රාවය

අධ්‍යාපනයේ විප්ලවය විදුහල්පතිවරුන්ටත් අදාළද?

අධ්‍යාපනයේ විප්ලවය විදුහල්පතිවරුන්ටත් අදාළද?

තරිඳු උඩුවරගෙදර

ලංකාවේ අධ්‍යා පනය යනු අවුල් ජාලාවක් බව අමුතුවෙන් කිවයුතු නැත. මේ අවුල ලිහන්න ගන්නා උත්සාහයන් ඊටත් වඩා අවුලක් බව පෙනේ. මේ උත්සාහයන් සැබෑ උත්සාහන්ද? පහුගිය අයවැයේදී අධ්‍යාපනයට වැඩි ප‍්‍රතිශතයක් වෙන්කළේයැයි ආණ්ඩුව කීය. එහෙත් සිදුවූ දෙයක් නැත. මහින්දෝදය වැනි සංදර්ශන වෙනුවට ළඟම පාසල හොඳම පාසල වැනි සංදර්ශන මතුවීම හැර විප්ලවයක් සිදුවූයේ නැත. නිර්භීත තීරණ ගත්තේද නැත. අධ්‍යාපනයට පිළිලයක් වූ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා මාරු කර යැවීමත් නිල ඇඳුම් වෙනුවට වව්චර් දීමත් හැර තීරණාත්මක තීන්දු ගත්තේද නැත. මවකට ඒඞ්ස් ඇතැයි කියමින් දරුවකුට පාසල අහිමි කළ මොහොතේ අධ්‍යාපන ඇමතිවරයා හැසිරුණේ ගෝත‍්‍රික රාජපක්ෂලාට කිසිසේත් නොදෙවනි පිළිකුල්සහගත ආකාරයකටය. අවසානයේ පෞද්ගලික පාසලකට යන්නට දරුවාට සිදුවිය. ගැටලූව නම් වසරකට පෙර යහපාලන විප්ලවය අධ්‍යාපනයේ විප්ලවයක් කළේද යන්නයි. පිළිතුර නම් කිසිවක් සිදුව නැති බවයි.

අධ්‍යාපනයේ කළයුතු වෙනස්කම් අතර ප‍්‍රමුඛත්වයේ ඇත්තේ විදුහල්පතිවරුන් සම්බන්ධ අවුලයි. වත්මන් අධ්‍යාපන ක‍්‍රමය විසින් විදුහල්පතිවරුන් බිස්නස් කාරයන් බවට පත්කර ඇත්තේය. පැරණි බිස්නස් යහපාලනය යටතේද සිදුවන බව නොරහසකි. එහෙත් විදුහල්පතිවරුන් කිහිපදෙනෙකු මාරු කළ දූෂණ චෝදනා ඇති නිලධාරීන් අමාත්‍යාංශයට හෝ පළාත්, කලාප අධ්‍යාපන කාර්යාලවලට අනුයුක්ත කරගැනීම හැරුණුකොට විප්ලවයක් සිදුවී නැත. දේශපාලන පළිගැනීම් ලැයිස්තු යැයි කියමින් පත්කළ අතිශය බහුතරය දේශපාලන ගැත්තන් බව නොරහසකි. ඒ බව අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අයනු ආයනු කියවන්නෝ පවා පිළිගනිති. මේ කුමන යහපාලනයක්ද?

අධ්‍යාපනයේ සිටින ලොකුම යහපාලන විරෝධීන් වන්නේ ජනප‍්‍රිය පාසල්වල විදුහල්පති වරුන්ගෙන් බහුතරයයි. බහුතරය යැයි කියා හිස්තැනක් තැබුවේ හොඳ නිලධාරීන්ද සිටින නිසාය. ජනප‍්‍රිය පාසල්වල විදුහල්පතිවරු පාසලේ ආදි ශිෂ්‍ය සංගම්, පාසල් සංවර්ධන සමිති අල්ලාගෙන දූෂණයේ රසය විඳින්නෝය. මෙය වෙනස් කිරීම අධ්‍යාපනයේ සිදුවන විප්ලවයක ප‍්‍රධාන අංගයක් විය යුතුය. එහෙත් ඒ සම්බන්ධයෙන් මේ ආණ්ඩුව තවමත් තීරණාත්මක තීන්දුවක් ගෙන නැත.

රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා ඉවත් කළ නමුත් එහි ගැටලූ තවමත් නැවතී නැත්තේය. රාජකීය විදුහල්පතිවරයාගේ වැරදි පෙන්වා අසාධාරණයට ලක්වූ නියෝජ්‍ය විදුහල්පතිනියකගේ දරුවා තාමත් රාජකීය විද්‍යාලයේ හිඳිමින් දරුණු අසාධාරණයන්ට මුහුණ දෙන්නේ ඒ නිසාය. මෙවර රාජකීය විද්‍යාලයේ වර්ණ ප‍්‍රදානෝත්සවයේදී එම දරුවාට හිමිවිය යුතුව තිබුණු, එම දරුවාට හිමිවිය යුතුයැයි නිර්දේශ කර තිබුණු රෝයල් ක‍්‍රවුන් සම්මානය ඔහුට ලබා නොදී ඇති අතර එය දරුවා මානසිකව වැට්ටවීමට හේතුවී ඇත. එම දරුවා කුඩා කාලයේ සිටම ලියුම්කරු හඳුනන අතර ඉතා දීප්තිමත් දරුවකුට හිත්පිත් නැති අසාධාරණයන්ට මුහුණ දෙන්නට සිදුව ඇත්තේ මේ ක‍්‍රමයේ වෙනසක් සිදුව නැති නිසාය. තවමත් රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරු පස්දෙනෙක් තමන් මාරුකර යවන ලෙස නියෝග කර තිබියදීත් සේවයේ කටයුතු කරන්නෝය. මෙම නිලධාරීන් පස්දෙනාගේ වැටුප් නවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිඛිත නියෝග තුනක් නිකුත් කර තිබියදී මේ මාසයේ වැටුපද ගෙවීමට කටයුතු කර ඇත්තේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝග නොතකකමින් මේ අධ්‍යාපනයේ විප්ලවය කරන හැටිද?

ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයට පත්කර ඇති විදුහල්පතිවරයා වන සම්පත් වේරගොඩ මීට පෙර ප‍්‍රින්ස් ඔෆ් වේල්ස් විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළ නිලධාරියෙකි. ඔහු එම තනතුරෙන් මාරු කර යැවූ අතර ඒ සම්බන්ධයෙන් ඔහු අධිකරණය හමුවට ගියේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකින් පසුව ඔහු වැඩබලන විදුහල්පති තනතුරකටවත් පත් නොකරන ලෙස නියෝගයක් ලැබී තිබුණි. ඔහුට දැරිය හැක්කේ අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි ශ්‍රේණියේ තනතුරක් පමණි. එහෙත් දැන් ඔහු ප‍්‍රධානම පාසලක විදුහල්පතිවරයකු ලෙස කටයුතු කරන්නේය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ විසින් 2016 වර්ෂය සඳහා පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී දූෂණයේ යෙදී ඇති බව විගණන විමසුම් සහ වාර්තා කිහිපයකින් පෙන්වා දී ඇතත් ඔහු මාරුකර යැවීමට තවමත් හැකිවී නැත. ඒ ඔහු මාරුකර යවන ලෙස ලිඛිත නිර්දේශ සහ නියෝග නිකුත් කරමින් තිබියදීය. අධ්‍යාපන ඇමතිවරයාට එසේ සිදුකරන්නට නොහැකි වී ඇත්තේ පාර්ලිමේන්තුවේම සිටින ආදි ආනන්දයීයයන්ගේ බලපෑම් නිසාය. කථානායකවරයාද ලියුම්කරු සමඟ කීවේ එම විදුහල්පතිවරයා මාරු කර නොයවන ලෙස මන්ත‍්‍රීවරුන් රැුසක් තමාගෙන් ඉල්ලා සිට ඇති බවත් පැය විසිහතරෙන් නිලධාරීන් මාරු කර නොයවා පරීක්ෂණයක් කොට මාරුකිරීම සිදුකරන ලෙස තමා අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි බවත්ය. කථානායකවරයා කියන්නේ හිතුමතේට හදිසියේ නිලධාරීන් මාරුකර යැවීම යහපාලනයට නොගැළපෙන බවයි. එහෙත් සැබෑ කාරණය පාර්ලිමේන්තුවේ සිටින ආදි ශිෂ්‍යයන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතුවලට අනවශ්‍ය ලෙස ඇඟිලි ගසමින් මේ දූෂණ චෝදනා ඇති නිලධාරියෙකු ආරක්ෂා කරන බවයි.

ජනප‍්‍රිය පාසල් සංකල්පය ලංකාවේ ජන විශ්වාසයක් ලෙස සමාජය තුළ මුල් බැසගෙන ඇත්තේය. කුමන ආණ්ඩු ඇවිදින් කුමන වෙනස්කම් කළත් මේ රටේ බලය හොබවන දහස් ගණන් වන ජනප‍්‍රිය පාසල් ආදි ශිෂ්‍යයෝ තම තමන්ගේ පාසල් වෙනුවෙන් පෙනී සිටින්නෝය. ඒ පාසල්වල ඇති පහසුකම් ඉහළ තත්ත්වයේ තිබෙන්නේය. කළයුත්තේ ඒ පහසුකම් පරිභෝජනය කිරීමේ අවස්ථාව ධනය බලය ඇති එක්තරා පන්තියකට පමණක් සීමාවී තිබෙන තත්ත්වය වෙනස් කිරීමයි. ඒ වෙනුවෙන් විදුහල්පති මාෆියාව වෙනස් කළ යුතුය.

ඉහත කී ආකාරයේ ගැටලූ බොහොමයක් තවමත් අධ්‍යාපනය වසා පැතිර ඇත්තේය. සිදුවීම් ලෙස ඒවා කීමට වඩා ආණ්ඩුව කියන ලෙසටම මහා විප්ලවයක් අත්‍යවශ්‍ය වී ඇත්තේය. විශේෂයෙන් දූෂිත නිලධාරීන් සම්බන්ධයෙන් වෙනසක් අත්‍යවශ්‍ය වී ඇත. ආණ්ඩුව කයිවාරු ගැසීම වෙනුවට ඒ කියන වෙනස සිදුකිරීම අතිශයින් වැදගත්ය.