ඩන්කන් වයිට් සහ පදනම

ඒ. වික‍්‍රමසූරිය

ක්‍රීඩා අමාත්‍ය දයා සිරි ජයසේකර ගේ සම්මාන උළෙලින් හැලූණු ඩන්කන් වයිට් පිළිබඳ මතකය ඇවිස්සීමක් අපි ගිය සතියේ කළෙමු. ඒ පිළිබඳ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයෙන් අපට ලද සුබ පැතුම් විශාලය. ඩන්කන් වයිට් සමග සිහිකැඳවූ සෙසු නම් පිළිබඳවද හීල්ලූ බොහෝ අය ඩන්කන් වයිට් අමතක කළේ නම් සෙසු නම් අමතක වීම අරුමයක්දැයි විස්මයාර්ථය පළ කළහ.

ඩන්කන් වයිට් අමතක කොට අපට යා හැකි දුර කෙතරම් කෙටිද? දයාසිරි ජයසේකර වැනි ක‍්‍රීඩා අමාත්‍යවරයෙකුගෙන් හැර මෙවැනි අඩුවක් විය නොහැකි තරම්ය. අනෙක් අතට ඔහුට උපදෙස් දෙන්නන්ගේ තරමද එයින් මනාව ගම්‍ය වේ.

එය පසෙකට තබා නැවත ලියනුයේ ඩන්කන් වයිට් ගැනමය.
බදුරලිය ලත්පඳුර නම් ග‍්‍රාමයේ බර්ගර් ජාතික වැවිලිකරුවන් යුවළකට දාව 1918 මාර්තු 01 වැනිදා උපත ලැබූ ඩන්කන් වයිට් වැඩිදුර අකුරු කළේ නුවර ත‍්‍රිත්ව විද්‍යාලයෙනි.

ඒ ඔහුගේ මුල් මතකයය. පාසල් කාලයේ සිටම ක‍්‍රීඩාවට දක්ෂතා දැක්වූ ඩන්කන් වයිට් ක‍්‍රීඩාවේ මුල් පන්නරය ලබනුයේ යටත් විජිතයකු ලෙසය. එහෙත් ඔහු ඔලිම්පික් පදක්කමක් ලබනුයේ නිදහස් ලාංකිකයකු ලෙසය. සුද්දාගේ පාලනයෙන් 1948 මිදෙන අප නිදහස් ශ‍්‍රී ලංකා පිලක් ලෙස ඔලිම්පික් ගමන හා හා පුරා කියා යනුයේද 1948දීමය. සුද්දාගෙන් නිදහස්ව සුද්දාගේ රටේදීම ලංකා ලකුණු සටහන් කරන්නට හැකිවූ අභිමාන ලංකා පුත‍්‍රයා ඩන්කන් වයිට්ය. එය අපූරු සරදමකි. එහෙව් කෙළියක් කළ මේ කෙළිකාරයාට රටක් ලෙස අප ණයගැති නොවේද?
ඩන්කන් වයිට් කෙටි කාලයක් පුහුණුව ලද මේ ජයග‍්‍රහණය ලැබීම අපූරුය. ඩන්කන් වයිට්ගේ පදක්කම මෙරට අමරණීය සිහිවටනයකි.

ලංකාවේ ඔලිම්පික් කණ්ඩායම රැුගත් ‘එස්.එස්. හෙරිෆෝ ඕෂයර්’ නෞකාව 1948 මැයි 22 වැනිදා කොළඹ වරායෙන් පිටත් වූයේය. එය එංගලන්තයට ළඟාවනුයේ ජුනි මස 12 වැනිදාය. එතැන් සිට ලන්ඩන් දේශගුණයට යම් හුරුවක් ලබමින් පුහුණු වන ශ‍්‍රී ලංකා පිලට මාස ගණනක් කල් තියෙනුයේ ඔලිම්පික් උළෙලෙහි ආරම්භය ජූලි 29 වැනිදාට යෙදී තිබුණු බැවිනි. දීර්ඝ කාලයක් මුහුදු සංචාරයක නියැලෙමින් සුද්දගෙන් නිදහස ලබා සුද්දාගේ රටේදීම පෙළහර පාන්නට සමත් වූ මේ අපූරු මිනිසා අද දවසේ අමතක වූයේ කෙසේද?

මීටර් 400 කඩුලූ මතින් දිවීමේ ඉසව්ව ලෝක වාර්තාවක් තබන්නට ඩන්කන් වයිට්ට හැකිවූයේ රිදී පදක්කමින් සෑහීමකට පත් වුවද වාර්තාව අබිබවා යෑමට ඒ කාලය ප‍්‍රමාණවත් වූ බැවිනි. තත්පර 51.8කින් එදා තරගය නිම කළ ඩන්කන් වයිට් දෙවැනි වූයේ ඇමරිකානු ක‍්‍රීඩක රොයි කොක්රන්ටය. (තත්පර 51.1) මෙරට සහභාගි වූ පළමු ඔලිම්පික් තරගාවලියෙන්ම රිදී පදක්කමක් දිනූ මේ මිනිසා ප‍්‍රථම ජනපති සම්මාන උළෙලින් හැලී යන්නේ කෙසේද?
අතීතය ගැන මහා ඉහළින් පාරම්බාන ජාතියක් මෙතරම් ඉක්මනින් අතීතය වළ දමන්නේ ඇයි?
එදත් ඩන්කන් වයිට්ට ඉතිරි වූයේ අමිහිරි අත්දැකීම්මය. ඒ මේ රටේ ආරක්ය.

ඒ අමිහිරි මතක පොදි බැඳ ඔහු විදෙස්ගත වූයේද මෙරට ඔහුට හිමි තැනක් නැති නිසාය.
එහෙත් මහත්වරුන්ගේ මැදිහත්වීමකින් ඩන්කන් වයිට් මියැදෙන්න පෙර රටක් ලෙස ඒ පව් ගෙවා දමන්නට අපට හැකිවූයේ ‘ඩන්කන් වයිට්’ පදනම හරහාය. ඩන්කන් වයිට්ට උපහාරයක් ලෙස ඇරඹෙන ‘ඩන්කන් වයිට් පදනම’ ආරම්භ වන්නේ ඇමරිකාවේදීය. ඒ මෙරට වෙසෙන පුද්ගල අතළොස්සක එකතුවෙනි. ඒ ආරම්භක සාකච්ඡුා එලෙස පටන් ගෙන මෙරට එය ස්ථාපිතවන්නේ 1990 මාර්තු 01 වැනිදා ඩන්කන් වයිට්ගේ හැත්තෑ දෙවැනි උපන් දින සැමරුමක් විදිහටය. හිටපු අමාත්‍යවරයකු වූ මිලින්ද මොරගොඩ, පරිපාලන සේවයේ නියුතු ජේම්ස් එච්. ලැනරෝල්, මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, ශ‍්‍රීලාල් පෙරේරා, දේවින්ද සුබසිංහ සහ සරලා එම්. ප‍්‍රනාන්දු ඒ අතර ප‍්‍රමුඛ වූහ.
ඩන්කන් වයිට් පදනමේ ආරම්භක සභාපති කාවන් රඹුක්වැල්ල මහතාය (1990-1994). ඉන්පසු කෙන් බාලේන්ද්‍ර (1994-1998), ජෙනිෆර් මොරගොඩ (1998-2002), ක‍්‍රිෂාන්ත පෙරේරා (2002- ) ඩන්කන් වයිට්ගේ ජයග‍්‍රහණයෙන් වසර පනස් දෙකක් ගෙවෙන තැන එනම් 2000දී අපට නැවත ඔලිම්පික් පදක්කමක් දිනාගැනීමට හැකිවිය. ඒ සුසන්තිකා ජයසිංහගේ දෙපාවලට පින්සිදු වෙන්නටය.

ඩන්කන් වයිට් පදනම මේ ලිපියට ඈඳා ගනුයේ වෙන කිසිවක් නිසා නොව එතෙක් අත හැරුණු ඩන්කන් වයිට් ඇගැයීම මේ පදනම කරට ගත් නිසාය.
ඩන්කන් වයිට් මහතාට නැවත මෙරට පුරවැසිභාවය හිමිකර දීමට මේ පදනම ක‍්‍රියා කිරීම හරහා ඩන්කන් වයිට් නැවත මේ පොළොවෙහි උපද්දනු ලැබීය. 1997 ඩන්කන් වයිට්ගේ 79 වන උපන් දිනයට එම පදනම මේ තුටු පඬුර වයිට් මහතාට පිරිනැමීය. මේ පිටුපස හිටපු අමාත්‍යවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර්ද විශාල වැඩ කොටසක් කළේය. එපමණක් නොව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඩන්කන් වයිට් මහතා ‘දේශමාන්‍ය’ සම්මානයෙන්ද පිදීය. ඩන්කන් වයිට් පදනම මේ සෑම කාර්යයකදීම පෙරමුණ ගත් අතර ඩන්කන් වයිට් නමින් ඇගයීමේ සම්මාන උළෙලක්ද පැවැත්විය. එය කිහිප වාරයක් පැවති අතර ඩන්කන් වයිට් මෙහි මුල් කාලයේ ප‍්‍රධාන ආරාධිතයා විය.
‘මම මැරෙන්න කලියෙන් මේ රටෙන් තවත් ඔලිම්පික් පදක්කම්ලාභියෙක් බිහිවෙනවා දකින්න ඇත්නම් ඒක තමයි මගේ ලොකුම සතුට.’

ඒ ඩන්කන් වයිට් ප‍්‍රාර්ථනා කළ පැතුම වුවත් ඔහුට ඒ වෙනුවෙන් හුස්ම අල්ලාගෙන ඉන්නට නොහැකි විය. 1998දී වයිට් මහතා මිය ගියේය. එහෙත් ඉන් දෙවසරකදී ඔහු පැතූ පැතුම ඉටුවිය. ඒ සුසන්තිකා ජයසිංහ හරහාය. සුසන්තිකා අද අමතක කළද ඇය ගොඩ නගන්නට ඩන්කන් වයිට් පදනම කළ කැපකිරීම් අපමණය. රටක් විදිහට ලබාදිය යුතු අගය නිසි ලෙස ඔහුට ලබා දුන්නේ ඩන්කන් වයිට් පදනමය. එබැවින් දයාසිරිලාට ඩන්කන් වයිට් අමතක වුවද ඔහුට නිසි තැන ඔහු ජීවත්ව සිටියදීම ඩන්කන් වයිට් පදනම ලබාදුන්නේයැ’යි නොලියා සිටියහොත් එය නොවටිනා බැවින් මේ සටහන ලියුවෙමු.

මෙවැනි දියාරු සම්මාන උළෙලකින් ඩන්කන් වයිට් අගය නොකළද ඔහුට නිසි ගෞරවය ඔහු නමින් පිහිටුවූ පදනම ඕනෑතරම් ලබා දුනි. රටක් කළ යුතු දෑ පදනමක් හරහා සිදුවිය. පදනමේ නාමධාරී පිරිස් සියල්ල ඒකරාශි කරමින් මේ පදනම ශක්තිමත් පවුරක් බවට පත් කළ මේ සියල්ල පිටුපස සිටි ප‍්‍රබල චරිතයක්ද විය. ඒ සී. විජිත ප‍්‍රනාන්දුය. ඔහු අප‍්‍රකටව මේ රටට බොහෝ දෑ කළ රටක් වටින මිනිසෙකි. යහපත් මිනිසුන්ගෙන් යහපත් වැඩ සිදුවීම අරුමයක්ද? ඩන්කන් වයිට් පදනමේ රහස ඔහුය. ඩන්කන් වයිට් නම් මෙරට ක‍්‍රීඩා පුරාවෘත්තයට නිසි තැන දුන් ඩන්කන් වයිට් පදනම අගනේය.

මුල් කාලයේදී මෙරටට පැමිණෙන හැම වාරයකදීම පුරවැසිභාවය හේතුවෙන් ඩන්කන් වයිට් අපමණ කරදර වින්දේය. වරක් ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ මෙවැන්නකි.
‘මම ඉපදුණේ ලත්පඳුර ගමේ. මගේ පුරවැසිභාවය 1948 ලන්ඩන් ඔලිම්පික් පදක්කමයි.’ යන්නය.
මෙරට ක‍්‍රීඩාවේ සුදු අශ්වයා ඔහුය. සැබැවින්ම ඔහු සුදු චරිතයකි. නියම මහත්මයෙකි. ඩන්කන් වයිට් මෙන්ම ඩන්කන් වයිට් පදනමද පිවිතුරුය. එසේ නම් නිසි අය නිසි තැන ඩන්කන් වයිට්ට ලබාදී ඇත.