ශ‍්‍රීලනිපයේ එකමුතුකම වෙනුවෙන් හැමදේම කරනවා | ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර

තරිඳු උඩුවරගෙදර

පහුගිය සතියේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රී නාමල් රාජපක්ෂව රිමාන්ඞ් කළා. ඔහුගේ පක්ෂයේ සාමාජිකයෙක් විදියට ඒ ගැන අදහස මොකක්ද?

සාමාන්‍යයෙන් අපට වුණත් ප‍්‍රශ්නයක් වුණාම ඒ සම්බන්ධව පොලීසියට ගිහින් කටඋත්තර දෙන්න වෙනවා. දිගින් දිගටම ප‍්‍රශ්න කරලා වරදක් තියෙනවා නම් දඬුවම් කරනවා. ඒකට ඉතින් විපක්ෂද ආණ්ඩු පක්ෂද කියලා නැහැ. ඩිලාන් පෙරේරා, පියංකර ජයරත්න වගේ අයත් එෆ්සීඅයිඞී ගානේ රස්තියාදු වෙනවා. ඒ අයගෙනුත් කටඋත්තර අරගෙන යනවා. ඒක පළිගැනීමක් කියනවා නම් වැරදියි. අපි බලන්න ඕනෑ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් විදියට ඔහුට යම් අසාධාරණයක් වෙලා තියෙනවාද කියලා. අසාධාරණයක් වෙලා තියෙනවා නම් අපි ඒකට විරුද්ධ වෙනවා යූඇන්පීද ශ‍්‍රීලංකාද කියලා බලන්නේ නැහැ.

දේශපාලනඥයන් අත්අඩංගුවට ගනිද්දී ලොකු මාධ්‍ය සංදර්ශන පවත්වන අය ඉන්නවා. ඇතැම් අය තමන් කළ අපරාධය ගැන ලැජ්ජා විය යුතු අය. මේ සංදර්ශන ගැන දේශපාලනඥයෙක් විදියට ඔබේ අදහස මොකක්ද?

වැරැුද්දේ ස්වභාවය ජනතාව දැනගත්තාම ඔවුන් දන්නවා අහවල් හේතුව නිසායි අත්අඩංගුවට අරන් තියෙන්නේ කියලා. නිකන්ම උස්සන් ගිහින් දාන්නේ නෑනේ. ඒක ඒගොල්ලොත් තේරුම් ගන්න ඕනෑ. අපිත් තේරුම් ගන්න ඕනෑ. අලූත් ආණ්ඩුවක් ආවාම කලින් ආණ්ඩුව කාලේ සිදුවුණු වැරදි සොයා බලනවා. ඒක මොන පක්ෂෙද කියලා බලන්න බැහැ. ඒ ක‍්‍රියාමාර්ග තමයි ගනිමින් ඉන්නේ. වැරදි විදියට අත්අඩංගුවට ගන්නවා නම් ඒකට විරුද්ධව උසාවි යන්න පුළුවන්. වැරැුද්දක් වෙලා තියෙනවා නම් ජනාධිපතිට වුණත්, අගමැතිට වුණත් ඒක සාධාරණ විදියට ක‍්‍රියාත්මක විය යුතුයි. ආණ්ඩුවේ මැදිහත් වීමෙන් කෙනෙක්ව හිරභාරයට ගැනීම වැළැක්වීම හෝ හිරභාරයට ගැනීම වැරදි දේවල්. අදාළ සිද්ධිය මොකක්ද කියලා අපි බලන්න ඕනෑ. මෙතැනදී අපි දන්නවා ලැබුණු මුදලක් වෙනත් කාරණයකට යොදවාගැනීම ගැන සිද්ධියක් තියෙන්නේ.

මේ ආණ්ඩුව පත්වෙලා අවුරුද්දකට ළඟා වෙලා. මේ කාලසීමාව ගැන අදහස මොකක්ද?

අපට අමාරු කාලයක් ඇවිල්ලා තියෙන්නේ. ඒකට හේතුව විශාල ණය කන්දරාවක් ගෙවන්න සිදුවෙලා තිබීම. ආදායමට වැඩිය අපේ වියදම වැඩියි. සීයක් ආදායම එද්දී එකසිය දහතුනක් අපේ වියදම යනවා. අපි ගන්න ණය සංවර්ධනයට යෙදුවාට ඒවායින් සීයට අසූවක් නැවත ණය හා ණය පොලී ගෙවන්න සිදුවෙලා. අමාත්‍යාංශය විදියට අපි විශාල වැඩ කොටසක් කරනවා. හැබැයි අපි රටක් විදියට ගත්තාම මෙතැනින් ගොඩඑන්න යම් කාලසීමාවක් අවශ්‍යයි. මහින්ද මැතිතුමා දෙදාස් පහේ ඉඳන් දෙදාස් නවය වෙනකන් යුද්ධය ඉවර කරන්න ලොකු අරගලයක් කළා. එතැනින් පස්සේ තමයි සංවර්ධනය පටන්ගත්තේ. දැන් අලූත් ආණ්ඩුවක් පත්වුණාම අලූත් අභියෝගයක් තියෙනවා. ජාත්‍යන්තර වෙළඳපොළේ බිඳවැටීම් දැඩි ලෙස ලංකාවට බලපානවා. ලබන අවුරුද්ද වෙනකොට අපට පුළුවන් වෙයි ණය ප‍්‍රශ්නයෙන් මිදිලා ඉස්සරහට යන්න.

ලංකාවේ ක‍්‍රීඩාව කොළඹට සහ ක‍්‍රිකට්වලට පමණක් සීමා වීම ප‍්‍රශ්නයක් විදියට පේනවා. ඒ තත්ත්වයෙන් මිදෙන්න ඔබේ වැඩපිළිවෙළ මොකක්ද?

අපට තියෙන ප‍්‍රධානම ප‍්‍රශ්නයක් තමයි නිවැරදි තාක්ෂණික වැඩපිළිවෙළක් තුළ ක‍්‍රීඩාව දියුණු නොවීම. විශේෂයෙන් ළමයින්ව හඳුනාගැනීමේ ඉඳලා. අපි ක‍්‍රියාත්මක කරනවා ටැලන්ට් අයිඩෙන්ටිෆිකේෂන් කියන වැඩසටහන. අවුරුදු දහතුනට අඩු දරුවන් ලංකාව වටේම හොයාගෙන ගිහින් ළමයි පනස්දාහක් හොයාගෙන විවිධ ක‍්‍රීඩාවලින් ඔවුන්ව සංවර්ධනය කරන්න කටයුතු කරනවා. දෙදාස් විසිහතරේ ඔලිම්පික් දක්වා ඔවුන්ව ගෙනයනවා. පළවෙනි වතාවට ශක්තිමත් වැඩපිළිවෙළක් අපි පොළොවට හඳුන්වලා දීලා තියෙනවා. දැන් තියෙන්නේ ක‍්‍රියාත්මක කරන්න.

දෙදාස්විසිහතරේ ඔලිම්පික් ගැන කතා කළත් මේ එන ඔලිම්පික්වලට වැඩපිළිවෙළක් තියෙනවාද?

ළඟ එන ඔලිම්පික් ගැන මම කතාකරන්නේ නැහැ. මොකද ඒවා මීට කලින් කරන්න තිබුණු දේවල්. දවස් කිහිපයකට කලින් සංචිතය තෝරාගත්තේ. අනිත් රටවල් අවුරුදු දහයක් දොළහක් තිස්සේ මේවා හැඩගස්වන්න ඕනෑ. ඒ නිසා තමයි මම දෙදාස්විසිහතර ගැන කල්පනා කරන්නේ. අහම්බෙන් පදක්කම් දිනන්න බැහැ. අපි දැනට හොයාගෙන ඉන්න ක‍්‍රීඩකයන්ට උපරිම පහසුකම් දීලා පුහුණුවීම් කරගෙන යනවා.

ඔබ ශ‍්‍රීලනිපයේ සාමාජිකයෙක් විදියට පක්ෂයෙන් කණ්ඩායමක් වෙන්ව යන බවට ප‍්‍රකාශ කර තිබීම ගැන අදහස මොකක්ද?

අපි ශ‍්‍රීලනිපය විදියට මේ ගමන යනවාද නැත්නම් වෙන විදියකට යනවාද කියලා කල්පනා කරන්න ඕනෑ. මම නම් හිතන්නේ නැහැ පක්ෂයේ නායකත්වය නැතිව එළියට ගිහින් වැඩකරන්න. අපි එක්සත් ජාතික පක්ෂයේත් ඔය වගේ අත්දැකීම්වලට මුහුණ දුන්නා. හැබැයි පක්ෂයක් විදියට නායකත්වය එක්ක වැඩකිරීමේ වැදගත්කම අපට ඉගෙනගන්න ලැබිලා තියෙනවා. මම නිතර කතා කරන්නේ අපි එකමුතු වෙන්නේ කොහොමද කියන එක ගැන. ඒ වෙනුවෙන් කළහැකි හැමදේම අපි කරනවා.

මහින්ද පිළ වෙන් වුණොත් ශ‍්‍රීලනිපයෙන් තරග කරලා දිනන්න පුළුවන් නායකයෝ ඔබේ දිස්ත‍්‍රික්කයේ ඉන්නවාද?

කිසි ප‍්‍රශ්නයක් නෑ. ඕනෑ තරම් ඉන්නවා. පක්ෂයකින් පුද්ගලයෙක් ගියා කියලා පක්ෂය කඩාවැටෙන්නේ නැහැ.

පක්ෂ සාමාජිකයෝ මෛත‍්‍රී පිළේ අයට හූ කියනවා නේද? පක්ෂයේ සාමාජිකත්වය ඔබේ නායකත්වය පිළිගන්න සූදානම්ද?

අපි අහන්නේ ශ‍්‍රීලනිපය හැර විකල්පය මොකක්ද කියන එක. පුද්ගලයන් විදියට විකල්ප කල්පනා කරනවාද පක්ෂ විදියට විකල්ප කල්පනා කරනවාද කියලා අපි හිතන්න ඕනෑ. ඔය හූ කීම් සියල්ල සංවිධානාත්මකව කරන දේවල්. අපට ඕවා ගැන අත්දැකීම් තියෙනවා. ඕවාට අපි කලබල වෙන්නේ නැහැ.