රාවය

පොදු මහජන කටයුතු හෙවත් ආපනශාලා සඳහා ඉඩම් පැහැරගැනීම

පොදු මහජන කටයුතු හෙවත් ආපනශාලා සඳහා ඉඩම් පැහැරගැනීම

පොදු මහජන කටයුතු හෙවත් රජයේ සංවර්ධන කාර්යයන් සඳහා පෞද්ගලික ඉඩම් හෝ දේපළ රජයට අත්පත්කර ගැනීම නිරන්තරයෙන්ම සිදුවන කි‍්‍රයාවලියකි. ඒ සඳහා ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ ගැසට් නිවේදන නිකුත්කිරීම ද සිදුකරනු ලැබේ.

මාර්ග පුළුල් කිරීම, අලූතෙන් මාර්ග ඉදිකිරීම, ජලසම්පාදන ව්‍යපෘති හා පොදු මහජනයාට බලපාන වෙනත් සංවර්ධන ව්‍යාපෘති සඳහා පෞද්ගලික ඉඩම් හෝ දේපළ අත්පත්කර ගැනීම මේ බොහෝ අත්පත්කරගැනීම්වල දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. ඒ සඳහා අදාළ ඉඩම්වල හෝ දේපළවල පෞද්ගලික අයිතිකරුවන් විරෝධය නොදක්වන අවස්ථා මෙන්ම මුල් අවස්ථාවේදී දක්වන විරෝධය පසුව සමනයකර ගන්නා අවස්ථාද දක්නට ලැබේ. එසේ වන්නේ පොදු සංවර්ධන කාර්යය තේරුම් ගැනීම හෝ ඊට එරෙහිව අරගල කිරීමේ ඵලරහිතතාව තේරුම් ගැනීම නිසා විය හැකිය.

මේ පොදු තත්ත්වයට එපිටින් රටේ පොදු මහජනයාගේ සංවර්ධනයට අදාළ නොවන සංවර්ධන කාර්යයන් සඳහා පෞද්ගලික ඉඩම් හෝ දේපළ රජයට අත්පත්කර ගන්නා ආකාරයක් පසුගිය කාලය තුළ වර්ධනය වෙමින් පවතී. කොළඹ හා ඒ අවට ප‍්‍රදේශවල සංවර්ධන කාර්යයන්වලදී මේ තත්ත්වය කැපීපෙනෙන අතර එහිදී සුවිශේෂම කරුණ වන්නේ මේ අත්පත්කර ගැනීමේ කටයුතුවලදී හමුදාමය බලහත්කාරය ඒ සඳහා බලය හිමි රාජ්‍ය නිලධාරීන් පරයා ඉස්මත්තට ඒමය.

කොළඹ කොම්පඤ්ඤවීදියේ ස්ථාන කිහිපයක නිවැසියන් එළවා දැමීම, කොළඹ කොටුවේ රෝහල්වීදියේ කඩකාමර බිමට සමතලා කිරීම, කොළඹ කොටුව බැස්ටියන් මාවතේ කඩකාමර ඉවත්කිරීම ඒ සඳහා පහසුවෙන්ම මතකයට එන අතීත සහ වර්තමාන උදාහරණයන්ය. පසුගිය සතියේදී ඒ සඳහා අලූත්ම උදාහරණයක් එකතුවී ඇත. ඒ කොළඹ කොටුවේ ගපූර් ගොඩනැගිල්ල රජයට අත්පත්කර ගැනීමේ කි‍්‍රයාවලිය හරහාය. පසුගිය පෙබරවාරි 22 සිකුරාදා රජයට අත්පත්කරගත් ගපූර් ගොඩනැගිල්ල භාර ගැනීම සඳහා පැමිණ ඇත්තේ දෙසීයක පමණ හමුදා සාමාජිකයන් පිරිසක්ය. ඒ වන විටත් එම ගොඩනැගිල්ලේ පවත්වාගෙන යනු ලැබු ව්‍යාපාරික කටයුතුවලින් ඉවත්වන ලෙස හමුදා සාමාජිකයන්ගෙන් බලකෙරී ඇත. කොළඹ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සනාථ කරන්නේ, එම බලකිරීම නාගරික සංවර්ධන අධිකාරියේ යැයි කියාගත් නිලධාරීන් පිරිස කොළඹ ප‍්‍රාදේශීය ලේකම්වරයාටද එල්ල කළ බවය. ගපූර් ගොඩනැගිල්ල හෝ වෙනයම් දේපළක් අත්පත්කර ගැනීමෙන් පසු එහි සන්තකය භාරගැනීමේ බලලත් නිලධාරියා වන්නේ ප‍්‍රාදේශීය ලේකම්වරයාය. ප‍්‍රාදේශීය ලේකම්වරයා තමා විසින් සන්තකයට ගන්නා දේපළ රජයේ සංවර්ධන කාර්යය සිදුකරනු ලබන රාජ්‍ය ආයතනයට භාරදීම ඉන්පසු සිදුකරනු ලබයි. කොළඹ ප‍්‍රාදේශීය ලේකම්වරයාට එම බලපෑමට ලක්වීමට සිදුවීඇත්තේ පෙබරවාරි 22දිනට ගපූර් ගොඩනැගිල්ල ඔහුගේ සන්තකයට භාරගෙන නාගරික සංවර්ධන අධිකාරියට ලබාදෙන ලෙස කරන ලද දැනුම්දීම ඔහු ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන්ය. ප‍්‍රාදේශීය ලේකම්වරයා එම දැනුම්දීම ප‍්‍රතික්ෂේප කිරීමට හේතුවී ඇත්තේ ගපූර් ගොඩනැගිල්ලේ සන්තකය පෙබරවාරි 26 දින ඔහුට භාරදෙන ලෙස එහි අයිතිකරුවන්ට ඔහු විසින් කර ඇති දැනුම්දීමේ පසුබිම තුළය.

යම් දේපළක් රජයට අත්පත්කර ගැනීමෙන් පසු අදාළ දේපළෙන් ඉවත්වීම සඳහා ප‍්‍රමාණවත් කාලයක් ලබාදීම සිදුවිය යුත්තක් බව දැනුම් තේරුම් ඇති ඕනෑම අයෙකුට තේරෙන දෙයක්ය. ඉඩම් අත්පත්කර ගැනීමේ පනත අනුවද එවැනි කාලයක් ලබාදිය යුතු බව සඳහන්ය. ඉඩම් අත්පත්කර ගැනීමේ පනතේ 38(අ) අතුරු විධානය යටතේ හදිසි පවරාගැනීමක් ලෙස කොළඹ කොටුවේ ගපූර් ගොඩනැගිල්ල කොළඹ ප‍්‍රාදේශීය ලේකම්වරයාට පවරාදී ඇත්තේ පෙරබවාරි 19 දින අංක 1798/15 අතිිවිශේෂ ගැසට් පත‍්‍රය මගින්ය. මේ ගැසට් පත‍්‍රය අනුව කොළඹ ප‍්‍රාදේශීය ලේකම්වරයා අදාළ දේපළ භාරදෙන ලෙසට එහි අයිතිකරුට දැනුම්දී ඇත්තේ පෙබරවාරි 22 වන සිකුරාදා දිනය.

(අපගේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ එයද නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ බලහත්කාරය මත සිදුවූ දෙයක් බවය.) ඉඩම් අත්පත්කර ගැනීමේ පනත අනුව ඒ සඳහා ලබාදිය හැකි අවම කාලය පැය 48කි. ඒ අනුව රජයේ වැඩකරන දින සහිත පැය 48ක කාලය ඉකුත් වන්නේ පෙබරවාරි 26 දිනය. නාගරික සංවර්ධන අධිකාරියට හෙවත් ඇත්ත වශයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයට එම කෙටි දින ගණන ගෙවා දැමීමටවත් ඉවසුමක් නැති බව වර්තමාන උදාහරණයෙන් මෙන්ම අතීත උදාහරණවලින්ද මොනවට පසක් වෙයි. ඉඩම් අත්කර ගැනීමේ පනතේ ඇති සාමාන්‍ය කි‍්‍රයාපටිපාටිය අනුව යම් පෞද්ගලික ඉඩමක් හෝ දේපළක් පවරා ගැනීම සඳහා අවම වශයෙන් සති 72 ක පමණක කාලයක් ගතවන බව කියවේ. මුලින්ම යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කරනු ලබන රාජ්‍ය ආයතනයට අදාළ ඉඩම හඳුනාගෙන එම ඉල්ලීම අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කළ යුතු අතර අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා එම ඉල්ලීම ඉන්පසු ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයාට ඉදිරිපත් කළ යුතුය. අනතුරුව ඉඩම් අමාත්‍යවරයා අදාළ ඉඩම හෝ දේපළ මහජන කටයුත්තක් සඳහා අවශ්‍ය බව දක්වමින් ඉඩම් අත්කර ගැනීමේ පනතේ 2වන වගන්තිය යටතේ ගැසට් නිවේදනයක් නිකුත්කරනු ලබයි. මෙම නිවේදනයත් සමග ඉඩම මැනීමේ කටයුතු සඳහා අවසර ලැබෙන අතර ඉන්පසු ඊට අදාළ කටයුතු සිදුකෙරේ. ඉන් අනතුරුව ඉඩම හෝ දේපළ අත්කර ගැනීමේ චේතනාව සඳහන් ඉඩම් අත්කර ගැනීමේ පනතේ 4වන වගන්තිය යටතේ ගැසට් නිවේදනයක් නිකුත්කරනු ලැබේ. ඒ සමග අත්කර ගැනීමට අදාළ ඉඩම විකිණීම, අන්සතු කිරීම හෝ එහි වටිනාකම අඩුවන ආකාරයේ කටයුතු සිදුකිරීම බලරහිත වන අතර ඉඩමේ අයිතිකරුවන්ට සිය විරෝධතා සඳහා දින 14ක කාලයක් ලබාදෙනු ලැබේ. අවසන එම විරෝධතා පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙන අතර අදාළ ඉඩම අත්කර ගන්නවාද නැද්ද යන්න පිළිබඳ තීරණයකට එළැඹේ. එහිදී ඉඩම අත්කරගන්නේ නම් ඒ සඳහා අත්කර ගැනීමේ පනතේ 5 වගන්තිය යටතේ ගැසට් නිවේදනයක් නිකුත්කරනු ලබන අතර ඉන්පසු අත්කර ගැනීමේ පනතේ 7 වගන්තිය යටතේ දැන්වීමක් පළකරමින් හිමිකම් හා වන්දි සඳහා ඉල්ලූම්පත් ඉදිරිපත්කරන ලෙස දන්වනු ලැබේ. හිමිකම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර ඒ පිළිබඳව නිවේදනය කිරීමෙන් පසු වන්දි ගෙවීම් හා අභියාචනා කි‍්‍රයාවලිය ඇරඹේ. පනතේ 38 වගන්තිය අනුව අදාළ ඉඩමේ හෝ දේපළේ භුක්තිය පවරාගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කරන්නේ ඉන් අනතුරුවය.

එහෙත් ප‍්‍රශ්නය ඇත්තේ මෙතෙක් සාකච්ඡුා කරමින් පැමිණි බොහෝ අත්පත්කර ගැනීම් මේ සාමාන්‍ය කි‍්‍රයාපටිපාටිය අනුව සිදුනොවීමය. එම අත්පත්කර ගැනීම් පනතේ 2 වන වගන්තිය යටතේ නිවේදනයක් නිකුත්කර පනතේ 38 (අ) වගන්තිය යටතේ හදිසි අත්පත්කර ගැනීමත් ලෙස නිවේදනයකර අත්පත්කර ගැනීමය. ගපූර් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් සිදුකළේද මෙවැනි අත්පත්කර ගැනීමක්ය. ඊළඟට පැන නගින ප‍්‍රශ්නය වන්නේ මේ ආකාරයට අත්පත්කරගත් ඉඩම් හා දේපළ අත්පත්කර ගැනීම සඳහා සැබවින්ම හදිසි අවශ්‍යතාවක් තිබුණේද යන්න හා එය පොදු මහජන කටයුත්තක් සඳහා අත්පත්කර ගත්තක්ද යන්නය.

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය ආසියානු සංවර්ධන බැංකුවේ අනුග‍්‍රහයෙන් ප‍්‍රකාශයට පත්කර ඇති සිය කැමැත්තෙන් තොරව නැවත පදිංචි කිරීමේ ජාතික ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීම සහ ඉඩම් අත්කර ගැනීම නමැති ග‍්‍රන්ථයේ හදිසි අත්කර ගැනීම් ගැන සඳහන් වන්නේ 38(අ) අතුරු විධානය යටතේ ඉඩමක් අත්කර ගැනීම සැබෑ වශයෙන්ම හදිසියක් ඇති සීමිත අවස්ථාවල පමණක් සිදුකළ යුතුය යන්නය. එහෙත් අප දන්නා සත්‍යය නම් මේ ආකාරයට අත්කර ගත් බොහෝ ඉඩම් හෝ දේපළ අත්කර ගැනීම සඳහා ඒ ආකාරයේ වූ හදිසියක් නැති බව එම ඉඩම්වල හෝ දේපළවල සිදුකරන සංවර්ධන කටයුතුවලින් පෙනෙන බවය. මේ බොහෝ ස්ථානවල සිදුකරන සංවර්ධන කටයුතු පොදු මහජන කටයුතු හෙවත් පොදු මහජන අවශ්‍යතා නොවන බව පැහැදිලිය. අත්කර ගැනීමේ චේතනාව නිශ්චිතවම දක්වා නැති ගපූර් ගොඩනැගිල්ල තුළ බොහෝවිට විදේශිකයන්ට හා දේශීය සුපිරි පැළැන්තියට යාහැකි ආපනශාලාවක් හෝ ඊට සමාන සාප්පු හෝ වෙනත් දෙයක් ඉදිවිය හැකිය. බොහෝවිට අද කොළඹ තුරඟ තරග පිටියේ පැරණි ගොඩනැගිලිවල සිදුවී ඇති ආකාරයට එහි විදේශිකයන්ගේ හා දේශීය සුපිරි පැළැන්තියේ මනදොල සැපිරෙනු ඇත.

ඒ අනුව පැනනැගෙන තවත් ප‍්‍රශ්නයක් වන්නේ රාජපක්ෂ ආණ්ඩුව යටතේ සිදුවන පොදු මහජන කාර්යයන් යන්න මහාමාර්ග ඉදිකිරීම හෝ පුළුල් කිරීම, ජල සම්පාදන ව්‍යපෘති, විදුලි ව්‍යාපෘති, වරාය ගුවන්තොටුපොළවල්, කී‍්‍රඩාංගණ ඉදිකිරීමට අමතරව ආපනශාලා ඉදිකිරීම තෙක් පුළුල්වී ඇත්ද යන්නය.

මේ හදිසි අත්පත්කර ගැනීම් තුළ ඇති වඩා භයානක පොදු සත්‍යය වන්නේ ඒ තුළ ඇති රාජපක්ෂ ආණ්ඩුවේ බලහත්කාරයය. විශේෂයෙන් බලහත්කාරයෙන් හමුදාව යොදා කරන, මේ අත්පත්කර ගැනීම්වලදී මහජන අදහස් විමසීමක් සිදුනොවීමය. තම බලය වඩවඩාත් තහවුරුකර ගැනීම ස`දහා ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන ලද සංශෝධන හදිසි පනත් ලෙස දන්වා මහජන අදහස් විමසීමකින් තොරව සම්මත කර ගැනීම මෙන්ය.

එසේ වුවද අත්කර ගැනීමට අදාළව උපුටා දැක්වූ අදාළ ග‍්‍රන්ථයේ තවදුරටත් දැක්වෙන්නේ, ‘‘2වන වගන්තියට පසුව 38(අ) අතුරුවිධාන යටතේ නිවේදනයක් නිකුත් කළ අවස්ථාවක මහජන අදහස් විමසීමට අවස්ථාවක් නොලැබේ. හො`දම ක‍්‍රමය මහජන අදහස් අඩුවෙන් විමසීම නොව වඩ වඩා විමසීමය. එබැවින් 38(7) අතුරු විධාන යටතේ නිවේදනය 4වන වගන්තිය යටතේ නිකුත් කරන නිවේදනයට පසුව නිකුත්කිරීම වඩා සුදුසුය යන්නය. එමගින් කියන්නේ අත්කර ගැනීමේ චේතනාව ප‍්‍රසිද්ධ කළ යුතුය යන්නය.

එහෙත් රාජපක්ෂ ආණ්ඩුවට මෙවැනි හදිසි අත්පත්කර ගැනීම් සඳහා 4වන වගන්තිය යටතේ නිවේදන නිකුත්කිරීමේ වුවමනාවක් නැති බව මේ සිදුවීම්වලින් පෙනේ. වුවමනාවක් තිබුණද අත්කර ගැනීමේ ඇත්ත අවශ්‍යතාව හෙළිකළ හැකිද යන ප‍්‍රශ්නයද තවදුරටත් පැන නගී. එසේ වුවහොත් රාජපක්ෂ ආණ්ඩුවට සිදුවන්නේ ආපන ශාලාවක් ස්ථාපිත කිරීම සඳ හා අත්පත්කර ගන්නේ යැයි නිවේදන නිකුත් කිරීමටය.