ආසියාවේ ග‍්‍රීසිය නොවේවා!

ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වුවද ඉන්පසු අවුරුදු තුනකට වැඩි කාලයක් ගෙවී ඇතත් සාමකාමී, සමඟිසම්පන්න හා සමෘද්ධිමත් රටක් ඇතිකර ගැනීමට සමත් වී නැත. එවැනි දිසාවකට රට ගමන් ගනිමින් තිබෙන බවක්ද පෙනෙන්නට නැත. අන්තර්වාර්ගික හා ආගමික සම්බන්ධතා තිබෙන්නේ ඕනෑම මොහොතක ගිනිගත හැකි අවුල්සහගත තත්ත්වයකය.

දෙමළ ජනතාවගේ තුවාල වූ හදවත් සුවකිරීමට සමත් වී නැත. මුස්ලිම් ජනතාව සිටින්නේ කොයි මොහොතක හෝ තමන්ට පහරදෙනු ඇතැයි කියන බියකින් හා සැකයකිනි. වාර්ගික අර්ථයකින් ගත්විට සිංහල ජනයා සිටින්නේද තෘප්තිමත් තත්ත්වයක නොව අතෘප්තිමත් තත්ත්වයකය.

රටේ ආර්ථිකය

රටේ ආර්ථිකය තිබෙන්නේද යහපත් තත්ත්වයක නොව අවුල්සහගත තත්ත්වයකය. යුද්ධයෙන් පසුව ආණ්ඩුව යටිතල පහසුකම් ඇති කිරීම හා නගා සිටුවීම වෙනුවෙන් නිර්ලෝභීව වියදම් කරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. මහාමාර්ග මහා පරිමාණයෙන් කාපට් කරන ලද අතර අලූත් වරාය හා ගුවන්තොටුපොළ ඉදිකරන ලදි. කොළඹ නගරය අලංකාර හා නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක්ද ක‍්‍රියාත්මක කරන ලදි. ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශවල ජාත්‍යන්තර මට්ටමේ නවීන ක‍්‍රීඩාගාර ඉදිකරන ලදි. මේ සියල්ල කරන ලද්දේ ණයට ලබාගන්නා මුදල්වලිනි. සමහර ව්‍යාපෘති සඳහා යොදා ගන්නා ලද්දේ ඉහළ පොලියකට කෙටිකාලීනව ලබාගන්නා ලද මුදල්ය. මහා පරිමාණයේ නව ව්‍යාපෘති ආරම්භ කිරීමේදී ඒවාහි ආර්ථික ඵලදායකත්වය ගැන හොඳින් කරුණු සලකා බැලීමක් කරන ලද බව පෙනෙන්නට නැත. ඒ සියල්ලෙන් ආණ්ඩුව අපේක්ෂා කළේ මහා පරිමාණයෙන් විදේශ ආයෝජන ගෙන්වා ගැනීමය.

එහෙත් මොන මොන හේතු නිසා හෝ අපේක්ෂා කළ තරමින් විදේශ ආයෝජන ගලා ඒමක් සිදු නොවීය. විදේශ ආයෝජනවලදී කිසියම් ප‍්‍රගතියක් පෙන්නුම් කර ඇත්තේ සංචාරක කර්මාන්තයේ පමණය. එහිදීද ලැබුණු ආයෝජන මුදල්වලින් වැඩි කොටසක් ඔවුන්ට ඉඩම් විකිණීමෙන් ලද ආදායම් ලෙස සැලකිය හැකිය. කෙටිකාලීන ණයවලින් ආරම්භ කළ ව්‍යාපෘතිවලින් ලැබෙන ආපසු ලැබීම්ද ලබාගත් ණය සඳහා ගෙවිය යුතු වාරික පියවිය හැකි තත්ත්වයකවත් නොවීය. රුපියලේ හුවමාරු අනුපාතිකය කෘත‍්‍රිම ලෙස වාසිදායී තත්ත්වයක තබා ගැනීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පවත්වා ගෙන ගොස් පසුව අත්හරින ලද උත්සාහය සඳහා රටට ඔරොත්තු නොදෙන තරමේ විශාල වියදමක් දරන්නට සිදුවිය. රජයේ අයවැය මත සේ ම මහජනයා මතද විශාල බර පැටවීමක් සිදුවී තිබුණු ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ගුවන් සේවා වැනි ව්‍යාපාරවල ක‍්‍රියාකාරීත්වය ඵලදායී තත්ත්වයකට ගැනීමක්ද සිදු නොවීය. ආණ්ඩුවේ මහජන පදනම තරකර ගැනීම සඳහා මහා පරිමාණයෙන් රාජ්‍ය සේවයට අලූතෙන් පුද්ගලයන් බඳවා ගැනීමේ ප‍්‍රතිපත්තියද රජයේ වැටුප් බර ඔරොත්තු නොදෙන තරම් ඉහළ තත්ත්වයකට පත්කිරීමට හේතුවිය. නියඟය, ගංවතුර වැනි ස්වාභාවික විපත්ද ආර්ථික අමාරුකම් තියුණු කළේය. විදේශ වෙළෙඳාමේද වාසිදායක ප‍්‍රසාරණයක් ඇති නොවීය.

අන්තර්ජාතික කොන්වීම

යුද්ධය පැවති කාලයේ ඇමරිකාව හා බටහිර රටවල් සමග ඇති කරගෙන තිබූ මතභේද ඉක්මනින් යථා තත්ත්වයට පත්කර ගැනීමට අසමත් විය. යුද්ධය පැවති කාලයේදී ඉන්දියාව සමග සමීප මිත‍්‍රත්වයක් පවත්වාගෙන යෑමට සමත් වුවත් යුද්ධය අවසන් කිරීමෙන් පසු ඒ මිත‍්‍රත්වයද පළුදු වී ලංකාව වැඩි වැඩියෙන් චීනයෙන් ලබාගන්නා ණය ආධාර මත යැපෙන තත්ත්වයක් ගොඩනැගුණි. ඒ තත්ත්වයද බටහිර ලෝකයත් ඉන්දියාවත් අතර තිබෙන සම්බන්ධතා තවදුරටත් පළුදු කිරීමට හේතුවී ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් කොන් කරනු ලැබූ රටක තත්ත්වයට පත්වූ අතර ඒ තත්ත්වයද රටේ ආර්ථික ප‍්‍රශ්න තවදුරටත් අවුල් කිරීමට හේතුවිය.

ආණ්ඩුවට ආත්ම විශ්වාසයකින් අභියෝග කළ හැකි විරුද්ධ පක්ෂ ව්‍යාපාරයක් ගොඩනැගී නැතත්, මහජනයා අතර ආණ්ඩුවට තිබුණු විශ්වාසයේ හා පිළිගැනීමේ ඛාදනයක් ඇතිවී තිබෙන බව දැකිය හැකිය. ඉදිරියේ වර්ධනය වන ආර්ථික ප‍්‍රශ්න ඒ තත්ත්වය තවදුරටත් තීව‍්‍ර කිරීමට හේතුවිය හැකිය. මුස්ලිම් ජනයාට එරෙහිව කෙරෙන වෛරසහගත උසිගැන්වීම් ඉක්මනින් පාලනය කිරීමට අසමත් වෙතොත් 1915 සිංහල මුස්ලිම් කෝලාහලයේ ශත සංවත්සරය මුවවිට තිබෙන අවස්ථාවක තවත් එවැනි අවලස්සන හා බිහිසුණු විපතක් ඇතිවීමේ ඇත්ත අනතුරක් පවතී. එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් එය රට කෙරෙහි ඉතාමත් විනාශකාරී ලෙස බලපානු නොවැළැක්විය හැකිය.

මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි සැසි වාරයට ශ‍්‍රී ලංකාව පිළිබඳව ඇමරිකාව ඉදිරිපත් කරන්නට යන යෝජනාව ශ‍්‍රී ලංකාවේ ආර්ථික අපේක්ෂා කෙරෙහි ඇති කරන බලපෑම කිසිසේත්ම යහපත් විය නොහැකිය. ඊට ප‍්‍රතිචාර වශයෙන් ආණ්ඩුව අනුගමනය කරන්නට යන්නේ කෙබඳු ප‍්‍රතිපත්තියක්ද යන්න පැහැදිලි නැත. ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව තිබෙන්නේද අවිනිශ්චිත තත්ත්වයකය. මේ සියලූ දේවල් ආශ‍්‍රයෙන් ශ‍්‍රී ලංකාව පිළිබඳව අන්තර්ජාතික තලයේ තිබෙන ප‍්‍රශ්නය වර්ධනය වී ශ‍්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවන තත්ත්වයක් ඇතිවුවහොත් ඉන් ශ‍්‍රී ලංකාවට මුහුණ දෙන්නට සිදුවන ප‍්‍රතිවිපාක ඉතාමත් බිහිසුණු විය හැකි බවට සැකයක් නැත.

චීන සම්බන්ධයේ යථාර්ථය

අප වරද්දාගත් කේන්ද්‍රීය තැනක් ලෙස සැලකිය හැක්කේ අපේ අපනයන නිෂ්පාදනයන් හා වෙළෙඳාම ඇමරිකාව හා බටහිර ලෝකය මත රඳා පවත්නා බව මුළුමනින් අමතක කිරීමය. අපට අපේ අපනයන නිෂ්පාදනයන් චීනයට හෝ ආසියාවේ වෙනත් රටකට විකිණිය නොහැකිය. අප‍්‍රිකානු මහාද්වීපය සම්බන්ධයෙන් චීනය අනුගමනය කරන පිළිවෙත ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරනු ඇතැයි සිතිය නොහැකිය. චීනය, අප‍්‍රිකාවට ණය දෙන විට ආපසු අයකරගැනීම සඳහා අප‍්‍රිකාවට ඕනෑතරම් ඛනිජ හා වෙනත් අමුද්‍රව්‍ය තිබෙන්නේය. චීනයට අප‍්‍රිකාව සිය අපනයන නිෂ්පාදනයන් විකුණා ගැනීමට තිබෙන ලොකු වෙළෙඳපොළක් වනවා සේ ම අප‍්‍රිකාවටද චීනය සිය අමුද්‍රව්‍ය විකුණා ගැනීමට තිබෙන ලොකු වෙළෙඳපොළක් වන්නේය. එහෙත් ශ‍්‍රී ලංකාවට චීනය වැදගත්වන්නේ උපාය මාර්ගික අවශ්‍යතාවන් සඳහා පමණය. අප‍්‍රිකාවට මෙන් අප ලබාගන්නා ණය වෙනුවෙන් චීනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදීමේ හැකියාවක් අපට නැත. ඒ නිසා චීනයට කළහැක්කේ අප තව තව ණය ඉල්ලා සිටින්නේ නම් ඔවුන්ගේ ණය මත ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල අයිතිය චීනය වෙත පවරා ගැනීමය. එවැනි තත්ත්වයක් ඇති කරන ප‍්‍රශ්න යහපත් විය නොහැකිය.

ශ‍්‍රී ලංකාව ආර්ථික වශයෙන් දැන් තිබෙන්නේ ශක්තිමත් හා ස්ථාවර තැනක නොව දුර්වල තත්ත්වයකය. භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර හා රන් බැඳුම්කර සඳහා ලැබී තිබෙන විදේශ ආයෝජන නිසා විදේශ විනිමය සංචිතය යහපත් වී ඇතත් එය තාවකාලික දෙයක් මිස ස්ථිර දෙයක් නොවේ. ඒ අංශ තුනේදී සිදුවී තිබෙන විදේශ මිලදී ගැනීම්වලදී මුළු වටිනාකමින් 80%ක් පමණ මිලදී ගෙන තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඒවාට ලැබෙන ඉහළ පොලිය නිසා එය ඇමරිකාවට ලාභදායී ආයෝජනයකි. ඒ සමග රටට හොඳට හෝ නරකට බලපෑමේ හැකියාවද ඇමරිකාව ඒ මගින් වර්ධනය කරගෙන ඇතැයි කිව හැකිය. මේ ආකාරයට කෙටිකාලීන වශයෙන් අධික පොලියකට ලබාගන්නා මුදල් අවසානයේ වැය කරන්නට සිදුවන්නේද කෙටිකාලීන වශයෙන් ලබාගත් ණය පියවීම හා පොලී ගෙවීම සඳහාය. ඒ දේ නැවත නැවත කිසියම් අවස්ථා ප‍්‍රමාණයක් කළ හැකිය. ඒ මගින්ද අවසානයේ සිදුවනු ඇත්තේ ණය උගුල විසින් නිර්මාණය කර තිබෙන තොණ්ඩුව වැඩි වැඩියෙන් තදවීම පමණය.

ජේත්තුකාර පැවැත්ම

ආර්ථික වශයෙන් අර්බුදයක සිටින වියදම් අධික ජේත්තුකාර ජීවිතයක් පවත්වාගෙන යන පුද්ගලයෙකුට තමන් අර්බුදයක නොසිටින බව පෙන්වීම සඳහා තමන් ගතකරන ජේත්තුකාර ජීවිතයට ගතකරන වියදම තවත් විශාල ප‍්‍රමාණයකින් ඉහළ දමයි නම් ඒ නිසා ඔහු බංකොළොත් තත්ත්වයකට පත්වීමද ඉක්මන් වන්නේය. දැන් ශ‍්‍රී ලංකාව සිටින්නේද ඒ හා සමාන තත්ත්වයකය. කොතැනක හෝ සිදුවන අවුලකින් කොයි මොහොතක හෝ ශ‍්‍රී ලංකාවේ ආසියාවේ ආශ්චර්යය වෙනුවට ආසියාවේ ග‍්‍රීසිය බවට පත්විය හැකිය.

එවැනි තත්ත්වයක් ඇතිවීම වළකාගත හැකිවනු ඇත්තේ උද්ධච්චකමින් අත්මිදී අවංකව ආපසු හැරී බැලීමකට අවශ්‍ය නිහතමානීභාවය ඇති කරගැනීමෙන් පමණය. එහෙත් ලොකු දුරක් වැරදි පාරක ගිය කෙනෙකුට ආපසු හැරීම ද පහසු නැත. එහෙත් කිසියම් ප‍්‍රමාණයකට හෝ ගැලවිය හැකිවනු ඇත්තේ කොතරම් විශාල දුරක් ගොස් තිබුණද ගමන් කරමින් තිබෙන්නේ වැරදි පාරක නම් ආපසු හැරීමෙන් පමණය. ඇතිවී තිබෙන දෝෂවලට බලපා තිබෙන ප‍්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේ යුද්ධයේ ජයග‍්‍රහණයෙන් පසුව ජාතිය නැවත ගොඩනැගීම සඳහා අවශ්‍යයෙන්ම ක‍්‍රියාත්මක කළ යුතුව තිබුණු ප‍්‍රතිශෝධන ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක නොකිරීමය. පරාර්ථකාමී විය යුතුව තිබුණු ඓතිහාසික සංධිස්ථානයකදී ආණ්ඩුව ආත්මාර්ථකාමී වීයැයි කිව හැකිය.

ශ‍්‍රී ලංකාවේ සමාජ ක‍්‍රමය සේ ම දේශපාලන ක‍්‍රමයද දශක තුනකට ආසන්න කාලයක් ජීවත් වූයේ ලේ හා මළමිනී මතය. ඒ තත්ත්වය ඉදිරියේ සමාජ ක‍්‍රමය සේ ම දේශපාලන ක‍්‍රමයද රෝගී හා විකෘති තත්ත්වයකට පත්වීම නොවැළැක්විය හැකිය. යුද්ධයේ ජයග‍්‍රහණයෙන් පසුව අන් සියලූ දේට පළමුව කළයුතුව තිබුණේ රෝගී හා විකෘති තත්ත්වයක තිබූ සමාජ ක‍්‍රමය සේ ම දේශපාලන ක‍්‍රමය ද එම රෝගී හා විකෘති තත්ත්වයෙන් මුදාගැනීමය. දැන් රටට වන්දි ගෙවන්නට සිදුවී තිබෙන්නේ එම කොන්දේසි දෙක සම්පූර්ණ නොකිරීමේ වරදටය.