රාවය

අපහාසය වෙනුවට සියුම් උපහාසය මතු කරන දේශපාලන කාටූන්වල සමාජ මෙහෙවර

අපහාසය වෙනුවට සියුම් උපහාසය මතු කරන දේශපාලන කාටූන්වල සමාජ මෙහෙවර

කියානූෂ් රාමසානි ( K i a n o u s h Ramaezani) ඉරාන ජාතික දේශපාලන කාටූන් චිත්‍ර ශිල්පියෙක්. 43 හැවිරිදි ඔහු පසුගිය වසර හතක් තිස්සේ ජීවත් වන්නේ ප්‍රංශයේ දේශපාලන සරණාගතයකු ලෙස.
එයට හේතුව ඔහු නිදහසේ දේශපාලන කාටූන් ඇඳීම ඔහු උපන් රටේ පාලකයන්ට දරාගත නොහැකි වීමයි. අතිශය දරුණු ආගම්වාදී සහ දැඩිමතධාරී රාජ්‍ය පාලනයක් පවතින ඉරානයේ, කාටූන් ශිල්පියකුටවත් නිදහසක් නැහැ. ඉස්ලාම් අධිපතිවාදය විසින් ප්‍රකාශන නිදහස් ඇතුළු සියලු මානව හිමිකම් මර්දනය කරනු ලබනවා.
2009දී ඉරානයේ පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපති අහ්මදිනෙජාද් ප්‍රකාශිත ඡන්ද 62%කින් ජයගත් බව ප්‍රකාශ වුණා. එහෙත් මැතිවරණය බොහෝ අක්‍රමිකතා හා ඡන්ද දූෂණවලින් ගහණ වූ බැවින් ප්‍රතිඵලය පිළිගන්නට නොකැමතිව මිලියන ගණන් ජනයා උද්ඝෝෂණ කළා. එහෙත් රාජ්‍ය බලය හසුරුවන දේශපාලක යන්ටත් වඩා ඉහළින් සිටින අයටොල්ලාවරුන් එය ගණන් ගත්තේ නැහැ.
ඒ වන විට කැනඩාවෙන් පළ කෙරුණු ෂර්වාන්ද් (Shahrvand) නම් සඟරාවකට කාටූන් අඳිමින් සිටි තරුණ කියානූෂ්ද මැතිවරණ ප්‍රතිඵලය විවේචනය කරමින් කාටූන් කිහිපයක් නිර්මාණය කළා. පාලකයන්ට මෙය දිරවා ගන්න බැරි වුණා. දූෂිත මැතිවරණයට එරෙහිව උද්ඝෝෂණ කළ දහස් ගණන් පුරවැසියන් හා සමාජ ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට පත්වනු ඔහු දුටුවා. තමන්ටත් මේ ඉරණම අත්වීමට පෙර ඔහු ප්‍රංශයට ගියා. එහි දේශපාලන රැකවරණය ලැබුවා.
“මා ඉරානය හැර ගියේ පණ බේරා ගන්නටයි. මා ඉපිද හැදුණු වැඩුණු සමාජය මගේ දේශපාලන කාටූන් සඳහා ඇති තරම් අමුද්‍රව්‍ය ලබා දුන්නා. විදෙස් රටක පදිංචි වූ විට එවන් සමීප සමාජ විඥානයක් ලබන්නට කලක් ගතවනවා. මේ නිසා ප්‍රංශයට පැමිණ වසර දෙක තුනක් යන තුරු මට කාටූන් අඳින්නට හැකි වූයේ නැහැ.” යයි ගිය සතියේ ඔහු කොළඹදී ආවර්ජනය කළා.
ප්‍රංශ තානාපති කාර්යාලයේ සහ අලියොන්ස් ෆ්‍රන්ෂේස් (Alliance Francaise) සංස්කෘතික ආයතනයේ ඇරැයුමින් ශ්‍රී ලංකාවට පැමිණි කියානූෂ් කොළඹදී හා මහනුවරදී මහජන සංවාදයන්ට එක් වුණා. විද්වතුන්, මාධ්‍යවේදීන් හා සිසුන් රැසක් සහභාගි වූ මේ සංවාදවලදී අදහස් ප්‍රකාශනයේ නිදහස හා නිර්මාණකරණයේ අභියෝග ගැන කාටූන් ශිල්පියකුගේ දෘෂ්ටි කෝණයෙන් කථා කළා.
2017 ජනවාරි 26 වනදා කොළඹදී ඔහුත් සමඟ සාකච්ඡා මණ්ඩපයකට තරුණ ශ්‍රී ලාංකික කාටූන් ශිල්පී ගිහාන් ඩි චිකේරා සහ දිගු කාලීන කාටූන් රසිකයකු වන මා සම්බන්ධ වුණා.
රටක මාධ්‍ය නිදහස හා ප්‍රකාශන නිදහස නො අඩුව පවතිනවා නම් එම රටේ දේශපාලන කාටූන් චිත්‍ර ශිල්පීන්ට ඕනෑම සමාජ සංස්ථාවක් හා ඕනෑම නාමධාරී චරිතයක් විකටරූපණයට (caricaturisation) හසු කිරීමේ අවකාශය තිබිය යුතු යයි කියානූෂ් තර්ක කරනවා.
“උපහාසයට හා සරදමට දේශපාලන හෝ වෙනත් සීමා දමන්නට බැහැ. පාලකයන්, පූජකයන් හා සෙසු හැම තරාතිරමකම උදවිය සරදමට ලක් කරන්නට කාටූන් චිත්‍ර ශිල්පීන්ට නිදහස තිබිය යුතුයි. මේ නිදහස රැක ගන්නට කාටූන් ශිල්පීන් මෙන්ම කාටූන් රසිකයන්ද පෙරට ආ යුතුයි” කියානූෂ් කියනවා.
ප්‍රංශයේ පළවන ලෝ ප්‍රකට චාලී හෙබ්ඩෝ (Charlie Hebdo) නම් උපහාසාත්මක සතිපතා සඟරාව මේ සම්ප්‍රදායේ උදාහරණයක්, දේශ පාලකයන්ට, ආගම්වලට, පූජකයන්ට, මෙන්ම සමාජයේ නාමධාරී වෙනත් ඕනෑම කෙනකුට නොබියව විකට චිත්‍රණයේ හා උපහාසකරණයේ යෙදෙන මේ ප්‍රකාශනයට ඒ නිසාම 2011 දීත් 2015දීත් ත්‍රස්ත ප්‍රහාර එල්ල වුණා.
එයට නිමිත්ත වූයේ මහම්මද්තුමා පාදක කරගත් ආන්දෝලනාත්මක කාටූන් පෙළක් එහි පළ වීමයි. (පාප්තුමා හා වෙනත් ආගම්වල කර්තෲන් හා නායකයන්ද චාලී හෙබ්ඩෝ එක සේ විකට චිත්‍රණයට හසු කර තිබෙනවා.)
2015 ජනවාරි 7 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී සඟරාවේ කාර්ය මණ්ඩලයේ 12ක් මිය ගොස් 11 දෙනකු තුවාල ලැබුවා. එහෙත් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය හමුවේ වුවද චාලි හෙබ්ඩෝ ප්‍රකාශනය තම ස්ථාවරය වෙනස් කළේ නැහැ. ප්‍රහාරයෙන් පසුවද ඔවුන් නිතිපතා ප්‍රකාශනය එළි දැක්වූවා. දිගටම හා අභීතව කාටූන්කරණයේ යෙදෙනවා.
චාලි හෙබ්ඩෝ ප්‍රකාශනයටත් සම්බන්ධකම් තිබෙන කයිනූෂ් කියන්නේ කිසිදු අධිපතිවාදයකට නතු නොවී, නොබියව කාටූන් අඳින්නට හා විකට කථා ලියන්නට පරිණත සමාජයක නිදහස තිබිය යුතු බවයි. එසේම ප්‍රජාතන්ත්‍රවාදී රජයන් හා සමාජයන් එම නිදහස ආරක්‍ෂා කළ යුතු බවයි.
“චාලි හෙබ්ඩෝ ප්‍රකාශනය කිසිදු සංස්කෘතියකට හෝ ජන පිරිසකට හෝ එරෙහි වූවක් නොවෙයි. එහෙත් ආගම්, සමාජ සංස්ථා හා පොදු චරිත විවේචනයට නිදහස තිබිය යුතුයි. සමාජයක පූජනීය චරිත ලෙස සලකා යම් පුද්ගලයන් හා යම් සමාජ සංස්ථා විවේචනවලින් බැහැර කරන විට සමාජ දූෂණ හා විසමතා ද වැඩි වනවා.” ඔහු විස්තර කළා.
“කාටුන් කියන්නේ අපහාසය නොව උපහාසය පෙරදැරි කර ගත් සියුම් කලාවක්. අපහාස කිරීම ලෙහෙසියි. උපහාසය ඊට වඩා බොහෝ දුෂ්කරයි. ඕනෑම දෙයක් ගැන හා ඕනෑම ලොක්කෙක් ගැන විහිළුවක් කර සිනහ වෙන්නට ඉඩ තිබීම සමාජයකට අවශ්‍යයි. අපට අප ගැනම සිනා වන්නට බැරි නම් සංස්කෘතික මිනිසුන් ලෙස අපේ වටිනාකම කුමක්ද?” ඔහු ප්‍රශ්න කළා.
අද මෙරට සිටින දක්‍ෂතම දේශපාලන කාටූන් ශිල්පියකු වන ගිහාන් ඩි චිකේරා (ඬේලිමිරර් පත්‍රය) කීවේ තමන් විකට චිත්‍රණය කරන්නේ මානව හිමිකම් හා සමාජ සාධාරණත්වය පිළිබඳ රාමුවක් තුළ සිටිමින් බවයි.
“තමන්ගේ ප්‍රශ්න කියා ගන්නට බැරි, මාධ්‍ය හරහා හඬක් නොමැති බොහෝ දෙනා අපේ සමාජයේ ඉන්නවා. ආර්ථික, දේශපාලනික හෝ සමාජයීය පීඩනයන්ට ලක් වූ මේ අය සංකේතවත් කැරෙන කාටූන් අඳින්නට මා උත්සාහ කරනවා.” ගිහාන් කියා සිටියා.
එහෙත් සමාජ අසාධාරණයන්ට එරෙහිව කාටූන් ශිල්පීන්ට පමණක් තනිව අරගල කරන්නට බැහැ. එයට පුරවැසියන්ද සම්බන්ධ විය යුතුයි.
ගිහාන් එය මෙසේ විග්‍රහ කළා. “අපේ බොහෝ දෙනා ඡන්ද අයිතිය ගැන හොඳාකාර දන්නවා. එය භාවිත කරන ප්‍රතිශතය ඉහළයි. එහෙත් ඉන් ඔබ්බට දිවෙන පුරවැසි අයිතීන් ගැන අපේ රටේ එතරම් දැනුමක් හෝ අවධානයක් නැහැ. මැතිවරණ අතර කාලයේ අපේ පුරවැසි අයිතීන් එළිපිටම උල්ලංඝනය වනු දකින විට ඒ ගැන යම් ජන අවබෝධයක් ඇති කරන්නට කාටූන් ශිල්පියකු ලෙස මා නිතර උත්සාහ කරනවා.”
දේශපාලන කාටූන් (political cartoons) ලෙස පොදුවේ හැඳින්වුණත් මේ කලා සම්ප්‍රදාය හරහා සමාජයේ දේශපාලකයන් පමණක් නොව අන් සැම පැතිකඩක්ම විචාරයට ලක්කළ හැකියි. කියානූෂ් හා ගිහාන් කාටූන් ශිල්පීන් දෙදෙනා අතර හිඳගත් මා කාටූන් කලාවේ පුළුල් දේශපාලන හා සමාජයීය ප්‍රවණතා ගැන කථා කළා.
රටක හා සමාජයක අදහස් ප්‍රකාශන නිදහස හා මාධ්‍ය නිදහස කෙතරම් දුරට පවතීද යන්න ගැන දර්ශකයක් ලෙස එරට පවතින හා මාධ්‍ය තුළ හමුවන උපහාසය හා හාස්‍යය යොදා ගත හැකි බවට මා තර්ක කළා.
එසේම වාචිකව හා ලේඛන හරහා දේශපාලන විචාරය කිරීමට නොහැකි මර්දනකාරී අවස්ථාවල එම සීමා ඉක්මවා යෑමේ නිර්මාණශීලී උපක්‍රමයක් ලෙස හාස්‍යය හා උපහාසය යොදා ගත හැකි බවද මා පෙන්වා දුන්නා.
සෘජු විවේචන නොඉවසන, එවන් විවේචන කරන මාධ්‍යවේදීන්ට හා බුද්ධිමතුන්ට හිරිහැර කරන ඒකාධිපති පාලනයන් පවතින රටවල පවා බොහෝ විට කාටූන් ශිල්පීන්ට හා හාස්‍යජනක රචනා කරන ලේඛකයන්ට (satirists) වක්‍රව එම දේශපාලන තන්ත්‍රයන් විවේචනය කිරීමට හැකි වනවා. සමහර විට ආත්මාරක්‍ෂාව පතා එය නිර්නාමිකව, යටි බිම්ගතව කිරීමටත් සිදුවනවා.
ප්‍රකාශන නිදහස හා විවේචනයේ නිදහස දැඩි ලෙස මර්දනය කෙරුණු සෝවියට් දේශයේ හා නැගෙනහිර යුරෝපයේ අන්තිමට ඉතිරි වූ එකම දේශපාලන විචාර මාධ්‍යය වූයේ කාටූන් චිත්‍ර ශිල්පයයි. එයට අමතරව අඳුරු හාස්‍යජනක (dark humour) කථා රැසක් නිර්නාමිකව සංසරණය වුණා.
පරිණත නොවූ හා ප්‍රචණ්ඩත්වය බලවත් අපේ වැනි සමාජයන්හි දේශපාලකයන් හා වෙනත් සමාජ බලධාරීන් සියුම්ව විවේචනයට ලක් කරන්නට කාටූන් හා උපහාසය යොදා ගත හැකියි.
එහෙත් එසේ කිරීමේත් යම් අවදානමක් තිබෙනවා. ගෙවී ගිය අඩ සියවසක කාලය තුළ කාටූන් උපහාසය දරා ගන්නට අපේ දේශපාලකයන් තුළ ඇති හැකියාව ක්ෂීණ වී තිබෙනවා.
1953-1956 වකවානුවේ මෙරට අගමැති වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල තමා ගවයකු ලෙස නිරූපණය කරමින් කාටූනයක් ඇඳි ජී.එස්. ප්‍රනාන්දු කඳවල වලව්වට ගෙන්වා ගෙන මහ ඉහළින් සංග්‍රහ කළ සැටි 2016 අගෝස්තු 14 වනදා තීරුලිපියේ මා සඳහන් කළා.
එහෙත් පසු කාලීනව කාටූනයක්වත් දිරවා ගන්නට නොහැකි තරමට උද්දච්ච වූ දේශපාලන නායකයන් මෙරට බිහිවුණා. 1982 මාර්තු කල්පනා සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් එවකට ඇත්ත පත්‍රයේ කාටූන් ශිල්පියා ලෙස රටම හඳුනාගත් ජිෆ්රි යූනුස් මෙසේ කීවා: “දේශපාලන විකට චිත්‍රයක රස විඳීමට නොහැකි පුද්ගලයා එහි අගය නොදන්නා අයෙක්. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන, විදේශ ඇමති (ඒ.සී.එස්) හමීඞ්, කර්මාන්ත ඇමති සිරිල් මැතිව් මගේ කාටූන්වලට කැමතියි. ඒත් (ජවිපෙ නායක) විජේවීර ඒවාට හරිම තරහයි!”
ඊට දශකයකට පසු යුනූස් බිහිසුණු අත්දැකීමකට මුහුණ දුන්නා. ප්‍රේමදාස පාලන සමයේ 1992 අගෝස්තුවේ එක් දිනෙක මැරයන් විසි දෙනකු පමණ වාහන තුනකින් යුනූස්ගේ නිවසට පැමිණියා. එයින් එක් අයකු පිස්තෝලයක් ඔහුගේ කටට ඔබා තර්ජනය කළා, ශ්‍රීමත් ජනාධිපතිතුමාට එරෙහිව ආයෙත් කාටූන් ඇන්දොත් මරා දමන බවට. එසේ තර්ජනය කොට, යූනුස්ගේ දතක්ද කඩා නික්ම ගිය මැරයෝ ඊළඟ දවසේ යළි පැමිණ ගෙදර බඩු මුට්ටු කඩා බිඳ දමා ඔහුට පිහියෙන් ඇන්නා. ඒ ප්‍රහාරයෙන් පසු දින ගණනාවක් ඔහු රෝහල්ගතව සිටියා.
ඉන්පසු ගෙදරින් බැහැරව ඇත්ත කාර්යාලයේම පදිංචි වූ යූනුස් තමන්ගේ කලාව නතර කළේ නෑ. ප්‍රේමදාස ජනාධිපතිවරයා හා එවකට රජය නිර්දය ලෙස උපහාසයට ලක් කැරෙන කාටූන් ඇඳීම දිගටම කළා. ඔහු 1992 ලත් ප්‍රහාරය ගැන Illustrating Asia නමින් අමෙරිකානු පර්යේෂක ජෝන් ලෙන්ට් 2001 ලියූ පොතේ ලේඛනගතව තිබෙනවා.
ප්‍රේමදාස යුගයේ මැර ප්‍රහාරයකින් ජීවිතය ගලවාගත් යූනුස් තවත් වසර ගණනක් කාටූන් කලාවේ නිතර වුණා. එහෙත් රාජපක්‍ෂ පාලන සමයේ, 2010 ජනවාරි 24 වනදා අතුරුදන් වූ කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩට කුමක් වීද යන්න ගැන තවමත් අපරාධ විමර්ශන කටයුතු කැරෙනවා.
මෙයින් පෙනෙන්නේ පරම්පරා දෙකක් තුළ කාටූන් ශිල්පියකු පවා නොරුස්සන, ඔවුන්ට පහර දෙන හෝ අතුරුදහන් කරවන මට්ටමකට අපේ දේශපාලන තන්ත්‍රය දරුණු වී ඇති බවද?
මහින්ද රාජපක්‍ෂ චරිතය නම් බලය ඇති විටත්, නැති විටත් මෙරට දේශපාලන කාටූන්වලට නිතර යොදා ගැනෙනවා. එහෙත් 2005 -2014 වකවානුවේ අසීමිත බලයක් තිබූ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂව කිසිම විටෙක කාටූන් චිත්‍රයක පිළිබිඹු වූවාදැයි මා එදින සභාවේ විමසුවා.
මගේ මතකය නම් එසේ නොවූ බවයි. ගිහාන් ඩි චිකේරාත් එය සනාථ කළා. එහෙත් 2015 ජනවාරියේ ආණ්ඩු පෙරළියෙන් පසු නම් ගෝඨාභය රූපය විටින් විට කාටූන්වල මතුවනවා. එයට පෙර එසේ නොවූයේ ඔහු වටා පැවති භයංකාර ප්‍රතිරූපය නිසාද?
මෙරට කාටූන් ශිල්පීන්ට නිරූපණය කරන්නට දුෂ්කර වූ තවත් පිරිසක් නම් ආගමික පූජකයන්. එහෙත් බෞද්ධ භික්‍ෂූන් ක්‍රියාකාරී පක්‍ෂ දේශපාලනයට පිවිසි පසු ඔවුන් කාටූන්වල යොදා ගැනීම ටිකෙන් ටික පුළුල් වුණා. ඇත්තම සෙසු දේශපාලන චරිත කාටූන්වලට හසු වනවා නම් දේශපාලනයේ නිරත වන භික්‍ෂූන්ට හෝ වෙනත් පූජකයන්ට එයින් මිදී සිටීමට අයිතියක් ඇතැයි පිළිගත නොහැකියි.
“දේශපාලනයේ නියැලෙන පූජ්‍ය පක්‍ෂයේ උදවිය අපට කාටූන්වල නිරූපණය කළ හැකි විය යුතුයි. එහෙත් යම් ආගමක් නිරූපණය කරන්නට පූජකයන් යොදාගෙන කාටූන් ඇඳීම ඊට වඩා අසීරු කාර්යයක්” ගිහාන් කියනවා.
මෙරට දේශපාලන කාටූන් කලාවේ කාන්තා චිත්‍ර ශිල්පීන් හමු නොවන්නේ ඇයිද යන්නත් මා ප්‍රශ්න කළා. සමාජ මාධ්‍යයක් වන ට්විටර් හරහා මෙය මතු කළ විට පිළිතුරු දුන් Roar.lk කාලීන තොරතුරු වෙබ් අඩවියේ සංස්කාරිකා ගසාලා අන්වර් කීවේ ඔවුන්ට කාටූන් අඳින රිෂිකා නම් ශිල්පිනියක් සිටින බවයි.
මේ අතර අපේ සංවාදයේදී ගිහාන් කීවේ සඳුනි නම් කාටූන් ශිල්පිනියක් මෑතදී ඬේලි මිරර් කාටූන් කණ්ඩායමට සම්බන්ධ වී සිටින බවත්, ඇය කාටූන් කලාවට හුරු වෙමින් සිටින බවත්. මෙය හොඳ ප්‍රවණතාවක්.
කාටූන් ඇඳීම මෙන්ම ඇගැයීමත් ආයාසයෙන් ප්‍රගුණ කර ගත යුත්තක්. කාටූන්වල රස විඳින අතරම ඒවායේ සමාජයීය හා දේශපාලන සන්නිවේදන වැදගත්කම ගැන මීට වඩා සමාජ විද්‍යාත්මක පර්යේෂණ හා විද්වත් සංවාද අවශ්‍යයි. මාධ්‍ය නිදහස හා ප්‍රකාශන නිදහස පුවත් වාර්තා හා විශේෂාංගවලට පමණක් නොව දේශපාලන කාටූන්වලටද එකසේ අදාළ බව මාධ්‍ය අයිතීන් ගැන උද්ඝෝෂණ කරන උදවිය වටහා ගත යුතුයි.■