Untitled-1

Untitled-1

උසාවි භූමියේදී නීතියේ කන්‍යාව දූෂණය කළ හැටි


jana

කේ.ඩබ්ලිව්. ජනරංජන

පසුගිය සතියේ සිකුරාදා හැම සිංහල පත්තර යකම පාහේ මුල් පිටුවේ පළමු පුවත ලෙස සඳහන්ව තිබුණේ අලි හොරකමට සැකකාර මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේට ඇප ලබාදුන් සිදුවීමයි. ඊට පෙර දීර්ඝ කාලයක් පුරා නීතියේ ඇසට වැලි ගසමින් තිළිණ ගමගේ කටයුතු කළ ආකාරය වාර්තා නොකර සිටි මේ බොහෝ පුවත්පත්වලටත් ඒ වනවිට සිදුවීම මඟහැර යා නොහැකි තරමේ බරපතළ තත්ත්වයක් ඇතිවී තිබිණි.

අත්අඩංගුවට ගැනීමේ උපදෙස් නිකුත් කැරුණු මැයි 13 වැනිදා සිට දින විස්සක පමණ කාලයක් ලජ්ජා නැති ලෙස නීතියෙන් කට්ටි පනිමින් සිටි සැකකාර මහේස්ත‍්‍රාත්වරයා ජුනි 2 වැනිදා ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණේය. ඒ වනවිට වාර තුනක්ම ඔහු රහස් පොලිසියට යෑම මඟහැර තිබුණු අතර, රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට තැනින් තැන වටලමින් සිටියේය. මේ තත්ත්වය මත ඔහු කෙළින්ම පැමිණියේ ඉහළ මහලේ ගංගොඩවිල මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්නගේ නිල කාමරය ආසන්නයටය. ඒ විනිසුරුවරුන් පමණක් භාවිත කරන විදුලි සෝපානයෙන් බවද දැනගන්නට තිබේ. ඔහු එතැන සිටියේ තමා අත්අඩංගුවට ගැනීමෙන් වැළකෙන්නටය. එවැනි තැනකදී ඔහු අත්අඩංගුවට ගන්නට රහස් පොලිසිය වුවද ඉදිරිපත් නොවෙයි. එතැනින් කෙළින්ම කනිෂ්ක විජේරත්න මහේස්ත‍්‍රාත් වරයාගේ උසාවියට ඇතුළු වූ සැකකාර මහේස්ත‍්‍රාත් වරයා වෙනුවෙන් නීතිඥවරු විශාල පිරිසක් පෙනීසිටියෝය. කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී සේවාදායකයන්ගේ නඩු වෙනුවෙන් තිළිණ ගමගේ ඉදිරියේ පෙනීසිටින නීතිඥවරුන් සැලකිය යුතු පිරිසක්ද මේ මොහොතේ තමන්ට අතිශය හිතවත් මේ සැකකාර මහේස්ත‍්‍රාත්වරයා වෙනුවෙන් පෙනීසිටීම විශේෂයකි. සැකකරු කළු කෝට් එකක් ඇඳ උසාවියේ සිටි අතර, මහේස්ත‍්‍රාත්වරයා එය ගලවන ලෙස සැකකරුට නියම කළේය. සැකකරුවකු කළු කෝට් එකක් ඇඳගෙන සිටීම කිසි ආකාරයකින් අධිකරණයේ ක‍්‍රියාපටිපාටියට පටහැණි දෙයක් නොවන නමුත්, තමාගේ ස්වාධීනත්වය උලූප්පා පෙන්වන්නට මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න එසේ නියම කරන්නට ඇත.

ගංගොඩවිල මහේස් ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න සැකකාර මහේස්ත‍්‍රාත් වරයාගේ සමීප මිතුරකු බව මුළු නීති ක්‍ෂෙත‍්‍රයම දනියි. එසේ තිබියදී, මේ නඩුව අසන්නට කිසිම සදාචාරාත්මක සුදුසුකමක් මේ මහේස්ත‍්‍රාත්වරයාට නැත. තිළිණ ගමගේගේ නඩුව ඇසීම ගැන සැකයක් තමාටම ඇති බව මේ මහේස්ත‍්‍රාත්වරයා දෙවරක්ම විවෘත උසාවියේදී පෙන්වූයේය. මැයි 30 වැනිදා මේ නඩුව පළමුවරට තමා ඉදිරියේ කැඳවූ විට මහේස්ත‍්‍රාත්වරයා නඩුවේ පාර්ශ්වයන්ගෙන් විමසා සිටියේ තමා මේ නඩුව අසනවාට කිසියම් විරෝධතාවක් තිබෙන්නේද යන්නයි. ඒ අවස්ථාවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් අධිකරණයට කීවේ, ඔබතුමාම එය තීරණය කළ යුතු බවය. එදින නඩුව විමසූ කණිෂ්ක විජේරත්න, එය ජුනි 2 වැනිදාට කල් තැබුවේය. ජුනි 2 වැනිදා නඩුව කැඳවූ විට ඔහු නැවතත් ඇසුවේ තමා නඩුව අසනවාට පාර්ශ්වයන්ගේ විරෝධයක් තිබෙනවාද කියාය. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට කීවේ, සැකකාර මහේස්ත‍්‍රාත් සමඟ ඔබතුමාගේ සම්බන්ධය හුදු රාජකාරි සම්බන්ධයක් පමණක් නම් ප‍්‍රශ්නයක් නොවන බවත්, එහෙත් ඇත්තේ පෞද්ගලික සම්බන්ධයක් නම් ඔබතුමා මේ නඩුව අසනවාට දැඩි ලෙස විරෝධය දක්වන බවත්ය. මහේස්ත‍්‍රාත්වරයා ඒ විරෝධය සම්බන්ධයෙන් ප‍්‍රතිචාරයක් නොදක්වාම නඩුව දිගටම ඇසුවේය. නීතිපතිවරයා පොදු දේපළ පනත යටතේ සැකකාර මහේස්ත‍්‍රාත්ට චෝදනා ගොනුකළ හැකි බව පැහැදිලිව කියා තිබෙද්දී, රජයේ අධිනීතිඥවරයා පැරණි නඩු තීන්දුද උපුටා දක්වමින් අලි පැටියා පොදු දේපළක් බව පැහැදිලි කරද්දී, මහේස්ත‍්‍රාත්වරයා තීරණය කළේ එය පොදු දේපළ පනත යටතට නොවැටෙන බවයි. නීති ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රාමාණිකයන් කියන්නේ අලි පැටියා පොදු දේපළක්ද යන්න තීරණය කිරීමේ වගකීම ඇත්තේ මේ නඩුව විභාගයට ගන්නා මහාධිකරණයට බවයි. මිනීමැරීමක් හෝ ස්ත‍්‍රී දූෂණයක් හෝ සම්බන්ධයෙන් චෝදනා කොට අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුවකු රක්‍ෂිත බන්ධනාගාරගත කරනවා හැරෙන්නට එය මිනීමරුමක්ද, ස්ත‍්‍රී දූෂණයක්ද යනුවෙන් තීරණය කිරීමේ බලයක් පහළම අපරාධ උසාවිය වන මහේස්ත‍්‍රාත් අධිකරණවල සිටින කනිෂ්ඨ විනිසුරුවරුන්ට නැත. පොදු දේපළ පනත යටතේ වන බරපතළ වැරදි සම්බන්ධයෙන්ද තත්ත්වය එසේය.

මේ හා සමාන නඩුවක් වූ උඩුවේ ධම්මාලෝක හිමි සම්බන්ධ කාරණයේදී කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය එහිමියන් පොදු දේපළ සම්බන්ධ වරදක් කළ බවට චෝදනා කොට රිමාන්ඞ් බන්ධනාගාරගත කළේය. ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් එහිමියන්ට ඇප ලබාගැනීම සඳහා නීතිඥවරුන් උසාවියෙන් කළ ඉල්ලීමේදී දක්වනු ලැබුවේ, ‘සුවිශේෂ හේතු’ය. ඇප ලබාගැනීමට සුවිශේෂ හේතු දැක්වීමක් අවශ්‍ය වන්නේ පොදු දේපළ පනත යටතේ වරදක් කළැ’යි චෝදනා කරන විටය. කණිෂ්ක විජේරත්න මහේස්ත‍්‍රාත්වරයාගේ තිරණයෙන් මේ සම්බන්ධ යෙන් සාමාන්‍යයෙන් පවතින නීතිමය තත්ත්වයද ප‍්‍රශ්නයට ලක්කෙරේ.

තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක් වන්නටයැ’යි බැසිල් රාජපක්‍ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මේ සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දැම්මේය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය දැක්වූ වැදගත් කාරණයක් වුණේ, කාර්ය පටිපාටියේ තිබෙන කරුණු දක්වමින් සැකකරුවන් මේ ආකාරයට අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට කරන ඉල්ලීම් අධිකරණය පිළිගතහොත් පොලිසියට කිසිම පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වන බවය. ඒ තර්කයම තිළිණ ගමගේගේ සිදුවීමටද යෙදුවහොත්, නීතිපතිවරයා කරන චෝදනා ගැන අවසන් තීන්දු මහේස්ත‍්‍රාත්වරුන් දෙන්නට ගියහොත් කිසිම වරදක් සම්බන්ධයෙන් නඩු විභාග අවශ්‍ය නොවන්නේය. එහෙත්, සාමාන්‍ය මිනිසුන් පොදු දේපළ සම්බන්ධයෙන් හෝ වෙනත් බරපතළ වරදක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන විට මහේස්ත‍්‍රාත්වරුන් කරන්නේ පොලිසිය කියන දෙයවත් නොඅසාම රිමාන්ඞ් කරන්නට නියෝගය ලිවීමයි. එහෙත් ගජමිතුරන් හෝ විශේෂ පුද්ගලයන්යැ’යි මහේස්ත‍්‍රාත් වරුන් සලකන සැක කරුවන් හෝ සම්බන්ධයෙන් නීතිය සාමාන්‍ය මිනිසාට යෙදෙන ආකාරයෙන් යොදන්නේ නැත.

තමා නඩුව ඇසීම ගැන තමාටම සැකයක් ඇතිවී තිබෙන කල, ඒ ගැන ප‍්‍රසිද්ධියේ විමසනවාට වඩා මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න කළ යුතු වූයේ නඩුව නොඅසා සිටීමයි. පැරණි සිදුවීමක් දක්වමු. තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ගෝඨාභය රාජපක්‍ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කළ විට ශ්‍රේෂ්ඨාධිකරණය එය පිළිගත් අතර, දීර්ඝ කාලයකට ඔහු අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කළේය. ඒ තීරණය දුන් විනිසුරු මඬුල්ලේ විනිසුරු ඊවා වනසුන්දරද සිටියාය. නීතිපතිව සිටි කාලයේ තමා සවස වැඩ ඇරී ගෙදර යන ගමන් අරලිය ගහ මන්දිරයට කැඳවා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරය පිරිනැමූ හැටි ගැනත්, මහින්ද රාජපක්‍ෂ සමඟ පැවැති සමීප ඇසුර ගැනත් කාලයකට පෙර ඊවා වනසුන්දර මහත්මිය පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡුාවක් උපුටා ලිපියක් පළකළ රාවය විමසා සිටියේ, ඇය ගෝඨාභය රාජපක්‍ෂ සම්බන්ධ නඩුවක් ඇසීම කෙතරම් සදාචාරාත් මකද, අපක්‍ෂපාතීද යන්නයි. විනිසුරුවරිය මේ කාරණය දැඩි ලෙස අවධානයට ගත් බවක් පෙනෙන්නට තිබුණු අතර, ඊට පසු ඇය ඉදිරියට ආ බැසිල් රාජපක්‍ෂ සම්බන්ධ එවැනිම පෙත්සමක් ගැන ඇසීමෙන් වළකින බව විවෘත අධිකරණයේදී ප‍්‍රකාශ කළාය. පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසි කළේ බැසිල් රාජපක්‍ෂගේ එම පෙත්සමයි.

එහෙත්, නීති වෘත්තිය සම්බන්ධ පරිණත දැනුමක් හා ගෞරවයක් තිබෙන ඇය වැන්නවුන්ගෙන් කණිෂ්ක විජේරත්න වැනි කනිෂ්ඨ නිලධාරීන් ආදර්ශ ගන්නා බවක් නොපෙනේ. ඒ නොදන්නාකම නිසාම නොවේ. සැඟවුණු වෙනත් අරමුණු නිසාය. කණිෂ්ක විජේරත්න තම මිතුරාගේ නඩුව ඇසීම ප‍්‍රතික්‍ෂෙප කළා නම් විය හැකිව තිබුණේ වෙනත් විනිසුරුවරයකු එය අසා පොදු දේපළ පනත යටතේ රිමාන්ඞ් කිරීම හෝ නොකිරීම ගැන හෝ ගැන තීරණයක් කිරීමයි. නීතියට අනුව එහිදී ඇත්තේ තිළිණ ගමගේ රිමාන්ඞ් වීමට වැඩි සම්භාවිතාවකි. මේ තත්ත්වය තම මිතුරාට අත්වනවාට අකමැති මිතුරකුගේ මැදිහත්වීමකි කණිෂ්ක විජේරත්න පෙන්නුම් කළේ.

කොහොම වුණත් තිළිණ ගමගේට ඇප දීමට තීරණය වුණේ සවස 6.45ට පමණය. රුපියල් ලක්‍ෂ විසිපහ බැගින් ශරීර ඇප හතරක්ද රුපියල් ලක්‍ෂ පහක මුදල් ඇපයක්ද නියම කෙරිණි. ශරීර ඇපවලින් එකක් රජයේ සේවකයකු විය යුතුය. සාමාන්‍යයෙන් උසාවි කාර්ය මණ්ඩලය සවස 4.15 වන විට සේවය අවසන් කරන අතර, 3.45 වන විට ඇප මුදල් භාරගැනීම අවසන් කරයි. මේ දිනයේ උසාවි කාර්ය මණ්ඩලය සවස 7 වනතුරු උසාවියේ සිටි බව පුවත්පත් වාර්තා කළේය. ශරීර ඇප තබන පුද්ගලයන්ගේ අනන්‍යතාව, පදිංචිය හා උසාවියට අවශ්‍ය වෙනත් කාරණා පරීක්‍ෂා කොට ඇප බැඳුම්කර අත්සන් කිරීමට සැලකිය යුතු වේලාවක් ගන්නා බව සරල රථවාහන වැරදිවලට දඩ ගසා වරුවක් පමණ උසාවියේ රස්තියාදු වන සාමාන්‍ය ජනතාව පවා දනිති. පුදුමයකට මෙන් මේ සියලූ කරුණු සම්පූර්ණ කොට සැකකාර මහේස්ත‍්‍රාත්වරයා පැය භාගයකින්, එනම් සවස 7.15 වන විට අධිකරණ භූමියෙන් නික්ම ගියේය. එහෙත්, ලක්‍ෂ පහක ඇප මුදල තැන්පත් නොකරය.

අධිකරණයෙන් ඇප නියම කළ විට, ඒ ඇප තැන්පත් කිරීම සම්බන්ධයෙන් අපහසුවක් ඇත්නම්, දිනයක් අවශ්‍ය නම් ඒ ගැන විවෘත උසාවියේ ඉල්ලීමක් කළ යුතුය. රුපියල් ලක්‍ෂ 5ක ඇපය සම්බන්ධයෙකන් තිළිණ ගමගේගේ පාර්ශ්වයෙන් එවැනි ඉල්ලීමක් විවෘත අධිකරණයේ නොකෙරිණි. යම් හෙයකින් එවැනි ඉල්ලීමක් රෙජිස්ට‍්‍රාර් වරයාටද කළ හැකිය. එවිට රෙජිස්ට‍්‍රාර්වරයා ඒ ගැන නඩු පොතේ සටහනක් යොදා යළිත් මහේස්ත‍්‍රාත්වරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරයි. ඇප සඳහා වෙනත් දිනයක් ලැබෙන්නේ මහේස්ත‍්‍රාත්වරයා රෙජිස් ට‍්‍රාර්ගේ සටහන අනුමත කළහොත් පමණකි. මේ අවස්ථාවේදී එවැන්නක්ද සිදු නොවුණු බවට පැහැදිලි වන්නේ මහේස්ත‍්‍රාත්වරයා ඇප නියම කළ වහා විනිසුරු අසුනෙන් බැස උසාවි භූමියෙන්ද පිටව ගිය බැවිනි. ඒ අනුව තිළිණ ගමගේ පිටව යන්නේ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් තොරවය. ඇප මුදල තැන්පත් කරන්නේ පසුවදා දහවල්ය. ඇප කොන්දේසි සපුරන්නේ නැති පුද්ගලයකුට අධිකරණ භූමියෙන් පිටවීම තහනම්ය. උසාවියේ පොලිසිය හා බන්ධනාගාර නිලධාරීන් ඒ ගැන වගකිව යුතුය. මේ අවස්ථාවේ ඒ වගකීමද පැහැර හැර තිබෙන බව පෙනෙයි. එය සැලසුමක කොටසක්ද?

තිළිණ ගමගේ උසාවියෙන් පිටව ගිය ආකාරයද පාතාල ක‍්‍රියාන්විතයක් සිහිගන්වයි. ඔහු උඩුමහලෙන් පහළට බැස්සේ විනිසුරුවරුන්ගේ සෝපානය පාවිච්චි කරමිනි. නීතිඥවරුන්ගේ හා මැරයන්ගේ ආරක්‍ෂාව හා ආවරණය ඇතිවය. විනිසුරුවරුන්ගේ වාහන නවත්වන සීමාවට ගෙන්වාගත් සුදු වෑන් එකක නැගී ඔහු පිටව යනවිට රථය වටකරගත් මැරයෝ මාධ්‍යවේදීන් ඡුායාරූප ගැනීම බලහත්කාරයෙන් වළක්වන්නට උත්සාහ කළහ. ඒ රටේ නීතිය රකින්නට අනුන්ට නියෝග දෙන නඩුකාරයකු පාතාලයකුගේ තත්ත්වයට වැටී සිටි ආකාරයයි. මෙවැනි පුද්ගලයන් විනිශ්චයාසනාරූඪ වූ කල ඒ රටේ මිනිසුන්ට නීතිය ගැන ඇති විශ්වාසය කුමක්ද?

ජුනි 2වැනිදා ගංගොඩවිල උසාවියේ සිදුවූ නින්දිත සිදුවීම්වලට මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න හා සැකකාර මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ වගකිව යුතුද නැද්ද? ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය මේ ප‍්‍රශ්නය දැන් අධිකරණ සේවා කොමිසම වෙතින් නඟා තිබේ. එහි සභාපති ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් අගවිනිසුරු වරයා අමතා ජුනි 6වැනිදා යවන ලිපියකින් දක්වා ඇත්තේ මේ සිදුවීම සම්බන්ධයෙන් පරික්‍ෂණයක් පවත්වන ලෙසය.

තිළිණ ගමගේ හා කණිෂ්ක විජේරත්න අතර ඇති සමීප මිතුරුකම ගැන තොරතුරු තිබියදී කණිෂ්ක විජේරත්න මේ නඩුව ඇසීමෙන් වැළකී සිටිය යුතුව තිබියදී හා රජයේ නීතිඥවරයා විරෝධය පළකරද්දී නඩුව ඇසීම, තිළිණ ගමගේට විශේෂයක් වශයෙන් රාත‍්‍රි 7 වනතුරු නඩුව ඇසීම, තිළිණ ගමගේට පැමිණීමට හා ආපසු යෑමට විනිසුරුවරුන් පමණක් භාවිත කරන විදුලි සෝපානය යොදාගැනීමට ඉඩදීම, ඇප කොන්දේසි සපුරන්නේ නැතිව තිළිණ ගමගේට පිටව යන්නට ඉඩ හැරීම යන කාරණා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇති බව දැනගන්නට තිබේ.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ රටේ අධිකරණය හැසිරුණු විසුළු හා ලජ්ජාසහගත ආකාරය ගැන රටේ සියල්ලෝම දනිති. ඒ ආණ්ඩුව පෙරළුවේ යළිත් එලෙස පක්‍ෂග‍්‍රාහීව නඩු අසනු දකින්නට නොවේ. තරාතිරම, යාළු මිත‍්‍රකම් නොසලකා නීතිය සමානව හා සාධාරණව ක‍්‍රියාවේ යොදවනවා දකින්නටය. ඒ පිරිසිදු තත්ත්වයට කුමන හේතුවක් නිසා හෝ අභියෝග කරන ඕනෑම පුද්ගලයකු සැලකිය යුත්තේ නීතියේ කන්‍යාව මහදවාලේ දුෂණය කරන දූෂකයන් ලෙසටය. අගවිනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් යුත් අධිකරණ සේවා කොමිසමක් තිබෙන්නේ මෙලෙස නීතිය දූෂණය වීමෙන් වළක්වා මහජනතාවගේ විශ්වාසය හා ගෞරවය නීතිය වෙනුවෙන් පවත්වාගැනීමේ වගකීම ඉටු කරන්නටය.