රාවය

මහේස්ත‍්‍රාත් අතුරුදහන්

මහේස්ත‍්‍රාත් අතුරුදහන්

අරුණ ජයවර්ධන

වනයෙන් අල්ලා ගත් අලි පැටියකු නීති විරෝධී ලෙස සන්තකයේ තබාගැනීමේ චෝදනාව එල්ල වී තිබෙන කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ අතුරුදන්වී ඇති බව රාවයට වාර්තා වෙයි.

මැයි 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට පැමිණ ප‍්‍රකාශයක් ලබාදෙන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා ඔහුට නියෝග කර ඇතත් එදින සැකකාර මහේස්ත‍්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට පැමිණියේ නැත.

ප‍්‍රකාශය දෙන්නට නොපැමිණීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කළත් මේ වනවිට ඔහු සිටින තැනක් සොයා ගන්නට නැතැයි වාර්තා වෙයි. අලි සොරකම ගැන ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබාගෙන නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මැයි 12 වැනිදා නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට උපදෙස් දුන් අතර ඒ අනුව මැයි 13 වැනිදා සිය දෙපාර්ත මේන්තුවට ප‍්‍රකාශයක් ලබාදෙන්නට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට දන්වන ලදි. එහෙත් එදින ඔහු නොපැමිණි අතර, නීතිඥයකු මාර්ගයෙන් මැයි 18 වැනිදා දක්වා කල් ඉල්ලා සිටියේය. මැයි 18 වැනිදාද, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ නැත.

මේ තත්ත්වය මත මැයි 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප‍්‍රකාශයක් ලබාදෙන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා ඔහුට නියම කළ නමුත් 25 වැනිදාද ඔහු එහි ගියේ නැත.

අපරාධ පරීක්ෂණයක් සඳහා සහාය ලෙස රජයේ නිලධාරියකු නියම කළ විට එය පැහැර හැරීම වරදක් වන අතර අධිකරණය දුන් නියෝගයකට අවනත නොවීම සැලකෙන්නේ අධිකරණයට අපහාස කිරීමක් ලෙසය.

මහේස්ත‍්‍රාත්වරයාට චෝදනා එල්ල වී තිබියදීත් ඔහු අධිකරණයේ නඩු ඇසීම නීති ක්ෂේත‍්‍රයේ බලවත් විමතියට හේතුවී තිබුණු අතර, ඔහු ඉන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම දිගින් දිගටම කිසිදු පියවරක් ගත්තේ නැත. එහෙත් අවසානයේ රාවයෙන් එල් වූ දැඩි විවේචන හමුවේ පසුගිය මැයි 20 වැනිදා ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට අධිකරණ සේවා කොමිසම පියවර ගත්තේය.