රාවය

රසල් පාර්ක් එකේදී කුඩා දේවිකා හමුවුණා

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

විමලනාත් වීරරත්න ඡායා-/තුසිත කුමාර

getphotos

ජනසන්නිවේදනය පි ළි බ ඳ වලංකාවේ පළමු මහාචාර්යවරයා වන්නේ ඔබ. මේනිසා ඔබට කරන්නට හැකිවූ විශේෂ කටයුත්ත මොකක්ද?

කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය ආරම්භ කරන්න පදනම වැටිලා තිබුණා 74 විතර වනවිට. සමාජයේ මාධ්‍ය ලෝකය බිඳ වැටිලා තිබුණා. සාහිත්‍ය උගන්වන භාෂා අධ්‍යයනය දෙන අයට කළ හැකිදේ කුමක්ද කියල ප‍්‍රශ්නයක් මතුවී තිබුණා. 70 දශකයේ ආරම්භයේ ඉඳලම ලෝකයේ තිබුණා නව විෂය මාලාවක් සොයාගෙන යා යුතුයි කියන තේමාව. සිංහල ගෞරව හා ඉංගී‍්‍රසි ගෞරව උපාධියක් කරලා පරිපාලකයෙක් වුණාම එයාගෙ දැනුම ඒ සාහිත්‍ය පොත්වලට විතරයි මුල්ම කාලෙ සීමා වුණේ. දැන් නව විෂය ධාරාවක් අවශ්‍යයයි කියන ලෝක මතය අපේ රටටත් කාන්දුවුණේ මේ නිසයි. ඒ කාන්දු කිරීමේ යෝධයන් වුණේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය ගනනාථ ඔබේසේකර, මහාචාර්ය ඞී.ඊ හෙට්ටිආරච්චි වැනි අයයි. මම එංගලන්තයට ගිහින් එම නව විෂයයන් ඉගෙන ගෙන ආවට පස්සෙ මට ජනසන්නිවේදනය විෂය පිළිබඳව විශ්වවිද්‍යාලය තුළ විධිමත් ආරම්භයක් ගන්න හැකිවුණා. මේ පිළිබඳව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් දාපු කමිටුවටත් මාව පත්කළා සරච්චන්ද්‍ර. ඊට පස්සෙ මොරටුව, කොළඹ විශ්වවිද්‍යාලවල හේවුඞ් ආයතනයේ ගුවන්විදුලි අභ්‍යාස ආයතනය යන තැන්වල නව විෂ්‍ය ධාරාවක් ආරම්භ කරන්නත් මට අවස්ථාව ලැබුණා. මේකෙ පදනම භාෂාත්මක, සංස්කෘතික, දේශපාලනික, දාර්ශනික පදනමයි. මේක පටු භාෂා විෂයෙන් තොරවයි.

ප්‍රොෆෙසර් තමන්ගෙ ගමයි අම්මයි තාත්තයි ගැන කොහොමද හිතන්නෙ.

අපේ ගම සීදුව. අම්මා තමයි අපේ ගෙදර තාත්තාටත් වඩා අපිත් එක්ක සම්බන්ධතා පවත්වන්නෙ. තාත්තා ඉතින් උගත්. ඔහු පාලි සංස්කෘත ඉංගී‍්‍රසි භාෂා විශාරදයෙක්. හැබැයි ඔහු සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්. මහාචාර්ය ගුණපාල මලලසේකර, ඕල්කට්තුමා, එල්.එච්.මෙත්තානන්ද, පී.ද.එස් කුලරත්න, එම්.ඩබ් කරුණානන්ද වැනි අය සමග පියා ඇසුරු කළා. එන්.එම් පෙරේරා තාත්තගෙ ඉස්කෝලෙ සගයෙක්. එයාගෙන් තමයි අපිටත් පන්නරය ලැබුණෙ. තාත්තා උතුරු කළුතර. මව තමයි සීදුවෙ. අම්මගෙ ආභාසය අපිට වැඩියි. මොකද යුද්ධ කාලෙ අපි හිටියෙ ගම්පහ බැණ්ඩිය මුල්ලෙ. මුලින්ම මම ඉගෙන ගත්තේ පොල් අතු ඉස්කෝලෙක. තාත්තාට හොඳම සෞඛ්‍ය පරීක්ෂකයා ලෙස රන්පදක්කමකුත් ලැබුණා.

ගමේ පොල් අතු ඉස්කෝලෙන් පස්සෙ කොහෙද ගියෙ.

තාත්තගෙ රැකියාව නිසා අපිට නුවරට යන්න වුණා. එතකොට මම මහනුවර ධර්මරාජෙට ගියා. 49 දී මම ආනන්දෙට ආවා. ඊට පස්සෙ ලන්ඩන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට තමයි මම නැඹුරු වුණේ. මම මුලින්ම කළේ විද්‍යාව. විද්‍යාවෙන් කලාවට ගියා. කැලණිය විශ්වවිද්‍යාලයේත් ටික කාලයක් හිටියා. ඊට පස්සෙ එංගලන්තයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයට. මම ඇත්තටම කළු සුද්දෙක්. ඒක හුඟ දෙනෙක් දන්නේ නැහැ. මගේ උගත් මිත‍්‍රයො ඉන්නෙ එංගලන්තෙ. මගේ අවධානය කොහොමටත් තිබුණෙ රංග කලාව, ගුවන්විදුලිය, පුවත්පත්, නිර්මාණ, කවි සහ ඉංගී‍්‍රසි ඉගෙන ගැනිල්ල කෙරෙහියි.

ශී‍්‍ර ලංකා විද්‍යාලයේ වැඩකළ කාලය කොහොමද?

ඒ එංගලන්තයේ යන්න කලින්. වත්මන් ජනාධිපතිතුමාත් එතකොට ශී‍්‍ර ලංකා විද්‍යාලයේ ඉගෙන ගත්තෙ. ඒ ඉන්න ගමන් මම කැලණියෙත් වැඩකළා. ඔය අතර තමයි විභාගයකින් සමත්වෙලා එංගලන්තයට යන්නෙ. සිරිමාන්න කියලා මගේ ගුරුවරයෙක් හිටියා. එතුමා තමයි මට හොඳට ඉංගී‍්‍රසි ඉගැන්නුවේ. එංගලන්තයට ගියාම ප්‍රොෆෙසර් විලියම් තිලෙක්ටඞ්ගෙන් සහ ප්‍රොෆෙසර් කි‍්‍රස්ටෝෆර් රේනර්ස් කියන දෙන්නගෙන් තමයි මම ඉංගී‍්‍රසිය වැඩිපුර ඉගෙන ගත්තෙ. බී.බී.සී එකේ සිංහලෙන් නිව්ස් කිව්වට මම එහිදී සියලූ නිබන්ධන ලිවීම් කළේ ඉංගී‍්‍රසි බසින්. යන්න කලිනුත් මම කැලණියේ විශ්වවිද්‍යාලයේ ඉංගී‍්‍රසි විෂය උපදේශකවරයෙක් ලෙස කටයුතු කළා. ඒ 64, 65, 66, වසර තුනේදීම. ඒ කාලෙම තමයි ශී‍්‍ර ලංකා විද්‍යාලයේ සිංහල සහ ඉංගී‍්‍රසි ගුරු තනතුරත් දරුවේ. මගේ මතකයේ හැටියට ජනාධිපති ශී‍්‍ර ලංකා විද්‍යාලයේ වැඩිකාලයක් ඉගෙන ගත්තෙ නැහැ. චෙරිවත්ත තමයි එයාගෙ කැමතිම පොත. එයා මගෙන් ඒ ගැන විවිධ ප‍්‍රශ්නත් ඇහුවා.

බී.බී.සී යන්න හම්බ වුණේ කොහොමද?

මම ශී‍්‍ර ලංකා විද්‍යාලයේ උගන්වමින් ඉන්න කාලේ ගුවන්විදුලි සේවයට නිබන්ධන සම්පාදක වරයෙක් අවශ්‍යයි කියලා ගැසට් නිවේදනයක් දැක්කා. ඔය 1965 විතර මම ඒ වන විට ඉබ්සන්ගෙ හෙඩා ගැබ්ලර් කරලා තිබුණා. හෙවනැලි ඇද මිනිස්සු නවකතාවටත් තෑගි හම්බවෙලා මං නිකං මාර පොරක් වෙලා හිටියෙ. මම වෙස්පා ස්කූටරයකින් ගමන් ගියේ. විනෝදයෙන් හිටිය කාලෙ. තැන්තැන්වල ඇවිදිනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් හම්බ වෙන්න යනවා. තිස්ස අබේසේකර එහෙම ගජ යාළුවා. අපි රස්තියාදු ගහනවා. මධුපානෝත්සව වලට යනවා. තාත්තට මේ වැඩ අල්ලන්නෙත් නැහැ. තාත්තට මාව හදන්නන් බෑ. මට තාත්ත හදන්නත් බෑ. හැබැයි අපි තාත්තට ගරු කරමින් එක ගෙදර ඉන්නවා. ඔබ්සර්වර් එකටත් මම ලිව්වා ඒ දවස්වල. මගේ නවකතාවට ඒ දිනවල සරච්චන්ද්‍ර ඉංගී‍්‍රසි විචාරයක් ලිව්වා විශිෂ්ට නවකතාවක් කියල. එදා මට හරි ජොලියක් ගියා. එහෙත් දැන් මම ඒ අදහස පිළිගන්නෙ නැහැ. මේ පසුබිම තුළ මම දැන් නිබන්ධන සම්පාදක ඉන්ටවිව් එකට ගියයි කියමුකො. මට දැන ගන්න ලැබුණා මේ පෝස්ට් එකේ කලින් හිටියෙ මහගම සේකර කියලා. වින්සන්ට් පණ්ඩිත, ඕල්කට් ගුණසේකර හා කේ.එච්.ජේ විජේදාස යන මහත්වරු තමයි. බෝඞ් එකේ හිටියෙ. මාර මාර ප‍්‍රශ්න ඇහුවා. ඉංගී‍්‍රසියෙන් අහනවා. ආයෙත් සිංහලෙන් අහනවා. අර පොත මේ පොත කියෙව්වද අහනවා. මම හැම එකටම හොඳටම උත්තර දුන්නා. හරි කියලා මාව ගත්තා. එතකොට බද්දේගම විමලවංස හාමුදුරුවෝ තමයි ශී‍්‍ර ලංකා විද්‍යාලයේ ප‍්‍රධානත්වය දැරුවේ. හාමුදුරුවෝ මට යන්න දුන්නෙම නැහැ. කොහොම හරි අයින් වෙලා ආවා. අවුරුදු 4ක් ගුවන්විදුලියේ සේවය කළ අයට බී.බී.සී යන්න වරප‍්‍රසාදය තියනවා. පත්තරවලට ලියනවා. විශ්වවිද්‍යාලෙ උගන්වනවා. නාට්‍ය බලනවා. ගුවන්විදුලියෙත් වැඩ. ඒ කාලේ මට අන්තිම කාර්ය බහුලයි. ඒ අස්සෙ තේවිස් ගුරුගේ මහත්තයා මාව දුරබැහැර රාජකාරිවලටත් යවනවා. මෙහේ පරිපාලකයෝ මුලින් කිව්වා මගේ බී.බී.සී ඇප්ලිකේෂන් එකට ඉඩදෙන්න බැහැ කියලා. මෙතන සීනියස්ලා ඉන්නවා කියලයි ඔවුන් කිව්වෙ. ඒත් නෙවිල් ජයවීර මහතා මට අවසර දුන්නා. සීනියර්ස්ලා ඉන්දැද්දි ජූනියර් එකෙක් යන්නෙ කොහොමද කියල හෙන හබයකුත් ගියා. ඒත් ඉතින් මම සුදුසුකම් සපුරලා කියලා කවුරුත් දැනගත්තා. ඔක්කොටම ආයුබෝවන් කියලා මම ගියා. එච්.එම්. ගුණසේකර ඒකෙ ඉඳලා ලංකාවට ආවා. ඔය 1967දී.

විවාහ වෙලාද ඔය කාලෙ.

යන්න ලෑස්ති වෙලා බැඳගත්තා. එයා කිසිදේකට ප්‍රොටෙස්ට් කරන් නැහැ හරිම හොඳයි. දැනුත් එයා මාත් එක්ක ඕනෑම තැනකට එනවා. එයා මං අඳුරන කෙනෙකුගේ නංගි කෙනෙක්. පොතුත් ලියනවා. කාන්තාව තමයි අපිව රකින්නෙ. නැත්නම් අපි ඉවරයි.

එංගලන්තෙදි සෑහෙන වැඩ ටිකක් කළානේද?

ඔව්. බීබීසී එකට අමතරව මම නැවත වතාවක් M.A එකත්, M.phil එකත්, Phd එකක් කරලා ඉංගී‍්‍රසියෙන් පති‍්‍රකා තුන හතරකුත් ලියලා, වර්ල්ඞ් සර්විස් එකට කෙටි කතා ලියලා 1972 දී ලංකාවට ආවා. ඒ ආවට පස්සෙ කරපු දේ තමයි මම ඔබේ පළමුවැනි ප‍්‍රශ්නෙට උත්තර වශයෙන් කිව්වෙ. මම ලංකාවෙන් බැහැරව පදිංචියට යන්න කැමැති නැහැ. ලංකාව තමයි මට නියම ස්වර්ග මෝක්ෂ රාජ්‍යය. සරච්චන්ද්‍ර සමග ඔබේ ගනුදෙනුව කොහොමද?

එතුමා ලොස්ට් මෑන් කියලනෙ මට කිව්වෙ. ඇයි මගේ කතාවල පරාජිතයෙක් ඉන්නවනෙ. අද කාලෙ කතාවලත් ලොස්ට් මෑන්ලා ඉන්නවා. හැබැයි ඒ සමහරු ඕනෙ කමින් ලොස්ට් වෙලා වගේ පේනවා. පොඞ්ඩක් දැනගෙනනෙ සමහරු ගොඩක් පෙන්වන්න හදන්නෙ. පෝස්ට් මොඩර්නිසම් කතා කරන අය බලන්නකො. හරියට කියවලා නැහැ. හුඟක් අය තමන්ගෙ විෂයට හා කරන රාජකාරියට අවංක නැහැ. ඒකයි ප‍්‍රශ්නෙ. නිර්මාණ සාහිත්‍ය කියන එක මුලින්ම ඔබේ ඔළුවට එන්නෙ කොහොමද?

ඔයා විශ්වාස කරන්න මම හැටේ දසකය වන විට ඉබ්සන්ගෙ නාට්‍ය සියල්ල කියවලා ඉවරයි. ජොයිස්ගෙ, චෙකොව්ගෙ නවකතා ඔක්කොම කියවලා ඉවරයි. මගේ ෆේවරිට්ම මිනිහා හෙන්රි මිලර්. එයාගේ සේරම කියවගෙන කියවගෙන ගියා. ඒ කාලෙ මාකේස්ලා කවුරුවත් අහන්න දකින්න හිටියෙ නැහැ.

අපේ තාත්තා මගේ මේ වැඩ බලන් ඉඳලා කිව්වා උඹට සම්මත විභාග නම් සමත් කරගන්න බැරිවෙයි කියලා.

66 දී ඔබ ඉබ්සන්ගෙ Lady from the see සයුරෙන් ආ ළඳ යනුවෙන් නිෂ්පාදනය කළා. මේ කාලෙ අත්දැකීම් කොහොමද?

මාලිනි ෆොන්සේකා මුලින්ම ඇක්ට් කළේ ඒ නාට්‍යයනෙ. මම කොළඹ ඉඳල මේකෙ ටෙක්ස්ට් එක අහගන්න ප්‍රොෆෙසර් හල්පෙලගෙ නුවර ගෙදරට යනවා. දවස් දෙක තුන එහේ ඉන්නවා. මම ඒ යුනිවර්සිටි එකේ ඉංගී‍්‍රසි ගෞරව ඩි‍්‍රගි එකකටත් රෙජිස්ටර් වුණා. ඩොක්ටර් සිරි ගුණසිංහලගෙ ගෙදර නතරවෙලා ඉඳලා හවස හතරේ ඉඳලා පැය දෙකක් විතර ප්‍රොෆෙසර් හල්පගෙන් නාට්‍යය අහගත්තා.

ඉබ්සන්ගේ නාට්‍යවල දෙබස් වැඩි නිසා ඩයලොග් සහ ඇක්ට් එක සමපාත කර ගන්න හුඟක් නිෂ්පාදකයන්ට බැරිවුණා. ඔබ මොකක්ද එතනදි කළේ.

උඩපෙළට වඩා නළුවා යටිපෙළ අර්ථාන්විතව ග‍්‍රහණය කර ගත යුතුයි. ඉබ්සන්ගෙ ඩයලොග් අගට යෙදෙන තිත්පේළියට අදාළ විරාමය නළුවා හරියට අල්ල ගන්න ඕන. මේක ටිකක් කියලා දෙන්න අමාරු වැඩක්. මගේ හෙඩා ගැබ්ලර් බලල සරච්චන්ද්‍ර එක වෙලාවකදි කිව්වා රංග කලාව ශෛලිගත නාට්‍යයෙන්ම දියුණු කරගෙන බැහැ ස්වභාවික නාට්‍යය සමග සමාන්තරව පවත්වාගත යුතුයි කියලා. ඔහු කිසිලෙසකින්වත් ස්වභාවික නාට්‍යයට විරුද්ධ වෙලා නැහැ.

ඔබ කරපු නාට්‍ය අතරින් හොඳටම පත්තුවුණේ සොක‍්‍රටීස්ද?

සොක‍්‍රටීස් නේන්නම්. සොක‍්‍රටීස් ඉතාමත්ම ජනපි‍්‍රය වෙච්ච කාලෙ ගෝලයෙක් මගෙන් ඇහුවා සොක‍්‍රටීස් හොඳටම දිව්වලූ නේද කියල. මම කිව්වා නෑ නැ ඒ දුවලා තියෙන්නෙ ආකිමිඞීස් කියලා. ඔබ අතින් ලස්සන ගීතයක් ලියවෙනවනෙ කුඩා දේවිකා ගැන. කොහොමද ඒක සිදුවුණේ.

මගේ ෆේවරිට් කවියක් තියනවා. මාග‍්‍රට් ආ යූ ක‍්‍රයින් ඉන්ද ගෝල්ඩන් ග්‍රෝ අන් ලීවිං කියන එක. කවියා අමතනවා මග‍්‍රට් කියන කුඩා දරුවට. ඔබ අ`ඩනවාද මේ රන්වන් උයනේ පලූපල ගැලවී යාම ගැන. මම සීත සෘතුවේදී එංගලන්තයේ රසල් පාක් එකේ ඇවිදගෙන යනවා. හවස බීබීසී ප්‍රෝග‍්‍රෑම් එකත් කරලයි මම ගියේ. මම සාමාන්‍යයෙන් හවසට යනවා චාල්ස් ඩිකන්ස් හිටපු ප‍්‍රදේශයට. මම දැක්කා මේ කවියෙන් කියවෙන ජාතියෙ ළමයෙක් බංකුවක් උඩ ඉඳගෙන ඉන්නවා. මේ ළමයා බලා ඉන්නවා හමන සුළඟ හරිම සීතලයි. සුළෙ`ග් වන මල් පලූ පත් වැටෙනවා වැටෙනවා ඉවරයක් නැහැ. ළමයාව ඒවායින් වැසී යාවිද කියලත් මට හිතෙනවා. කෙල්ල හරි ආසාවෙන් බලා ඉන්නෙ. මාත් ඇය දිහා බලාගෙන හිටියා. මාත් එක්කත් හිනා වුණා. මට අර සින්දුවෙන් කියන ප‍්‍රශ්නය එයාගෙන් අහන්න හිතුණා. එතකොට මගේ බිරිඳ එංගලන්තයට එන්න ඔන්න මෙන්න. මම මේ අත්දැකීම කවියකට පෙරලූවා. බිරිඳට තැපැල් කළා. ඔය මම ගිය අලූතම. සුමුදු සීත පවන් හමන වසන්තයේ උදෑසනක, උයන්කොනේ හුදෙකලාව, බලාසිටින්නේ කුඩා දේවිකා ඊට පස්සෙ රන්වන් පත් ගැලවීලා ගහකොළ සුළඟට නැමිලා ආදි වශයෙන් ලිව්වා. ඔය කාලෙ එංගලන්තයේ හිටපු එඞ්මන්ඞ් වික‍්‍රමසේකර මේක කිව්වා. තැටියකටත් ගැහුවා. පියානෝ ප්ලේ කළ හැකි ටැමිල් ගර්ල් කෙනෙක් අපිත් එක්ක හිටියා. එයා තමයි තනුව දැම්මෙ. එංගලන්තේ විතරක් මේක සෑහෙන්න විකිණුනා. එහේ ස්පාඤ්ඤ, රුසියානු, සිංහල ඕනෑම හොඳ නිර්මාණයක් විකිණෙනවා. බීබීසී සේවාවන් හතළිස් ගාණෙන් විසි ගාණක සින්දුව ගියා. මාග‍්‍රට් කියන්නෙ මේරි කියන එකනෙ. කුඩා දේවිකා කියලා ලිව්වෙ දේවිය කියන අර්ථය දීමටයි.