රාවය

ඇමති රියෝ යයිද?

ඇමති රියෝ යයිද?

ඒ වික්‍රමසූරිය

මේ දිනවල දයාසිරි ජයසේකර අමාත්‍යවරයා රියෝ ඔලිම්පික් නැරඹීම සඳහා සිහින මවනවා සැබැවිය. ක‍්‍රීඩා ඇමැත්තෝ ආ පසු අත්විඳින අත්දැකීම් අතර විදෙස් සංචාර අංක එකය. එලෙස රට සවාරි නොගැසූ ක‍්‍රීඩා ඇමැත්තෙකු අප දන්නේ නම් ඒ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු පමණය. ඔහු ඔහුගේ කාලය තුළ විදෙස් සංචාර ගියා අමතකය.

දයාසිරි අමාත්‍යවරයා ක‍්‍රීඩා ඇමති ලෙස කල් ගෙවන වසර එකහමාර තුළ රටවල් ගණනාවකට ගියා මතකය. දැන් ඊළඟ සංචාරය බ‍්‍රසීල වන්දනාවය. ක‍්‍රීඩා ඇමති විදෙස් තරග නරඹා ලංකාවට රැුගෙන ආවේ මොනවාද? නව දැනුම ක‍්‍රීඩා සංවර්ධනයට අවැසි විකල්ප සොරාගෙන ආවේද?

ක‍්‍රීඩා නිලධාරීහුද සංගම්වල එල්ලී රට සවාරි යති. ඔවුන් ක‍්‍රීඩාවේ සංවර්ධනයට රැගෙන ආවේ මොනවාද? දයාසිරි ජයසේකර ඇමතිවරයා සමග පෞද්ගලික ආරෝවක් අපට නැත. එහෙත් ක‍්‍රීඩා අමාත්‍යාංශයේ කිසිදු වැඩක් සිදුනොවන තැන එහි පව්කාරයා ක‍්‍රීඩා ඇමති කොට ගල් ගසනවා හැර වෙන විකල්ප අපි නොදන්නෙමු. දැනට පවතින ක‍්‍රමය වැරදි නම් නිවැරදි ක‍්‍රමවේදය මෙය යැයි කීවාට පලක් නැත්තේ එය අවසානයේ ක‍්‍රියාත්මක කරනුයේ ක‍්‍රීඩා ඇමතිම නිසාය. එහෙත් අද ක‍්‍රීඩා ඇමති ප‍්‍රමුඛ ක‍්‍රීඩා අමාත්‍යාංශය හුදු ගොඩනැගිල්ලකට එහා පලක් ඇති තැනක් නොවේ.

එහි ක‍්‍රීඩාව වෙනුවෙන් ක‍්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් කිසිවක් සිදු නොවේ. කොටින්ම අදාළ තනතුර දරන නිලධාරීහු පවා රාජකාරියෙහි නොනියැලෙති. ඒ පුටු හිස්ය. එක්කෝ රාජකාරියට පැමිණ නැත. නැතහොත් විදෙස්ගතවය. ක‍්‍රීඩා අමාත්‍යාංශ ලේකම් පමණක් නොව ක‍්‍රීඩා ඇමතිවරයාට ලිපි ලියුවද ඒවාට පිළිතුරු නැතිය. මේ රටක පරිපාලන ව්‍යුහයක් ක‍්‍රියාත්මක වන හැටිය.

ක‍්‍රීඩා ඇමතිට තනිව මෙය ගොඩදැමිය නොහැකි බව අපි දනිමු. එහෙත් තනිව පියවර නොගෙන කිසිවක් සාර්ථක නොවන බවද කිව යුතුය. ක‍්‍රීඩා අමාත්‍යාංශයේ වැඩ කළ හැකි මිනිසුන් නැතිනම් එයට වගකිව යුත්තේ ඇමතිමය. මන්ද වැඩ කළ හැකි මිනිසුන් පත්කර ගැනීම ඇමතිගේ කාර්යයකි. ජනපති තමන්ට වැඩ කළ හැකි මිනිසුන් නැතැයි කියන්නේ නම් එයට වගකිව යුත්තේද ජනපතිමය. දයාසිරි ජයසේකර මහතා පාරේ යනවිට අඩගසා ඇමති ධුරයක් දී එය ක‍්‍රීඩා අමාත්‍ය ධුරය ලෙස නම් කළ පසු එයට සාධාරණය ඉටුකිරීම ක‍්‍රීඩා ඇමතිගේ වගකීම නොවේද?

ඇමතිකම ගත් අලූත ඔහු ආතක්පාතක් නැතිව දුව පනිමින් දැඟලූවා මතකය. සුගතදාස ක‍්‍රීඩාංගණයට ගොස් මහා හයිකාර කතාවක් කළා වගේ මතකයක් පවතී. එහෙත් අදටත් එහි පතුරු ගැලවිලාය. එහි පමණක් නොව අද වනවිට ක‍්‍රීඩා ඇමතිගේද පතුරු ගැලවී ගොස්ය. සුගතදාස ක‍්‍රීඩාංගණය සහ දියගම ක‍්‍රීඩාංගණය පිළිවෙළකට සකස් කොට අවසන් කළ නොහැකි ක‍්‍රීඩා ඇමති රටපුරා ක‍්‍රීඩාංගණ හදන්නට පිඹුරු හදයි. මෙහි රහස අපි ගිය සතියෙහි ලියුවෙමු. මේ වනවිට ක‍්‍රීඩාවේ කතා කරන්නට දෙයක් නැති තරම්ය. ඒ තරමට පිරිහිලාය. මෙහි සම්පූර්ණ වගකීම වත්මන් ක‍්‍රීඩා ඇමතිවරයා ගත යුතු නැතත් ඒ සියලූ පව් ඔහු කරගැසිය යුත්තේ මේ මොහොතේ එය ඔහු සතු වගකීමක් වන බැවිනි.

අපි බොහෝ අඩුපාඩු පෙන්වා දී ඇතත් ඒවාට ඇමතිවරයා ගත් විසඳුම් නොදනිමු. සාග් ක‍්‍රීඩා උළෙලට ගිය සංගම්වලට මුදල් බෙදූ විකාර සහගත ආකාරයත්, ඒ මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්නත් සෙවිය යුතුම දෙයකි. එහෙත් ඒ ගැන තවමත් ඇහැරී බලන ගතියක් නැතිය. ක‍්‍රීඩා අමාත්‍යාංශයේ සිටින නිලධාරීහු විශාල ප‍්‍රමාණයක් ක‍්‍රීඩාව වෙනුවට ඉන් පෝෂණය වන ඉහඳ පණුවෝය. මේ අය ගැන අවබෝධයක් ක‍්‍රීඩා ඇමතිටද ඇත. ඊට ඔහු දෙන පිළිතුර විය හැක්කේ මේ සියල්ල ඉවත් කොට ඊට මිනිසුන් සොයාගන්නේ කෙසේද යන්නය. කාව හෝ ඉවත් කිරීම පසෙකලා අප කියනුයේ මේ අයගෙන්ද නියමාකාරයෙන් වැඩ ගත යුතු බවය. ඒ අයට ඕනෑ දෙයක් කරගන්නට දී බලා සිටින්නට නම් ඇමැත්තෙකු පත් කළ යුතුද? ක‍්‍රීඩා ඇමති රියෝ ගොස් පැමිණ වැඩකරනු ඇතැයි අප සිතිය යුතුද?