Monday, 21/8/2017 | 3:42 UTC+0
රාවය

ව්‍යවස්ථා උගුල්කාරයන්ගේ අතේ රෝල

අරුණ ජයවර්ධන

ජේයෂ්ඨ නීතිඥ ලාල් විජේ නායකගේ ප‍්‍රධානත් වයෙන් ඉදිරිපත් කරන ලද ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව’ මේ දිනවල අන්ත ජාතිකවාදීන්ගේ බලවත් ප‍්‍රහාරයට ලක්වෙයි. එම වාර්තාව හා වාර්තාවේ සඳහන් කරුණු ගැන මේ ජාතිකවාදීන් ඉදිරිපත් කරන තර්ක කියාපාන්නේ මේ පිරිස කිසිම ආකාරයකින් ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන්, මානව ගරුත්වයෙන් හා සංහිඳියාවෙන් යුක්ත රටක් වනවාට කැමති නැති බවයි. කමිටු වාර්තාව පදනම් කරගෙන නගන ඔවුන්ගේ තර්ක අවසන් වන්නේ ඊනියා සිංහල-බෞද්ධ ජනතාව තුළ නිදන්වී තිබෙන අන්තවාදී අංශුමාත‍්‍රයන්ට පණපොවා අවුලූවාලීමෙනි. එහි කෙළවර කුමක් විය හැකිදැ’යි 1915, 1977, 1983 සිදුවීම් මෙන්ම 2014 අලූත්ගම සිදුවීම්ද අපට සෑහෙන තරමින් පෙන්වාදී තිබේ.

කොහොම වුණත් මේ මහත්වරුන්ගේ තර්ක මොනවාද, ඒවායේ කෙතරම් විස තැවරී ඇත්ද යන්න ගැන තේරුම්ගැනීමට ඒ එකින් එක සලකා බැලිය යුතුය.

ජනවරම

ඔවුන්ගේ මූලික තර්කයක් වන්නේ මේ ආණ්ඩුවට අලූත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට ජනවරමක් ලැබී නැති බවය. එය කිසියම් දුරකට ඇත්තය. 2015 ජනවාරි 8වැනිදා දේශපාලන වෙනසට දායකවූ රටේ සවිඥානික පුද්ගල තීරුවේ සැලකිය යුතු පිරිසක් හැරෙන්නට අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන සාමාන්‍ය ජනතාවට ලොකු අවබෝධයක් තිබුණේ නැත. එහෙත් පෙර කී දැනුවත් පුරවැසි තීරුව 2015ටත් පෙර සෑහෙන කාලයක් තිස්සේ සිට අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන ප‍්‍රසිද්ධියේ වාද සංවාද කළහ. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් පවා සකස් කළහ. ඇරත්, 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඇතිකරගත් අවධියේම පවා කොල්වින් ආර් ද සිල්වා වැනි ඉහළ පෙළේ බුද්ධිමතුන් මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සිදුවිය හැකි අනාගත විනාශය පැහැදිලි කළ අතර වසර තිස් ගණනකට පසු අද වන විට ඔවුන් කී දෑ අපි අත්දැකීමෙන් විඳ සිටිමු. ඊට අමතරව ශ‍්‍රීලනිපය 1978 සිටම ද, එජාපය මෑතක සිටද මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුය යන ස්ථාවරයේ සිටියහ. සාම්ප‍්‍රදායික වාමාංශික පක්‍ෂ සිටියේද ඒ ස්ථාවරයේමය. ඒ අනුව, පසුගිය කාලයේ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන වුවමනාවක් රටේ සැලකිය යුතු පුරවැසි, පාක්‍ෂික තීරුවලට තිබුණු බව පැහැදිලි වෙයි. ජනාධිපතිවරණයේදීත් මෛතී‍්‍රපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිය සඳහා පැහැදිලිව පෙනී සිටියේය. විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවා නම්, විධායක ජනාධිපති ධුරය මුල් කොටගෙන ගැටගසා ඇති වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම වෙනස් කළ යුතු බව තේරුම් ගැනීමට ගැඹුරු දැනුමක් අවශ්‍යත් නැත.

එහෙත්, මේ ආණ්ඩුවට අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා ජනවරමක් නැතැ’යිම සිතමු. ආණ්ඩුව දැන් කරන්නට හදන්නේ එවැනි ජනවරමක් ලබාගන්නටය.
ඒ කරන්නේද පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ආධිපත්‍යය පිළිගනිමින්ම එය තුළින් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගනිමිනි. එනිසා අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නීතිගත වන්නට නම්, දැන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන පරිදි, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් හා ජනමත විචාරණයකදී සියයට පනහකට වඩා අනුමැතියක් අවශ්‍යය. ආණ්ඩුව ජනමතය විමසන්නට හදන්නේ ඒ ඉදිරි අවස්ථාවේදීය. දැන් කරන්නේ එසේ පාර්ලිමේන්තුවට හා ජනතාවට ඉදිරිපත් කළ හැකි ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීමේ කාර්යයයි.

ඒ කාර්යය මහජනතාවගේ අදහස් ගැන සලකා බලමින් කරන්නට ආණ්ඩුව තීරණය කිරීම පුරවැසියන්ගේ පැත්තෙන් වැදගත් දෙයකි. රටවැසියන් වහලූන් බවට පත්කොට රාජපක්‍ෂ වලව්වේ පිළිකන්නට ගාල්කරන්නට කැමති මේ ජාතිකවාදීන්ට අනුව, ‘මහජනතාවගෙන් ඇසීම’ යනු ප්‍රෝඩාවකි. කුමන්ත‍්‍රණයකි. ඔවුන්ට එසේ සිතීම පුදුමයක් නොවන්නේ, ඔවුන්ට අනුව ‘මහජනතාව’ කියා පිරිසක් නැති බැවිනුත්, ඇතියැ’යි සිතන්නේ රාජපක්‍ෂ වලව්වේ කඹුරන වහලූන් පිරිසක් වීමත් නිසාය. මහජන අදහස්ද, දැනට ඒ සම්බන්ධයෙන් පත්කර ඇති ඒකාබද්ධ විපක්‍ෂයත් ඇතුළත්වන පාර්ලිමේන්තු විශේෂ කමිටුවලද අදහස් මත පදනම්ව මේ ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරගත් ආණ්ඩුව එය පාර්ලිමේන්තුවටත් ජනමත විචාරණයකටත් ඉදිරිපත් කරනු ඇත. එයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය ගන්නට බැරිවුණොත් එතැනින් එහාට ගමනක් නැත. එය රටේ පරම නීතිය වනු ඇත්තේ පාර්ලිමේන්තුවේ අනුමැතියත්, ජනවරමත් ලැබුණොත් පමණි.

ලාල් විජේනායක කමිටුව කළේ ප‍්‍රධාන ශීර්ෂ විස්සක් ඔස්සේ මහජනතාවගේ අදහස් විමසා පළමුව ඒවා අඩංගු කොට, දෙවනුව ඒ සම්බන්ධයෙන් කමිටුවේ සාමාජිකයන් දරන අදහස්ද සමඟ වාර්තාවක් හැදීමය. යම් යම් කාරණා සම්බන්ධයෙන් කමිටුවේ සාමාජිකයන් අතරද මතවාදී වෙනස්කම් තිබිණි. එවිට තීරණය කළ යුතු වුණේ් සාමාජිකයන් බහුතරයේ අදහස කමිටු නිර්දේශය ලෙස සලකනවාද, ඒ මිනුම නිවැරදිද යන්නය. අවසානයේ කමිටුව ගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුකූල තීරණය වුණේ, යම් කාරණාවක් සම්බන්ධයෙන් කමිටුව තුළද විසම්මුතියක් පවතින වේලාවක, ඒ ඒ මතය වෙනුවෙන් පෙනීසිටි කමිටු සාමාජිකයන්ගේ නම්, වාර්තාවේ පාද සටහන් යටතේ දැක්වීමටයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු බහුතරයේ අදහස ජයගැනීම පමණක් නොව සුළුතරයටද සලකන හැටියැ’යි කියන කියමන සහතික කරන්නට ඊටත් වඩා හොඳ ක‍්‍රමයක් තිබේද?

සිංහයා නැති ජාතික කොඩිය

මේ අන්ත ජාතිකවාදීන් මහජනතාව ඇන්දීමට කියන අමූලික බොරුවක් වන්නේ ජාතික කොඩියෙන් සිංහයා ඉවත්කිරීමට නිර්දේශ කර ඇති බවයි. එහෙත් වාර්තාවට අනුව නම් මහජන අදහස් පදනම් කරගත් නිර්දේශ තුනක් දක්වා තිබේ. 1. ජනවර්ග පිළිබඳ සඳහනකින් තොරව, ලාංකික සාමූහික ජීවිතය නියෝජනය වන අනාගමික රාජ්‍යයකට සුදුසු නව ජාතික කොඩියක් නිර්මාණය කිරීම. 2. සියලූ ජනවාර්ගික කණ්ඩායම්වල සමානත්වය හා ඔවුන් අතර සාමය හා සමාදානය සංකේතවත් වන නව කොඩියක් සැලසුම් කිරීම. 3. කිසිම වෙනසක් නැතිව වර්තමාන කොඩියම තබාගැනීම. මේ නිර්දේශවලින් 1ට, කමිටුවේ සාමාජිකයෝ 6ක් කැමතිය. 2ට එක් අයෙක් කැමතිය. 3ට කමිටුවේ ප‍්‍රධානියාද ඇතුළු 11ක්ම කැමතිය. මෙහි ඇති වරද කුමක්ද? වැඩිම පිරිසක් කැමති තිබෙන කොඩියම තවදුරටත් තබාගන්නටය.

අනාගමික රාජ්‍යයක්

මේ අන්තවාදීන් පතුරන බොරුව නම්, ව්‍යවස්ථාවේ ආගම නම් කොටස සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට, බැරි නම් ‘බුද්ධාගම’ යන්න අයින් කර ‘ආගම‘ යන්න යෙදීමට, ඒකත් බැරි නම් බුද්ධ ශාසනය යන්න ඉවත්කර බුද්ධාගම විතරක් තබා ලංකාව අනාගමික රාජ්‍යයක් බවට හැරවීමට කමිටුව කුමන්ත‍්‍රණය කරන බවයි.
එහෙත් ‘ආගම’ යටතේ මහජන අදහස් පදනම් කරගත් නිර්දේශ හයක් කමිටුව සිය වාර්තාවේ ඉදිරිපත් කරයි. (1) කිසිම වෙනසක් නැතිව දැන් පවතින 9වන ව්‍යවස්ථාව පවත්වාගැනීම (රජය බුද්ධශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කළ යුතුය යන) (2) 9වැනි ව්‍යවස්ථාව ඇතුළත් 2 පරිච්ෙඡ්දයේ දැනට පවතින ‘බුද්ධාගම’ නම් ශීර්ෂය ‘ආගම්’ ලෙස වෙනස් කිරීම (3) 9වැනි ව්‍යවස්ථාව පහත පරිදි වෙනස් කිරීම: ‘ලංකා ජනරජය සියලූ ආගම්වලට සමතත්ත්වය දිය යුතුය. ව්‍යවස්ථාවේ 10 හා 14(1) ව්‍යවස්ථාවලින් ‘සියලූ ආගම්වලට’ ලබාදී ඇති අයිතීන් ආරක්‍ෂා කරමින් රාජ්‍යය බුද්ධාගම හා බුද්ධ ශාසනය පෝෂණය කර ආරක්‍ෂා කළ යුතුය.’ (4) ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුය. (5) ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනයට ආගමේ කාර්යභාරය පිළිගන්නා අතර ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුය. (6) වර්තමාන ව්‍යවස්ථාවේ 2 පරිච්චේදයේ ශීර්ෂය ‘ආගම්’ විය යුතුය. එම ව්‍යවස්ථාව පහත පරිදි වෙනස් විය යුතුය: ’ශ‍්‍රී ලංකා ජනරජය සියලූ ආගම්වලට සමාන තත්ත්වයක් දිය යුතුය.’ මේ නිර්දේශවලින් අංක 1ට කමිටු සාමාජිකයෝ 2ක්ද, 2ට 2ක්ද, 3ට කමිටුවේ ප‍්‍රධානියා ඇතුළු 5ක්ද, 4ට 5ක්ද, 5ට එක් අයෙක්ද, 6ට 2ක්ද කැමතිය. මේ නිර්දේශවල තිබෙන කුමන්ත‍්‍රණය කුමක්ද? කමිටුව ඉතාමත් පැහැදිලිව මහජන අදහස් සාරාංශ කොට ඒවාට කමිටු සාමාජිකයන්ගේ ළැදියාව වෙන වෙනම දක්වා තිබේ. පස්දෙනෙකු බැගින් සමානව කැමති නිර්දේශ දෙකකි. එකක්, සියලූ ආගම්වලට සලකමින් බුද්ධාගම හා බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කළ යුතු බවය. අනෙක රට අනාගමික රාජ්‍යයක් විය යුතු බවය. එසේනම් මේ ජාතිකවාදීන් කියන රට අනාගමික කිරීමේ කුමන්ත‍්‍රණය කුමක්ද?

ජාතික ගීය

කමිටු වාර්තාවේ ජාතික ගීය ගැන නිර්දේශ දෙකකි. (1) 2000 ව්‍යවස්ථා කෙටුම්පතේ ඇති ජාතික ගීය ගැන වගන්ති සැලකිල්ලට ගැනීම (2) ජාතික ගීය සිංහලෙන් හා/හෝ දෙමළෙන් ගායනා කිරීමට ඇති අයිතිය පිළිගනිමින් 2000 ව්‍යවස්ථා කෙටුම්පතේ ඉදිරිපත් කර ඇති ජාතික ගීය පිළිබඳ වගන්ති සැලකිල්ලට ගැනීම. මෙයින් 1ට එක් සාමාජිකයෙක්ද 2ට සාමාජිකයන් 16ක්ද කැමතිය.

මේ නිර්දේශවලින් පළාත් ආණ්ඩුකාරවරුන්ගේ බලතල දියකර ඒකීය රාජ්‍යය නැතිකරන බවද මේ ජාතිකවාදීහු කියති. එහෙත්, කමිටුවේ සියලූම සාමාජිකයෝ ‘ඒකීය’ රාජ්‍යයක පැවැත්මට පක්‍ෂය. ඉන් සමහරු ෆෙඩරල් ස්ථාවරයේ සිට, ලංකාව එක්, ස්වාධීන, නිදහස්, ස්වෛරී ජනරජයක් විය යුතු අතර රාජ්‍යය, ජනරජයේ නිදහස, ස්වෛරීයත්වය, එක්සත් බව හා භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කරමින්, රටේ විවිධ ජනකොටස් අතර සාමය හා සංහිඳියාව පවත්වාගනිමින් ශ‍්‍රී ලාංකික අනන්‍යතාව රජය විසින් ප‍්‍රවර්ධනය කළ යුතුය’ යන අදහස දක්වා සම්මුතිගත වූහ. මේ අනුව ඒකීය බව බිඳෙනවාය යන්න ද්වේෂ සහගත අමූලික බොරුවක් මිස අන් කුමක්ද?

හැබැයි, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සහජීවනයක් අප අනාගතයේ බලා පොරොත්තු වනවා නම්, අනිවාර්යයෙන් යථාර්ථවාදී බලය බෙදීමක් කළ යුතුමය. පරිවාර පාලන ඒකකවල (ඒවා පළාත් සභා හෝ වෙනත් ඕනෑම එකක් හෝ විය හැකිය.) සාපේක්‍ෂ ආධිපත්‍යය පිළිගත යුතුය. 1978 ව්‍යවස්ථාවේ 13වැනි සංශෝධනය යටතේ බිහිවූ ආණ්ඩුකාරවරුන් ඇත්ත වශයෙන්ම පසුගිය කාලයේ කළේ, පළාත් සභාවේ දේශපාලන බලයට එදිරිව, තමන්ට ලැබී තිබෙන ජනාධිපතිවරයාගේ බලය ක‍්‍රියාවේ යෙදවීමය. මෙය යහපත් බලය බෙදීමකට සපුරා පටහැණිය. එනිසා, අනාගත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකදී අනිවාර්යයෙන්ම පළාත තුළ ක‍්‍රියාත්මක වන මධ්‍යම ආණ්ඩුවේ හෙවත් කේන්ද්‍රයේ බලය අඩුකළ යුතු අතර, පළාත් සභා පාලනයේ බලය පිළිගත යුතුය. ඒ සඳහා කමිටුව කියන්නේ, ‘මහඇමතිගේ එකඟත්වයෙන් ආණ්ඩුකාරයා පත්කළ යුතු බවය. ආණ්ඩුකාරයා පත්කළ යුත්තේ මහඇමතිගේ උපදෙස් මත බවය. පළාත් සභාව සම්මත කරන පනත්වලට ආණ්ඩුකාරයා අනුමැතිය දීම වෙනුවට සෑම පනතක්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලදැයි බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ ව්‍යවස්ථාදායක අධිකරණයට හෝ ඉදිරිපත් කළ යුතු බව’ය.

කමිටුවේ එක් සාමාජිකයකු හැර අනෙක් සියල්ලන්ම එකඟවී ඇති මේ ු නිර්දේශවලින් පළාත් සභාවේ බලය පිළිගනියි. උතුරු නැගෙනහිර පමණක් නොවේ. දකුණේ, බස්නාහිර, සබරගමුවේ පළාත් සභාවල බලයද පිළිගනියි. ඒ ඒ ආණ්ඩුකාරයා කටයුතු කළ යුත්තේ මහඇමතිගේ උපදෙස් මතය යන නිර්දේශය කුමන්ත‍්‍රණකාරී අලූත් එකක් හැටියට ජාතිකවාදීන් කියතත්, දැන් පවතින ව්‍යවස්ථා විධිවිධාන අනුවද ඉතාම සීමිත අවස්ථා කිහිපයකදී හැර, ආණ්ඩුකාරයා කටයුතු කළ යුත්තේ මහඇමතිගේ උපදෙස් මතය. ආණ්ඩුකාරයා පනතක් අත්සන් කරනවා වෙනුවට පනත සමාලෝචනයට ශ්‍රේෂ්ඨාධිකරණයට යැව්වොත් එම පනත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකුලද නැද්ද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනගන්නට අගනා අවස්ථාවක් ලැබෙයි. එය කෙතරම් යහපත් දෙයක්ද? ඉන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැණි පනතක් පළාත් සභාවක සම්මත වීම මුළුමනින්ම ඇහිරෙනවා නොවේද?

මේ ආකාරයෙන් බැලූවිට මේ අන්තවාදීන් කරන්නේ කමිටු වාර්තාවේ තමන් කැමති තැන් පමණක් තෝරාගෙන එම වචනවලට තමන් කැමති අර්ථ විවරණ දෙමින් හැඟීම්බර වාක්‍ය හා ගිනි අවුළුවනසුලූ ආවේග යොදා ජනතාව ඉදිරියේ ජපකරමින් රට ගිනිතැබීමේ වෑයමක යෙදීමයි. එහෙත්, වාසනාවකට මෙන් රටේ බහුතරයක් ඉන්නේ මේ අයගේ තර්ක පිළිගන්නා තැනක නොවේ. මේ අමූලික බොරුවලට උත්තර දිය හැකි පහසුම ක‍්‍රමය නම් ලාල් විජේනායක කමිටු වාර්තාව මුල සිට අග දක්වා හොඳින් කියවා බැලීමයි. ඊට පසු මේ අයගේ තර්ක සමඟ සංසන්දනය කිරීමයි. ඔවුන් කියන විදියේ දෙයක් වාර්තාවේ නැති බවත්, ඔවුන් යෙදී ඉන්නේ රට ගිනි තැබීමට අවශ්‍ය තමන්ගේ හිතලූ වාර්තාවේ තිබෙන ඒවා හැටියට කියාපෑමේ පහත් වෑයමක බවත් එවිට සියල්ලන්ට පැහැදිලි වනවා ඇත. අනෙක් අතට මේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කෙසේ විය යුතුද යන ප‍්‍රශ්නයට ලැබුණු මහජන අදහස්වල සාරාංශයක් පමණකි. ඒවායින් ව්‍යවස්ථා සම්පාදක කමිටු විසින් පිළිගන්නා අදහස් ව්‍යවස්ථා කෙටුම්පතකට ඇතුළත් කොට පාර්ලිමේන්තුවට දමා එහි තුනෙන් දෙකක බලයක් ලබාගෙන, ජනමත විචාරණයකින්ද සම්මත වුණොත් පමණක් රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවට ඇතුළත් වේ. ඒ නිසා දැන් දැන්ම මේ මහජන අදහස් ව්‍යවස්ථා මරඋගුලක් හෝ ජාතියේ අවමඟුලක් ලෙස හෝ නම්කිරීම පවා ඉල ඇදෙන විහිළුවකි.ෙ