බැසිල්, ගෝඨාභය කිසිසේත්ම නායකත්වයකට ආ යුතු නෑ | පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර

තරිඳු උඩුවරගෙදර

මහබැංකුව සම්බන්ධ සිදුවීම් ගැන ඔබේ අදහස මොකක්ද?

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශාල සාපරාධී වරදක්. මේ ගැන අපි විවිධ පැතිවලින් මුල ඉඳන්ම ඉදිරිපත් කළ කරුණුවල බලපෑම නිසා මේකට නිල වශයෙන් වගකිවයුත්තා වන අර්ජුන් මහේන්ද්‍රන්ව මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් කරලා වෙනත් කෙනෙක් පත් කරන්න හැකි වුණා. ඒත් ඉවත් කළේ මේ අපරාධයට මතුපිටින් හේතු වුණ පුද්ගලයාව විතරයි. ඒත් මේ අපරාධයට සම්බන්ධ තවත් අය ඉන්නවා. එක පැත්තකින් ලංකා බැංකුව මේ වගේ ගනුදෙනුවකට සම්බන්ධ වුණේ කොහොමද කියලා හොයලා බලන්න ඕනෑ. ලංකා බැංකුව මේ ගනුදෙනුවට සම්බන්ධ කරන්න බැංකුව අභ්‍යන්තරයෙන් හා බාහිරින් හේතු වුණ මැදිහත්කරුවන්ව සොයා බලන්න ඕනෑ. අනිත් පැත්තෙන් අර්ජුන් මහේන්ද්‍රන් පළවෙනි කෝප් කමිටු විමර්ශනයේදී කළා යැයි කියන ප‍්‍රකාශයක් ගැනත් තදින් සලකන්න ඕනෑ. ඔහු කීවේ මේ ගනුදෙනුව අගමැතිගේ අනුදැනුම ඇතිව සිදුවුණ බවයි. ඒ ප‍්‍රකාශය අනුව ගත්තොත් අගමැතිවරයාත් මේ අපරාධයේ පංගුකරුවෙක්. ඒ නිසා අපි හිතන්නේ මහේන්ද්‍රන් ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ කෝප් කමිටුව කරන පරික්ෂණයකින් මේ ප‍්‍රශ්නය ඉවර වෙන්නේ නැහැ. විගණකාධිපති වාර්තාවේ පැහැදිලිව කියනවා වළක්වාගත හැකිව තිබුණු බිලියන 1.6ක පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ පාඩුව ඒ මොහොතේ විතරයි. දීර්ඝකාලීන පාඩුව බොහොම වැඩියි. මේක සාපරාධී වරදක්. මේ වගේ තීරණයක් ගන්න හේතුවුණ අය කවුදැයි හොයලා දඬුවම් කරන එක පාර්ලිමේන්තුවේ වගකීමයි. මේ වගේ බරපතළ වරදක් තනිකරම මහේන්ද්‍රන්ට පවරනවාද, නැත්නම් ඔහුව මෙහෙයවපු බලවේගය පිළිබඳව සලකා බලනවාද කියලා අපි කල්පනා කරන්න ඕනෑ. අපි කියන්නේ මහබැංකු ගනුදෙනුව ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න ඕනෑ.

නව අධිපතිවරයා ගැන අදහසක් තියෙනවාද?

මං හිතන්නේ ඔහු දක්ෂ ඉහළ මට්ටමේ ආර්ථික විශේෂඥයෙක්. පළපුරුද්ද තියෙන නිලධාරියෙක්. ඔහු පහුගිය දිනවල රටේ ණය බර, මූල්‍ය ප‍්‍රතිපත්ති වගේ දේවල් ගැන කළ අදහස් දැක්වීම් ගැන පැහැදීමක් ඇති කරගත හැකියි. ඔහුගේ සුලමුල දන්නේ නැතිවුණත් දැනට ඔහු ගැන සැකයක් නැහැ.

ඒත් උදය ගම්මන්පිල ඔහුව දැඩි ලෙස විවේචනය කර තිබුණා නේද?

ඒක ඔහුගේ අදහස. ඒත් අර්ජුන් මහේන්ද්‍රන්ව පත් කරද්දීම ඔහුගේ ඉතිහාසය ගැන තිබුණු ගැටලූව කුමාරස්වාමි මහතා සම්බන්ධයෙන් ඇති කරගත නොහැකියි. කූට මූල්‍ය ගනුදෙනුවල යෙදුණු ගැලියන් සමාගමට ඔහු තාක්ෂණික සේවා සැපයීම වරදක් විදියට දකින්න බැහැ. විවිධ අය විවිධ සමාගම්වලට සේවා සපයනවා. ඒ සියල්ල කූට අදහසින් කරන දේවල් නෙවෙයි. කුමාරස්වාමි ගැන වැඩිදුර සොයා බැලීම්වලට යටත්ව ඔහුගේ වරදක් නැති බව කියන්න ඕනෑ.

මේ ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තියට ඔබේ කණ්ඩායමේ විවේචනය එල්ල වෙනවා නේද?

මේ ආර්ථික ප‍්‍රතිපත්තිය අගමැතිගෙන් ප‍්‍රකාශයට පත් වෙනවා. ඒකට අනුව නම් මේක ඉතාම විනාශකාරී ජන ජීවිතය අඩාල කරවන විදියේ ආර්ථික ප‍්‍රතිපත්තියක්. දැනට ආණ්ඩුව ඇති කරගෙන යන බදු ක‍්‍රියාකාරීත්වය ජනතාවගේ ජීවන මට්ටම ඉතාම බරපතළ විදියට කඩා වට්ටලා තියෙනවා. සංවර්ධනය ඇති කරන්න පෞද්ගලික අයෝජන ඕනෑ බව අපි පිළගන්නවා. ඒ වගේම රාජ්‍ය ආයෝජනත් අවශ්‍යයි. පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය නිසි පරිදි කළමනාකරණය කරගන්න ඕනෑ. ඒත් මේක ජනතාවගේ කර පිට බර පටවන ම්ලේච්ඡු ආර්ථික ප‍්‍රතිපත්තියක්.

ඒත් ආණ්ඩුව කියන්නේ මේක තාවකාලික තත්ත්වයක් කියලා නේද?

තාවකාලික වුණත් ඇයි එහෙම එකක් ක‍්‍රියාත්මක කරන්නේ. ආණ්ඩුව ඉහළම ධනපතින්ට සහන දුන්නා. ව්‍යාපාරිකයන්ට සහන දුන්නා. පීඩනය දැම්මේ සාමාන්‍ය ජනතාවට. ඒ කියන්නේ සුළුතරයේ පීඩනය අයින් කරලා බහුතරයේ පීඩනය වැඩි කළා. ඒකෙන් ආර්ථිකය දියුණු කරන්න බැහැ.

දැන් ඒකාබද්ධ විපක්ෂය බදුල්ලෙන් අලූත් පක්ෂය හදන්න පටන් අරන් නේද?

බදුල්ල අපේ පැත්තෙන් දුර්වලම දිස්ත‍්‍රික්කයක් නිසා බිම් මට්ටමේ දැනුම්වත් කිරීම් අරඹලා නව උනන්දුවක් ඇති කරන්නයි ඕනෑ වුණේ. ඒ වැඩපිළිවෙළ බැසිල් රාජපක්ෂ සූදානම් කළේ. ඉන් පස්සේ අපි කීවා බැසිල් ඒ පැත්තේ වෙනම වැඩ කරද්දී තවත් පනස්දෙනෙක් ජාතික දේශපාලනයේ වෙනම වැඩකිරීම ගැළපෙන්නේ නැහැ කියලා. කොටස් දෙකක් විදියට නෙවෙයි එකට වැඩ කළ යුතු බව කීවා. ඊට පස්සේ අපි එකඟතාවක් ඇති කරගෙන එකට වැඩ කරන්න පටන්ගත්තා. මේ පාර කටයුතු සූදානම් කළේ බැසිල් රාජපක්ෂ නිසා ඔහුගේ නම ඉස්මතු වුණා. ඒ නිසයි ඔහු කළ වැඩක් විදියට හැඳින්වුණේ. ඒත් ඒකාබද්ධ විපක්ෂය ඒකට සම්බන්ධ වෙලා වැඩ කළා. බැසිල් රාජපක්ෂත් ඒකේ හිටියා.

බැසිල් රාජපක්ෂට විරුද්ධ අයත් ඉන්නවා නේද?

මං ඔහුට විරුද්ධයි. බැසිල් රාජපක්ෂ මේ වැඩපිළිවෙළක නායකත්වයට එනවා නම් මම එහෙම ව්‍යාපාරයකට සම්බන්ධ වෙන්නේ නැහැ. බැසිල් අධිපතිවාදීයි. ගෝඨාභය මිලිටරිවාදීයි. මේ දෙන්නාගේම ස්වභාවය මම අත්දැකලා තියෙනවා. ඒ නිසා ඔවුන් නායකත්වයකට කිසිසේත්ම ආ යුතු නැහැ. ඒත් ඔවුන් ගැන මට තියෙන විරෝධය විඳ දරාගෙන නායකත්වයක් ඔවුන්ට නොදෙන තාක් කල් මට එකට වැඩකරන්න පුළුවන්. පොදු තීරණයක එකතු වෙන්න පුළුවන්. හැබැයි ඔවුන්ට නායකත්වය ලැබුණොත් මම මේ ව්‍යාපාරයෙන් ඉවත් වෙනවා.

ඒ අදහසේ ඉන්නේ ඔබ විතරද?

නැහැ. තවත් ගොඩක් අය ඉන්නවා. එළිපිට කියන්නේ මම විතරයි.

ඒකාබද්ධ විපක්ෂය ඉදිරි මැතිවරණවලට වෙනම තරග කරන බවට තීරණය කරලා ඉවරයි නේද?

අපට වෙන තෝරාගැනීම් නැහැ. මෛත‍්‍රීපාල සිරිසේන – යූඇන්පී එකත් එක්ක හවුලේ කටයුතු කරන පසුබිමක අපට ශ‍්‍රීලනිපය එක්ක වැඩ කරන්න බැහැ. ඒ ගැන කල්පනා කරලා වැඩක් නැහැ. ඒ නිසා විකල්පය වෙනම තරඟ කිරීමයි. ශ‍්‍රීලනිපය එජාපයෙන් ඉවත් වුණොත් විකල්පයක් තියෙනවා. ඒත් එහෙම වෙන පාටක් නැහැ.