ක‍්‍රීඩාවටත් ඉස්ලාම් ආගමටත් ණය නොවූ මොහොමඞ් අලි

තරිඳු උඩුවරගෙදර

පහුගිය දිනෙක බැරැක් ඔබාමා ජාතිය අමතන කතාවකදී කියා තිබුණා ඇමරිකානු මුස්ලිම් ජනතාව ඉලක්ක නොකළ යුතු බව. ඇමරිකාවේ රට රකින හමුදා විරුවන් ලෙසත්, රටට කීර්තියක් අත්කරදුන් ක‍්‍රීඩකයන් ලෙසත් ඇමරිකානු මුස්ලිම් සහෝදරවරුන් සිටින බව ඔහු පෙන්වා දුන්නා. මේ කතාව කෙළින්ම ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ නම නොකියා ඔහු ඉලක්ක කර කියූ කතාවක්. එයට පිළිතුරු ලෙස ඩොනල්ඞ් ට‍්‍රම්ප් අසා තිබුණේ ඔබාමා කියන විදියේ ඇමරිකානු මුස්ලිම් ක‍්‍රීඩා විරුවෝ කවුද, මොනවාද ඔවුන් අත්කරදුන්න ජයග‍්‍රහණයන් කියා. ජුනි තුන්වැනිදා ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට කටඋත්තර නැතිව ගියා. ඒ බොක්සින් ලොව විශිෂ්ටයා මොහොමඞ් අලි මරණයට පත්වීම නිසා. අලි මියයෑම ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ මැතිවරණයටත් ලොකු බලපෑමක් වේවි. ට‍්‍රම්ප් සතු ලොකුම තුරුම්පුව වන ජාතිවාදයට අභියෝග කිරීමක් වේවි. කෙළින්ම ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉලක්ක නොකළත් මියයෑමට කලින් මොහොමඞ් අලි කියා තිබුණේ මම මුස්ලිම් ජාතිකයෙක්. ඒ වගේම පැරිස්වල සහ බර්නැන්ඩිනෝවල හෝ ලෝකයේ ඕනෑම තැනක අහිංසක මිනිසුන් මරා දැමීම කිසිසේත්ම ඉස්ලාමික ක‍්‍රියාවක් නෙවෙයි. ජිහාඞ් යැයි කියන හිංසනය අපේ ආගමේ ඉගැන්වීම්වලට පිටින් යෑමක්. මං හිතන්නේ අපේ දේශපාලන නායකයන් ඔවුන්ගේ අවස්ථාව පාවිච්චි කරන්න ඕනෑ, ඉස්ලාම් දහම ගැන මිනිස්සු හිතන විදිය මේ අපරාධ නිසා විකෘති නොවී තියෙන්නයි.’

කැෂියස් ක්ලේ

මොහොමඞ් අලි කියන්නේ ඇමරිකානුවෙක්. අපි දන්නා විදියට ඔහු උපත ලැබුවේ කැෂියස් ක්ලේ කියන නමින් 1942 ජනවාරි දාහත්වැනිදා. බොක්සිං තරග 61කින් 56ක් ජයග‍්‍රහණය කළ ඔහු ඉන් 37ක් ප‍්‍රතිවාදියා බිම හෙළීමෙන් ජය අරන් තියෙනවා. පරාජයන් පහක් පමණයි. ප‍්‍රතිවාදියා හමුවේ නොක්අවුට් වී නැහැ. ඔලිම්පික් රන් පදක්කමත් බොක්සින් ඉතිහාසයේ අමතක නොවන සටන් කිහිපයක සටන්කරුවෙක් ලෙසත්, තුන්වරක් ලෝක හෙවිවේට් ශූරතාව දිනාගත් ක‍්‍රීඩකයකු ලෙසත් විශිෂ්ටයන්ගේ විශිෂ්ටයා ලෙසත් ජාතිවාදයෙන් අන්ධ වුණු ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට අමතක වුණත් මුළු ලෝකයටම මතක හිටින ලෙස අලි පුරාවෘත්තය සම්පූර්ණ වෙනවා.
ඕනෑම අතිවිශිෂ්ට ක‍්‍රීඩකයකු තමන්ගේ අතීතය දිහා හැරිලා බලද්දී කියන්නේ තමන්ගේ නම බබලන්නට හේතුවුණ ක‍්‍රීඩාවට තමන් ණයගැති බවයි. ඒත් අලි සම්බන්ධයෙන් ගත්තොත් බොක්සින් ක‍්‍රීඩාව අලිට ණයගැතියි. බොක්සින් ක‍්‍රීඩාව පමණක් නෙවෙයි ඉස්ලාම් ආගමත්, හිප් හොප් සංගීතයත්, සමස්ත සටන් කලාවනුත්, කළු ජාතික දේශපාලනයත් ඇතුළු බොහෝ ක්ෂේත‍්‍රයන් අලිට ණයගැතියි. ඔහු ඒ තරම් දැවැන්තයි. ඔහු බොක්සින් ක‍්‍රීඩාවට නෙවෙයි, ඔහු කලාවටත්, දේශපාලනයටත්, විද්‍යාවටත් ඇතුළු බොහෝ ක්ෂේත‍්‍රයන්ට අයිතිි බව ඔහුගේ හිතමිතුරා සහ රම්බල් ඉන් ජංගල් තරගයේ ප‍්‍රතිවාදියා වුණු ජෝජ් ෆෝමන් කියනවා.

වෙනස් වීරයා

කැෂියස් ක්ලේ ගොඩක්ම ප‍්‍රසිද්ධ වුණේ ඔහුගේ ට‍්‍රෑෂ් ටෝක්ස් හෙවත් ප‍්‍රතිවාදියා බිඳවට්ටන්න කියන කියමන්වලින්. ප‍්‍රතිවාදියා වචනවලින් දරුණු ලෙස පෙළන්න මේ ශ්‍රේෂ්ඨතමයා පුරුදු වී හිටියා. එතෙක් ක‍්‍රීඩකයන් වෙනුවට ඔවුන්ගේ මැනේජර්ලා කතා කළත් එය සම්පූර්ණයෙන් වෙනස් කරමින් අලි තමන් වෙනුවෙන් කතා කළා. එය දැන් හැමෝම කරන දෙයක් වෙලා. ජෝ ෆේ‍්‍රසර්, සනී ලිස්ටන්, ජෝජ් ෆෝමන් වගේ අය දරුණුම වචන ප‍්‍රහාරවලට ලක්වුණා. පසුකාලීනව හිප්හොප් සහ රැුප් සංගීතයට පවා මොහොමඞ් අලිගේ ට‍්‍රෑෂ් ටෝක්ස් බලපා තියෙනවා.

අලි හඳුන්වන්නේ ශ්‍රේෂ්ඨතමයා විදියට. අලි ශ්‍රේෂ්ඨතමයා වෙන්නේ කොහොමද? ඔහු හොඳම කයිවාරුකාරයෙක් වුණත්. සාමාන්‍යයෙන් වීරයාගේ ප‍්‍රතිරූපය අලි සම්පූර්ණයෙන් කණපිට ගහනවා. අනෙකාට ගරු කිරීම බොක්සින් පිටියේදී අලි තුළ කිසිසේත්ම තිබුණේ නැහැ. නිහතමානී වීම වගේ උත්කර්ෂයට නැංවෙන ගුණාංග අලි තුළ තිබුණේ නැහැ. සැබැවින්ම ඔහු හිතුවක්කාරයෙක්. කයිවාරු කාරයෙක්. වීරයා යන පුද්ගලයා සතුවිය යුතු ගුණාංග නඩත්තු කරන්න අලි කොහොමත්ම පෙළැඹුණේ නැහැ. එහෙත් ඔහු ශ්‍රේෂ්ඨතමයා වුණා.

කැෂියස් ක්ලේ තමන් ලෝකයේ හොඳම ක‍්‍රීඩකයා බව කියන්න පටන්ගත්තේ අවුරුදු විස්සේ පමණ ඉඳන්. බොක්සින් ඉතිහාසයේ අමතක නොවන තරගයක් වන සනී ලිස්ටන් සමඟ තරගයට කලින් අවුරුදු විසිදෙකේ තරුණයා කියන්නේ අයෑම් ද ගේ‍්‍රටස්ට් කියායි. ‘මම ශ්‍රේෂ්ඨතමයා බව කියන්න පටන්ගත්තේ ඒ බව දැනගන්නටත් කලින් ඉඳන්’ ඔහු පසුකාලයක කියනවා.

ක‍්‍රීඩකයා

අලි නිතර කියූ දෙයක් තියෙනවා. ‘මම පුහුණුවීම්වල හැම මිනිත්තුවකටම වෛර කරනවා. ඒත් මම ඒ වෙලාවට මටම කියාගන්නවා. අමාරුවෙන් හරි දැන් දුක් විඳින්න. අනාගතයේ ශ්‍රේෂ්ඨතමයා විදියට සතුටු වෙන්න කියලා.’

‘මම තරගය පටන්ගන්නේ තරගයට බොහෝ කාලයකට කලින්. තරගයේ හොඳම හරිය තියෙන්නේ පුහුණුවීම්වල.’ ශ්‍රෙෂ්ඨතමයා වීම සඳහා කළයුතු කැපකිරීමේ තරම ගැන ඔහු අවබෝධයෙන් හිටියා.

අවුරුදු දොළහේදී පුහුණුවීම් පටන්ගත්ත කැෂියස් ක්ලේ නම් ක‍්‍රීඩකයා මුලින් හමුවන්නේ 1960 රෝම ඔලිම්පික් තරගාවලියේ ආධුනික බොක්සින් අංශයේ රන් පදක්කම දිනාගැනීමත් සමඟ. ඉන්පසුව වෘත්තීය බොක්සින් ක‍්‍රීඩාවට පිවිසෙන ඔහු 1963 වෙද්දී බොක්සින් තරග පිට තරග දිනා තමන් වෙත බොක්සින් ලෝකයේම අවධානය දිනාගන්නවා. එහි ප‍්‍රතිඵලය ඒ වන විට ලෝක හෙවිවේට් ශූරතාව වෙනුවෙන් සනී ලිස්ටස්ට කැෂියස් ක්ලේ විසින් අභියෝග කිරීම. තරගය ජයගන්නා ඔහු ඒ වනවිට තිබුණු වාර්තාව කඩමින් ළාබාලම හෙවිවේට් ශූරයා බවට පත්වෙනවා. ඉන්පසුව කැෂියස් ක්ලේ මොහොමඞ් අලි ලෙස තමන්ව හඳුන්වා ගන්න පටන් ගත්තා. ඉන්පසුව 1966 තෙක් තරග පිට තරග දිනන ඔහු 1966දී වියට්නාම් යුද්ධයට සහභාගි වීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා බොක්සින් ක‍්‍රීඩාවෙන් නෙරපනවා. 1967 සිට 1971 තෙක්, එනම් අවුරුදු 25 සිට 29 තෙක් ඔහුට බොක්සින් වළල්ලෙන් පිට ඉන්නට සිදුවුණා. එම කාල සොරකම ක‍්‍රීඩා ලොවේ දරුණුතම සොරකම ලෙස හඳුන්වනවා. අත්දැකීම් සහ ජවය මුසුවුණ ක‍්‍රීඩකයෙකුගේ උච්චතම අවස්ථාව අසාධාරණ හේතුවක් මත පැහැරගැනීම නිසා එසේ හැඳින්වීමෙහි වරදක් නැහැ.

1971 යළි පැමිණීමෙන් පසු සියවසේ සටන, සුපිරි තරගය 2, රම්බල් ඉන් අ ජංගල් හා ත‍්‍රිලා ඉන් මැනිලා යන සටන්වලට ඔහු මුහුණ දෙනවා. සියවසේ සටන බිහිවන්නේ ලෝක හෙවිවේට් ශූරතාවට හිමිකම් කියන දෙදෙනෙක් එකවර සිටීමත් එක්ක. සියවසේ සටන නිවැරදි ජයග‍්‍රාහකයෙක් බිහිකළ සටනක් නෙවෙයි. එක් අයෙක්වත් බිම වැටුණේ නැහැ. විනිසුරුවරුන් තීරණය කළ ආකාරයට ජෝ ෆේ‍්‍රසර්ට ජය ලැබුණා. ඉන්පසුව අලි කීවේ එය සුදු මිනිසුන්ගේ තීරණයක් බවයි.

සියවසේ සටනින් පසු අලි මඳක් පසෙකට විසිවුණා. ඉදිරියට පැමිණි ජෝජ් ෆෝමන් ෆේ‍්‍රසර්ට අභියෝග කොට හෙවිවේට් ශූරතාව දිනාගත්තා. ඉන්පසුව යළිත් වරක් අලි ෆේ‍්‍රසර්ට අභියෝග කළා. සුපිරි සටන 2 ලෙසින් හැඳින්වුණු එම සටනින් අලි ජයග‍්‍රහණය කළා. ඉන්පසුව අලි ගියේ අප‍්‍රිකාවේ කොංගෝ වනයට. ඒ හෙවිවේට් ශූරතාව වෙනුවෙන් ජෝජ් ෆෝමන් සමඟ තරග කරන්න. රම්බල් ඉන් අ ජංගල් ලෙස හඳුන්වපු ඒ තරගයෙන් අලි ජයග‍්‍රහණය කළේ කොංගෝවේ අප‍්‍රිකානු වන්ගේ පූර්ණ සහයෝගය මැද්දේ ඉඳිමින්. ‘අලි ඌව මරපං’ යැයි කොංගෝ පේ‍්‍රක්ෂකාගාරය හඬ නැඟුවා. තරගය අවසාන වුණේ අලි දෙවැනි වතාවටත් හෙවිවේට් ශූරයා වෙමින්. ඉන්පසුව ‘කිලා ඉන් මැනිලා’ තරගය පැවැත්වුණේ පිලිපීනයේ මැනිලා නුවරදී. ඒ ෆේ‍්‍රසර් සමඟ හෙවිවේට් ශූරතාව වෙනුවෙන්.
පෙර කී පරිදිම අලිගේ වේගවත් දෑත්, තරගය අතරතුරේ ඩාන්ස් කිරීම මෙන්ම දරුණු වාග් ප‍්‍රහාරයන් විශේෂයි.

‘අද වළල්ලේදී එක්කෙනෙක් මැරෙනවා.’ රම්බල් ඉන් අ ජංගල් තරගයේදී ඔහු එහෙම කීවා. ඒ වගේම කැෂියස් ක්ලේ මොහොමඞ් අලි වුණු පසුව එය පිළිනොගෙන තමන්ව ක්ලේ නමින් හඳුන්වපු අය සමඟ අලි ගැටුණා. ‘මට උන්ට වධහිංසා කරන්න ඕනෑ’ අලි එහෙම කිව්වා.
‘අංකල් ටොම්, මගේ නම කියපං’ යැයි කියමින් එවන් තරගකරුවන්ට ලේ හැලෙන තුරු අලි පහර දුන්නා. අංකල් ටොම් තමන්ගේ සතුරන්ට ඔහු නිතර පාවිච්චි කළ නමක්. සනී ලිස්ටන්ව වළහා ලෙසත් ෆේ‍්‍රසර්ව ගෝරිල්ලා ලෙසත් ඔහු හැඳින්වුවා.

සමනළයෙක් වගේ පාවෙලා ඇවිත් මීමැස්සෙක් වගේ විදිනවා. අලීගේ සුප‍්‍රකටම කියමන ඒක. ‘මාව පරාද කරනවා හීනෙන් හරි දැක්කොත් නැඟිටලා සමාව ගන්න’ ඔහු එලෙස කීවා. ‘පහුගිය සතියේ මං පර්වතයක් මරා දැම්මා, ගලක් ආබාධිත කළා. ගඩොලක් රෝහල්ගත කළා. කිව්වාම විශ්වාස කරන්න, මං බෙහෙත්වලටත් අසනීප කරවනවා.’ අලිගේ ජනප‍්‍රියම ට‍්‍රෑෂ් ටෝක් එක ලෙසින් පිළිගැනෙන්නේ එයයි.

ජීසස් සුදු ඇයි?

‘මම පුංචි කාලයේ අම්මාගෙන් ඇහුවා ජීසස්ට සුදු හමක් හා නිල් ඇස් තියෙන්නේ ඇයි කියලා. දිව්‍ය ලෝකයේ චිත‍්‍රවල ඉන්න හැමෝම සුදු ඇයි කියලා මම ඇහුවා. කළු මිනිසුන්ම ඉන්න අප‍්‍රිකාවෙ කැලයේ රජා ටාර්සන් සුදුවුණේ කොහොමද කියලා මම ඇහුවා. හැම වෙලාවෙම හොඳ දේ සුදු වෙලා නරක දේ කළු වෙන්නේ ඇයි කියලා මං ඇහුවා.’ පේ‍්‍රක්ෂකයන්ව හිනස්සපු මේ ප‍්‍රශ්න මොහොමඞ් අලි වර්ණභේදවාදයට එරෙහි ගෙනගිය ප‍්‍රබල සටන සංකේතවත් කරනවා.

රෝම ඔලිම්පික් තරගාවලියේදී අලි රන් පදක්කම දිනාගත් පසුව ඇමරිකාවට ආවේ ආඩම්බරයෙන් යුතුව. මං රට වෙනුවෙන් යමක් කළායැයි සිතමින්. ඇමරිකාවට පැමිණි ඔහු හැමවිටම තමන්ගෙ කරේ පදක්කම පැළඳගෙන සිටියේ. ඔහු බොහොම ආඩම්බරයෙන් නගරයේ අවන්හලකට ගොස් කෝපි කෝප්පයක් සහ හොට්ඩෝග් එකක් ඉල්ලූවා. අවන්හලේ සිටි කාන්තාව ‘වී ඩෝන්ට් සර්ව් නීග්‍රෝස්’ (අපි නිග්‍රෝ ජාතියකයන්ට සේවා සපයන්නේ නෑ) යැයි කියා තිබුණා. ‘මාත් එයාලව කන්නේ නැහැ. මට කෝපි එකකුයි හොට්ඩෝග් එකකුයි දෙන්න’ අලි එසේ උත්තර දී තිබුණා. එහෙත් ඔලිම්පික් පදක්කමක් දිනූ මේ වීරයා අවන්හලෙන් එළියට දැමුණා. ඒ වේදනාව එක්ක ඔහු තමන් දිනූ රන් පදක්කම ඔහියෝ ගඟට විසිකර තිබුණා. ඒ තමයි අලි ජාතිවාදී පීඩාව විඳි ආකාරය සංකේතවත් කරන හොඳම සිදුවීම. ඔහුට අවශ්‍ය වුණා මේකට විරුද්ධව සටන් කරන්න. සුදු ජීසස් වෙනුවට වර්ණයක් නැති අල්ලාහ් දෙවියන් ඔහු තෝරාගෙන තිබුණා.

ක්ලේ අලි වීම

කැෂියස් ක්ලේ ඉස්ලාමික රාජ්‍යය නමින් හැඳින්වූ අප‍්‍රිකානු ඇමරිකානුවන්ගේ ආගමික නිකාය එක්ක එකතුවී තිබුණේ 1961 පමණ සිට. එහෙත් ඒ බව ඔහු ප‍්‍රසිද්ධ කළේ නැහැ. 1963දී හෙවිවේට් ශූරතාව දිනාගත් පසු ඔහු ඒ බව ප‍්‍රසිද්ධ කොට මොහොමඞ් අලි ලෙස තමන් හඳුන්වාගන්න පටන් ගත්තා. එහෙත් බොහෝ මාධ්‍යවේදීන්, ක‍්‍රීඩකයන්, නිවේදකයන් නව නාමය පිළිගෙන තිබුණේ නැහැ. තමන්ගේ නව නාමය වෙනුවෙන් බොහෝ ප‍්‍රසිද්ධ තැන්වල අලි වාද විවාද කරගත්තා. ‘කැෂියස් ක්ලේ කියන්නේ වහල් නමක්. ඔබ දැක තියෙනවාද රොබට් ස්මිත් කියලා චීන ජාතිකයෙක්ව. ඔවුන්ව හඳුන්වන්න ඔවුන්ට ආවේණික නම් තියෙනවා. අප‍්‍රිකානු ජාතිකයන්ව හඳුන්වන්න ඔවුන්ගේ නම් තියෙනවා. වහල් යුගයේ වහලූන්ට නම් තිබ්බේ අයිතිකාරයන් විසින්. තමන්ට කැමති විදියට. දැන් මං නිදහස් මිනිහෙක්. මට අයිතියක් තියෙනවා වහල් නාමයෙන් මිදෙන්න.’ කැෂියස් ක්ලේ ඒ නමින්ම පැවතුණා නම් අද ඔහු ගැන මේ තරම් කතා නොකරන්නත් තිබුණා.

යුද්ධය ප‍්‍රතික්ෂේප කිරීම

අලි වැඩිපුරම කතාබහට ලක්වුණේ වියට්නාම් යුද්ධය ප‍්‍රතික්ෂේප කිරීමත් එක්ක. යුද්ධවලට යෑම ප‍්‍රතික්ෂේප කළ අය ඕනෑ තරම් ඉන්නවා. ශාරීරික සුවතාව ගැන හෝ වෙනත් හේතුවක් ඉදිරිපත් කරමින්. ඒත් අලි? ඔහු යුද්ධය ප‍්‍රතික්ෂේප කළේ අහිංසක වියට්කොං භටයන් මරන්න තමන්ට නොහැකි බව කියමින්.
‘වියට්කොං භටයො කවදාවත් මට නිග්‍රෝ කියලා කතාකරලා නැති නිසා මට උංව මරන්න බැහැ.’ අලි එහෙම කීවා. ‘අපේ ආගමේ හැටියට අහිංසක මිනිස්සුන්ව මරන්න බැහැ.’ අලි කී මේ කතාවට ඉස්ලාම් ආගම ණයගැති විය යුතුයි. ඉස්ලාම් ආගමේ නාමයෙන් කෙරෙන මිනීමැරීම් මැද්දේ ඔහු දැඩිව කීවේ ඉස්ලාම් නාමයෙන් මිනීමැරීම් කළ නොහැකි බවයි. ‘අපට සටන තියෙන්නේ වියට්කොං භටයන් එක්ක නෙවෙයි සුදු ජාතිකයන් එක්කයි’ ඔහු එසේ කීවා.

බර්ට‍්‍රන්ඞ් රසල් මොහොමඞ් අලිව අගය කළ වෙලාවේ රසල් කවුරුදැයි අලි දැනගෙන තිබුණේ පුස්තකාලයට දිව ගොස් පොත් කියවලා බලලායි. 1984දී වරක් දිවිනසාගන්නට යන තරුණයකු සමඟ සාකච්ඡා කොට ඔහු ගොඩනැඟිල්ලෙන් බස්සන්න අලි ඉදිරිපත් වුණා. ඔහු එය කළේ තරුණයා පනින්න සූදානම් වුණු ජනෙල් පඩියට එහා ජනේලයේ පඩිය මතට නැඟ තමන්ගේ ජීවිතයත් අවදානමට ගනිමින්. ඒ වගේම ඔහු සදාම් හුසේන් සමඟ සාකච්ඡා කරන්න ඉරාකයට වරක් ගියේ සිරකරුවන් නිදහස් කරවාගන්නට. ඔහුගේ වීරත්වය මෙවන් සිදුවීම් ගොඩක් එක්කයි සම්පූර්ණ වෙන්නේ. ශ්‍රේෂ්ඨතමයා ලෙස ජනප‍්‍රිය වෙන්නත් කලින් සංගීත සහ කතා ඇතුළත් ඇල්බමයක් කරන අලි ඉහළම සංගීත සම්මාන උළෙල වන ග‍්‍රැමී උළෙලටත් නිර්දේශ වුණා. ඔහු දෙවරක් ග‍්‍රැමී සම්මාන උළෙලට නිර්දේශ වුණා. රූපවාහිනී කතාමාලා, චිත‍්‍රපටි සහ රෙස්ලින් ටීවී ෂෝවලටත් ඔහු සහභාගි වී තියෙනවා.

සියල්ලම තුළින් අලි නමැති ශ්‍රේෂ්ඨතමයා බිහිවෙනවා. වඩා වැදගත් වන්නේ ජාතිවාදයට එරෙහිව අලි ගෙනගිය සටන. ඔහු ඇත්තටම ජාතිවාදියෙක්. සුළු ජාතිකයන්ගේ ජාතිවාදය ඔහු නියෝජනය කළා. තමන්ගේ ක‍්‍රීඩාව ඒ වෙනුවෙන් කැප කළා. අන්තිමේ ශ්‍රේෂ්ඨතමයා ලෙස මියයන්න ඔහුට හැකිවුණා.