සමලිංගිකයන් යනු පාපකාරීන් හෝ රෝගීන් පිරිසක් නොවෙයි|නැන්සි ගාර්ඞ්න්


homo

සුභාෂිණි චතුරිකා

 

නැන්සි ගාර්ඞ්න්, යනු සාහිත්‍ය ලෝකයේ කිසියම් ආකාරයක නව මාදිලියක් බිහිකිරීමට පුරෝගාමී වූ සාහිත්‍ය වේදිනියකි. සංස්කාරකවරියකි. LGBT (සමරිසි කාන්තා සහ පිරිමි, ද්විත්ව ලිංගික සහ සංක්‍රාන්තික) ලිංගිකත්වය දරන්නවුන්ගේ ශුභ සිද්ධිය වෙනුවෙන් වැඩ කළ ක්‍රියාධාරිනියකි. ඇය වැඩිමනත් ලෙස සාහිත්‍ය නිර්මාණයේ යෙදුණේ නව යෞවන යෞවනියන් වෙනුවෙනි. ඇය නව යොවුන් වියේ පසු වුණ සමරිසි ගැහැනු දරුවන් වෙනුවෙන් පමණක් නොව එවැනි දරුවන් සිටින මව්වරුන් පියවරුන් වෙනුවෙන් ද ලිව්වාය. ඇය පොත් 35ක් පමණ ප්‍රකාශයට පත් කොට ඇති අතර සාහිත්‍ය ලෝකය තුළ වඩාත් ආන්දෝලනයකට ලක් වූ ඇගේ නිර්මාණය වන්නේ 1982 වසරේ ප්‍රකාශයට පත් කරන ලද Annie on my mind නවකතාවයි. එය නව යොවුන්වියේ පසුවන ගැහැනු දරුවන් දෙදෙනෙකු එකිනෙකා හා ආදරයෙන් බැඳෙන අයුරු කියැවෙන සුන්දර ආදර කතාවකි. සමරිසි කාන්තාවක ලෙස ඇයගේද අත්දැකීම්වලින් අනුප්‍රාණය ලබමින් නිර්මාණය වූ එම කෘතිය, එකල එනම් එක්දහස් නවසිය පනහ දශකයේදී, සමකාමීන්ගේ ජීවිත අළලා ලියැවුණු ප්‍රීතිදායක අවසානයක් සහිත පළමු නවකතාව බවට පත්විය. එය කෘතිය කියවාගෙන යෑමේදී, සමකාමීන් යනු විෂම ලිංගිකයන් මෙන්ම ආදරය කරන, ආදරය විඳින සාමාන්‍ය ජීවිත ගතකරන පිරිසක්ය යන පණිවුඩය පාඨකයාගේ මනසට කිසිදු වෙහෙසකින් තොරව සන්නිවේදනය වෙයි.
නැන්සි ගාර්ඞ්න් විසින් එය නිර්මාණය කිරීමේ අරමුණ වරෙක මෙසේ සඳහන් කර සිටියාය.
“මම එය ලිව්වෙ සමකාමී තරුණ ජනතාවට කිසියම් සහනයක්, අස්වැසීමක් ලබාදීම සඳහා. ඔවුන් තනි වී නොමැති බවත් ඔවුන්ටත් සමාජයට අනුගතව ප්‍රීතිමත් ජීවිත ගත කළ හැකි බව පෙන්වා දෙන්න. එමෙන්ම මට උවමනා වුණා සමකාමී ගැහැනු මිනිසුන් යනු අද්භූත සතුන් කොට්ඨාසයක් නොවන බව විෂමලිංගික දරුවන්ට පැහැදිලි කර දෙන්න.” එම කෘතිය 1993 වසරේ ඇමරිකානු කැන්සාස් නගර පාසල් පද්ධතිය තුළ තහනම් කෙරුණු අතර එහි පිටපත් ප්‍රසිද්ධියේ පුළුස්සා දැමීම ද සිදුවිය. ඒ කෙසේ වෙතත් 2014 වසරේදී Golden Crown Literary Society විසින් පිරිනැමෙන Lee Lynch Classic Award නම් සාහිත්‍ය සම්මානය Annie on my mind කෘතිය හිමි කරගත්තේ එය සමකාමී කාන්තා සාහිත්‍යයේ වඩාත් වැදගත් සාහිත්‍ය කෘතියක්ය යන හේතු පාඨය උදෙසාය. එක්දහස් නමසිය තිස් අට වසරේ මැයි මස 15 වැනිදා උපත ලද නැන්සි ගාර්ඞ්න්, සමකාමී දරුදැරියන්ගේ ජීවිත පහසු කරනු වස් මුළු ජීවත කාලය පුරාම වෙහෙසවී සිය පෑන හසුරුවා සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදී 2014 වසරේ ජූනි 23 වැනිදා හෘදයාබාධයකින් මෙලොව හැර ගියාය. පහත ඇත්තේ, 2007 නැවත ප්‍රකාශයට පත් කළ Annie on my mind කෘතියට ඇතුළත් කර තිබූ ඇමරිකාවේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත සාමූහික ළමා පොත් කවයේ අධ්‍යක්ෂිකා කැත්ලීන් ටී. හෝර්නින් විසින් නැන්සි ගාර්ඞ්න් සමඟ කරන ලද දිර්ඝ සම්මුඛ සාකච්ජාවේ සංක්ෂිප්ත සංස්කරණයකි.■

ඔබ කවදාද ප්‍රථමයෙන්ම තමන් සම රිසි කාන්තාවක් බව දැනගත්තේ? ඔබට එය අවබෝධ වුණේ කුමන ආකාරයෙන්ද?
එය සෙමින් සිදුවුණු ක්‍රියාදාමයක්. මා කුඩා කාලයේදී මට දැනුණා නොතේරෙන යම් විදියකින් මම අනිත් ගැහැනු ළමයින්ට වඩා වෙනස් කියලා. මම වයසින් වැඩෙද්දී, මම හිතුවේ මම පිරිමි ළමයෙක් වුණා නම් හොඳයි කියලා. මට හරිම අමාරු වුණා මම කාන්තාවක් වීම සහ පිරිමියකු සමඟ විවා පත්වීම ගැන පැහැදිලි චිත්‍රයක් මගේ හිතේ මවා ගන්න. මට පිරිමි ළමයි මුණ ගැසීමටවත් ඔවුන්ව ඇසුරු කිරීමටවත් ආසාවක් තිබුණේ නැහැ. එසේ වුවත් මම උසස් පාසලට යන තුරු සමරිසි ලිංගිකත්වය ගැන කිසිවක්ම දැන සිටියේ නැහැ. සිදුවීම්වල පෙළගැස්ම ගැන මට නිවැරදි මතකයක් නොතිබුණත්, උසස් පාසලෙදී මට ඉහළ පංතියක ගැහැනු ළමයකු සහ මා අතර ප්‍රබල ආදරණීය සම්බන්ධයක් ගොඩ නැඟෙමින් තිබුණා, හැබෑවටම කිව්වොත් අපි පෙමින් වෙළුණා. මේ අතර වාරයේදී වෙන්නැති මට සමරිසි පිරිමින් ගැන ලියැවුණු ලිපියක් සඟරාවකින් කියවන්න ලැබුණේ. ඉන් වැඩි කලක් ගතවීමට මත්තෙන් මම මගේ මිතුරියට ලියූ ලිපියක් කියැවූ ඇයගේ මව, මා සම රිසි කාන්තාවක් යැයි අනුමාන කළ බව මගේ මිතුරිය මා සමඟ පැවසුවා. මේ හැමදේම, ඒ කියන්නෙ මගේ මිතුරිය සැන්ඩි පිළිබඳ මා තුළ ඇතිවෙමින් තිබූ ආදරය, සඟරාවේ මා කියවූ ලිපිය, ළමා කාලයේ සහ නව යොවුන් වියේ මට දැනුණු හැඟීම් වැනි දේ එක් තැනකට ගොනු කළාම මම තේරුම් ගත්තා මම බාගවිට සමලිංගිකයෙක් වෙන්න ඇති කියලා. එය මා විෂම ලිංගිකයෙකු වීමට වඩා කිසියම් අර්ථාන්විත බවක් මගේ ජීවිතයට සැපයුවා.
සඟරාවේ ලිපියත්, සැන්ඩිගේ මවගේ ප්‍රතිචාරත් වලින් මම තේරුම් ගත්තා සමලිංගියෙක් වීම මිනිස් සමාජය තුළ එතරම් පිළිගැනීමට ලක්වන දෙයක් නෙමෙයි කියලා. ඒත් මම ඒ ගැන එච්චර හිතුවේ නැහැ. මම කලින් කිව්වා වගේ එය මගේ ජීවිතයට අර්ථයක් ලබා දුන්නා. එහෙත් එවැනි මොනතරම් ඉඟි තිබුණත්, මම යම් තරමකට මා සමලිංගිකයකු බවට තේරුම් අරන් සිටියත්, දිගු කාලයක් ගතවන තුරු මම එය සම්පූර්ණයෙන්ම පිළිගත්තේ නැහැ. මට කිසියම් ගුඪ සලකුණක් එනම් දේවමය හඬකින් ‘නුඹ සමලිංගික යෙක්’! යැයි පැවසීම වැනි යමක් මට අවශ්‍ය වෙලා තිබුණා.
සැන්ඩි සහ මම, සදාතනික ආලයක් සම්බන්ධයෙන් ගිවිස ගෙන, එකිනෙකාට හාදු දීම් ස්පර්ශ කිරීම් අප අතර සිදුවුණා වුණත් අප ලොකු කාලයක් ගත කළා අප සමලිංගිකයන් බවට අපටම ඒත්තු ගන්වන්න. අප එකිනෙකාට ආදරය කළත්, අපි සත්තකින්ම නිවැරදි බව දැන සිටියත් අපට එම හැඟීම මහත් වේදනාවක් වුණා. සමලිංගිකයකු වීම විසින් අතීතයේ සහ වර්තමානයේ මා තුළ නිරන්තරයෙන් හට ගත් වෙනස් හැඟීම් සමුදායට සහ මගේ හැසිරීමට කිසියම් නිර්වචනයක් සැපයුවත්, මම සැන්ඩිට ආදරය කරන බව තේරුම් අරන් සිටියා වුවත්, සමලිංගයකු වීම සදාචාර විරෝධී හෝ කිසියම් රෝගයක් නොවන බව මම දැන සිටියා වුවත්, අනෙක් ගැහැනු ළමයින්ගෙන් මම වෙනස්වීම ගැන මම එතරම් වද නොවුණා වුණත්, මට තදබල සාක්ෂියක් අවශ්‍ය වුණා. මම දන්නේ නෑ ඒ මගේ චිත්ත අභ්‍යන්තරයේ ගැඹුරු තැනකින් මට දැනුණු ඒ හැඟීමට විරුද්ධව මම සටන් කළ නිසාද කියලා. නැතිනම් මට සමීප වෙන්න උත්සාහ කළ තරුණ හාදයන් දෙදෙනෙක් මා වික්ෂිප්ත කළ නිසාද කියලා. සමහරවිට මම නොදැනුවත්වම ‘සාමාන්‍ය’ කෙනෙක් විදියට හැසිරෙන්න උත්සාහ කරන්න ඇති. ඒත් උසස් පාසල් අවධියේ සිට ඇය ගැහැනියක පිරිමියකු හෝ වෙන ඕනෑම කෙනෙකු වුවත් මගේ ලෝකයේ වැදගත්ම පුද්ගලයා වූයේ සැන්ඩි විතරයි. මට හැමදාමත් ජීවත් වෙන්න ඕනෑ වූයේත් ඇය සමඟ පමණයි.

ඔබ නව යෞවනියක්ව සිටි කාලයේදී, සමරිසි කාන්තාවන් සහ පිරිමින් සෙසු සමාජය විසින් පිළිගනු ලැබුවේ කෙසේද?
එතරම් සතුටුදායක නැහැ. මගේ නව යොවුන් විය ගෙවුණු එක්දහස් නවසිය පනස් ගණන්වලදී, සමරිසි මිනිසුන් ගැහැනුන් සිටියේ අප්‍රකටව සැඟවිලා. ප්‍රසිද්ධියේ පිටතට පැමිණීම සලකනු ලැබුවේ තදබල අවදානමක් ගැනීමක් ලෙසයි: එවැන්නන් සමහරෙකු පාසල්වලින් නෙරපනු ලැබුවා. සමහර මව්පියන් තම සමරිසි ලිංගිකත්වය සහිත දරුවන්ව අත්හැරියා, නැත්නම් මනෝවෛද්‍යවරුන් ගාවට දක්කා ගෙන ගියා ඔවුනට ‘ප්‍රතිකාර’ ලබාදෙන්න. වැඩිහිටියන් ඔවුන් සමරිසි ලිංගිකයන් ලෙස ප්‍රසිද්ධවීම හෝ ඔවුන් එසේ හැසිරෙන්නේ යැයි කිසියම් සැකයකට පාත්‍ර වුවහොත් ඔවුන්ව රැකියාවලින් නෙරපනු ලැබුවා. වඩාත් නරක තත්ත්වය තමයි, සමලිංගිකත්වය සලකනු ලැබුවේ මානසික ආබාධයක් විදියට නැත්නම් කිසියම් පාපිෂ්ට, අසභ්‍ය සාපරාධී ක්‍රියාවක් විදියට. කිසියම් දරුවෙක් සමලිංගියෙක් බව අනෙක් දරුවන් විසින් යම් හෙයකින් හඳුනාගත් විට, ඔවුන් එම දරුවාගේ ජීවිතය අපායක් බවට පත් කළා.
වැඩි කාලයක් ගියේ නැහැ, සැන්ඩිගේ මව්පියන් පාසලෙන් පිටතදී මා මුණ ගැසීම සැන්ඩිට තහනම් කළා, ඒ මම සමලිංගිකයෙකු නිසා මම ඇයට ‘නරක බලපෑමක්’ ලෙස කියමින්. එහෙත් අපි එකිනෙකාට ආදරය කළා. අපි මුණ ගැසෙමින්, හමුවෙමින්, නැවත නැවතත් හමුවෙමින් වුවද අපි එකිනෙකාව දැකීම නතර කළේ නැහැ. එය ඉතාමත් දුඃඛිත වේදනාකාරී කාලයක්. එවැනි ඛේදනීය තත්ත්වයකින් මිදී අපට සදාකල්ම එකට ජීවත්වීමට හැකි වේයැයි පතමින් අප වරෙක අපගේ දිවි තොර කර ගැනීමට පවා ආසන්න තත්ත්වයකට පත්වුණා. සෑහෙන කාලයක් පුරා එක්ව ජීවත්වෙමින්, නැවත වෙන්වෙමින් අවසානයේදි අපට හැකිවුණා ස්ථිරව එකට ජීවත් වෙන්න. 2004 වසරේදී අපි නීත්‍යනුකූලව විවාහ වුණා, ඒ තිස්පස් වසරක් එකට ජීවත්වීමෙන් අනතුරුව.

ඔබට ඒ කාලයේ සමලිංගික ජීවිත ගැන කියැවෙන පොත්පත් හෙම සොයා ගැනීමට හැකි වුණාද?
ඒ කාලේ, පනස් ගණන්වල එවැනි පොත්පත් ඉතාමත් දුර්ලභයි. ඒ වගේම තමයි එවැනි පොතක් මිලදී ගැනීම වගේම පුස්තකාලයෙන් පොතක් පිටතට රැගෙන ඒම පවා අවදානම් සහගත කාර්යයක් වුණා. කවුරුහරි දැක්කොත් මොකද වෙන්නේ? විශ්ව කෝෂවල සඳහන් වෙලා තිබුණේ අප වගේ අයට තියෙන්නෙ කිසියම් ආබාධයක් කියලා හෝ එය අසැබි දෙයක් කියලා, හුදකලා කොට ව්‍යභිචාරයට පමුණුවිය යුතුයි කියලා. අවසානයේදී මම මහජන පුස්තකාලයේ පොත් නාමාවලිය තුළ සමලිංගිකත්වය ගැන ලියැවුණු පොත් සෙවීම සඳහා අවශ්‍ය තරම් ධෛර්යය ඇති කරගෙන පොත් කිහිපයක් අමාරුවෙන් සොයා ගත්තා, එහෙත් ඒවා කවදාකවත් මට බැහැර ගෙනියන්න තියා පුස්තකාලය තුළදී ඇහැට දකින්නවත් හැකියාව තිබුණේ නැහැ. එය සැබවින්ම සියුම් ආකාරයේ වාරණයක්.
ඊට මඳක් පසු කාලයකදී මේරි රනෝල්ට් විසින් රචිත වැඩිහිටියන් සඳහා වු ප්‍රබන්ධවල සමලිංගිකයැයි අනුමාන කළ හැකි චරිත දකින්නට හැකි වුණා. එම තත්ත්වය පැහැදිලිව කතාව තුළ තහවුරු කළේ නැහැ. සමහරවිට පොත් ප්‍රකාශයන් හිතන්න ඇති ඒ විදියට විතරයි එවැනි පොතක් ප්‍රකාශයට පත් කරන්න පුළුවන් සහ ලේඛකයනුත් නිර්භය වූයේ එපමණික් ලියා සෑහීමකට පත්වීමට විතරයි. වරෙක මට ගමේ බස් නැවතුම්පොළ අසල කුඩා පොත් කඩයක තිබී සමලිංගික කාන්තාවන් ගැන ලියැවුණු ලාබ ගණයේ පොත් කිහිපයක් සොයා ගැනීමට හැකිවුණා, ඒත් ඒ හැම පොතකම පාහේ කතාව අවසන් වුණේ එම සමරිසි කාන්තාවන් හදිසියේ මරණයට පත්වීමෙන්, නැතිනම් මානසික රෝහලට ඇතුළත් කිරීමෙන් හෝ විෂමලිංගික පුද්ගලයෙකු වීමෙන්.
එහෙත් අවසානයේදී මට හම්බ වුණා 1920දී එංගලන්තයේදී පළ කළ, Radclyffe Hall විසින් රචිත Well of Lonelinessනම් කෘතිය. එය තරමක් සාධනීය උත්සාහයක්. පිරිමියෙකු ලෙස හැසිරෙන සමරිසි කාන්තාවකගේ උපතේ සිට දිගහැරෙන ඇයගේ ජීවිත කතාව කෘතියේ පිළිබිඹු වුණා. එය අශ්ලීල නිර්මාණයක් ලෙස බැහැර කිරීමට ඇමරිකාව සහ එංගලන්තය තුළ කිසියම් උත්සාහයක් තිබූ නිසා එම කෘතිය ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වුණා, අවසානයේ එංගලන්තය තුළ වසර ගණනාවක් පුරා එම කෘතිය නිල වශයෙන් තහනම් කරනු ලැබුවා. මම එම කෘතිය එකවර ගිල දැමුවා. එය යන්තමින්වත් අශ්ලීල නිර්මාණයක් නොවෙයි, එහි අවසානය තරමක් භාවාතිශය සහ දුක්මුසු එකක් වුවත්. එහෙත් එහි අවසානය විසින් යුක්තිසහගතභාවය සහ තේරුම් ගැනීම උදෙසා කිසියම් උද්වේගකර ආයාචනයක් කරනවා. ඉන් ලැබු අනුප්‍රාණය තමයි මා මෙහෙයවූයේ මා ද අයත් වන ජන සමූහය වෙනුවෙන් Annie on my mindවගේ ප්‍රීතිමත් අවසානයක් සහිත කෘතියක් නිර්මාණය කරන්න.

එසේ නම්Annie on my mindකෘතිය නිර්මාණය කිරීමට උත්තේජනය සැපයූවේ…
Well of Loneliness නම් කෘතිය. උසස් විද්‍යාලයේ ගතවුණු මාගේ පාසල් ජීවිතය. සමලිංගික ගැහැනුන් සහ මිනිසුන් ගැන ඇත්ත කීමට මා තුළ තිබූ ආශාව- අප රෝගීන් හෝ පාපකාරීන් නොවෙයි, ආදරය කරමින් ප්‍රීතිමත්, සෞඛ්‍යසම්පන්න සාරවත් ජීවිතයක් අපටද ගත කළ හැකි බව කියන්නට මා තුළ තිබූ ආශාව.

ඔබAnnie on my mind කෘතිය නිර්මාණය කරන කාලය වන විට සමරිසි ගැහැනුන් සහ මිනිසුන්ගේ ජීවිත කෙබඳු විද?
මමAnnie on my mind ලීවේ හැත්තෑව දශකයේ අගභාගය සහ අසූව දශකයේ මුල් භාගය අතර කාලයේදී. ඒ වනවිට පනස් ගණන්වලදීට වඩා තත්ත්වය තරමක් යහපත් අතට හැරෙමින් තිබුණා. සමලිංගික අයිතීන් සම්බන්ධ ව්‍යාපාර සක්‍රිය වෙමින් තිබුණා, 1969 ස්ටෝන්වෙල් සටන එම ව්‍යාපාර තව තවත් බලපෑම් සහගත ශක්තිමත් ඒවා බවට පත් කළා. අප වැනි අය ටිකෙන් ටික ප්‍රසිද්ධියේ පෙනී සිටීම ආරම්භ වුණා.
ඒ වන විටත් ඇමරිකානු මනෝචිකිත්සකයන්ගේ සංගමය සහ ඇමරිකානු මනෝවිද්‍යා සංගමය විසින් සමලිංගිකත්වය රෝගයක් නොවන බව ප්‍රකාශයට පත් කොට තිබියදීත් පනස් ගණන්වල වගේම කුඩා දරුවන් සම්බන්ධයෙන් වාතාවරණය එතරම් වෙනසකට භාජනය වී තිබුණේ නැහැ, ඒ කාලයේ සමලිංගිකයන් විෂම ලිංගිකයන් අතර සංහිඳියාවක් තිබුණේ නැහැ, එසේම සමලිංගික දරුවෙකු මුහුණ දෙන අඩත්තේට්ටම් ගැන පැමිණිලි කිරීමට සුදුසු යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම ජනතාව වටහා ගන්නේ නැහැ, නැතිනම් පිළිගන්න කැමති නැහැ නව යොවුන් දරුවන් ද සමලිංගිකයන් විය හැකියි කියලා. ඔවුන් එය බොහෝ විට තේරුම් ගන්න නැඹුරු වෙන්නේ දරුවන්ගේ වර්ධනයේ එක් අවධියක් හෝ අවවර්ධිත තත්වයක් විදියටයි.

Annie on my mindකෘතිය පළමුවෙන්ම ප්‍රකාශයට පත්වූ මොහොතේ, ඉන් වසර දහයකට පසුව, වසර විස්සකට පසුව ජනතාව දක්වන ප්‍රතිචාර කුමන ආකාරද?
මා පුදුමයටත් ප්‍රීතියටත් පත් කරමින් ්Annie on my mind ප්‍රකාශයට පත්වුණු පළමු මොහොතේම එයට යහපත් තත්ත්වයේ විචාරයක් ලැබුණා. මම තරමක් බියට පත්වෙලා සිටියේ කෘතියට පාදක වුණු විෂය ක්ෂේත්‍රය නිසා, ඒත් මට ලැබුණු බහුතරයක් ප්‍රතිචාර ධනාත්මකයි. එහෙත් විවිධ අභියෝගයන් ද නොතිබුණා නොවෙයි. වරෙක මට අසන්නට ලැබුණා 1988දී එම කෘතිය පෝර්ට්ලන්ඞ් පුස්තකාලයෙන් ඉවත් කළ බව.
එක් වඩාත් සිත්ගන්නා සුලු සිදුවීමක් තමයි, කෘතිය ප්‍රකාශයට පත්වුණු කාලයේදීම එක් විචාරිකාවක් මා සමඟ පැවසුවා ඇය එම කෘතිය තම දහසය හැවිරිදි දියණියට කියවීමට දුන් බව. එහෙත් එම දියණිය කෘතිය දුටු පළමු මොහොතේම “අනේ අම්මේ මට ඕනේ නැහැ මේ වගේ අය ගැන කියවන්න” යැයි කියා තිබුණා. එහෙත් ඇය කෘතිය කියවා අවසානයේදී පවසා ඇත්තේ මෙහෙමයි. “අනේ… ඒ අයත් අනිත් හැම ගැහැනු ළමයෙක් වගේම තමයි.”
විවිධ බාධක මධ්‍යයේ වුවද එම කෘතිය සම්මාන ලබමින්, විවිධ ගරු නාමයන් ලබමින් පාඨකයන් අතර ජනප්‍රසාදයට පත්වුණා.Annie on my mind සමහර විද්‍යාල සහ උසස් පාසල්වල යොවුන් සාහිත්‍ය කෘතියක් ලෙසින් සහ විවිධත්වය අගයන කෘතියක් ලෙස පංති කාමරවලදී ඉගැන්වීම සඳහා භාවිත කර තිබෙනවා. එය බීබීසී රේඩියෝ සේවයේ ගුවන් විදුලි නාටකයක් ලෙස ප්‍රතිනිර්මාණය කර ඇති අතර මේ වනවිට චීන භාෂාවද ඇතුළුව භාෂා කිහිපයකට ද පරිවර්තනය වී තිබෙනවා.

වසර විස්සකට පසුවත් ඔබ හිතන විදියට ඇයි ජනතාව තවමත්Annie on my mind කියවන්නේ?
එයට පිළිතුරු දීමට සුදුසුම පුද්ගලයා මම නොවෙන්න පුළුවන්. ඒත් මට හිතෙන හැටියට ගොඩක් අය කැමතියි ආදර කතා කියවන්න. ඒකයි හේතුව. ්බබසැ දබ පහ පසබා කෘතියේ මූලික සාරය එයයි. එය පළමු කොටත් දෙවැනි කොටත් මුළුමනින්මත් ආදර කතාවක්. ■