රාවය

කෘෂිකර්ම ගොඩනැගිලි ගනුදෙනුව බැඳුම්කර පාඩුවටත් වැඩි විශාල ගනුදෙනුවක්

කෘෂිකර්ම ගොඩනැගිලි ගනුදෙනුව බැඳුම්කර පාඩුවටත් වැඩි විශාල ගනුදෙනුවක්

ලසන්ත රුහුණගේ

රුපියල් මිලියන 1855ක් කාබා සිනියා කළ කෘෂිකර්ම ගොඩනැගිලි ගනුදෙනුව යහපාලනයද යනුවෙන් අප ප‍්‍රශ්න කරනු ලැබුයේ පසුගිය සතියේය. එහිදී අප තවදුරටත් පෙන්වා දුන්නේ වසර දෙකක කුලී අත්තිකාරම් වශයෙන් පසුගිය අපේ‍්‍රල් 08 දින රුපියල් මිලියන 504ක මුදලක් හා වැට් හා එන්බීටී බදු වශයෙන් තවත් රුපියල් මිලියන 66ක මුදලක් වශයෙන් රුපියල් මිලියන 570ක මුදලක් ගෙවා තිබියදීත් කෘෂිකර්ම අමාත්‍යාංශය කුලී පදනම සඳහා ලබාගත් ගොඩනැගිල්ලට මාස 3ක කාලයක් ඉකුත් වීත් තවමත් ගොස් නැති බවයි. එසේම එම මාස තුනක කාලය වෙනුවෙන් ගෙවා ඇති රුපියල් මිලියන 63ක් වූ කුලී මුදලක් (වැට් හා එන්බීටී බදු නොමැතිව) ඒ වනවිටත් අදාළ ව්‍යාපාරිකයාට නිකරුණේ ගෙවා ඇති බවයි.

රුපියල් මිලියන 1855ක් කාබාසිනියා කරන කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙම ගොඩනැගිලි ගනුදෙනුව තවත් කාලයක් යනතෙක් සුදු අලියෙකු වන බවට වූ තවත් තොරතුරු අපට මේ වනවිට ලැබී තිබේ. ඒ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් අදාළ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා කොතරම් යෝග්‍යද යන්න පිළිබදව ලබාදී ඇති වාර්තාව නිසාය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් වරයාට 2016 මැයි 05 දින සහිතව අදාළ වාර්තාව ඉදිරිපත් කර ඇති අතර, ඒ මගින් මූලික වශයෙන්ම පෙන්වා දෙන්නේ වාණිජ සාප්පු සංකීර්ණයක් ලෙස නිර්මාණය කර ඇති ගොඩනැගිල්ල කාර්යාලයීය පරිසරයක් ඇති කිරීම සඳහා වෙනස් කිරීම්වලට භාජනය කළ යුතු බවයි. එහිදී අමාත්‍යාංශයේ සේවය කරන 450ක් වූ පුද්ගලයන් හා එහි සේවය ලබාගැනීමට පැමිණෙන 250ක් වූ පිරිස ගැන මෙන්ම ගොඩනැගිල්ල තුළ සවිකිරීමට නියමිත වූ කොම්පියුටර් 250, මුද්‍රණ යන්ත‍්‍ර 50ක් හා ෆොටෝ කොපි යන්ත‍්‍ර 20ක් පිළිබඳවද අවධානය යොමු කරන එම වාර්තාව එම ගොඩනැගිල්ල පිහිටා ඇති මුළු ඉඩමම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා භාවිත කර ඇති බවයි. ඒ නිසාම කසල එකතු කිරීමට අපජලය හා මල ජලය පිළිසකර යන්ත‍්‍රා ගාරයක් සඳහා යෝජනා ඉදිරිපත් කරන බවයි. විදුලි පද්ධතිය, විදුලි සෝපාන, ගිනි ආරක්ෂණ පද්ධතිය, අපජලය පිළිසකර කිරීම, කැලි කසල එකතු කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරන බවයි.

අදාළ ගොඩනැගිල්ලේ ගිනි ආරක්ෂණ ක‍්‍රියාදාමය පිළිබඳ ගිනි දෙපාර්තමේන්තුව පරීක්ෂා කළ යුතු බවත්, හදිසි පිටවීම් සඳහා අතිරේක පඩිපෙළක්, විදුලි සෝපානයක්, හදිසි තත්ත්වයකදී රැුස්වීමේ ස්ථානයක් හා ගිනි නිවීම් රථ ප‍්‍රවේශවීමේ හැකියාව ආදිය තිබිය යුතු බව එහි නිර්දේශ කරයි.

එසේම විදුලි පද්ධතිය ගැන ප‍්‍රකාශ කරමින් සඳහන් කරන්නේ එහි එක් මහලක ඇත්තේ ඇම්පියර් 100ක තෙකලා විදුලිබල ධාරිතාවක් බවත්, වායු සමීකරණ යන්ත‍්‍රය සඳහා පමණක් ඉන් 95.2ක ප‍්‍රමාණයක් වැය වන බවත්, ඉතුරුවන 4.8ක් වූ විදුලි ධාරිතාවෙන් මුළු මහලේ ඉතුරු කටයුතු සිදුකළ නොහැකි බවත්ය. එම නිසා කොම්පියුටර්, මුද්‍රණ යන්ත‍්‍ර, ෆොටෝ කොපි යන්ත‍්‍ර හා අනෙකුත් අවශ්‍යතා සඳහා අමතර ඇම්පියර් 60ක විදුලි ධාරිතාවක් අවශ්‍ය බවයි.

ගොඩනැගිල්ලේ ඇති වැසිකිළි ප‍්‍රමාණයද කාර්යාල සංකීර්ණයකට ප‍්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන එම වාර්තාව අතිරේක වැසිකිළි පද්ධතියක් සකස් කරන ලෙසට යෝජනා කරයි. එසේම ගිනිනිවීම් ඇතුළු ජල සැපයුම් ක‍්‍රමවේදය ගැන මතයක් ප‍්‍රකාශ කිරීමට නොහැකි වී ඇති බවද ඊට හේතුව විස්තරාත්මක සැලසුම් චිත‍්‍ර ලබානොදීම බවද දක්වයි.

කැළිකසල එකතු කිරීමට හා විනාශ කිරීමට ඉඩ පහසුකම් නොමැති නිසා ඒවා දිනපතා සිදුකළ යුතු බව වාර්තාව සඳහන් කරයි. තවද වායු සමීකරණ තත්ත්වයන් නිසියාකාරව ක‍්‍රියාත්මක කිරීම සඳහා ගොඩනැගිල්ල වටා ඇති වීදුරු බිත්තිවලට වායු සමීකරණයට උචිත පිළියම් යෙදිය යුතු බවද සඳහන් කරයි.
එසේම තට්ටු දහයක ගොඩනැගිල්ලක 500ක පමණ දෙනාට යෑමට ඒමට ඇති එක්වර 7 දෙනෙකුට පමණක් යා හැකි විදුලි සෝපාන යන්ත‍්‍ර 2 වැඩිදියුණු විය යුතු බවද, පඩිපෙළේ ඇති අත්වාරුව උස්විය යුතු බවද, ඒ සඳහා ලී හෝ සුදුසු අමුද්‍රව්‍යයක් යොදා ගත යුතු බවද ගින්නකදී පිටවීම සඳහා අතිරේක පඩිපෙලක් ගොඩනැගිය යුතු බවද දක්වයි.

ඉංජිනේරුමය කාර්ය යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ ඉහත වාර්තාවත් සමග කලබලයට පත්වෙන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊළඟට සිදුකර තිබෙන්නේ අදාළ ගොඩනැගිල්ලේ හිමි කරුවන්ට ඒ පිළිබඳව 2016.05.13 දින සහිතව ලිඛිත දැනුම්දීමක් සිදුකිරීමය. එහි පිටපතක් අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාටද, අග‍්‍රාමාත්‍ය ලේකම්වරයාටද, පාර්ලිමේන්තු මහලේකම් වරයාටද යොමු කිරීමය. එහි ප‍්‍රතිඵලය වන්නේ 2016.05.16 දින අග‍්‍රාමාත්‍ය ලේකම් වරයාගේ ප‍්‍රධානත්වයෙන් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී අදාළ ගොඩනැගිල්ලේ අඩුපාඩු පිළිබඳව සාකච්ඡුාවක් පැවැත්වීමය. ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම්වරයා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ලේකම්වරයා, අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ආයතන), සහකාර ලේකම් (පාලන), සහකාර ලේකම් (ආයතන)ද, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරී, විදුලි ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පී හා වාස්තු විද්‍යාඥද ඞී.බී. ජයසිංහ සංචාරක හා ප‍්‍රවාහන සමාගම වෙනුවෙන් එහි හිිමිකරු උපාලි ජයසිංහ හා නිලධාරී පිරිසක්ද සහභාගී වී ඇත. එහිදී ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය පෙන්වා දුන් අඩුපාඩු පිළිබඳව සාකච්ඡුා කෙරී ඇත.

එහිදී පළමුව සාකච්ඡුා කෙරී ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය හා උපාලි ජයසිංහ මහතා අතර අත්සන් කළ ගිවිසුමේ ඇමිණුම් අනුව තිබිය යුතු ඉන්වෙන්ටි‍්‍ර භාණ්ඩ ගොඩනැගිල්ලේ සවිකර නොතිබීම පිළිබඳවය. ගිවිසුම අනුව එම භාණ්ඩ සවිකර තිබිය යුතු බව අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා පවසා ඇති අතර, ගැටලූවක් නොවන ලෙසට එය විසඳාගත යුතු බවද පවසා ඇත. ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය හා එක්ව ගැටලූවක් ඇති නොවන පරිදි කටයුතු කරන බව ව්‍යාපාරික උපාලි ජයසිංහ මහතා ප‍්‍රකාශ කර ඇත.

ගොඩනැගිල්ලේ වර්ග අඩියකට රුපියල් 167.50 වන මාසික කුලියට (මුුළු මාසික කුලිය රුපියල් මිලියන 21කි.) අමතරව මාසයකට වර්ග අඩියකට රුපියල් 60ක් වන සේවා ගාස්තුව සමන්විත වී ඇත්තේ කිනම් පදනමක් යටතේද යන්න හා එහි සංරචකයන් මොනවාද යන්න පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙසට ගොඩනැගිලි හිමිකරුට එහිදී අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් දන්වා ඇත.

විදුලි සෝපානයක ගමන් කළ හැකි ගණන 16ක් ලෙස භාණ්ඩ ලේඛනයේ සඳහන් වන බවත්, එහෙත් විදුලි සෝපානයේ සඳහන් වී ඇති ගණන 11ක් බවත්, සත්‍ය ලෙසට ගමන් කළ හැකි ගණන 7ක් බවත්, එවැනි විදුලි සෝපාන දෙකකින් කටයුතු කළ නොහැකි බවත් සාකච්ඡුා කෙරී ඇත. රැුගෙන යා හැකි පුද්ගලයන් ප‍්‍රමාණය පිළිබඳව සෝපාන ස්ථාපිත කළ සමාගමෙන් සහතිකයක් ලබාදීමටත්, අතිරේකව භාවිත කිරීමට හදිසි සෝපානයක් ලබාදීමටත් උපාලි ජයසිංහ මහතා එකඟ වී ඇත.
විදුලි පරිපථ පිළිබඳ සාකච්ඡුාවේදී ගිවිසුම්ගත වීමේදී ඉදිරිපත් කළ භාණ්ඩ ලේඛනයට අනුකූලව අදාළ උපකරණ සවිකිරීමටත්, ප‍්‍රමාණවත් ආලෝකය ලැබෙන පරිදි විදුලි බල්බ සවිකිරීමට හා ඊට අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබාදී තත්ත්වය නිවැරදි කිරීමට උපාලි ජයසිංහ මහතා එකඟ වී ඇත. එසේම විදුලි පරිපථ අධික ලෙස රත්වීම පිළිබඳව දෙපාර්ශ්වයේ ඉංජිනේරුවන් තවදුරටත් සාකච්ඡුා කිරීමට තීරණය වී ඇත.

ගොඩනැගිල්ලේ කැඞී ඇති වීදුරු යථා තත්ත්වයට පත්කිරීමටත්, එකී වීදුරුවල ගුණාත්මකභාවය පිළිබඳ සහතික ඉදිරිපත් කිරීමටද ගොඩනැගිලි හිමිකරු එකඟ වී ඇත. එසේම තරප්පු පෙළේ අත්වැට තවදුරටත් උස් කිරීමට එකඟ වී ඇති අතර, හදිසි ගිිනි ගැනීමකදී ගොඩනැගිල්ලේ දැනට ඇති තරප්පු පෙළෙහි විරුද්ධ දිශාවේ සිටින සේවකයන් ඉවත් කිරීම සඳහා ක‍්‍රමයක් නොමැති වීම ගැන සාකච්ඡාවේදී ගොඩ නැගිල්ලට පිටතින් තරප්පු පෙළක් යෙදීමට ඇති හැකියාව පිළිබඳව සොයාබැලීමට ව්‍යාපාරිකයා එකඟ වී ඇත.

එක් මහලකට වැසිකිළි හතරක් පමණක් පැවතීම ප‍්‍රමාණවත් නොවන බව සාකච්ඡා කර ඇති අතර, අතිරේක වැසිකිළි දෙක බැගින් සෑම මහලකටම අලූතින් ඉදිකිරීමට ව්‍යාපාරිකයා එකඟ වී ඇත. තවද කැලි කසළ ඉවත්කිරීමට ස්ථානයක් නොමැති වීම නිසා දෛනිකව කෝට්ටේ මහ නගර සභාව මගින් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කාර්යය සිදුකිරීමට එහිදී උපාලි ජයසිංහ මහතා එකඟ වී ඇත.

රථගාල ප‍්‍රමාණවත් නොවීම පිළිබඳවද සාකච්ඡා කෙරී ඇති අතර, ඒ සඳහා මාස 6ක කාල සීමාවක් සඳහා ගොඩනැගිල්ලට යාබද ඉඩම තාවකාලිකව ලබාදීමටද, යාබදව ඉදිකරනු ලබන ගොඩනැගිල්ලේ අමතර රථගාලක් ලබාදීමටද, ඊටත් අමතරව ගොඩනැගිල්ල ඉදිරිපස පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම රථගාලක් සඳහා භාවිත කිරීමට තාවකාලිකව ලබාගැනීමේ ඇති හැකියාව සොයා බැලීමටද ව්‍යාපාරිකයා එකඟ වී ඇත.

අප පසුගිය සතියේ අවධාරණය කළ පරිදි මෙම ගොඩනැගිලි ගනුදෙනුව පිළිබඳව රාජ්‍ය විගණනය විසින් දිගින් දිගටම ප‍්‍රශ්න කර තිබියදී, පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාව මෙම ගනුදෙනුව සඳහා අනුමැතිය ලබාදීමට නොහැකි බව ප‍්‍රකාශ කර තිබියදී හා ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල සාමාජිකයන්ගෙන් මාධ්‍ය ප‍්‍රශ්න කරමින් සිටියදී අදහාගත නොහැකි පුදුම හදිසියකින් කෘෂිකර්ම ලේකම්වරයා පසුගිය අපේ‍්‍රල් 08 දින ගිවිසුම් අත්සන් කර ඒ වසර දෙකක කුලී අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 570ක මුදලක් ගෙවා තිබුණි.

එයින් තවදුරටත් පෙනී යන්නේ අදාළ ගොඩනැගිල්ල පිළිබඳව නිසි පරීක්ෂාවක් සිදුනොකර හා එය කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවශ්‍යතාවට ගැළපෙනවාද යන්න පිළිබඳව නිසි පරීක්ෂාවක් සිදු නොකර කිනම් හෝ ඉහළ බලපෑමකට හදිසියේම ගිවිසුම් අත්සන් කර අත්තිකාරම් මුදල් ගෙවා ඇති බවයි.

ඉහත කී ගොඩ නැගිල්ලේ අඩුපාඩුකම්වලට අමතරව අදාළ සාකච්ඡුාව තවදුරටත් කෙරී ඇත. අහෝ එහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ප‍්‍රකාශ කර ඇත්තේ ගොඩනැගිල්ල තුළ ඉහත කී අවශ්‍යතාවන් හා පහසුකම් සම්පූර්ණ කර අමාත්‍යාංශ නිලධාරීන් සඳහා ආරක්ෂාව තහවුරු කරන තෙක් අමාත්‍යාංශ නිලධාරීන් නව ගොඩනැගිල්ල වෙත රැගෙන යෑමේ අවදානම භාරගැනීමට නොහැකි බවයි. එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය නව ගොඩනැගිල්ල තුළ ස්ථාපිත කර නොමැති බැවින් දැනට ගෙවන කුලිය අඩුකරන ලෙසට ලේකම්වරයා කරන ලද ඉල්ලීම ගොඩනැගිලි හිමිකරු උපාලි ජයසිංහ මහතා දැඩිව ප‍්‍රතික්ෂේප කර ඇත. එමෙන්ම අත්තිකාරම් මුදල් සඳහා එන්බීටී බදු ගෙවීම අනවශ්‍ය බවට සාකච්ඡා කෙරී ඇත. අමතරව වඩා වැදගත්ම දෙය ලෙස සාකච්ඡුා වී ඇත්තේ අදාළ ගොඩනැගිල්ල කාර්යාල සැකැස්ම (Partition)කිරීම සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට වසරක පමණ කාලයක් ගතවන බවය. එය ඉක්මන් කිරීම සඳහා ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියක් (මිල ගණන් කැඳවීමක්) මගින් ආයතන කිහිපයකින් ඉදිකිරීම් කිරීමට යෝජනා වීමත් හා ඒ සඳහා වූ වියදම් හා අනෙකුත් අනුමැතියන් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමටත් එහිදී තීරණය වී ඇත.

එකී සාකච්ඡුාවේ සියලූම යෝජනා හා එකඟතාවන් මගින් පෙනෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය අදාළ ගොඩනැගිල්ල තුළ ස්ථාපිත වීම සඳහා තවත් මාස කිහිපයක කාලයක් ගතවිය හැකි බවය. ඒ අතරතුර කාලයට මසකට ගොඩනැගිලි කුලිය වශයෙන් රුපියල් මිලියන 21ක් බැගින් නිකරුණේ ගෙවීමට සිදුවී ඇති බවය. ඊටත් අමතරව එම ගොඩනැගිල්ල කාර්යාලයීය සැලැස්මට සකස් කිරීම සඳහා තවත් රුපියල් මිලියන ගණනක වැයක් දැරීමට සිදුවන බවය.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලී පදනම යටතේ වසර පහක කාලයකට රුපියල් මිලියන 1855කට අධික මුදලක් වැය කරමින් ගොඩනැගිල්ලක් ලබාගැනීම අප පසුගිය සතියේදී පෙන්වා දුන් පරිදිම හිතුවක්කාරී, නාස්තිකාර, අන්ත දූෂිත ගනුදෙනුවක් බවට විවාදයක් තිිබිය නොහැකිය. මෙම ගනුදෙනුවේ මුදල භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධියේදී විගණකාධි පතිවරයා විසින් පෙන්වා දී ඇති රජයට සිදුවුවා යැයි කියන රුපියල් මිලියන 1674ක මුදලටත් වඩා වැඩි මුදලකි. එනිසාම කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙම ගොඩනැගිලි ගනුදෙනුව සුළුවෙන් තැකිය යුතු නැති අතර, යහපාලනයක් වෙනුවෙන් පෙනී සිටි මේ ආණ්ඩුව බලයට පත් කළ බලවේගවල පුළුල් කතාබහට එය ලක්විය යුත්තකි.