ස්ථිර ප‍්‍රතිපත්තියක් නැතිකම හෙවත් චපලකම

වික්ටර් අයිවන්

ලංකාව තවමත් ඉන්නේ විධිමත් ලෙස හා ප‍්‍රබෝධයකින් යුතුව ඉදිරියට යන තැනක නොව, අඳුරේ අතපතාගමින් සිටින තැනකය. මහින්ද රාජපක්ෂ පාලනය ලංකාව එක අවස්ථාවකදී මුහුණ දෙන්නට සිදුව තිබුණු ලොකු අභියෝගයක් විය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති වරණයේදී පරාජය කිරීමට ජනතාව සමත් වූවේය. එසේ නොවී නම් රට ලොකු විනාශයකට යන්නට ඉඩ තිබුණේය. ඇතිවන්නට ඉඩ තිබුණු විනාශය වළකා ගැනීමට සමත්වීම ගැන ජනතාවට සතුටුවිය හැකි වුවත් මහින්ද පරාජය කොට ඒ වෙනුවට ඇති කරගත් යහපාලන ආණ්ඩුවේ ගමන්මග ගැන ලොකු සතුටක් ඇතිකර ගැනීමට ජනතාවට පුළුවන්කම නැත.

එම විශේෂ මොහොතේ ජනතාව කල්පනාවට ගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කළ හැකි නොවරදින ක‍්‍රමයක් ගැන පමණය. ඉන්පසු රට ගොඩනගන්නේ කෙසේද යන ප‍්‍රශ්නය ජනතාව බැ?රුම් ලෙස කල්පනාවට ගත්තේ නැත. ජනතා ව්‍යාපාරවලට ඒ සඳහා වන දළ ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක් තිබූ බව සත්‍යයකි. එහෙත් එම ප‍්‍රතිසංස්කරණ වැඩසටහන බැ?රුම් ලෙස කරුණු සලකා බලා සකස් කරගත් ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් ලෙස සැලකිය නොහැකිය. තමන් බලයට පත්කරන්නට යන පාලකයන්ට රට මුහුණ දී තිබූ අතිවිශාල අර්බුදයෙන් ගොඩගැනීමට අවශ්‍ය දැක්මක් අධිෂ්ඨානයක් හා සංයමයක් තිබේද යන්න ගැන යථා තක්සේරුවක් නොතිබුණි. ජනතාව එහිදී වැදගත් කොට සැලකුවේ තමන් අකමැති අශ්වයා පරාජය කළ හැකි අශ්වයකු ගැන පමණය. පරණ අශ්වයා පරාජය කිරීමෙන් පසු රට ගොඩනැගීමට ජයග‍්‍රාහී අශ්වයාට තිබෙන හැකියාව ගැන සලකා බැලීමක් සිදුවූයේ නැත.

තිළිණ ගමගේ රංගනය

යහපාලන ආණ්ඩුවට ස්ථිරසාර ප‍්‍රතිපත්තියක් නැතිකම හා අඥානකමේ තරම පෙන්නුම් කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි හොඳම නිදර්ශනය වන්නේ මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වූ විසුලූ සහගත ආකාරයයි.

මෙම මහේස්ත‍්‍රාත්වරයා ළඟද හොර අලියෙක් සිටියේය. ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව පරීක්ෂණයක් කර තිබුණේය. මීට අතිරේකව එම අලියාගේ අලි ලිපිගොනුව ගැනද විගනකාධිපතිවරයා පරීක්ෂණයක් කර තිබුණේය. මහේස්ත‍්‍රාත් වරයාගේ අලි ලිපිගොනුවේ තිබූ අලියාගේ අයිතිය සනාථ කිරීම සඳහා මහේස්ත‍්‍රාත්වරයා ඉදිරිපත් කර තිබූ සියලූ ලියවිලි කූඨ ගණයට වැටෙන ලියවිලි බව එම විගණන පරීක්ෂණයෙන් හොඳින් තහවුරු වී තිබුණි. සොයාගෙන තිබූ ඒ සියලූ දේවල් රහසිගත දේවල් නොවූ අතර ජනමාධ්‍යවලද පළවූ ප‍්‍රසිද්ධ කාරණා විය.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අගවිනිසුරු ධුරයේ සිටි අපකීර්තිමත් පුද්ගලයා එම තනතුරෙන් ඉවත් කොට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා එම තනතුරට පත් කළේය. එහෙත් නව අගවිනිසුරුවරයා අධිකරණ පූජාසනයේ ළැගුම් ගෙන සිටි තිළිණ ගමගේ නමැති තක්කඩි විනිසුරුවරයා සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත්තේ නැත. අධිකරණ සේවා කොමිසමද ඒ ගැන කිසිවක් නොකළේය. අධිකරණ ඇමති, ජනාධිපති හා අගමැතිද ඒ ගැන කිසිවක් නොකළේය. ඒ සියලූදෙනාම මෙම තක්කඩි විනිශ්චයකාරවරයාට අධිකරණ පූජාසනයේ ළැගුම් ගෙන ඉන්නට ඉඩදී බලාගෙන සිටියෝය.

තමා අත්අඩංගුවට ගැනීම වළකන වාරණ නියෝගයක් ඉල්ලා ගෙන මෙම මහේස්ත‍්‍රාත්වරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියේය. මෙම අලි නඩුවේ විමර්ශනය භාරව ක‍්‍රියාකරන නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන් මෙම මහේස් ත‍්‍රාත්වරයාගේ ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කරුණු ඉදිරිපත් කිරීම නිසා මහේස්ත‍්‍රාත්වරයාගේ පෙත්සම නිෂ්ප‍්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුවිය.

ඊළඟට සිදුවිය යුතුව තිබුණේ මහේස්ත‍්‍රාත්වරයා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පැවරීමය. එහෙත් එය එසේ සිදුනොවූයේ විවිධ බලවතුන්ගෙන් එල්ල වූ බලපෑම් නිසාය. තීරණයක් ගැනීමෙන් තොරව දීර්ඝ කාලයක් ගෙවී ගියේය. ඉන්පසු පසුගිය මැයි 12 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවේ අලි නඩු විමර්ශනය භාරව ක‍්‍රියාකරන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම මහේස්ත‍්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා කටඋත්තරයක් ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. ඒ අනුව පසුදින උදේ 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට එන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව මහේස්ත‍්‍රාත් වරයාට දන්වනු ලැබුවත් තමන් අසනීපයෙන් සිිටින නිසා 13 වැනිදා නොව 18 වැනිදා එන බව දන්වා මහේස්ත‍්‍රාත්වරයා එහි යෑම මගහැරියේය. ඉන්පසු 18 වැනිදාද ඔහු එහි ගියේ නැත.

එහෙත් පුදුමයට මෙන් එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින අලින්ට අදාළව ඉදිරිපත් වූ අයදුම්පතක් සලකා බැලූ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා (ගිහාන් පිලපිටිය) වෙසක් පෙරහැරවලට යොදාගත හැකිවන ලෙසට එක් අලියකු සඳහා ලක්ෂ 100ක බැඳුම්කරයක් මත සියලූ අලින් මුදාහරින ලෙස නියෝග කළේය. මෙම නියෝගයට එරෙහිව නීතිපතිවරයා වහා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ප‍්‍රතිශෝධන අයැදුම්පතක් නිසා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගය මහාධිකරණය අවලංගු කළේය. තිළිණ ගමගේ මහේස්ත‍්‍රාත්වරයා ඉන්පසුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට නොගියේය. ඒ වෙනුවට ඔහු සැඟවුණේය.

අධිකරණය තිබෙන තැන

මෙම මහේස්ත‍්‍රාත් වරයාට අදාළ පරීක්ෂණය සඳහා මෙතෙක් ගතවී තිබෙන කාලය වසර එකහමාරකටත් වඩා වැඩිය. ඔහුට අදාළව විගණකාධිපතිිගේ පරීක්ෂණ වාර්තාව පළවීත් දැන් වසරකට වඩා වැඩිය. මෙම මහේස්ත‍්‍රාත්වරයා ඉදිරියේ කොයි මොහොතක හෝ අත්අඩංගුවට ගනු ලැබුවද ඉන් පෙනෙන්නේ ඔහුට අදාළව නීතිය ක‍්‍රියාත්මක කිරීම අසාමාන්‍ය තරමකට හෙමින් සිදුවී ඇති බවය. මේ අතර වාරයේ සිදුවූ නරකම දේ ලෙස සැලකිය හැක්කේ අගවිනිසුරුවරයා හෝ අධිකරණ සේවා කොමිසම මෙම මහේස්ත‍්‍රාත්වරයාගේ වැඩ තහනම් නොකොට දීර්ඝ කාලයක් අධිකරණ සේවයේ ඉන්නට ඉඩහැරීමය. ඒ මගින් අධිකරණයට සිදුවූ අගෞරවයේ තරම සුළුපටු නැත. ඊට වැඩියෙන්ම වගකිවයුත්තේ අගවිනිසුරු වරයා හා අධිකරණ සේවා කොමිසමය.

ඉන් පෙනෙන්නේ යහපාලනයක් ඇතිවී හිටපු අගවිනිසුරුවරයා වෙනස් කර ඇතත් අධිකරණයේ තිබූ ¥ෂිත හා අවුල්සහගත තත්ත්වයේ කිසිදු වෙනසක් ඇතිවී නැති බවය. ව්‍යවස්ථා සභාව යටතේ ක‍්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රමය ඇති කිරීමෙන් පසු සියලූ දේ යහපත් අතට හැරෙනු ඇති බවට මහජනයා ඇති කරගෙන තිබූ විශ්වාසය බොරු සිහිනයක් බවට පත්ව ඇත්තේය. යහපාලන ආණ්ඩුව කල්පනා කරමින් සිටින ආකාරයේ ඇති අවුල්සහගතභාවයද ඒ ආශ‍්‍රයෙන් තේරුම් ගත හැකිය. අලූත් අගවිනිසුරු වරයකු පත්කිරීමෙන් පසු අධිකරණයේ සියලූ කටයුතු හොඳ අතට හැරෙනු ඇතැයි ආණ්ඩුව කල්පනා කළා විය යුතුය. කුණුවී තිබෙන ආයතනයකට අලූත් ප‍්‍රධානියකු පත් කළ පමණින් එම ආයතනය ඉබේ යහපත් අතට හැරෙන්නේ නැත. ඒ සඳහා විධිමත් ප‍්‍රතිසංස් කරණ වැඩසටහනක් තිබිය යුතුය. එහෙත් ආණ්ඩුවට අද දක්වා අධිකරණ සමග ප‍්‍රතිසංස්කරණ වැඩ සටහනක් තිබෙන බවක් පෙනෙන්නට නැත.

ඕනෑම ප‍්‍රතිසංස්කරණ වැඩසටහනකදී පළමු තැන ලැබිය යුත්තේ අධිකරණයටය. හැම වැදගත් දෙයක්මත් අධිකරණය ඉදිරියට යන්නේය. එසේම හැම වැදගත් වෙනසක් සඳහාම අධිකරණයේ අනුමැතිය ලබාගත යුතුය. අධිකරණය තිබෙන්නේ අවිධිමත් අයාලේ යන දූෂිත තත්ත්වයක නම් මොනම යහපත් ප‍්‍රතිසංස් කරණයක්වත් සාර්ථක කරගත හැකිවනු ඇතැයි සිතිය නොහැකිය. ඒ නිසා අධිකරණ ප‍්‍රතිසංස්කරණ තිබෙන්නේ තවදුරටත් ප‍්‍රමාද නොකොට ඉදිරියට ගත යුතු තත්ත්වයකය. අඩුම වශයෙන් අධිකරණයේ කටයුතු සොයා බලා බලපෑම්වලට යට නොවී නීතියට අනුකූල ස්වාධීන අධිකරණයක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන කොමිෂන් සභාවක්වත් ප‍්‍රමාද නොවී ඇති කරගත යුතුය. එවිට ඒ මොහොතේ සිට අධිකරණය පරීක්ෂාවට ලක්වන ආයතනයක් බවට පත්වන්නේය.

ධම්මාලෝක හිමි හා අනුෂ පැල්පිට

රටේ බොහෝ දේවල් සිදුවෙමින් පවතින්නේ අවිධිමත් හා අවලස්සන ආකාරයටය. ආණ්ඩුව කටයුතු කරමින් තිබෙන්නේ පළපුරුදු ආණ්ඩුවක් ලෙස නොව නොපළපුරුදු ආධුනික ආණ්ඩුවක් ලෙසය. උඩුවේ ධම්මාලෝක හිමියන් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වූයේද සාමාන්‍ය ආකාරයට නොව ඉතාමත් අසාමාන්‍ය ආකාරයටය. ඒ හිමියන් රිමාන්ඞ් කළ පසු පසුදින ඇප ලබාගෙන ඇත්තේ ඒ හිමියන්ගේ නීතිඥයන් විසින් නොව ජනාධිපතිවරයා යවන ලද නීතිඥයන් විසිනි. එහිදී නීතියේ වැදගත් මූලධර්මයන් උල්ලංඝනය වී තිබෙන්නේයැ’යිද කිව හැකිය.

වගඋත්තරකරුවන්ගේ විධිමත් අවසරයක් ලබාගැනීමකින් තොරව නීතිඥයකුට වගඋත්තර කරුවකු වෙනුවෙන් පෙනී සිටිය නොහැකිය. එම නීතිඥයන් ඒ හිමියන් වෙනුවෙන් ඇප ලබාගෙන තිබෙන්නේ ඒ හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ගේ අනුමැතිය ලබාගැනීමෙන් තොරවය. ඒ අර්ථයෙන් ඒ ක‍්‍රියාවට සැලකිය හැක්කේ නීති උල්ලංඝනයක් වශයෙනි. මේ හිමියන් රිමාන්ඞ් භාරයේ තැබීමෙන් රජය කෙරෙහි මහජන අප‍්‍රසාදවක් ඇතිවනු ඇතැයි කල්පනා කොට ජනාධිපතිවරයා එසේ කළා විය හැකිය. එහි අභිලාෂය කුමක් වුවත් ඒ ක‍්‍රියාව නීතියට පටහැනිය. නීතිය ක‍්‍රියාත්මක වන්නේ සියලූදෙනා සඳහා එක සමාන ආකාරයට නොවේ නම් එය යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. අපරාධ චෝදනාවලදී තරාතිරම සලකා විවිධ ආකාරවලින් නීතිය ක‍්‍රියාත්මක කරන ප‍්‍රතිපත්තියක් නීතියට අනුකූල නොවනවා සේ ම සාධාරණද වන්නේද නැත.

උඩුවේ ධම්මාලෝක හිමියන් ජනප‍්‍රිය ධර්මදේශක හිමිනමක් ලෙස සලකා ඒ හිමියන් සඳහා විශේෂ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම කවර ආකාරයකින්වත් සාධාරණ කළ නොහැකිය. කැෂීයස් ක්ලේ ලෝක බොක්සිං සූරයා වී සිටින අවස්ථාවකදීත් ඇමරිකන් අධිකරණය නීති උල්ලංඝනයකදී ඔහුට සිරදඬුවම් පැමිණවූයේය. එහිදී ඔහුට තිබුණු විශාල පිළිගැනීම සලකා ඇමරිකන් දේශපාලන බලධාරීන් ඊට ඇඟිලි ගසන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ නැත. ලෝකයේ පළමු පෙළේ දාර්ශනිකයකු හා විද්‍යාඥයකු ලෙස සැලකිය හැකි බර්ට‍්‍රන්ඞ් රසල්ට එරෙහිවද නීති උල්ලංඝනයකදී බි‍්‍රතාන්‍ය අධිකරණය සිරදඬුවම් ලබා දුන්නේය. රසල්ට ලැබෙන වැදගත්කම සලකා බි‍්‍රතාන්‍ය දේශපාලන අධිකාරිය ඔහුට විශේෂ සැලකිලි දක්වන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ නැත.

උඩුවේ හිමියන් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වූ විශේෂ සැලකිලි දක්වන ප‍්‍රතිපත්තිය ඊට පෙර ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට සම්බන්ධයෙන්ද ක‍්‍රියාත්මක විය. ජනාධිපතිවරණයේදී උපාසිකාවන්ට බෙදාදීම සඳහා සිල්රෙදි මිලදී ගැනීමට රුපියල් මිලියන 600ක් අනුමත කිරීම හා මුදාහැරීම සරල වරදක් නොව බරපතළ වරදකි. එහිදීද නීතිය ක‍්‍රියාත්මක වූයේ ජනාධිපතිවරයාගේ එම නීති විරෝධී වැඩසටහනට සහාය දුන් එම නිලධාරීන් දෙදෙනාට එරෙහිව පමණය. එහිදී මහජන මුදල් අයථා ලෙස ප‍්‍රයෝජනයට ගත් පුද්ගලයාට එරෙහිව (හිටපු ජනාධිපතිට) නීතිය ක‍්‍රියාත්මක කළේ නැත. රටේ නීතිය ක‍්‍රියාත්මක වන අවුල්සහගභාවය ඉන්ද හොඳින් තේරුම් ගත හැකිය.

අනුෂ පැල්පිටට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීමෙන් පසුවවත් ඔහු අනුයුක්තව සිටි අමාත්‍යාංශය ඔහුගේ වැඩ තහනම් කළේ නැත. ඔහුට පඩි ගනිමින් එහි ඉන්නට ඉඩ දුන්නේය. රටේ අමාත්‍යාංශ ක‍්‍රමය කුණුවී තිබෙන තරම ඉන් තේරුම් ගත හැකිය. ඉන්පසු යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙක් මෙම චෝදනාලාභී පුද්ගලයා තමන්ගේ සහකාර ලේකම්වරයකු බවට පත්කර ගත්තේය. ඒ ගැන ප‍්‍රශ්න කළවුන්ට ඇමතිවරයා මුලින් කීවේ පැල්පිටට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවලට ඔහු වරදකරුවකු කළ නොහැකි බවය. අනිවාර්යයෙන්ම ඔහු එම නඩුවෙන් නිදහස් වනු ඇති බවය. ඔහු දක්ෂ නිලධාරියකු වන නිසාත් ඔහුගේ සේවය තමන්ට අවශ්‍ය නිසාත් ඔහු සේවයට ගත් බවය. එහෙත් වැඬේ ගැස්සුණාම ඇමතිවරයා කීවේ තමන් අනුෂ පැල්පිටට පත්වීමක් දුන්නේ නැති බවය. හැකිනම් ඒ බව ඔප්පු කරන ලෙසය. මෙවැනි ක‍්‍රියාකාරකම් මහජනයා තුළ ඇති කරන්නේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නොව බලවත් අවිශ්වාසයකි.

මෝටර් රථ බදු

ත‍්‍රීවිලර් හා ලොකු මෝටර් රථ අපනයනය අධෛර්යමත් කිරීමට හේතුවන බදු ප‍්‍රතිපත්තියක් කරළියට ගැනීම ඉතා යහපත්ය. රටේ පාවිච්චි කෙරෙන වාහන ප‍්‍රමාණයේ ශීඝ‍්‍ර වර්ධනය ගමනාගමනයේදී මාර්ගවල ලොකු තදබදයක් ඇති කිරීමට හේතුවී තිබේ. ලංකාවේ තිබෙන ත‍්‍රීවිලර් සංඛ්‍යාව ලක්ෂ 12 දක්වා ඉහළ නැග තිබේ. ගමනාගමනයේදී මාර්ගවල තිබෙන තදබදය හා අවුල්සහගතභාවය කෙරෙහි ත‍්‍රීවිලර්ද වැදගත් හේතුවක් ලෙස බලපා තිබෙන්නේයැ’යි කිව හැකිය. සමහර රටවල් ත‍්‍රීවිලර් නගරවල පාවිච්චි කිරීම තහනම් කර තිබේ. වාහන අනවශ්‍ය ලෙස ගෙන්වීමේ පිළිවෙත ගෙවුම් ශේෂ අර්බුදය උග‍්‍ර කිරීමට හේතුවී තිබෙන සාධකයක් ලෙසද සැලකිය හැකිය.

එන්ජින් ධාරිතාව අනුව බදු අය කරන ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීම නිසා වාහනවලට බදු අයකිරීමේදී රේගු නිලධාරීන්ට තිබූ අභිමත බලය අහිමි කිරීමක් සිදුවී තිබෙන්නේයැ’යිද කිව හැකිය. තිබුණු බදු ප‍්‍රතිපත්තියේ සංකීර්ණභාවය නිසාම රේගු බද්ද තීරණය කිරීමේදී ලොකු අභිමත බලයක් රේගු නිලධාරීන්ට ලැබී තිබුණු අතර ඒ මගින් අයථා ලෙස මුදල් උපයා ගැනීමේ ලොකු හැකියාවක්ද ඔවුන්ට ලැබී තිබුණි. අලූත් ක‍්‍රමය යටතේ රජයට ඒ මගින් ලැබිය යුතු බදු ආදායම පහසුවෙන්ම තක්සේරු කළ හැකිය. නව ක‍්‍රමය යටතේ කනෙන් රිංගා යෑමට තිබෙන ඉඩ සීමිතය.

රජයට බදු එකතු කරන සියලූම ආයතන තිබෙන්නේ අන්ත දූෂිත තත්ත්වයකය. රජයට ලැබිය යුතු බදු ආදායමෙන් වැඩි පංගුවක් යන්නේ බදු එකතු කරන නිලධාරීන්ගේ සාක්කු වලටය. බදු එකතු කරන ආයතනවල තිබෙන මෙම ¥ෂිත තත්ත්වය ආණ්ඩුවට ඍජු බදු වශයෙන් ලැබෙන ආදායම විශාල ප‍්‍රමාණයකට අඩු කිරීමට හේතුවී තිබෙන අතර ඒ නිසා රජය අනියම් බදුවලින් උපයන ආදායම වැඩි කරගැනීම සඳහා පරිභෝජන භාණ්ඩවලට බදු පනවන තැනකට තල්ලූ වී තිබේ. ඉන් පීඩාවට පත්ව තිබෙන්නේ සාමාන්‍ය මහජනයාය.

ලොකු මෝටර් රථ පරිහරණය අධෛර්යමත් කරන ප‍්‍රතිපත්තියක් රටේ යහපතට හේතුවන හොඳ ප‍්‍රතිපත්තියක් ලෙස සැලකිය හැකි වුවද එම ප‍්‍රතිපත්තිය මහජන මන්ත‍්‍රීවරුන්ට පමණක් බලපාන්නේ නැතිනම් එය බලපාන්නේ මහජනයාට පමණක් නම් එය මහජනයා තුළ ඇති කරන හැඟීම යහපත් විය නොහැකිය.

මහජන මන්ත‍්‍රීවරුන්ට පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ටද බදු විරහිතව වාහන බලපත‍්‍ර ලබාදෙන ප‍්‍රතිපත්තිය නැවත සලකා බලන තැනකට යායුතුය. ඉස්සර මන්ත‍්‍රීවරුන් තර්ක කළේ පාරවල් හොඳ තත්ත්වයක නැති නිසාත් ආරක්ෂාව පිළිබඳ බරපතළ ප‍්‍රශ්නයක් තිබෙන නිසාත් ආරක්ෂක භටයන් කිහිපදෙනකුද ගෙන යා හැකි වේගයෙන්ද යා හැකි හොඳම වාහනයක් තිබීම අත්‍යවශ්‍ය බවය. එහෙත් අද ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක් නැත. රටේ පාරවල් තිබෙන්නේද හොඳ තත්ත්වයකය. දැන් හොඳ කුඩා වාහනයකින් ඔවුන් තෘප්තිමත් නොවන්නේ ඇයි? මන්ත‍්‍රීවරුන් ලොකු වාහන ගන්නේ පාවිච්චි කරන්නට බලාගෙන නොව ලොකු ලාභයක් ලබාගැනීමට හැකිවන ලෙස විකුණාගන්නට බලාගෙනය. ලොකු වාහන සඳහා රජය පනවා තිබෙන අධික බදු ප‍්‍රතිපත්තියෙන්ද ඔවුන්ට මේ මොහොතේ ලොකු ආර්ථික වාසියක් ලබාගැනීමට හැකිවනු ඇත්තේය. මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රමාණවත් තරමින් වැටුප් හා වෙනත් පහසුකම් ලබාදෙන්නේ නම් බදු විරහිතව ලබාදෙන වාහනය විකුණාගෙන ලොකු ලාභයක් ලබාගැනීමට ඉඩදිය යුත්තේ ඇයි?

රට වෙනස් කිරීමට අවශ්‍ය නම් මන්ත‍්‍රීවරුන්ගේ මජර සංස්කෘතියද වෙනස් කළ යුතුය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ආණ්ඩුව සමග ව්‍යාපාර කිරීමට අයිතියක් නැතිකම පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ එන වැදගත් ධර්මතාවකි. 1977ට පෙර එම ධර්මතාව ලංකාවේද ක‍්‍රියාත්මක විය. 1977 සිට එම ධර්මතාව ක‍්‍රියාත්මකවීම වළකන ලද අතර ඉන්පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් විවිධ ආකාරවලින් ආණ්ඩුව සමග ව්‍යාපාර කරන ව්‍යාපාරිකයන් බවට පත්වූහ.

මීට මාස දෙකකට පමණ ඉහතදී මන්ත‍්‍රීවරුන්ට ලබාදී තිබෙන බාර් ලයිසන් පිළිබඳව මුදල් ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කරන්නට යන බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. එම වාර්තාව ප‍්‍රසිද්ධියට පත්කළේ නැතත් මන්ත‍්‍රීවරුන්ට ලබාදී තිබෙන බාර් ලයිසන් සංඛ්‍යාව පිළිබඳ දත්ත ජනමාධ්‍ය මගින් ප‍්‍රසිද්ධ කර තිබුණි. ඒ අනුව මන්ත‍්‍රීවරුන්ට නිකුත් කර තිබෙන බාර් ලයිසන් මුළු සංඛ්‍යාව 1168කි. ඔවුන්ට බාර් ලයිසන් දෙන ක‍්‍රමයක් ඇතිවූයේ 1976දී පමණය. ඒ සංඛ්‍යාව අනුව පෙනෙන්නේ රටේ තිබෙන බාර්වලින් ලොකු පංගුවක් මන්ත‍්‍රීවරුන්ට අයත් බාර් බවය. ඒ අනුව අපේ පාර්ලි මේන්තුව බාර්කාරයන්ගේ පාර්ලිමේන්තුවක් ලෙස සැලකිය හැකිය. බාර්කාරයන් සාමාන්‍යයෙන් සැලකෙන්නේ ගණන් කාරයන් ලෙසය. ඒ අර්ථයෙන් අපේ පාර්ලි මේන්තුව ගණන්කාරයන්ගේ පාර්ලිමේන්තුවක් ලෙසද සැලකිය හැකිය.

පාර්ලිමේන්තුවේ පව තින මෙම අවලස්සන ස්වභාවය අප වෙනස් කරන්නේ කවදාද? ඇතිවී තිබෙන මහා පිරිහීම වැළකීමට අවශ්‍ය නම් පිළිගත් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන්ට පටහැනිව පවත්වාගෙන යන මන්ත‍්‍රීවරුන්ට රජය සමග ව්‍යාපාර කිරීමට තිබෙන අයිතිය නැති කළ යුතුය. එසේ කරන අයගේ මන්ත‍්‍රීකම් අහිමි කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය යහපාලන ආණ්ඩුවට තිබෙන්නේද?

දුම්රිය හා මෝටර් රථ

මෝටර් රථ වඩාත්ම වැදගත්වන්නේ මෝටර් රථ මිලදී ගැනීමට ආර්ථික ශක්තිය ඇති අයටය. එහෙත් පුද්ගලික මෝටර් රථ පාවිච්චි කිරීමට ආර්ථික හැකියාවක් නැති පොදු මගී ප‍්‍රවාහන සේවාවන්ගෙන් තමන්ගේ ගමනාගමන අවශ්‍යතාවන් සපුරාගත යුතු විශාල ජනතාවක් රටේ සිටින්නේය. ඔවුන්ගේ ජීවිතවලට අධිවේග මාර්ග එතරම් අදාළ වන්නේ නැත. ඔවුන්ට තමන්ගේ ගමනාගමන අවශ්‍යතාවන් සපුරා ගන්නට සිදුවී තිබෙන්නේ බස්රථවලින් හෝ දුම්රියෙනි.

භාණ්ඩ හා මගී ප‍්‍රවාහනයේදී දියමත කෙරෙන ප‍්‍රවාහනය ලාබදායකම ප‍්‍රවාහන මාධ්‍ය ලෙස සැලකිය හැකිය. එහෙත් දිය මත කෙරෙන ප‍්‍රවාහනය වේගවත්කමින් අඩුය. මහා මාර්ගවල මෝටර් රථවලින් කෙරෙන ප‍්‍රවාහනයට වඩා රේල්පීලි මත දුම්රියෙන් කෙරෙන ප‍්‍රවාහනය ලාභදායකය. මෝටර් රථ හා ලොරි හාර පන්සියයකින් කරන ප‍්‍රවාහනය එක දුම්රියකින් කළ හැකිය.

බි‍්‍රතාන්‍යයෝ ලංකාව අතහැර යනවිට දියුණු දුම්රිය මාර්ග පද්ධතියක් සමග දියුණු දුම්රිය සේවාවක් අපට උරුම කරදී ගියෝය. ඒ සේවාව එක තැන පල්වෙන තත්ත්වයක තබාගත්තා මිස නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස නවීන හා කාර්යක්ෂම දුම්රිය සේවාවක් ලෙස පවත්වාගෙන යෑමට අපි අසමත් වීමු. බි‍්‍රතාන්‍යයන්ගෙන් ලැබුණු දුම්රිය සේවාව නවීන හා කාර්යක්ෂම කරගැනීමට අප සමත් වී නම් මාර්ග තදබද ආශ‍්‍රයෙන් අද අපට මුහුණ දෙන්නට සිදුවී තිබෙන අවුල් ඇති නොවන්නට ඉඩ තිබුණි.

ගමනාගමන විෂයේදී අප අද වැඩියෙන්ම කතා කරන්නේ අධිවේග මාර්ග ගැනය. දුම්රිය ගැන කතාවක් ඇත්තේම නැති තරම්ය. හැම දුම්රිය මාර්ගයක්ම දුම්රිය දෙකක් ගමන් කළ හැකි ද්වි දුම්රිය මාර්ග බවට පත්කළ හැකිනම් හා දුම්රිය සේවය මගී ප‍්‍රවාහනයට අතිරේකව කන්ටේනර්ද ප‍්‍රවාහනය කරන සේවාවක් බවට පත් කළ හැකි නම් මාර්ග තදබදය ආශ‍්‍රයෙන් ඇතිවී තිබෙන ගැටලූවලින් වැඩි හරියක් අපට ඒ මගින් විසඳා ගත හැකිය. නුවර සිට කොළඹට හා මාතර සිට කොළඹට හෝ ඒ හා සමාන දුර ප‍්‍රමාණයක් පැයකින් යා හැකි තත්ත්වයකට දුම්රිය සේවය ගෙන ආ හැකිනම් එය රටේ මගී ප‍්‍රවාහන සේවයේ කරන මහා විප්ලවයක් වනු ඇත.

අපට එම තත්ත්වයට යාමට අමාරු කරන ලොකුම බාධාව වී තිබෙන්නේ දුම්රිය හරස් මාර්ගය. දුම්රිය මාර්ගවල දිග ප‍්‍රමාණය සැතපුම් 1000ක් වනවිට දුම්රිය මාර්ග හරහා වැටෙන අතුරු මාර්ගවල සංඛ්‍යාවද 1000කි.

ලංකාවේ පළමු පෙළේ වාස්තු විද්‍යාඥයෙකු ලෙස සැලකිය හැකි සුරේන් වික‍්‍රමසිංහ විසින් ලංකාවේ අධිවේග මාර්ග පිළිබඳව ලියන ලද ලිපියක් මට කියවන්නට ලැබුණි. ඔහු ලිපියෙන් තර්ක කර තිබුණේ අධිවේග මාර්ග ඉදිකිරීමේදී ලොකු වියදමක් දරන්නට සිදුවන්නේ අත්පත් කරගන්නා ඉඩම් සඳහා ගෙවන වන්දි සඳහා වන නිසා දුම්රිය මාර්ග සඳහා අඩි 67ක් පළලට භූමිය වෙන්කර ඇති නිසා දුම්රිය මාර්ග උඩ අධිවේග තනන ප‍්‍රතිපත්තියක් ලංකාවට සුදුසු බවය. එම ලිපිය කියවීමෙන් පසුව මට හිතුණේ දුම්රිය මාර්ග උඩින් හදන අධිවේග මාර්ග වැඩසටහනට දුම්රිය මාර්ග හරහා වැටී තිබෙන අතුරු මාර්ග සියල්ල ඉවත් කොට (ඒවා උඩින් හෝ යටින් යවා* සමස්ත දුම්රිය මාර්ග පද්ධතියම ද්වි මාර්ග පද්ධතියක් බවට පත්කරන වැඩසටහනක්ද ඇතුළත් කොට අධිවේග මාර්ග තැනීම හා දුම්රිය මාර්ග නවීන කිරීම එකම වැඩසටහනක් බවට හරවා ගැනීම මගින් එකවිට අධිවේග මාර්ග පද්ධතියක් සමග අධිවේග දුම්රිය මාර්ග පද්ධතියක්ද ගොඩනගා ගත හැකි බවය. එහිදීද ඉඩම් සඳහා වන්දි ගෙවීමක් අවශ්‍ය නොවන අතර දුම්රිය මාර්ග හරහා තිබෙන අතුරු මාර්ග ඉවත් කිරීමද පහසුවෙන් කළ හැකි දෙයක් බවට පත්වේ. අධිවේගී මාර්ග තනන්නේ උඩින් නිසා වතුර බැසයෑම පිළිබඳ ප‍්‍රශ්නයක්ද ඇති නොවේ. එවැනි වැඩසටහනක් රටට ඇතොත් ධනය ඇති අයට තමන්ගේ පුද්ගලික වාහනවලින් වේගයෙන් ගමන් කළ හැකි අධිවේග මාර්ග පද්ධතියක් ලැබෙන අතර පුද්ගලික වාහන පරිහරණයට ධනය නැති සාමාන්‍ය මහජනතාවටද වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ග පද්ධතියක් සමග දුම්රිය සේවාවක් ලැබෙන්නේය.

එම දුම්රිය සේවාව ප‍්‍රවාහනයට සීමා නොකොට කන්ටේනර් ප‍්‍රවාහනය සඳහාද යොදාගන්නේ නම් එය මගී ප‍්‍රවාහනය සේ ම භාණ්ඩ ප‍්‍රවාහනයේද වේගවත් ප‍්‍රසාරණයක් ඇති කිරීමට හේතුවී දුම්රිය සේවාව ලාභ ලබන සේවාවක් බවට පත්වනු ඇත. බි‍්‍රතාන්‍ය යුගයේ එක් කාලයකදී දුම්රිය සේවයෙන් උපයන ලද වාර්ෂික ආදායම සමස්ත රජයේ ආදායමෙන් සියයට 30ක් තරම් විශාල විය.