රාවය

ඉතිහාසය නැවත සලකා බැලීමක්

getphotos

ලංකාව සිය සමාජ දේශපාලන සංවර් ධනයේ එක් එක් ඓතිහාසික අවධියක් පසු කොට වඩා දියුණු නව අවධියකට පරිවර්තනය වීමට අවශ්‍ය සමහර තත්ත්වයන් මෝරා තිබියදී සමාජය එම ක‍්‍රියාදාමයට සවිඥානකව එකතු නොවීම නිසා සමාජ අනුමැතියකින් හෝ අනුග‍්‍රහයකින් තොරව ස්වයංසිද්ධි ක‍්‍රියාදාමයක් ලෙස එය ඉදිරියට ඇදීයන තත්ත්වයක් ගොඩනැගී තිබෙන්නේයැ’යි කිව හැකිය. එය සමාජයේ ඉදිරි ගමනට බාධා කරන ආයතන ක‍්‍රම විනාශ කරමින් තිබෙන්නේ සවිඥානක සමාජ මගපෙන්වීමක් හෝ ක‍්‍රියාකාරීත්වයක් නැතිවය. ඒ නිසා නව ආයතන ක‍්‍රම ගොඩනැගීමකින් තොරව තිබෙන යල්පැනගිය ආයතන ක‍්‍රම බිඳ දමමින් තිබෙන්නේයැ’යි කිව හැකිය. එම ක‍්‍රියාදාමය තුළ සිදුවන සමහර දේවල අස්වාභාවික බවක් තිබෙනවා සේ ම විකාරරූපී ස්වරූපයක් ද පවතී.

දේශපාලන පක්ෂවල / පැවැත්ම අවලංගුවීම

වෙනදා බලයේ සිටින පාලක පක්ෂවල මිනීවළ හාරන්නා ලෙස ක‍්‍රියා කළේ විරුද්ධ පක්ෂයන්ය. එහෙත් මෙදා, විරුද්ධ පක්ෂයක් කළ කාරිය විරුද්ධ පක්ෂය වෙනුවට පාලක පක්ෂය විසින්ම කරමින් සිටින්නේය. එනම් විරුද්ධ පක්ෂය වෙනුවට පාලක පක්ෂය විසින්ම තමන්ගේ මිනීවළ හාරමින් සිටින්නේය. එම තත්ත්වය විරුද්ධ පක්ෂවලට නිසි කාර්යභාරයක් නැති තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ. ප‍්‍රධාන විරුද්ධ පක්ෂය වන එජාපයේ බෙලහීන තත්ත්වය කෙරෙහි දේශපාලන ක‍්‍රමය විසින් ඇතිකර තිබෙන සීමා හා පක්ෂ නායකයාගේ ශක්තීන්ට ආවේණික සීමාවලට අතිරේකව බලපා තිබෙන වෙනත් ඓතිහාසික සාධකයන්ද තිබෙන්නේය. ආණ්ඩු වෙනස් කිරීමට මහජනයාට තිබූ අයිතිය හා හැකියාව බරපතළ ලෙස සීමා කොට ආණ්ඩු බලය වෙනස් කිරීමට අසීරු ගල්ගැසුණු දෙයක් බවට පත්කරන අතර රටේ සාරය කොල්ලකෑමේ අයිතිය පාලක පක්ෂයට ලබාදෙන අශීලාචාර ආණ්ඩුක‍්‍රමයක් රටට හඳුන්වා දෙන ලද්දේ එක්සත් ජාතික පක්ෂය විසිනි. එම පක්ෂය එක දිගට අවුරුදු 17ක් රටේ වස්තුව කොල්ලකමින් සාහසික ලෙස රට පාලනය කළේය. එම පක්ෂය බලය අහිමිවීමෙන් පසුවවත් එම තත්ත්වය ගැන කනගාටුව පළකර හෝ ස්වයං විවේචනයක් කර නැත. එම තත්ත්වය විසින් එම පක්ෂය නැවත බලයට පත්විය නොහැකි ඓතිහාසික වශයෙන් අවලංගු වූ පක්ෂයක තත්ත්වයට පත්කර ඇතැ’යි කිව හැකිය.

රාජ්‍ය බලය හිමිකරගෙන සිටීම නිසා බැලූ බැල්මට පෙනෙන්නේ නැතත් ශ‍්‍රීලනිප තිබෙන්නේද බලය අහිමිවීමකින් පසුව නැවත බලය ලබාගත නොහැකි ඓතිහාසික වශයෙන් අවලංගු වූ තත්ත්වයකය. මෙය අශීලාචාර දේශපාලන ක‍්‍රමය ඇති කිරීමේ ක‍්‍රියාවලියට ශ‍්‍රීලනිපයේ සම්බන්ධයක් නොතිබුණද එම පක්ෂයෙන් පළමුව බලයට පැමිණි නායිකාව හා ඇගේ අනුප‍්‍රාප්තිකයා යන දෙදෙනාම බලයට ආවේ මෙම දූෂිත, කොල්ලකාරී දේශපාලන ක‍්‍රමය අහෝසි කරන බවට දිවුරා පොරොන්දුවෙමිනි. ඒ දෙදෙනා විසින්ම කළේ විධායක ජනාධිපති ක‍්‍රමයේ ඇණ මුරිච්චි තද කරමින් උපරිම ලෙස එහි රස උරා බොන පිළිවෙතක් අනුගමනය කිරීමය. තවමත් අවසන් වී නැති එම පක්ෂයේ පාලන යුගයද ඊට පෙර පැවති එජාප පාලන යුගයටත් වඩා කොල්ලකාරී හා සාහසික විය. එම තත්ත්වයන් විසින් ශ‍්‍රීලනිපයද ඓතිහාසික වශයෙන් අවලංගු වූ දේශපාලන පක්ෂයක් බවට පත්කර ඇතැ’යි කිව හැකිය.

මෙම ප‍්‍රධාන පක්ෂ දෙකට අතිරේක වශයෙන් තිබෙන අනෙකුත් දේශපාලන පක්ෂද මේ අවසන් කෙරෙමින් තිබෙන ඓතිහාසික යුගයේදී අවස්ථාවාදී හා විනාශකාරී භූමිකාවක් මිස පරාර්ථකාමී හා ගැළවුම්කාර භූමිකාවක් රඟපා නැත. ඒ සියලූ පක්ෂද එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට වර්ගවාදී ආගම්වාදී හෝ කුලවාදී වීම මගින් ජාතිය භේදබින්න කොට කැබලි කිරීමට දායක වූහ. ප‍්‍රචණ්ඩත්වය වගා කිරීමට දායක වූහ. සමාජ ජීවිතය දූෂිත කිරීමට දායක වූහ. ඒ මගින් එම පක්ෂද යල්පැනගිය පක්ෂ බවට පත්ව සිටියි. රටේ සියලූ දේශපාලන පක්ෂවලට පොදුවේ සමාජයේත්, විශේෂ වශයෙන් ඒ ඒ දේශපාලන පක්ෂ පිළිගැනීමට හේතුවී තිබුණු විශේෂ සමාජ කණ්ඩායම් වී නම්, ඔවුන් අතරත් තිබුණු පිළිගැනීම බිඳ වැටී තිබේ. එම පක්ෂවල අභ්‍යන්තරයන්හි තිබූ ඒකාබද්ධතාවන්ද යළි පිරිද්දිය නොහැකි ආකාරයට බිඳ වැටී තිබේ. ඒවා යළි පෙර තිබූ තත්ත්වයට ගෙන ආ නොහැකි ලෙස ජරාජීර්ණ වන තත්ත්වයකට පත්ව ඇතැ’යි කිව හැකිය.

ඉන් පෙනෙන්නේ නව විකල්ප නායකයන් ඇතිවීමකින් තොරව ඉන්නා නායකයන් විනාශවෙමින් තිබෙන බවය. අලූත් පක්ෂ බිහිවීමකින් තොරව පැරණි පක්ෂ විනාශවෙමින් තිබෙන බවය. තිබෙන දේශපාලන ආයතන ක‍්‍රමය සම්බන්ධයෙන් සිදුවෙමින් තිබෙන්නේද ඊට සමාන ක‍්‍රියාදාමයකි. අලූත් ආයතන ක‍්‍රම බිහිවීමකින් තොරව පැරණි ආයතන ක‍්‍රම විනාශවෙමින් තිබෙන්නේය. එය සමාජ සවිඥානකත්වයේ මගපෙන්වීමකින් හෝ සමාජයේ ක‍්‍රියාකාරී සහභාගිත්වයකින් තොරව ඉදිරියට ඇදීයමින් තිබෙන ක‍්‍රියාදාමයක් ලෙස සැලකිය හැකිය. එය සමස්ත නිෂ්පාදන ක‍්‍රමය යල් පැනගොස් එය අහෝසි නොකිරීම නිසා ඇතිවී තිබෙන අර්බුදයක් නොව දේශපාලන ක‍්‍රමයේ යල්පැනගිය ස්වභාවය විසින් ඇති කර තිබෙන අර්බුදයක් ලෙස සැලකිය හැකිය. එහෙත් එය අවසානයේ සමාජය කෙරෙහි සේ ම ආර්ථිකය කෙරෙහි ද බලපායි. මෙම තත්ත්වය හැල්මේ දුවන හිතුවක්කාර අශ්වයෙකුට සමාන කළ හැකිය. එවැනි තත්ත්වයක් ඉදිරියේ අශ්වයා පිට උඩ සිටින ජොකියාට කළහැක්කේ අශ්වයාට අවශ්‍ය ලෙස දුවන්නට ඉඩහැර බලා සිටීම පමණය. දේශපාලන ක‍්‍රමයේ පරිවර්තනයක් සඳහා අවශ්‍ය තත්ත්වයන් මෝරා තිබියදී සමාජය එම අවශ්‍යතාව සම්පූර්ණ නොකිරීම නිසා ඇතිවී තිබෙන පරස්පර තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. එම ක‍්‍රියාදාමයේ සමාජ පාලනයකින් තොරව සිදුවන ස්වයං සිද්ධි ක‍්‍රියාදාමයක් වීම හේතු කොටගෙන එය ඇති කරන්නට යන කෙටිකාලීන ප‍්‍රතිඵලය සමාජ යහපතට හේතුවිය නොහැකිය. එය ඒකාධිපති තත්ත්වයක් ඇති කිරීමට හෝ අරාජික තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකිය. එහෙත් එවැනි ක‍්‍රියාදාමයක් ඇති කරන ප‍්‍රතිඵලය කුමක් වුවද ඒ දෙස අනවශ්‍ය තරමට සංශයවාදී ආකල්පයකින් බැලීමද සුදුසු නැත. ප‍්‍රංශ විප්ලවය ආරම්භ වූයේ මිනිස් නිදහස හා ස්වාධිපත්‍යය ගැන උදයෝගීමත්ව හා කුල්මත්ව ක‍්‍රියාකරන ජනතාවගේ ක‍්‍රියාකාරී සහභාගිත්වයෙනි. එහෙත් එය කෙළවර වූයේ ආඥාදායකත්වයකිනි. හොඳ ආරම්භයක් නරක අවසානයක් ඇති කිරීමට සේ ම නරක ආරම්භයක් හොඳ අවසානයක් ඇති කිරීමටද හේතුවිය හැකිය.

විය හැකිව තිබෙන්නේ කුමක් වුවද ඉන් ඇතිවන හානිය අවම කරගත හැකිවනු ඇත්තේ විය හැකි දේ කුමක්ද යන්න හරියාකාරව තේරුම් ගැනීමෙනි. ඒ තත්ත්වය තේරුම් ගැනීම සඳහා අතීතයේ ආලෝකයෙන් වර්තමානය කියවන තැනකට යෑම අත්‍යවශ්‍යය. මෙම ලිපියෙන් අපේක්ෂා කරනුයේ වර්තමාන අවුල් කෙරෙහි අපේ ඉතිහාසය බලපා තිබෙන ආකාරය සැකෙවින් සලකා බැලීමය. ඒ මගින් වර්තමාන ශ‍්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය තේරුම් ගැනීමට අවශ්‍ය ඓතිහාසික දෘෂ්ටියක් ඇතිකර ගැනීම සඳහා තර්කානුකූල හා බුද්ධිමය වටාපිටාවක් ඇති කිරීමය.

යටත්විජිතවාදය

ශ‍්‍රී ලංකාව දීර්ඝ කාලයක් තමන් ජීවත් වූ වැඩවසම් තත්ත්වයෙන් අත්මිදුණේ එම ක‍්‍රමය ජනතාවට එපාවී ඊට එරෙහිව සටන් කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් නොව යටත්විජිත ක‍්‍රමය විසින් ඇති කරන ලද බලපෑමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. එහිදී වැඩවසම් ක‍්‍රමයේ සියලූ අක්මුල් උගුල් ලා දැමීමක් සිදු නොවූ අතර එය පැරණි ක‍්‍රමය කිසියම් විශාල ප‍්‍රමාණයකට යටපත් කොටගෙන ගොඩනැගුණු ධනේශ්වර ක‍්‍රමයක් ලෙස සැලකිය හැකිය.

මේ දිවයින ඈත අතීතයට අයත් යම් කාලවකවානුවකදී දියුණු ශිෂ්ටාචාරයකට උරුමකම් කීවේය. ඒවාහි සමහර නටබුන් අදටත් දැකිය හැකිය. එහෙත් 1505දී පෘතුගීසීන් ලංකාවට ගොඩබසින අවස්ථාව වනවිටත් සෞභාග්‍යමත් යුගය බොහෝ කලකට පෙර අවසන් වී පරිහානිය කරා යන ගමනකට රට අවතීර්ණ වී තිබුණේය. සමෘද්ධිමත් යුගය නියෝජනය කරන අනුරාධපුරය හා පොළොන්නරුව යන රාජධානින්ට අයත්ව තිබූ වියළි කලාපීය ප‍්‍රදේශවලින් වැඩි කොටසක් ඒ වනවිට ජනශූන්‍ය ප‍්‍රදේශ බවට පත්ව තිබුණේය. ඒ ප‍්‍රදේශවල තිබූ මහා වෙහෙර විහාරද, මහා ජලාශ හා ඇළ මාර්ගද වන ප‍්‍රවාහය විසින් ගිලගනු ලැබූ නෂ්ඨාවශේෂ බවට පත්ව තිබුණි. සිංහලයන්ද වියළි කලාපයෙන් තෙත් කලාපයට සංක‍්‍රමණය වී කෝට්ටේ හා මහනුවර වශයෙන් රාජධානි දෙකක් ඇති කරගෙන තිබූ අතර දමිළ ජනයාද යාපනේ කේන්ද්‍ර කරගත් රාජධානියක් ඇති කරගෙන තිබුණි. ඒ පැවති තත්ත්වය හරියාකාරව තේරුම් ගැනීම අවශ්‍ය වනුයේ අවුරුදු 450කට ආසන්න කාලයක් පැවති යටත්විජිතවාදය ඉතාමත් දියුණු තත්ත්වයක තිබූ ලංකාව නොදියුණු රටක් බවට පත් කර ඇතැ’යි කියන අධිරාජ්‍ය විරෝධී පැණි තැවරූ මතවාදයෙහි කිසිදු ඇත්තක් නැති බව තේරුම් ගැනීම ඓතිහාසික දෘෂ්ටියක් ඇති කරගැනීමේදී සැලකිල්ලට ගත යුතුව තිබෙන වැදගත් කාරණයක් වන නිසාය.

පෘතුගීසීන් ලංකාවට එන අවස්ථාව වන විට ලංකාවේ බහුතර වර්ගයා ලෙස සැලකිය හැකි සිංහලයෝ බුද්ධාගමද දමිළයෝ හින්දු ආගමද ඇදහූහ. ඔවුහු පුනරුත්පත්තිය හා කර්මය විශ්වාස කරන එම ආගම් දෙක මර්දනය කොට පුනරුත්පත්තිය හෝ කර්මය විශ්වාස නොකරන ක‍්‍රිස්තු ධර්මය රටට හඳුන්වා දුන්නෝය.

රටේ අනාගතය කෙරෙහි බලපාන ආකාරයට ඔවුන් අතින් සිදුවූ වැදගත්ම දේ ලෙස සැලකිය හැක්කේ ලංකාව කෙරෙහි පැවති දකුණු ඉන්දියානු හා අරාබි බලපෑම් වළකා එතැන් සිට ලංකාව බටහිර බලපෑම්වලට නතුවන රටක් බවට පත්කිරීමය. ආචාර්ය ජී.සී. මෙන්ඩිස්ට අනුව පෘතුගීසීන් ලංකාවට නොපැමිණියේ නම් ලංකාව මදුරාවේ හෝ ටැන්ජෝරයේ යටත් රටක් බවට පත්වන්නට ඉඩ තිබුණි. එමසන් ටෙනන්ට් කියා තිබෙන්නේ නියම කාලයට ක‍්‍රිස්තියානි ජාතියක් මේ දිවයිනට නොපැමිණියේ නම් ලංකාව අරාබි ආක‍්‍රමණිකයකුට යටත් රටක් වන්නට ඉඩ තිබුණු බවය.

මුහුදුබඩ ප‍්‍රදේශ අවුරුදු 153ක්ම පෘතුගීසි ආධිපත්‍යය යටතේ පැවතුණි. ඉන්පසු තවත් අවුරුදු 138ක් ඒ ප‍්‍රදේශ ලන්දේසීහු පාලනය කළෝය. පෘතුගීසීන් හා ලන්දේසීන් නිසා මුහුදුබඩ ප‍්‍රදේශවල ජනයා වෙළෙඳාමට හුරුපුරුදු වූහ. එක්තරා ප‍්‍රමාණයකට පාසල් අධ්‍යාපනයකටද හුරුපුරුදු වූහ. එහෙත් ඒ දෙපිරිසම ලංකාවේ පැවති වැඩවසම් ක‍්‍රමය වෙනස් නොකළෝය. සුළු සුළු වෙනස්කම් ඇතිව ඔවුන් පවත්වාගෙන ගියේ ද වැඩවසම් පාලන ක‍්‍රමයකි. කුලය මත පදනම් වූ සේවා ක‍්‍රමය ඔවුහුද ප‍්‍රයෝජනයට ගත්තෝය.

වැඩවසම් ක‍්‍රමයෙන් ඉවත්වීම

එහෙත් එක තැනක පල්වෙමින් තිබූ රට මහා විපර්යාසයන්ට ලක්වන ඉතාමත් චිත්තාකර්ෂණීය කාලපරිච්ෙඡ්දය බවට පත්වන්නේ ඉන්පසු එළැඹෙන බි‍්‍රතාන්‍ය යුගයේදීය. නූතන යුගය ලෙස සැලකිය හැකි බි‍්‍රතාන්‍ය යුගය ආරම්භවන්නේ 1796දී ලන්දේසීන් යටතේ පැවති මුහුදුබඩ ප‍්‍රදේශ ලන්දේසීන් වෙතින් අත්පත් කරගැනීමෙනි. 1815දී උඩරට රාජධානියද අල්ලා ගැනීමෙන් පසු මුළු රටම ඉංග‍්‍රීසි යටත්විජිතයක් බවට පත්විය. බි‍්‍රතාන්‍ය යුගයේ ඇතිවන මහා විපර්යාසයන් ආරම්භවන්නේ 1833දී ක‍්‍රියාත්මක වන කෝල්බෲක් කැමරන් ප‍්‍රතිසංස් කරණවලිනි. ඒ මගින් රාජකාරි සේවය වශයෙන් හැඳින්වුණු රජුට ඔවුන් භුක්ති විඳින ඉඩම් වෙනුවෙන් කුලය අනුව කළයුතු රාජකාරි සේවාවන් අහෝසි කරන ලදි. එකල සිංහල දෙමළ සමාජයන් ගොඩනැගී තිබුණේ කුල ක‍්‍රමයක් පදනම් කොටගෙනය. කුලය සමාජ ජීවිතය කෙරෙහි බලපෑවේය. මිනිසකුගේ තරාතිරම තීරණය වූයේ උපතින් ලබන කුලය අනුව මිස ඔහු සතු දක්ෂතා හෝ බුද්ධිය අනුව නොවේ. කුලය වෙනස් කළ නොහැකි දෙයක් වූ අතර ඒ නිසා ජන්මයෙන් ලැබෙන තරාතිරම හැම කෙනෙකු විසින් භාරගත යුතුව තිබුණි. රාජකාරි ක‍්‍රමය අහෝසි කිරීම නිසා වැඩවසම් බැඳීම්වලට යටත්ව සිටි විශාල ජනතාවකට ඒ තත්ත්වයෙන් අත්මිදීමේ නිදහස ලැබුණි. ඒ නිසා පැරණි රජවරුන්ට සේ ම කිසිදු ගෙවීමකින් තොරව මහජනයාගෙන් බලහත් කාරයෙන් වැඩ කරවා ගැනීමට ආණ්ඩුකාරයාට තිබූ බලයද අහෝසි විය. ව්‍යාපාර පවත්වාගෙන යෑමට රජයට තිබූ ඒකාධිකාරී අයිතියද අහෝසි කරන ලදි. ඒ නිසා වෙළෙඳාමට හා පුද්ගලික ව්‍යාපාරවලට නිදහස ලැබුණි.

ඒ නිසා ඇතිවූ තවත් වැදගත් දෙයක් වූයේ මුහුදුබඩ සිංහල පළාත් මුහුදුබඩ දෙමළ පළාත් හා උඩරට පළාත් වශයෙන් වෙනස් පරිපාලන පද්ධති තුනක් වශයෙන් පැවති ආණ්ඩු පාලනය මුළු දිවයිනම සඳහා පොදු පාලන ක‍්‍රමයක් යටතේ ක‍්‍රියාත්මක වන ඒකාබද්ධ ආණ්ඩුක‍්‍රමයක් බවට පත්කිරීමය. ඒ වනවිට රටේ උසාවි ක‍්‍රම ගණනාවක් තිබුණි. ඒ වෙනුවට මුළු දිවයින පුරා ඒකාකාරී උසාවි ක‍්‍රමයක් ඇති කොට අධිකරණය විධායකයේ බලපෑමෙන් ඉවත් කොට උසාවි පාලනය ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදෙන ලදි. භේදයකින් තොරව අධිකරණය ඉදිරියේ සියලූදෙනා එක සමාන ලෙස සලකන ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කරන ලදි.

ආණ්ඩුවේ ඒකාධිපති ස්වරූපයද ලිහිල් කරන ලදි. එහෙත් ආණ්ඩුකාරවරයා හිමිකරගෙන සිටියේ අපේ පැරණි වැඩවසම් රජවරුන් හිමි කරගෙන සිටි සර්වබලධාරී තත්ත්වයකට සමාන තත්ත්වයකි. යුද්ධය, විධායකය හා නීති සම්පාදනය යන හැම අංශයකම ඔහු ප‍්‍රධාන බලධාරියා වූයේය. සිවිල් අධිකරණ කටයුතු සම්බන්ධයෙන් ඔහු ප‍්‍රධාන අධිකරණ නායකයා වූවා සේ ම උඩරට පළාත්වල සිදුවන අපරාධ සම්බන්ධයෙන් පරම අධිකරණ බලධාරියා වූයේද ඔහුය. නඩු නොවිමසා හෝ හේතුවක් නොදන්වා කවර පුද්ගලයෙකු වුවද සිරකර තැබීමට හා රටින් පිටුවහල් කිරීමට ඔහුට බලය තිබුණි. ඔහුට තිබුණු බලය කිසිම උසාවියක ප‍්‍රශ්න කළ නොහැකි විය. ඔහු උත්තරදීමට බැඳී සිටියේ එංගලන්තයේ රාජ්‍ය ලේකම්වරයාට පමණයි.

නඩු නොඅසා පුද්ගලයන් සිරභාරයට ගැනීමට හෝ පිටුවහල් කිරීමට ආණ්ඩුකාරයාට තිබූ බලය අහෝසි කරන ලද අතර සමස්ත උසාවි ක‍්‍රමය ශ්‍රේෂ්ඨාධිකරණයේ පාලනයට යටත් කිරීම නිසා ඔහුට තිබූ අධිකරණ බලයද අහෝසි විය. විධායක මන්ත‍්‍රණ සභාවක් හා ව්‍යවස්ථාදායක මන්ත‍්‍රණ සභාවක් ඇති කිරීම නිසා ආණ්ඩුවේ ආදායම් හා වියදම් පිළිබඳව තීරණය ගැනීමට තිබුණු තනි බලය සේ ම නීති සම්පාදනයට තිබූ තනි බලයද අහෝසි විය. විධායක ව්‍යවස්ථාදායක මන්ත‍්‍රණ සභා ක‍්‍රමයක් ඇති කිරීම අනාගත පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් සඳහා දමන ලද මුල් අඩිතාලම විය.

ඉංග‍්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව කරන ලදි. සිවිල් සේවය බි‍්‍රතාන්‍යයන්ට පමණක් සීමාකර තබා ගැනීම වරදක් ලෙස සැලකූ කොමිසම සිවිල් සේවයේ දොරටු ලාංකිකයන්ට විවෘත කළයුතු බවට නිර්දේශ කළේය. ඉංග‍්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නිසා ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදෙන පාසල් ක‍්‍රමයක් ඇති කිරීමට සිදුවිය.

නවීන රටක් හා නවීන සමාජයක් ඇතිවීම

මෙම ප‍්‍රතිසංස්කරණ විසින් ඇති කරන ලද ප‍්‍රතිඵල ඉතාමත් දැවැන්ත හා විස්මයජනකවීයැ’යි කිව හැකිය. ඊට පෙර මුළු ලංකා ඉතිහාසයේම සිදුවී තිබුණු මුළු විපර්යාසයන්ගේ මුළු එකතුවට වඩා ප‍්‍රමාණයෙන් සේ ම ගුණයෙන්ද වඩා විශාල විපර්යාසයන් රැුසක් ඒ කාලය තුළ රටේ සිදුවිය. එතෙක් රටේ ජනතාව පරිභෝජනය මුල් කරගත් යැපුම් ආර්ථිකයකට කොටුවී සිටි අතර ඔවුන්ගේ ජීවන වටාපිටාව ඉතා නොදියුණු හා දුප්පත් තත්ත්වයක පැවතුණි. සියලූ මිනිසුන් කුලය විසින් නියම කළ වැඩවසම් සේවාවන්ට කොටුවී සිටි අතර අකුරු උගත්කම ඉතාමත් සුළු පිරිසකට සීමාවී තිබුණේය. මිනිස්සු තමන් ජීවත්වන ගම් ප‍්‍රදේශවලින් බැහැරට ගමන් බිමන් කළෝ ඉතාමත් කලාතුරකින් වන්දනාවේ යන අවස්ථාවල පමණය. අඩි පාරවල් ලෙස සැලකිය හැකි මාර්ග මිස මහ පාරවල් ලෙස සැලකිය හැකි මාර්ග නොතිබුණි. අඳින ඇඳුම් පැළඳුම් කෙරෙහි පමණක් නොව ගෙවල් දොරවල් පවත්වාගෙන යායුතු ආකාරය කෙරෙහි පවා කුලභේදය බලපෑවේය. මෙම සාම්ප‍්‍රදායික චිත‍්‍රයෙහි බි‍්‍රතාන්‍ය යුගය තුළ ඇතිවූ වෙනස්කම් දැවැන්තය.

වතු වගාව හා ඒ ආශ‍්‍රිත උපයෝගී සේවාවන් මුල් කරගත් නවීන ආර්ථිකයක් ඇතිවිය. මහා මාර්ග හා දුම්රිය මාර්ග ඇතිවී ඒවාහි දැවැන්ත වර්ධනයක් ඇතිවිය. අභ්‍යන්තර වෙළෙඳාමේ හා බාහිර වෙළඳාමේ වේගවත් ප‍්‍රසාරණයක් ඇතිවිය. ගමනාගමනය හා පණිවුඩ හුවමාරුව වර්ධනය විය. නගර ඇතිවී නාගරික ජනගහනය ඉහළ ගියේය. රදල අධිපතීන්ගේ තැන ව්‍යාපාරිකයන් විසින් ද, වැඩවසම් ප‍්‍රවේණි දාසයන්ගේ තැන මුදලට ශ‍්‍රමය විකුණන කම්කරුවන් විසින් හිමිකර ගන්නා ලදි. පාසල් අධ්‍යාපනයේ විශාල ව්‍යාප්තියක් ඇතිවිය. අකුරු උගත් ජනයාගේ වේගවත් වර්ධනයක් ඇතිවූ අතර පොත්පත් හා පුවත්පත් කියවන සමාජයක් ඇතිවිය. නීති අධ්‍යාපනය සඳහා නීති විද්‍යාලයක්ද වෛද්‍ය අධ්‍යාපනය සඳහා වෛද්‍ය විද්‍යාලයක්ද, පසුව උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයක්ද ඇතිවිය. විදේශ වශයෙන් හෝ දේශීය වශයෙන් උසස් අධ්‍යාපනය ලැබූ අය ආශ‍්‍රයෙන් උගත් මධ්‍යම පන්තියක් ද ඇතිවිය. උරුමයෙන් තේරී පත්වුණු වැඩවසම් රාජාණ්ඩුක‍්‍රමයක් වෙනුවට මහජනයා විසින් තෝරාපත් කරගන්නා නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් ඇතිවිය. කන්ද උඩරට රාජධානියේ අවසාන කාලයේ එහි තිබූ ආර්ථික ක‍්‍රමය ආණ්ඩුක‍්‍රමය හා සමාජ ක‍්‍රමය සමග සසඳන විට ඊට වඩා ඉතා දියුණු හා නවීන ආර්ථික ක‍්‍රමයක්ද, ආණ්ඩුක‍්‍රමයක් හා සමාජ ක‍්‍රමයක්ද බි‍්‍රතාන්‍ය පාලන යුගයේදී අපට ලැබී තිබුණි. ඒ කිසිවක් පරිපූර්ණ තත්ත්වයක නොතිබුණේය. වැරදි හා අඩුපාඩුකම් තිබුණි.

වරද කාගේද?

ගොඩනැගී තිබුණු නව ආර්ථික ක‍්‍රමය ස්වදේශිකයන්ට දියුණුවීමට විශාල ඉඩ ප‍්‍රස්ථා ලබාදී තිබුණා වුවද ආර්ථිකයේ ප‍්‍රධානතම අංශය වී තිබුණු තේ හා රබර් වතුවල ප‍්‍රධාන අයිතිය තිබුණේ බි‍්‍රතාන්‍යයන්ටය. රාජ්‍ය සේවයේ ඉතා බලවත්ම හා මහේශාක්‍ය අංගය බවට පත්ව තිබුණු සිවිල් සේවයට එකතුවීම ස්වදේශිකයන්ට දොරටු විවෘත කර තිබුණද සිවිල් සේවයන්ට එකතුවන ස්වදේශිකයන්ට කැපිලි කෙටිලි තිබුණා සේ ම සිවිල් සේවයේ හොඳම ස්ථාන හිමිකරගෙන සිටියෝ බි‍්‍රතාන්‍යයෝය. ස්වදේශීය ආගම්, ස්වදේශීය භාෂා හා ස්වදේශීය සංස්කෘතීන් හිතාමතා මර්දනය කරන පිළිවෙතක් නොතිබුණද එම අංශවල ප‍්‍රමුඛ තත්ත්වය හිමි කරගෙන තිබුණේ බි‍්‍රතාන්‍යයන්ගේ ආගම වන ඇංග්ලිකන් ආගම, ඔවුන්ගේ භාෂාව වූ ඉංග‍්‍රීසි භාෂාව හා ඔවුන්ගේ සංස්කෘතිය වූ ඉංග‍්‍රීසි සංස්කෘතිය හා ඉංග‍්‍රීසි ජීවන ක‍්‍රමයන්ය. සමහර ස්වදේශිකයන් කොතරම් ධනවත් වුවද ඔවුන්ට බි‍්‍රතාන්‍යයන්ට ඔවුන්ට පමණක් සීමාවන ලෙස පවත්වාගෙන ගිය ඔවුන්ගේ සමාජ ශාලාවලට ඇතුළුවීමට ඉඩ නුදුන්නේය. අලූතෙන් ධනවත් වීම නිසා ප‍්‍රභූ තත්ත්වයක් හිමිකරගෙන සිටි ස්වදේශීය ප‍්‍රභූන් තුළ එවැනි හේතු නිසා බි‍්‍රතාන්‍යයන් පිළිබඳව ඇති කරගත් නොසතුටක් තිබුණද මුළු එකක් වශයෙන් ගත්විට බි‍්‍රතාන්‍ය ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ ප‍්‍රතිපත්තිය ඉන්දියාව හා ඔවුන්ගේ යටත්විජිත තත්ත්වයක තිබූ රටවල් සම්බන්ධයෙන් අනුගමනය කළ ප‍්‍රතිපත්තියට වඩා මුදු හා සාධාරණවීයැ’යි කිව හැකිය. ඔවුන් ඉන්දියාවේදී ඔවුන්ගේ කර්මාන්ත විප්ලවය සඳහා වන ප‍්‍රාග්ධන ඒකීභූතිය සඳහා අවශ්‍ය කරන ධනය ප‍්‍රධාන කොට කොල්ලකෑවේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ දියුණු තත්ත්වයක පැවති රෙදි නිෂ්පාදන කර්මාන්තය හිතාමතාම විනාශ කොට ඉන්දියාවට අවශ්‍ය රෙදිපිළි එංගලන්තයේ ලැන්කැෂයර් වලින් ආනයනය කළයුතු තත්ත්වයක් ඇති කළේය. ඉන්දියාව සම්බන්ධයෙන් අනුගමනය කළ වස්තුව මහා පරිමාණයෙන් කොල්ලකන ප‍්‍රතිපත්තියක් ලංකාවේදී ක‍්‍රියාත්මක නොවීය. ඉන්දියාවට කොල්ලකන්න තරම් දැවැන්ත වස්තුවක් තිබුණද කොල්ලකන්නට තරම් එවැනි දැවැන්ත වස්තුවක් අපට නොතිබුණේය. බි‍්‍රතාන්‍යයන් ලංකාව ප‍්‍රිය කළ අතර ඔවුන් ලංකාව පවත්වාගෙන ගියේ ඔවුන්ගේ නිවාඩු දිවයිනක් ලෙසය. ඔවුන්ගෙන් අපට ලැබුණු වාසි හා අවාසි පිළිබඳ සාධාරණ ශේෂ පත‍්‍රයක් සකස් කළහොත් ඔවුන් අපෙන් අත්පත් කරගත් දේවලට වඩා ඔවුන් විසින් අපට ලබාදී තිබෙන දේවල වටිනාකම ඉතා විශාල බව පෙනෙනු ඇත.

අප තුළ දේශානුරාගයක් ඇති කරගැනීම සඳහා අපේ පැරණි ඉතිහාසය හාරා අවුස්සා අපේ ඉතිහාසයේ ශක්තිමත් පදනම් අපට මුලින්ම කියා දුන්නෝ ඔවුහුය. ජනශූන්‍ය තත්ත්වයට පත්ව තිබුණු වියළි කලාපයේ වන ප‍්‍රවාහයට හසුවී සැඟවී තිබුණු ඉපැරණි වෙහෙර විහාර හා වාරිමාර්ගවල නටබුන් සොයා දුන්නෝද ඒවා සංරක්ෂණය කර දුන්නෝද ඔවුහුය. ඒවා ගැන කෙරෙන පර්යේෂණ මගින් ඔවුන් කොළ අතු අඳින යුගයක අප රෙදිපිළි අඳින තරමේ දියුණු තත්ත්වයක සිටි බව අපට පළමුවෙන්ම කියා දුන්නෝද ඔවුහුය. අපේ පැරණි ඉතිහාසයේ පැරණි ස්මාරක මතුකර ගැනීම, ඒවා සංරක්ෂණය කිරීම හා ඒවා පිළිබඳව පර්යේෂණ කිරීම යන අංශවලදී බි‍්‍රතාන්‍යයන් ඉටුකරන ලද කාර්යභාරය සමෘද්ධිමත් යුගය අවසන්වීමෙන් පසු බිහිවන අපේ කිසිදු රජකු අතින්වත් ඉටුනොවීයැ’යි කිව හැකිය.

බි‍්‍රතාන්‍යයෝ ඔවුන්ට හිමිව තිබූ යටත් විජිතයක් වශයෙන් ලංකාවෙන් විවිධ වාසි හා ඵල ප‍්‍රයෝජන ලැබුවෝය. එහෙත් ආපසු යන අවස්ථාවේදී ඔවුන් ලංකාව අල්ලා ගන්නා අවස්ථාවේදී තිබූ රටට වඩා සිය දහස් ගුණයකින් දියුණු හා නවීන රටක් අපට භාරදුන්නේය. එහෙත් එතැන් සිට ඒ රට සාර්ථක ලෙස ඉදිරියට ගෙනයන්නට අසමත් වූවෝ නිදහසින් පසු බලයට පත්වන අපේ රටේ නායකයෝය. බි‍්‍රතාන්‍යයෝ රට හා ජාතිය එක්තරා විශාල ප‍්‍රමාණයකට ඒකාබද්ධ කොට නවීන අර්ථයෙන් වන ජාතික රාජ්‍යයක්ද ඒ රාජ්‍යයේ ආණ්ඩුකරණය සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක්ද අපට හිමිකර දුන්නෝය. එම ඒකාග‍්‍රතාව පවත්වාගෙන යෑම සඳහා ජාතිය තවදුරටත් එක්සත් කිරීමටත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑම සඳහා සමාජය ප‍්‍රජාතන්ත‍්‍රවාදී කිරීමටත් අසමත්වීමේ වරදට වගකිිවයුත්තේ බි‍්‍රතාන්‍යයන් නොව අපේ සමාජයත් අපේ හරසුන් ආත්මාර්ථකාමී නායකයනුත්ය.

බි‍්‍රතාන්‍යයන් අපට බන්දේසියක තබා නිදහස තෑගි නොදී එය සටන් කොට දිනාගත යුතු දෙයක් බවට පත්කළේ වී නම් අපේ රටේ චිත‍්‍රය මීට වඩා බොහෝ වෙනස්වන්නට ඉඩ තිබුණි. බලවත් සතුරකු පරාජය කිරීම සඳහා කුලභේදයට, ආගම් භේදයට හා වර්ග භේදයට තිබෙන පිළිගැනීම නැති කොට සමාන අයිතිවාසිකම් ලබාදෙන පදනමක් මත එක්සත් ජාතියක් ඇති කරගැනීම ඒ සටන ජයගැනීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වන්නට ඉඩ තිබුණි. නිදහස දිනාගැනීම සඳහා කෙරෙන අරගලය තුළ සියලූදෙනාගේ පිළිගැනීමට හේතුවන පොදු ජාතික දෘෂ්ටියක්ද, රටට ආදරේ කරන, රටේ ජනතාව නොරවටන, රටේ වස්තුව කොල්ලනොකන, දූරදර්ශී නායක පිරිසක්ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා බහුත්වවාදී ආකල්පවලට ගරුකරන විනයගරුක දියුණු සමාජයක්ද ගොඩනැගෙන්නට ඉඩ තිබුණි. (ඉතිරි කොටස ලබන කලාපයේ)