අධිකරණ තීන්දුවට පයින් ගසා වාහන ජාවාරමකට කැබිනට් අනුමැතිය


vahana

ලසන්ත රුහුණගේ

විශ්‍රාමික නියෝජ්‍ය රේගු අධිකාරි වරයෙකු වූ වීජේ සනත් ප්‍රනාන්දු වත්මන් රේගු අධ්‍යක්‍ෂ ජෙනරල්වරයාට 2017 ජනවාරි 27 දින සහිතව ලිපියක් යවමින් සඳහන් කරන්නේ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්එච්එස් සමරතුංග මහතාගේ 2017 ජනවාරි 24 ලිපියට අනුව රේගුව විසින් නවතා ඇති වෙහිකල්ස් ලංකා ආයතනයට අයත් වාහන අමතර කොටස් අඩංගු කන්ටේනර් අට නිදහස් කිරීම අධිකරණයට අපහාසයක් බවත් එම කන්ටේනර් නිදහස් කිරීම අත්හිටුවන ලෙසත්ය. එමෙන්ම එම කන්ටේනර් නිදහස් කිරීම මඟින් රජයේ ආදායමට විශාල පාඩුවක් සිදුවන බවත් ඔහුගේ ඉල්ලීම නොසලකා එම කන්ටේනර් නිදහස් කළහොත් අකමැත්තෙන් වුවත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ එම තීරණයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට කඩිනම් පියවර ගන්නා බවත්ය.
විශ්‍රාමික නියෝජ්‍ය රේගු අධිකාරිවරයා සිය ලිපියේ තවදුරටත් අවධාරණය කරන්නේ භාණ්ඩාගාර ලේකම්වරයාගේ ජනවාරි 24 දිනැති ලිපියට අනුව අදාළ කන්ටේනර් 8 ශ්‍රේෂ්ඨාධිකරණ අංක 304/2011 නඩු තීන්දුව අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත කැබිනට් අනුකාරක සභාවේ තීරණයෙන් නිදහස් කරන බව දන්වා ඇතත් එම නඩු තීන්දුවේ එවැනි නියෝගයක් නොමැති බවත් වෙහිකල්ස් ලංකා සමාගමට පාවිච්චි කළ වාහන අමතර කොටස් ආනයනය කළ නොහැකි බවට ඊට පසු ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ අංකSC/ SPL /LA/76/2003 සහ අභියාචනාධිකරණ නඩු තීන්දු අංක CA /WRIT/57/2003 හා CA /WRIT/446 /
2014 යන නඩු තීන්දුවලින් පැහැදිලිවම නියෝග කර ඇති බවයි. එමෙන්ම කැබිනට් අනුකමිටුවට කරුණු නිසි ලෙස ඉදිරිපත් නොකර ඇති බැව් ඒ අනුව පෙනී යන බවත් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ දැනගැනීම සඳහා එම නඩුවල පිටපත්ද අමුණා එවන බව එහි සඳහන්ය.
විශ්‍රාමික නියෝජ්‍ය රේගු අධිකාරිවරයාගේ එම ලිපියට පාදක වන්නේ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්එච්එස් සමරතුංග විසින් රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාට 2017 ජනවාරි 24 දින සහිතව යොමු කරන ලිපිය වන අතර එම ලිපියේ උද්ධෘතයේම සඳහන් කර ඇත්තේ අත්හිටුවා ඇති වෙහිකල්ස් ලංකා සමාගමට අයත් කන්ටේනර් නිදහස් කරන ලෙසයි.
එහි සඳහන් කරන්නේ 2013 පෙබරවාරි 28 දින සහිත හිටපු භාණ්ඩාගාර ලේකම්වරයාගේ ලිපියට අනුව 2016 නොවැම්බර් 01 දින අංක 16/2041/719/103-II කැබිනට් මණ්ඩල තීරණය අනුව එය යොමු කරන බවයි. ඒ අනුව සඳහන් කරන්නේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ ප්‍රධා නත්වයෙන් යුත් කැබිනට් අනුකාරක සභාව අංක 304/2011 මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව අනුව නීතිපතිවරයාගේ මතයද වීමසා ක්‍රියාත්මක කිරීමට තීන්දුකර ඇති බව හා ඒ අනුව කැබිනට් මණ්ඩලයද එම කන්ටේනර් අට නිදහස් කිරීමට 2016 නොවැම්බර් 01 දින අනුමැතිය ලබාදී ඇති බවයි.
වාහන අමතර කොටස් අඩංගු මෙම ප්‍රශ්න ගත කන්ටේනර් නිදහස් කිරීමට භාණ්ඩාගාර ලේකම්වරයා ලබා දුන් නියෝගය මේ වනවිටත් ජනමාධ්‍යවල මාතෘකාවක් බවට පත්වී ඇතත් ඊට අභියෝග කරමින් විශ්‍රාමික නියෝජ්‍ය රේගු අධිකාරීවරයා යැවූ ලිපියක් අදාළ නඩු තීන්දු පිළිබඳවත් කරුණු මාධ්‍ය මගින් සාකච්ඡාවට ලක්වී නැත.
ජනාධිපතිවරයා ඇතුළු වත්මන් කැබිනට් මණ්ඩලයේ සිටින පසුගිය මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේ කැබිනට් මණ්ඩලයේ කටයුතු කළ සියල්ලන්ම පාහේ මේ වෙහිකල්ස් ලංකා පෞද්ගලික සමාගම පිළිබඳවත් එහි හිමිකරු වන හර්ෂ ප්‍රභාත් ද සිල්වා පිළිබඳවත් නොදන්නවා විය නොහැකිය. බොහෝ කැබිනට් සාමාජිකයන් ඔහු පෞද්ගලිකවම දන්නා අතර අන් අය නාමමාත්‍රිකව හෝ ඔහු ගැන දන්නේය. ඒ ඔහු ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන් වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හා බැසිල් රාජපක්‍ෂගේ සමීපතමයෙකු වශයෙන් කලින් කලට නම් කියැවුණු පුද්ගලයකු වූ බැවින්ය. ඔහු විසින් විවිධ අවස්ථාවල විවිධාකාරයෙන් ආනයනය කරනු ලබන ලියාපදිංචි නොකළ වාහන හෝ අමතර කොටස් එකලස් කොට සාදන ලද වාහන මේ දේශපාලනඥයන් හෝ ඔවුන්ගේ සමීපතමයන් විසින් පාවිච්චි කරන හෝ පාවිච්චි කර ඇති බැවින්ය. නීත්‍යනුකූලව වාහන ආනයනය කරන සමාගම් විසින් ඔහුගේ අමුතුම කාලයේ වාහන ආනයන සෙල්ලම් පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කර ඇති නිසා හෝ නඩු ඉදිරිපත් කර ඇති නිසාය. කොටින්ම පසුගිය 2013 වර්ෂයේදී එවක කැබිනට් මණ්ඩලයේ සිටි සියලුම සාමාජිකයන් වගඋත්තරකරුවන් කරමින් ඔහු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ නිසාය.
හර්ෂ ප්‍රභාත් ද සිල්වාට අයත් වෙහිකල් ලංකා පැටිකිරිය ගැන රාවය මීට පෙර කිහිප අවස්ථාවකම ලියා ඇති නිසා ඒ ගැන දීර්ඝ වශයෙන් ලිවීම අතහැර ප්‍රස්තූත කාරණයට එළැඹීමට අපට මුලින්ම අවධානය ලක්කරන්නට සිදුවන්නේ නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අවධානයට ලක්කර ඇති 304/2011 දරණ ශ්‍රේෂ්ඨාධි කරණ තීන්දුවය. ඇත්තටම එම නඩුව හැඳින්විය යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් වශයෙන් නොව ශ්‍රේෂ්ඨාධිකරණ සමථයක් වශයෙන්ය. එම නඩුව වෙහිකල්ස් ලංකා වෙනුවෙන් හර්ෂ ප්‍රභාත් ද සිල්වා පවරා තිබුණේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට එරෙහිවය. ඒ වෙහිකල්ස් ලංකා විසින් විකුණනු ලබන වාහන මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි නොකිරීම අභියෝගයට ලක්කරමින්ය.
වෙහිකල්ස් ලංකා විසින් වාහන දෙකට කපා අමතර කොටස් වශයෙන් හඳුන්වමින් ගෙනැවිත් පසුව සවිකර විකුණන නියමිත බදු නොගෙවූ නීත්‍යනුකූල නොවන වාහන ලියාදිංචි කිරීමේ හැකියාවක් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට නොමැති වුවත් එම නඩුවේදී එවක ප්‍රවාහන අමාත්‍යවරයාගේ බලපෑම මත සිදුවූයේ අධිකරණයට ඉදිරිපත් කරන ලද සියයකට අධික වාහන සංඛ්‍යාවක් ලියාපදිංචිය සඳහා දෙපාර්ශ්වය සමථයකට පත්වීමය. ඒ අනුව අදාළ වාහන තොගයට ලියාපදිංචිය ලැබී තිබුණු අතර එම නඩු තීන්දුව වැරදි ආකාරයට අර්ථකථනය කරමින් ඉන්පසුව ඔහු විසින් කර තිබුණේ වාහන 2250ක් එකලස් කිරීම සඳහා කොටස් ගෙනඒමට තමන්ට හැකි බව ප්‍රකාශ කරමින් වාහන අමතර කොටස් ගෙන්වීමට උත්සාහ කිරීමය. එම උත්සාහයේදී එවක භාණ්ඩාගාර ලේකම් වූ ආචාර්ය පීබී ජයසුන්දර මහතා 2013.02.28 දින සහිතව රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල් ජගත් පී විජේවීරට ලිඛිතව දැනුම් දෙන්නේ අදාළ නඩු තීන්දුව (304/2001) අනුව කැබිනට් මණ්ඩලය විසින් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත් එම නඩු තීන්දුව ප්‍රකාර යැයි කියමින් වාහන අමතර කොටස් ගෙන්වීම අත්හිටුවන ලෙසත්ය. ඒ අනුව ශ්‍රී ලංකා රේගුව විසින් වෙහිකල්ස් ලංකා විසින් ගෙනඑන ලද වාහන අමතර කොටස් ඇතුළත් කන්ටේනර් 8ක් මුදාහැරීම ප්‍රතික්‍ෂේප කරන අතර පසුගියදා නිදහස් කරන්නැයි දැනුම් දී ඇත්තේ එම කන්ටේනර් 8ය.
පසුව හර්ෂ ප්‍රභාත් ද සිල්වා ඊට එරෙහිව රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වගඋත්තකරු කරමින් 57/2013 යටතේ අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරන අතර එහිදී අභියාචනාධිකරණ විනිසුරු එස් ශ්‍රී ස්කන්ධරාජා තීන්දු කරන්නේ වගඋත්තර කරුවන්ට නොතීසි නිකුත් කිරීම ප්‍රතික්‍ෂේප කරන බවය. ඊට හේතු වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු වරයා සඳහන් කරන්නේ පෙත්සම්කරුට වාහන 2250ක්
ආනයනය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ 304/2011 නඩුවේ සමථය අනුව අවසර ලැබී නැති බවත්, ඔහු ආනයන අපනයන පාලකවරයාට වැරදි තොරතුරු සපයා ආනයන බලපත්‍රයක් ලබාගෙන ඇති බවත්, ඒ නිසා ඔහු ඔහුගේ රිට් අයදුම්පත පිරිසිදු දෑතින් අධිකරණයට ඉදිරිපත් කර නැති බැවින් වගඋත්තර කරුවන්ට නොතීසි නිකුත් නොකරන බවත්ය. එම උත්සාහයෙන් පසු හර්ෂ ප්‍රභාත් ද සිල්වා 76/2013 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල්, භාණ්ඩාගාර ලේකම් හා මුළු කැබිනට් මණ්ඩලයම වගඋත්තකරුවන් කරමින්ය. එහිදී එවක අගවිනිසුරු මොහාන් පීරිස් එම පෙත්සම ප්‍රතික්‍ෂේප කරන්නේ වැඩිදුර විභාගයට පදනමක් නැති බව තීන්දු කරමින්ය.
එයිනුත් පසු නැවත හර්ෂ ප්‍රභාත් ද සිල්වා කරන්නේ රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වගඋත්තරකරු කරමින් අංක 446/2014 දරන රිට් පෙත්සම ඉදිරිපත් කිරීමය. එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් කේ මල්ලගොඩ ඉහත නඩු දෙකේ තීන්දු අවධාරණය කරමින් සිය තීන්දුව ලබාදෙමින් සඳහන් කරන්නේ, රිට් පෙත්සම සම්බන්ධයෙන් කලින් දී ඇති තීන්දුව අවසාන තීන්දුව බවත්, අධිකරණයේ එක්වරක් විභාග කරන ලද කාරණයක් නැවත සලකා බැලීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, එකම කාරණයක් සම්බන්ධයෙන් කිහිප වාරයක් නඩු දැමීම අධිකරණයට අනවශ්‍ය බරක් බවත් ඒ නිසා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් නොකරන බවත්ය.
මේ අනුව පැහැදිලි වන්නේ කුමක්ද? අංක 304/2011 දරන ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ සමථය වැරදි ආකාරයට ඉදිරිපත්කරමින් හා අර්ථකථනය කරමින් අධිකරණයට වැරදි තොරතුරු සපයා ඇති බවය. ආනයන අපනයන පාලකවරයාගෙන් ආනයන බලපත්‍ර ලබාගෙන ඇති බවය. වාහන කොටස් ආනයනය කිරීමට උත්සාහ ගෙන ඇති බවය. එහෙත් උත්සාහය අවසන් නැති බව පෙනෙන්නේ අප ඉහතින් සඳහන් කළ වත්මන් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්එච්එස් සමරතුංග මහතාගේ 2017 ජනවාරි 24 දින සහිත, රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට යොමුකර ඇති ලිපිය අනුවය. ඒ අනුව පැහැදිලිවම මෙම වැරදි උත්සාහයට භාණ්ඩාගාර ලේකම්වරයා හා මුදල් ඇමතිවරයාද, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු කැබිනට් අනුකමිටුවද අවසාන වශයෙන් ජනාධිපති, අගමැති ඇතුළු මුළු කැබිනට් මණ්ඩලයද දැනදැනම සහයෝගය ලබාදී ඇති බව බැහැර කළ නොහැකිය.
මන්ද හිටපු භාණ්ඩාගාර ලේකම් පීබී ජයසුන්දර ඒ සම්බන්ධයෙන් ලබාදුන් නියෝගයද, රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට භාණ්ඩාගාරයේ ලේකම්වරයාට හා කැබිනට් මණ්ඩලයට විරුද්ධව අධිකරණයට යොමුකළ නඩුවල වාර්තා ද යන වාර්තා සියල්ල මුදල් අමාත්‍යාංශය සතුව පවතින නිසාය.
මේ අනුව සිදුවී ඇත්තේ මෙම කරුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණය ලබාදුන් තීන්දු දැනදැනම වසන් කර හා අංක 304/2011 දරන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ නැති වාහන කොටස් ආනයනය කිරීමේ හැකියාවක් ව්‍යාපාරිකයකුට ලබාදීමට කැබිනට් අනුකමිටුවද, කැබිනට් මණ්ඩලයද, මුදල් අමාත්‍යාංශයද වෑයම් කිරීමය. එය පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමකි. නීති විරෝධි උත්සාහයක නිරත වී නීති විරෝධි තීන්දුවක් ලබාදීමය.
එවැනි නීති විරෝධී තීන්දුවකට හේතුවිය හැකි කරුණු මොනවාද? පැහැදිලිවම එය විශාල අත යට ගනුදෙනුවක ප්‍රතිඵලයක් විය හැකිය. මන්ද මේ මගින් ඉඩ විවර වන්නේ වාහන 2250ක් එකලස් කිරීම සඳහා අමතර කොටස් ගෙන්වීමේ රේගු බදුවලින් පැනයෑමේ මහා පරිමාණ ජාවාරමකට වන බැවිනි. නිකමට මෙන් සුඛෝපභෝගී මේ එක් වාහනයක් සඳහා අත යට ගනුදෙනුව රුපියල් ලක්‍ෂයක් ලෙස සැලකුවත්, වාහන 2250 සඳහා අත යට ගනුදෙනුව රුපියල් ලක්‍ෂ 2250ක් හෙවත් රුපියල් මිලියන 225කි. බදු නොමැති වටිනාකම රුපියල් මිලියන 5ත් 10ත් අතර වන සුඛෝපභෝගි වාහන සම්බන්ධයෙන් එම මුදල ඉතා සොච්චමකි. ගනුදෙනුව කිහිප දෙනකුට බෙදී යා නම් ඊට වඩා වැඩිවිය හැකිය. ඊට හේතුව මෙම වාහන ජාවාරම මඟින් අලුත් වාහනයක් සඳහා රජයට ලැබිය යුතු බදු ආදායම රුපියල් මිලියන ගණනින් නොව රුපියල් බිලියන ගණනින් අහිමි වී යන බැවිනි. තවදුරටත් ව්‍යාපාරිකයාගේ සාක්කුවට විශාල ලාභයක් ලැබෙන බැවිනි. ■ (වැඩි විස්තර ඊළඟ කලාපයට)