ව්‍යවස්ථා ජනමත විචාරණය කොයිබටද?


sunanda

පොල් ගස පුදුම ගසකි, එක ගසෙහි ගස් දෙකකි’යැයි කීවා සේ දැන් අපි ප්‍රශ්න දෙකක් ඇති එක ප්‍රශ්නයකට මුහුණදෙමු. එනම් ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට යායුතුද නැත්ද යන ප්‍රශ්නයයි. එම ප්‍රශ්නයේ ඇති අනෙක් ප්‍රශ්නය නම් කොටින්ම මෙරටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යද යන්නයි.
නව ව්‍යවස්ථාවක් අවශ්‍යද යන ප්‍රශ්නය තුළද මූලික වශයෙන් ප්‍රශ්න දෙකක් තිබේ. එනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සැපයීමයි. එබැවින් නව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක අවශ්‍යතාව අප විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ලඝු නොකළ යුතුය.
මෙම ජේ.ආර්. ජයවර්ධන ව්‍යවස්ථාව අහෝසි කිරීමට කවර හෝ සංයුක්ත උත්සාහයක් දැරුණේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති සමයෙහි පමණි. එකල නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳ මහජන සාකච්ඡාව ගොඩනැඟුණේ දේශපාලන විසඳුමක් ඇතිකිරීම වටාය. මහජන සාකච්ඡාව තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාව ගැන විවාදයක් තිබුණේ නැත.

රාජපක්ෂ පාලනය පෙරළා දැමූ ජනවාරි පෙරළියේ අරමුණ වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නම් දෙමළ ජනයා සහ මුස්ලිම් ජනයා සමස්තයත් වශයෙන් ජන්දය දුන්නේ මන්දැයි ප්‍රශ්නයක් මතුවේ. මන්දයත් දෙමළ සහ මුස්ලිම් ජනයාගේ මූලික ප්‍රශ්නය වූයේ විධායක ජනාධිපති ක්‍රමය නොවන නිසාය.
සමස්ත ජනයාගේම ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිවරණය යනු දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්හි ඡන්ද බලයට ජාතික මට්ටමේ බලයක් ලැබෙන වැදගත්ම අවස්ථාවය. විධායක ජනාධිපතිවරණයකදී තමන් සතු බලය 2005 මහින්ද රාජපක්ෂ සහ 2015දී මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙනඒමට තීරණාත්මක ලෙස බලපෑමෙන් මෙරට දෙමළ ප්‍රජාව පෙන්වාද තිබේ. එබැවින් විධායක ජනාධිපතිධුරය සුළුතර ප්‍රජාවන්ට බලයක් ලබාදෙන බැවින් එය පවත්වාගත යුතු යැයි තර්ක කළ දෙමළ දේශපාලනඥයෝද විචාරකයෝද කලකට පෙර සිටියහ.

එසේ නමුත් බලයට පත්වූ සියලුම විධායක ජනාධිපතිවරුන් යටතේ එන්න එන්නම මෙරට සුළුතර ප්‍රජාවන් මර්දනයට සහ පීඩාවට ලක්වූ නිසා අද වන විට එම තර්කය ප්‍රායෝගික වශයෙන් පරාජයට පත්වී තිබේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ප්‍රථම වරට මහජන ව්‍යාපාරයක් ඇතිවූයේ ලලිත්-ගාමිණී දෝෂාභියෝගයේ කොටසක් ලෙසය. පසුව ඊට චන්ද්‍රිකාද දායක විය.

1994 ජනාධිපතිවරණයේදී දෙපාර්ශ්වයේම මැතිවරණයන්හි එකී පොරොන්දුව ඇතුළත් විය. අනතුරුව එම අවශ්‍යතාව පොදු පිළිගැනීමක් බවට පත්විය. එකල එවැනි සංශෝධනයක් ඉදිරිපත් වූයේ නම් ලෙහෙසියෙන්ම පාර්ලිමේන්තුවෙහි තුනෙන් දෙකක ජන්දයෙන් සම්මත කරගත හැකිව තිබුණි.
පසුව එම සටන් පාඨය මාදුළුවාවේ සෝභිත හිමි විසින් යළි පිළිසකරකර පෙරමුණට වඩමවන ලදි. ඒ රාජපක්ෂ අර්ධ ඒකාධිපතිත්වයට එරෙහිවය.
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද පවත්නා විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගැනීමට යෝජනා කරන්නේ එයට රාජපක්ෂවරුන් සමඟ ඇති සටන නිසාය. ඒ කෙසේ වෙතත් පාර්ලිමේන්තුව හමුවට එවැනි යෝජනාවක් රනිල්-සිරිසේන එකඟතාවෙන් ඉදිරිපත් වුවහොත් එය ලෙහෙසියෙන්ම අවශ්‍ය තුනෙන් දෙකේ ඡන්දය ලබාගන්නවා ඇත. ජනමත විචාරණයකදී වුව ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය පමණක් නම් එය ලෙහෙසියෙන්ම ජයගනු නොඅනුමානය. විධායක ජනාධිපතිධුරයට පක්ෂව මහජනයා බලුමුළු ගැන්වීමට රාජපක්ෂලා හත්මුතු පරම්පරාවක් පැමිණියද නොහැකිය.
ඇත්ත ප්‍රශ්නය එය නොවේ. යෝජිත නව ව්‍යවස්ථාව මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට ඉදිරිපත් කරන විසඳුම කුමක්ද යන්නය. සටන ඇත්තේ එතැනය. ආණ්ඩුවට කිසිම අදහසක් නැත්තේද ඒ ගැනය.

දෙසතියකට පෙර සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයෙහිදී භික්ෂූ පිරිසක් සමඟ ශ්‍රීලනිපය පැවැත්වූ සාකච්ජාවකදී 13වන ව්‍යවස්ථා සංශෝධනයෙන් එහා යන කිසිදු බලය බෙදීමකට තමන් ඉඩ නොදෙන බව එම පක්ෂය ප්‍රකාශ කළ බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබුණි. (එම වාර්තාවෙහි ඊට සහභාගි වූ නිමල් සිරිපාල ඇතුළු ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ නම් සඳහන් කර ඇති අතර ඒ කිසිවකු මෙම වාර්තාව ප්‍රතික්ෂේප කර නැත.) ජනාධිපතිවරණය අවස්ථාවෙහි දැන් ශ්‍රීලනිප නායක වන මෛත්‍රීපාල සිරිසේන දැරුවේ මීට වඩා සහමුලින්ම වෙනස් ඉදිරිගාමී අදහසකි.

තම ජනයාට තමන් විසින් තමන් පාලනය කරගැනීමට ඉඩ සලසන දේශපාලන විසඳුමක් ඉදිරිපත් නොකරන්නේ නම් තමන් වැඩි කල් නොගොස් දේශපාලන තීරණයක් ගන්නා බව දෙමළ සන්ධානය මෑතක සිට ප්‍රකාශ කරන්නට පටන්ගෙන තිබේ. කලින් 2016 වසර අවසානයට පෙර දේශපාලන විසදුමක් ලබාගන්නා බවට දෙමළ ජනයාට පොරොන්දුවූ දෙමළ සන්ධානයට ලැබුණේ හුළං පමණය.

දෙමළ සන්ධානය 13 වන සංශෝධනය විසඳුමක් වශයෙන් පිළිගන්නේ නැත. උතුර නැගෙනහිර ඒකාබද්ධ කරන ලද ඒකීය රාජ්‍ය සංකල්පයෙන් එහාට ගිය විසඳුමක් අවශ්‍ය බව එහි මතය වේ. එම මතය සහ ශ්‍රීලනිපයේ මතය අහසට පොළොව මෙන් දුරස්ය.
ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සහිත නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළහොත් ඊට විරුද්ධව මරාගෙන මැරෙන සටනකට රාජපක්ෂවරු දැන් සිටම සරම උස්සාගෙන සිටිති. මෙම වසර තුළ ආණ්ඩුව පෙරළීමට රාජපක්ෂගේ කයිවාරුවේ පදනමක් එය විය හැකිය.
මේ අතර ජනාධිපති සිරිසේන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් සඳහා රටට අවශ්‍ය දේශපාලන සංවාදය ගොඩනඟනු වෙනුවට එන්න එන්නම පටු දේශපාලන ජනප්‍රියත්වය සඳහා කතා පිට කතා පවත්වන තත්වයට පත්වෙමින් යයි. දැන් දැන් ඔහුගේ කතාවල ගැඹුරු දේශපාලන අරුතක් නැත. ඇත්තේ බාල ජනප්‍රියත්වය සඳහා කැරෙන බොරු දේශප්‍රේමය සහ සදාචාරවාදයයි. සද්දයට කරන්නේද ලොතරැයි මිල වැඩි කිරීමට ඉඩ නොදීම, අවිනීත රියදුරුන් සහ රියදුරු මාරයන් පාලනය කිරීමට ඉඩ නොදීම, බියර් මිල වැඩි කිරීම වැනි පහේ පන්තියේ වැඩය.

මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් සැපයෙන නව දේශපාලන සංස්කෘතියක් සහ නව ව්‍යවස්ථාවක් ජනගත කිරීමට නම් අවශ්‍ය වන්නේ දියුණු දේශපාලන සංවාදයකට සහ අධ්‍යාපනයකට තුඩු දෙන මතවාදී ව්‍යාපාරයකි. කනගාටුවට කරුණ නම් එම අභියෝගය හමුවෙහි ජනපති සිරිසේන පහළට ලිස්සා යනු මිස ඉහළට යෑමක් නොපෙනීමයි.

දේශපාලන කපටි නරියා ලෙස නම් දැරූ ජේ.ආර්. ජයවර්ධන අනුගමනය කරන අගමැති වික්‍රමසිංහද ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සැපයීමේ මතවාදී ව්‍යාපාරය කරට ගෙන නැත. අඩුම වශයෙන් ඔහු යූඇන්පීයේ ස්ථාවරය හෝ ප්‍රකාශ නොකරයි. වික්‍රමසිංහද කියන්නේ දේශපාලන විසඳුමකට ඇතුළත් නොවන්නේ මොනවාද යන්න මිස ඇතුළත් වන්නේ මොනවාද කියා නොවේ.
අප වික්‍රමසිංහගෙන් ඇසිය යුත්තේ පාර්ලිමේන්තු ආණ්ඩුවේ නායකයා වශයෙන් ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කැරෙන සහ දෙමළ ජනයාට පිළිගත හැති දේශපාලන විසඳුමක් ඇතුළත් නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට සූදානම්ද යන්නයි. (ශ්‍රීලනිපයෙන් එවැන්නක් ඉදිරිපත් නොවන බව දැන් පැහැදිලිය.) එවැනි කෙටුම්පතක් සම්පූර්ණ පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් ඉදිරිපත් කිරීම යනු කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකක් ඉල්ලා සිටීමකි. පාලක පක්ෂය වශයෙන් යූඇන්පිය ඒ සඳහා සූදානම් නැත්නම් පෙරහැරට පෙර වෙස් බැඳීමෙන් වැඩක් වෙන්නේ නැත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කැරෙන සහ දේශපාලන විසඳුමක් සැපයෙන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක සහ ජනමත විචාරණයක අවශ්‍යතාව මේ කිසිදු ආපසු හැරීමක් නිසා අහෝසි වන්නේ නැත. මේ සම්බන්ධයෙන් ජනපති සහ අගමැති හොර ගල් අහුලන්නේ නැතිව තෝල්කවරුන් නැතිව කතාකළ යුතුය. සිවිල් සමාජ ක්‍රියාධරයන් වශයෙන් අප එම දෙදෙනාටම කියා සිටිය යුත්තේ එයයි. 2015 ජනවාරියෙහි මෙරට සියලු ජනයාගේ මානව සහ ප්‍රජා අයිතීන් සුරකින නව ව්‍යවස්ථාවක් ගෙනඑන බවට දුන් පොරොන්දුව කඩ නොකරන බවට මේ දෙදෙනාම මෙරට ජනයාට ප්‍රසිද්ධියේ ශපථ කළ යුතු කාලය පැමිණ තිබේ.■