රාවය

සීත සළු දවටං රිවර්ස්ටර්න් අපි එනකං මග බලං

සීත සළු දවටං රිවර්ස්ටර්න් අපි එනකං මග බලං

කේ. සංජීව

ගල්ගමුව ගිනි පෙට්ටි පාලම ළඟින් කන්ද බලලා පාලම ළඟ පෙට්ටි කඩෙන් ඉරිඟු කරලක් ගිලලා කඬේ අක්කාගේ සිරික්කියත් විඳලා හීන් ගඟේ බැහැලා, හීනියට නාකියාගෙන, හීනියටම සුලුගුනේ ගමෙත් කරක්ගහලා, හීනියට අඩියක් දෙකක් ගහලා, මූණට එබෙන කන්ද හීනියටම නැගලා අලිකැලේ හක්කලන් ගහලා කොරලා ගල මුදුනට වැඩිය හැටි, ඊළඟට වැල්ගාලට ගිය හැටි මතක් වෙනවා. සීත සුළඟ මුහුණේ වැදිලා ඈතට යන්න යනවා. අහලින් ගලන ගඟ තවම කවි කියනවා. අපි පදවැලක් වෙලා ගඟ අස පාලමේ යකඩ ඇන්දට බාරදීලා ඒ කවිය අහගෙන ඉන්නවා. ගල්වල හැපිලා බිඳෙන සුදු පෙණ වතුර බුබුළු හරියට ජීවිතය වගෙයි හිතෙනවා. අපි ඉන්න පාලම ළඟින් පහළින් ගඟ වක්වී ගලනවා. සුළියකින් ලස්සන වෙලා කැරකිලා ඇවිත් යන්නම් එහෙනම් කියනවා. ඒ කඳු හරි සීතයි. ප්‍රේමයට වගේම ජීවිත වින්දනයටත් මාරයි කියලා කී ගාන ගමන් ගඟ ලස්සනට ගලනවා, මුහුද හොයාන.
මේ කඳු මාරයි. විල්ගමුවට ළඟ ගිනිපෙට්ටි පාලම ළඟින් බැහැලත් සුලුගුනේ හරහාත් නැග්ගේ මේ කඳු වළල්ලටමයි. ඒ එක පැත්තක්. ඊළඟට නුවරින් දුම්බරට ඇවිත් පහළට පෙරළිලා වියන්ගල උඩගල දෙබොක්ක කඳු දිහා බැලුවෙත් ඇවිද්දෙත් මේ කඳු වළල්ල මතමයි. ඒ තවත් පැත්තක්. ඊළඟට මේ යන්නෙත් ඒ කඳු සිරස මතමයි. මේ කඳු දුම්බර කඳු. නැතිනම් නකල්ස් කඳු. අපි දැන් මේ ඉන්න යකඩ පාලමට එන්න නුවර පනින්න ඕනෑ. මාතලේ ඉඳලා රත්තොටට එන්න ඕනෑ. ඊළඟට ඉතිං ඉලුක්කුඹුර බස්සේක නගින්න ඕනෑ. අපි කලින් සතියක ගිය මාඋස්සාගොල්ලට ළඟයි මේ ඉසව්ව. අපි නගින්න දඟලන සීතල සළුවක් දවටගෙන අපි එනකම් මග බලන, සිතිජය වගේ අපි එනකොට ඈතට ඈතට විසිවෙන, මොකද්දෝ සුන්දර හැඟීම තමයි රිවස්ටර්න්. මේ නම හැදුණේ සුද්දෝ මේ කඳු අස්සේ කෝපි තේ ඉන්දන්න එනකොට මේ කට්ට හීතල හින්දා ඔවුන්ට ආයෙත් ගම රටට ගියා වාගේ ඇතිවුණ හැඟීම නිසා කියලායි කියන්නේ. බටහිර අහස යට ආයෙත් ඉන්නවා කියන හැඟීම තමයි මේ නම සුද්දාට දෙන්නේ. දැන් ඒක තමයි රෙජිස්ටර්.

දුම්බර කන්ද
‘මේ මහකන්ද හොරැහින් බැලුවා මදෙස’ කියලා කියන සිංදුවක් මතකය පසාරු කරනවා. දුම්බර කන්ද දැක්කහම බඩ දන්න නම් අම්ලපිත්තය තියෙන්න ඕනෑ. අපොයි ලස්සන කියලා දුවගෙන ගිහිං කඳු මතට අඩියට දෙකට පනින්න තියෙයි නම් කියලා හිතෙනවා. ජීවිතය කවියක් වෙන්න මේ වගේ කඳු තැනි මත්තේ ඒකට දිගේලි වෙන්න ඉඩ දෙන්න ඕනෑ. මේ කඳු අපි දිහා හොරෙන් වගේ බලන කොට අපිට අපේ පළවෙනි පෙම්බරිය මතකයට එනවා. ඊළඟට අපි සීතලත් එක්ක ඒ හැඟීමේ බැඳෙනවා. හැබැයි ඒ බැඳීමම තමයි මේ කඳු කඩා දාන්නේ. පොලිතීන් කඳු මේ කඳු වසාගන්නේ ඒ ආදරයට පිංසිද්ද වෙන්න. ඒ නිසා ආදරය විඳිනකොට අපි ටිකක් සංස්කෘතික වෙන්න ඕනෑ. මේ කඳු මත්තේ පුංචි පුංචි රුධිර නාල සිංදු කියන කඩා වැටෙන නළියන දියකඳුරු හරස් කරලා පුංචි පුංචි ටර්බයින් අටවනකොටත් අපි ටිකක් හිතන්න ඕනෑ. මේවාගෙන් විදුලිය ආවත් ඒ හින්දා මේ කඳු මැරෙනවා. ඊළඟට හතු පිපෙනවා වගේ අටවන කතා කුලුනු. මේවාට කුළුණුබර හදවතක් නැහැ. මේ කඳුවල ලස්සන ඒ හින්දාම එයාලා එක හුස්මට දෙකට උරාගන්නවා.
ඉතිං හරි අපි දැන් රිවර්ස්ටර්න් යමු. මේ ගඟ සුළියක් කැරකිලා ආයෙත් අපේ මුහුණ බලනකොට අපි ආයුබෝවන් කිව්වා. නටන මාළු මාළු, පෙණ ඉහිරෙන වතුර කැටිති, තුරුපත් අස්සෙන් අස්සෙන් ගඟට පැනලා දිය නාන ඉරේලි කැටිති අපේ පය ආපස්සට අදිනවා. ආදරය හීනි ගුමුගුමුවකට හැරිලා අපිට පාර කියාදෙනවා. දුම්බර නැත්තම් නකල්ස් කියන්නේ ලංකාවේ පළවැනි සංරක්‍ෂණය කළ කඳුකර වන අරණ. උසට උසේ තරගයට අහසට ආදරය කරන මේ ළමා කැළගේ වපසරිය හෙක්ටයාරවලින් මැන් නොත් විසිඑක් දාහක් විතර.
නකල්ස් නුවර සහ මාතලේ දිසාවලට අයිතියි. රිවර්ස්ටන් මත්තට රත්තොට උඩින් පැන්නොත් රත්තොට හා ලග්ගල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ පසුවෙනවා. අපි කතා කෝටියක් එක්ක රිවර්ස්ටන් කණුව කියන ඉමට, කඳු තුඩුවට ආවා. පහළින් වටේටම කඳු බලං ඉන්නවා. අසලින් අධිසම්ප්‍රේෂණ කුලුන කුළුණුබරව සීතලේ නිරුවත්ව. පහළින් පිටවල පතනේ රටාවට නයා ගිය පාරේ අපි ආපු බස් එකද කොහේද රවුම් රවුම් රවුම් ගහනවා.

රොටි කමු
රිවර්ස්ටන් යන්න කලින් මීදුම බාන්න කලින් අපි රොටියක රස බැලුවා. පෙරහර පොළ වගේ පෙට්ටිකඩ පොකුරු පොකුරු කඳු සොයන පාරේ දෙපැත්තේ ඉඳලා අපිව සොයනවා. අපි මුලින්ම ගිය කඬේ දුම් දාන ළිපේ පස්ස ගහගෙන ඉන්න මුට්ටිය හෝස් හෝස් ගාලා හුස්ම පිඹිනවා. ඇතුළේ වතුර තාලෙට නර්තනයක. විටෙන් විටේ මුට්ටි පියන උස්සන නගාගේ මුහුණ බලන්න තමයි මේ නර්තනය කියලා හිතෙනවා. අපි වාඩිවෙනවා. රොටි එනවා. නගා පස්ස නටව නටවා පෙට්ටිකඬේ හැඩ කරනවා. රොටි නම් නගාගේ මුහුණ තරම් නැහැ. ගල්ගෙඩි වගේ. මට සිරිපාදේ රොටි මතක් වෙනවා. පොලුත් නැහැ. මට පොලු පාර ලැබුණත් කියලා කියන්න හිතෙනවා. දුම් දාන ළිප නගා ගේ මුහුණ… ඔන්න ඔහේ කනවා කියලා හිතට පොල්ලක් හරස් කරනවා. නගා පිටවල පතන වගේ සිනහා වෙනවා. අනේ ඉතිං යන්න එපැයි කියලා ආයෙත් රිවස්ටර්න් හොයන්න පාරට පනිනවා. ඒත් යන්නේ කොහොමෙයි?… නංගි මේ මොනවද මඩු පිටි කියන්නේ… මඩු පිටි කියන්නේ… අපි ලොකු කතාවක් පටන් ගන්නවා. කොහේද යන තවත් රංචුවක් පෙට්ටිකඬේ අස්සට කඩා වැටෙනවා. නගා කතාව අකුළන් කඬේට යනවා. මඩු පිටි කියන්නේ මඩු පිටි.. මම යන්න යනවා.. මාත් එක්ක ආපු අනික් එවුන් නක්කලේට හිනාවෙනවා.
ඊළඟට තවත් කඩයක්. කඩයක් කිව්වාට මේක වෑන් කඩයක්. වෑන් එකේ ඉස්සරහ පැත්ත කන්දට හරවලා පස්ස පැත්ත කඬේකට හරවලා. කොළපාටට බැදපු කරපිංචා තසිමක හිනාවෙනවා. මට නගා මතක් වෙනවා. එක එක සැම්පලේ වඬේ කඬේ හැඩ කරනවා. පරිප්පු වඬේ හැඩයි. වඬේ පොකුර කවරයට දාලා ඒකට උඩින් හළන බැදපු මිරිස් අහුර පංකාදු පහයි. පස්සේ බඩ දන්න වුණත් කනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?…. මේ කඩ පොකුරුවල ගොඩක් වෙළෙන්දෝ වතු දෙමළ. දැන් ගොඩක් තේ වතු කැලේ එක්ක හාදවෙලා. ඒ හින්දා මේ මිනිස්සුන්ට කොරන්න දෙයක් නැහැ. ඉතිං වඬේ, අඹ ටේස්, අල පෙති, වෙරළු ටේස්, අන්නාසි කෑලි කෑලි විකුණනවා. රිවර්ස්ටන් යන මිනිස්සු පරිසරය වින්දනය කරන්න මේ බිමට එන සුද්දෝ කල්ලෝ දැන් කලක ඉඳලා කඳු තරම්. ඒ හින්දා මේ දුප්පතුන්ගේ කල්ල මරේ. රක්ෂිතයට වදින්න කලින් පොකුරු පොකුරු නවාතැන්. හැබැයි මේ බිම විනාස කරන්නේ අපේ මිනිස්සු. පොලිතින් විතරක් නෙවෙයි යටට ඇඳගෙන ආ ඒවාත් මේ කැලේ වදුලේ දාලා ගිහිං.
ඊළඟට අපි රිවස්ටර්න් නැගලා, මිහිදුම් සීතල හොඳටම නාලා කරලා, පිටවල පතන දිහාට පල්ලම් බහින්න පටන් ගත්තා. මේ කියන්න යන, අපි වින්ද අත්දැකීම මේ කන්දට හැරුණ මුල ඉඳලාම අපි අඩු වැඩි විදිහට වින්දා. අඹ ගන්න වැඬේ ගන්න අනේ මගෙන් ගන්න වගේ දහසක් වචන එක්ක අඹ අන්නාසි වඬේ මලු එක්ක පාරට ආ පුංචි පුංචි කොලු රංචු හැම තැනම.
අපි එහෙම පොඞ්ඩෙක් එක්ක කතාවට වැටුණා. ඒ පිටවල පතනට හුස්මක් උඩින්. මට මතක විදිහට නම ක්‍රිෂ්ණන්. ක්‍රිෂ්ණා කිව්වාම දෙවි කෙනෙක්. මේ පුංචි එකා ඒ නමත් අරං පාරේ. ඉස්කෝලේ යනවද? ඔළුව වනනවා. අයියලා මල්ලිලා අක්කලා නංගිලා ඉන්නවද? ඔව්. කැඩුණු සිංහලෙන් උත්තර දෙනවා. දැන් වයස කීයද…. හතවසරේ ඉගෙන ගන්නේ. කොල්ලා උත්තර දෙනවා. රස්සාවට පාරට වැටුණු මේ බාල වයස්කාර ළමයි ගොඩ දෙනෙක් ඉස්කෝලේ දැකලාත් නැතුව ඇති, මට හිතෙනවා. ළමයින්ට රස්සා කරන්න නීතියෙන් ඉඩ නැහැ. හැබැයි මේ විදිහට අන්නාසි මල්ලක්වත් විකුණගත්තේ නැත්තං මේ සිහිල් සුළං එච්චර සිසිල් නැහැ. මේ කඳු පන්තිය කවියක් නම් මේ ළමයි ඒ කවියේ දුක්බර පදවැලක්. ක්‍රිෂ්ණන්ගෙන් අලපෙති බෑග් එකක් අරං අපි පිටවල පතන පැත්තට බහින්න පටන් ගත්තා. රක්ෂිතය අස්සෙම කැලේටම ගිය මාලිගාවක්. ඇත්තටම මේ මාලිගාව හදලා තියෙන්නේම මේ සුන්දර වනාන්තරය කඳු අස්සේ දියවෙලා යන විදිහට.

පිටවල පතනට අපි ආවා
අපි දැන් ඉන්නේ මට හිතෙන විදිහට ලංකාවේ තියෙන විශාලම පතන් බිමේ. ඇහැ පේන්නේ කොච්චර දුරද එච්චචර දුරට මානා යාය විකසිත වෙලා. සුළඟ එක්ක නිතරම කතාවක ඉන්න මේ පතන අපි පුංචිම පුංචි මිනිස් පොකුරක් කරලා අපිව අපි අස්සෙම හුදකලාවක තනි කරලා. පතනේගල, කවුඩාගම්මාන, කිරිගල් පොත්ත, ලහුමානාගල, ගොම්මානීය, නකල්ස්, තුන්හිස්ගල, වන්නිමාන, මානිගල, ලකේගල, කඳු වළල්ලක්.. අපි මැද. ඉතිං අපි කොච්චර මිටිද? මට හිතෙනවා. මානිගල, ලකේගල කියන්නේ මේ ඉසව්වේ තියන පැරණිම ගම්. මේ ගම්වල ජීවිතය සොයාගෙන වෙනම චාරිකාවක් යන්න තරම් වටිනවා. ලකේගල ගත්තොත් රාවණා කතාවත් එක්ක මාර විදිහට ගැටගැහිලා. රාවණාගේ රාජධානි බිමක් තමයි ලකේගල. ලග්ගල ලකේගල රාවණාගේ රාජධානිය කිව්වොත් ඊළඟට මේ ළඟින්ම තියන ඉමාඩුව කියන්නේ රාවණාගේ ඊ මඩුව තිබුණ තැන. ඊළඟට රණමුරේ… මේ ගම් කතා කෝටියක් සඟවගෙන මේ කඳු අස්සේ හැංගිලා. මේ කඳුවලට කතා කරන්න ඇහැක් නම් මේ කඳු මොනවා නොකියයිද? මට සිතෙනවා. අපි ලාක්ෂා සොයාගෙන මාඋස්සා ගොල්ලේ ගියැයි වගේ මේ කඳු අස්සේ ගම ගම ගියා නම් ගොඩාක් කතාබතා ඇහිඳින්න තිබුණා.
බිනරමල් පිපිලා කඳුළැස්ස නිල් මොනරලැස්ස අස්සේ වාඩිවෙලා හිනාවෙනවා. මේවා පිටවල පතනට ආවේණිකයි. ඊළඟට අංකටුස්සා පාට මාරු කරන්නේ නැතුව කළුවට පෙඳ පාසි බැඳුණු ගස් කඳක ඉඳගෙන ඔළුව වනනවා. ඌ නොනැසී ඉන්න ක්‍රමයක් හොයාගෙන. අපිත් එහෙමයි. කිතුල් ඇල්ල, සේර ඇල්ල, බඹරගිරි ඇල්ල වගේ දිය ඇලි සිනාසෙන ගැහැනු දරුවෝ වගේ මේ කඳු පොකුර ලස්සන කරනවා. හැබැයි ඉතිං පොඩි විදුලි ව්‍යාපෘතියක් ආවොත් සිනහව ඉවරයි. ලංකාවේ මිනිස්සු තවම මේ සොබා ලස්සන කියවාගන්න විඳින්න එච්චර දන්නේ නැහැ. ඒ හින්දා ලස්සන කන්නද කියලා දියඇලි නිහඬ කරනවා. කඳු හිස් අස්සේ කතා කුලුනු හිටවලා අනේ දැන් අර කන්ද ලස්සන නැහැ නෙහ් කියලා විපිළිසර වෙනවා. ලංකාවේ ප්‍රධාන කඳු වළලු තුන ගත්තොත් ලස්සනම මේ දුම්බර නකල්ස් කඳුවැටියද කියලා මට හිතෙනවා. රිවස්ටර්න් පිටවල පතන ඊට වටේ ඉන්න කඳු ඒ අස්සේ හුස්මගන්න ගම් මිනිස් ජීවිත අරුමයි. විසිතුරුයි. ලස්සන කවියක් වගෙයි.
ඉතිං එන්න මේ කවිය රසවිදින්න… පිටවල පතනේ එහා කොණේ ලංගම බසය පෙනෙනවා. මෙතැනට එන්න කොච්චර වෙලා යයිද මාමා?.. පැය බාගයක්… අම්මෝ.. වාඩිවුණා. දැන් පතනයි අහසයි අපියි විතරයි.■