Monday, 21/8/2017 | 3:41 UTC+0
රාවය

කට්ටිපැන්න මහේස්ත‍්‍රාත් භාරවෙයි‍. හිතවත් මහේස්ත‍්‍රාත් ඇප දෙයි

අරුණ ජයවර්ධන

නීති විරෝධී ලෙස කැළයෙන් අල්ලා ගන්නා ලද අලි පැටියකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සීඅයිඞී) ඉදිරිපත් නොවී දින 20ක පමණ කාලයක් අතුරුදන්ව සිටි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ජුනි 2 වැනිදා ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට භාරවූ අතර, ඔහු ඇප මත මුදාහැරීමට මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න තීරණය කළේය.

සැකකාර මහේස්ත‍්‍රාත් වරයාට පොදු දේපළ පනත යටතේ චෝදනා නැගීමට ප‍්‍රමාණවත් සාක්ෂි තිබෙන බැවින් ඔහුගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා සීඅයිඞීයට උපදෙස් දී තිබුණු නමුත් ගංගොඩවිල මහේස් ත‍්‍රාත්වරයාගේ තීරණය වූයේ අලි පැටියා පොදු දේපළ පනත යටතට නොවැටෙන බවය. ඒ අනුව රුපියල් ලක්ෂ 25ක පෞද්ගලික බැඳුම්කර හතරක් (ඉන් එක් අයකු රජයේ සේවකයකු විය යුතුය.) හා ලක්ෂ 5ක මුදල් ඇපයක් මත සැකකාර මහේස්ත‍්‍රාත්වරයා මුදා හැරිණි.

ඇප ලබාදීම සම්බන්ධව මහේස්ත‍්‍රාත්වරයා සිය තීරණය දුන්නේ සවස 6.45ට පමණ වන අතර, ඉන් පැය භාගයක වැනි කාලයක් තුළ තිළිණ ගමගේ මහතා පෞද්ගලික ඇපකරුවන් කැඳවාගෙන, ඔවුන්ගේ පෞද්ගලික විස්තරද තහවුරුකොට ලක්ෂ 5ක ඇප මුදල් ද තැන්පත් කර අධිකරණ භූමියෙන් පිටව යනු දක්නට ලැබිණි. සාමාන්‍යයෙන් සිදු නොවන පරිදි අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා මෙදින සවස 7 දක්වාද සේවයේ යෙදී සිටිනු දක්නට ලැබීම විශේෂය.
ඇප විමසීම ආරම්භ යේදීම රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් මහේස්ත‍්‍රාත්වරයා අමතමින්, ‘ඔබතුමාට සැකකාර මහේස්ත‍්‍රාත්වරයා සමග රාජකාරිමය සම්බන්ධතාවක් පමණක් තිබේ නම් ගැටලූවක් නැති නමුත් කිසියම් හෝ පෞද්ගලික සම්බන්ධතාවක් තිබේ නම් මේ විමසීම ඔබ විසින් කිරීම සුදුසුදැයි තීරණය කරන ලෙස ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් විමසීම දිගටම කිරීමට මහේස්ත‍්‍රාත්වරයා කටයුතු කළේය. ගංගොඩවිල මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න හා සැකකාර මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ සමීප මිතුරන් බව නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධය.

මේ නිසාමදෝ මෙම විමසීම මුලින් විභාගයට ගැනුණු මැයි 30 වැනිදා තමා මේ විමසීම කරනවාට විරෝධයක් ඇත්දැයි මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න විවෘත අධිකරණයේදී විමසූ අතර ඒ පිළිබඳ තීරණය කරුණු සලකා බලා ඔබතුමාම ගන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා පිළිතුරු දී තිබුණි.

ප‍්‍රකාශයක් සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී දින 20ක් ගතවනතුරුත් තිළිණ ගමගේ මහතා ඊට ඉදිරිපත් නොවී කට්ටි පනිමින් සිටි අතර, සීඅයිඩියේ කණ්ඩායම් දෙකක් ඔහු සෙවූ නමුත් සොයාගැනීමට ලැබුණේ නැත. එහෙත් ඔහුගේ නිවසට දිගින් දිගටම පොලිස් ආරක්ෂාව යොදා තිබෙනු දක්නට ලැබිණි.