රාවය

අණ දුන්නේ ගෝඨා සූදානම් කළේ වාකිෂ්ඨ

අණ දුන්නේ ගෝඨා සූදානම් කළේ වාකිෂ්ඨ

අරුණ ජයවර්ධන

වැලිකඩ බන්ධ නාගාරය තුළදී 2012 නොවැම් බර් 9 හා 10 දිනවල සිදුවූ, රඳවුවන් 27දෙනකු ඝාතනය කොට, 40කට වැඩි පිරිසකට තුවාල සිදුකළ සැලසුම්සහගත ප්‍රහාරය ගැන විස්තර ඔබ පසුගිය සති කිහිපය තිස්සේ රාවයෙන් කියවූයේය. ඒ කතා ගොඩනැගුණේ එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂා කොට නිර්දේශ ඉදිරිපත් කරන ලෙස නියමකොට, එවකට අධිකරණ ඇමතිවරයා වූ විජේදාස රාජපක්‍ෂ මහතා විසින් 2015 ජනවාරි 22 වැනි දින පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාවේ සඳහන් කරුණු පදනම් කරගෙනය. එම කමිටුවේ සාමාජිකයන් වශයෙන් නිමල් නම්බුවසම්, අසෝක විජේතිලක හා එස්කේ ලියනගේ යන මහත්වරුන් කටයුතු කළ අතර. සාක්‍ෂි මෙහෙයවමින් කමිටුවට සහාය වුණේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාරය. කමිටුව ඉදිරියේ රඳවුවන්, බන්ධනාගාරයේ ඉහළ හා පහළ නිලධාරීන්. පොලිස් නිලධාරීන්, එස්ටීඑෆ් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, අධිකරණ වෛi නිලධාරීන්, මියගිය රඳවුවන්ගේ ඥාතීන් මෙන්ම හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂද සාක්‍ෂි දුන්හ. 2015 ජුනි මස 9 වැනිදා එම කමිටුවේ අවසන් වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහට හා අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂට භාරදෙන ලදි.
තමන් ඉදිරියේ ප්‍රකාශ වුණු සාක්‍ෂි මත, කමිටුව වැලිකඩ සංහාරයේ ක්‍රියා දාමය හා ඊට වගකිව යුත්තන් සම්බන්ධයෙන් සිය නිරීක්‍ෂණ, නිගමන හා නිර්දේශ විස්තරාත්මකව දක්වා තිබේ. ඉංග්‍රීසි භාෂාවෙන් පළකොට ඇති එම වාර්තාවේ කරුණු සංක්‍ෂිප්තව මෙතැන් සිට ඉදිරිපත් කරමු.

පරීක්‍ෂණ මෙහෙයුමක අවශ්‍යතාව
2012 නොවැම්බර් 9වැනිදා විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව සහභාගිකරගෙන කෙරුණු ආකාරයේ විශාල මෙහෙයුමක් ඒ වන විට වැලිකඩ බන්ධනාගාරයට අවශ්‍යව තිබුණේද? මේ කාරණය සම්බන්ධයෙන් අදහස් කමිටුවට ඉදිරිපත් විය. ගෝඨාභය රාජපක්‍ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ ජාතික ඔත්තු සේවාවේ හා ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ චන්ද්‍ර වාකිෂ්ඨ යන අයගේ ස්ථාවරය වුණේ, වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවන නීතිවිරෝධී ක්‍රියා සුළු කොට නොතැකිය යුතු බවත්, එය ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් හැටියට සැලකිය යුතු බවත්ය. ඒ නිසා වැලිකඩ මෙහෙයුම ඒ වෙලාවේ අවශ්‍යව තිබුණු බවත් ඒ අනුව එය යුක්තිසහගත බවත් මේ පිරිසගේ අදහස විය. මේ අදහසට එවකට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලි, බන්ධනාගාර බුද්ධි අංශයේ ජේලර් ඉන්දික සම්පත් යන අයද අඩුවැඩි වශයෙන් එම ස්ථාවරය දැරූහ. ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කෙසේ වෙතත්, බන්ධනාගාරය තුළ සිදුවන නීති විරෝධී ක්‍රියා බන්ධනාගාරයේ විනයට හා පැවැත්මට ප්‍රශ්නයක් හැටියට ඔවුහු දුටුවෝය.
එවකට කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලි, පොලිස්පතිවරයා අමතා 2012 අගෝස්තු 02 දින ලියුමක් යවමින් ඉල්ලා සිටින්නේ, කොළඹ රිමාන්ඞ්, මැගසින් හා වැලිකඩ යන බන්ධනාගාර තුන තුළ 2012 නොවැම්බර් 07වැනිදා ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් කිරීමට එස්ටීඑෆ් භටයන් 300 දෙනකුගේ සහාය ලබාදෙන ලෙසය. එහෙත් එම ලිපියට පොලිස්පති එන්කේ ඉලංගකෝන්ගෙන් උනන්දු කාරී පිළිතුරක් නොලැබුණි. 2012 අගෝස්තු 04 දින එම ලිපියට පිළිතුරු ලියන පොලිස්පතිවරයා කියන්නේ, බන්ධනාගාරය තුළ කෙරෙන පරීක්‍ෂණ මෙහෙයුමක් සුදුසු සැලැස්මක් හා එස්ටීඑෆ්-බන්ධනාගාර නිලධාරීන් අතර මනා සම්බන්ධීකරණයක් ඇතුව සංවිධානාත්මකව සිදුවිය යුතු බවයි.
පුදුමයකට මෙන්, 2012 නොවැම්බර් 09 වැනිදා ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමට සහභාගිවුණු එස්ටීඑෆ් භටයන්ගේ සංඛ්‍යාව 798ක් දක්වා වැඩිවී තිබිණ. මෙහෙයුම ක්‍රියාත්මක කළේද වැලිකඩ බන්ධනාගාරයේ පමණකි. එහිද ‘එල්’ සහ ‘චැපල්’ කියන වාට්ටු දෙකක් තුළ පමණි. ඒ අනුව ආයුධ සන්නද්ධ භටයන් 798ක් හා කඳුළු ගෑස් විදින උපකරණද සහිතව කළ ඒ මෙහෙයුම වනාහි මුල් ඉල්ලීමෙන් සම්පූර්ණයෙන් වෙනස් වූවකි. මේ තරම් ප්‍රමාණයක් භටයන් වැඩි කිරීමට හේතුව කුමක්දැ’යි පැහැදිලි නැති අතර, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලි ඒ තරම් විශාල ප්‍රමාණයක් බන්ධනාගාරය තුළට ගැනීමට එකඟවීමද බැරෑරුම් ලෙස ප්‍රශ්න කළ යුත්තකි. ඒ තරම් පිරිසක් සන්නද්ධව බන්ධනාගාරයට ඇතුළු වූ කල ඇතිවිය හැකි නොසන්සුන්කාරි වාතා වරණය ගැන සලකා බැලීමේ වගකීමක් ප්‍රධානියා හැටියට කොඩිප්පිලි මහතාට තිබුණු නමුත් ඒ ගැන සලකා බලා නැත.
සාමාන්‍ය රජයේ නිලධාරියකු හැටියට කටයුතු කොට ඇති කොඩිප්පිලි මහතා, තමාට පළපුරුද්දක් හෝ දැනුමක් නැති මේ තත්ත්වය ගැන අඩු ගණනේ වැලිකඩ බන්ධනාගාර අධිකාරි ජයසිංහ වැනි බන්ධනාගාරයේ පළපුරුදු ඉහල නිලධාරීන් සමඟ සාකච්ඡා කොට තීරණ ගත යුතුව තිබුණි. මේ තත්ත්වය මත කමිටුවේ නිරීක්‍ෂණය වන්නේ, අදාළ මෙහෙයුම ආරම්භයේ සිටම වැරදි තීන්දු තීරණ හා ගණන් බැලීම් මත සිදුවුණු එකක් බවයි. ඒ වරද කර තිබෙන්නේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලි හා රාජ්‍ය ඔත්තු සේවා අධ්‍යක්‍ෂ චන්ද්‍ර වාකිෂ්ඨය. පිටත පිරිසක් සහභාගි කරගෙන, මුලින් නොදන්වා එවැනි මෙහෙයුමක් කළ විට, බන්ධනාගාර කාර්ය මණ්ඩලය අධෛර්යමත් වීමේ අවදානමද නොතකා හැරිය නොහැකිය. එහි අවසන් ප්‍රතිඵලය වියහැක්කේ එම නිල ධාරීන්ගේ කාර්යක්‍ෂමතාව අඩුවීම, විශ්වාස වන්තභාවයේ අඩුවීම, ඵලදායිතාව අඩුවීම වැනි දේය. ඒ තත්ත්වය මත පෞද්ගලිකව බන්ධනාගාර නිලධාරීන් මෙන්ම ආයතනයක් හැටියට සියල්ලන්ම, තමන් අවිශ්වාස කරන ලදැයි හා තමන්ට අගෞරව කරන ලදැයි සිතන්නට ඉඩ තිබේ. එහෙත් කොඩිප්පිලි මහතාගේ අදහස වන්නේ මෙවැනි දෙයක් දූෂිත නිලධාරීන් විසින් සිරකරුවන්ගේ කනේ තැබීමට හොඳටම ඉඩ ඇති බවයි. එනිසා රහස්‍යභාවය ඉහළින්ම රැකගත් බවයි.

එස්ටීඑෆ් මෙහෙයුම නීතියට එකඟද?
කමිටුව ඉදිරියේ සාක්‍ෂි දුන් රජයේ නිලධාරීන් සියලු දෙනාගේම අදහස වුණේ, ආයුධ සන්නද්ධව බන්ධනාගාරය තුළට ඇතුළුවීම නිසැකවම නීති විරෝධී හා බන්ධනාගාර ආඥාපනතේ වගන්ති උල්ලංඝනය කිරීමක් බවයි. බන්ධනාගාර ආඥා පනතේ 77වැනි වගන්තියට අනුව සිරකරුවකු පැනයෑමට උත්සාහ දරන විට, සිරගේ කැඩීමට උත්සාහ දරන විට වැනි සීමිත අවස්ථාවකදී හැරෙන්නට ගිනිඅවි බන්ධනාගාරයක් තුළ කොහෙත්ම පාවිච්චි කළ නොහැකිය. බන්ධනාගාරය තුළට අවි ගෙන ඒම තහනම්ය. බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ, අනුර සේනානායක, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලි, වැලිකඩ බන්ධනාගාර අධිකාරි ගාමිණී ජයසිංහ, මැගසින් බන්ධනාගාර අධිකාරි එමිල් රංජන්, ජේලර් ඉන්දික සම්පත් වැනි අයගේද මතය එයම විය.
එහෙත්, එස්ටීඑෆ් සහකාර පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ හා එස්ටීඑෆ් නියෝජ්‍ය පොලිස්පති රණවන කමිටුවට කීවේ, එස්ටීඑෆ් භටයන් ආයුධ නොමැතිව කිසිම රාජකාරියකට හෝ මෙහෙයුමකට හෝ සහභාගි නොවන බවයි. ආයුධ රැගෙන යෑම ඔවුන්ගේ අනිවාර්ය අවශ්‍යතාවකි. කමිටුව නිරීක්‍ෂණය කළ පරිදි, එස්ටීඑෆ් යනු අර්ධ හමුදා (පැරා-මිලිටරි) ඒකකයකි. ඒ නිසා පොදු රාජකාරියකදී හෝ මෙහෙයුමකදී ආයුධ සන්නද්ධව සිටීම ඔවුන්ගේ අනිවාර්ය අවශ්‍යතාවකි. එය ඔවුන්ගේ නිල ඇඳුමේම කොටසකි. ප්‍රශ්නය වන්නේ එවැනි පැරා මිලිටරි හමුදාවක්, මෙවැනි මෙහෙයුමක් සඳහා යොදාගැනීමය. එය නීතිය උල්ලංඝනය කිරීමකට අමතරව ඉතාම නරක තීරණයකි.
එස්ටීඑෆ් බන්ධනා ගාරයට අවි සහිතව ඇතුළුවීම බන්ධනාගාර ආඥාපනතට පටහැණි බව පෙර කියා ඇත. අනෙක් අතට, එස්ටීඑෆ් බන්ධනාගාරයට ඇතුළුව තිබුණේ අධිකරණයකින් ලබාගන්නා සෝදිසි වරෙන්තුවක්වත් නැතිවය. සෝදිසි වරෙන්තුවක් නැතිව එලෙස ඇතුළුවීම 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ නියමයන්ට සම්පූර්ණයෙන්ම පටහැනිය. තොරතුරුවලින් කියැවෙන අන්දමට, නොවැම්බර් 9 වැනිදා වැලිකඩ එස්ටීඑෆ් මෙහෙයුමේදී එස්ටීඑෆ් හා බන්ධනාගාරය අතර සියලු සම්බන්ධීකරණයන් කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර වාකිෂ්ඨ විසිනි. මේ නිසා, මෙහෙයුම නීත්‍යනුකූල කරගැනීම සඳහා අධිකරණ සෝදිසි වරෙන්තුවක් ලබාගත යුතුව තිබුණේ ඔහු විසිනි. බන්ධනාගාර ආඥාපනතට අනුව බන්ධනාගාර නිලධාරීන්ට හෝ අන් කිසිවකුට ආයුධ සහිතව බන්ධනාගාරයට ඇතුළුවිය නොහැකිය යන කාරණාවද පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වශයෙන් ඔහු දැනගෙන සිටිය යුතුව තිබිණි.

එස්ටීඑෆ් නීති විරෝධියි
මේ අනුව කමිටුවේ පැහැදිලි නිරීක්‍ෂණය වන්නේ එස්ටීඑෆ් නිලධාරීන් ආයුධ සහිතව බන්ධනාගාරය තුළට ඇතුළුවීම නීතිය මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් බවයි. එය නීත්‍යනුකූල නොවේ. එසේම, නොවැම්බර් 9 වැනිදා එස්ටීඑෆ් ඇතුළුවීමට පෙර බන්ධනාගාරය තුළ තිබුණු සාමකාමි නිශ්චලත්වය විසින් එවැනි මෙහෙයුමකට කිසිම අනුමැතියක් නොදෙන බවද පැහැදිලිය.
එවකට බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍යාං ශයේ ප්‍රධාන නීති උපදේශක ලලිත් අන්ද්‍රාහැන්නදි, ආරක්‍ෂක අමාත්‍යාංහයේ පැවැති මේ මෙහෙයුම සඳහා කටයුතු සූදානම්වූ සෑම රැස්වීමකටම පාහේ සහභාගිවී ඇත. එහිදී, මේ සම්බන්ධව බන්ධනාගාර ආඥා පනතේ හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඇති ප්‍රතිපාදන ගැන අනෙක් අය දැනුවත් කළ යුතුව තිබුණේ ඔහු විසිනි. ආයුධ සන්නද්ධව හා සෝදිසි වරෙන්තුවක් නැතිව බන්ධනාගාරයට ඇතුළුවීම වරදක් බව ඔහු පැහැදිලි කළ යුතුව තිබුණි. ඔහු එය කර තිබුණේ නැත. එය බන්ධනාගාර අමාත්‍යාංශයේ නීති උපදේශක වශයෙන් සිය වගකීම පැහැර හැරීමක් වනවා පමණක් නොව, වෘත්තියෙන් නීතිඥවරයකු ලෙසද සිය වගකීම පැහැර හැරීමකි.
ඊට අමතරව, මේ ත්‍රිපුද්ගල කමිටුව ඉදිරියේ පෙනීසිටින්නට ඔහුට දැන්වුවද ඔහු එම පෙනීසිටීම පැහැර හැරියේය. එය කමිටුව විසින් දෙන ලද විධානයකට ඔහු අගෞරව කිරීමකි.
පොලිස්පතිවරයාට අනුව, නොවැම්බර් 9වැනිදා බාහිර පාර්ශ්වයකට ආයුධ සන්නද්ධව ඇතුළට එන්නට බන්ධනාගාර බලධාරීන් අවසර දුන්නේ නම්, ඒ මෙහෙයුම සම්බන්ධ වගකීම පැවරෙන්නේ එසේ අවසර දුන් පුද්ගලයා වෙතය.

එස්ටීඑෆ්ට අනුමැතිය දීම
බන්ධනාගාරයේ හා බන්ධනාගාරය භාර අමාත්‍යාංශ නිලධාරීන්ගේ සාක්‍ෂි අනුව, එස්ටීඑෆ් නිලධාරින් යොදවා මෙහෙයුම කිරීමේ නියෝගය දුන්නේ ගෝඨාභය රාජපක්‍ෂ විසිනි. (එහෙත් ඔහු ඒ බව සිය සාක්‍ෂියේදී ප්‍රතික්‍ෂෙප කළේය.) එවකට බන්ධනාගාර අමාත්‍යාංශයේ ලේකම් ආරියසිරි දිසානායක කිව්වේ, මේ මට්ටමේ එස්ටීඑෆ් මෙහෙයුමක් කරන්නට කිසිම අවශ්‍යතාවක් ඒ අවස්ථාවේ නොතිබුණු බවයි. එවැනි මෙහෙයුමක් කෙරුණේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ බලකිරීම නිසාය. ඔහුගේ නියමයන්ට යටත්වීමට සියලු රාජ්‍ය නිලධාරීන්ට සිදුවී තිබුණි. (දිසානායකගේ අදහස ගෝඨාභය රාජපක්‍ෂ විසින් කමිටුව ඉදිරියේදී ප්‍රතික්‍ෂෙප කරන ලදි.)
කමිටුව ඉදිරියේ පොලිස් හා බන්ධනාගාර නිලධාරීන් දැක්වූ කරුණු අනුව, මෙහෙයුම පිළිබඳව සම්පූර්ණ සම්බන්ධීකරණය හා සූදානම කළේ රාජ්‍ය ඔත්තු සේවයේ හා ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර වාකිෂ්ඨ විසිනි. ඔහු ඒ සඳහා සූදානම් කළ සෑම රැස්වීමකටම පාහේ ගියේය. වාකිෂ්ඨ කමිටුව හමුවේ කිව්වේ, සියලු රැස්වීම්වලදී මෙහෙයුම පිළිබඳව ගත් තීරණ තමා පොලිස්පතිවරයාට වාර්තා කළ බවත්, මෙහෙයුම ඉදිරියට කරගෙන යෑමට පොලිස්පතිවරයාගෙන් වාචික අනුමැතිය ලැබුණු බවත්ය.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ පොලිස්පති එන්කේ ඉලංගකෝන් කිව්වේ, තමාට කොඩිප්පිලි මහතාගෙන් එස්ටීඑෆ් භටයන් 300ක් පමණක් යොදාගෙන බන්ධනාගාර තුනක සෝදිසි මෙහෙයුමක් කිරීමට ඉල්ලීමක් ලැබුණු බව හා ඊට පිළිතුරු ලෙස එය මනා සංවිධානයකින් කළ යුතු බවත් හදිසියකින් නොකළ යුතු බවත් දැනුම් දුන් බවයි.
2012 අගෝස්තු 16 වැනිදා පොලිස්පතිට ලැබුණු ලියුමකින්, බන්ධනාගාර අමාත්‍යාං ශයේ පැවැත්වෙන රැස්වීමකට පොලිසියේ සහභාගිත්වය අපේක්‍ෂා කර තිබුණි. පොලිස්පතිවරයා ඒ සඳහා නිර්දේශ කළේ නියෝජ්‍ය පොලිස්පති වාකිෂ්ඨය. ඔහු ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පැවැති රාජ්‍ය ඔත්තු සේවයේ (එස්අයිඑස්) ප්‍රධානියා වීමද ඊට හේතුවිය. එහෙත් පොලිස්පතිවරයා කමිටුව හමුවේ අවධාරණය කළේ, එම රැස්වීම්වල සිදුවුණු කිසිවක් වාකිෂ්ඨ තමාට වාර්තා නොකළ බවය. ඒ නිසා වාර්තා කිරීමට තරම් සුදුසු කිසිවක් රැස්වීම්වලදි නොවෙතැයි තමා සිතූ බවද පොලිස්පතිවරයා කීවේය. පොලිස් පතිවරයාගේ ස්ථාවරය වුණේ, නොවැම්බර් 9වැනිදා එස්ටීඑෆ් මෙහෙයුම ගැන තමා නොදැන සිටි බවයි. වාකිෂ්ඨ, රණවන හෝ කොඩිප්පිලි ලිඛිතව හෝ වාචිකව ඒ ගැන කිසිවක් තමාට දැනුම් නොදුන් බවයි. අනෙක් අතට, මෙහෙයුම පැවැති නොවැම්බර් 9 වැනිදා පොලිස්පතිවරයා ලංකාවේ සිටියේ නැත. ඉතාලියේ රාජකාරි සංචාරයකට පසු ඔහු සේවයට වාර්තා කර තිබුණේ නොවැම්බර් 10වැනිදාය. ඒ වහාම වැලිකඩ සිදුවීම ගැන පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඔහු සීඅයිඩීයට නියම කර තිබුණි. ඒ අවස්ථාවේ වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කළ ගාමිණී නවරත්න මහතාද මේ බව තහවුරු කළේය. වැඩ බලන පොලිස්පතිවරයා කීවේ, මෙවැනි මෙහයුමක් සඳහා සූදානම්වීම ගැන හෝ එවැන්නක් කිරීම ගැන හෝ තමා කිසිවක් නොදැන සිටි බවයි. පොලිස් මූලස්ථානය හැටියට මෙම මෙහෙයුම සඳහා කිසිම අණ කිරීමක් හෝ උපදෙස් සැපයීමක් හෝ කළේ නැති බවද ඔහු කිව්වේය.
පොලිස්පතිවරයා මෙන්ම එවකට වැඩ බැලූ පොලිස්පතිවරයාද කමිටුව හමුවේ අවධාරණය කළේ, මෙහෙයුම පැවැත්වුණු කාලය වන විට රාජ්‍ය ඔත්තු සේවය පමණක් නොව, එස්ටීඑෆ්ද පැවතුණේ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ බවයි. ඔවුන් කටයුතු කළේ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝග හා අණ පරිදිය. අන් කිසිවකුට එස්ටීඑෆ් ගැන පාලනයක් නොතිබුණි.
මේ අනුව කමිටුවේ නිරීක්‍ෂණය වන්නේ, එස්ටීඑෆ් නිලධාරීන් යෙදවීමට විධානය දී ඇත්තේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ බවයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ මෙහෙයුම සම්බන්ධව බන්ධනාගාර නිලධාරීන් සමඟ සම්බන්ධීකරණ කටයුතු කරන ලෙස නියෝජ්‍ය පොලිස්පති වාකිෂ්ඨට නියම කර තිබේ. මෙහෙයුම සඳහා මූලික සූදානම් කිරීම් හා අදාළ සියලු කටයුතු ඉටුකර ඇත්තේ චන්ද්‍ර වාකිෂ්ඨ විසිනි.■
ප්‍රහාරයට වගකිව යුත්තන් ගැන කමිටුවේ නිරීක්‍ෂණ ලබන සතියේත් රාවයෙන් කියවන්න.