සූටින් මාටින් පන්නයේ වැඩ


sootin

රජිඳු කාශ්‍යප

දකුණු අප්‍රිකාව සමඟ පැවැති විස්සයි/20 ක්‍රිකට් තරගාවලිය 2-1ක් සේ ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. මේ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ඉඩෝරයට වට මල් වැස්සකි. කණ්ඩායම නියෝජනය කළෝ වැඩි හරියක් යොවුන් ක්‍රීඩකයෝ ය. ඇතැමුන් ඉවත දමා සිටිය වුන් ය. මොවුන්ගේ දක්ෂතාව දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලාංකිකයන් එරට දී ලැබූ පළමු තරගාවලිය ජයග්‍රහණය ද වේ.
ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔවුන්ට තුති පිදිය යුතු ය. නැවතත් ක්‍රිකට් ප්‍රේක්‍ෂකයන් ක්‍රීඩා පිටියට නැඹුරු කිරීමට ඒ ජයග්‍රහණය තරමක තෙරපුමක් විණි. දැන් ඉදිරිය ජය ගත යුතු ය. ඒ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියයි.
තරගාවලිය සෙනසුරාදා (28) පැවැත්වේ. දැනටමත් කණ්ඩායමේ නායකත්වය නැවත වතාවක් 31 හැවිරිදි උපුල් තරංග වෙත පිරිනමා ඇති අතර ඇන්ජලෝ සමඟ මෙරට පැමිණි අය වෙනුවෙන් යොවුන් ක්‍රීඩකයන් තිදෙනෙකු කණ්ඩායමට එක්කර ඇත.
තරගාවලිය තරග 5කින් සමන්විත ය. අපේ ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තෝර තෝරා සිටිද්දී දකුණු අප්‍රිකානුවන්ගේ බලා පොරොත්තුව තවත් වසර 10කට පසු පැවැත්වීමට යෝජිත ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමට හැකි කණ්ඩායමක් ඉලක්ක කර ගනිමින් කණ්ඩායමක් ඉදිරිපත් කිරීම ය. එය ඔවුන් සිතන ආකාරයට දැනටමත් සාර්ථක ව ඇත. ඔවුන් පවසන ආකාරයට එකී ඉලක්කය ජය ගැනීමට හැකි කණ්ඩායමක් ඔවුන් සතු ය.
එරට පාලකයෝ ක්‍රිකට් වෙනුවෙන් එවැනි තීරණයන් ගත්ත ද අපේ පාලකයන්ගේ උත්සාහය ඉදිරි වසරේ දී ද ක්‍රිකට් පාලනය තමන් වෙත තබා ගැනීම ගැන ය. තනතුර රැක ගනිමින් සුරක්ෂිත වීමට හැකි වාතාවරණයක් සැකසීම ය. ඒ අනුව ඔවුහු මේ වනවිට ද ක්‍රියාත්මක වෙමින් සිටිති. ඒ සූටින් මාටින් පන්නයේ ව්‍යාපෘති හඳුන්වා දෙමිනි. දැන් සූටියාගේත් මාටියාගේත් අදහස් පත්තු වෙමින් පවතින කාලයයි.
ඒ අනුව ය, පසුගිය දා පැවැති අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මැදිවියේ පසුවෙන ඉහළ පොලිස් නිලධාරියෙකු තමන්ගේ මංගල පළමු පෙළ තරගයට සහභාගි වෙන්නේ. එය ඔහුගේ දක්‍ෂතාවක් මත කණ්ඩායමට නම් කිරීමක් නම් නොවේ. මෙය ක්‍රිකට් මහගෙදර තනතුරකට ඉව ඇල්ලීමක් බැව්ය කාගෙත් පැවැසීම. එය මේ වනවිට නොදන්නා කෙනෙක් ද නැත.
අදාළ නිලධාරියාට ක්‍රිකට් නිලධාරීන්ගේ සේ ම ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද සමීප ඇසුර ඕනෑවටත් වඩා ඇති බැව් ආරංචි ය. එපමණක් ද නොවේ, දේශපාලනයේ ද සමීප ඇසුර ඕනෑවටත් වැඩි ය. හෙට අනිද්දා දිනයක මේ නිලධාරියාට ක්‍රිකට් මහගෙදර තනතුරක් හිමිවේ නම් අප ඊට පුදුමයට පත් විය යුතු ද නැත. මේ චරිතය ඒ තරමටම ක්‍රිකට් මහගෙදරට සමීප ය. මේ නම් මෙගා පොලිස් පන්නයේ ව්‍යාපෘතිකයක ආරම්භයකි.
මෙවැනි ම දෙයක් මීට පෙර මහින්ද රාජපක්ෂ දශකයේ ද සිදුවූ අයුරු මතකය. ඒ වරාය කණ්ඩායමට ප්‍රියත් බන්දු ක්‍රීඩා කළ අයුරු ය. ඒ රාජපක්ෂ වැඩිමලාගේ ක්‍රිකට් අවශ්‍යතාවන් වෙනුවෙන් බැල මෙහෙවරකම් කිරීම අරමුණු කර ගනිමිනි. වාසනාවකට එකී අඳුරු සැලසුම් වසර දෙකකට පෙර ජනවාරියේ ව්‍යර්ථ කර දැමීමට මෙරට ජනතාව සමත් වූ හ.
කනගාටුවට කරුණ දැන් දැන් නැවත කරළියට ගෙන ඒමට දඟලන්නේ ද එකී ව්‍යාපෘතිම වීම ය. මේ පිටුපස සූටින් මාටින්ලා සේ ම ඔවුන් පසුපස සිටින බොහෝ දෙනෙක් ම සිටිති. ඔවුන් දඟලන්නේ තම අභිමතාර්ථයන් වෙනුවෙන් පෙනී සිටීම හැර ක්‍රිකට් අනාගතයක් වෙනුවෙන් ස්ථිරසාර ගමනකට අඩිතාලම දැමීම නොවේ.
දැනට ආරංචිය අනුව මේ වනවිට යටපත් ව ඇති ක්‍රිකට් ඒඞ් ව්‍යාපෘතිය පෙර ලෙසින් ම යළි කරළියට ගෙන ඒමේ සූදානමක් පවතී. එය මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය කාරණයක් සේ සලකා කටයුතු කරන ආකාරයක් ද දකින්නට තිබේ. මේ හරහා සංසරණය කිරීමට බලාපොරොත්තු වන හා සංසරණය වනු ඇතැයි අපේක්ෂිත මුදලෙහි අගය මේ ව්‍යාපෘතිය කරළියට ගෙන ඒමට මූලික ව ඇත.
දැනටමත් ක්‍රිකට් ආයතනය වෙනුවෙන් බොහෝ දෙනෙක් ඉහළ තලයේ වැටුප් ගෙවීමේ පදනම මත බඳවා ගෙන තිබේ. තවත් අය වෙත බඳවා ගැනීමේ පොරොන්දු ලබා දී තිබේ. කොටින් ම තිලංග වෙනුවෙන් ක්‍රිකට් ඡන්දයට වෙහෙසුණ බොහෝ දෙනෙක් මේ වනවිට ක්‍රිකට් මහගෙදරින් වැටුප් ලබන්නෝ ය. නොමැති නම් තමන් විසින් කරනු ලබන සේවයක් වෙනුවෙන් දීමනා ලබන්නෝ ය. මේ වැටුප්, දීමනා මෙගා ගණනිනි.
මේ කළගුණ සැලකීම වටනේ ය. ඒ තිලංගගේ ක්‍රිකට් සහ දේශපාලන අනාගතය වෙනුවෙනි. එහෙත් එය ක්‍රිකට් වෙනුවෙන් ඈඳා ගැනීමක් නම් පෙනෙන්නටවත් නැත.
අපට ක්‍රිකට් දියුණු කර ගැනීමට නම් දකුණු අප්‍රිකාවෙන් ඉගෙන ගත හැකි ය. ඉහත දැක්වූ ආකාරයට දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලකයෝ දශකයක් ඉදිරිය ගැන සිතා කටයුතු කරන විට මෙරට පාලකයන්ගේ සිතුවිල්ල වී ඇත්තේ තවදුරටත් බලයේ සිටීමක් ගැන ය. ක්‍රිකට් පෙට්ටගමේ ධනයෙන් තමන්ගේ පොකට්ටුව පිරැවෙන ආකාරය ගැන සිතීම ය.
මේ සූටින් මාටින්ගේ පන්නයේ ‘ක්‍රිකට් ජෝගියක්’ම මිස අන් දෙයක් නම් නොවේ.■