රාවය

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සහ ජනමත විචාරණය (3)

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සහ  ජනමත විචාරණය (3)

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ බලය බෙදාහැරීම කෙරෙහි ඇති ප්‍රතිපත්තිමය විරෝධය නිසා අලුත් ව්‍යවස්ථා ව්‍යායාමයට එරෙහි වන පිරිසක් සිටිති. ඉන් පළමු සාධකයට හෙවත් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව ඉදිරිපත් කරන ජනප්‍රිය තර්ක කිහිපයක් තිබේ. ඉන් ප්‍රධාන වන්නේ, බෙදුම්වාදයකට මුහුණදුන් රටක් වශයෙන්, ලංකාව ‘ශක්තිමත්’ රාජ්‍යයක් සහිත රටක් විය යුතුය යන්නයි. ශක්තිමත් රාජ්‍යයක් යනුවෙන් මොවුන් අදහස් කරන්නේ, ශක්තිමත් පුද්ගල නායකයෙකුගෙන් සමන්විත රටක් යන්නයි. එක පැත්තකින්, මේ නායකත්වය ‘ශක්තිමත්’ වන්නේ, ව්‍යවස්ථානුකූලව පැවරෙන විශේෂිත විධායක බලය අනුසාරයෙනි. අනිත් පැත්තෙන්, වෙනම සර්වජන ඡන්ද බලයකින් (ජනාධිපතිවරණයකින්) ව්‍යුත්පන්න වන ස්වෛරී ‘ශක්තියක්’ හෙවත් ස්වාධිපත්‍ය බලයක්ද එම නායකත්වයට නිතැතින් හිමිවෙයි. ඒ අනුව, ඔහු/ඇය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂා කොට බලගන්වනු ලබන, ස්වෛරී නායකයෙකි/නායිකාවකි.
ඇත්තෙන්ම ශක්තිමත් රාජ්‍යයක් යනු එයම ද? ශක්තිමත් රාජ්‍යයක් වශයෙන් නූතනයේ සලකනු ලැබෙන්නේ, නොසැලෙන නීතියේ ආධිපත්‍යයකින් බැඳ තැබෙන, තිරසාර පාලනතන්ත්‍ර ලියවිල්ලකින් (ව්‍යවස්ථාවකින්) මග පෙන්වනු ලබන, මානව හිමිකම් අගයන සංයුක්ත ආයතන ව්‍යුහයක් සහිත, දේශපාලනික ප්‍රජාවකි. එම අර්ථයෙන් ගත් විට ‘ශක්තිමත්’ රාජ්‍යයක් යනු, සුජාතභාවය භුක්ති විඳින විධිමත් සාමූහික ආයතන ව්‍යුහයක් මිස, ශක්තිමත් (පුද්ගල) නායකයෙකු අධිනිශ්චය වන තත්ත්වයක් නොවේ. (පුද්ගල) නායකයෙකුගේ අධිනිශ්චය වීම අනිවාර්ය කොන්දේසියක් වශයෙන් ඉඳුරා පිළිගැනුණේ රජ ක්‍රමය තුළ ය. එනිසා එදා එම බලය බොහෝ විට ව්‍යුත්පන්න වුණේ, දෙවියන්ගෙන් හෝ වෙනත් එවැනි පාරභෞතික නාමයක ආනුභාවයෙනි. පසුකලෙක ඇති වූ සමාජ ප්‍රගමනයේදී මෙය, පාලකයා සහ පාලිතයා අතර වන ‘සමාජ ගිවිසුමකට’ මාරු විය.
ලංකාව ‘ශක්තිමත්’ රාජ්‍යයක් විය යුතු යැයි කියන අයවලුන්ගේ ඉහත කී චින්තනය මෙහෙයවනු ලබන මූලික සාධකය වන්නේ, පාලිතයා (රටවැසියා) කෙරෙහි උපරිමයෙන් බලය අභ්‍යාස කරනු ලබන පාලකයෙකුගෙන් සමන්විත රාජ්‍යයකි. උදාහරණයක් වශයෙන්, දකුණේ (87-90) කැරැල්ලක් ඇතිවන විට හෝ උතුරේ බෙදුම්වාදයක් ඇතිවන විට, ක්ෂණිකව සහ සාර්ථකව මර්දනය කළ හැකි යන්ත්‍රයක් වශයෙන් විරාජමාන වන පාලන රාමුවක් ඔවුහු අපේක්ෂා කරති. ඒ අනුව තර්ක කරන ඔවුහු, ලංකාවේ බෙදුම්වාදී ව්‍යාපාරය හමුදාමය වශයෙන් පරාජය කිරීමට හැකිවුණේ විධායක ජනාධිපති ක්‍රමයක් පැවති නිසා බවද පෙන්වා දෙති. එය, අදාළ ප්‍රශ්නය සඳහා සපයන සාර්ථක පිළිතුරකට වඩා, තව ප්‍රශ්න ගණනාවක් මතු කරන ප්‍රකාශයකි. බෙදුම්වාදය තර්ජනීය අභියෝගයක් වශයෙන් හිස එසවූයේද ඒ කියන විධායක ජනාධිපති පාලන කාලයේම බව මේ කියන තර්කනය තුළ අමතක කෙරේ. 1975දී යාපනේ පුරපති දොරේඅප්පා ඝාතනය කරන අවස්ථාවේ (ප්‍රභාකරන් ඇතුළු) උතුරේ කැරලිකාරී ව්‍යාපාරය සමන්විත වුණේ සාමාජිකයන් දහපහළොස් දෙනෙකුගෙනි. එහෙත් එතැන් පටන්, දස දහස් ගණනක සන්නද්ධ ව්‍යාපාරයක් සහිත, නාවුක සහ ගුවන් හමුදා අංශද සහිත මහා බලයක් බවට එම සන්නද්ධ ව්‍යාපාරය පත්වන්නේ, මේ රටේ විධායක ජනාධිපති ක්‍රමයක් තිබියදී ය. ඊළඟට, මේ බෙදුම්වාදය හමුදාමය වශයෙන් ඉවරයක් කිරීමට එකී විධායක ජනාධිපති ක්‍රමයට (1978 සිට) අවුරුදු තිහක් තරම් වන දීර්ඝ කාලයක් ගතවීම, විධායක ජනාධිපති ක්‍රමය සහ යුද්ධය අවසන් කිරීම අතර තිබිණැයි කියන සහසම්බන්ධයේ ඇති දුර්වලත්වය තවත් මොනවට පැහැදිලි කරයි. දීර්ඝ කතාවක් කෙටියෙන් කිවහොත්, ඕනෑම රාජ්‍යයක් මර්දන යන්ත්‍රයක් වශයෙන් කොතෙක් කාර්යක්ෂමද යන්න තීරණය වන්නේ, එම රට ජනාධිපති ක්‍රමයක් ඇති රටක්ද, නැතහොත් පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති රටක්ද වැනි ව්‍යවස්ථාමය කරුණකට වඩා, විනාශකාරී අමුද්‍රව්‍ය හිමිකාරීත්වයත්, එම හයිය පාවිච්චි කිරීමට ඇති සූදානමත් මත බව පෙන්වා දිය යුතුය.
විධායක ජනාධිපති ක්‍රමය ආරක්ෂා කර ගැනීමේ තවත් අභිප්‍රායක් සිංහල ස්වෝත්තමවාදය සමඟ ගැට ගැසී තිබේ. ලංකාවේ ජන සංයුතියේ ස්වභාවය, සමාජ මනෝභාවය සහ මැතිවරණ ව්‍යුහය තුළ, රටේ ජනාධිපති වීමේ හැකියාව ඇත්තේ සිංහලයෙකුට පමණි. විධායක ජනාධිපති ක්‍රමය තුළ, කළු ජාතිකයෙකු ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනීමට ඇමරිකාවට අවුරුදු 200කට වැඩි කාලයක් ගතවුණි. කල් ගතවී හෝ ඇමරිකාවට එම සාර්ථකත්වය අත්කර ගැනීමට හැකිවුණේ, එම සමාජයේ පැවති දියුණුවේ ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත්, දීර්ඝකාලීනවූත්, කුරිරුවූත් යුද්ධයක් අත්විඳ ඇති සමාජයක් වශයෙන්, දෙමළ ජාතිකයෙකු හෝ මුස්ලිම් ජාතිකයෙකු මේ රටේ විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනීමක් ගැන සිහිනෙන්වත් බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාවක් අද අපට නැත. ඒ තත්ත්වය තුළ, ‘අවසාන හැන්ද’ සිංහලයෙකු අතේ තබා ගැනීමේ අප්‍රකාශිත අභිප්‍රායත්, විධායක ජනාධිපති ක්‍රමය ආරක්ෂා කර ගැනීමේ කඳවුර තුළ සිටින ඇතැම් ජාතිවාදීන් තුළ තිබේ.
පොදුවේ ගත්විට, රාජ්‍ය යන්ත්‍රයකට ඇති මර්දන හැකියාව, රාජ්‍යයේ ‘ශක්තිමත්’භාවය වශයෙන් ගැනීම මෙම චින්තනයේ ආවේණික ලක්ෂණයකි. එහෙත් නූතන රාජ්‍යයක් ගොඩනැගිය යුත්තේ, රටේ ආරක්ෂාව අරභයා මර්දන යන්ත්‍රයක් වශයෙන් (විශේෂයෙන් තමන්ගේම රටේ ජනතාවට එරෙහි මර්දන යන්ත්‍රයක් වශයෙන්) ක්‍රියාවට නැගීමේ එල්ලය ඇතිව නොව, රටේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි සමාජ තත්ත්වයන් කල් තියා සමනය කර ගැනීමේ හැකියාව සහිත සංයුක්ත පාලන පද්ධතියක් සේ ක්‍රියා කිරීමට ය. උදාහරණයක් වශයෙන් ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අපට උදාහරණයට ගත හැකිය.
නිදහස ලැබීමේදීම ඉන්දියාව දෙකට කැඩුණි. ඒ, ඉන්දියාව සහ පාකිස්තානය වශයෙනි. අද තිබෙන ඉන්දියානු ව්‍යවස්ථාව කෙටුම්පත් කෙරුණේ ඉන් පසුව 1950 දීය. වරක් දෙකට කැඩී ඇති රාජ්‍යයක නායකයන් වශයෙන්, අම්බෙඞ්කාර් සහ නේරු වැන්නන්, අපේ අයියලා සේ එදා සිතුවේ නම්, ඔවුන් කෙටුම්පත් කරනු ඇත්තේ, විධායක ජනාධිපති ක්‍රමයකි. මන්ද යත්, (එදා) මිලියන 330ක ජනගහනයක් සිටි රටක් වශයෙන්, භාෂා 1652 ක් කතා කළ රටක් වශයෙන්, පිළිගත් ආගම් 9 ක් ඇදහූ රටක් වශයෙන්, නැවත කැඩී යාමකට ඇති වැඩි ඉඩකඩ නිසා, ඊට ‘සබ්බුව’ දිය හැකි රාජ්‍ය ක්‍රමයක් වශයෙන් විධායක ජනාධිපති ක්‍රමය කෙරෙහි ඔවුන් ආසක්ත විය හැකිව තිබූ බැවිනි. එහෙත් ඒ වෙනුවට ඔවුන් කෙළේ කුමක්ද? රට බෙදීමේ ඉඩකඩ අහුරාලිය හැකි ඒකායන මාර්ගය වන, බලය බෙදීමක් සඳහා ස්වකීය ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමයි. අදත් ඉන්දියාව නොකැඩී තිබෙන්නේ, එසේ සියලු ජන කොටස් අතර බෙදා හරින ලද බලය නිසා ය.
1861 දී ඇමරිකානු සිවිල් යුද්ධය ඇතිවිය. ආසන්නතම හේතුව කුමක්ද? එදා ඇමරිකාව සමන්විත වූ රාජ්‍ය 34 ක සංගමයෙන් තමන් වෙන්වන බව දකුණේ පිහිටි රාජ්‍ය 7ක් (පසුව රාජ්‍ය 11ක්) ප්‍රකාශයට පත්කිරීමයි. අද අපට හුරු පුරුදු භාෂාවෙන් කිවහොත්, එය නොම්මර එකේ බෙදුම්වාදයකි. ප්‍රතිඵලය වුණේ, 700,000 කට අධික ප්‍රමාණයක්, අවුරුදු 4ක් වැනි කෙටි කාලයක් තුළ ඝාතනය වීමයි. එය, පළමු ලෝක යුද්ධය සහ දෙවැනි ලෝක යුද්ධය යන අවස්ථා දෙකම එකට ගත් විට ඇමරිකාවට අහිමි වූ මුළු මිනිස් ජීවිත සංඛ්‍යාවට වඩා විශාල ජීවිත විනාශයකි. එහෙත් එදා ඒ ‘බෙදුම්වාදීන්’ හමුදාමය වශයෙන් පරාජය කළ ඒබ්‍රහම් ලින්කන්, එතෙක් ඇමරිකානු ව්‍යවස්ථාව තුළ තිබූ ෆෙඩරල් බල ව්‍යුහය ඉවත් කොට ‘ඒකීය’ බල ව්‍යුහයක් ඇතිකර ගත්තේ නැත. ඒ වෙනුවට ඔහු කෙළේ, බලය බෙදාහදා ගැනීමේ අවකාශය තවත් විධිමත්ව ඇමරිකානු රාජ්‍ය ක්‍රමය තුළ ස්ථාපිත කිරීමයි.
මෙයින් පෙන්නුම් කරන්නේ, බෙදුම්වාදයකට මුහුණ දුන් රටවල් දෙකක්, එකක් පාර්ලිමේන්තු අගමැති ක්‍රමයක් යටතේද (ඉන්දියාව), අනෙක විධායක ජනාධිපති ක්‍රමයක් යටතේද (ඇමරිකා එක්සත් ජනපදය), ‘ශක්තිමත්’ සහ නොබෙදුණු රාජ්‍යයක් ගොඩනගා ගැනීම කෙරෙහි එක සේ විශ්වාසය තබා ඇත්තේ, බලය එක තැනකට සංකේන්ද්‍රණය කර ගැනීමේ ක්‍රමයක් වෙනුවට, බලය බෙදාහැරීමේ ක්‍රමයක් මත වන බවයි. (ඉතිරිය ඉදිරියට)■