විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ජනාධිපතිතුමා පොරොන්දු වුණා | සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න

තරිඳු උඩුවරගෙදර

ඔබ වෘත්තීය සමිතිවලට ඕනෑ විදියට වැඩ කරන්නෙ නැති බව කියලා තිබුණා.

වෘත්තීය සමිතිවලට මාරුවීම්වලට මැදිහත් වෙන්න පුළුවන්. ඒත් පත්කිරීම්වලට මැදිහත් වෙන්න බැහැ. පත්කිරීම්වලදී වුණත් කෙනෙක්ගේ මෙරිට් එකට සුදුසු පත්වීම් දුන්නේ නැතිනම් ඒ ගැන කතා කරන්න පුළුවන් බව ඇත්ත. ඒත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙතැන රෝහල් ගැන තීන්දු කිරීමට මැදිහත් වෙන්න යන්නේ. ඒක එයාලාට තීන්දු කරන්න බැහැ. ඒක තීන්දු කරන්න ඕනෑ අපි අවශ්‍යතාව අනුවයි. මෙතෙක් වෘත්තීය සමිතිවලට ඕනෑ විදියට මේවා කරලා රෝහල් වහලා. මම කීවේ මුලින්ම රෝහල් ටික අරින්න. මම එච්චරයි කීවේ. අනිත් හැමදේම ස්වාධීනව අධ්‍යක්ෂවරුන්ට කරගන්න ඉඩ දුන්නා. මෙහේ ක‍්‍රමයක් හැදිලා තියෙනවා මේ වෘත්තීය සමිතියට ඕනෑ විදියට හැමදේම කරන්න. මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ස්වාධීනව වැඩ කරනවා. මාත් එක්කවත් ඔහු අනවශ්‍ය සම්බන්ධතාවලට එන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිලධාරියාට මෙයාලා බැන්නාම මම ආරක්ෂා කළා. ඒ නිසා ඉන් පස්සේ මේ අය මට බනින්න පටන් ගත්තා.

ජාතික ඖෂධ අධිකාරියේ නිලධාරීන් එක්ක ගැටුම් ඇතිකර ගත්තේ ඇයි?

සභාපතිවරයා ඉල්ලා අස්වෙලා තියෙනවා. ඇත්තටම මේ නිලධාරීන්ගේ දැනුම ඉහළයි. ඒත් ගැටලූව ප‍්‍රායෝගික අවබෝධයක් නැතිකම. මෙතැන ප‍්‍රධාන පුටු දෙකටම මහාචාර්යවරු පත් කළා. ඒ අයට පරිපාලනය තේරෙන්නේ නැහැ. විශේෂයෙන් ප‍්‍රධාන විධායක නිලධාරියා ක‍්‍රිෂාන්ත වීරසූරියට ප‍්‍රායෝගික දැනුම අඩුවීම ගැටලූවක්. ඖෂධ දැනුම තිබුණත් මේකේ කඩා පනින හමුදාවක් එහෙම හදලා මේකේ ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් දියත් කරන්න ඕනෑ. ඒවා මොනවත් නෑ. අලූත් ඖෂධ ලියාපදිංචි කරන්නේ නැහැ. ඒකේ වාසිය ඖෂධ සමාගම්වලට. හැමකෙනාම හොරු කියලා හිතාගෙන මෙතැන වැඩ කරන්න බැහැ. කාලයක් තිස්සේ මෙසේ ඖෂධ ගෙනා සමාගම් ලියාපදිංචි කරන්නත් මුල ඉඳන් සියල්ල පරීක්ෂා කරනවා. ඒකෙන් මට රුපියල් මිලියන 78ක් පාඩුයි. මම ඒ නිලධාරීන්ව ගෙන්නලා කීවා මට මේ සල්ලි වියදම් කරන්න බැහැ කියලා. ඔවුන්ගේ ක‍්‍රමවේද හින්දා කට්ටියට ජාවාරම් කරන්න ලැබුණා.

ඔබ ඇතුළු ඇමතිවරු සිව්දෙනෙක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියේදී මොනවා සිදුවෙයිද?

ජනාධිපතිතුමා කිව්ව විදියට මේක කැබිනට් මණ්ඩලයේ කතා කළොත් විත්තිකරුවන්ට යන්න ඉඩ තියෙනවා. අපි කාලයක් කැබිනට් මණ්ඩලයේ කිහිපදෙනෙකුට විරුද්ධව කතා කළා. ඒ අය තමයි මේවා පිටකරන්නේ. දැන් ජනාධිපතිතුමා කීවා ඉක්මනින්ම අපි හතරදෙනාට මේ පරීක්ෂණ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන්නටත් අදාළ නිලධාරීන් ගෙන්නලා සාකච්ඡුා කරන්නත් ඉඩ ලබාදෙනවා කියලා. අගමැතිතුමා සහ ජනාධිපතිතුමා එක්ක අපි ඉඳගෙන ෆයිල් එකින් එක හිරවෙලා තියෙන තැන් ගැන පරීක්ෂා කරනවා.

විධායක ජනාධිපති ක‍්‍රමය පවත්වාගෙන යා යුතු බව ශ‍්‍රීලනිපයේ අදහස. ජනාධිපතිවරයා පක්ෂයේ සභාපතිවරයා. ඔහුගේ පොරොන්දුවලට මොනවා වෙයිද?

ව්‍යවස්ථා සම්පාදක සභාව පත්කරලා තියෙනවා. ඒකේ වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඒ හරහා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා. පක්ෂයේ සභාපතිවරයාට පක්ෂයේ ව්‍යවස්ථාව හැටියට එයාගේ අභිමතය ක‍්‍රියාත්මක කරන්න පුළුවන්. අවසාන තීන්දුව නායකයාගේ. 1978 මේ ව්‍යවස්ථාව ගෙන ආ දවසේ ඉඳන් පක්ෂයට තිබුණු මතය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි කියලා. ඉතිහාසයේ පළවෙනි වතාවට මහින්ද රාජපක්ෂ යුගයේ පක්ෂයේ අය විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවෙන් කතා කළා. එහෙම තීන්දු ගන්නවා නම් ඒ මහින්දට වුවමනා තීන්දු ගන්නේ. ඒවාට ජනාධිපතිතුමා ඉඩ තියන්නේ නැහැ.

පක්ෂයේ බහුතර අදහසට එරෙහිව යනවාද?

බහුතර මතය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න. ජනාධිපතිතුමාට ජනවරම දුන්නේ ඒකට. එතුමා සෝභිත හාමුදුරුවන්ගේ දේහය ඉදිරිපිට පොරොන්දු වුණා ඒක. මේ ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලිය යන්නෙත් ඒ අරමුණට.
මේ ආණ්ඩුව ඇතුළේ චෝදනා තියෙන අයටත් ඉඩ ලැබෙනවා. චෝදනාලාභීන් ආණ්ඩුව වෙනුවෙන් පෙනී ඉන්නවා.
ඇවන්ගාඞ් සිදුවීමේදී අපව පට්ට පතුරු ගැහුවා. ඒත් අපි දැඩි ස්ථාවරයක සිටියා. සල්ලි විසි කළ පළියට කාටවත් මේකේ දොරවල් විවෘත කරන්න නරකයි. චෝදනාලාභීන්ට විරුද්ධව අපි සිවිල් සමාජය එක්ක ඇතුළේ ඉඳන් සටන් කරනවා. අද අර්ජුන මහේන්ද්‍රන්ට විරුද්ධව අපි කතා කරන කොට එයා ලොකු මාධ්‍ය මෙහෙයුමක් කරනවා. එයා පෙන්නන්න හදන්නේ අපි දූෂිතයි කියලා.

අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාලය දිගු කරන පාටක් පෙනෙන්නේ.

ඒක තියෙන්නේ ජනාධිපතිතුමා අතේ. අපි ඒකට විරුද්ධව කැම්පේන් එක පටන් අරන් තියෙන්නේ. අපිත් එක්ක ඉඳලා බෙල්ල තියලා මේ ආණ්ඩුව හදපු සිවිල් සමාජ ව්‍යාපාර ඔක්කොම මේකට විරුද්ධයි.

ඔබ සිවිල් සමාජය එක්ක ඉන්නවාද?

මම සිවිල් සමාජය එක්ක ඉන්නවා. මේ කාරණා සම්බන්ධයෙන් සිවිල් සමාජයේ සහ අපේ අදහස්වල කිසිම වෙනසක් නැහැ. ඒ අය එක්ක අපි සටන් කරනවා.

ජාතික ආණ්ඩුව අවුරුදු දෙකකින් අවසාන වන බව ශ‍්‍රීලනිප ඇමතිවරු කියනවා නේද?

එයාලා කොහොමද ඒක තීන්දු කරන්නේ. ජාතික ආණ්ඩුව හදන්න බෙල්ල දීපු පිරිසක් ඉන්නවා. ඒක හැදුවේ ඉලක්ක ගොඩක් සපුරා ගන්න. ඒ ඉලක්කවලට ගිිහින් මීළඟ මැතිවරණය පවත්වන තෙක් ජාතික ආණ්ඩුව තියෙනවා.

බලතල බෙදීම ගැන ආණ්ඩුව පැහැදිලි පියවරක් ගත යුතුයි නේද?

බලය බෙදන්න අවශ්‍යයි. ඒත් ඒකට නම් කියන්න අවශ්‍ය නෑ. ෆෙඩරල් ඒකීය විවාදයට හසු නොවී බලතල බෙදන්න ඕනෑ. ඉන්දියාවේ මේ ලක්ෂණ දෙකම එක්ක හොඳට කරගෙන යනවා. අපේ රටේ ෆෙඩරල් න්‍යාය ඉස්සරහට ගෙනාවේ තමිල් අරසුකච්චි පක්ෂය. ඒක තමයි අවාසිය. දෙමළ රාජ්‍ය පක්ෂය ෆෙඩරල් ඕනෑ කිව්වාම දෙමළ රාජ්‍යයකට ෆෙඩරල් ඉල්ලනවා කියලා තමයි කියන්නේ. ඒ හින්දා ෆෙඩරල් ක‍්‍රමයට බියක් තියෙනවා. දැන් බලය බෙදීම සංකීර්ණයි. ඉස්සර ව්‍යුහ සූත‍්‍ර න්‍යායන් එක්ක නෙමෙයි අපි කතා කරලා මේක විසඳගන්න ඕනෑ. ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව බලය තවදුරටත් බෙදන්න එකඟයි. එජාපයත් එතැනට ගෙනෙන්න අමාරු නැහැ. සියලූ ජාතිවාදී බලවේග නැගිටියි. ඒත් ප‍්‍රධාන පක්ෂ දෙක එක මතයක හිටියොත් මේක සාර්ථක කරගන්න පුළුවන්. මොකද මීට කලින් පළාත් සභා ක‍්‍රමය ගෙනාවෙත් ජේආර්ට හයෙන් පහක් තිබුණ නිසා. පළාත් සභා එපා කියලා ඒකට පක්ෂව කතා කළ මට එදා බෝම්බ ගහපු අය අද පළාත් සභාවල වාඩි වෙලා ඉන්නවා. ඒ වාගේ විරෝධයක් ආවත් අපි ස්ථාවර මතයක ඉඳලා බලතල තවදුරටත් බෙදන්න කටයුතු කරනවා.