Monday, 21/8/2017 | 4:27 UTC+0
රාවය

ක්‍රීඩාව ඈවරයි

ඒ. වික්‍රමසූරිය.

ක්‍රීඩාව වෙනුවෙන් වෙනම අමා ත්‍යාංශයක් පිහිටුවා එය ජනතා මුදලින් නඩත්තු කරනුයේ අමාත්‍යාංශය සතු විෂයයන් යටතේ ජනතා සේවය පුළුල් කිරීමටය. මෙය ක්‍රිඩා විෂය අරබයා කොතෙක් ඉටුවන්නේද යන්න අද දවසේ ඇති ගැටලුවකි. කාලයෙන් කාලයට ක්‍රීඩා ඇමතිවරයෙකු පත්වන අතර ඔහු වර්තමානය වන විට ක්‍රීඩාව විනාශ කරන කාබාසිනියකු බවට පත්වී ඇත. වත්මන් ඇමතිට අද වනවිට ක්‍රීඩාව යන්න කුමක්ද කියා තෝරාබේරා ගන්නට පවා නොහැකිව ඇත්තේ ඔහු ක්‍රීඩාව රියැලිටි වැඩසටහනක් බවට පත් කොට ඔහුම එහි රියැලිටි තරුව බවට පත්වී ඇති නිසාය.
තමා ක්‍රිකට් නිලවරණය පවත්වමින් අනෙක් ක්‍රීඩා අමාත්‍යවරුන්ට කළ නොහැකි වූ අමුතු විජ්ජාවක් කළේ යැයි කටමැත දෙඩුවද අද වනවිට ක්‍රිකට්වලට සිදුව ඇත්තේ කුමක්ද? මහා ඉහළින් ක්‍රිකට් නිලවරණය පැවැත්වූවායැ’යි කියමින් වත්මන් සභාපතිට එම තැනට එන්නට පාර කැපූ ක්‍රීඩා ඇමති ඔහුගේ ජයග්‍රහණයෙන් පසු හැසිරුණේද ඇමති වරයෙකුට නොවන රංගනයකය. එයින්ම ඔහු මෙරට ක්‍රීඩා වටාපිටාවට ඒත්තු ගැන්වූයේ තමා සුමතිපාලගේ කීකරු ගැත්තකු බවය. එය එසේ වන්නේ කෙසේද යන්නටද ක්‍රිකට් ක්ෂේත්‍රයේ රසකතා ඇතත් ඒවා ලිවිය නොහැකිය. එහෙත් ඒවා බොරුයැ’යි පැත්තකින් තැබිය හැකි දේද නොවේ.
කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාව අද වන විට විනාශයට යටින් ඇත්තේ පරාජයන් නිසා නොවන බව කිව යුතුය. දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරග පරාජය වූවායැ’යි හෝ අනෙක් තරග පරාජය වූ නිසා මෙවැනි පටු තැනකට අපි නොයමු. ජය පරාජය ක්‍රීඩාවට උරුම වූ දෙයකි. අපගේ අදහස නව පරිපාලනයත් සමඟ ක්‍රිකට් විනාශය ශීඝ්‍ර වූ බවය. රාජපක්ෂලාගේ යුගයේදී ක්‍රිකට් පුටුව මේ අයගෙන් ඈත් කළේ එය එක්තරා විදියට ඔහුගෙන් ඇති කළ යුතුම දෙයක් නිසාය. එය එසේ වුවත් රාජපක්ෂලා කළේ ක්‍රිකට් පුටුව අලෙවි භාණ්ඩයක් කරගෙන දාසලාගේ බූදලයක් බවට පත්කිරීමය. ඔවුන් ද ක්‍රිකට් වෙනුවෙන් ඕනෑ තරම් වියදම් කිරීමට එකඟව සිටියේ නැති මානයක් ක්‍රිකට් පුටුව හරහා ඔවුන්ට ලැබෙන බැවිනි. ක්‍රිකට් සභාපතිකම එක්තරා විදිහට ධනවතුන් බිහිකරන අතරම සිල්ලර ධනපතියන්ට නව තේජසක් ඇති කරන්නක්ද විය. මේ නිසා ක්‍රිකට් පුටුව හැමකල්හිම රජ පුටුවක් හා සමවිය. මෙවරද එය වෙනසක් නොවුණි. පරණ තරගකරුවන්ටද එය මෙවර විවර විය. එහිදී සුමතිපාල-අර්ජුන අතර තරගය නිර්මාණය වන විට ක්‍රීඩා ඇමති අංශක එකසිය අසූවටම තිලංග පැත්ත ගත්තේය. එය ඔහුට තරම් නොවන මුත් එයම විය. අහවලා හොරා යැයි එළිපිට කියූ අයම පසුව අත්වැල් බැඳගෙන පරණ කතා අමතක කොට එකට හොරා කන්නට පටන් ගත්තේය. මේ අප අත්විඳිනුයේ ඒවායේ නරක ප්‍රතිඵලමය.
ක්‍රිකට් ක්‍රීඩකයන් යනු අමුතු සල්ලිකාරයන් පිරිසක්යැ’යි සෙල්ලං ඇමති කනා බල්ලන්ට ගසන්නාක් මෙන් හතර අත වනමින් එක් එක් ක්‍රීඩකයන් පන්දුවකට ගන්නා මිල පවා ගණන් හදා කියන තැනට පත්විය. මේ කාගේ ඉගැන්නුම් බහටද යන්න අපට නම් අමුත්තක් නොවේ. අවසානයේ ක්‍රීඩා ඇමති ක්‍රිකට් ආයතනයේ මාධ්‍යය ප්‍රකාශක විය. ඔහු ඒ ඩියුටිය නම් අපූරුවට කළේය.
අද වත්මන් තත්ත්වය කියනු වෙනුවට ඔහු කරබාගෙන සිටී. ඒ අද වන විට ඔහු සතුව පිටපත් නැති බැවිනි. ක්‍රිකට් ආයතනය ඇමැත්තාගේ වැඩ ගෙන අහවරය.
අද වන විට ක්‍රිකට් ආයතනයේ සේවයේ නියුතු සේවකයන් මෙම වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට පළාත් ක්‍රිකට් සංගම්වලට අනුයුක්ත කිරීමට නියමිතය. ඊට එරෙහිව ජනපති හා අගමැති දැනුවත් කිරීමට ද ඒ අය නියමිතය. එලෙස දැනුවත් කිරීමට නියමිතව ඇත්තේ මෙරට ක්‍රීඩාංගණයක සේවයේ නියුතු සේවකයන්ගේ දුකය. එය ක්‍රීඩා ඇමැත්තා ළඟට නොයා ජනපති-අගමැති දක්වා යනුයේ අද වනවිට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රීඩා ඇමතිවරයා නාමික තනතුරක් වී ඇති නිසාය. ක්‍රීඩා සංගම් පවා ඔහු කෙරෙහිවත් ඔහුගේ යටතේ සිටින නිලධාරීන් කෙරෙහිවත් විශ්වාසය නොතබයි.
සංගම් ගණනාවක පිරිස් අප සමඟ නිතර පවසා ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් හමුවීම පවා අග මැති-ජනපති හමුවනවාට වඩා වෙහෙසකර බවය. එලෙස හමුවුවද ඔවුන් දෙපළ මෙළෝ දානයක් නොදන්නා බවය. එබැවින් ක්‍රීඩා ගැටලු ගෙන ක්‍රීඩා අමාත්‍යාංශයට යෑම ඔවුන් නතර කර ඇත.
ක්‍රීඩා ඇමතිවරයා හැඩවැඩ වී මාධ්‍ය හමුවේ සංදර්ශන පවත්වනු හැර ක්‍රීඩාවේ සුබ සිද්ධියට ගනු ලබන තීන්දුවක් නැති බව ඒ සැමගේ මතයය. ඔවුන් දැන් අලුත්ගමගේ හොඳයි කියන තැනට තල්ලු වී ඇත. අලුත්ගමගේ යනු ක්‍රීඩාව විනාශ කළ නරකයෙකි. මොහුට වඩා ඔහු හොඳයි කියනුයේ නම් වත්මන් ඇමතිගේ තරම ඉන් මැන ගත හැකිය.
ක්‍රිකට් ආයතනයේ පිට්ටනි ගණනාවක වැඩ කරන සේවකයන් ජනපති-අගමැති සොයා යනුයේ මේ නිසාය.
ජනපති සහ අගමැතිට මොවුන් යොමු කළ ලිපියෙහි සඳහන් වනුයේ කොළඹ ආර්. ප්‍රේමදාස, රංගිරි දඹුල්ල, පැල්ලේකැලේ, සූරියවැව, කුරුණෑගල, වෙලගෙදර, මග්ගොන සරේ යන ක්‍රීඩාංගණවල නියුතු සේවකයන් මෙම තීන්දුවට විරුද්ධ බවය. මොවුන් වසර 10-15 එම ක්‍රීඩාංගණවල සේවය කරන අයය. ඔවුන්ගේ එම සේවා කාලය පිළිබඳ නිසි තැකීමක් නොකොට නව සේවකයන් ලෙස වසරක කොන්ත්‍රාත් කාලයක් ලබාදීම ඔවුන්ට කරනු ලබන අසාධාරණයක් බවය.
මෙහි ඇති පුදුම සහගත දේ නම් 2016-12-16 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී එම සභාපති තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට්වල වයස අවුරුදු 45ට අඩු අවුරුදු 5ක සේවා කාලයක් සපුරා ඇති සියලුම සේවකයන් ඇගයීමට ලක්කර සේවයේ ස්ථිර කරන බවට පොරොන්දු වී මෙලෙස ක්‍රියා කිරීමයි. මේ දේශපාලකයන් ක්‍රීඩා සංගම්වලට රිංගූ කල වන ඇබැද්දියය. මන්ද බොරු පොරොන්දු ඔවුන්ට කජු කන්නාක් මෙන් වන නිසාය.
සේවකයන් ලෙස ඔවුන්ට වන අසාධාරණ කරුණු හතකට ගොනුකර ඇති මෙම පිරිස එම ලිපි ක්‍රිකට් ආයතනයේ සභාපතිට සහ ක්‍රීඩා ඇමතිටද යොමු කොට ඇත. ක්‍රිකට් සභාපතිවරයාම සිදුකරන ක්‍රියා ඔහු ලවාම නිවැරදි කරගැනීම ඵලරහිත බවත් සුමතිපාල මහතාට එරෙහිව ක්‍රීඩා ඇමතිවරයාට රපෝර්තු කිරීම නොමනා බවත් මොවුන් දන්නා මුත් සාම්ප්‍රදායික ක්‍රමය අනුව යමින් එම තනතුරුද දැනුවත් කර ඇත.
මෙහි අනෙක් අතට වන වැඬේ නම් මොවුන් මෙලෙස ඉවත් කර එම තැන්වලට ක්‍රිකට් ආයතනය තම හිතවතුන් දැමීමය. මින් මත්තට පළාත්වලින් මෙම ක්‍රීඩාංගණ නඩත්තු වන්නේයැ’යි කියමින් තම හිතවතුන් කොළඹ සිට එම ක්‍රීඩාංගණවල ප්‍රධානීන් කොට පත් කොට යවති. මේ සෙල්ලම අන් කිසිවක් නොව එම ක්‍රීඩාංගණ නංවන්නටයැ’යි කියමින් පළාත්වලට දෙන විශාල මුදල් කන්දරාව එහා මෙහා කිරීමටය. දැන් ක්‍රිකට් ආයතනයේ සිදුවන්නේ ක්‍රිකට් නොව අමුතු දාම් ඇදීමක්ය. අනාගත ක්‍රිකට් නිලවරණවලදී ඡන්ද ලබාගැනීමට ගුණ්ඩු දැමීමක්ය.
ක්‍රිකට් දියුණු වුවද නැතිද මේ අයට අදාළ නොවේ. මොවුන්ට අදාළ බලයේ සිටීම පමණය. ඒ සඳහා කළයුතු දෑ ඕනෑවටත් වඩා අපූරුවට කරගෙන යමින් සිටී.
ජයන්ත ධර්මදාස මහතා මුල් කාලයේදී තිලංග විරෝධී මාවතක යමින් යටිකූට්ටු වැඩ කළමුත් ඔහු ද දැන් එක මල්ලේ පොල් බවට පත්වී ඇත. හැම අත්තකටම ගැසිය යුතු බව සුමතිපාල දනී. ඛෙත්තාරාම නව ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමේ කොන්ත්‍රාත්තුව යනුයේ නවලෝක කන්ස්ට්‍රක්ෂන්වලට නම් අප පුදුම විය යුතු නැත. එහෙත් ක්‍රිකට් ආයතනයේ තනතුරු දරමින් එලෙස කොන්ත්‍රාත් දැමිය හැකිදැ’යි සදාචාරමය ප්‍රශ්න කිරීමක් කළ යුතුවද ඇත.
සුමතිපාල මහතා ක්‍රිකට් සභාපතිකමට එනුයේ වත්මන් ජනපතිගේ පූර්ණ ආශීර්වාදයෙනි. එසේ නම් මේ සිදුකරනු ලබන සියල්ලට ඔහු දැන් එරෙහි විය හැකිද යන පැනය ඉතිරි වේ. ජනපති අපේක්ෂකයා ලෙස වත්මන් ජනපති පතුරු ගැසූ දයාසේකර ක්‍රීඩා ඇමති ලෙස පැරචුට් එකකින් බැස්සවූයේද ජනපතිමය. ක්‍රීඩාව ගැන එතරම් නොතකන ජනපතිට මේ දේපළ කුමක් කළද එතරම් වැදගත් නොවනු ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගැනීමට කොටින්ම ජනපතිගේ ප්‍රතිරූපය නැංවීමට මේ ගොබේල්ස් හඬවල් අවශ්‍ය බැවිනි. එබැවින් මේ දෙපළ කුමක් කළද එහි වරදක් දකිනු ඇත්ද යන්න නොදැනේ.
ක්‍රිකට් තරග පරදින විට ක්‍රිකට් අනාථයි යන්නට කතා කීම විකාරයකි. තරග පැරදීම ජය ගැනීම ඕනෑම ක්‍රීඩාවක ස්වභාවයය. එහෙත් පරිපාලනයන් විකාර නටන විට නිහඬව සිටීම සමස්ත ක්‍රිඩාවම වළපල්ලට යැවීමකි. එය ක්‍රීඩාවේ හැම ක්ෂේත්‍රයකම සිදුවෙමින් පවතී. එය ඉක්මන් කරවන නළුවෙකුද ක්‍රීඩාවට පත්කර ඇත. දැන් ක්‍රීඩාව සෙල්ලමක් වී ඇත. සෙල්ලම ලෙල්ලම වන තෙක් ජනපති-අගමැති කිසිවක් වටහා නොගන්නවාද ඇතිය. ඉන්පසුද කොහෙත්ම වටහාගනු නැති බවද ස්ථිරය. ක්‍රීඩාව ආශ්චර්යයක් වන්නට ගොස් බේරුණේ අන්තිම අමාරුවෙනි. එය යහපාලනය තුළින් නම් පල්ලටම ඇද වැටෙනු ඇත. දැන් අප අත්පුඩි තලමුද? විසිල් කරමුද? අපට මෑතකදී පත්වන ක්‍රීඩා ඇමතිවරුන්ගෙන් දැක බලාගැනීමට සිදුව ඇත්තේ වඩා හොඳටම ක්‍රීඩාව කරන්නේ කවුද යන්නය. ජයග්‍රාහී කාබාසිනියා කවුද යන්නය. ඒ තරගය විවෘතය. වත්මන් ඇමති නිතරගයෙන් ජයගන්නටද ඉඩ ඇත. කුමක් වුවද ඔහු එවිට ජයග්‍රාහකයකු වනු ඇත. දැන් අලුත්ම මෝස්තරය එයය.■