රාවය

පල්හොරකු සේ නීතියෙන් කට්ටි පැන්න අපූරු මහේස්ත‍්‍රාත්

පල්හොරකු සේ නීතියෙන් කට්ටි පැන්න අපූරු මහේස්ත‍්‍රාත්

කේ.ඩබ්ලිව්. ජනරංජන

අලි හොරකමකට සැකකරෙන කොළඹ අති රේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ජුනි 1වැනි බදාදා වන විටත් සීඅයිඞීයට ප‍්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණ තිබුණේ නැත.

මැයි 12 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුව ඔහු ඇතුළු හතර දෙනකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සීඅයිඞීයට උපදෙස් දුන් අතර, ඒ නියමය අනුව, 13 වැනිදා පැමිණ ප‍්‍රකාශයක් ලබාදෙන ලෙස සීඅයිඞීය සැකකාර මහේස්ත‍්‍රාත්වරයා ඇතුළු හතර දෙනාට දැනුම් දුන්නේය. එහෙත් මහේස්ත‍්‍රාත්වරයා 13 වැනිදා සීඅයිඞීයට ආවේ නැත. ඒ වෙනුවට නීතිඥයකු මාර්ගයෙන් ලියුමක් එවා 18 වැනිදා එහි එන බවට පොරොන්දු වුණේය. 18 වැනිදාත් ඔහු ආවේ නැත. ඒ වෙනුවට නීතිඥයකු මාර්ගයෙන් 25 වැනිදා දිනය ඉල්ලා ගන්නා ලදි. ගමගේ මෙසේ සීඅයිඞීය මඟහරිමින් සිටින බව විමසා දැනගත් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය 18 වැනිදා තිළිණ ගමගේට නියම කළේ, මැයි 25 වැනිදා සීඅයිඞීයට ගොස් ප‍්‍රකාශයක් ලබාදෙන ලෙසය. (අලි හොරකමට සම්බන්ධ වෙනත් නඩුවකදී, 20 වැනිදා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා විවෘත උසාවිය අමතමින් කීවේ, සීඅයිඞීය තිළිණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ඉල්ලා සිටියොත් තමා එය වහාම නිකුත් කරන බවය.)

25 වැනිදාත් සැකකාර මහේස්ත‍්‍රාත්වරයා සීඅයිඞීයට ආවේ නැත. ඉන් පෙනෙන්නේ ඔහු වුවමනාවෙන්ම නීතිය ඉදිරියට ඒම මඟහරින බවකි. ලංකාවේ නීතිය අනුව පරීක්‍ෂණයකට සහාය වන ලෙස රජයේ නිලධාරියකු දැනුම්දීමක් කළ විට එය පැහැර හැරීම වරදකි. ඊටත් අමතරව, ඔහුට සීඅයිඞීයට යන ලෙස මහේස්ත‍්‍රාත්වරයාද නියෝග කොට තිබේ. එය නොසලකා හැරීම උසාවියට අපහාස කිරීමකි. සැලකිය යුතු කාලයක් මහේස්ත‍්‍රාත්වරයකු ලෙස සේවය කර ඇති තිළිණ ගමගේ මේ තත්ත්වයේ බරපතළකම නොදන්නවා විය නොහැකිය. මේ තත්ත්වය මත සීඅයිඞීයේ නිලධාරී කණ්ඩායම් දෙකක් සැකකාර මහේස්ත‍්‍රාත්වරයා සොයාගැනීම සඳහා උත්සාහ කළහ.

27 වැනි සිකුරාදා තිළිණ ගමගේගේ නීතිඥවරු ඔහු වෙනුවෙන් අපේක්‍ෂිත ඇප අයැදුම්පතක් (තමා අත්අඩංගුවට ගන්නට යන බවට දැනගන්නට ලැබී තිබෙන අයකු, එසේ අත්අඩංගුවට පත්වීමට පෙරම උසාවියට ඉදිරිපත්වී ඇප ලබාගැනීම මෙයින් සිදුවෙයි.* ගංගොඩවිල උසාවියට ඉදිරිපත් කළෝය. ගංගොඩවිල උසාවියේ මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න තිළිණ ගමගේගේ සමකාලීනයකු හා සමීපතමයකු බව මුළු නීති ක්‍ෂෙත‍්‍රයම දනියි. ඔහු ඒ සිකුරාදා තිළිණ ගමගේගේ ඇප අයැදුම්පත විමසීමට ගෙන ගමගේගේ පාර්ශ්වයෙන් ඉදිරිපත්කළ කරුණුවලට සවන්දුන්නේය. ගමගේ මහතාගේ නීතිඥයන් උසාවියට කීවේ, සීඅයිඞීය තිළිණ සොයා ඔහුගේ නිවසට පැමිඅණ ඇති බවත්, ඒ නිසා ඔහුගේ මව බියට පත්වී ඇති බවත්ය. තිළිණ අත්අඩංගුවට ගතහොත් ඔහුට ආපසු හැරවිය නොහැකි අගතියක් සිදුවන බවද ඒ නීතිඥවරු කියා සිටියෝය. මේ කරුණුවලට සවන්දුන් මහේස්ත‍්‍රාත්වරයා වැඩිදුර විමසීම මැයි 30වැනිදාට තබා, වහාම සීඅයිඞීයට නොතීසි නිකුත් කරන ලෙස නියම කළේය. සාමාන්‍යයෙන් නඩුවලදී නොසිදුවන ආකාරයේ වේගයකින් මේ දේවල් සිදුවූ අතර, සීඅයිඞීයට නොතීසිය යවා තිබුණේ ෆැක්ස් මාර්ගයෙනි. ඒ සිකුරාදාම සවස 4.16 වන විට සීඅයිඞීයට ෆැක්ස් පණිවිඩය යවන ලදි. දුරකථනයෙන්ද ඒ ගැන සීඅයිඞීයට විශේෂයෙන් දන්වා සිටින ලදි.

30 වැනිදා තිළිණ ගමගේ ගංගොඩවිල උසාවියට ආවේ නැතිවුණත් ඔහු වෙනුවෙන් විශාල නීතිඥ මඬුල්ලක් පෙනීසිටියේය. සීඅයිඞීය තමන් වෙනුවෙන් පෙනීසිටින්නට නීතිපති වරයාට දන්වා තිබුණු අතර, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් නීතිපති වෙනුවෙන් එහි පැමිණ සිටියේය. තමා තිළිණ ගමගේගේ සමීපතමයකු නිසා ඔහුගේ ඇප අයදුම්පත විමසීමෙන් ඉවත්වීම ගංගොඩවිල මහේස්ත‍්‍රාත් වරයාගෙන් බලාපොරොත්තු විය හැකිව තිබුණත්, ඔහු විමසීම ආරම්භ කළේය. මහේස්ත‍්‍රාත් වරයා සම්බන්ධයෙන් නීතිපති වරයා මුණගැසී තවදුරටත් සාකච්ඡුා කිරීමට එහිදී ගමගේගේ නීතිඥවරුන් යෝජනා කළ අතර, නීතිපතිවරයාගේ මතය වුණේ, දැනටමත් කිහිප වතාවක් සීඅයිඞීය මඟහරිමින් සිටින ඔහු පළමුව සීඅයිඞීයට ගොස් ප‍්‍රකාශයක් ලබාදිය යුතු බවයි. නීතිය අනුව රජයේ නීතිඥවරයා ඇප ලබාදීමට මෙහිදී සම්පූර්ණයෙන්ම විරුද්ධ වූයේය.

සැකකාර මහේස්ත‍්‍රාත් වරයා සීඅයිඞීයට ඉදිරිපත්වීම වුවමනාවෙන්ම පැහැර හරිමින් තැනින් තැන සැඟව සිටින බව පෙනෙයි. 25 වැනිදා සිට සීඅයිඞී කණ්ඩායම් දෙකක් ඔහු සිටිනා තැන් ගැන සෙවිල්ලෙන් පසුවුණත් සිය ජංගම දුරකථනයද නිවා දමා ඔහු කොහේ හෝ සැඟවී ගොසිනි. ඒ අතින් සැකකාර තිළිණ ගමගේ මහතා සමාන වන්නේ නීතිය රකින නඩුකාරයකුට නොව, නීතියේ ඇස්වලට වැලි ගසා තැන තැන සැඟවී සිටින පල්හොරෙකුටය. සීඅයිඞීයට ඉදිරිපත් වුවහොත් තමා අත්අඩංගුවට ගනු ඇතැ’යිද, මාංචු දමා පොලිස් වාහනයකින් උසාවියට ගෙන එනු ඇතැ’යිද, උසාවියේදී අනෙකුත් සැකකරුවන් සමඟ එක බංකුවේ හිඳගෙන ඉන්නට සිදුවනු ඇතැ’යිද, අවසානයේ රිමාන්ඞ් වන්නට සිදුවනු ඇතැ’යිද යනුවෙන් සිතමින් මහේස්ත‍්‍රාත් ගමගේ බියට පත්ව ඇතිවාද දන්නේ නැත. මෙලෙස නීතියට කට්ටි පනිමින්, නීතියටත් උසාවියටත් අවමන් කරමින් ලජ්ජාසහගත කාලයක් ගෙවන්නේ ඒ නිසාදැ’යි දන්නේද නැත.

සමහර විට පාඨකයන් මේ ලිපිය කියවන විට ඔහු සීඅයිඞීය මඟහැර කෙළින්ම ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්වී තිබෙන්නටද පිළිවන. එහිදී ඔහුට ඇප ලැබෙන්නට හෝ නොලැබී යන්නටද පිළිවන. චෝදනා පොදු දේපළ යටතේ නැගී ඇති නිසා මහේස්ත‍්‍රාත් අධිකරණයකින් ඇප ලබා ගැනීමට නම් ඔහු සුවිශේෂ හේතු ඉදිරිපත් කළ යුතුය.

මේ අතර පසුගිය සතියේ, අලි හොරකමට සැකකාර තිළිණ ගමගේ නිර්දෝෂි බවත්, අලි හොරකමකට පටලවා ආණ්ඩුව ඔහුගෙන් පළිගැනීමක් කරන බවත් කියන්නට මන්ත‍්‍රී උදය ගම්මන්පිළ හා ඕමාරේ කස්සප හිමිද ඉදිරිපත්වූහ. එයින් පෙනෙන්නේ අලි හොරකම්වලට සම්බන්ධ මාෆියාවේ අහුකොන්වල ගම්මන්පිල, ඕමාරේ කස්සප හිමි වැනි අයද ස්ථානගතවී සිටින බවය. මේ අය මාධ්‍ය හමුවේ කීවේ, යටවර නමැත්තකුගෙන් ගමගේ අලියා නීත්‍යනුකූලව මිලදී ගෙන ඇති බවත්, අලියා සන්තකයේ තබාගැනීමට බලපත‍්‍රයක් ගමගේට ඇති බවත්, එනිසා ඔහු මේ සම්බන්ධයෙන් නිර්දෝෂී බවත්ය. එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත මේන්තුවේ විමර්ශන අනුව, මේ යටවර නම් පුද්ගලයා වෙත පරම්පරාවෙන් ලැබුණු හෝ ඔහු නීත්‍යනුකූලව මිලදී ගත් හෝ අලි පැටියකු සිටියේ නැත. එනිසා නීත්‍යනුකූලව අලියකු ගමගේට විකුණන්නට යටවරට බැරිය. එහෙත්, අලි පැටියෙක් සිටියි. එහි තේරුම මේ අලි පැටියා කොහේ හරි වනාන්තරයකින් අල්ලාගෙන ඇවිත්, යටවර නමින් හොරට ලියාපදිංචිකර ඇති බවය. කැලයෙන් අලි පැටව් අල්ලා ගෙනැ’විත් මුදලට ජාවාරම් කිරීමේ හා හොරට ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළේදී ජාවාරම් කරුවන් හා වංක සහයෝගයෙන් ඊට අනුබල දෙමින් වැඩ කළැ’යි සැකකෙරෙන වනජීවී දෙපාර්තමේන්තුවේ ලිපිකාරිනියක සහ තවත් නිලධාරියකු ද මේ වන විටත් සීඅයිඞීය විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කොට තිබේ. තිළිණ ගමගේගේ සිදුවීම සම්බන්ධයෙන්ද ප‍්‍රකාශ සටහන්කොට යළිත් උසාවියට ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් දුන් සිව්දෙනා අතර මේ දෙදෙනාද වෙති. නමින් ඔවුහු, හෙට්ටි පතිරන්නැහැලාගේ ප‍්‍රියංකා සංජීවනී හා පැස්කුවල් ෆොන්සේකා ලාගේ උපාලි පද්මසිරිය.

සීඅයිඞීය හා වනජීවී දෙපාර්තමේන්තුව විසින් වරින් වර අත්අඩංගුවට ගන්නා ලද අලි පැටවුන් 34කගේ මූලික ප‍්‍රශ්නය වූයේ මෙලෙස ජාවාරම් කරන ලදුව, හොරට ලියාපදිංචි කොට තිබීමය. මේ සමහරුන්ට තමන් සන්තකයේ සිටින අලි පැටවා ලියාපදිංචි කළ නිල සහතික තිබෙන නමුත්, ප‍්‍රශ්නය ඇත්තේ එම සහතික වංචනිකව සාදා තිබේද යන්නයි. ජාතික හැඳුනුම්පතක් හොරට සාදන්නකුගේ අතෙහි ජාතික හැඳුනුම්පතක් තිබේ. හැඳුනුම්පත එසේ තිබුණු පමණින් එය නීත්‍යනුකූල නොවන්නේ, හැඳුනුම්පත හොරට හැදූ එකක් බැවිනි. එනම් කූට ලේඛනයක් බැවිනි. අලි පැටවුන් සම්බන්ධයෙන්ද තත්ත්වය මෙයයි. ලියාපදිංචි බලපත‍්‍රයක් තිබිය හැකිය. එහෙත් එය හොරට හැදූ එකකි. එනිසා ඒ යටතේ සිටින අලියාද නීති විරෝධී එකෙකි. නීතිය අනුව, නීති විරෝධී අලි පැටවුන් යනු පොදු දේපළ පනත යටතට වැටෙන පොදු දේපළකි. එහෙත් ගම්මන්පිල වැනි දේශපාලකයෝද, ඕමාරේ කස්සප හිමි වැනි භික්‍ෂූන්ද, සැලසුම්සහගතව කටයුතු කරන්නේ රටේ පොදු සම්පත් විනාශ කරමින් සිදුකරන මේ නිහීන ජාවාරම ආවරණය කරන්නටය. ඕමාරේ හිමි වැන්නන් දරන්නේ බුද්ධ චීවරයෙන් හොරුන් වැසීමේ ලජ්ජාසහිත වෑයමකි. කියන අන්දමට තිළිණ ගමගේ නිර්දෝෂී නම් මේ අය ඔහුට අනුශාසනා කළ යුතුව තිබුණේ, බිය නැතිව නීතිය ඉදිරියට ගොස් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කර නිදහස් වන ලෙසය.

තමා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගන්නට යන බැවින් එය වළක්වන ලෙස කියා තිළිණ ගමගේ පසුගිය මාර්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. එහි දක්වා තිබුණේ තමන් ආණ්ඩුවට සංවේදී වන නඩු කිහිපයක් අසමින් සිටින නිසා හා තීරණ දී ඇති නිසා ඒවායේ තරහට ආණ්ඩුව තමා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගන්නට හදන බවය. ඊට උදාහරණ ලෙස ඔහු දැක්වූයේ, සිරිසේන ජනාධිපතිවරයාට දාව දරුවකු සිටින බවට ස්වාධීන රුපවාහිනියේ සුදර්මන් රදලියගොඩ ප‍්‍රමුඛ පිරිසක් විසින් ගොතන ලද ව්‍යාජ සිදුවීමට අදාළ නඩුව, නඩරාජා රවිරාජ් ඝාතන නඩුව, තිස්ස අත්තනායකට අදාළ එල්ටීටීඊ-යූඑන්පී හොර ගිවිසුම පිළිබඳ නඩුව යනාදියයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මේ සියලූ කරුණු මැනැවින් සලකා බලා, අත්අඩංගුවට ගැනීමට එරෙහිව තිළිණ ගමගේගේ පෙත්සම විසි කළේය. එහි තේරුම, අත්අඩංගුවට පත්වීමෙන් මිදී සිටීමට තරම් සාධාරණ හේතුවක් තිළිණට නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමය. ඒ අනුව ඒ මොහොතේ සිට ඕනෑම වේලාවක ඔහු අත්අඩංගුවට ගැනීමේ හැකියාව සීඅයිඞීයටද තිබිණි. එහෙත් එවැන්නක් සිදු නොවීය. ඒ අවසරයෙන් තිළිණ ගමගේ දිගින් දිගටම නීතියට කොකා පෙන්වමින් සිටියේය.

මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ගැන රාවය දිගින් දිගටම කරන හෙළිදරව් සහ වාර්තා කිරීම් සමහරුන්ට කෝපයක් ගෙන දී ඇති බව පෙනෙයි. රාවය දිගින් දිගටම විමසා සිටියේ අලි හොරකමට සැකකරුවකු වූ පුද්ගලයකු විනිශ්චයාසනයට ගොඩවී නඩු අසන්නේ කෙසේද යන ප‍්‍රශ්නයයි. අධිකරණ සේවා කොමිසම ඒ වරද සිදුවන්නට දිගින් දිගටම ඉඩ හැර සිටියේය. පසුගියදා මහේස්ත‍්‍රාත්වරයා අනිවාර්ය නිවාඩු යවන්නේද, රාවය තදබල ලෙස දෝෂාරෝපණය කළ විට නොකර බැරිම තැනය. පසුගිය මැයි 20වැනිදා අලි හොරකම සම්බන්ධ නඩුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ විමසුමට ගැනුණු අවස්ථාවේදී එක් නීතිඥවරයකු විවෘත උසාවියේදී කීවේ, රාවය මේ කාරණය සම්බන්ධයෙන් එක දිගට සති හයක් ප‍්‍රවෘත්ති පළ කර තිබෙන බවයි. නීතිපති දෙපාර්ත මේන්තුව සීඅයිඞීයට යැවූ ලියුමක් පවා රාවයේ පළවී තිබෙන බව කී ඔහු එසේ පළකළ හැකිදැ’යි විමසා සිටියේය. ඒ අවස්ථාවේදී අධිකරණයේ සිටි රාවය කතුවරයා අධිකරණය අමතමින් කීවේ, මහජනතාවට වැදගත්වන ඊටත් වඩා රහස්‍ය සහ වැදගත් ලියවිලි රාවයේ පළවී තිබෙන බවත්, රාවයට අවශ්‍ය නම් ඕනෑම ලියවිල්ලක් සොයාගෙන පළ කළ හැකි බවත්ය.

මහේස්ත‍්‍රාත්ට නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති චෝදනා

x නීත්‍යනුකූල බලයක් හෝ අනුමැතියක් නොමැතිව අල්ලාගනු ලැබූ හෝ රැුගෙන යනු ලැබූ පොදු දේපළක් වන (රුපියල් හැට නව ලක්‍ෂ හැත්තෑ දහසක් වටිනා) අලියකු වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක පනතේ විධිවිධානවලට අනුකූල නොවන පරිදි වංචනිකව ලියාපදිංචි කිරීමට සහ බලපත‍්‍රයක් ලබාගැනීමට කුමන්ත‍්‍රණය කිරීම සහ එකී අලියා භාරයේ තබා ගැනීමට කුමන්ත‍්‍රණය කිරීම සහ ආධාර සහ අනුබල දීම.

x නිසි ලියාපදිංචි කිරීමක් හා බලපත‍්‍රයක් නැතිව පොදු දේපළක් වන අලියකු වංක ලෙස භාරයේ තබාගැනීම.

x එකී අලියා සොරකම් කරන ලද දේපළක් බව දැනුවත්ව හෝ සොරකම් කරනු ලැබූ දේපළක් බවට විශ්වාස කිරීමට හේතු ඇතිව පොදු දේපළක් එනම් අලියකු වංචනික ලෙස ලබාගැනීම හෝ තබාගැනීම.