ගෙන් ඕනෑ විදිහට ප‍්‍රශ්න අහන්න අද නිදහසක් තියෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය කිසියම් ආකාරයකින් තහවුරු කරලා තියෙනවා. දෙමළ ජාතිකයෙක් අගවිනිසුරුකමට පත්කරලා තියෙනවා. කොමිෂන් සභා ශක්තිමත් කරලා තියෙනවා. වෙන එකක් ඕනෑ නෑ, මේ කොමිෂන් සභාවලට මහාචාර්ය හෙට්ටිගේ, ආචාර්ය දීපිකා උඩගම වගේ රටම පිළිගත්ත පිරිසක් පත්කරලා තියෙන එකම විශාල ජයග‍්‍රහණයක්. ඒ අය රටේ පිළිගැනීමක් හදාගෙන තියෙන්නේ දේශපාලනය කරලා නෙවෙයිනේ. උගතුන් සහ බුද්ධිමතුන් වශයෙන්. ඉතින් එහෙම බලද්දී යම් යම් දුර්වලතා තිබුණත් පැවතුණු ක‍්‍රමයට සාපේක්ෂව මේ ක‍්‍රමය ගැන කිසියම් විදියකට සතුටු වෙන්න පුළුවන්.

ඔබ කිව්ව ආකාරයට, දේශපාලඥයන් සිවිල් සමාජයේ බස්එකට මඟ ඉදන් නැග්ග එකද මේක සම්පූර්ණ නොවෙන්න හේතුව?

යහපාලනයට මුල ඉදන් අව්‍යාජව කැපවුණ කවුරුත් මේ ආණ්ඩුවේ නෑ කියලා මම කියන්නේ නෑ. එහෙම කීප දෙනෙක් මෙතැන ඉන්නවා. හැබැයි අපේ රටේ දේශපාලඥයන්ගෙන් බහුතරය එහෙම නෙමෙයි. ඒ අයට ඕනෑ වුණේ මොන බස්එකේ නැගලා හරි තමන්ගේ ගමන යන එක විතරයි. එහෙම නැතිව යහපාලනය ගැන දැඩි උනන්දුවක් සහ කැපවීමක් ඒ අයට නෑ. ඉතින් මේ අයව කොහොම හරි මිරිකලා යහපාලනය ගන්න එක සිවිල් සමාජයේ වැඩක්. ඒ අයට කරන බලපෑම නවත්තලා මේ වැඬේ කරන්න බෑ.

නමුත් සිවිල් සමාජය මේ වෙනකොට ඉන්නේ විශාල කලකිරීමකින්. මොකද ඒ අය මේ ක‍්‍රමය ගෙනාවේ විශාල බලාපොරොත්තු කන්දක් එක්ක. මේ ආණ්ඩුව සම්පූර්ණයෙන් ම දූෂණය නැතිකරයි, ආගම හා නීතිය ස්වාධීන කරයි, සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත ස්ථාපිත කරයි කියලා ඒ අය තුළ විශාල බලාපොරොත් තුවක් තිබුණා. නමුත් ඒ බලාපොරොත්තුවලින් බාගෙට බාගයක් ම අද වනවිට අසාර්ථක වෙලායි තියෙන්නේ.

දූෂණ විමර්ශන පැත්තෙන් ආණ්ඩුවේ තියෙන ලොකුම වරද තමයි ඒ වැඩපිළිවෙළ තුළ තෝරාගත් පිරිසකට විතරක් ද`ඩුවම් දෙන ස්වරූපයක් පැහැදිලිව කැපී පෙනෙන්න තියෙන එක. ඒ වාගේ තත්ත්වයක් තුළ දූෂණ විරෝධී කථිකාවක් ඉස්සරහට ගෙනියන්න අමාරුයි. ඒ වාගේම රටේ මහජනතාව එක්ක අදහස් විමසමින් ඉස්සරහට යන යාන්ත‍්‍රණයක් ආණ්ඩුවට නෑ. ඒක විශාල අඩුවක්. තමන් අතිශය බුද්ධිමත්, කාගේවත් අදහසක් ගන්නේ නැතිව තමන්ට රට වෙනුවෙන් තීරණ ගන්න පුළුවන්ය කියලා හිතන් ඉන්න කීප දෙනෙක් ආණ්ඩුව තුළ ඉන්න එක මේකට හේතුවක් ද කියලා කියන්න බෑ.

දේශපාලන සංස්කෘතියත් එක්ක මේ කාරණාවලට සම්බන්ධයක් නැද්ද?

ඇත්තටම මට හිතෙන හැටියටත් මේක පටන්ගන්න ඕනෑ ආකල්පවලින්. මේක අපේ ආකල්ප පිළිබද ගැටලූවක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ඉස්සරහට යන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනත් එක්ක. ඒ ආයතන අතරට ඡන්දය, මැතිවරණය, නීතිය, පාර්ලිමේන්තුව, විධායක සංරචක වගේ හැම දෙයක් ම එක වගේ වැදගත්. වැඬේ තියෙන්නේ අපි මේවාට ගරු කරනවාද කියන එක. අපි දේශපාලනය පටන්ගත්ත දා ඉදන් ම මේ දේශපාලන ආයතනවලට අපේ සැබෑ ගෞරවයක් තිබුණේ නෑ. සමාන අයිතිවාසිකම්, භාෂණයේ අයිතිය වගේ ආයතනවලටවත් අපි ගරු කළේ නෑ.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්න කියලා රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේදී ඉස්සෙල්ල ම යෝජනා කළේ ජේආර් ජයවර්ධන. ඒ වෙලාවේ බණ්ඩාරනායක මහත්තයා ඒකට තදින් විරුද්ධ වුණා. නමුත් ඔහු බලයට ඇවිත් මොකද කළේ. එදා විරුද්ධ විච්ච ජේආර්ගේ යෝජනාව එයා ක‍්‍රියාත්මක කළා. ඒ දේවලින් පේනවා ජ‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන සදහා එදා ඉඳන් ම අපිට ඇත්ත ගෞරවයක් තිබුණේ නෑ කියලා. ඇත්තට ම අපි ගෙනියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නෙමෙයි, ජනවාර්ගිකත්වය මත පදනම් වුණ පාලනයක්. දේශපාලනිකව ඉස්සරහට යන්න අපි හැම වෙලාවෙම පාවිච්චි කළේ වර්ගවාදය.

අවාසනාවට වගේ මේ වර්ගවාදයේ වර්තමාන මුහුණුවර පටන්ගන්නෙ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග. රටේ ජනතාව ඔහුව බලයට පත්කළේ රටේ ජනාධිපති වෙන්න. නමුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වෙන්න කවුරුත් ඔහුව බලයට පත්කළේ නෑනේ. නමුත් බලයට පත්වුණ වෙලාවේ ඉදන් එතුමා උත්සාහ ගත්තේ සභාපතිත්වය තහවුරු කරගන්න. තුනෙන් දෙකේ බලයක් තිබුණේ නැත්තම් ව්‍යවස්ථාව නිර්මාණය කරගන්න බෑ වගේ විවිධ හේතු එතුමාගේ පාර්ශ්වයෙන් කියනවා තමයි. නමුත් ඇත්ත හේතුව අරක කියලා ඉතාම පැහැදිලියි.

නිකමට අපි හිතමු එතුමාගේ අරමුණ ව්‍යවස්ථා සම්පාදනයමයි කියලා. එහෙම බැලූවොත් අරමුණ හොද වෙන්න පුළුවන්. නමුත් ඒ සදහා ඔහු පාවිච්චි කළ ක‍්‍රමය වැරදියි. තුනෙන් දෙකේ ඡන්දයක් ගන්න තමන්ට බලය මදි කියලා ජනාධිපතිට හිතුණා නම් ඔහු යන්න තිබුණේ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඉස්සරහට නෙමෙයි. ජනතාව ඉස්සරහට. මොකද ජනතාවයි ඔහුව බලයට පත් කළේ. ඔහුට තිබුණේ මහමැතිවරණයකට ගිහින් දේශපාලන ප‍්‍රතිසංස්කරණ සදහා ඒ අයගේ ඡන්දය ඉල්ලන එක.

අද ජනාධිපතිවරයා ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපති වුණා කියලා රටට ඇතිවෙලා තියෙන යහපතක් තියෙනවාද? ඒ මගින් වුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිතයන් ලෙස හැදින්වුණ දේශපාලනඥයන් බහුතරයක් ගෙඩි පිටින් ම කැබිනට් මණ්ඩලයට රිංගාගත් එක. මේ දේශපාලන ක‍්‍රමය පිළිබද ජනතාවට තිබුණ විශ්වාසය බිදවැටෙන්න වැදුණ පළවෙනි පහර ඕක. මේකෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වැදුණ අනිත් පහර තමයි රටට ශක්තිමත් විපක්ෂයක් නැති වුණ එක.

ඒකාබද්ධ විපක්ෂය වගේ ඒවාට ඔබ කියූ ශක්තිමත් විපක්ෂ ගණයට කටයුතු කරන්න බැරිවෙයි කියලාද ඔබ හිතන්නේ?

ඔය කණ්ඩායම රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරන්න අවශ්‍ය විපක්ෂයක මට්ටමින් ගන්න පුළුවන් කියලා මට හිතෙන්නේ නෑ. ඔවුන්ට තියෙන ලොකු ම ප‍්‍රශ්නය තමයි, ජනතාව අතර ඔවුන්ට විශ්වාසයක් නැතිකම. ඔවුන් දූෂණය ගැන, යහපාලනය ගැන කතාකළාට ජනතාවට ඔවුන් ගැනවත් ඔවුන් කියන දේ ගැනවත් විශ්වාසයක් ගොඩනැෙ`ගන්නේ නෑ. ඔවුන්ව මිනිස්සු ගණන් ගන්නේ නෑ.

මොන දේ වුණත්, මට පොඩි බයක් තියෙනවා, මේ ආණ්ඩුව අන්ත නව ලිබරල් ප‍්‍රතිපත්තිය ගෙඩි පිටින් ගන්න තැනකට යයිද කියලා. මේ අය ආ ගමන් කතා කළා සෞඛ්‍ය රක්ෂණයක් ගැන. නමුත් අපි දන්නවා රජයේ රෝහල් නැත්තම් මේ රටේ බහුතරයකට ලෙඩකට බෙහෙතක් ගන්න පුළුවන් මට්ටමේ ආර්ථිකයක්වත් නෑ. ඇමෙරිකාව වගේ රටවල රක්ෂණ තියෙන එක ඇත්ත. නමුත් ඇමරිකාවේදීවත් ඒ ක‍්‍රමය සාර්ථක වෙලා නෑ. මේ වගේ දේවලින් වෙන්නේ පෞද්ගලික ක්ෂේත‍්‍රය වර්ධනය කිරීම විතරයි. පෞද්ගලික අංශ වර්ධනය කරන්න කලින් අපි කරන්න ඕනෑ, රජයේ රෝහල් රාජ්‍ය ආයතන දියුණු කරන එක.

ඒ නිසා අන්ත ලිබරල්වාදී ප‍්‍රතිපත්තියකට යන්න කලින් ආණ්ඩුව කල්පනා කරන්න ඕනෑ. ඔවුන් එහෙම නොකළොත් ඒ ප‍්‍රතිපත්තිය අසාර්ථක වෙන්න තියෙන ඉඩ වැඩියි. ආණ්ඩුව බිදවැටෙන්න තියෙන ඉඩ වැඩියි. එහෙම වුණොත් ඒකෙ වැඩි වාසිය තියෙන්නේ අනික් පැත්තේ ඉන්න අන්ත දූෂිත දේශපාලනඥයන්ට විතරයි.