රාවය

ගංවතුරෙන් ඉහළට එසැවුණු සේදවත්ත

ගංවතුරෙන් ඉහළට එසැවුණු සේදවත්ත

තරිඳු උඩුවරගෙදර

සිවනේ මුරුගා…. සාදු සාදු…… අල්ලාහ්…… ජේසු පිහිටයි
එකිනෙකා තම තමන්ගේ දෙවිවරුන්ව අමතන හඬ ඇසේ. සේදවත්තට කියා ආගමක් නැත. සේදවත්ත ජාතියකට අයත් නැත. හැම ආගමක්ම හැම ජාතියක්ම ඇත. අප සිටියේ අලූත් කැලණි පාලම යට සර්වාගමික සේදවත්තේය.
සර්වාගමික කතාව සේදවත්ත සම්බන්ධයෙන් විශේෂ වන්නේ එහි ආගම් හතර අතරෙහිම මිශ‍්‍ර වී ගිය පවුල් සිටින නිසාය. බිරිඳ පුෂ්පරාණි වෙද්දී තාත්තා මුසම්මිල් වී දියණිය ෆාතිමා විය හැකිය. එකම පවුලේ එක් දියණියක් දෙමළ භාෂාවෙන්ද, අනෙක් දියණිය සිංහල භාෂාවෙන්ද ඉගෙනුම ලබනවා විය හැකිය. ඒ කොළඹ හැටිය. සාහිත්‍යකරුවෝද සමාජ විචාරකයෝද මේ අයට ලූම්පන් යැයි කියනවා විය හැකිය. නවලෝකපුර, සේදවත්තට උඩින් සැප වාහනවලින් මෙන්ම බස්රියෙන්ද කොළඹට ඇතුළුවන අය මේ අයට කුඞ්ඩෝ යැයි කියනවා විය හැකිය. එසේ නැත්නම් වෙනස් අපහාස නාමයකින් හඳුන්වනවා විය හැකිය. අදාළ නැත. අද ඔවුන් පාලම පහළ සිට පාලම උඩට පැමිණ ඇත. ගංවතුර සමග ඔවුන් පාලමෙන් පහළ තබා බැලූ දැන් අය පාලම උඩ තබා ඔවුන් දෙස බලති. සුපිරි වාහනවලින් පැමිණ මහා පිනකැයි සිතා ඔවුන්ට නොයෙක් දේ ලබා දෙති.

අප සතුව ඔවුන්ට දෙන්නට කිසිවක් තිබුණේ නැත. අපි හිස් අතින් ගියෙමු. කැමරාවක්ද, රෙකෝඩරයක්ද රැුගෙන ගියෙමු. ගංවතුරෙන් ඉහළට එසැවුණු ඔවුන්ගේ ජීවිත දෙස බලනු රිසින් ගියෙමු. අද පාලමේ ඉහළට ආවත් හෙට මේ ජීවිත පාලමෙන් පහළට යනු ඇත. හෙමිහිට වුවත් ඔවුන්ගේ ජීවිත පටන්ගනු ඇත. අද මහා කරුණාවෙන් බත් පැකට් බෙදූ අය හෙට ඔවුන්ගේ පහළට එක් බැල්මක් පමණක් හෙලා අහක බලාගනු ඇත.

පාලම උඩ යමක් ලැබෙන තුරු අලසව බලා සිටින ජීවිත කිහිපයක් කතාබහට අල්ලාගන්නට අපි තැත් කළෙමු. අතේ බෙදන්න කිසිවක් නැත්නම් කතාවට මැලිය. ආධාර රැගත් වාහනයක් පැමිණිය හොත් සියල්ලන් ඒ වටා වටවෙති.
කිහිපදෙනෙක් සමග අපි කතා කළෙමු.

‘ ඕකා කුඩුකාරයා..’ කා සමග හෝ කතා කළ පසු පසෙකින් තවත් කෙනෙකුගේ මිමිණුම් හඬක්ද, අතරින් පතර හඬනඟා කියන කුණුහරුප වැලක්ද ඇසෙන්නේය.
‘ඔක්කෝම ගහගෙන ගියා..’ ඇතැමෙකුගේ කෙඳිරිය ඇසේ.

පොත් වේලන ෆාතිමා

අපට මුලින්ම හසුවූ දර්ශන අතර පොත්පත් වේලන දියණියක වහා අවධානය දිනාගන්නා සුළු එකක් විය. ඇගේ නම ෆාතිමාය. ෆාතිමාගේ පියා වැස්සේම ගොස් ෆාතිමාගේ සහ අයියාගේ පොත්පත් බේරා ගෙනැවිත් ඇත. ඒවා කැලණි පාලම උඩ අතුරා තිබේ. උත්සාහය වේලන්නටයි. ඇගේ ඉස්කෝලේ ඇඳුම් බේරාගැනීමට හැකිවී නැත. ඇයත් ඇගේ අසල්වැසි දරුවනුත් පාලම මත දුවමින් පනිමින් සිටින්නේ සිදුව ඇති විනාශය නොදැන නොවේ.

ෆාතිමාගේ අම්මා පුෂ්පරාණිය. ඇය අප සමග කතාබහට එක්වන්නීය. දින ගණනක් තිස්සේ එකම ඇඳුම සමග සිටීමෙන්ද, තේ වේලක් හෝ බොන්නට නොමැති වීමෙන්ද ඇය සිටින්නේ වෙහෙසින් යුතුවයි.

‘මම කීර කොටුවේ වැඩ කරනවා. මහත්තයා මැනිං මාකට් එකේ වැඩ කරනවා. මේ දවස්වල මහත්තයාට වැඩ නෑ, මැනිං මාකට් එකෙත් වැඩ නෑනේ. ළමයින්ට ශිෂ්‍යත්වයක්වත් ලැබුණොත් හොඳයි. නැත්නම් ආයෙමත් පරණ ජීවිතේම තමයි. ළමයාගේ ඉස්කෝලේ ඇඳුම පවා ආයෙමත් ගන්න අපට සල්ලියක් කොහෙන්ද?’ එසේ පවසන ඈ ඈත කෙළවරක් බලන්නීය.

ඊ.ඒ. චන්ද්‍රාවතී මහත්මිය අප සමග කතා කරන්නේ ඇගේ මිණිපිරිය ළඟ තබාගෙනයි.
‘පුතේ මට ආධාරවලට වඩා ලොකු උදව්වක් කරන්න. මේ ළමයාගේ තාත්තා ඉන්නේ රිමාන්ඞ් එකේ. අම්මා ඕමාන්වල. එයා සල්ලි එවන්නේ නැහැ. තාත්තාව උසාවියට ගන්නවා තිස්වැනිදා. කොහොම හරි එයාට ඇප අරන් දෙන්න. පන්දාහක්වත් ඕනෑ වෙයි ඇප ගන්න. දැන් මේ ළමයාව බලාගන්න වෙලා තියෙන්නේ මට. දැන් මට හැත්තෑ දෙකක්. ළමයාව ගෙදර දාලා මට වැඩට යන්න බැහැ. මම කරන්නේ කුලී වැඩ. මෙයාව තාත්තාට බාරදෙන්න ඕනෑ. ළමයෙක් අරන් ගියාම කවුරුත් වැඩ දෙන්නේ නැහැ. දැන් මේ ළමයාගේ ඔක්කොම දේවල් වතුරට ගහගෙන ගිහින්. ඉස්කෝලේ ඇඳුම්වත් අරන් දෙන්න සල්ලි මට නැහැ. තව දවස් දෙකක් යද්දී මේ ආධාර නවතීවි. ඉන්පස්සේ අපි ජීවත් වෙන්න ඕනෑ. ආධාර විතරක් නෙවෙයි අපි වෙනුවෙන් ඊට වඩා දෙයක් කරන්න මහත්තයෝ.’

‘ළමයින්ව අරන් දැන්ම ගෙවල්වලට යන්න බෑ, දැන් අස්කර් කියන ළමය දවස් ගාණක් තිස්සේ වතුරට බැහැලා කකුලේ ගෙඩියක් ඇවිල්ලා. වතුර ගියාට විසබීජ තියෙනවානේ.’ රමේෂ් අප සමග කතාබහ පටන් ගනියි.
‘අපි දවස් ගාණක් තිස්සේ මේ ඇඳුම ඇඳන් ඉන්නේ. ඇඳුම් එහෙම ආධාර විදියට ගෙනාවාට ඒවා ගන්නේ කිහිප දෙනෙක් විතරයි. ඒවා විකුණනවා. කිහිපදෙනෙක් මේකෙන් ලොකු ආදායමක් හෙව්වා.’
ඔවුහු ළමයින්ගේ අධ්‍යාපනය ගැන වදවෙති. අධ්‍යාපනය ලැබුවහොත් ගංවතුරක් නැතිව වුව පාලමෙන් උඩ ලෝකයට යා හැකිය. ගංවතුර නොඑන උසක හතරේ හතරට වැඩියෙන් ලොකු ඉඩක නිවසක් හදාගත හැකිය. ඒ වෙනුවෙන් ළමයින්ට උගන්වනු පිණිස හෙට ඔවුන් වෙනුවෙන් කුමක් කරන්නදැයි සිතති. පාලම උඩ ජීවිත වැඩිහරිය ඒ ගැන කල්පනා කරන්නට විය.

ගෙවල් සුද්ධ කළ පසු

සතියක් තිස්සේ උඩට එසැවී සැමට පෙනෙන්නට සිටි නවලෝක පුර ජීවිත ආයෙමත් යටට යන්නට පටන්ගත්තේ වතුර බැස යන නිවාස සුද්ධ පවිත‍්‍ර කරමින්ය. ඒවා අස්සේ සේදවත්ත සිටියේ අලූත් ජීවිත පටන්ගන්නා හැටි අහසට පොළොව ගැටගසමිනි.

‘අපි දවසේ පඩියට වැඩකරන මිනිස්සු. සීනි සීයක්, තේකොළ පණහක්, පරිප්පු දෙසීයක් ගන්න විතරයි සල්ලි ලැබෙන්නේ.’ පීඩිතම හඬවල් කීවේ එසේය.

මාසෙකට ලක්ෂෙ හොයන අය පවා සේදවත්තේ සිටින බව ඒ හඬවල්වලින්ම කියැවිණි.
‘සිරියා කියන්නේ අරයාට. ගංවතුර ආධාරවලින්ම පණහක් හැටක් හොයන්න ඇති. ඇඳුම් එහෙම උදුරගෙන වික්කා.’ ඇඟිල්ල දිගුකර පෙන්වමින් ඒ හඬවල් එසේ කියයි. ලැබුණු බොහෝ දේ තමන්ගෙන් කොල්ල කෑ බව ඔවුහු කියති.
ඒවා අදාළ නැත. මේවා කිසිවක් පිළිවෙළකට, ආණ්ඩුවක ආපදා කළමනාකරණ වැඩසටහනකින් ලැබුණු දේවල් නොවේ. ඉතින් ඒවා සමාන ප‍්‍රමාණයකින් හෝ අවශ්‍යතා සලකා ලැබෙන දේ නොවේ. මහා කරුණාවක් පෙන්වමින් තමන්ගේ වෙළඳ නාමයන් ප‍්‍රදර්ශනය කරගැනීමත්, ෆේස්බුක් වීරයන් වෙන්නටත්, වරදකාරී හෘදය සාක්ෂ්‍යයන්ට සමාව සොයන්නටත් පැමිණි ආධාර ගොඩවල් අපිළිවෙළට සේදවත්ත පුරා විසුරුවා හැර ඇතත් ඒවායින් ජීවිත පිළිවෙළක් කරගන්නට නොහැක. ඉතින් මේ ජීවිත ගෙවල් සුද්ධ කළ පසු ජීවිත පටන් ගන්නා හැටි ගැන වදවෙති.
සේදවත්ත පන්සලට යනවිට නවලෝක පුරේ වසන්ති අක්කා වැඩ ගොඩක පැටලී සිටින්නීය. ඇය ඒ මොහොතේ සිටියේ වතුර බෙදමින්ය. ඇය වැඩකරන්නේ සේදවත්ත ග‍්‍රාමසේවක මහතා ළඟය.

‘හොඳට හදාගත්ත ගෙවල් පවා යටවුණා. දුප්පත් මිනිස්සුත් යටවුණා. වෙනසක් නැතිව වතුර ගැලූවා.’ වසන්ති අපව සිය නිවස ළඟට ගෙන ගියාය. තට්ටු දෙකක ඇගේ නිවස තුළ ඇඳුම් අල්මාරි ඇතුළු බඩු භාණ්ඩ රැුසක් යටවී ඇත.
සේදවත්ත නවලෝක පුර යනු අපාය නොවේ. සේදවත්ත යනු බාල ගණයේ මිනිසුන් සිටින අඩවියකැයි හංවඩු ගැසී තිබෙනවා විය හැක. සේදවත්තේ බහුතරය පාසලේ, කාර්යාලයේ සරසවියේ මිතුරන්ට පවසන්නේ තම නිවස අතුරුගිරියේ හෝ කඩුවෙල ඇතැයි කියාය.

‘අයියා අපි ලොකු ඉස්කෝලවලට යන්නේ.. ෆොටෝ ගහන්න එපා.. යාලූවෝ දැක්කාම විහිලූ කරයි.’ තරුණියක එසේ පවසන්නේ අප අත ඇති කැමරාව දුටු පසුය. තමන්ගේ නිවස හංගන්නට ඔවුන්ට සිදුව තිබුණි.
සැබැවින්ම සේදවත්තේ සුවපහසු ජීවිත තිබෙන්නේය. දුක්ඛිත ජීවිතද තිබෙන්නේය. සියල්ලට යටකරමින් ගැලූ ගංවතුරට පසු ඔවුහු පාලම උඩට පැමිණියහ. හිත උණුවෙනවා යැයි කියමින් ජනගංගා බැහැරින් පාලම උඩට පැමිණ ඔවුන් දෙස බැලූහ. හෙට සේදවත්තට නවලෝක පුරට ලැබෙන තැන කුමක්දැයි වසන්තිලා අපෙන් විමසති.

පරණ ජීවිතයට පැමිණීම

මැනිං මාකට් එකේ වැඩකරන රවුස්ඞීන් අප යනවිට සිටියේ නිවස හෝදමින්ය.
‘තියෙන කෑම එක කාලා පාඩුවේ ඉන්නවා. මාකට් එකත් යටවෙලානේ. ආයේ ගිහින් වැඩ පටන්ගන්න ඕනෑ. ටීවි, ෆෑන් ඔක්කොම බඩු යටවෙලා නිසා ආයෙමත් ඒවා හදාගන්න වෙනවා. නෝමල් ජීවිතේට එන්න තව දවස් ගාණක් යයි. අපට ඉල්ලන්න දේවල් තියෙනවා. ගෙවල් යටවුණ අපට කෑමබීම විතරක් දීලා මදි. ලැබෙන්න ඕනෑ දේවල් තියෙනවා. පුළුවන් නම් ඒවා ගන්න අපට උදව් කරන්න. අපට හයියක් ලැබෙනවා නම් අපි ඉස්සරහට ඇවිත් කතා කරනවා.’ රවුස්දීන් කෑම වේලට එහා ගිය වෙනසක් පතන්නේය. ඒ වෙනුවෙන් සටන් කරන්නට සිදුවන්නේ නම් ඒ සමග එක්වන්නට ඔහු සූදානම්ය. එහෙත් කිසිවෙක් සටන් නොකරනු ඇත. හෙට ඔවුන්ට නෝමල් ජීවිත පටන්ගන්න සිදුවනු ඇත.

රමේෂ් අලූත් පාලම යට කැලණි ගඟ අයිනේම ලෑලි නිවසක පදිංචිව සිටින විවාහක තරුණයායි. වතුර වැඩිවී අලූතින් හැදුණු කැලණි ගෙඟ් දිය සුළියක් ඔහුගේ නිවස තුළ හැදී තිබුණි. ලෑලි ගෙදර පැත්තකින් කඩාවැටී ඇත. කුස්සි කෑල්ලේ සින්ක් එක ඇතුළු සියලූ බඩු භාණ්ඩ වතුරට ගහගෙන ගොස් ඇත. ඔහුත් බිරිඳත් සමග කුඩා දරුවෙකි. ඔහුගේ නිවසට ඉහළින් පාලමේ යන සුපිරි වාහනවලට පෙනෙන්නට ඇති සුප‍්‍රසිද්ධ ඇඳුම් වර්ගයක විශාල දැන්වීම් පුවරුවේ සිටින තරුණයා මෙන්ම රමේෂ්ගේ සිරුරද දිදුළමින් හැඩ වී ඇත. ඒ රමේෂ් කායවර්ධන ව්‍යායාම් කරන නිසා හෝ විවේකී හැන්දෑවල ජොගින් පාත් යන නිසා නොව හැමදාම වැඩකරන නිසාය. මැනිං මාකට් එකේ රස්සාවට හෙට රමේෂ් යා යුතුය.

‘දැන් ඇඳක් ගන්නවත් සල්ලි නැහැ. අපට වෙන මොනාවත් ඕනෑ නැහැ. මේ ගේ පොඞ්ඩක් හදලා දෙන්න බලන්න. ගේ හදාගන්න පුළුවන් වුණොත් අපට හෙට ආයෙත් පරණ ජීවිතේ පටන්ගන්න පුළුවන්. ඒ ජීවිතේ අමාරුයි තමයි. ඒත් අපි කොහොම හරි ජීවත්වෙන්නම්. ගේ විතරක් හදලා දෙන්න. අපි සුපිරි වාහන ඉල්ලන්නෙ නෑනේ.’ දැන් ගෙයක් යැයි හඳුන්වන්නට බැරි තරම් අබලන් වී ඇති නිවසෙහි කුමක් කරන්නදැයි නොදැන බලාසිටින රමේෂ් එසේ අපෙන් ඉල්ලන්නේය.

සේදවත්තෙන් නොලියා අතහරින්නට නොව ලියන්නට දේ පමණක්ම මුණගැසුණි. සේදවත්තට ඇති තැන කුමක්ද? සේදවත්තේ ඇතැමුන්ගේ නෝමල් ජීවිතයත් අවතැන්වීමක් නොවේදැයි අපට සිතේ. මේ අවතැන්වීමෙන් පසුවවත් මේ ජීවිතවලට නිසි තැනක් ලැබෙනු ඇතිද?

වැස්සකට මෙන් අහස බර වෙයි. සේදවත්තේ ඔවුහු අහස දෙස බියෙන් මෙන් බලති. ආයෙමත් යට වෙන්න තියෙන්නේ මොනවාද? සම්පූර්ණ ක‍්‍රමයම හේදිලා යන්න වැහැපන් වැස්සක්. අපට එසේ සිතේ.