රාවය

ආයුධ ගබඩාව විනාශ කළ සාලාවේ කතාව

ආයුධ ගබඩාව විනාශ කළ සාලාවේ කතාව

තරිඳු උඩුවරගෙදර | ඡායා ෂෙහන් ගුණසේකර

මගේ ගෙදර තියෙන්නේ කෑම්ප් එක ළඟමයි. අපි හවස පරෙවියන්ට කෑම දාන ගමන් කතා කර කර හිටියේ. ඒ අතරේ දැක්කා දුමක් වගේ කෑම්ප් එක පැත්තෙන් එනවා. අපි ලොකුවට ගණන් ගත්තේ නැහැ. අහස්කූරු එක්ක ලස්සනට යද්දී අපි ෆොටෝ ගැහුවා. වීඩියෝ කළා ෆේස්බුක් එකේ දාන්න හිතාගෙන. පස්සේ ආමි එකෙන් කිව්වා දුවලා අයින් වෙන්න කෑම්ප් එක පුපුරන්න යන්නේ කියලා. රෑ තිස්සේ මිනිස්සු දිව්වා. අපිත් දිව්වා. කොහෙටද යන්නේ කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ. තවමත් යන්න තැනක් හිතාගන්න නැතිව සමහර මිනිස්සු ඉන්නවා.’ අපට මඟ පෙන්වමින් ලලිත් කුමාර කතාව පටන්ගත්තේය. ලලිත් සාලාව වත්තේ පදිංචිකරුවෙකි. කඳවුර අසල මුල සිටම ඒ පිපිරුම දුටු අයෙකි. මරබියෙන් ඈතට දිවගිය තරුණයෙකි.

කඩාවැටුණු කඳවුරක් අසල අපි සිටින්නෙමු. කඳවුර අසලට යන්න නොහැකිය. හමුදාව රැුකවල් ලා සිටිති. කඳවුරේ තාප්පය අසල සිදුවූයේ කුමක්දැයි එදා මිනිස්සු දැන නොසිටියහ. දැන් තමන්ගේ නිවසේ කුමක් සිදුවන්නේදැයි දැනගන්නට පවා ඔවුන්ට නොහැක. පිපිරුමට පසුදිනම අපි එහි ගියෙමු. මිනිසුන් සීසීකඩය. ඇතැම්හු තම නිවාස සොයා යති. ඇතැමුන් නිවෙස් වෙත යන්නට බියෙනි. සිදුවූයේ කුමක්දැයි දැන් බොහෝ දෙනෙකු ලියා තිබෙන්නේය. අප සොයා ගියේ වෙනස් කතාවකි.

මිනිසුන් ජීවත්වන ප‍්‍රදේශයක ඉන්ධන පිරවුම්හලක්, රෝහලක් සහ ජල ටැංකියක් අසල පිහිටා ඇති පතොරම් ගබඩාවක් පුපුරායෑමේ කතාවක් සොයා අපි ගියෙමු. ගබඩාව පුපුරා ගියේ කුමන්ත‍්‍රණයකින්යැයි ඇතැම්හු කියති. බොහෝ දෙනා එය විශ්වාස කරති. උන් මුන්ගේ වැරැුද්ද ලෙසත්, මුන් උන්ගේ වැරැුද්ද ලෙසත් තවෙකෙක් දෙගොල්ලගේම වැරැුද්ද ලෙසත් මේ පුපුරායෑම ගැන චෝදනා කරති. කුමන්ත‍්‍රණය කුමක්දැයි අමුතුවෙන් සොයන්නට දෙයක් නැත. අවි තැන්පත් කරන්නට මෙවන් ස්ථානයක් තෝරාගැනීමම කුමන්ත‍්‍රණය ලෙස අපි සිතන්නෙමු.

ගබඩාව ආරම්භ කරන්නට තීරණය කළේ කවුද, කෙසේද, පතොරම් ගබඩා කරන්නට පටන්ගත්තේ කවදා සිටද වැනි ගැටලූ රැුසකට පිළිතුරු සොයාගත යුතු වුණත් නිල වශයෙන් ඒවාට පිළිතුරු දෙන්නට කිසිවෙකුත් නොමැත. යුද හමුදාව පිළිතුරු දෙන්නට සූදානම් නැත. ආණ්ඩුවල පිළිතුරු දෙන්නට වගකිවයුත්තෝ නැත.

ඒ ප‍්‍රශ්න එලෙසම සිටියදී අපි කොස්ගම අවට කිලෝමීටර් පහක් අභ්‍යන්තරයෙහි විවිධාකාර හානිවලට මුහුණදුන් මිනිසුන් සොයා ගියෙමු. ඒ ඔවුන්ට සවන් දීමටයි.

පතොරම් ගබඩාව ගැන අපට ගැටලූ තිබුණි. ඒවා විසඳාගන්නට අපට ඇති ගැටලූ අපි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ජයනාත් ජයවීර මහතාට ඉදිරිපත් කළෙමු. ඉතා මිත‍්‍රශීලී ලෙස ඔහු ගබඩාව ගැන විස්තර කීම ප‍්‍රතික්ෂේප කළේය. ආයුධ ගබඩා ගැන විස්තර කීම යුද විශේෂඥයන්ගේ හාස්‍යයට ලක්විය හැකි බව ඔහු කීය. මියගිය හමුදා සෙබලාගේ මරණ පරීක්ෂණය, ත‍්‍රිවිධ හමුදා ඒකාබද්ධ පරීක්ෂණය, යුද හමුදාව විසින් සිදුකරන විශේෂ පරීක්ෂණය හා සීඅයිඩිය විසින් සිදුකරන පරීක්ෂණ යන පරීක්ෂණ තුනෙන් පසු ගැටලූවලට විසඳුම් සොයාගත හැකි බවත්, ආයුධ ගබඩා ගැන තොරතුරු ඉතා සංවේදී විය හැකි බවත් කියා ඔහු තොරතුරු ලබා නොදීම ගැන සමාව ඉල්ලා සිටියේය. කරන්නට දෙයක් නැත. ජාතික ආරක්ෂාවේ නාමයෙන්, සාලාව මිනිසුන් අනාරක්ෂිත වුණු හේතු සොයා යන්නට ඒ මාර්ගය වැසී ඇත.

‘අපට වත්තේ මහත්තුරු කියලා තියෙන විදියට කෑම්ප් එක ළඟ තවත් අක්කර පනහක් අරගෙන කෑම්ප් එක ලොකු කරන්න මහින්ද මහත්තයාගේ කාලේ හිටියේ. ඒක නැවතුණේ ආණ්ඩුව වෙනස් වුණ හින්දා. කෑම්ප් එක තියෙන කාලේ රෑට ගෙවල්වලට ඇවිත් සැරෙන් සැරේ චෙක් කරනවා. හරි ආරක්ෂාවක් දීලා තිබුණේ. දැන් කවුරුත් චෙක් කරන්නේ නැහැ. වෙලාවක් නැහැ. රෑ එකට දෙකටත් ගෙවල්වලට ඇවිත් චෙක් කළා.’ කඳවුර අසල කඩයක් පවත්වාගෙන යන සිවකුමාරන් එසේ පවසන්නේය.

ජාතික ආරක්ෂාවේ නාමයෙන් මේ ජනතාව අවදානමක ජීවත් වී ඇත්තේය. තමන්ට ඇති බිය යටපත් කරන්නට රට වෙනුවෙන් තමන් අවදානමක ජීවත් වුවත් කම් නැතැයි සිතන්නට සාලාවේ මිනිස්සු හුරුවී ඇත්තෝය.

පේ‍්‍රමලතා මහත්මිය අප සමග මෙසේ කතාබහට එක්වීය. ‘කෑම්ප් එක පටන් අරන් කාලයක් වෙනවා. මුලින්ම ආයුධ තියෙනවා කියලා අපි දැනන් හිටියේ නැහැ. යුද්දේ වැඩියෙන්ම තියෙන කාලේ අපේ ගෙවල් ගාවින් කන්ටේනර් පෝලිමට ගියා. දවාලක් රැුයක් නැතිව. ඒ කාලේ තමයි අපි දැනගත්තේ මෙතැන ආයුධ තියෙනවා කියලා. ගමේ අය මේ ගැන කතාවුණා. අපි බයවුණේ කොයිවෙලාවේ හරි මේකට කොටි ගහයිද කියලා. බයවුණත් මිනිස්සුන්ට විරුද්ධ වෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අනිත් එක අපට තිබුණේ කොහොම හරි යුද්ධය නවත්වන්න ඕනෑ කියන හැඟීම. ඒ නිසා අවදානමක් තිබුණත් කමක් නෑ කියලා අපි හිතුවා. ඕක පිපිරුවොත් ලොකු හානියක් වෙන බව අපි නම් දැනගෙන හිටියා. ඒත් අපි හිතුවේ මැරෙන්න වුණත් කමක් නෑ රට වෙනුවෙන්නේ කියලා.’

‘අපේ ගෙදර කෑම්ප් එකට ළඟින්ම තියෙන්නේ. ෂෙඞ් එක ළඟ තමයි අපේ ගෙදර තියෙන්නේ. මුලින්ම අපි දැනගෙන හිටියේ නැහැනේ ආයුධ ගබඩාවක් කියලා. දැනගත්තත් අපට විරුද්ධ වෙන්න විදියක් නෑනේ. අවුරුදු තුනකට විතර කලින් ෂෙඞ් එකකුත් පටන්ගත්තා. ඒකත් අවදානමක් කියලා අපට තේරුණා. අපි හිතුවා ආමි එකෙන් ආරක්ෂාව බලාගනියි කියලා. ඇතුලේ වෙන්නේ මොනවද කියලා අපි දැනගෙන හිටියේ නැහැනේ. යුද්ධය හොඳටම තිබුණු දවස්වල කෑම්ප් එක ළඟම තිබුණු අපේ ගෙවල් එතැනින් අයින් කරගන්න කිව්වා.’ ඒ රවිචන්ද්‍රන්ගේ හඬයි.

දින තුනක් අවතැන්ව සිටින්නට සිදුවූ පසු මේ මිනිස්සු විරෝධය පෑහ. යුද හමුදා කඳවුර සුද්ධ කරගන්නා තුරු පාර වසා තබා තමන්ගේ නිවාස පිරිසිදු කරගන්නා තෙක් නොසිට පාර විවෘත කිරීම ගැන විරෝධය පෑහ. ඒ විරෝධයද හමුදාවට නොවේ. එදා හමුදා කඳවුරට විරෝධය පාන්නට ඔවුන්ට නොහැකි විය. අප සමඟ අදහස් දැක්වූ සාලාව වත්තේ දේවාලයේ පූසාරිවරයා වන චන්ද්‍රකුමාර මහතා කීවේ විරෝධය පාන්නට උත්සාහයක් තිබුණත් එය ලත් තැනම ලොප් කර දැමූ බවයි.

‘අපේ කට්ටියක් කෑම්ප් එකට විරුද්ධව කතා කළා. අපි අත්සන් දහදාහේ පෙත්සමක් පවා අත්සන් කළා. මොරටුව විශ්වවිද්‍යාලයට සම්බන්ධ කණ්ඩායමක් ඇවිල්ලා මිනිස්සුන්ට අවදානම ගැන දැනුවත් කළා. අපට මුලින්ම කෑම්ප් එක දානකොට කීවේ යුනිට් පිහිටුවනවා කියලා. පස්සෙ තමා ඒක ආයුධ ගබඩාවක් කළේ. මුලින් කීවා භට කාර්ය අණසක මූලස්ථානය කියලා. පස්සේ මේක භටකාර්ය සම්පාදන අණසක මූලස්ථානය වුණා. ආයුධ ගේනවා අපි දැක්කේ ඉන් පස්සේ. පොළොව යට උමං හෑරුවා කියලා අපි දැක්කා. අපි විරෝධය පානකොට කවුරුත් දේශපාලනඥයෝ කතා කළේ නැහැ. ශ‍්‍රී ලංකා ආණ්ඩුවලින් මේක හැදුවා. රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා දැන් පුරසාරම් දෙඩෙව්වාට එතුමාගෙ අවුරුදු දෙකේත් මෙතැනට ආයුධ ගෙනාවා. පෙරේදාත් ටැංකි ගෙනල්ලා තියෙනවා. මට නම් මතක නැහැ. සංවිධානයක් පවා අපේ අය හදාගත්තා. කොළොන් නාවෙන් පදිංචියට ඇවිත් හිටපු මහත්තයෙක් තමා ඒ සංවිධානයේ නායකත්වයේ හිටියේ. ඒ මහත්තයාට නාඳුනන කට්ටියක් පහරදීලා අන්තිමට හිරේ යන්නත් වුණා. අන්තිමට එයාලා කරපු වැඩ පුස්සක් වුණා. මගෙ මතකේ හැටියට මම කියන මේ සිදුවීම් වුණේ 2011 දී විතර. එදා ඒ මහත්තුරු පෙන්වලා දුන්නා මේ ටික වෙනවා කියලා. මිනිස්සුන්ට ඉස්සරහට ඇවිත් සටන් කරන්න බැරිවුණා. පුළුවන් අය හොරෙන් ඇවිත් පෙත්සමට අත්සන් කළා විතරයි. මිනිස්සුන්ට කරන්න දෙයක් තිබුණේ නැහැ. දැන් මම හිතන්නේ ඔයින් ගියා මදැයි කියලා තමයි.’

නිවාස හැත්තෑපහක් පමණක් හානි වී ඇතැයි හමුදාවෙන් කියයි. එහෙත් වාර්තා වන ආකාරයට නිවාස තුන්සීය ඉක්මවා හානි වී තිබෙන්නේය. ඇතැම් නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත්තේය. බොහෝ නිවාස සහ කඩකාමර මතට පතොරම් වැටී නැතත් ඒවායේ තිබුණු බඩුභාණ්ඩ අතුරුදන් වී ඇත. හමුදාව සහ පොලීසිය හැරුණුකොට කිසිවෙක් ඒ ස්ථාන වෙත ගොස් තිබුණේද නැත. ඒ බඩුබාහිරාදිය බහිරවයා ගිල්ලා විය යුතුය. හමුදාවට ඒවායේ වගකීමක් තිබුණේ නැද්ද? ප‍්‍රශ්න ඇසීම තහනම්ය.

අවසානයේ කොස්ගම යකා නැටූ පිටියක් නොව යුද පිටියක් බවට පත්විය. එය මහාඛේදවාචකයක් ලෙසින් ඉස්මතු විය. ලංකාව යුද පිටිවලට එතරම්ම ආධුනිකද? එදා යුද්ධයේදී එයට මැදිවූ සාමාන්‍ය ජනතාවට දෙමළ වීම නිසා නොලැබුණු මාධ්‍ය ඉඩ මෙදා ජනතාවට ලැබුණි. එදා දෙමළ මිනිසුන්ගේ හඬ අසන්නට ඉඩ නොදෙන්නේ යැයි මැසිවිලි නොනැඟූ මාධ්‍ය මෙදා වසා තිබූ ප‍්‍රදේශවලට යන්නට ඉඩ නොදීම ගැන කොස්ගමදී මැසිවිලි නැඟූහ. හමුදාව කී දේ ලියා මෙදා සෑහීමට පත් නොවූහ. මානව හිතවාදී මානුෂික මෙහෙයුම්ද දියත් විය. ඒවා හොඳ බව හැබෑය. එමෙන්ම මේ කතාව යුද්ධයේ තවත් ඛේදවාචකයක් ලෙස හැඳින්විය හැකිය. යුද්ධයේ ඛේදවාචකවල හැටියට මෙය කුඩා අනතුරක් විය හැකිය. ආයුධ කියන්නේම හිංසනය මිස ආරක්ෂාව නොවන බව කොස්ගම පතොරම් ගබඩාව රටට කියා දී ඇත්තේය. ඒ දරුණු පාඩම අවතැන් වූ ජනතාවට සහන දීමෙන් එහා ගොස් යුද්ධය ගැන අලූත් පාඩමක් බවට පත්කරගැනීම වැදගත් බව අපට හැෙඟන්නේය.