එකතුවෙලා තරග කළොත් ශී‍්‍රලනිපයට ලොකු ජයග‍්‍රහණයක් | මහින්ද යාපා අබේවර්ධන

තරිඳු උඩුවරගෙදර

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්ය කියන්නේ කොහොමද?

ඒක විභාගයට ගත් වෙලාවේ මහේස්ත‍්‍රාත්තුමිය අහපු ප‍්‍රශ්න සහ පොලීසිය දුන්නු උත්තර ටික අහගෙන හිටියා නම් ඕනෑ කෙනෙකුට තේරෙනවා මේක දේශපාලන පළිගැනීමක් කියලා. ඒ අය කියන විදියට ඉන්දියාවේ ක‍්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන හැත්තෑවක් එවලා තියෙනවා. ඒ රගර් ක‍්‍රීඩාවට. රගර් සංගමයක් තියෙනවා. නාමල් රාජපක්ෂ ඒකේ අධ්‍යක්ෂවරයෙක්. ඒ සංගමයේ තරගාවලියක් තියන්න මිලියන හැත්තෑව වියදම් කළා කියලා තමයි කියන්නේ. මේවා රජයේ මුදල් නෙවෙයිනේ. ක‍්‍රිෂ් සමාගම කියනවා අපි සෑහීමකට පත්වෙනවා කියලා. රග්බි සංගමයේ සභාපති සුමල් පෙරේරා කියනවා මට මේ සල්ලි ආවා. මේවා වියදම් කරන්න තරගාවලිය සංවිධානය කළ නාමල්ට දුන්නා කියලා. ඒවා වියදම් කළ ආකාරය ගැන සුමල් පෙරේරා සෑහීමකට පත්වෙනවා කියලා කිව්වා. ඇත්තටම රග්බි ක‍්‍රීඩාවට යන වියදම බැලූවාම මිලියන හැත්තෑව මහ ලොකු වියදමක් නෙවෙයි. මේකට සහයෝගය දුන්නු බංග්ලාදේශ ජාතිකයෙක් ඉන්නවා. එයාගෙනුත් කටඋත්තරයක් අරගෙන තියෙනවා. එයාගේ කටඋත්තරයේත් පරස්පරයක් තියෙනවා. නඩුකාරතුමිය මේ නඩුවේදී අහපු ප‍්‍රශ්න අවසානයේදී පොලීසියෙන් කියනවා එයාලාට සැකයක් තියෙනවාලූ බංග්ලාදේශ ජාතිකයා හරහා මුදල් අවභාවිතයක් තියෙනවා කියලා. දැන් ඒ මනුස්සයා නැහැ. නඩුකාරතුමිය අහනවා විත්තිකරු කරලා තියෙන වැරැුද්ද මොකක්ද කියලා. මේ චෝදනාව මුදල් විශුද්ධිකරණය යටතට වැටෙන්නේ කොහොමද කියලා නඩුකාරතුමිය අහනවා. ඒකට උත්තරේත් සැකයක් තියෙන බව. ඒකට උසාවියම හිනා වුණා. මට තේරුණේ මේ සිද්ධියේ නඩුවක් නැති බව.

ඒ කියන්නේ මහේස්ත‍්‍රාත් විනිසුරු ලංකා ජයරත්න ස්වාධීන නොවන තීන්දුවක් දුන්නා කියන එකද?

ස්වාධීන නැහැ කියලා නෙවෙයි. පොලීසිය මේ විදියට කටයුතු කරන කොට එයාට ස්වාධීනව තීරණයක් ගන්න බැහැනේ. පොලීසිය දිගින් දිගටම කියනවා අපට සැකයි අපට සැකයි කියලා. සැකයට මිනිස්සු හිරේ දාන්න බැහැනේ.

ස්වාධීන නැත්තේ පොලීසියද?

පැහැදිලිවම පොලීසිය පක්ෂපාතීව කටයුතු කළේ. ඒ ගැන කිසි සැකයක් නෑ. කල් ඇතුව සැලසුම් කළ කොටුකිරීමක් තමයි වුණේ.

නාමල් රාජපක්ෂ එජනිසයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්. අසාධාරණයක් වෙලා නම් පක්ෂයේ නායකත්වය පියවරක් ගත යුතුයි නේද?

පක්ෂය මේකට සම්බන්ධ වෙන්නේ නැහැනේ. උසාවියේ තියෙන දෙයක් නිසා පක්ෂයට සම්බන්ධ වෙන්න දෙයක් නෑනේ. මේක උසාවියේ තියෙන දෙයක්නේ.

පොලීසිය ස්වාධීන නැත්නම් ඒකට වගකියන්න ඕනෑ ඔබේ පක්ෂයේ නායකත්වය දරන ජනාධිපතිවරයා නේද?

නැහැ, ජනාධිපති රටේ නායකයා වුණාට එයා කියලා තියෙනවානේ පොලීසියට අත තියන්නේ නැහැ කියලා. කොහොම වුණත් අපි තීරණය කරලා තියෙනවා එෆ්සීඅයිඞී එකට විරුද්ධව නඩු දාන්න.

ඒකාබද්ධ විපක්ෂය විදියටද?

ඔව්, අපි සැලසුම් කරලා තියෙනවා නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් කියන චෝදනාව යටතේ සියලූ නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරන්න. අපට ආරංචියි මේ සිද්ධිය පොදු දේපළ යටතට දාන්න කියලා තමයි ඉහළින් නියෝග ඇවිල්ලා තියෙන්නේ. පොලීසිය කියලා තියෙනවා අපට ඒකට අත්සන් කරන්න බැහැ කියලා.

ජනාධිපතිවරයා නෙවෙයි නම් ඔය උඩින් නියෝග එවන කෙනා කවුද?

අපි දන්නේ නැහැ නියෝග කරන්නේ කවුද කියලා. වැඬේ තියෙන්නේ මේ අහිංසක නිලධාරීන් තමයි කොටුවෙන්නේ. අපි නීත්‍යනුකූල පියවර ගන්නවා. කවදාහරි ඒවා විභාග වේවි. එතකොට මේ නිලධාරීන්ට නියෝග ආවේ උඩින් කියලා බේරෙන්න බැරි වේවි.

දැන් ඔබලා කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අලූත් දේශපාලන බලවේගය කියලා කියන එකට බයේ මේ අත්අඩංගුවට ගැනීම කළා කියලාද?

ඇත්තටම මේක නව දේශපාලන බලවේගයක් කියලා නෙවෙයි. ගම්වල මිනිස්සුන්ට උත්තර දෙන්නයි කරන්නේ. මිනිස්සු අපෙන් අහනවා මොනවාද කරන්නේ, අපි මෙහෙම ප‍්‍රශ්නවලට මුහුණදෙනවා කියලා. අපි මිනිස්සුන්ගේ වේදනාවට තල්ලූවක් දෙන එකයි කරන්නේ. අපි පාගමනක් කරන්නේ ඒ වෙනුවෙන්.

කට්ටිය කියනවානේ ඊළඟ ඡන්දයට වෙනම තරග කරනවා කියලා. ඒ කතාව බොරුද?

එක එක අයට මත තියෙනවානේ. කලින් කීවා ඒකාබද්ධ විපක්ෂයක් නෑ කියලා. විග‍්‍රහ දෙන්න පුළුවන්. මේ රටේ දේශපාලන පක්ෂ හැදෙනවාද නැද්ද කියලා කල්වේලා ඇතිව කියන්න බෑ. අවශ්‍ය දේශපාලන තත්ත්වය ඇතිවුණාම ඕනෑම කෙනෙකුට දැනගන්න පුළුවන් මොනවද වෙන්නේ කියලා. කවුරුවත් විශ්වාස කළාද මෛත‍්‍රී යූඇන්පී එකෙන් ඡන්දය ඉල්ලාවි කියලා.

ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභිකයෙක් විදියට ඊළඟ ඡන්දය වෙනකොට මොන වගේ වෙනස්කම් විය යුතු බව හිතනවාද?

බෙදිලා රණ්ඩු වෙලා නම් දිනන්න බැහැ. පක්ෂයක් වුණාම එකමුතුකම තියෙන්න ඕනෑ. එකිනෙකා කෙරෙහි විශ්වාසයක් තියෙන්න ඕනෑ. නැත්නම් කණ්ඩායමක් හැටියට යන්න බැහැ. පක්ෂය කඩාගෙන ගියේ වෙන කවුරුත් නෙවෙයි මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා ඡන්දය දින්නේ ශ‍්‍රී ලංකා ඡන්දවලින් නෙවෙයි යූඇන්පී ඡුන්දවලින්. එතැන ලොකු රික්තයක් තියෙනවා එතුමාට කටයුතු කරන්න. එතුමා නායකත්වය දෙන පක්ෂයේ වැඩි පිරිසක් එතුමාට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අය. මේ පරස්පරයේ තමයි අවුල තියෙන්නේ. මේකෙදී ලොකු වගකීමක් තියෙනවා පක්ෂයේ නායකයා හැටියට මෛත‍්‍රීට. ඔහුට ලොකු පරිත්‍යාගයක් කරන්න වෙනවා සාර්ථකව වැඬේ කරන්න.

ඔබ හිතන්නේ ශ‍්‍රීලනිපය බෙදිලා තරග කළොත් ප‍්‍රතිඵලය මොකක්ද?

ඒ ප‍්‍රතිඵලය කවදාවත් හොඳ වෙන්නේ නෑනේ. එකට ඉන්න කොට වගේ නෙවෙයි දෙකට බෙදුණාම. ශක්තිය අඩු වෙනවානේ. ඒකෙන් පරිබාහිර කාරණාත් තියෙනවා. මෛත‍්‍රී යූඇන්පී එකෙන් තරග කරලා දින්නේ ඇයි? යූඇන්පී එකට තනියෙන් දිනන්න බැරි නිසා මෛත‍්‍රීට කතා කළා. එතකොට යම් ශ‍්‍රීලනිප කොටසකුත් එදා මෛත‍්‍රීට ඡුන්දය දුන්නා. ඒ කොටස අඩුවුණ නිසායි එදා සන්ධානය පරාද වුණේ. එදා ශී‍්‍රලනිපය කැඩුණා. ඒක එකතු කළොත් යළි ශ‍්‍රීලනිපයට දිනන්න පුළුවන්. ඔහු එදා ඔහුත් එක්ක ගිය ශ‍්‍රී ලංකාකාරයන්ට සැලකුවා. දුමින්දව ලේකම් කරලා එම්කේඞීඑස්වත්, රාජිතවත් ළඟට ගත්තේ ඒ නිසානේ. ඒත් පක්ෂයේ බහුතරය එයා එක්ක ගියේ නැහැ. ඔවුන්ට මෛත‍්‍රී වගකියන්නේ නැහැ. ඒක තමයි ගැටලූව තියෙන්නේ. නැත්නම් මේ වෙද්දී යූඇන්පී එකේ දැවැන්ත කොටසක් ආණ්ඩුව එක්ක කළකිරිලා ඉන්නේ. අපේ ගම්වල යූඇන්පී කාරයෝ හොයන්න නැහැ දැන්. එතකොට යූඇන්පී එකෙන් කැඩිලා කළකිරුණ අය අපේ පැත්තට සහාය දේවි. එකතුවෙලා තරග කළොත් ලොකු ජයග‍්‍රහණයක් ශී‍්‍රලනිපයට තියෙනවා.