වරද කාගේද?

ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා බහුත්වවාදී ආකල්පවලින් තොරවීම ශ‍්‍රී ලංකාවේ අවුල් කෙරෙහි බලපා තිබෙන වැදගත්ම සාධකයක් ලෙස සැලකිය හැකිය. මෙය ආණ්ඩු පක්ෂයට පමණක් නොව, විරුද්ධ පක්ෂවලටද, සාමාන්‍ය ජන සමාජයට පමණක් නොව විද්වත් සමාජයටද ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. ව්‍යවස්ථා සම්පාදනයන් හා ව්‍යවස්ථා සංශෝධනයන් සම්බන්ධ යෙන් රටේ දේශපාලන තලයේ පිළිගත් මතය වී ඇත්තේ ප‍්‍රමාණවත් බලයක් ඇති විට පාලක පක්ෂයට පොදු එකඟතාවකින් තොරව තමන්ට තිබෙන වැඩි බලය මත පිහිටා අලූතෙන් ඇති කරගත හැකි හා වෙනස් කරගත හැකි දෙයක් ලෙසය. අධිකරණය ඒ ගැන සිතන ආකාරයද දේශපාලකයන් සිතන ආකාරයට වඩා වෙනස් නැත. නිදහසත් සමග අප මේ දක්වා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා තුනක් ඇතිකරගෙන තිබෙන ජාතියක් ලෙස සැලකිය හැකිය. ඒ හැම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්ම අප ඇතිකරගෙන තිබෙන්නේ ව්‍යවස්ථා සම්පාදනයකදී අවශ්‍යයෙන්ම පිළිපැදිය යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොන්දේසි නොසලකාය. 1978 ව්‍යවස්ථාව ඇතිකර ගැනීමෙන් පසු මේ දක්වා සංශෝධන 18ක් ව්‍යවස්ථාවට එකතු කර තිබේ. 19 වැනි සංශෝධනයක්ද එකතුවීමට නියමිතය. මෙතෙක් ඇතිකර තිබෙන සංශෝධන 18න් සංශෝධන 9ක් එනම් හත, අට, නවය, දහය සහ 11 යන සංශෝධන මහාධිකරණයට, ජනාධිපති නීතිඥයන් පත්කිරීම, රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරීන් හා සුළු සේවකයන් පත්කිරීම හා හදිසි නීතියට අදාළ සංශෝධන වන අතර 14, 15 සහ 16 යන සංශෝධන තුනද 13 වැනි සංශෝධනයට අදාළය. විවාදයට හේතුවන අනෙක් සංශෝධන 9න් සංශෝධන 5ක් හැර ඉතිරි හයම පාලක පක්ෂයන්ගේ ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් ඇති කරන ලද සංශෝධන ලෙස සැලකිය හැකිය. ඒ අතරින් සමහරක් සංශෝධන ඉතාමත් විනාශකාරී ප‍්‍රතිඵල ඇති කළ තවදුරටත් විනාශකාරී ප‍්‍රතිඵල ඇති කිරීමට හේතුවිය හැකි සංශෝධන ගණයෙහිලා සැලකිය හැකිය.

සෝල්බරි ව්‍යවස්ථාව

සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආණ්ඩුක‍්‍රම සම්ප‍්‍රදායයන් හා රට මුහුණ දී තිබුණු ගැටලූ හොඳින් සැලකිල්ලට ගෙන සකස් කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නොවූවද එය ඇති කළ ආණ්ඩුක‍්‍රමය විනාශකාරී ආණ්ඩු ක‍්‍රමයක් නොවීය. ඒ මගින් ඇති කරන ලද්දේ බි‍්‍රතාන්‍ය ආකෘතියේ පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයකි. ජනරජ ව්‍යවස්ථාව නිර්මාණය කළ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා විග‍්‍රහ කර තිබෙන ආකාරයට ඒ යටතේ ඇති කළ ආණ්ඩුකාරයාගේ තත්ත්වය බි‍්‍රතාන්‍යයේ ව්‍යවස්ථානුකූල රජතුමාගේ තත්ත්වයට සමාන විය. මහජනයාට වගකීමෙන් යුක්තවත්, පාර්ලිමේන්තුවට අනුකූලවත් කටයුතු කරන අගමැතිගේ මූලිකත්වයෙන් යුක්ත වූ කැබිනට් මණ්ඩලය පාලන බලයේ කේන්ද්‍රස්ථානය ලෙස ක‍්‍රියා කළේය. ව්‍යවස්ථාදායකය මණ්ඩල දෙකකින් සමන්විත විය. මහජන ඡ න්දයෙන් තෝරාපත්කර ගන්නා නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව එක් මණ්ඩලයක් වූ අතර අර්ධ වශයෙන් අනියම් ලෙස හා අර්ධ වශයෙන් පත්කරනු ලබන නියෝජිතයන්ගෙන් සමන්විත සෙනට් සභාව අනෙක් මණ්ඩලය විය.

එකල රාජ්‍යයේ සකලවිධ බලය පැවරී තිබුණේ ව්‍යවස්ථා දායකයටය. එය රාජ්‍ය බලයේ උත්තරීතර ආයතනය වූ අතර රාජ්‍යයේ සකලවිධ බලය කේන්ද්‍රගත වී තිබුණේ පාර්ලිමේන්තුව තුළය. නාමික රාජ්‍ය නායකයා ආණ්ඩුකාරයා වුවද සැබෑ බලතල සහිත රාජ්‍ය නායකයා වූයේ කැබිනට් මණ්ඩලයේ නායකයා වූ අගමැතිවරයාය. ආණ්ඩුවේ ප‍්‍රධාන විධායකය ලෙස සැලකුණු අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාදායකය තුළින් පත්වීම එම ආණ්ඩු ක‍්‍රමයට ආවේණික ප‍්‍රධාන ලක්ෂණයක් විය. විධායකය පාර්ලිමේන්තුවට උත්තර දීමට හා වගකීමට බැඳී සිටි අතර විධායකය රට පාලනය කිරීමේ බලය තිබුණේ පාර්ලිමේන්තුවේ විශ්වාසය තිබෙන තාක් පමණය. විශ්වාසභංග යෝජනාවක් මගින් ආණ්ඩුව පරාජය කිරීමේ බලය පාර්ලිමේන්තුවට තිබුණි.

එම ව්‍යවස්ථාව ශ‍්‍රී ලංකාව බහු වාර්ගික හා බහු ආගමික සමාජයක් ලෙස පිළිගන්නා ලද අතර රාජ්‍ය අනාගමික රාජ්‍යයක් ලෙස පැවතුණි. ස්වාධීන අධිකරණයක් හා ස්වාධීන රාජ්‍ය සේවයක් තිබීමද සෝල්බරි ආණ්ඩු ක‍්‍රමයට ආවේණිකව තිබූ තවත් වැදගත් ලක්ෂණයක් විය. සෝල්බරි ව්‍යවස්ථාව 1947 සිට 1972 දක්වා වන කාලය තුළ ක‍්‍රියාත්මක විය.

සෝල්බරි සාමිගේ පසුතැවිල්ල

ඉන්පසු බිහිවන නව ව්‍යවස්ථාවට යන්නට පෙර සෝල්බරි සාමිවරයා තමන් ගොඩනගන ලද ව්‍යවස්ථාව පිළිබඳව කරන ලද පාපෝච්චාරණයක් ගැනද මෙහි සඳහන් කිරීම වැදගත්ය. 1955 ඇති කළ ලංකාවේ ඉඩම් කොමිසමේ සාමාජිකයකු ලෙස ක‍්‍රියා කළ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූ බී.එච්. ෆාමර් විසින් 1963දී ශ‍්‍රී ලංකාව පිළිබඳව Ceylon – A Divided Nation (ලංකාව – බෙදීගිය ජාතියක්) නමින් අපූරු පොත් පිංචක් ලියා පළ කළේය. එය, ලංකාවේ එදා පැවති නොසන්සුන්කම් කෙරෙහි වර්ගය, කුලය හා ආගම යන සාධක බලා තිබෙන ආකාරයත් යටත්විජිත පාලනය, නිදහස ලැබීම හා ඉන්පසු ඇතිවන දේශපාලන පෙරළි තවදුරටත් එම ආරාවුල් උග‍්‍ර කිරීමට හේතුවී තිබෙන ආකාරයත් ගැන ඔහු විසින් ලියන ලද විචක්ෂණ විවරණයක් ලෙස සැලකිය හැකිය. මාගේ මතය අනුව ශ‍්‍රී ලංකාව මුහුණ දී තිබෙන සමාජ අර්බුදය පිළිබඳව මෙතෙක් ලියැවී තිබෙන සියලූ විවරණ අතුරින් ෆාමර්ගේ විමර්ශනය හොඳම විමර්ශනය වේ. මෙම මාහැඟි පොත් පිංචට පෙරවදන ලියා තිබුණේ සෝල්බරි සාමිවරයාය. තමන් ඇතුළු එම කොමිෂන් සභාවේ කොමසාරිස් වරුන්ට ලංකාවේ සංකීර්ණ ප‍්‍රශ්න ගැන තිබුණේ අල්ප අවබෝධයක් බවත් ෆාමර්ගේ මේ පොත් පිංච කියවන්නට ලැබුණේ නම් මෙම ආරාවුල් පහසුවෙන් විසඳා ගැනීමට හැකිවේය කියා කොමිෂන් සභාව විශ්වාස නොකරන්නට ඉඩ තිබුණු බවත් ඔහු එම පෙරවදනෙන් කියා තිබුණි.

මීට පෙර නිදහසේ 65 වසර ගැන ලියන ලද ලිපියක සෝල්බරි කොමිසම ලංකාවට පැමිණි අවස්ථාවේදී එකල අපේ නායකයන් විසින් (ඞී.එස්. සේනානායක හා ඔලිවර් ගුණතිලක) ඉතාමත් සටකපට ආකාරයට එම කොමිසමේ කොමසාරිස් වරුන් ග‍්‍රහණයට ගනු ලැබූ ආකාරය ගැන මම කෙටියෙන් විස්තර කළෙමි. එය කියවූ පාඨකයකු මට කීවේ නිදහස දිනාගැනීමේදී අපේ නායකයන් කර තිබෙන සටකපටකම් ගැන ඔහු මීට පෙර අසා නොතිබුණු බවය. මේ දිනවල සන්ඬේ අයිලන්ඞ් පුවත්පතේ විදේශ තානාපති සේවයේ සිටි ප‍්‍රකට පුද්ගලයෙකු වූ නෙවිල් ජයවීර විසින් ලියන ලද ලිපි පෙළක් කොටස් වශයෙන් පළකැරෙමින් පවතී. නෙවිල් ජයවීර ලියන්නේ හිටපු අගමැතිවරයකු වන සර් ජෝන් කොතලාවලගෙන් ඔහුට අසන්නට ලැබුණු කතාය. දැනට පළවූ ලිපි දෙකෙන් අනාවරණය කොට ඇත්තේ සර් ජෝන් සමග ඩඞ්ලි සේනානායක හා ඔලිවර් ගුණතිලක 1962 හමුදා කුමන්ත‍්‍රණය සැලසුම් කරන ලද ආකාරය ගැනය. එහිදී සාකච්ඡ ාවට ලක්වී ඇති තවත් වැදගත් මාතෘකාවක් වී ඇත්තේ සර් ජෝන් හා ඔලිවර් ගුණතිලක යන දෙදෙනා ඞී.එස්. සේනානායක සමග එකතු වී සෝල්බරි කොමිසම ග‍්‍රහණයට ගන්නා ලද ආකාරය ගැනය. සමහරවිට අප නොදන්නා වඩා රසවත් තොරතුරු ඊට ඇතුළත් විය හැකිය.

කොල්වින්ගේ ව්‍යවස්ථාව

සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ආවේණිකව තිබුණු ලොකුම දෝෂය ලෙස සැලකිය හැක්කේ ඒ මගින් ප‍්‍රතිස්ථාපිත පරමාධිපත්‍යය එංග ලන්තයේ මහ රැජින වෙත පිහිටා තිබීමය. එය නිවැරදි කිරීම අවශ්‍ය වී තිබුණු දෙයක් වුවත් කොල්වින්ගේ 72 ව්‍යවස්ථාව ඒ කරුණට සීමා නොවී සෝල්බරි ව්‍යවස්ථාවට ඇතුළත්ව තිබූ යහපත් අංග හතරක්ද නැති කළේය.

එය අනාගමික තත්ත්වයක තිබූ රාජ්‍යයට ආගමික තත්ත්වයක් ලබා දුන්නේය. ව්‍යවස්ථා දායකයේ ද්විමණ්ඩල ස්වරූපය අහෝසි කොට ඒකමණ්ඩල ව්‍යවස්ථා දායකයක් ඇති කළේය. ව්‍යවස්ථාදායකයේ අණ පනත් සමාලෝචනය කිරීමට අධිකරණයට තිබූ බලය නැති කොට පාර්ලිමේන්තුව අධි කරණයේ පරීක්ෂාවට ලක් නොවන උත්තරීතර ආයතනයක් බවට පත් කළේය. රාජ්‍ය සේවයේ හා අධිකරණ සේවයේ ස්වාධීනත්වය අහිමි කොට ඒවායේ විනය පාලනය ඍජු ලෙස හෝ අනියම් ලෙස කැබිනට් මණ්ඩලයේ පාලනය යටතට පත් කළේය. එම ව්‍යවස්ථා සම්පාදනයේදී සිදුකරන ලද බරපතළම වරදක් ලෙස සැලකිය හැක්කේ දලූලා ලියලා වැඩෙමින් පැවති දෙමළ ජනයාගේ භාෂා ප‍්‍රශ්නයට විසඳුමක් ලබාදීමේ වැදගත්කම මුළුමනින්ම නොසලකා හැරීමය. එසේම එම ව්‍යවස්ථා සම්පාදනය සමගි පෙරමුණු ආණ්ඩුව තමන්ගේ නිල කාලය අවුරුදු දෙකකින් වැඩිකර ගැනීමට අවස්ථාවක් කරගත්තේය.

සීමාසහිතකම් තිබියදීත් මට පැරණි වාමාංශිකයන් ගැන විවේචනයක් සමග ඔවුන් පිළිබඳව වන විශාල ගෞරවයක්ද තිබෙන්නේය. සභාග දේශපාලනයට යොමුවීම වරදක් ලෙස මම නොසලකමි. ඔවුන් අතින් සිදුවූ වරද ලෙස මා දකින්නේ සභාග දේශපාලනයකට යොමු වීමේදී තමන් එතෙක් පවත්වාගෙන ගිය සමහර යහපත් ප‍්‍රතිපත්ති අත්හැරීමය. 70 සමගි පෙරමුණු ආණ්ඩුවේ මුල් කාලයේදී එම ආණ්ඩුවේ කොටස්කරුවන් බවට පත්ව සිටි වාමාංශික නායකයන්ට ආණ්ඩුව තුළ පමණක් නොව, එම ආණ්ඩුව බලයට පත් කළ මහජනතාව අතරද විශාල පිළිගැනීමක් තිබුණි. 72 ව්‍යවස්ථාව සම්පාදනය කරන අවස්ථාවේදී භාෂා ප‍්‍රශ්නය ආශ‍්‍රයෙන් ඇතිවී තිබුණු ගැටලූ විසඳා ගැනීමට බලවත් උත්සාහයක යෙදුණේ නම් ඊට අවශ්‍ය අනුමැතිය සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය ගෙන් සේ ම ආණ්ඩු පක්ෂයෙන්ද ලබාගත හැකිවන්නට ඉඩ තිබුණි. එහෙත් එසේ කිරීමට අවශ්‍ය ධෛර්යය හා විචක්ෂණභාවය වමේ නායකයන්ට නොතිබුණේය.

80 ගණන් මුලදී මා ඒ ගැන කොල්වින්ගෙන් ප‍්‍රශ්න කළා මට මතකය. ඒ ඔහු සමග නුවර බලා යන ගමනකදීය. ඒ අවස්ථාවේදී කාලෝ ෆොන්සේකා හා මේ මෑතදී මියගිය සමසමාජ ව්‍යාපාරයේ අවසාන මහා පුරුක ලෙස සැලකිය හැකි හෙක්ටර් අබේවර්ධනද එහි සිටියෝය. මා විසින් එහිදී කොල්වින්ගෙන් නගන ලද ප‍්‍රශ්නය වූයේ සුළුජාතීන් පිළිබඳ ප‍්‍රශ්නයේදී වඩා ඉදිරිගාමී වනුයේ 72 ව්‍යවස්ථාවද නැතිනම් ජේ.ආර්.ගේ 78 ව්‍යවස්ථාවද යන්නය. එම ප‍්‍රශ්නයෙන් කොල්වින් කම්පනයට පත්වූ බවක් පෙනෙන්නට තිබුණි. එහිදී ඔහු ඉතාමත් නිහතමානී ලෙස කීවේ ඒ අර්ථයෙන් නම් තමන්ගේ ව්‍යවස්ථාවට වඩා ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව ඉදිරිගාමී වන බවය. ඒ අවස්ථාවේදීම හෝ අන් අවස්ථාවකදී මම ඔහුගෙන් තවත් වැදගත් ප‍්‍රශ්නයක් අසා ඇත්තෙමි. ඒ මොනතරම් වැරදි අඩුපාඩුකම් තිබුණද, සභාගයෙන් ඉවත් නොවී ශ‍්‍රීලනිප සමග එක්සත් පෙරමුණක් වශයෙන් 77 මැතිවරණයට මුහුණ දුන්නේ නම් ජේ.ආර්. ජයවර්ධන ජයගන්නට ඉඩ තිබුණා වුවද ඔහු ලබන ජයග‍්‍රහණය අතිවිශාල ජයග‍්‍රහණයක් නොවන්නට ඉඩ තිබුණා නේද යන ප‍්‍රශ්නයයි. ඒ ප‍්‍රශ්නය තුළ තිබුණ පිළිතුර සමගද ඔහු එකඟ වූයේය. ඒ ප‍්‍රශ්නය තවත් අවස්ථාවකදී මම ඒ සමාන ආකාරයට බණ්ඩාරනායක මහත්මියටද ඉදිරිපත් කළෙමි. එයට ඇය දෙන ලද පිළිතුර වූයේද ඒ ගැන මා කල්පනා කරන විධිය හරි බවය. ජේ.ආර්. ජයවර්ධන 77දී ලබන ජයග‍්‍රහණය අසමසම නොවී නම් ඔහු අතින් සිදුවන විනාශය මේ සා විශාල නොවන්නට ඉඩ තිබුණි.

ජේ.ආර්. ගේ ආණ්ඩුක‍්‍රමය

ජේ.ආර්.ගේ ආණ්ඩු ක‍්‍රමය ගැන කතා කරන්නට පෙර මා ජේ.ආර්.ට වෛර කරන පුද්ගලයෙකැ යි කියන හැඟීම සමහර කියවන්නන් අතර තිබෙන බව පෙනෙන නිසා එම වරද නිවැරදි කිරීම අවශ්‍ය වේයැ යි සිතමි. ජේ.ආර්. මා කැමතිම නායකයා ලෙස හා අකමැතිම නායකයා ලෙස සැලකීම වඩා නිවැරදිය. අපේ වෙනත් බොහෝ නායකයන්ට නොතිබුණු ජනනායකයකුට තිබිය යුතු යහපත් ගුණාංග රැසක් ජේ.ආර්.ට තිබුණේය. බලය පිළිබඳ විෂයේදී අනවශ්‍ය තරමට ආත්මාර්ථකාමී වීම ඔහු තුළ තිබූ නරකම දුර්ගුණය ලෙස සැලකිය හැකිය. ආත්මාර්ථකාමය ඉක්මවා ගිය පරාර්ථකාමයක් ඔහු තුළ තිබුණේ නම් මේ රට ගොඩදැමීමේ හැකියාව ඔහුට තිබුණේයැ යි කිව හැකිය. එහෙත් අනවශ්‍ය තරමට ආත්මාර්ථකාමී වීම හේතු කොටගෙන ඒ අවස්ථාව හිමිකර ගැනීමට ඔහු අසමත් විය.

සෝල්බරි ව්‍යවස්ථාව යටතේ වන ආණ්ඩුක‍්‍රමය හා කොල්වින්ගේ ව්‍යවස්ථාව යටතේ වන ආණ්ඩුක‍්‍රමය අතර වෙනස්කම් තිබුණද එම ආණ්ඩුක‍්‍රම දෙකම දේශපාලන බලයේ ප‍්‍රධාන උල්පත මහජනයා ලෙසත් පාලක පක්ෂය මහජනයා විසින් පත් කරන ලද තාවකාලික භාරකාරයන් ලෙසත් සලකා ගොඩනගන ලද එකම සම්ප‍්‍රදායකට හා ආකෘතියකට අයත් ආණ්ඩුක‍්‍රම දෙකක් ලෙස සැලකිය හැකිය. ඒවාට ආවේණික වැදගත්ම එක් ලක්ෂණයක් වූයේ රාජ්‍යයේ සකලවිධ බලය ව්‍යවස්ථාදායකය සතුව තිබීමය. විධායක නායකයා හා ප‍්‍රධාන විධායක බල මණ්ඩලය ව්‍යවස්ථා දායකයේ නියෝජිතයන් අතරින් පත්වීමය. ඔවුන් ව්‍යවස්ථාදායකයට උත්තර දීමට හා වගකීමට බැඳී සිටීමය. ආණ්ඩුව පරාජය කිරීමේ බලය මැතිවරණයකදී මහජනයාට පමණක් නොව මැතිවරණයක් නොපවතින අවස්ථාවකදී ව්‍යවස්ථා දායකයටද තිබීමය.

එය හොඳින් උරගා බලන ලද ආණ්ඩුක‍්‍රමයක් ලෙස සැලකිය හැකිය. ආණ්ඩුවක නිල කාලය කෙටි විය. සාමාන්‍යයෙන් හැම මැතිවරණයකදීම පාහේ විරුද්ධ පක්ෂය අතින් ආණ්ඩු පක්ෂය පරාජය විය. එය විරුද්ධ පක්ෂවලට බලයට පත්වීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ආණ්ඩුක‍්‍රමයක් විය. මැතිවරණ ක‍්‍රමය සරල විය. ආණ්ඩු බලය ලබාගන්නා අයට අයථා ලෙස වස්තුව උපයා ගැනීමට ලොකු ඉඩක් තිබුණේ ම නැති තරම්ය. රාජ්‍ය නායකයාද නීතියට යටත් තත්ත්වයක තබා තිබුණේය. එම ආණ්ඩුක‍්‍රමය ක‍්‍රියකාරී විරුද්ධ පක්ෂවල පැවැත්ම තහවුරු කර තිබුණේය. හැම මැතිවරණයකදීම ආණ්ඩු මාරුවීම සාමාන්‍ය ලක්ෂණයක් වීම හේතු කොටගෙන රාජ්‍ය නිලධාරීන්ට බලයට පත්වන ආණ්ඩු සමග අනවශ්‍ය තරමට කල්ලි ගැසී ක‍්‍රියාකරන තත්ත්වයක් නොතිබුණි. විරුද්ධ පක්ෂවල මනා ක‍්‍රියාකාරීත්වයක් තිබීම නිසා ප‍්‍රචණ්ඩ ව්‍යාපාරවලට විශාල අවකාශයක් නොතිබුණි. ප‍්‍රචණ්ඩ ව්‍යාපාර පැනනැගෙන අවස්ථාවලදී පවා ඒවා පරාජය කිරීම ඉතා දුෂ්කර දෙයක් නොවීය.

ජේ.ආර්. ජයවර්ධන 77 ඇති කළ සිය ආණ්ඩුක‍්‍රමයෙන් එම තත්ත්වය මුළුමනින් උඩුයටිකුරු කළේය. ව්‍යවස්ථාදායකයේ කේන්ද්‍ර ගතවී තිබූ සකලවිධ රාජ්‍ය බලය ව්‍යවස්ථාදායකයෙන් පිටස්තරව සිටින ඊට උත්තරදීමට හා වගකීමට බැඳී නැති, නීතියටද යටත් නැති තනි පුද්ගලයකු අතට පත් කළේය. ආණ්ඩු බලය පෙරළිය නොහැකි ගල් ගැසුණු දෙයක් බවට පත් කළේය. මැතිවරණ ක‍්‍රමයද උඩු යටිකුරු කොට මැතිවරණවලින් ආණ්ඩු වෙනස් කිරීම ඉතාමත් කලාතුරකින් පමණක් සිදුවන දුෂ්කර දෙයක් බවට පත් කළේය. එය විරුද්ධ පක්ෂවල ක‍්‍රියාකාරීත්වය බෙලහීන කොට ත‍්‍රස්තවාදය පෝෂණය කළේය. දුරාචාරය වර්ධනය කළේය. ආණ්ඩු පක්ෂයට, දඬුවම් ලැබීමට බියවීමකින් තොරව රටේ වස්තුව කොල්ලකෑමේ අයිතිය හිමිකරදීම මෙම ආණ්ඩුක‍්‍රමයට ආවේණික දුෂ්ටතම ලක්ෂණය ලෙස සැලකිය හැකිය. අවසානයේ මේ ක‍්‍රමය පහසුවෙන් වෙනස් කළ නොහැකි දීර්ඝකාලීන ආණ්ඩු ඇති, ක‍්‍රියාකාරී විරුද්ධ පක්ෂ ව්‍යාපාර නැති, මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපාර සමග මහා පරිමාණයෙන් ලේ හලන, දූෂණයෙන් හා වංචාවෙන් පිරුණු, සැකයෙන් හා බියෙන් ජීවත්විය යුතු අතෘප්තිමත් ජනතාවක් සහිත රටක් ඇති කළේය. මහින්ද රාජපක්ෂ පාලනයද ඒ ක‍්‍රියාවලියේම තවත් තර්කානුකූල ඵලයක් ලෙස සැලකිය හැකිය.

වරද කාගේද?

මෙය තනිකර ජේ.ආර්. ජයවර්ධන අතින් සිදුවූ වරදක් ලෙස සැලකිය නොහැකිය. මෙම දූෂිත දේශපාලන ක‍්‍රමය සේ ම එය ඇති කළ ජේ.ආර්. ජයවර්ධන හා ඔහුගෙන් පසු බිහිවන අනුප‍්‍රාප්තිකයන්ද සමාජ වටාපිටාවේ තර්කානුකූල ඵලයන් ලෙස සැලකිය හැකිය. අප නිදහසින් පසු යන ගමන ආරම්භ කළේ සාර්ථක ඉදිරි ගමනක් සඳහා අවශ්‍ය කරන එක්සත් ජාතියක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීමෙන් තොරවය. සාමාන්‍ය සමාජය පමණක් නොව, දේශපාලන නායකයෝද ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා බහුත්වවාදී ආකල්පවලින් පෝෂණය වූ පිරිසක් නොවූහ. ඒ සියලූදෙනාගේ පිටපොත්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදී වුවත් ඇතුළත අරටුව වැඩවසම් වීයැ යි කිව හැකිය. එය බලවත් බහුජන ප‍්‍රයත්නයකින් තොරව තෑගි වශයෙන් ලැබුණු නිදහස නිසා ඇතිවූ විසම තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

නිදහස දිනාගැනීම සඳහා බලවත් සටහන් කරන්නට අවශ්‍ය වී නම් එම සටන ජයගැනීම සඳහා බහුතර ජනයා සටනට කැඳවා ගැනීම අවශ්‍ය වන්නේය. බලවත් සාමූහික හැඟීමක් ඇති කිරීම සඳහා කුලභේදයට වර්ගභේදයට හා ආගම්භේදයට ලබාදී තිබෙන වැදගත්කම ඉවත් කිරීම අවශ්‍ය වන්නේය. ඒ මගින් සමාන අයිතිවාසිකම් පදනමක් මත එක්සත් ජාතියක් ගොඩනගා ගන්නා තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබුණි. එසේ වී නම් නිදහස දිනාගැනීම සඳහා කෙරෙන බලවත් සටනක් තුළ ප‍්‍රබල ජාතික හැඟීමකින් යුතු එක්සත් ජාතියක් ගොඩනගා ගන්නට හැකිවන්නට ඉඩ තිබුණා සේ ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණධර්ම වලින් පොහොසත් සමාජයක් ගොඩනගා ගන්නටද හැකිවන්නට ඉඩ තිබුණි. එසේ වී නම් ඒ සටන තුළ ශක්තිමත් ජාතික චින්තනයක් ගොඩ නැගෙන්නට ඉඩ තිබුණා සේ ම දියුණු හා පරාර්ථකාමී නායක පිරිසක්ද ගොඩනැගෙන්නට ඉඩ තිබුණේය. එහෙත් නිදහසින් පසු අප ඉදිරියට ගියේ අවශ්‍යයෙන්ම සම්පූර්ණ කරගත යුතු එම කොන්දේසි සම්පූර්ණ කරගැනීමෙන් තොරවය. රාජ්‍ය නායකයා තෝරාපත් කරගත්තේ මහජන ඡ න්දයෙන් වුවද රාජ්‍ය නායකයෝ රට පාලනය කළෝ වැඩවසම් රජවරුන් ලෙසය. අධිකරණවල විනිසුරුවරු ක‍්‍රියාකළෝ වැඩවසම් පාලනයක් තුළ අධිකරණ විනිසුරුවරුන් ක‍්‍රියාකරන ආකාරයටය. නිලධරතන්ත‍්‍රය ක‍්‍රියාකළේද වැඩවසම් ක‍්‍රමයක් තුළ ක‍්‍රියාකරන ආකාරයටය. බුද්ධිමත්තු හා කලාකරුවෝ ක‍්‍රියා කළෝද ඊට සමාන ආකාරයටය.

මෙම අවලස්සන තත්ත්වය ජයගත යුතුව තිබෙන්නේ නිදහසේදී හා අද දක්වා සම්පූර්ණ කරගැනීමට අසමත් වී තිබෙන කොන්දේසි දෙක එනම් එක්සත් ජාතියක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ගොඩනගා ගැනීමේ අරමුණ වෙනුවෙන් නිසි අවබෝධයකින් යුතුව බලවත් ලෙස ක‍්‍රියා කරන සමාජ ව්‍යාපාර ජාලයක් ඇති කරගැනීමෙනි. පරාර්ථකාමී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා බහුත්වවාදී ආකල්ප සහිත නව නායකයන් සේ ම නව සමාජයක් ඇති කරගත හැකිවනු ඇත්තේ එවිටය.