ශ‍්‍රීලනිප මතය විධායක ජනාධිපති ක‍්‍රමය පවත්වාගෙන යන්නයි | එජනිස මහලේකම් මහින්ද අමරවීර

තරිඳු උඩුවරගෙදර

විශ්වාසභංගය ගැන ශ‍්‍රීලනිපයේ මතය මොකක්ද?

අපි බැලූවේ විශ්වාසභංගයේ පරමාර්ථය මොකක්ද කියලා පැහැදිලි කරගෙන තීරණයක් ගන්න. ඒ අනුව ජනාධිපතිවරයා සමගත් අපි කණ්ඩායම් වශයෙනුත් වෙන වෙනමත් සාකච්ඡුා කළා මොකක්ද මේකේ අරමුණ කියලා. ඒකෙදී අපි සලකා බැලූවා විශ්වාසභංගය ගෙන ආපු කණ්ඩායම මාධ්‍ය වෙත දීලා තිබුණු සාකච්ඡා ගැන. ඒකෙදී ඒ අය කියා තිබුණු මේ යෝජනාවෙන් අපේක්ෂිත ප‍්‍රතිඵලය මොකක්ද කියන එක. ඔවුන් කියා තිබුණේ එජාපය මේක දිනන බවත් ඒ අයට ජයගන්න බැරි බව දන්නා බවත්. ඒත් විශ්වාසභංගයට පක්ෂව වැඩි ඡුන්ද ගාණක් ආවොත් ලංකාව ගැන ජාත්‍යන්තරයේ විශ්වාසය බිඳ වැටෙන බවත් ආයෝජන නතර වෙන බවත් ඒ අය කියා තිබුණා. ඒ කියන්නේ එයාලාගේ අරමුණ රටට එන ආයෝජන නතර කිරීම. අනික ආණ්ඩුව වැට්ටීම. එහෙම එකකට සහයෝගය දෙන්න බැහැ. මොකද ඒක එජාප විරෝධී එකක් නෙවෙයි. ආණ්ඩුවට සහ ජනතාවට විරුද්ධ එකක්. රට ආපස්සට යන යෝජනාවක් මේක. රටට ද්‍රෝහිවීමක් මේක. ඒ ගැන විමසිලිමත් වෙමින් ශ‍්‍රීලනිපයේ මතය වුණේ මේ යෝජනාවට විරුද්ධව ඡුන්දය පාවිච්චි කළ යුතුයි. මේකට විරුද්ධව අදහස් පළ කළ යුතුයි කියන එක.

ඔබලා පක්ෂව ඡන්දය දුන්නා නම් තීරණය වෙනස් කරන්න තිබුණාද?

දිනන්න බැරි බව එයාලාම කිව්වා. අපිත් දන්නවා. අපේ සම්පූර්ණ කණ්ඩායමේ ඉන්නේ 95යි. මම කියන්නේ ඉදිරිපත් කළ අය හිතුව වුවමනාවවත් නෙවෙයි අන්තිමේදී ඉටුවෙන්නේ. එජාපයට බහුතරයක් ඉන්නවා. තවත් අය ගන්න පුළුවන්. ඒකෙන් වන්නේ ඔවුන් අස්ථාවර වෙනවාට වඩා රට ඇතුළේ අස්ථාවරභාවයක් හැදෙන එක. අපේ පක්ෂයේ බෙදීම නැවත වරක් ඉස්මතුවෙන එක. මේ කාරණා පෙන්නුම් කරන්නේ ඒකාබද්ධ විපක්ෂය එජාපයේ වුවමනාව ඉටු කරනවාද කියන ප‍්‍රශ්නය. මේ වෙලාවේ ප‍්‍රායෝගික දේශපාලනික ක‍්‍රියාවලියක අපි නිරත වෙලා ඉන්නවා රට වෙනුවෙන්. මේ අය ඒක කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා.

ඒකාබද්ධ විපක්ෂයේ වැඩි සහයෝගය ලබාගැනීමට තවත් ඇමතිකම් දෙන්න සූදානම් වෙන බවක් මාධ්‍ය වාර්තා කරලා තිබුණා නේද?

එහෙම ඇමතිකම් දෙන්න පුළුවන්කමක් නැහැ. අපට ඕනෑ විදියට හිතුමතේ ඇමති මණ්ඩලය වැඩි කරන්න බැහැ. ඇමති මණ්ඩලයට යා හැකි සීමාවක් තියෙනවා. මේ තරම් ඇමති මණ්ඩලයක් හරි හැදුණේ මේක ජාතික ආණ්ඩුවක් නිසා. මීට වඩා ඇමතිකම් දෙන්න හැකියාවක් නැහැ. අනෙක් අතට ඇමතිකම් ලබාදීම සඳහා අපි කිසිම සාකච්ඡුාවක් කරලා නැහැ. ඇමතිකම් දෙනවා නම් ආණ්ඩුවට එනවා කියලා ඇමතිකම් ගන්න සාකච්ඡුා කරන අය එක්ක අපේ සාකච්ඡුාවකුත් නැහැ. අවංකවම ආණ්ඩුව ගැන පැහැදීමකින් එකතුවෙන කෙනෙක් ඉන්නවා නම් එකතුවෙන්න ඇමතිකම් ඕනෑ නැහැ.

ගෝඨාභය රාජපක්ෂ ශ‍්‍රීලනිප නියෝජ්‍ය නායකයා විදියට පත්කරන්න යන්නේ මොකද?

ඒක පෞද්ගලික මතයක් විතරයි. එහෙම කිසිම සාකච්ඡුාවක් සිද්ධ වෙලා නැහැ. ආණ්ඩුවේ ස්වභාවයම එහෙම ප‍්‍රකාශවලට ඉඩ ලැබෙන එක. ඒ කියන්නේ පෞද්ගලික අදහස් ජනතාවට ඉදිරිපත් කරන්න දැන් අයිතියක් තියෙනවා. ඒවා පක්ෂයේ මත නෙවෙයි. ඒක ප‍්‍රායෝගික කතාවක් නෙවෙයි.

දැන් ඉතිං ඒ සංවාදය පටන්ගන්න පුළුවන් නේද?

පෞද්ගලිකව එහෙම අදහසක් ඉදිරිපත් වුණාට එහෙම සාකච්ඡුාවක් සිදුවේවි කියලා මං හිතන්නේ නැහැ. කුමන විදියේ සාකච්ඡුාවක් වුණත් කුමන්ත‍්‍රණ විදියට නෙවෙයි ප‍්‍රසිද්ධියේ සිද්ධ වේවි. ඒ තමයි වෙන කිසිම පක්ෂයක නැති ශ‍්‍රීලනිපයේ විශේෂත්වය.

ජාතික ආණ්ඩුව ලබන අවුරුද්දේ අවසන්, ඉන් පස්සේ අපේ ආණ්ඩුවක් හදනවා කියලා කිව්වෙත් පෞද්ගලික අදහසක්ද?

ලබන අවුරුද්දේ දෙසැම්බර් වෙනකන් මේ ආණ්ඩුව තියෙනවා. එතැනින් එහාට කරන්නේ මොකක්ද කියලා තීරණය කරලා නැහැ. අපි සලකා බලනවා ආණ්ඩුව වශයෙන් පවතින්න පුළුවන්ද, නැත්නම් වෙනත් යමක් කරන්න සිදුවේවිද කියලා. පළවෙනි කාරණය තනියෙන් ආණ්ඩුවක් හදන්න අපට බලයක් නැහැ. සාපේක්ෂව එජාපයට තමයි ඒ අවස්ථාව වැඩියෙන් විවර වෙලා තියෙන්නේ. ඒත් කාටවත් තනි ආණ්ඩුවක් හදන්න බැහැ. අපි ගෙවුණු අවුරුදු දෙක ගැන පසුවිපරමක් කරලා තමයි තීරණය ගන්නේ. කොහොම වුණත් ඒ තීරණය රට අරාජික කරන තීරණයක් නෙවෙයි. ජනතා මතයට කන්දීලා අපි තීරණයක් ගන්නවා.

ජනාධිපතිවරයා ඉන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි කියන මතයේ. ශ‍්‍රීලනිපයේ ව්‍යවස්ථාව ගැන අදහස් ඉදිරිපත් කරන කමිටුවේ මතය විධායක ජනාධිපති ක‍්‍රමය පවත්වාගෙන යා යුතුයි කියලා. මේ පරස්පරය කොහොම විසඳෙයිද?

ජනාධිපතිතුමාගේ කැමැත්ත සහ පක්ෂය කාලයක් තිස්සේ පවත්වාගෙන ආ මතය දෙකක්. දෙවරක්ම ඔහුගේ අදහස ඉදිරිපත් කළා. ඒත් එහෙම කෙනෙක් කියූ සැණින් පක්ෂ මතය වෙනස් කරන්න ඕනෑ නැහැ. ඉස්සර වගේ නායකයාගේ අදහසම පක්ෂය දැරිය යුතු නැහැ. ජනාධිපතිට අපි අපේ මතය කිව්වා. අපි හිතන්නේ සුළු ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කරන්න, මැතිවරණ ක‍්‍රමය ගැළපෙන්නේ ජනාධිපති ක‍්‍රමයට, පළාත් ආණ්ඩුකාරවරු පත් කරන්නේ ජනාධිපතිවරයා විසින්. මේ වගේ කාරණා ගොඩක් තියෙනවා ප‍්‍රායෝගිකව පාර්ලිමේන්තු ක‍්‍රමයට නොගැළපෙන. ඉතින් ජනාධිපති ක‍්‍රමය වෙනස් කරන්න නම් ලංකාවේ දේශපාලනයේ සම්පූර්ණ වෙනසක් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපේ මතය බලතල අඩුකළ විධායක ජනාධිපති කෙනෙක් පවත්වාගෙන යා යුතුයි කියන එක. ජනාධිපතිතුමා පක්ෂයේ නායකයා විදියට ඉන්නකොට ඒ මතය සලකා බැලිය යුතුයි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම මතපදනම් වුණ පොරොන්දු මාලාවක් එක්ක. ඔහු සෝභිත හිමියන්ගේ දේහය ඉදිරිපිටත් ඒ බව පොරොන්දු වුණා නේද?

ඒක ජනාධිපතිතුමාගේ කාරණාවක්. මම කීවේ ශ‍්‍රීලනිපයේ මතය. ඔහු නායකයා වුණත් ඔහු ක‍්‍රියාත්මක කළ යුත්තේ පක්ෂයේ මතය. ඔහුගේ මතය පක්ෂයේ මතය බවට පත් කරන්න නම් ඔහුට අනෙක් සෑම මධ්‍යම කාරක සභිකයෙකුටම තියෙන අයිතිය තියෙනවා, තමන්ගේ මතය ඉදිරිපත් කරලා ඒක සම්මත කරවාගන්න. ඉස්සර නායකයෝ කිහිපදෙනෙක්ම පවත්වාගෙන ගියා වගේ නායකයා කිව්වාම එහෙයි කියන්න පක්ෂය සූදානම් නැහැ. ඒක මේ නායකයා විසින්ම ඇති කළ දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී තත්ත්වයක්. එජාපයේවත් ඒ හොඳ ලක්ෂණය නැහැ. අපි ඒ ගැන ආඩම්බර වෙනවා.

මධ්‍යම කාරක සභාවේ මතයට පිටින් තමන්ගේ මතය නිල වශයෙන් ඉදිරිපත් කරන්න පක්ෂයේ සභාපතිවරයාට නිල බලයක් නැද්ද?

පක්ෂයේ සභාපතිවරයා විදියට එහෙම කරන්න බලයක් නැහැ. සභාපතිවරයාට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒත් ඒක පක්ෂයේ මතය වෙන්න නම් මධ්‍යම කාරක සභාවේ අනුමැතියට ලක්විය යුතුයි. කොහොම වුණත් පක්ෂය හැමදාම ඉන්නේ රටට ගැළපෙන නිවැරදි තීන්දුව එක්කයි.

බලතල බෙදීම ගැන පක්ෂයට තියෙන නිල අදහස මොකක්ද?

වෙනම රාජ්‍යයකට ඉඩ නොලැබෙන බලතල බෙදීමකට එකඟ වෙන්න අපි සූදානම්.