රාවය

ඇමති මණ්ඩලයේ ඉන්නේ හිරේ ඉන්න ඕනෑ කට්ටිය | කේඞී ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණ

ඇමති මණ්ඩලයේ ඉන්නේ හිරේ ඉන්න  ඕනෑ කට්ටිය | කේඞී ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණ

තරිඳු උඩුවරගෙදර

දැන් ගෝඨාභයව නියෝජ්‍ය නායකයෙක් ලෙස ගෙනෙන්න යනවා. ජවිපෙ විදියට ඒ ගැන අදහස මොකක්ද?

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතුමාට ලැබුණු ජනවරම මත පිහිටා කටයුතු කරන බවක් පෙනෙන්න නැහැ. තමන්ට ඡන්දය දීපු ඡන්දදායකයාව දේශපාලනිකව තෘප්තිමත් කරමින් යන ගමනක එතුමා දැන් නැහැ. ශ‍්‍රීලනිපයට ඕනෑකම තියෙනවා මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා මූලික කරගත්ත ශක්තිමත් ශ‍්‍රීලනිපයක් ගොඩනඟලා ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාලව දිනවන්න. ඒ වෙනුවෙන් මහින්ද ළඟ ඉන්න සියලූ දෙනාවම වුණත් විවිධ තර්ක විතර්ක එකතු කරගනිමින් එකතු කරගැනීමට එතුමා සූදානම්. ශ‍්‍රීලනිපයේ උපසභාපතිකමක් කරුණා අම්මාන්ටත් දීලා තිබුණු එකේ උපසභාපතිකමක් දෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. සමස්තයක් විදියට ඒ වැඬේ අපි පිළිගන්නේ නැහැ. අද ඇමති මණ්ඩලයේ භාගයක් ඉන්නේ පට්ට හොරු. පහුගිය කාලයේ ජනතාව ප‍්‍රතික්ෂේප කළ හිරගෙදරට ඇතුල් කරන්න ඕනෑ කට්ටිය.

මාධ්‍ය වාර්තා කළා මහින්ද කණ්ඩායමේ තවත් පිරිසකට ඇමතිකම් දෙන්න සූදානමක් තියෙනවා කියලා. ජවිපෙ අදහස මොකක්ද?

ජනාධිපතිතුමා කලින් කීවේ තිබුණු ආණ්ඩුවේ ඇමතිකම් ප‍්‍රමාණය මේ රටට ඔරොත්තු දෙන එකක් නෙවෙයි ඒක අඩු කරනවා කියලා. ඡන්දදායකයාගේ ඉල්ලීමත් ඒක. ජනවරම නියෝජනය කරන්නෙත් කුඩා ඇමති මණ්ඩලයක අවශ්‍යතාව. ශ‍්‍රීලනිපයේ ඇමති මණ්ඩලය වැඩි කරනකොට අනිත් පැත්තෙන් ඒකට සමාන්තරව එජාපයටත් ඇමතිකම් දෙනවා මේක තුලනය කරන්න. යහපාලනය කියලා මේකට නම දාගත්තාට අපේ රටේ ජනතාව අහන්නෙ කලින් ආණ්ඩුවට වඩා තිබුණු වෙනස මොකක්ද කියලා. ශ‍්‍රීලනිපයයි, එජාපයයි එකතු වුණා කියලා මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්නේ නැහැ කියලා ඕනෑවටත් වඩා ඔප්පු වෙලා ඉවරයි. 2015 මාර්තු 12 ගිවිසුමක් අත්සන් කළා ප‍්‍රධාන පක්ෂ දෙක චෝදනාවලට වැරදිකාරයො වෙච්ච අප‍්‍රසාදයට ලක්වෙච්ච අයට නාමයෝජනා දෙන්නේ නැහැ කියලා. පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒක සම්පූර්ණයෙන් කැඩුවා. එතැන් සිට මේ දක්වා ජනතාවගේ බලාපොරොත්තු දිගටම කඩමින් පරණ දේශපාලන සංස්කෘතිය එක්ක කටයුතු කරලා තියෙනවා. පරණ දේශපාලන සංස්කෘතියෙන් කැඩුණොත් ශ‍්‍රීලනිපයට දේශපාලන නායකයෝ ඉතුරු වෙන්නෑ. එජාපයට ඡන්දය ඉල්ලන්න කට්ටිය ඉතුරු වෙන්නෑ.

රාවයට මීට කලින් දුන්න සම්මුඛ සාකච්ඡුාවකදී මහින්ද අමරවීර ඇමතිවරයා කීවා නාමයෝජනා දෙන්න වෙන්නේ චෝදනා තිබුණත් ජනතාවගේ කැමැත්ත තියෙන අයටයි කියලා. ජනතාව එහෙම අය ඉල්ලනවා නම් කරන්නේ මොකක්ද?

මනාප ඡන්දක‍්‍රමයක් තියෙද්දීත් ජනතාවගේ පැත්තෙන් තමන්ගේ වගකීම ඉෂ්ට නොකරන බවකුත් පේන්න තියෙනවා. කේවල ඡන්ද ක‍්‍රමයම ආවොත් ජනතාවට තෝරාගැනීමේ අවස්ථාවක් ඇත්තේම නෑ. එහෙම අවස්ථාවක් තියෙද්දීත් ජනතාවගේ වගකීම ජනතාවට ඉටු කරන්නේ නෑ. පුරවැසියෝ නෙවෙයි මිනිස් රූපයක් තියෙන ඇවිදින සත්වයෝ තමයි වැඩිපුර ඉන්නේ. සාක්ෂරතාව තිබුණත් දේශපාලන සාක්ෂරතාවක් නෑ මේ රටේ. පක්ෂයක් කියන්නේ ජනතාවගේ නියමුවෙක්. නියමුවෙකුට අයිතියක් නැහැ ජනතාවට චෝදනා කරලා අත පිහිදාගන්න. ඒ නිසා මහින්ද අමරවීරට අයිතියක් නැහැ ජනතාවට මුවා වෙලා නරක දේශපාලන සංස්කෘතියක් පවත්වාගෙන යන්න.

විශ්වාසභංග එන්නෙත් ශ‍්‍රීලනිප බල අරගලයේ ප‍්‍රතිඵලයක් විදියටයි

අපට තනි තනි පුද්ගලයන් ගැන තියෙන විවේචනයකට වඩා මේ දේශපාලන සංස්කෘතිය ගැන පොදු විවේචනයක් තියෙනවා. පුද්ගලයෙක් මරාගෙන කරන්න අපට ඕනෑ නැහැ. අපට පරාද කරන්න ඕනෑ රාජපක්ෂලා උච්චස්ථානයට පත්කළ දේශපාලන සංස්කෘතිය. රවී කරුණානායක ඇමතිතුමාට එරෙහිව ඉදිරිපත් කරක විශ්වාසභංගයට අපි සහයෝගය දෙන්නේ පහුගිය කාලයේ ඇතිවුණ නරක තත්ත්වය නිසා. කොටින්ම අද මේ රටට අයවැයක් නැහැ. ඒකට මුදල් ඇමතිවරයා නිල වශයෙන් වගකිව යුතුයි. මේක සමස්ත ආණ්ඩුවේ ප‍්‍රශ්නයක් හැබැයි. වැඩි ඡුන්ද ගාණකින් රවී ඇමතිතුමාට දිනන්න පුළුවන්. ඒ වුණත් දේශපාලනික වශයෙන් විශ්වාසභංගයක් ඉදිරිපත් වීම ආණ්ඩුව ලබපු පරාජයක්.

දේශපාලන පිරිසිදුභාවයත් රැකගෙන බහුතර ජනතාව අතරට යන්නේ කොහොමද?

ජවිපෙ විදියට විවිධ අවධීන්වල ගොඩනඟපු ආකල්ප, සංස්කෘතීන් සහ උපසංස්කෘතීන් එසේ තිබියදී සමාජය ඉදිරියට ගමන් කරලා සමාජ සංස්කෘතිය වෙනස්වීමක් වෙලා තියෙනවා. අපිම හදපු සංස්කෘතීන් අපටම පෙරළා හානිකර විදියට බලපාලා තියෙනවා. ඒවා අපි හදාගන්න ඕනෑ. දැන් දේශපාලනිකව මිනිස්සු දිහා බලන්න ඕනෑ. ඒ වෙනුවට වෙන වෙන දෘෂ්ටිකෝණයන්ගෙන් පක්ෂ සහ මිනිස්සු දිහා බලන ප‍්‍රවණතාවක් තියෙනවා. ලාල්කාන්ත කන්නේ මොනවාද කියලා කවුරුත් අහන්නේ නැහැ. හැබැයි අපිම හදලා තියෙන සංස්කෘතියක් ඇතුළේ ලාල්කාන්තගෙන් සමාජය බලා පොරොත්තු වෙන දෙයක් තියෙනවා. මම ඒක දෙන්න සමත් වෙන්න ඕනෑ. මෙවැනි ප‍්‍රතිවිරෝධාත්මක ස්වභාවයන් ඇතුළේ තමයි අපි කොහොමත් යන්න ඕනෑ.

ජවිපෙ අයට බොන්නම එපා කියලා තියෙනවාද?

අපේ පක්ෂයේ රෝහණ විජේවීර සහෝදරයා ආරම්භ කරන අවධියේ අපට බස් එකේ යන්නවත් මුදල් තිබුණේ නැහැ. ඒ නිසා පක්ෂයට සම්බන්ධ වන අය අතරේ සිගරට් අරක්කු බොන අය සම්මතයක් හදාගත්තා අපි අරක්කු සිගරට්වලට යන මුදල අපේ පක්ෂයේ වැඩවලට යොදාගනිමු කියලා. ඒ සංස්කෘතිය පක්ෂයේ අද දක්වා සාකච්ඡුා වෙනවා කතා වෙනවා. අපේ පක්ෂයේ නීතියක් හැටියට ඒක නැහැ. සාමාජිකත්වය ලබාගනිද්දි බොනවාද කියලා බලන්නේ නැහැ. මම හිතනවා අපි පැය විසිහතරේම දේශපාලනය කරන අය නිසා වැළකිලා ඉන්න පුළුවන් නම් හොඳයි. සමාජය වෙනුවෙන් කැපවී ඉන්න කෙනෙක් නොබී ඉන්න එක හොඳයි. ඒ නිසා අපි උත්සාහ කරනවා ඒ හොඳ දේ පවත්වාගෙන ඉන්න. මගේ පවුලේ නෑදෑ හිතමිත‍්‍රයෝ ගත්තාම ඒ හැමෝම වගේ බොනවා. මමත් හොඳට බීලා තියෙනවා. මට ඉන්න හොඳම යාළුවෝ බොන්නැති අයට වඩා හොඳයි. බීමෙන් නොබීමෙන් මිනිහෙක්ගේ හොඳ නරක මනින්න බැහැ. බීමෙන් නොබීමෙන් පක්ෂයක හොඳ නරක මනින්නත් බැහැ. බීම සම්බන්ධ කාරණය මම නම් පෞද්ගලිකව දේශපාලන කාරණයක් විදියට සලකන්නේ නැහැ.