රාවය

ඒකාබද්ධ විපක්‍ෂය ජනතාවගෙන් අවලංගුයි | කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති

ඒකාබද්ධ විපක්‍ෂය ජනතාවගෙන් අවලංගුයි | කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති

තරිඳු උඩුවරගෙදර

කෝප් කමිටුව මහ බැංකුවේ බැඳුම්කර පිළිබඳව මේ දිනවල සාකච්ඡා කරනවා. මේ ගැන අදහසක් දක්වන්න පුළුවන්ද?

දැනට පරීක්ෂණයක් වෙමින් යන නිසා මට ඒකට බාධාවක් වෙන විදියේ ප‍්‍රකාශයක් නිකුත් කරන්න විදියක් නැහැ. මට දැනට කියන්න වෙන්නේ සීමාවක් යටතේ. දැනට තියෙන තත්ත්වය විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ලැබිලා තියෙන වාර්තාව පදනම් කරගෙන ඉදිරියට පරීක්ෂණ කටයුතු මෙහෙයවන්නත්, පාර්ලිමේන්තුවට ඒ පරීක්ෂණයේ වාර්තාවක් ඉදිරිපත් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. බැඳුම්කර ගනුදෙනුවෙන් පාඩුවක් වෙලා තියෙනවාද නැද්ද, වෙලා තියෙනවා නම් ඊට අදාළව ගන්නා ක‍්‍රියාමාර්ගය මොකක්ද කියන එක තීරණය කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට. කමිටුවට පුළුවන් යෝජනාවක් ඉදිරිපත් කරලා නිර්දේශයක් ලබාදෙන එක විතරයි.

ඔබට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් සහ ජවිපෙ සාමාජිකයෙක් විදියට පහුගිය දිනවල මහබැංකුවේ අධිපති සම්බන්ධයෙන් ඇතිවුණ සිදුවීම් ගැන අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්ද?

ඕක තමයි දැන් මට තියෙන ප‍්‍රශ්නය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් හැටියට සහ දේශපාලන පක්ෂයක් හැටියට කතාකරනවා කියලා කෝප් සභාපතිකම අයින් කරලා කතා කරන්න බැහැනේ. කොහොම අදහසක් පළකළත් මේ තනතුරට සම්බන්ධ වෙනවා. මට මේක පිළිබඳව අදහසක් තියෙනවා. මට විතරක් නෙවෙයි ඕනෑම කෙනෙකුට මේක දිහා බැලූ බැල්මට අදහස් තියෙනවා. එක දෙයක් කිව යුතුයි. මේ රටේ අපරාධ දෙවර්ගයක් තියෙනවා. සාමාන්‍ය ජනතාව කරන අපරාධ අහිංසක අපරාධ කියලා හඳුන්වන්න පුළුවන්. නොදන්නාකමට, දුප්පත්කමට හෝ ආර්ථික අහේනිය නිසා වෙන්න පුළුවන්. සමහර අපරාධ තියෙනවා සුදු කරපටි අපරාධ. ඒවා බුද්ධිය, දැනුම, තාක්ෂණය සහ තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා කරන අපරාධ. අවසානයේ ඒවා අපරාධ නෙවෙයි කළමනාකරණ දක්ෂතාව ලෙස අර්ථ ගැන්වෙනවා. මහජන මුදල් මංකොල්ලකෑම කළමනාකරණ දක්ෂතාවක් නෙවෙයි. බැඳුම්කර ගනුදෙනුවකින් ආණ්ඩුවේ මුදල් ආණ්ඩුවටම ණය දෙන එක. රජයේ මුදල් අවභාවිත කිරීම වගේ ඒවා සල්ලි යොදවන්නෙ නැතිව සල්ලි හම්බ කරන අපරාධ. ඒවා සීසීටීවී කැමරාවට අහුවෙන අපරාධ නෙවෙයි.

කෝප් කමිටුවට බලපෑම් තියෙන බවට මාධ්‍ය වාර්තා කළා නේද?

බලපෑම් නැහැ. බලපෑම් කරන්න උත්සාහ කළත් ඒවා අපි ගණන් ගන්නෙත් නැහැ. සමහරු කියනවා මම බලපෑම්වලට යටවෙනවා කියලා.

පහුගිය දවස්වල සජින් වාස්ගේ වංචා ගැන කතාකරනවා. ඔහුව අත්අඩංගුවට ගැනීම ගැන අදහස මොකක්ද?

රාජපක්ෂ පාලනය ඇතුළේ තිබුණු දේ තමයි රටට ද්‍රෝහිද නැද්ද කියන එක තීරණය වුණේ ආණ්ඩුවට පක්ෂද නැද්ද කියන එක මත. විපක්ෂයේ ඉඳන් ආණ්ඩුවට ආවොත් දේශපේ‍්‍රමියෙක් වෙනවා. ආණ්ඩුවෙන් ගියොත් ද්‍රෝහියෙක් වෙනවා. මේකෙ තියෙන්නේ ආණ්ඩුවට ආවොත් පිරිසිදු මිනිහෙක් වෙනවා. ආණ්ඩුවෙන් එළියට ගියොත් දූෂිතයෙක් වෙනවා. පරණ ආණ්ඩුවේ කරපු වැරදි නිවැරදි කරගෙන පරීක්ෂණවලින් මිදෙන්න තියෙන ක‍්‍රමය තමයි කෙළින්ම ආණ්ඩුවට යන එක. සජින් වාස් ගුණවර්ධන එක්ක තියෙන ගනුදෙනුව පෙනෙන්නේ නැහැ. ඔහුව එළියට දානවා, ආයෙමත් ඇතුළට යනවා.

පහුගිය දවස්වල ජනවාරි අට ව්‍යාපාරයේ හිටපු සිවිල් සමාජය ආණ්ඩුවට විරෝධය දක්වලා තිබුණා. ඒ ගැන අදහස මොකක්ද?

මගේ අදහස සිවිල් සමාජය කතාබහ කරන සීමාවෙන් එහාට එන්න ඕනෑ. ලිපි හුවමාරුවලින්, සාකච්ඡුාවලින් විරෝධය පෑවා කියලා තමන්ට සතුටු වෙන්න පුළුවන්. ආණ්ඩුව දැන් තියෙන දේශපාලන හා ආර්ථික අර්බුදය එක්ක සිවිල් සමාජයේ සිනාමුසු කතාබහට දැන් ප‍්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒ සීමාව පැනලා ඉවරයි. ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණය කරලත් ආණ්ඩුවේ ප‍්‍රතිචාරය මොකක්ද? ඒකට හේතුව ආණ්ඩුව දැන් නහය ළඟට නෙවෙයි නහයටත් උඩින් ගිලිලා ඉන්නේ. දැන් බේරිලා ඉන්නේ කොණ්ඩෙන් අල්ලගෙන උස්සගෙන ඉන්න නිසා ණයවලින්. ණයවලින් කොණ්ඩය ගැටගහලා තියෙන්නේ. ණය නැතිවුණොත් ආණ්ඩුව ඉවරයි. සිවිල් සමාජය දැන් පුළුල් බහුජන ව්‍යාපාර හැටියට හා දේශපාලන පක්ෂත් එක්ක කටයුතු කරන්න ඕනෑ.

වැට්බදුවලට විරුද්ධව ජවිපෙ උද්ඝෝෂණය කළත් ආණ්ඩුව කියන්නේ මේක ආර්ථික ආගාධයකින් ගොඩඑන්න ගත්ත තාවකාලික පියවරක් විතරයි කියලා.

ආණ්ඩුවට මේකෙන් ගොඩඑන්න ක‍්‍රමයක් ඇත්තේ නැහැ. මේක තාවකාලික වෙන්න නම් ආණ්ඩුවට මේකෙන් ගොඩඑන්න ස්ථීර ක‍්‍රමයක් තියෙන්න එපැයි. වැට් බදුවලට තියෙන විරෝධය නිසා බදු අඩු කළත් ඒක වෙන කොහෙන් හරි අය කරනවා. තාවකාලික ප‍්‍රශ්නවලට තාවකාලික උත්තර දෙන්න පුළුවන්. ඒත් ස්ථීර අර්බුදවලට දෙන්න ස්ථීර උත්තර මේ ආණ්ඩුවට නැහැ. ණය අර්බුදය, ආදායම් අර්බුදය, අපනයන අර්බුදය, ආදායම් බෙදීයාමේ විෂමතා අර්බුදය වගේ දේවල්වලට ආණ්ඩුවට උත්තර නැහැ.

ද්විපාර්ශ්වීය ගිවිසුම්, ජාත්‍යන්තර සම්බන්ධතා, ආයෝජන මත ආර්ථික දියුණුව ගේන්න ආණ්ඩුව තමන්ගේ ආර්ථික ප‍්‍රතිපත්තියක් ගැන කියනවා නේද?

ආණ්ඩුව පටන්ගත්ත දවසේ ඉඳන් ආයෝජන ගෙන්වන්න තිබ්බ සමුළු ටික ගැන හිතන්න. ජෝර්ජ් සොරොස්ගේ සමුළුව තිබුණා. අගමැතිවරයා රටවල්වල ගියා, රවී කරුණානායක වැඩිපුරම ඉන්නේ විදේශ රටවල, ජනාධිපති රටවල් ගාණකට ගියා. මොනවද ලැබිලා තියෙන්නේ.

ඒත් ජීඑස්පී ප්ලස්, යුරෝපයට මාළු අපනයනය කිරීම වගේ සහනයන් ලැබිලා තියෙනවා නේද?

රටක ආණ්ඩුවක් නැහැ කියලා හිතමු. ඒත් රටක් පවතින මට්ටමක් තියෙනවානේ. සමහර නිෂ්පාදයකයන් තමන්ගේ නිෂ්පාදන අලෙවි කරගන්න අලෙවි ප‍්‍රවර්ධකයෝ පාවිච්චි කරනවා. ඒක නැතත් නිෂ්පාදනය අලෙවි වන මට්ටමක් තියෙනවා. ඒ ප‍්‍රමාණය අලෙවි වීම අලෙවි ප‍්‍රවර්ධකයාගේ ජයග‍්‍රහණයක් නෙවෙයි. ඒවායින් දියුණුව කරා යන්න බැහැ. මේ රටේ කම්කරුවන්, නිෂ්පාදකයන්, රාජ්‍ය සේවකයාගෙන් ලැබෙන දේවල් ආණ්ඩුවේ ජයග‍්‍රහණ නෙවෙයි. ආණ්ඩුවෙන් ඒ වගේ සැලැස්මක් නැහැ. තියෙනවා නම් ආණඩුව ඇවිත් මෙච්චර කාලෙකට පස්සේ වැට් බදු වැඩි කරන්නේ නැහැ. ඔබ කියන දේවල් උන්නු හැටියට මළා මදැයි කියලා හොඳයි.

ආණ්ඩුව තමන්ගේ විදේශ ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා නේද?

රාජපක්ෂ පාලනය තුළ විදේශ ප‍්‍රතිපත්තියක් හෝ විදේශ ඇමතිවරයෙක් හිටියේ නැහැ. ඊට වඩා මෙයාලා ජාත්‍යන්තර දේශපාලනය කළමනාකරණය කරනවා. ඒකෙදී දකින්න ඕනෑ මෙයාලාට තියෙන වුවමනාවට වඩා ජාත්‍යන්තර වුවමනාවක් තියෙනවා ඒකට. ලංකාවේ පිහිටීම, ආර්ථික හා දේශපාලනීය වැදගත්කම වගේ දේවල්වලින් මෙහෙයවෙන එකක් තියෙන්නේ. කලින් ආණ්ඩුවට කොමිස් න්‍යාය පත‍්‍රයක් තිබුණේ. අද ඒ තත්ත්වය තියෙනවා කියලා කියන්න බැහැ.

ආණ්ඩුවට ප‍්‍රධාන විකල්පය විදියට ඒකාබද්ධ විපක්ෂය මතුවෙනවා නේද?

මොන ක‍්‍රියාමාර්ගයෙන්ද එහෙම මතුවෙලා තියෙන්නේ. එයාලා ආණ්ඩුවට එරෙහිව කරන්නේ මොනවද? අපි පොහොර සහනාධාරයට උද්ඝෝෂණය කරනවා, ගොවියෝ ගොවි ව්‍යාපාරවලට උද්ඝෝෂණය කරනවා, තරුණයෝ රැුකියා ඉල්ලලා උද්ඝෝෂණය කරනවා, සයිටම් එකට විරුද්ධව උද්ඝෝෂණය කරනවා. එයාලා මොනවටද උද්ඝෝෂණය කරන්නේ. එයාලා විකල්පය කියලා කියන එකත් අසාධාරණයි. එයාලා මාධ්‍ය ඉඩ පාවිච්චි කරලා ප‍්‍රධාන විපක්ෂය විදියට මතුවෙනවා කියලා කියන්න පුළුවන්. ගම්මන්පිල එක මාධ්‍ය සාකච්ඡුාවක් තියනවා, වාසු තවත් එකක් තියනවා, වීරවංශ තවත් එකක් තියනවා. අපි මාධ්‍ය සාකච්ඡුා පහක් තිබ්බොත් එකයි යන්නේ. එයාලා පහක් තිබ්බාම පහම යනවා. එහෙම වුණාට විකල්පය වෙන්නේ නැහැ. කියන්න දෙයක් නැහැ. එයාලා ජනතාවගෙන් අවලංගුයි. ඒත් තවමත් ප‍්‍රාග්ධනය විසින් පවත්වාගෙන යනවා.