ලංකාව තවත් බෙදන්න ඉතිරි වෙලා නැහැ | ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උපසභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සීබී රත්නායක

තරිඳු උඩුවරගෙදර

නව ව්‍යවස්ථාවක් ගැන කතාබහ වෙන වෙලාවක නුවරඑළියේ මන්ත‍්‍රීවරයෙක් විදියට ඔබ බලතල බෙදීම ගැන දක්වන අදහස මොකක්ද?

පැහැදිලිවම බලතල බෙදීමක් කරන්න අවශ්‍යයි. මෙය බහුවාර්ගික රටක් බවත් ඇත්ත. නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ එකම ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයා විදියට කටයුතු කරන මට තේරෙනවා බලතල බෙදීමේ වැදගත්කම. ජනතා අභිමතය නිවැරදිව නියෝජනය වෙන විදියට නියෝජිත ආයතනවලට නියෝජිතයන් පත්කර ගැනීමේ ක‍්‍රමවේදයක් හැදීමෙන් බලතල බෙදීම කරන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ මැතිවරණ ක‍්‍රමයක් හරහා බලතල බෙදීම අර්ථවත් කරගන්න පුළුවන්.

ඒ වුණත් බලය හරියට විකේන්ද්‍රගත කරන්න නම් පළාත් සභා හෝ එවන් ආයතනවලට වැඩි බලතල ලබාදෙන්න ඕනෑ නේද?

එහෙම අවශ්‍ය නැහැ. මේක විශාල රටක් නෙවෙයිනේ. විශාල රටක තමයි ප‍්‍රාන්ත හරහා බලතල බෙදීම කරන්නේ. ලංකාව වගේ පුංචි රටක් තවත් බෙදන්න ඉතිරි වෙලා නැහැනේ. ඉන්දියාව ගත්තාම බලතල බෙදුවත් 212 වගන්තියෙන් අගමැතිවරයාට බලය ආපහු ගන්න පුළුවන්. ඕනෑම වෙලාවක අගමැතිවරයාට සංවරණයට බලය තියෙනවා. ඒ හරහා හිතුමතේ ප‍්‍රාන්තවලට වැඩ කරන්න බැහැ. ලංකාවේ අගමැතිට ඒ වගේ බලයක් නැහැ. මේ වගේ පුංචි රටක් බෙදා පාලනය කිරීම හරහා යහපතක් වෙන්නේ නැති බවයි මගේ අදහස. සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදිලා හිටියොත් නෙවෙයි මධ්‍යම ආණ්ඩුව හරහා සාධාරණ නියෝජනයක් ලබා දීමෙන් තමයි මේ ප‍්‍රශ්නවලට විසඳුමක් දෙන්න පුළුවන් වෙන්නේ.

එහෙත් බලතල පරිපාලනයේ පහසුව වෙනුවෙන් භාෂා දෙකක් කතා කරන රටක බලතල බෙදීම රට බෙදීයාමට හේතුවන එකක් නැහැ නේද?

මෙච්චර පුංචි රටක බෙදීම හැර වෙන විකල්පයක් ඇත්තේම නැද්ද? ලංකාව වර්ග සැතපුම් පුංචි ගාණක් තියෙන රටක්. දහතුන්වැනි සංශෝධනයෙන් කළ වැඬේ ප‍්‍රතිඵල තාමත් පේනවානේ. බෙදීම් කියන ඒවා සූක්ෂ්මව සැලසුම් කරන්න ඕනෑ. ඉස්සර රටේ වැඩිවන ජනගහනය අනුව රුහුණු පිහිටි මායා කියලා බෙදලා තිබුණා. ඒත් ඒ බෙදීම් අදට ගැළපෙන්නේ නැහැ.

එහෙත් උතුරු පළාතෙන් බලතල බෙදීමක් ඉල්ලනවා. පළාත් සභාවෙන් පවා ඒක සම්මත කරලා තිබුණා නේද?

ඔවුන් ඒ ඉල්ලීම් ඉල්ලන්නේ වර්ගවාදය මත. ලංකාවට වර්ගවාදයක් අවශ්‍ය නැහැ. දැන් ඉන්දියාවේ ඒ වගේ වර්ගවාදයක් නැහැ. කවුරුත් ෂාරුක් ඛාන්ව පාකිස්ථානයට යවන්න කියලා ඉල්ලන්නේ නැහැනේ. උතුරු පළාත් සභාව හෝ විග්නේශ්වරන් කියන දේවල් සලකා බලන්නවත් අවශ්‍ය නැහැ. ඒවා වර්ගවාදය මත කරන ප‍්‍රකාශයන්. ඒවාට පිළිතුරු දීලා වැඩක් නැහැ.

නව ව්‍යවස්ථාවක් එක්ක නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ දෙමළ භාෂාව කතා කරන ජනතාව සිටින ප‍්‍රදේශවලට පරිපාලන පහසුව වෙනුවෙන් ප‍්‍රාදේශීය සභා ඒකකයක් හදන්න කියලා ඉල්ලලා තියෙනවා නේද?

ඒවා අවශ්‍ය නැහැ. එහෙම ප‍්‍රශ්නයක් නැහැ. ජනතා වරමකින් ප‍්‍රාදේශීය සභාවලට බලය දීලා තියෙනවා. ඒවාට අවශ්‍ය විදියට පාලනය කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. තවත් කඩන්න අවශ්‍ය නැහැ. අනික ඔය යෝජනා කරන්නේ තේ වත්තේ තේ දලූ කඩාගෙන මහන්සි වෙන මිනිස්සු නෙවෙයි. කොළඹ සැප පුටුවල ඉන්න පුද්ගලයෝ. සීත කාමරවල ඉඳන් සිතියම් ඇඳලා ප‍්‍රශ්න විසඳන්න බැහැ.

ඔබ කීවා බලතල බෙදීම මැතිවරණ ක‍්‍රමයකින් කළ හැකියි කියලා. මැතිවරණ ක‍්‍රමයේ කෙබඳු වෙනසක් විය යුතුද?

ආසන ක‍්‍රමය ඇතිකළ යුතුයි. පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂයේ නායකයාට පැහැදිලි බලයක් එක්ක අගමැති ධුරය ලබාගන්න පුළුවන් විය යුතුයි පාර්ලිමේන්තු ක‍්‍රමයක් ඇති කරනවා නම්. දහනවවැනි සංශෝධනයෙන් අගමැතිගේ බලය වැඩිකළේ විසිවෙනි සංශෝධනයෙන් ඒකට ගැළපෙන මැතිවරණ ක‍්‍රමයකුත් ගේනවා කිව්ව නිසා. ඒත් දහනවය පමණක් සම්මත කරලා විස්ස සම්මත නොකර ඡුන්දයකට ගියා. දැන් මීළඟ මැතිවරණය තව අවුරුදු හතරහමාරකින් අඩුම ගාණේ පවත්වන්න වෙන්නේ. අවුරුදු දෙකකින් විසුරුවන්න පුළුවන් වුණු එක අවුරුදු හතරක් කළා. මැතිවරණයට අවුරුදු හතරක් තිබුණත්, ව්‍යවස්ථාවක් ගෙනෙන බව කිව්වත් ආණ්ඩුව මුලින් කළයුත්තේ විස්ස සම්මත කරලා ඉන්න එක. මැතිවරණය දෙදාස් විස්සේ වෙන්න පුළුවන්. ඒත් මේ වැඩවලින් පාර්ලිමේන්තුව හෑල්ලූ වෙනවා. අගමැතිවරයාට එයාගේ පක්ෂයේ බහුතරයක් නැතිව ඒකාධිපති විදියට වැඩ කරන්නේ.

ස්වාධීන කොමිෂන් සභාවලට තියෙන බලතල ප‍්‍රමාණවත් කියා හිතනවාද?

ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභා ඇති කළාට ඒවා ස්වාධීන නැත්නම් වැඩක් නැහැ. නීතිය හා සාමය රකින්න ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන වෙන්න ඕනෑ. ලේකම්ලා කෙළින්ම අනුමත කරලා යවනවා නම් වැඩක් නැහැ. ඒකපාර්ශ්වීය තීන්දු ගන්නත් බලපෑම්වලට යටත් වෙන්නත් ස්වාධීන කොමිෂන් තිබිය යුතු නැහැ. සමහර අය පත්කරනකොට නම් තුනක් එවනවා. තවත් අය පත්කරනකොට එක නමක් එවන්න කියනවා නම් වැඩක් නැහැ. අපේ කාලය දැන් අවසානයි. ස්වාධීන කොමිෂන් සභා හරහා පාලනය වන ස්වාධීන ආයතන අවශ්‍ය වන්නේ අපේ දරුවන් වෙනුවෙන්. කොමිෂන් පිහිටුවීම නෙවෙයි හපන්කම. ඒවා ඇත්තටම ස්වාධීන වෙන්න ඕනෑ. දැන් බලන්න මූල්‍ය වංචා විමර්ශනයට හදපු කොමිෂන්වලින් ගෙන්වන්නේ විපක්ෂයේ අය විතරයිනේ. මූල්‍ය වංචා විමර්ශනය කරනවා නම් දෙපැත්තේම වංචා විමර්ශනය කරන්න ඕනෑ. ආණ්ඩුවට හේත්තු වුණාම පරීක්ෂණ නවතිනවා නම් වැඩක් නැහැ. වෛරයෙන් ගන්න තීන්දු නිසා රටට ලොකු විනාසයක් වෙන්න ඉඩ තියෙනවා. එයාලා හැමදාම බලයේ ඉන්නේ නැහැනේ.

ඔබ කියන්නේ ආණ්ඩුව තීන්දු ගන්නේ වෛරයෙන් කියලාද?

සමහර ඒවා වෛරයෙන් ගන්න තීන්දු බව පැහැදිලිව පේනවා. අපක්ෂපාතී තීන්දු නොවන බව පැහැදිලියි. ආණ්ඩුව ලෝකයට ස්වාධීනයි කියලා පෙන්වනවා. ඒත් පාර්ලිමේන්තුව ඇතුළේ කැලෑ පාලනයක් ක‍්‍රියාත්මක කරනවා. විනිවිදභාවයක් නැති තීන්දු ගන්නවා. නවසීලන්තයේ කථානායකවරයා වරක් අගමැතිවරයාත් පාර්ලිමේන්තුවේ හැසිරීම නිසා එළියට දැම්මා. ලංකාවේ එහෙම කරන්න තියා කථානායකට කෙළින් ඉන්නත් බැහැ. ලෝකයේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුව ඇතුළේ ඡන්දයක් පවා වංචා කළා පාර්ලිමේන්තුවේ නිලධාරීන් විසින්. නිලධාරීන්ට ස්වාධීනව වැඩ කරන්න පුළුවන් වුණත් ඒ අයට වැඩ කරන්න නිදහස නැති කරලා තියෙන්නේ. ව්‍යවස්ථා වෙනසකින් විය යුත්තේ ඒ අයට නිදහස ලැබෙන එක.