රාවය

රස බෙදන්නට දුක විඳින ගෝල්ෆේස් අවන්හලක

රස බෙදන්නට දුක විඳින ගෝල්ෆේස් අවන්හලක

තරිඳු උඩුවරගෙදර

කොළඹට රාත‍්‍රියේදී නිදාගන්නට බැරි ලෙඩක් ඇත. කොළඹ සදා අවදියෙනි. දවාලේ මෙන්ම රාත‍්‍රියේද කොළඹ සුන්දරත්වය, අසුන්දරත්වය, කටුකත්වය සහ වේදනාව සඟවාගෙන ඉන්නේය. ඉන්දියන් සාගරය දෙසට දත නියවාගත් ගෝල්ෆේස් පිටිය නිදිවරන කොළඹ ජීවිතවලට විවේකයක් එක් කරන්නේය. ගෝල්ෆේස් ලස්සන රාත‍්‍රියටයි. දවසේ රාජකාරි නිමවා ඉර ටිකක් නැවතුණු පසු ගෝල්ෆේස් වෙත තද රැුස් විහිඳුවමින් සද්දය දාන්නට කවුරුත් නැත. ඉතින් ගෝල්ෆේස්හි සද්දය දමන්නට තවත් පිරිසක් හවස් වෙද්දී පැමිණෙති.

ඩකඩ ඩකඩ ඩකඩ ඩකඩ ඩකඩ ඩකඩ

ගීතය ඇසේ. කොත්තුව සූදානම් වෙමින් පවතී. ඒ කොත්තුව ස්විට්සටර්ලන්ත ජාතිකයෙකුටය. කොත්තුව වදින්නේ ලෝක ප‍්‍රසිද්ධ නානාස් කිංග් ටොයිනා අවන්හලේය. අරුම පුදුම ගෝල්ෆේස් සංස්කෘතියක් හුරුකළ අවන්හලේය. නානාස් කිංග් වෙත පැමිණෙන අයට ඉතා රසවත් මුස්ලිම් අවන්හල් සංස්කෘතියට අයිති කෑමවේලක් රසවිඳිය හැකිය. ගෝල්ෆේස්හි කෑම කඩ හතරකි. කුඩා කොකාකෝලා කඩ හා වඩ කඩ සමඟ ගෝල්ෆේස්හි වෙළෙන්දෝ දෙසීය ඉක්මවා සිටිති. ඒ අතරින් නානා විශේෂ වන්නේ ඔහු පුරෝගාමියා වන නිසාය.

ගෝල්ෆේස්හි ඇවිද යන අයට එන්න මහත්තයා කන්නයැයි අඬගසමින් නානාගේ ගෝලයෝ සිටිති. ඔබව ඉන්දවා අතට කෝප්පයක් හා වතුර දෙන්නේ අත හෝදන්නටයි. ඉන්පසුව කැමති කෑමක් ඕඩර් කර කෑ හැකිය. ඩෙවල්, බාබකියු, කොත්තු, නානාස් ස්පෙෂල් බාබකියු වර්ග, පරාටා ආදි කෑමක් තෝරාගත හැකිය. චිකන්, මාළු, ඉස්සන්, බීෆ්, මට්න් වන් මස් වර්ග තෝරාගත හැකිය. සාධාරණ මිලක් ගෙවා රසය විඳිය හැකිය. සැබැවින්ම රසය විඳි නිසා අවන්හල ගැන වචනයක් නොලියා නොහැකියැයි සිතීමි. ඇණවුම් කළ කොත්තුව කා හමාර වූ පසුව මා පත්තරෙන්යැයි කියා ටිකක් කතා කරන්න කැමතිදැයි ඇසුවෙමි. වේටර්වරයා කවුන්ටරයේ සිටි නජීබ් නානා වෙත මා රැගෙන ගියේය.

‘මෙයාත් එක්ක කතා කරන්න මහත්තයා.’

නජීබ්ලාගේ දුක

‘එන්න මල්ලි. පත්තරවලින් නම් නිතර එනවා. ඒත් අපට කිසි සෙතක් නැහැ. මෙතැන වැඩකරන්නේ හරිම අමාරුවෙන්. අපේ දුක ලියන්න ඕනෑ මල්ලි.’
ලියන්නට සිතුවේ රසය ගැනයි. අලංකාරත්වය ගැනයි. ආහාර ගැනයි. එහෙත් නජීබ් නානා ඉල්ලන්නේ ඔවුන්ගේ දුක ගැන ලියන ලෙසයි. රාත‍්‍රියක මුහුදු හුළඟ වදිමින් හාස් හූස් ගාමින් කොත්තුවක් රසවිඳි පසුව වුවත්, දේශීය විදේශීය රසවතුන් ඒ රසයම විඳිමින් තෘප්තිමත්ව සිටින අයුරු මොහොතකට පෙර බලා සිටියා වුවත් සුන්දරත්වය යටින් ඛේදවාචක පැවතීම ලංකාවේ හැටි නිසා දුක අසන්නට දෙසවන් සූදානම් කරගතිමි.

‘අපි මාසෙකට කුලිය විදියට වරාය අධිකාරියට දොළොස්දාහක් ගෙවනවා. ඒ වුණාට ඒ පැත්තෙන් අපේ දියුණුවට කිසිම දෙයක් කරන්නේ නැහැ. මේ වැඬේ ලේසි සෙල්ලමක් නෙවෙයි. වැස්ස තමයි ලොකුම චැලේන්ජ් එක. වැස්සොත් කෑම ඔක්කොම විසිකරන්න වෙනවා. කස්ටමර්ස්ලා එක්කෙනෙක්වත් නැති වෙනවා. ඉස්සර අපට මේ කාලයේ තමයි වැස්ස එන්නේ කියලා දැනගන්න පුළුවන්. දැන් වැස්ස එන වෙලාව කියන්න බැහැනේ. වැස්සක් ආවොදින් ගංවතුරෙන් තමයි ඉවර වෙන්නේ. හුළඟක් ආවොත් ඔක්කොම කඩාගෙන යනවා. පහුගිය දවස් ටිකේ වැස්ස නිසා අන්තිම පාඩුයි. වැස්සකදී කෑම ටික පරෙස්සම් කරගන්නවත් ක‍්‍රමයක් තිබුණොත් වැස්ස ඉවර වුණාම ආයේ කෑම ටිකක් හරි විකුණගන්න පුළුවන්. අපට එහෙම තැනක් හදලා දුන්නා නම් මේ බිස්නස් එක තව කොලිටියට හොඳට කරගෙන යන්න පුළුවන්.’

විශ්වාස කරන්න, ටොයිනා අවන්හලේ කෑම ඉස්තරම්ය. එමෙන්ම වෙනත් තාවකාලික අවන්හල් මෙන් නොව ටොයිනා අවන්හලේ කෑම පිරිසිදුය. එහෙත් ඔවුන් මුහුණ දෙන අභියෝගය වන්නේ කොම්පඤ්ඤ වීදියේ ඇති නිවසේ සිට සෑම දිනකම හෙවණ දෙන ටෙන්ට් එක, කෑම මේස, පුටු, ළිප් ආදි සම්පූර්ණ අවන්හලම රැුගෙන එන්නට සිදුවීමයි. වැඩ අවසන් වූ පසුව සම්පූර්ණ අවන්හලම නැවත ඔසවාගෙන යායුතු වීමයි. සාමාන්‍ය අවන්හලක කෙරෙන වැඩ තොගය මෙන් දෙතුන් ගුණයක වැඩකරන්නට ටොයිනාවට සිදුවේ.

‘අමාරු වුණත් අපි බඩු කොලිටියට දෙනවා. ගෙදර තමයි අපි උයන්නේ. මෙතැන වැඩකරන අයත් ගෙදර නැවතිලා ඉන්නේ. මෙතැන වැඩ කරනවා කියන්නේ පුදුම මහන්සියක්. තුන වෙද්දී අපි කරත්ත දෙකක බඩු තියාගෙන තල්ලූ කරගෙන එනවා. දවල් තුනට කරත්ත දෙකේ දාගෙන එනකොට පොලීසිය අපට බණිනවා අරන් පලයන් කියලා. අපි ඔව් සර්, අනේ සර් කියලා ඇඹරිලා අමාරුවෙන් එනවා.’

‘මගේ ළමයි දෙන්නාම මෙතැන වැඩ කරන්නේ. ඔය එහාපැත්තේ තියෙන කොකාකෝලා කඩෙත් අපේ. ඇතුළේ ඉන්නේ මගේ වයිෆ්. හවසට පුතාලා දෙන්නා ඇවිත් වැඩ බාරගන්නවා. හයහමාරට විතර. ඉන්පස්සේ අපි ගෙදර ගිහින් නිදාගන්නවා. පාන්දර නැඟිටලා යන්න ඕනෑ මාළු මාකට් එකට මාළු ගන්න. මාළු ඇතිවෙන්න තියෙනවාද කියලා බලන්න ඕනෑ. ඊට පස්සේ එළවළු මාකට් එකට ගිහින් එළවළු අරගෙන ඇවිත් උයන වැඩ පටන්ගන්න ඕනෑ. ඉන්පස්සේ මෙහෙට ගේන්න ඕනෑ. සෙනඟ දවසට වැඩිපුර දෙතුන්දෙනෙක්ව ගන්නවා. කඩි වගේ වැඩ කරන්න වෙනවා. මුස්ලිම් අවුරුද්දට ඇවිත් බලන්න කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට මෙතැන මේස මදි වෙනවා. අපි පැදුරු ගේනවා. එහෙමත් මදි වුණාම කට්ටිය පාර්සල් අරගෙන ගිහින් මේ කොහේ හරි තියාගෙන කනවා. එදාට තව කොත්තු මේසයකුයි රයිස් මේසයකුයි දානවා.’

‘වියදම් තමා වියදම්, මාස දෙකකට පාරක් අලූත් ටෙන්ට් එකක් ගන්න ඕනෑ. එකක් දාහතරදාහක් වෙනවා. මෙතැන ටෙන්ට් දෙකක් දානවා. ටෙන්ට් එක හුළඟට ඉක්මනට ඉරෙනවා. ලොකු හුළඟක් එක්ක වැස්ස එද්දී අපේ කොල්ලෝ ඔක්කොම ටෙන්ට් එක තමයි බදාගන්නේ. ඉතින් කෑම ඔක්කොම ඉවරයි. ඉන්පස්සේ කඬේ වහලා අපි යනවා. කොරන්න දෙයක් නෑ, පාඩුව විඳින්නම වෙනවා. වැස්ස දාට මිනිස්සු හතර අතේ දුවනවා. විනාඩියක් යද්දී ගෝල්ෆේස් පාළුවට යනවා. මේවා ඉන්ෂුවරන්ස් කරන්නවත් කවුරුත් එන්නේ නැහැනේ. අනවසර ඉදිකිරීම්ලූ. ගලවං පලයන් කිව්වොත් ගලවාගෙන යන්න ඕනෑ. හැබැයි වෙලාවට කුලිය ගෙවනවා. ඉස්සර අපි නගර සභාවට අවුරුද්දටම හයසීයක් ගෙව්වා. දැන් මාසෙකට දොළොස්දාහක් ගෙවන්න ඕනෑ. ඒ කාලේ ඉඳන් මේ කාලේ වෙනකන් අපි වැඩ කරනවා. මේ ෂෝකේස් එක සතියක්වත් නෑ ගෙනල්ලා. කාලෙන් කාලෙට මේ හැම බඩුවකටම මුහුදු හුළඟ අල්ලලා දිරනවා. මේවා අලූතින් ගන්න ඕනෑ. මේකෙන් අපි ජීවත් වෙන්නේ කොහොමද? අපි, අපේ ළමයි, ළමයිගේත් ළමයි, මෙතැන වැඩ කරන කොල්ලෝ ඔක්කොම ජීවත් වෙන්න එපැයි. අපිත් මුහුදු හුළඟටම දිරලා යනවා යකඩ වගේ.’ ආයෙමත් නජීබ් නානා වැස්සේ කතාව පවසයි.

‘අතන එහා පැත්තේ කඩ හතක් වහලා තියෙනවා අවුරුදු ගාණක් තිස්සේ. අපට ඒකෙන් කඩයක් දුන්නා නම් මේ බඩු ටික වැස්සට තියන්නවත්. හදලා නිකන් වහලා තියෙනවා. කරන්ට් එක, වතුර ඔක්කෝම තියෙනවා. ඒත් දෙන්නේ නැහැ. අපට එක කඩයක් දුන්නා නම් බඩු ටික හරි දාලා තියනවා.’

ටොයිනා රසය

නජීබ්ලාගේ දුක රසය බෙදන්නටයි. ලොව පුරා සංචාරකයන්ට උපදෙස් සපයන ටි‍්‍රප් ඇඞ්වයිසර් වෙබ් අඩවියෙහි ටොයිනා අවන්හල ගැන ඇති විස්තරයට සංචාරකයන් එක්කොට තිබෙන කමෙන්ට් කියවීමෙන් ටොයිනාව රසය නොඅඩුව බෙදන බව තහවුරු වෙයි. ආහාරවල රසය, මුහුදෙහි ඉර බැසයන යුරු නරඹමින් මුහුදු සුළඟ විඳිමින් ආහාර රසවිඳින්නට ඇති ඉඩ විදේශිකයන් අමන්දානන්දයට පත් කරනවා ඇත. රාත‍්‍රී අවන්හල් සංස්කෘතියේ ස්ටී‍්‍රට් ෆුඞ් සපයන තැනක් වුණත් ඉතා පිරිසිදු හා නැවුම් ලෙස කෑම සකස් කරන බව විදේශිකයන් එහි ලියා ඇත.

‘මෙතැන බිල්ඩින් හදන්න දුන්නනං අපට ඉඩ නෑ. කේඑෆ්සීකාරයායි පිට්සාකාරයායි ගහයි ලොකු බිල්ඩින් දෙකක්.’ වේටර්වරයෙකු වන ජානක අප සමඟ කීය. පිට්සා, කේඑෆ්සී ආවේ නම් ගෝල්ෆේස් අනන්‍යතාවකින් යුතු හාස්හූස් කෑම වේලක් හුළඟ වැදෙමින් කන්නට නැත. ඒ අතින් අනන්‍යතාවක් ඇති සුවිශේෂී වර්ණයක් ඇති අවන්හලක් පවත්වාගෙන යමින් නජීබ් කරන්නේ ලොකු සේවයකි.

ලෝකයට ගියත් ටොයිනාවට එයට හිමි අගය ලැබෙන්නේ නැත. එන ආදායමෙන් වැඩි හරියක් වියදම්ය. ඒ වියදම්වලින් වැඩි හරියක් ආණ්ඩුවට මැදිහත් වී අඩුකර දිය හැකි ඒවාය. කෙතරම් බිස්නස් තිබුණත් නජීබ්ලාගේ අතමිට සරුවීමට සීමා වැටී ඇත්තේය.

‘සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා තමයි අපි බලාගෙන ඉන්න දවස් තුන. ඒ දවස්වල තමයි සෙනඟ ඉන්නේ. ළඟක ඉඳන් ඒ දවස් තුනට හරියට වහිනවා. මාස හයක් තිස්සේ එහෙම තමයි වෙන්නේ. අපේ රත්තරන් බඩු ඔක්කෝම උගස් තියලා තියෙන්නේ. ණය ගන්න ඕනෑ ඔක්කොම අරන් තියෙන්නේ.’
‘සොරි වෙන්න ඕනෑ මුලින්ම අපට තියෙන ප‍්‍රශ්න ටික කියන්න වුණාට. ඕනෑ කෙනෙක්ගෙන් අහන්න. ඔක්කෝටම කලින් ප‍්‍රශ්න තමයි කියන්නේ. කරන්න දෙයක් නෑ. මිනිස්සුන්ගේ ජීවිතවලට කලාවක් නෑ මහත්තයෝ දැන්. දුකක් තමයි තියෙන්නේ.’

කකුල් නැති නානා

‘අපේ මාමා තමයි කකුල් නැති නානා කියන්නේ. එයා අම්මාගේ මල්ලී. මම එයා වඬේ විකුණන කාලේ ඉඳන් එයාත් එක්ක හිටියා. පොඩි කරත්තයක් ගහගෙන බයිට් අයිටම්ස් දාන්න මුලින්ම නානා අවසරය ගත්තා නගර සභාවෙන්. ඒ කාලේ මේක අයිති වුණේ නගර සභාවට. අවසර ගත්ත අවුරුද්ද විදියට තමයි 1987 අවුරුද්ද දාලා තියෙන්නේ. අපි ඊට කලින් ඉඳන් කඬේ කළත් 87 ඉඳන් කරනවා කියලා දාන්න තමයි ලයිසන් එකත් එක්ක අවසර ලැබුණේ. ඒ කාලේ මේ තරම් අයිනට එන්න දෙන්නේ නැහැ. අපි උඩ තමයි බිස්නස් කළේ. නානාගේ ලොරියක් තිබුණා. ඒකේ බඩු දාගෙන ඇවිත් බිස්නස් කළේ. පස්සේ අවුරුදු පහක් ගෝල්ෆේස් එක වහලා හැදුවා. ඒ මංගල සමරවීර ඇමතිතුමාගේ කාලේ. අවුරුදු පහක් අපි බිස්නස් නොකර හිටියා. ඉන්පස්සේ ආයෙත් පරණ මිනිස්සුන්ටම කඩ දෙන්න කියලා අපි ඉල්ලලා මෙතැන කඬේ පටන්ගත්තා. අපි පරණම අය නිසා අපට පළවෙනි කඬේ ලැබුණා.’

කකුල් නැති නානාගේ කතාව කියන්නට පරණම සේවකයෝ කතාබහට එක්වූහ. බයිට් රාජා හෙවත් වඩිවේල් අවුරුදු විසිපහක් තිස්සේ නානාගේ අවන්හලෙහි කෝකියෙකු ලෙස වැඩ කරන්නේය. රුපියල් හැත්තෑපහේ පඩියට සෙට් වුණු ඔහු අදටත් ලෝකයේ ඕනෑම රටකින් එන අයෙකුට සෙට් වන ලෙස කෑම තනන්නේය. නානා ගැන නජීබ් කතාකරද්දී අමතක වූ තැන් සිහිකළේ බයිට් රාජායි.

‘නානාව මරලා දැම්මා. එයා ළඟම හිටපු වත්තේම කෙනෙක් තමයි. සල්ලි ඉල්ලලා දුන්නේ නැති නිසා තමයි මැරුවේ. නානා කාටවත් යට නොවී මාර හයියකින් මේක ඇදගෙන ආවා.’
සුවයිර් අනෙක් පැරණි සේවකයායි.

‘ඉස්සර අර කොනේ නයිට් බසාර් එක තිබුණා. දැන් හමුදා රෝහල තියෙන්නේ. එතැනට තමයි එන අය කන්න බොන්න යන්නේ. නානා ආබාධිත සයිකලෙන් වැඩ පටන්ගත්තේ. මේ ගෝල්ෆේස් එකට මිනිස්සු බහින්නේ නැහැ කන්න. නයිට් බසාර් තමයි යන්නේ. නානාට කඬේ කරන්න පේ‍්‍රමදාස මහත්තයා උදව් කළා. කඬේ කරන්න ඉඩදුන්නේ එයා. පටන් ගත්ත කාලේ ගෝල්ෆේස් එකටම ලයිට් කණු තුනක් විතරයි තිබුණේ. මුලින්ම වඬේවලින් පටන්ගත්තා. අපේ ජීවිතේම මේකට දියවෙනවා. මේක මුහුදු යනවා වගේ වැඩක්. ගෝල්ෆේස් ගැන දන්න අමාරුවෙන් අල්ලන් ඉන්න අයට තමයි මේ වැඬේ කරගෙන යන්න පුළුවන්.’
අමාරුවෙන් අල්ලාගෙන ආ නානා අලූත් ගෝල්ෆේස් සංස්කෘතියක් තනා ඇත. එවන් සංස්කෘතියක් තැනූ ඔහු මියගියේ සාමාන්‍ය ව්‍යාපාරිකයෙකු ලෙස මිස කෝටිපතියෙකු ලෙස නොවේ.

හොඳට කාපන්

‘සුද්දෝ කන විදියෙයි අපේ අය කන විදියෙයි ලොකු වෙනසක් තියෙනවා. සුද්දෝ ඇවිත් හොඳට කනවා. මෙතැනට ඇවිත් බලනවා මොනවද කන්න තියෙන්නේ කියලා. එයාලාට ආස හිතෙන දේ ගන්නවා කීයක් වුණත්. ඔක්කෝටම වඩා අරාබිකාරයෝ හොඳට කනවා. දහදාහයි දොළොස්දාහයි බිල. ගෲප් එකක් වාඩිවෙලා කනවා ඇති වෙනකන්. හයදෙනෙක් ඉන්නවා නම් ලොකුම මාළු හයක් ගන්නවා. ඉස්සෝ හයදෙනාට දොළහක් ගන්නවා. හිත හිත ඉන්නේ නැහැ.’ ඕවා මේවා අස්සේ නජීබ් කෑම ගැන කතාවක් පටන් ගත්තේය.

‘ලංකාවේ මිනිස්සුන්ගෙන් ගත්තොත් කොළඹින් පිට මිනිස්සු කන්න ලෝබයි. ඒගොල්ලෝ ආවොත් මෙනූ එක බලලා ඉල්ලන්නේ වෙජිටබල් රයිස්. අඩුම ගාණට තියෙන්නේ ඒකනේ. දුර ඉන්න මිනිස්සුනේ. එයාලා කෑමට සල්ලි වියදම් කරන්නේ කල්පනා කරලා. පිටින් කන කෑම විශ්වාස කරන්නේ නැහැ. විශේෂ කෑමක් කනවා කියලා හිතුණොත් ගෙදර හදලා කනවා මිසක් පිටට ගිහින් ඩිනර් ගන්නවා වගේ පුරුද්දක් නැහැ. ඒත් කොළඹ මිනිස්සු හොඳට කන්න බොන්න වියදම් කරනවා. අපේ ගෙදර අයත් හොඳට කනවා. ඕනෑ තරම් කනවා. කන එකට ලෝබ වෙන්න හොඳ නෑ, ජීවත් වෙන්නෙ කන්නනේ. ගෙවල්වල බඩු අරන් ගොඩගහලා වැඩක් තියෙනවාද? දැන් මට වයස අවුරුදු හැටහතරයි. බලන්න ඇෙඟ් හයිය. තාමත් දුවලා පැනලා වැඩ කරනවා. ෆිට් එකේ ඉන්නේ හොඳට කාපු නිසා තමයි.’
‘හොඳට කාපං’ යැයි ටොයිනාව අපට යෝජනා කරයි. ‘හොඳට කනවා නම් අමාරුවෙන් හරි අපි ඇදගෙන යන්නං.’ ටොයිනාව කියයි.

නිමක් නැති ජීවන තරගයක දුවන අපි කෑමක් වෙනුවෙන් මොහොතක් වෙන්කර නොගන්නෙමු. කෑම යනු මොනවා හෝ රත්කරගෙන කෑමක් යැයි අපි සිතන්නෙමු. ඒවා අස්සේ නජීබ්ලා ආහාර සංස්කෘතිය වෙනස් කරන්නයැයි ඉල්ලා සිටිති. ගෝල්ෆේස් සිට මා තදින්ම දරාගෙන ආවේ ආහාර සංස්කෘතිය ගැන නානාවරුන්ගේ යෝජනාවයි.ෙ