රාවය

ජනාධිපති වෙන්න බැරි ඇයි මට? විපක්ෂනායක ආර්. සම්බන්ධන්

ජනාධිපති වෙන්න බැරි ඇයි මට? විපක්ෂනායක ආර්. සම්බන්ධන්

තරිඳු උඩුවරගෙදර ඡායා /ඉඳුනිල් උස්ගොඩආරච්චි

ජනවාරි අටවෙනිදා දෙමළ ජාතික සන්ධානය පොදු අපේක්ෂකයාට සහයෝගය දැක්වුවා. අවුරුද්දකට පස්සේ ඒ තීරණය ගැන දැන් දෙමළ ජාතික සන්ධානය සෑහීමකට පත් වෙනවාද?

අපි ජනාධිපති මැතිවරණයේදී තීරණයක් ගත්තේ මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා පොදු අපේක්ෂකයා හැටියට එන්න කලින් ඉඳන්ම. අපට ගිය ආණ්ඩුව එක්ක හුඟක් දේවල් සම්බන්ධයෙන් එකඟ වෙන්න බැරිකමක් තිබුණා. දාහත්වැනි සංශෝධනය වෙනස් කරලා දහඅට ගෙනාපු වෙලාවේ අපට ගැටලූවක් තිබුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා තමන්ට නැවත ජනාධිපති වෙන්න තිබුණු සීමාවන් ඒ සංශෝධනයෙන් අයින් කරගත්තා. ස්වාධීන කොමිෂන් සභා සහ ව්‍යවස්ථාදායක සභාව නැති කළා. ජනාධිපතිවරයාගේ කැමැත්තට පත්වීම් කළා. අපේ පක්ෂය ඒකට පාර්ලිමේන්තුවේදීත් විරුද්ධ වුණා. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන හිතලා අපි ඒවාට විරුද්ධ වුණේ. රට ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් ඒකාධිපතිත්වයට මාරුවෙමින් තිබුණේ. හිටපු ආණ්ඩුවට හිතවත් අය නීතියට යටින් නෙවෙයි නීතියට උඩින් හිටියේ. ජනතාවට යුක්තිය ඉටු කරවාගන්න බැරි වුණා. අපි කීවා මේ පාලනය රටට හොඳ නැහැ කියලා. මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා පොදු අපේක්ෂකයා විදියට ආ වෙලාවේ අපට ඒකට විරුද්ධ වෙන්න හේතුවක් තිබුණේ නැහැ.

අනිත් එක අපි හිතුවා මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාට රට එකතු කරන්න පුළුවන් කියලා. අපි ඒක දැනුත් විශ්වාස කරනවා. අපට එහෙම හිතන්න ඉඩකඩක් තියෙනවා. එයා ජාතිභේදය අවුස්සලා දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි කියලා විශ්වාස කරන්න අපට ඉඩක් තියෙනවා. ඉතින් ඒ කරුණු උඩ අපි මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාට ඡුන්දය දුන්නා. දෙමළ ජනතාවත් සහයෝගය දුන්නා. ඒ වෙනසෙන් පස්සේ මේ වෙද්දී අපේ ජනතාව ඉල්ලපු ඔක්කොම දේ කරලා තියෙනවා කියලා මම කියන්නේ නැහැ. ඒත් දැන් වැරදි දේවල් වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුවෙලා. හරි දේවල් කරන්න ආණ්ඩුවෙන් පටන් අරන් තියෙන බව අපි පිළිගන්නවා. හැබැයි මීට වඩා හුඟක් දේවල් කරන්න තිබුණා. අපේ ජනතාව හුඟක් දුක්විඳිනවා. ගෙවල්, ඉඩම්, රස්සාවල් නැති මිනිස්සු ඉන්නවා. ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් තවත් සූදානම් වෙලා වැඩ කළා නම් හොඳයි කියලා අපි හිතනවා. ඒත් තවත් ඉස්සරහට යන්න ඕනෑ. අපි ඉස්සරහට ඒවා වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මෛත‍්‍රීපාල ඒවා කරන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. එයා කරන්න පුළුවන් එක්කෙනෙක්.

විපක්ෂ නායක වූ පසුවත් ඔබ නියෝජනය කරන්නේ දෙමළ ජනතාවද?

කාගේ ඡන්දයෙන්ද මම බලයට ආවේ කියලා ඇහුවොත් මට දෙන්න තියෙන උත්තරේ දෙමළ ජනතාවගේ ඡුන්දයෙන් ආ බව. හැබැයි දේශපාලනය කරනකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙමළද, සිංහලද කියලා බලන්න බැහැ. මේ රට අපි හැමෝටම අයිතියි. රටේ ඉන්න ඔක්කොමලා එකතුවෙලා ජීවත්වෙන්න ඕනෑ. රට ඉස්සරහට ගෙනියන්න ඕනෑ. මේ රට හුඟක් කල් ඉස්සරහට නැතිව පස්සට ගියා. රට දියුණු කරන්න පුළුවන්කම තියෙද්දී ඒවා කළේ නැහැ. දෙමළ හෝ සිංහල හෝ කියලා ජනතාව වෙනස් කරලා බලන්න බැහැ. අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙනෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් ඕනෑම ජනතාවක් වෙනුවෙන් අපි කතා කරන්න ඕනෑ. අපි සම්පූර්ණ රටක්. සම්පූර්ණ ජනතාවක්. අපි එයාලා වෙනුවෙනුත් වැඩ කරන්න ඕනෑ කියලා හිතනවා.

පොදු අපේක්ෂකයාගේ යෝජනාවල රටේ දේශපාලනික වශයෙන් ප‍්‍රධාන කාරණයක් වන බලතල බෙදීම ගැන සාකච්ඡුාව අතෑරියා. ඒක වැඩියෙන්ම බලපාන්නේ ඔබේ පක්ෂයට. දැන් බලතල බෙදීම කරවාගන්න ටීඑන්ඒ එකට තියෙන සැලසුම මොකක්ද?

බලය බෙදන්න ඕනෑ කියලා ගොඩක් කාලයක් තිස්සේ පිළිගත්ත දෙයක්. පේ‍්‍රමදාස මහත්තයාගේ කාලේ පේ‍්‍රමදාස මහත්තයා පිළිගත්තා. චන්ද්‍රිකාත් ඒ වෙනුවෙන් වැඩ කළා. රනිල් වික‍්‍රමසිංහ අගමැති කාලයේ ඔහුත් එය පිළිගත්තා. ඒ විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලයෙත් ඒ ඉල්ලීමට පිළිගැනීම් ලැබුණා. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට, විදේශ රටවල්වලට බලතල බෙදීම ගැන පොරොන්දු දුන්නා. ඔහු විසින් පත්කළ කමිටු වාර්තාවල ඒ කරුණු තිබුණා. අපි ඡුන්දය වෙලාවේ මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාට බාධාවක් කරන්න කැමති වුණේ නැහැ. මුලින්ම හිටපු ආණ්ඩුව පරාජය කරලා ඔහු ජයග‍්‍රහණය කරන්න ඕනෑ කියලා අපි හිතුවා. ඔහුට සහයෝගය දුන්නු අය අතරේ මේ ගැන අපට වෙනස් මතයක් දරන අයත් හිටියා. මේ ගැන කතාකරන්න ගියොත් වැරදි ප‍්‍රචාර ගිහින් එයාගේ ගමන නතර වෙන්න ඉඩ තිබුණා.

දැන් නව ව්‍යවස්ථාවක් හදන්න සූදානම් වෙනවා. ඒකෙදී මේ ගැන රටේ තිබුණු සංවාදය කෙරෙහි සැලකිල්ලක් දරන බව පේනවා. බලය බෙදීම විතරක් නෙවෙයි, අනෙක් වැදගත් ඉල්ලීම් වන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමත්, මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමත් ඇතුළු සියලූ ඉල්ලීම්වලට මේ ව්‍යස්ථාවෙන් පිළිතුරු ලැබිය යුතුයි. ඒ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. පොදු ජනතාවගේ අදහස් විමසීමේදී හැමතැනම ගිහින් අදහස් ලබාගත්තා. එතැනදී දෙමළ ජනතාවගේ අදහස් පවා ලබාගත්තා. දැන් ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. මේවා එක්ක ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාර්ගවලින් අපි බලාපොරොත්තු වන තත්්්ත්වයට ළඟා වෙන්න පුළුවන්කමක් තියෙන බව අපට පේනවා.

දකුණේ ඉන්න මීට කලින් ප‍්‍රගතිශීලී අදහස් දරපු නායකයන් පවා මීට කලින් කතා කළ විදියට බලතල බෙදීම ගැන කෙලින් කතා කරන්න බයක් තියෙන බව පේනවා නේද?

ඒ අය බයද නැද්ද කියලා මම තීරණය කළ යුතු නැහැ. හැබැයි ඒ සම්බන්ධයෙන් ඒ අය කතා කරන්නේ නැති බව මම පිළිගන්නවා. සිංහල ජනතාව දැනගන්න ඕනෑ අපට කලින් ෆෙඩරල් ගැන කතාකළේ බණ්ඩාරනායක මහත්තයා. එයා කතා කළා විතරක් නෙවෙයි, ලංකාව එකතුවෙලා එක රටක් විදියට සියලූ ජනතාව ඉන්න ඕනෑ නම් ෆෙඩරල් ක‍්‍රමයක් ගෙන ආ යුතු බව ඔහු ලිව්වා. උඩරට සිංහල නායකයෝ ඩොනමෝර් සහ සෝල්බරි කොමිෂන් ඉදිරියේදී කීවේ මේ රටට ෆෙඩරල් ක‍්‍රමයක් ඕනෑ කියලා. හරි, අපි ෆෙඩරල් ක‍්‍රමයක් ඕනෑද, නැද්ද කියන සංවාදය පැත්තකින් තියමු. ටිකක් හිතන්න බණ්ඩාරනායක මහත්තයාත්, උඩරට සිංහල නායකයෝත් ෆෙඩරල් ක‍්‍රමයක් ඉල්ලූවේ රට බෙදන්නද? ඒ අය රට බෙදන්න වැඩ කළා කියලා හිතන්න බැහැ. ඒ අය ෆෙඩරල් ක‍්‍රමයක් ඉල්ලූවේ රට එකතු කරන්න. ලෝකයේ හුඟාක් රටවල් ෆෙඩරල් ක‍්‍රමය හින්දා තමයි එක රටක් විදියට පවතින්නේ. ස්විට්සර්ලන්තය, කැනඩාව, ඉන්දියාව, ඕස්ටේ‍්‍රලියාව, නයිජීරියාව වගේ ගොඩක් රටවල් ඒ වගේ. බි‍්‍රතාන්‍යයත් ඒ වගේ. ස්කොට්ලන්තය, වේල්සය වගේ කොටස් තියෙනවා. අපි මහන්සි වෙන්නේ එක රටක් ඇතුළේ විසඳුමක් ගෙනෙන්න. එක රටක් කියන එකට කිසිම බාධාවක් නැතිව තමයි ඔක්කොම කරන්න බලාපොරොත්තු වන්නේ. ඒක අපි ප‍්‍රසිද්ධියේ කියනවා. රටේ කියනවා, පාර්ලිමේන්තුවේ කියනවා, අපේ ජනතාවට කියනවා, පිටරටවලට කියනවා, අපේ මැතිවරණ ප‍්‍රකාශනයේත් තියෙනවා. සියලූ මැතිවරණවලදී අපි කියනවා එක රට ඇතුළේ විසඳුමක් ගෙනෙනවා කියලා. අපට රට බෙදන්න බැහැ. සිංහල ජනතාව ඒක පිළිගන්න ඕනෑ. රටේ පෙළක් දේශපාලන නායකයෝ ඉන්නවා ජාතිභේද අවුස්සලා දිගටම දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙන. අද විතරක් නෙවෙයි ඒ අය ඉන්නේ. එදා බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම සම්මත කරගන්න බැරිවුණේ ඒක නිසා. ඩඞ්ලි-චෙල්වනායගම් සම්මත නොවුණේ ඒ නිසා. එදා සම්මත වුණා නම් අපි මේ තත්ත්වෙට එන්නේ නැහැ.

යුද්ධය පටන්ගන්න කලින් ෆෙඩරල් ක‍්‍රමය ගැන හොඳ සංවාදයක් රට ඇතුළේ තිබුණා නේද?

සිංහල නායකයෝ ඒ සංවාදය නැවත ඇතිකිරීම ගැන හිතන්න ඕනෑ. අපිත් සිංහල ජනතාව ආමන්ත‍්‍රණය කරන්න ඕනෑ. ජනතාවට විශ්වාස කළ හැකි ආකාරයට ඉවසීමෙන් යුතුව අපි මේ විසඳුම ගෙනෙන්න ඕනෑ. දැන් අවුරුදු තිහක් යුද්ධය තිබුණා. කාටද අලාභය? අලාභය රටේ ජනතාවට. මේ රට බෙදුණොත් මොකක්ද වෙන්නේ. සිංහල රටක් දෙමළ රටක් කියලා දෙකක් බෙදුණොත් හැමදාම යුද්ධ කරයි. රටේ කිසිම සංවර්ධනයක් වෙන එකක් නැහැ. රටයි මිනිස්සුයි ටිකක්වත් ඉස්සරහට යන එකක් නැහැ. අපට ඕනෑ ඒක නෙවෙයි. ඇයි අපට එකතුවෙලා ඉන්න බැරි. අපි එකතුවෙලා හිටියොත් ඔක්කෝටම ඉස්සරහට යන්න පුළුවන්නේ. ලී ක්වාන් යූ කිව්වා සිංගප්පූරුව ලංකාව වගේ හදන්න ඕනෑ කියලා. දැන් සිංගප්පූරුව කොහේද, අපි කොහේද ඉන්නේ. අපේ මනුස්සයෙක් වගේ පනස් ගුණයක් ආදායම් උපයනවා සිංගප්පූරුවේ කෙනෙක්. මං අහන්නේ ප‍්‍රශ්නයක්. රට බෙදුණොත් මොකක්ද වෙන්නේ? රටවල් දෙක යුද්ධ කරගන්නවා ඇරුණාම.

යුද්ධ කළ අය වෙනම රටක් වෙනුවෙන් පෙනී හිටියා. ඒ අයව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තට ගෙන එන්න ඔබේ පක්ෂය කළ කැපවීම මොන වගේද?

දෙමළ ජනතාව විතරක් නෙවෙයි, එල්ටීටීඊ එකත් රට බෙදීමම එයාලාගේ ප‍්‍රධාන ඕනෑකම කියලා කිව්වේ නැහැ. එයාලා බාරගත්තා දේශපාලන විසඳුමක් ගෙනෙන්න කැමතියි කියලා. අපිත් බලාපොරොත්තු වුණේ කොහොම හරි මේ දේශපාලන විසඳුමකට එයාලාව කැමති කරවගන්න. අපි කිළිනොච්චියට ගිහින් තියෙනවා. අපි එල්ටීටීඊ නායකයෝ මුණගැහිලා කතා කළේ කොහොමද මේ රටට දේශපාලන විසඳුමක් ගෙනෙන්නේ කියලා. ජනතාවට තිබුණු විකල්පය එල්ටීටීඊය පස්සේ යන එක. ජනතාවට ඕනෑ හොඳින් ජීවත් වෙන්න. යුද්ධ කරන්න නෙවෙයි. ඒ නිසා එයාලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තට ගෙන එන්න දෙයක් නැහැ.

ටීඑන්ඒ එකේ නායක ආර් සම්බන්ධන් සහ එල්ටීටීඊ නායක වේළුපිල්ලෙයි ප‍්‍රභාකරන් අතර වෙනස මොකක්ද?

.

ගමේ ඉන්න අහිංසක දෙමළ තරුණයා තුවක්කුව අතට ගත්තේ අසාවට නෙවෙයි නේද?

මං ඒක දන්නවා. එයාලාට තෝරගන්න සිද්ධ වුණා. මගේ නෑදෑයෝ ඉන්නවා. කැම්පස් එකේ හිටපු ළමයි, ඉගෙනගන්න ළමයි, පෑන් පැත්තකින් තියලා තුවක්කුව අතට ගත්තා. එයාලා හිතුවා මේ රටේ යුක්තිය ඕනෑ නම් තුවක්කුව ගන්න ඕනෑ කියලා. ඒකට හේතුව අපියි. රටේ දේශපාලන නායකයෝ ඒකට වගකියන්න ඕනෑ.

මීට කලින් කියා තිබුණා ලංකාවේ ජනාධිපති වෙන්නත් පුළුවන් කියලා. ඒක විස්තර කරන්න පුළුවන්ද?

බරක් ඔබාමා කළු මිනිහෙක්. ඔහු ජනාධිපති වුණේ කොහොමද? මන්මෝහන් සිං සික් ජාතිකයෙක්. සීයට දෙකයි ඉන්දියාවේ සික් මිනිස්සු ඉන්නේ. මං ජනාධිපති වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නෙවෙයි. මං අහන්නේ ජනාධිපති වෙන්න බැරි ඇයි මට. නවසිය විසිහතරේ රටට නිදහස ගෙනෙන්න නායකයෝ එකතුවුණ වෙලාවේ හදාගත්තා සංවිධානයක්, ලංකා ජාතික සභාව. ඞීඇස් සේනානායක, එෆ්ආර් සේනානායක, ඞීබී ජයතිලක, ඊඩබ් පෙරේරා වගේ නායකයෝ හිටියා. ඒකේ පළවෙනි නායකයා සර් පොන්නම්බලම් අරුණාචලම්. අර ඔක්කෝම සිංහල අයත් ඉන්නකොට අරුණාචලම් මහතාව තෝරාගත්තා. නවසිය පහළොවේ සිංහල දෙමළ කෝලාහලය පාවිච්චියට ගනිමින් සිංහල දේශපාලන නායකයන්ට හිංසා කළා. විලියම් පේද්‍රිස්ට වෙඩි තියලා මැරුවා. ඒ වෙලාවේ ඒ ප‍්‍රශ්නය ගැන සිංහල අය වෙනුවෙන් බි‍්‍රතාන්‍ය ආණ්ඩුවට කතාකරන්න ගියේ සර් පොන්නම්බලම් රාමනාදන් මහත්තයා.

යුද්ධය නිසා දෙමළ ජනතාවට ඇතිවුණ ප‍්‍රශ්න මොනවාද?

යුද්ධය ඇතිවුණේ දෙමළ ජනතාව සමානාත්මතාව හා බලතල ලබාගැනීමේ අවශ්‍යතාව ඉටු නොවුණු තැන. ඒ ඉල්ලූවේ රට කඩන්න නෙවෙයි පළාත් දියුණු කරගන්න අවශ්‍ය බලය. යුද්ධය හින්දා හුඟක් මිනිස්සුන්ට හුඟක් දේවල් නැතිවෙලා තියෙනවා. නිවාස, ඉඩම්, රැුකියා, දේපළ විතරක් නෙවෙයි සමීපතමයන් නැතිවෙලා තියෙනවා. ඒවා නිවැරදි වෙන්නයි ඕනෑ.

දෙමළ ජනතාව බලය ඉල්ලනවායැයි කියනවා. කාට අයිති බලයද?

පැහැදිලිවම එයාලාටම අයිති බලයයි ජනතාව ඉල්ලන්නේ. අපිත් මේ රටේ ජනතාව. අපි පදිංචි වෙලා ඉන්න පළාත්වල පාලනයට අවශ්‍ය බලය අපට දෙන්න. සිංහල ජනතාවගේ පළාත්වල බලය එයාලාට දෙන්න. අපි ඉල්ලන්නේ ආමි, නේවි, එයාෆෝස් බලය නෙවෙයි. එදිනෙදා වැඩ පරිපාලනය කරගන්න අවශ්‍ය බලය විතරයි. රට ගෙනියන්න අවශ්‍ය බලය මධ්‍යයේ තියාගන්න ඕනෑ. එහෙම රටවල් ලෝකයේ ඕනෑ තරම් තියෙනවා. තමිල්නාඩුවට, පංජාබයට, බෙංගාලයට ඉන්දියාව කඩන්න බැහැ. ඔක්කෝම අය එකට ඉන්නවා. එහෙම ක‍්‍රමයක් අපි ඉල්ලන්නේ.

දෙමළ ජනතාව ජාත්‍යන්තර සහයෝගය ඉල්ලද්දී කුමන්ත‍්‍රණ කියලා කියනවා. ජාත්‍යන්තර සහයෝගය ඉල්ලන්නේ ඇයි?

දිය යුතු දෙයින් භාගයක්වත් දුන්නා නම් අපට ජාත්‍යන්තර සහයෝගයක් ඕනෑ නැහැ. කළ යුතු දේ නොකරන නිසායි අපි එතැනට යන්නේ. මහින්ද මහත්තයාත් ජිනීවා ගියා. ඒකාබද්ධ විපක්ෂයත් ජිනීවා ගියේ එයාලාගේ අයිතිවාසිකමක් දෙන්නෑ කියලා. ඇයි එහෙම යන්නේ. දෙමළ විතරක් නෙවෙයි සිංහල නායකයෝත් ජාත්‍යන්තර සහයෝගය ඉල්ලනවා. ඒක කුමන්ත‍්‍රණයක් නෙවෙයි. මෙහේ කරපු නැති බව කීම විතරයි.

යුද අපරාධ ගැන මේ ආණ්ඩුව මිශ‍්‍ර අධිකරණයකින් පරීක්ෂණ කරන බව ජාත්‍යන්තරයට වුණු පොරොන්දුව කඩන බව කියලා තිබුණා නේද?

මේ ගැන 2012 ජිනීවා මානව හිමිකම් කොමිසමේ මුල් වතාවට කතා කරද්දීත්, 2013දීත්, 2014දීත් රාජපක්ෂ ආණ්ඩුවට පුළුවන්කමක් තිබුණා විශ්වාසදායක පරීක්ෂණයක් අපේ රටේ පටන්ගන්න. එයාලා කළේ නැහැ විතරක් නෙවෙයි කරන්නේ නැහැ කියලාත් කීවා. ඉන් පස්සේ 2014දී තීන්දුවක් ගත්තා මානව හිමිකම් පිළිබඳ එජාස කොමිසමෙන් විමර්ශනය කරන්න. එයාලා දැන් වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. දෙදාස්පහළොවේදී ලංකාවත් එක්ක මේ ගැන යෝජනාවක් සම්මත කරගත්තා. දැන් ඒක ක‍්‍රියාත්මක කරන්න ඕනෑ. ඒ ගැන ආණ්ඩුව හරියට ක‍්‍රියාකරන්න ඕනෑ. මේ රට වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් තියෙනවා නම් ජනාධිපතිතුමා කතා කරලා විසඳුමක් ගේන්න ඕනෑ. වුවමනාව තියෙනවා නම් විසඳුමක් ගෙනෙන්න බැරි දෙයක් නැහැ.

උතුරේ යුද හමුදාව ගැන තියෙන ප‍්‍රශ්නය මොකක්ද?

ජනතාවගේ පෞද්ගලික ඉඩම්වල හමුදාව තියාගන්නේ ඇයි? හමුදාව වගා කරලා බෝග විකුණන්නේ ඇයි? දකුණේ එහෙම කරනවාද? මම ඒ ඉඩම් බලන්න ගිහින් තියෙනවා. මිනිස්සු වගාකළ ඉඩම්. ඒවායේ හමුදාව වගාකරද්දී මිනිස්සු අවතැන් කඳවුරුවල දුක්විඳීම වැරදියි නේද? මේ ප‍්‍රශ්න කතාකරලා විසඳාගන්න ඕනෑ.

ඔබ කරන දේශපාලනය ජාතිවාදී දේශපාලනයක්යැයි කවුරුහරි චෝදනා කළොත් දෙන උත්තරය මොකක්ද?

කවුද මේක පටන්ගත්තේ? ඇයි මේ ප‍්‍රශ්න ආවේ? දෙමළ ජනතාවට ඇයි පනස් හයේ ගැහුවේ? ඇයි හැටඑකේ ගැහුවේ? ඇයි අසූතුනේ ගැහුවේ? හැත්තෑහතේදී ගැහුවේ ඇයි? මිනිස්සු මේ රටින් ගියා. දාහක් දෙදාහක් නෙවෙයි ලක්ෂ ගණනින්. නිකම් අය නෙවෙයි හොඳට ඉගෙනගත්ත මිනිස්සු. ගුටිකෑවේ එහෙම මිනිස්සු. මේවාට විසඳුමක් ආ දවසට මේ වගේ පක්ෂවලට වුවමනාවක් නැහැ. ප‍්‍රශ්නය පටන්ගත්තේ කොහොමද කියලා මුල හොයලා විසඳුමක් ගෙනෙන්න ඕනෑ. ඉස්සෙල්ලා ඔබ ඇහුවා මම ජනාධිපති වීම ගැන. මට ජනාධිපති වෙන්න පුළුවන් ප‍්‍රායෝගික තත්ත්වයක් තිබුණා නම් මේ වගේ පක්ෂයක වැඩකරන එක ජාතිවාදීයි තමයි.