රාවය

ආණ්ඩුවේ අධිෂ්ඨානය මොකක්ද

ආණ්ඩුවේ අධිෂ්ඨානය මොකක්ද

ආණ්ඩුවට අවුරුදු දෙකක් ගතවන කාලයක මේ ප්‍රශ්නය අසන්නට සිදුවීම ම ඛේදයකි.
එහෙත් ආණ්ඩුව, එහි නායකයන් කරන කියන දේ පෙනෙන විට මේ ප්‍රශ්නය අසන්නට ම සිදුවෙයි. පිටතට නම් පෙනෙන්නේ ආණ්ඩුව එදා වේල සොයමින් හිස ඇරුණු අතේ ඉබාගාතේ යන බව ය.
ආණ්ඩුව බලයට පත් කරන්නට වෙහෙසුණු කිසිවකු ආණ්ඩුවේ මේ ඈලිමෑලි ප්‍රතිපත්තිය ඉවසන්නේ නැත. එපමණක් නොවේ, තමන් අද වැඩ කරන හැටි සාධාරණීකරණයට ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් කියන විවිධ ක්‍ෂමාලාපයන් ද පිළිගන්නේ නැත. ආණ්ඩුව පත්කළේ ඊට පෙර තනතුරුවල සිටි මුහුණු මාරු කර රටේ සුළු වෙනසක් කරන්නට නොවේ. සමස්ත ක්‍රමයේ ම කල් පවතිනසුලු වෙනසක් කර ගන්නට ය. ඒ වෙනස කරන බවට ඒ අවස්ථාවේදී පොදු අපේක්‍ෂකයාත්, අගමැති අපේක්‍ෂකයාත් ජනතාව ඉදිරියේ පොරොන්දු වුණෝ ය. පාලන කාලයෙන් භාගයක් ගෙවී යමින් තිබියදීත් මේ වන විට ඉටු වී ඇත්තේ ඒ පොරොන්දුවලින් සොච්චමකි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, දෙමළ ජනතාව සමඟ බලය බෙදාහදා ගැනීම හා නව මැතිවරණ ක්‍රමයක් ඇතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒම, පසුගිය ආණ්ඩුවේ වංචනිකයන්ට දූෂිතයන්ට තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් පැමිණවීම, මේ ආණ්ඩුවේ සාමාජිකයන් වංචා දූෂණවලින් සම්පූර්ණයෙන් වෙන් වී සිටීම, මේ ආණ්ඩුවේ එසේ කරන්නන් වෙතොත් ඔවුන්ට ද නීතිය සමාන ව ක්‍රියාත්මක කිරීම ඒ පොරොන්දු අතර තිබුණු බව නැවත නැවතත් මතක් කරන්නට සිදුවීම ම අභාග්‍යයකි. එහෙත්, ඒවා මතක් කරලීම අපේ වගකීමක් වන්නේ, ආණ්ඩුවට මේ කිසිවක් ගැන මතකයක් තිබෙන බවක් නොපෙනෙන නිසා ය.
ආණ්ඩුවට බැඳීම් දෙකක් තිබේ. එකක්, ලංකාවේ රටවැසියන් වන සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන්ට ඇති බැඳීම ය. දෙවැන්න ජාත්‍යන්තරයට ඇති බැඳීම ය. මේ දෙකම එක හා වැදගත් ය.
ආණ්ඩුව ලංකාවේ රටවැසියන්ට වන බැඳීම් ඉටු කරන්නට දේශපාලන අධිෂ්ඨානයක් පෙන්වන්නේ නැත. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් විශ්වාස කටයුතු පැහැදිලි කිරීමක් මේ වන තෙක් සිදු කර නැත. ඒ වෙනුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට, බලය බෙදීමකට එරෙහි බලවේගවලට නම් ආණ්ඩුව තුළ ම යටිතල පහසුකම් සපයා තිබේ. ඔවුහු වරින් වර ඉදිරියට ඇවිත් කියන්නෝ, ජනවාරි 8 බලවේගවල කනස්සල්ලට හේතුවන දේ ය. අනෙක් අතට ජනවාරි 8ට පෙර මුස්ලිම් හා වෙනත් ආගමික ජනතාවට විවිධාකාර හිරිහැර හා විනාශ කළ බොදු බල සේනාව වැනි බෞද්ධ අන්තවාදීන් දැන් දැන් ආණ්ඩුවේ තුරුලට ගෙන සනහනු ද දක්නට ලැබේ.
වංචා දූෂණ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ සුපුරුදු පරිදි මන්දගාමී ය. අධිකරණය ඉදිරියට ඒවා එන්නේ ද මන්දගාමී ව ය. ඒ සම්බන්ධ නඩු ඉක්මනින් විසඳන්නට ක්‍රමයක් හදා ගන්නට ආණ්ඩුවට තවමත් හැකියාවක් ලැබී නැත. ඒ අතර, ජනාධිපතිවරයාගේ පැත්තෙනුත්, අගමැතිවරයාගේ පැත්තෙනුත් පරණ දූෂිතයන්ට මෙන් ම අලුත් දූෂිතයන්ට ද අපරාධකාරයන්ට ද ලැබෙන ආරක්‍ෂාව සුළුපටු නැත. පරණ ආණ්ඩුවේ ලොක්කන්ගේ කළු සල්ලි සුදු කළායැ’යි චෝදනා ලත් හදිසි සල්ලිකාරයන් මේ ආණ්ඩුවේද ආර්ථික ගැලවුම්කාරයන් බවට පත් වී තිබේ. එවැනි එක් අයකුට හොරණ ප්‍රදේශයෙන් රජයේ ඉඩම් ලබා දී තිබෙන්නේ අක්කරයක් රුපියල් සියයක් තරම් වන මුදලකට ය. ඒ රජයේ ඉඩම් වෙළෙඳ වටිනාකම අනුව ලබා දිය යුතුයැ’යි නීතියක් රටේ පවතිද්දී ය. ප්‍රමුඛ ඇමතිවරුන්ට එරෙහි ව ඉතාමත් බරපතළ වංචා හා දූෂණ චෝදනා, සිය බලය අවභාවිත කිරීම පිළිබඳ චෝදනා, සිය පවුල්වල සාමාජිකයන්ට සැලකීම පිළිබඳ චෝදනා එල්ල වී තිබේ. මේවා ගැන සොයා බලන්නට අවංක වැඩපිළිවෙළක් ඇති කර ගන්නට ආණ්ඩුව අසමත් වීමෙන් පෙනෙන්නේ ආණ්ඩුවේ දේශපාලන අධිෂ්ඨානයේ අඩුව යි.
ආණ්ඩුව විසින් ලංකාව ජාත්‍යන්තර තලයේදී ඔසොවා තැබුණු බවට ස්තෝත්‍ර ගැයීම පසුගිය කාලයේ දක්නට ලැබුණි. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ආණ්ඩුවත් ලංකාව පෙර තිබුණු අපකීර්තියෙන් මුදවා ගෙන ජාත්‍යන්තරයේ නමක් දිනා ගන්නා තත්ත්වයට පත් කළ බව ඇත්ත ය. එහෙත්, දැන් සිංහල බෞද්ධ සංස්කෘතිය, ස්වෛරීභාවය, රණවිරුවන් ආරක්‍ෂා කර ගැනීම වැනි ස්වෝත්තමවාදී දුර්මත මේ ආණ්ඩුවේ ලොක්කන්ගේ ඔළුවලට ද රිංගා තිබේ. ඒ විසින් නොමඟ යවනු ලැබ ඒ ජාත්‍යන්තර සහයෝගය නැති කර ගැනීමේ අවදානම් ගමනක ආණ්ඩුව යනවාදැ’යි සාධාරණ සැකයක් ඇතිවන තරමට දේවල් දැන් සිදුවෙමින් තිබේ.
තමන් ඔසොවා තැබූ ප්‍රගතිශීලී බලවේගවලින් වියෝ වන්නට වන්නට තමන්ගේ දේශපාලන ආයුෂ කෙටි වන බව ආණ්ඩුවේ නායකයන් දැන ගත යුතු ය.■