රාවය

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනමත විචාරණය (2)

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනමත විචාරණය (2)

1948 සිට මැතිවරණයකින් පරාජයට පත්ව ඇති සෑම ආණ්ඩුවක්ම පරාජය වන මොහොතේ සිටියේ ඉතා දුර්වල තත්ත්වයකයි. 1956 වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ නැවතත් 1970 වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත්, 1965 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව සහ 1977 වන විට නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවත්, 1994 වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත්, ඊට නිදසුන් ය. එසේ නොවුණේ, 2015 ජනවාරි 8 වැනි දා පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පමණි. එම ආණ්ඩුව පරාජය වෙතැයි සිතිය හැකි කිසි බාහිර ලක්ෂණයක් පෙනෙන්නට නොවුණි. ඒ තරමට එහි තිබුණේ ශක්තිමත් භාවයකි. ඇත්තෙන්ම, මහින්ද රාජපක්ෂ ස්වකීය කාලය අවසන්වීමට අවුරුදු දෙකකට කලින් එම මැතිවරණය ඉදිරියට ගත්තේම, ඒ වන විට එම ආණ්ඩුව සතුව තිබිණැයි ඔහු තදබල ලෙස විශ්වාස කළ ඒ ශක්තිය නිසා ය. එනම්, ඊට පෙර කිසි පාලන තන්ත්‍රයක් පෙරළා දැමීමට අවශ්‍ය කළාට වඩා ශක්තිමත් සහ එඩිතර ජවයක් 2015 ජනවාරියේදී විපක්ෂය තුළ බලමුළු ගැන්වුණු බව එහි අරුතයි.
යම් පාලනයක් පෙරළා දැමීමට උත්සාහ දැරීම පවා, එකී පාර්ශ්වකරුවන්ට මාරක අනතුරක් විය හැකි අවස්ථාවක් ද ඊට පෙර තිබී නැත. 1956 දී සර් ජෝන් කොතලාවලව හෝ 1970 දී ඩඞ්ලි සේනානායකව හෝ 1977 දී සිරිමා බණ්ඩාරනායක මැතිනියව හෝ පරාජය කිරීමට ගත් ප්‍රයත්නයන් පසුපස කිසි භීතියක් හෝ අවදානමක් තිබුණේ නැත. එහෙත්, 2010 වන විට, මහින්ද රාජපක්ෂ තමා කවරෙක්ද යන වග ජෙනරාල් සරත් ෆොන්සේකා හරහා ලෝකයටම කියා දී තිබුණි. ඒ, ඔහුගේ ජයග්‍රහණයෙන් පසු ජෙනරාල් ෆොන්සේකාව හිරේට ඇදගෙන යාමෙනි. 2015 ජනවාරියේ තමා පරාජය විණි නම් අත්විය හැකිව තිබූ ප්‍රතිවිපාකය පොළොවෙන් අඩි හයක් යටට යෑම බව, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසු අවස්ථාවක කීවේත් එබැවිනි.
එනිසා, මින් පෙර බලයට පත් කිසි නායකයෙකුට නොතිබුණු තරමේ ආත්මීය වගකීමක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට තමන්ව බලයට පත්කළ ජනතාව කෙරෙහි ඇති බව පැහැදිලි ය. මේ වගකීම ඔහු ඉටු කළ යුත්තේ, 2015 ජනවාරියේ රට ඉදිරියේ තැබූ රාජ්‍ය සහ සමාජ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අකුරට ක්‍රියාවට නැංවීමෙනි.
මේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ප්‍රධාන අංග දෙකකින් සමන්විත වුණි.
පළමු අංගය වුණේ, රාජ්‍ය පාලනය යළි දූෂිත නොවන බවට වගබලා ගැනීමේ සහතිකයක් වශයෙන්, අතීතය විමර්ශනය කිරීමයි. ඒ සඳහා නීතියේ ආධිපත්‍යය ඇති කොට, අධිකරණය ප්‍රතිසංවිධානය කළ යුතු විය. ඒ සමඟම, අතීතය සිහිකැඳවීම සඳහා වන දේශපාලනික අධිෂ්ඨානය රාජ්‍ය නායකත්වය තුළින් පෙන්විය යුතු විය. ඒ අනුව, එක පැත්තකින් නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය යළි ස්ථාපිත කිරීමත්, රාජපක්ෂ සමයේ සිදු වූ දූෂණ වංචා සහ අපරාධ සම්බන්ධයෙන් වගකිව යුත්තන් නීතිය ඉදිරියට පමුණුවා සමාජය කෙරෙහි වන යුක්තිය ඉෂ්ට කිරීම සඳහා නායකත්වය සැපයීමත් ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා කෙළේය.
ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ දෙවැනි අංගය වුණේ, අනාගතය ඉලක්ක කර ගත් ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ ක්‍රියාවේ යෙදවීමයි. ඒ තුළ අඩංගු වූ ප්‍රධාන කාරණා දෙකක් තිබුණි. එකක් වුණේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන සහ පාර්ලිමේන්තු ක්‍රමයක් තුළ බලය බෙදා හැරෙන රාජ්‍ය ක්‍රමයක් සඳහා වන නව ව්‍යවස්ථාවකි. දෙවැන්න වුණේ, ඊට සමගාමීව ඇතිකර ගන්නා නව මැතිවරණ ක්‍රමයකි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නව ව්‍යවස්ථා ව්‍යායාමයේ පළමු පියවර විය. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය ප්‍රමාණවත් විය. එහෙත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ පුළුල් පරාසයක බලය බෙදා හැරීම සඳහා, තුනෙන් දෙකක පාර්ලිමේන්තු ඡන්දයට අමතරව, ජනමත විචාරණයක් ද අවශ්‍ය කරන්නේය.
2015 ජනවාරි 8 වැනි දා මේ රටේ ජනතාව කැමැත්ත ප්‍රකාශ කෙළේ මේ සමස්ත න්‍යාය පත්‍රයටයි. කෙසේ වෙතත්, අද ආණ්ඩුව ඇතුළේ සිටින ඇතැම් කොටස් වෙතින් නැගෙන ප්‍රතිතර්කයක් තිබේ. එනම්, ජනමත විචාරණයක් අවශ්‍ය කරන ව්‍යවස්ථා සංශෝධන සඳහා අත නොගසන බවට ප්‍රකාශයක්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වූ බවයි. එය සැබෑවකි. එම මැතිවරණ ප්‍රකාශනය ඉදිරිපත් කෙරුණේ දින 100 වැඩපිළිවෙළක් මුල් කරගෙන ය. එහිදී, දින 100 ක් වැනි කෙටි කාලයක් තුළ ඇති කර ගත හැකි කාර්යයන් ප්‍රමුඛ වුණි. එහෙත්, වෙනත් විවිධ ප්‍රකාශනවලත් විවිධ ස්ථානවලත් ජනාධිපති අපේක්ෂකයා විසින් මේ රට ඉදිරියේ තබන ලද පොදු පොරොන්දුවක් තිබුණි. එනම්, ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවයි. බලයට පත්වීමෙන් පසුව පවා, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මෘතදේහය ඉදිරියේ ජනාධිපතිවරයා ඒ ප්‍රතිඥාව රට ඉදිරියේ යළි සනාථ කෙළේය. ජනමත විචාරණයකින් තොරව ජනාධිපති ක්‍රමය අහෝසි කළ හැකි බවක් සිතීමට ඉඩක් කිසිවෙකුට එදා තිබුණේ නැත. ඊටත් වඩා, මීට මාස කිහිපයකට කලින් ව්‍යවස්ථා සම්පාදනය වෙනුවෙන් පාර්ලිමේන්තුව ‘ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක්’ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව තුළ පැහැදිලිව සඳහන් වන්නේද, ජනමත විචාරණයකින් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක්’ වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වන බවයි. එහි අවසාන වගන්තියේ මෙසේ සඳහන් වෙයි: “සැකයක් ඇති නොවනු පිණිස, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතක්, නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලැබ, ඉනික්බිතිව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි ව්‍යවස්ථාවේ ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණක් නීතියක් වශයෙන් පැනවිය යුතු බවට මෙහිලා තවදුරටත් ප්‍රකාශ කෙරේ.” එම යෝජනාව කිසිවෙකුගේ විරෝධයකින් තොරව පාර්ලිමේන්තුවේ සම්මත විය. අද ජනමත විචාරණයක් සඳහා නොයා යුතු යැයි කියන සෑම මැති ඇමතිවරයෙකුම එදා එසේ ඇති කර ගත් යෝජනාව තුළ තිබූ ජනමත විචාරණයක් ගැන සඳහනට විරෝධය දක්වා නැත. එම යෝජනාව ප්‍රකාරව, සියලු පක්ෂ නායකයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු ‘නියාමන කමිටුවක්’ සහ තවත් අනු කමිටු හයකුත් පිහිටුවා ගැනුණි. එම අනු කමිටු හයේ වාර්තා මේ වන විට, ‘නියාමන කමිටුව’ වෙත ඉදිරිපත් කොට තිබේ.
ඒ පසුබිම තුළ වර්තමාන තත්ත්වය මෙසේ සංගෘහිත කළ හැකිය. ජනමත විචාරණයක් අවශ්‍ය කරන ව්‍යවස්ථා වෙනසකට, හේතු දෙකක් මත කෙනෙකුට විරෝධය දැක්වීමට පුළුවන. එකක් වන්නේ, ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට හෝ බලය බෙදා හැරීමට එරෙහිව කෙනෙකු තුළ තිබිය හැකි ප්‍රතිපත්තිමය විරෝධයකි. කෙනෙකු ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට කැමති වෙතත්, බලය බෙදා හැරීමට නොකැමැති වන්නට පුළුවන. තවත් කෙනෙකු ඒ දෙකටම නොකැමැති වන්නට පුළුවන. උදාහරණයක් වශයෙන්, හිටපු ජනාධිපතිවරයා විධායක ජනාධිපති ක්‍රමය තුළ නැවත තමන්ට පළමු පුරවැසියා වීමේ හැකියාවක් නැති නිසා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්ෂ විය හැකි වෙතත්, බලය බෙදා හැරීම දකින්නේ ‘උගුලක්’ වශයෙනි. අනිත් අතට, අමු ජාතිවාදියෙකුට/ආගම්වාදියෙකුට, මේ දෙකම පෙනෙනු ඇත්තේ, ‘රට බෙදීමක්’ හෝ බෙදුම්වාදයකට උඩගෙඩි දීමක් වශයෙන්ම ය. මොවුන් සම්බන්ධයෙන් අපට කිවහැක්කේ, ඔවුන්ගේ එම මතය ජනතාවගෙන් විමසන ලෙසයි.
දෙවැන්න වන්නේ, ඒ කාරණා ද්වය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය විරෝධයක් නැතත්, ජනමත විචාරණයක් තමන්ට ජයගත හැකිද යන්න ගැන කෙනෙකු තුළ ඇති කුකුස සහ අඩමානය නිසා එවැන්නකට දක්වන විරෝධයයි. ජනාධිපතිවරයා වටා සිටින, ජාතිවාදීන් නොවන (හෝ නොවෙතැයි අප තවමත් විශ්වාස කරන) ඇතැමුන් අයත් වන්නේ ඒ ගණයටයි. මේ වන විට ජනාධිපතිවරයා තුළ, ජනමත විචාරණයක් හරහා අලුත් ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම පිළිබඳ යම් පැකිළීමක් ඇතොත්, එය අර කී දෙවැනි පිරිසේ තර්කය මත පදනම් වන්නක් බව පැහැදිලි ය. ජනාධිපතිවරයා ජාතිවාදියෙකු නොවන බවත්, ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා දේශපාලනික විසඳුමක් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් හරහා ගෙන ආ යුතු බව තදින් විශ්වාස කරන නායකයෙකු බවත් අපි දනිමු. එසේම, (මහින්ද රාජපක්ෂ කළා සේ), විධායක ජනාධිපති තනතුරේ චිරාත් කාලයක් වැජඹීමේ බලතණ්හාවකින් පෙළෙන්නෙකු නොවන බවත් අපි දනිමු. එසේ වෙතත්, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහ බලය බෙදා හැරීමට ප්‍රතිපත්තිමය විරෝධය දක්වන පිරිසේ තර්ක කෙරෙහිත්, ජනමත විචාරණයක් ජයගත නොහැකි යැයි සිතන නිසාම පුළුල් ව්‍යවස්ථා වෙනසකට කැමැත්තක් නොදක්වන ඉතිරි පිරිසේ සැකසාංකා කෙරෙහිත් අපේ සැලකිල්ල යොමු විය යුතුව තිබේ.■ (ඒ ගැන ඉදිරියට)