සාම්ප්‍රදායික කූත්තු නාට්‍ය කලාව විනාශවෙලා ඉවරයි | බර්ක්මන් ජෙයරාජා


kutthu

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

කූත්තු යනු සාම්ප්‍රදායික දමිළ නාට්‍ය කලාවකි. ප්‍රධාන වශයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රචලිත නාට්‍ය කලාවක් වන මෙය ලංකාවේ ද දමිළ ප්‍රජාව අතර ප්‍රචලිතව තිබූ සාම්ප්‍රදායික නාට්‍ය කලාවකි. සිංහල කෝලම්, සොකරි සහ දමිළ කූත්තු ශෛලීන් අතර යම් යම් සමානකම් ද දැකිය හැකිය. දමිළ කූත්තු සහ සිංහල නාඩගම්වල නිර්මාණාත්මක සංකලනයන් ලෙස එදිරවීර සරච්චන්ද්‍රගේ මනමේ සහ සිංහබාහු නාට්‍යයන්ගේ එන සටන් ජවනිකා දැක්විය හැක. බර්ක්මන් ජෙයරාජා යනු යාපනයේ සාම්ප්‍රදායික කූත්තු කලාවේ දැනට සිටින ප්‍රවීණයෙකි. ඔහු අපට හමුවන්නේ යාපනය රංග කලා කේන්ද්‍රයේ (තිරුමරයි කලා මන්රම්) දීය. මේ ඔහු සමඟ රාවය කළ සංවාදයක සටහනකි.

අද ඔබ සාම්ප්‍රදායික කූත්තු නාට්‍ය කලාවේ ගුරුවරයෙක්. ඔබේ ජීවිතය කූත්තු කලාව සමඟ සම්බන්ධ වෙන්නේ කොහොමද?
1969 දී වගේ තමයි මම සෘජුවම කූත්තු නාට්‍ය කලාවට සම්බන්ධ වුණේ. ඒ වෙද්දී මට වයස අවුරුදු විසි දෙකක් වගේ. ළමා කාලයේ සිටම මේ සාම්ප්‍රදායික නාට්‍ය කලාවට මගේ හිත තදින් ඇදිලා ගියා. ඒ කාලයේ මම නිතරම කූත්තු නාට්‍ය නරඹන්න ගියා. කෝවිල්වල කූත්තු නාට්‍ය පවත්වන අවස්ථාවල මම ඒවා බැලීමට යනවා. ඒ කැමැත්ත නිසාම කූත්තු කණ්ඩායම් සමඟත් ගියා. එහෙම යද්දී තමයි මට පූන්දාන් ජෝසෆ් කියන මගේ කූත්තු ගුරුවරයා හමුවෙන්නේ. මම ඔවුන් සමඟ මේ කලාවට එකතු වෙන්න කැමති බව ඔහුට කීවා. ඒ වගේම මගේ ගායන හැකියාව ගැන ඔහු ඉතාම සතුටට පත් වුණා. ඒ නිසා ඔහු මාව ඔවුන්ගේ කණ්ඩායමට එකතු කරගැනීමට කටයුතු කළා. ඔහු යටතේ ටික කාලයක් පුහුණු වීම් කරගෙන යද්දී යාපනය නාවන්තුරයිවල ශාන්ත පීතර දෙව්මැදුරේ අපි කූත්තු නාට්‍යයක් ඉදිරිපත් කළා. එහි ප්‍රධාන චරිතය වන පීටර් චරිතය රඟදැක්වීමේ අවස්ථාව එදා මට ලැබුණා.

ප්‍රධාන වශයෙන් දමිළ නාට්‍ය කලාවක් වන සාම්ප්‍රදායික කූත්තු නාට්‍ය කලාව කලාව ඔබ හඳුන්වන්නේ කොහොම ද?
ප්‍රධාන වශයෙන්ම සාම්ප්‍රදායික කූත්තු වර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි කාත්තවරායන් කූත්තු. එය හින්දු දහමේ කතා පුවත් සමඟ ගැටගැසෙනවා. අනෙක් එක ක්‍රිස්තව කූත්තු. එයට බයිබලයේ ඇතුළත් කතා හෝ ක්‍රිස්තු දහමට අයත් වෙනත් කතා පුවත් ඇතුළත් වෙනවා. ඒවායේ ප්‍රධාන වශයෙන් ඇතුළත් වන්නේ සරල ගීත, සරල නර්තනයන් සහ සරල සංගීතයි. ඒවා සින්තුනඩයි කූත්තු කියන නමින් හඳුන්වනවා.
සාම්ප්‍රදායික කූත්තුවල නර්තනයක් නැහැ. ඒවායේ තිබුණේ ගායනයන් සමඟ කුඩා අංග චලනයන් හා භාව ප්‍රකාශන පමණයි. සාම්ප්‍රදායික කූත්තු සඳහා අතීතයේ යොදාගත් ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වුණේ මද්දල. හැබැයි අද වන විට නම් හාමෝනියම වැනි වාද්‍ය භාණ්ඩත් යොදා ගැනෙනවා. තෙන්මෝඩි කූත්තුවලට රාඝ 176ක් ඇතුළත් වෙනවා. දුක, සතුට, ආදරය, ලැජ්ජාව, කෝපය ආදි දේ ඒවා මගින් නිරූපණය වෙනවා. ඒ ඒ හැඟීම් සමඟ එයට අයත් සංගීතයත් වෙනස් මුහුණුවර ගන්නවා. ශෝකය පිළිබඳ ගීතයන්හි භාවිත වන සංගීතය ඉතා සියුම් සංගීතයක්. කෝපය වැනි හැඟීම් පිළිබිඹු කිරීමේ දී ඊට ගැළපෙන ආකාරයේ රළු සංගීතයක් යොදා ගැනෙවා.
යම් පිටපතකට අනුව තමයි කූත්තු නාට්‍ය රඟදැක්වෙන්නේ. ඒවා ඓතිහාසික හෝ සමකාලීන සිදුවීම් පිළිබඳ කියැවෙන කතා පුවත්, ක්‍රිස්තු දහමට හෝ හින්දු දහමට අයත් කතා පුවත් ආදියෙන් සමන්විත වෙනවා. ඒවා සියල්ලම වගේ ගීතවලින් තමයි ගොඩනැගෙන්නේ. උදාහරණ ලෙස තෙවසකායම්පිල්ලෙයි, එස්තක්‍යාර් කියන්නේ ක්‍රිස්තු දහමට අයත් කතා පුවත්. සංගිලියාන් කියන්නේ සංගිලියාන් රජු පිළිබඳ කතා පුවතටයි. බණ්ඩාර වන්නියන් කියන්නේ වන්නි රජු පිළිබඳ කතා පුවතටයි.
හතළිහත් හතළිස් පහත් අතර ප්‍රමාණයක කලා ශිල්පීන් කූත්තු සංදර්ශනයකට සහභාගි වෙනවා. කූත්තු කණ්ඩායමක විශිෂ්ටම ශිල්පියා ඒ අය අතරින් තෝරාගෙන ඔහුට මල් මාල ආදිය දමා ඔහුව එසවීම සිදු කරනවා. ඒ විදියට තමයි එදා අන්නාවි කෙනෙක් පත් කළේ. එයා තමයි කූත්තු ගුරුවරයා බවට පත්වුණේ.
තවත් දෙයක් තමයි, එදා තිබුණේ අද වගේ පැය එකේ දෙකේ දර්ශන නෙමෙයි. දින දෙකක දර්ශන තමයි තිබුණේ. රාත්‍රී නවයට පටන් ගන්නා කූත්තු නාට්‍ය අවසාන වුණේ පසුවදා උදේ හයටයි. පසුව විවේක ගෙන නැවතත් රාත්‍රී නවයට ආරම්භ කරලා පසුවදා උදේ හයට තමයි එය අවසන් කරන්නේ. එහෙම දින දෙකක් තුළ තමයි කූත්තු පැවැත්වුණේ. ඒ කාලේ අද වගේ වේදිකා තිබුණේ නැහැනේ. කෝවිල් ඉදිරිපිට වාගේ තැන්වල වැලි කොට්ට වගේ දේවල් යොදාගෙන එදා වේදිකාවක් සකස් කරගෙන තමයි මේ ඉදිරිපත් කිරීම් කළේ. ඒ වගේම අද වගේ විදුලි බලය නොතිබුණු නිසා වේදිකාවට ආලෝකය ලබා ගන්න විශාල පන්දම් වේදිකාව වටා දැල්වීම සිදු කළා. කෙසෙල් කඳන් මත ඒවා සවි කිරීම සිදුවුණා.

ප්‍රාදේශීය වශයෙන් පවා කූත්තු ශෛලීන්වල විවිධ වෙනස්කම් දක්නට ලැබෙනවා.
ඔව්. ප්‍රදේශයෙන් ප්‍රදේශයට කූත්තු නාට්‍ය කලාවේ ශෛලීන් වෙනස් වෙනවා. යාපනයේ තිබෙන කූත්තු නාට්‍ය තෙන්මෝඩි කියන ශෛලියට අයත් වෙනවා. මඩකළපුව ප්‍රදේශයේ තිබෙන්නේ වඩමෝඩි කියන ශෛලියයි. මුලතිව් ප්‍රදේශයේ කෝවලන් කූත්තු සහ මන්නාරම් ප්‍රදේශයේ තෙන්මෝඩි කූත්තු කියන ශෛලීන් තිබෙනවා. ඒ ඒ කූත්තු ශෛලීන්වල යම් යම් වෙනස්කම් තියෙනවා. මේ එක එක ශෛලීන්වල භාවිත වන සංගීතය, ඇඳුම් ආයිත්තම් ආදි සියල්ලත් වෙනස් වෙනවා.
අතීතයේ කූත්තු නාට්‍ය වටා එක් රැස් වූ විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටියා. එදා එය දමිළ ප්‍රජාව අතර ජනප්‍රිය කලා කෘතියක්. ඒ අත්දැකීම මොන වගේ ද?
ඉස්සර කූත්තු නාට්‍යයක් පැවැත්වෙන ආරංචිය ලැබුණාම එය නැරඹීමට ඈත ගම්මානවල සිට මිනිස්සු එනවා. එදා වාහන නොතිබුණු නිසා කරත්තවල නැගලා තමයි ඒ අය ආවේ. එක් දර්ශනයක් අවසන් වුණාම ඒ අය නැවත ගම්මානවලට යන්නේ නැහැ. නාට්‍යය රඟදැක්වෙන දින දෙකේ ම ඒ අයත් එතැන නවතිනවා. දින දෙකේම දර්ශන නරඹලා තමයි පසුව ගම්මානවලට නැවත යන්නේ. එතකොට ඇත්තටම සතුටක් දැනෙනවා. ඒ වගේම එදා ශිල්පීන්ටත් මුදල් ගැටලු තිබුණේ නැහැ. මොකද එදා ඒ නරඹන්න එන මිනිස්සු සංතෝෂයට කලාකරුවන්ට යම් මුදලක් ලබාදීම එදා සිදුවුණා. එක් එක් චරිත වේදිකාවේ රඟ දැක්වූ විට ඒ ඒ චරිත සඳහා කැමති අය ඔවුන්ට මුදල් ලබාදීමක් සිදුවුණා.

සාම්ප්‍රදායික කූත්තු කලාවට කලා ශිල්පිනියන්ගේ තිබෙන දායකත්වයේ ස්වභාවය කුමක් ද?
සාම්ප්‍රදායික කූත්තු නාට්‍ය කලාවේ දී වැඩිවියට පත්වූ ගැහැනු අය වේදිකාවට නැගීම සිදුවෙන්නේ නැහැ. වැඩිවිය පත් කාන්තාවන් වේදිකාවට නැගීම අකැප දෙයක් ලෙසයි එදා සැලකුණේ. ඒ නිසා කාන්තා චරිත නිරූපණය කළේත් පිරිමි අය විසින්ම තමයි. ඒ අය කාන්තාවන් ලෙස ඇඳුම් ආයිත්තම්වලින් සැරසිලා එම චරිතයන් නිරූපණය කළා. සාම්ප්‍රදායික ලෙස එහි දී කාන්තා චරිත නිරූපණය කරන පිරිමියා තමන්ගේම භාර්යාවගේ රතු පැහැ සාරිය ඇඳීමත් ඇයගේ ආභරණ පැළඳීමත් තමයි සිදුවුණේ. අද වන විට නම් කාන්තාවන් කූත්තු නාට්‍ය සඳහා සම්බන්ධ වෙනවා.

කූත්තු නාට්‍ය කලාව අද තිබෙන ස්ථානය අතීතයට වඩා වෙනස්. සාම්ප්‍රදායික කලාකරුවෙකු ලෙස කූත්තු නාට්‍ය කලාවේ වර්තමාන තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
ඇත්තටම අද වන විට කූත්තු කියන කලාව විනාශ වෙලා වගේ හැඟීමක් මට දැනෙනවා. මොකද අද තිබෙන කූත්තු සාම්ප්‍රදායික කූත්තු කලාව නෙමෙයි. එය නවීකරණය වෙලා තිබෙන්නේ. අද වන විට වෛවර්ණ ඇඳුම් පැළඳුම්, සැරසිලිවලට වැඩි ඉඩක් ලබාදීමත් ඇතැම් අවස්ථාවල දකුණු ඉන්දියානු චිත්‍රපට අනුකරණයත් සිදුවෙනවා. ඒ වගේම අද බොහෝ දෙනා වාණිජ පරමාර්ථයෙන් මේවා නිර්මාණය කරනවා. නාගරික තරුණ පිරිස් බොහෝ විට සාම්ප්‍රදායික කූත්තු කලාව නරඹන්නත් එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ අය දකුණු ඉන්දීය සිනමාවට අද යටවෙලා කියලා මට හිතෙනවා.
අනික් දේ තමයි දැන් මෙයත් පැය දෙකේ දර්ශනයක් පවත්වලා අවසන් කරන්න සිදුවෙනවා. චිත්‍රපට දර්ශන වගේ තමයි. ඉස්සර වගේ දින දෙකේ දර්ශන අද නැහැ. එහෙම එදා වගේ මිනිස්සු මේ වෙනුවෙන් රැඳී ඉන්නේත් නැහැ. ඒ නිසා අද කාලයට ගැළපෙන විධියට මේ කලාවටත් වෙනස් වෙන්න සිදුවෙලා. එහෙම නැත්නම් සිදුවෙන්නේ මේක අභාවයටම යන එකයි. යාපනය නගරයේ ඇතැම් ස්ථානවල මේ සාම්ප්‍රදායික කූත්තු සංදර්ශනයන් පවත්වන අවස්ථාවල දී ඇතැම් තරුණයන් එතැනට ගල් ගැසීම පවා සිදුකර තිබෙනවා. සමහර තරුණ අය මේ සාම්ප්‍රදායික දේවල් සමච්චලයට පවා ලක් කරනවා. කූත්තු කලාව සාම්ප්‍රදායිකව රැගෙන ආ අය ලෙස අපට ඉතාම කනගාටු සිතෙන එවන් දේ පවා සිදු වී තිබෙනවා.

විශේෂයෙන්ම ලංකාවේ උතුරු නැගෙනහිර දීර්ඝ කාලයක් පුරා යුද්ධයකට මැදිව පැවතුණා. ඒ කාල පරිච්ඡේදය කලාවන් සදහා කළ බලපෑම කලාකරුවෙකු ලෙස ඔබට දැනුණේ කොහොමද?
යුද්ධය පැවතුණ කාලයේ කූත්තු නාට්‍ය දර්ශන පැවැත්වීමට පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද එක් පැත්තකින් නෙමෙයි දෙපාර්ශ්වයෙන්ම ගැටලු මතු වෙනවා. දෙ පාර්ශ්වයෙන්ම මෙවැනි සෙනඟ රැස්වන අවස්ථා ගැන සැකයෙන් නේ බලන්නේ. ඒ නිසා ගැටලුවලට මැදිවීමට සිදුවෙනවා. ඒ කාලය තුළ රඟදැක්වීම් සිදු කළේ නැහැ. එය කලාකරුවන් ලෙස අපට ලොකු කනගාටුදායක කාලපරිච්ඡේදයක් වුණා. නැවත මේ කලා කටයුතු පටන්ගෙන අවුරුදු පහක් වගේ තමයි වෙන්නේ.

ලංකාව තුළ වෘත්තීයමය කූත්තු කලාශිල්පියාගේ භූමිකාවට ලැබෙන ආර්ථිකමය වටිනාකම පිළිබඳව ඔබට තිබෙන අදහස මොකක්ද?
වෘත්තීය කූත්තු ශිල්පීන්ට මේ ශිල්පයෙන් අද ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ. ඒක සාම්ප්‍රදායික කලාකරුවා මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක්. සංස්කෘතික උළෙලක දී හෝ වෙනත් උත්සව අවස්ථාවන්හිදී මේ සංදර්ශන පැවැත්වුණත් එය වෘත්තීයමය වශයෙන් කරගෙන යාමේ හැකියාවක් අද නැහැ. රජයෙන් හෝ මෙවැනි සාම්ප්‍රදායික කලාවන් රැක ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් වෙලා නැහැ. ඒ නිසා සැබවින්ම සිදුවන්නේ සාම්ප්‍රදායික කලාකරුවන් මෙය අත්හැර වෙනත් වෘත්තීන්හි යෙදීමයි. සාම්ප්‍රදායික කලාවන්ගේ නිරත වුණ බොහෝ දෙනා ඒ නිසා කලකිරීමෙන් පසුවන්නේ. ඒ හේතුවෙන්ම ඒ අය විවිධ රෝගාබාධයන්ට පවා ලක්වෙනවා.
ඇත්තෙන්ම මෙවැනි සාම්ප්‍රදායික කලාවන් රැක ගැනීමට රජයේ දායකත්වයත් තිබිය යුතුයි. සංස්කෘතික නිලධාරීන් මැදිහත් වෙලා ඒ සඳහා යම් කාර්යභාරයක් කළ යුතුව තිබෙනවා. ඒ වගේම පෞද්ගලික සංස්කෘතික ආයතන මගිනුත් එම සාම්ප්‍රදායික කලාවන් පවත්වාගෙන යාමට දායකත්වය සැපයිය යුතුයි. විශේෂයෙන් මේ සාම්ප්‍රදායික කලාවන්ගේ ප්‍රවීණයන්ට එම කලාවන්ට අයත් වැඩමුළු ආදිය පවත්වමින් එය රැක ගැනීමේත් තවත් පරම්පරාවකට මෙවන් කලාවන් ඉගැන්වීමේත් විධිමත් වැඩපිළිවෙළක් සකස්විය යුතුව තිබෙනවා. කුඩා ගම්මානවල පවා සිටින සාම්ප්‍රදායික කලාකරුවන් දිරිමත් කර එය තවත් පරම්පරාවක් වෙත රැගෙන යමින් රැකගත හැකි වන ආකාරයේ දිරිමත් කිරීම් කළ යුතු බව මම සිතනවා.■