Untitled-1

Untitled-1

කරන්නාගොඩ-විජේගුණරත්න ජනපති හමුවෙන් පසු පරීක්ෂණවලට බලපෑම්


leed

ලසන්ත රුහුණගේ

වත්මන් නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න හා හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ වසන්ත කරන්නාගොඩ පසුගිය සතියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී සිදුකළ සාකච්ඡාවකින් පසු නාවික හමුදා සාමාජිකයන්ට විරුද්ධව සිදුකරන අපරාධ පිළිබඳ පරීක්ෂණවලට බලපෑම් ඇතිවන තත්ත්වයක් උදාවී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
කොළඹදී තදාසන්න ප්‍රදේශවලදී ශිෂ්‍යයන් පස්දෙනකු ඇතුළු පුද්ගලයන් එකළොස්දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ලබාගැනීම සඳහා ඝාතනය කිරීම, වෑන් රථයක් සමඟ ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රී තුළු නාවික හමුදා සාමාජිකයන්ට එරෙහි පරීක්ෂණ කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සිදුකරමින් පවතී.
වත්මන් නාවික හමුදාපතිවරයා හා හිටපු නාවික හමුදාපතිවරයා ජනාධිපතිවරයා හමුවී පවසා ඇත්තේ නාවික හමුදා සාමාජිකයන්ට එරෙහි එම පරීක්ෂණ රණවිරුවන්ට එරෙහිව කරනු ලබන පරීක්ෂණ බැවින් එය ජාතික ආරක්ෂාවට බලපෑමක් විය හැකි බවය.
දෙමළ ව්‍යාපාරිකයන් දෙදෙනකු වූ පන්නලිසාමි යෝගනාදන් හා රත්නසාමි ප්‍රේමානන්දන් පැහැරගෙන වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් ඇති බවටත්, එම අවස්ථාවේදී ඔවුන් සතුව පවුම් 45ක රත්තරන් හා රුපියල් ලක්ෂ 8ක මුලක් තිබී ඇති බවටත්, ඔවුන් ගමන් ගත් වාහනය කෑලි 72කට කපා වැලිසර නාවික හමුදා කඳවුරේ තිබී අසුවී ඇති බවටත් මේ වනවිට හෙළිදරව් කරගෙන ඇත. එවක වැලිසර නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ අකිල යාපා නමැති නාවික හමුදා සාමාජිකයා මේ වනවිට රිමාන්ඞ් භාරයට පත්කර ඇති අතර, එම ව්‍යාපාරිකයන්ගේ ජංගම දුරකතන පාවිච්චි කළ නාවික හමුදා නිලධාරියා හා අදාළ වාහනය කැපීම සඳහා අවසර දුන් නාවික හමුදා නිලධාරියා සීඅයිඩිය විසින් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතය.
එමෙන්ම පැහැරගෙන ගොස් අතුරුදන් කළ පුද්ගලයන් අතර සිටි පාසල් ශිෂ්‍යයන් 5 දෙනාගේ ජාතික හැඳුනුම්පත් නාවික හමුදා මූලස්ථානයේ තිබී හමුවුණු අතර හිටපු හමුදාපති වසන්ත කරන්නාගොඩගේ අධිසහායක වශයෙන් කටයුතු කළ සම්පත් මුණසිංහ හෙවත් නේවි සම්පත් අත්අඩංගුවට ගැනුණු එක් චූදිතයෙක් විය. නඩරාජා රවිරාජ් මන්ත්‍රීවරයාගේ ඝාතනයද නාවික හමුදා බුද්ධි අංශ විසින් සිදුකර ඇති බවට හෙළිවී ඇත.
මීට පෙරද ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ සැකකරුවන් වූ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ට හමුදාවේ යළි රැකියා ලැබුණු අතර එය සිදුවූයේ සරත් වීරසේකර, ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු බෞද්ධ සංවිධාන නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවී කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන්ය.
මෙම හමුවීම පිළිබඳව වසන්ත කරන්නාගොඩගෙන් කරන ලද විමසීමකදී ඔහු පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ අතර වත්මන් නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නද කාර්ය බහුල බව පවසමින් පිළිතුරු ලබාදුන්නේ නැත.■