Untitled-1

Untitled-1

අරාජකත්වය, පුනරුදය හා පවුල


ivan

වික්ටර් අයිවන්

රට තිබෙන්නේ අරාජකත්වයකට තල්ලු වී යමින් තිබෙන තත්ත්වයකය. අභ්‍යන්තර යුද්ධය අවසන් කෙරෙන අවස්ථාව වන විට සමාජය හා රාජ්‍යය තිබුණේ දීර්ඝ කාලයක් එක දිගට පැවති අශීලාචාර වටාපිටාව තුළ දූෂිතභාවයට හා ජරපත්භාවයට පත් තත්ත්වයකය. ශක්තිමත් හා යහපත් ඉදිරි ගමනක් සඳහා සමාජය හා රාජ්‍යය ප්‍රතිසංවිධානය හා ප්‍රතිනිර්මාණය කරගන්නා තැනකට යායුතුව තිබුණද එවකට බලයේ සිටි රාජ්‍ය නායකයා හා ආණ්ඩුව ඒ තත්ත්වය තේරුම් ගැනීමට අසමත්ව සමාජය හා රාජ්‍යය ප්‍රතිසංවිධානයකට හා ප්‍රතිනිර්මාණය කරගන්නා තත්ත්වයකට යෑමෙන් තොරව ඉදිරියට යන්නට දරන උත්සාහය තුළ තිබුණු අර්බුදය අලුත් මුහුණුවරක් ගනිමින් රට අරාජක තත්ත්වයකට තල්ලු වන තත්ත්වයක් ඇතිවී තිබුණි. ජනාධිපතිවරයා ඉක්මන් ජනාධිපතිවරණයක් පැවැත්වීම නිසා එසේ නොවී ජනාධිපතිවරයාට තිබූ බලය අහිමි වී අලුත් ජනාධිපතිවරයෙකු හා අලුත් ආණ්ඩුවක් බලයට පත්වන තත්ත්වයක් ඇතිවිය.

රට යන්නේ අරාජකත්වයකටද?
ඇතිවූ ආණ්ඩු වෙනස ජනතාවට සහනශීලී හැඟීමක් ඇති කිරීමට හේතු වුවද රටේ තිබුණු විස්තීර්ණ අර්බුදය ජයගැනීමට අවශ්‍ය කරන ශක්තිමත් දැක්මක් බලයට පත් නව ආණ්ඩුවට නොතිබීම නිසා නව ආණ්ඩුවක් බලයට පත්වුවද තිබුණු අර්බුදය අවසන් නොවී නැවත රට අරාජක තත්ත්වයකට තල්ලු කරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ. රටේ ජනාධිපතිවරයා සේ ම අගමැතිවරයා ද මහජනයාගේ විශ්වාසය සේ ම ගෞරවයද අහිමි කරගත් අසාර්ථක නායකයන් බවට පත්වෙමින් සිටින්නේය. ඒ දෙදෙනාට හිටපු නායකයා පරාජය කිරීමට අවශ්‍ය කරන තරමේ ශක්තිමත් දර්ශනයක්ද ඒ සඳහා අවශ්‍ය කරන සමගියක් හා අධිෂ්ඨානයක් තිබුණද බලයට පත්වීමෙන් පසු රට මුහුණ දී තිබුණු විස්තීර්ණ අර්බුදය ජයගැනීමට අවශ්‍ය කරන දැක්මක්, ඒ සඳහා වන අධිෂ්ඨානයක් හෝ සමගියක් පෙන්නුම් කිරීමට සමත් වූයේ නැත. ඒ තත්ත්වය පරාජය කරනු ලැබූ නායකයාගේ පැවැත්ම ශක්තිමත් කළේය. එහෙත් තිබෙන ආණ්ඩුව පරාජයට පත්කරමින් නැවත බලයට පත්වීමට අවශ්‍ය තරමේ ශක්තියක් එම නායකයාටද තිබෙන බවක් පෙනෙන්නට නැත. අනෙක් අතට ආණ්ඩුව තිබෙන්නේද ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර තිබෙන සීතල යුද්ධය කොයි මොහොතක හෝ පුපුරා ගොස් සමස්ත පාලනයම පාලනයක් නැති අරාජක තත්ත්වයකට පත්විය හැකි තත්ත්වයකය. ඒ තත්ත්වය අබිබවා ජයගත හැකි ශක්තිමත් ඉදිරි දර්ශනයක් සහිත තුන්වැනි දේශපාලන බලවේගයක් ද රටේ නැත. ඒ තත්ත්වය තුළ ඇතිවීමට වැඩි ඉඩක් තිබෙන්නේ අරාජක තත්ත්වයකි.
ව්‍යවස්ථාවට එකතු කර තිබෙන 19 වැනි සංශෝධනය නිසා දැන් රටට තිබෙන්නේ අරාජ කත්වයකදී එය ශක්තිමත් කරන ව්‍යවස්ථාවක් ලෙසද සැලකිය හැකිය. ආණ්ඩුව අර්බුදයට යන අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් ජනාධිපතිවරයාට නැත. පාර්ලිමේන්තුවේ තිබෙන බල තුලනය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් අගමැතිටද නැත. සාමාන්‍යයෙන් ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ස්වකැමැත් තෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමකට කැමති වන්නේ නැත. ඒ තත්ත්වය තුළ ආණ්ඩුව අර්බුදයකට යන අවස්ථාවකදී ඇතිවිය හැක්කේද අරාජක තත්ත්වයකි.

පුනරුදයේ පිළියම
පුනරුද දර්ශනය ගොඩනගා ගෙන තිබෙන්නේම රට අරාජකත්වයට තල්ලුවීමට තිබෙන හැකියාව සැලකිල්ලට ගෙන ඉන් සමාජයට විය හැකි හානිය අවම කරගැනීම සඳහා වන ඉදිරි දර්ශනයක් ඇතිවය. සමාජය දේශපාලන වශයෙන් දැනුවත් කරන හා විනයගරුක සමාජයක් බවට පත්කරන ක්‍රියාමාර්ගයක් මගින් ඇතිවන අරාජක තත්ත්වයකින් සමාජයට විය හැකි හානිය අවම කරගත හැකිය. පුනරුද ව්‍යාපාරයට රට අරාජකත්වයට යෑම වැළකිය නොහැකි වුවද අරාජක තත්ත්වයකින් රටට සිදුවන හානිය අවම කළ හැකිය.
මාස දෙකකටත් වඩා අඩු කාලයක් තුළ පුනරුද සාකච්ඡා සභා 26ක් රට තුළ ඇති කිරීමට මේ වන විට පුනරුද ව්‍යාපාරය සමත් වී තිබේ. 2017 ජූලි මාසය වන විට පුනරුද ශාඛා 200ක් හෝ ඊට වැඩි ගණනක් ස්ථාපිත කිරීමට පුනරුද ව්‍යාපාරය අපේක්ෂා කරයි. ඒ මගින් පුනරුද ව්‍යාපාරය දැනුවත් සාමාජිකයන් 10,000ක් ඇති ව්‍යාපාරයක් බවට පත්වනු ඇත. මාස හතරක් වැනි කාලයක් තුළ එක් සාමාජිකයකු අලුත් සාමාජිකයන් 5 දෙනකු ව්‍යාපාරයට එකතු කිරීමට සමත් වෙතොත් 2017 දෙසැම්බර් වන විට සාමාජිකයන් 50,000ක් සහිත ව්‍යාපාරයක් බවටත්, 2018 අප්‍රේල්වලදී සාමාජිකයන් 250,000ක් සහිත ව්‍යාපාරයක් බවටත් 2018 අගෝස්තුවලදී සාමාජිකයන් 1,250,000ක් සහිත ව්‍යාපාරයක් බවටත් පත්වීමට සමත්වනු ඇත. දොළොස් ලක්ෂයකට වැඩි සාමාජිකයන් සහිත ව්‍යාපාරයකට බලපෑ හැකි මිනිසුන් සංඛ්‍යාව විසිපන් ලක්ෂයක් හෝ ඊට වැඩිවිය හැකිය. එම නිශ්චිත කාලය තුළ ඒ තත්ත්වය කරා ළඟාවීමට ව්‍යාපාරය සමත් වෙතොත් එය සමාජය කෙරෙහි ප්‍රබල ලෙස බලපාන ප්‍රබල සමාජ ව්‍යාපාරයක් වනු ඇති අතර ඒ මගින් රටේ ගමන් මග කෙරෙහි තීරණාත්මක ලෙස බලපාන ව්‍යාපාරයක් බවට පත්වීමටද සමත් වනු ඇත.
පුනරුද ව්‍යාපාරය එම වර්ධනය ඇතිකර ගන්නට බලාපොරොත්තු වන්නේ ව්‍යාපාරයට එකතු වන හැම පුද්ගලයෙකුගේම සවිඥාන කත්වයේ යහපත් වෙනසක් ඇති කිරීම මගිනි. ඔවුන් සාධාරණ ලෙසත්, තර්කානුකූල ලෙසත්, බහුත්වවාදී හා විද්‍යාත්මක ලෙසත් දේවල් බලන පුද්ගලයන් බවට පත්කිරීමෙනි. කුලභේදය විසින් ඇති කර තිබෙන උස් පහත් භේදය නොපිළිගන්නා හා ඊට එරෙහිව පෙනී සිටින, වර්ග භේදයට හා ආගම් භේදයට එරෙහිවද බලවත් ලෙස පෙනී සිටින, භේදයකින් තොරව ලංකාවේ ජීවත් වන සියලු මිනිසුන්ට සමාන අයිතිවාසිකම් හා සමාන මනුෂ්‍ය ගෞරවය ලබාදීමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින සාධු ජන මිනිසුන්ගෙන් සමන්විත හිංසාවෙන් තොරව රටට අවශ්‍ය වෙනස්කම් දිනාගැනීම සඳහා ක්‍රියාකාරී ලෙස පෙනී සිටින සමාජ බලවේගයක් වශයෙන් එය ක්‍රියාත්මක වනු ඇත. අපේක්ෂා කරන තත්ත්වය දිනාගැනීමට පුනරුද ව්‍යාපාරය සමත් වෙතොත් එය ලංකාවේ අවලස්සන චිත්‍රය වෙනස් කිරීමට හේතුවන බලවත් හා ක්‍රියාකාරී සමාජ බලවේගයක් ලෙස ක්‍රියාකිරීමට එය සමත් වනු ඇත.
පුනරුද ව්‍යාපාරය සිය සාකච්ඡා සභා මගින් අපේක්ෂා කරන්නේ තිස් අවුරුද්දක් තිස්සේ රටේ පැවති බිහිසුණු හා අශීලාචාර වටාපිටාව විසින් මිනිසුන්ගේ අධ්‍යාත්මයේ ඇතිකර තිබෙන විකෘතිය හා හිරිවැටීම සුවපත් කරන අතර ඔවුන්ගේ සැබෑ ජීවිතවලද පුනරුදයක් ඇති කිරීමය. නැතහොත් ගල්ගැසී තිබෙන ඔවුන්ගේ අභ්‍යන්තර ශක්තීන් හොඳින් ක්‍රියාකරන තත්ත්වයකට ගැනීමය. ඔවුන් තර්කානුකූල ලෙසත් සාධාරණ ලෙසත් නිර්මාණශීලී ලෙසත් සිතන පතන හා ක්‍රියාකරන මිනිසුන් බවට පත්කිරීමය.

වැදගත් ඉදිරි පියවරක්
පුනරුද ව්‍යාපාරය පසුගිය සති අන්තයේදී (28 හා 29 වැනි දින දෙකේදී) සිය ගමන ඉදිරියට ගෙනයෑම සඳහා සම්පූර්ණ කරගත යුතුව තිබුණු වැදගත් ඉදිරි පියවරක් සම්පූර්ණ කරගැනීමට සමත් විය. මෙතෙක් කරන ලද සාකච්ඡා සභා ආශ්‍රයෙන් ගොඩ නැගී තිබෙන ශාඛා සංවිධානවල ප්‍රධානීන් හා වෙනත් ආකාරවලින් බලවත් ලෙස ආධාර කරන පුද්ගලයන්ගෙන් යුතු දින දෙකක වැඩමුළුවක් පවත්වා මෙතෙක් කරන ලද වැඩ ගැන හා කරන්නට අපේක්ෂා කරන වැඩ ගැනද මතවාදීව තිබෙන ප්‍රශ්න ගැනද සාකච්ඡා කිරීමේ අරමුණ ඇතිව මෙම වැඩමුළුව සංවිධානය කරන ලදි.
වැඩමුළුවට අනුරාධ පුරයෙන් ද, බදුල්ලෙන් ද, ත්‍රිකුණාමලයෙන්ද, පුත්තල මෙන්ද, කුරුණෑගලින් හා මහනුවරින් ද, කළුතරින්, කොළඹින්, රත්නපුරයෙන් හා මන්නාරමින් නියෝජිතයෝ සහභාගි වූහ. වැඩමුළුවට සහභාගි වූ 60කට ආසන්න සංඛ්‍යාවක් එහි පැමිණියේ ගමන් වියදම් තමන්ගේ අතින් දරාගෙනය. ඉන් නොනැවතී ඉඳුම්, හිටුම් හා කෑම සඳහා ගිය වියදම ද කොටස් වශයෙන් ගෙවීමට ඔවුන්ට සිදුවිය. වැඩමුළුවට සහභාගි වූ අනුරාධපුරයෙන් පැමිණි මුස්ලිම් විදුහල්පතිවරයෙකු සිය කතාවේදී කීවේ තමන් මීට පෙර සහභාගි වී ඇති හැම වැඩමුළුවකදීම පාහේ ඉඳුම් හිටුම් හා ආහාරපාන නොමිලේ ලබාදී ආපසු එනවිට මුදල් බහාලන ලද කවරයක්ද සාක්කුවට ලැබුණු බවත් මේ වැඩමුළුවේදී පමණක් ඒ වෙනුවට සියලු වියදම් දරන්නට සිදුවූ බවත් එය තමන්ට අත්දකින්නට ලැබුණු අපූරු අත්දැකීමක් බවත්ය.
අප ජීවත්වන්නේ මිනිසුන් දූෂිත කරන ලද සමාජයකය. වැඩමුළුවකට කැඳවූ විට මිනිසුන් එන්නේ හොඳට කා බී ආපසු යන විට සහභාගිත්වය වෙනුවෙන් කිසියම් ගෙවීමක්ද ලබාගැනීමේ අරමුණිනි. එය විදේශ රටවලින් ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන විසින් ඇති කර තිබෙන සම්ප්‍රදායක් ලෙස සැලකිය හැකිය. රටේ දේශපාලන පක්ෂ පවා වැඩ කරන්නේ එම සම්ප්‍රදායට අනුකූලවය. අපට අවශ්‍ය වී තිබුණේ රටේ මුල් බැස තිබෙන එම සම්ප්‍රදාය කනපිට හැරවීමය. දෙදින වැඩමුළුවට පැමිණි හැම කෙනෙක්ම තමන්ට මොනම දීමනාවක්වත් නොලැබෙන බව පමණක් නොව නැවතුම් පහසුකම් හා ආහාරපාන වෙනුවෙන් තමන්ට ගෙවන්නට සිදුවන බව ද දැන සිටියෝය. වැඩමුළුවට ආවේ ඔවුන් ඒ බව දැනගෙනය. රටේ යහපත් ලොකු වෙනසක් ඇති කිරීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් පෙනී සිටින අය සිය ශ්‍රමයෙන් පමණක් නොව ධනයෙන්ද දායක විය යුතුය. ලොකු ඉලක්කයක් ජයගැනීමට ඊට ගැළපෙන විශාල ප්‍රමාණයක ශක්තියක් මුදාහැරිය යුතුය. ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජයගැනීම සඳහා ද මිනිසුන් විශාල සංඛ්‍යාවක් ඔවුන්ගේ අභ්‍යන්තර ශක්තිය විශාල ප්‍රමාණයකට මුදාහැරීමක් සිදුකිරීම අවශ්‍ය වේ. ඒ සඳහා ඒ අරමුණ දිනාගැනීමට අපේක්ෂා කරන සියලුදෙනා සිය ශ්‍රමයෙන් හා දැනුමෙන් පමණක් නොව ධනයෙන්ද ඒ අරමුණ වෙනුවෙන් දායක විය යුතුය.

ප්‍රතිපත්තිමය තීරණයක්
මෙම වැඩමුළුවේ වාද විවාද මැද සාමාජිකත්වයට හා සංවිධානයට අදාළ වැදගත් ප්‍රතිපත්ති තීරණයන් ගණනාවක් ගැනද තීරණය කිරීමට හැකිවිය.
ව්‍යාපාරය මූල්‍ය ආධාර ලබාදෙන විදේශ ආධාර ආයතනවලින් හෝ රටේ කළු සල්ලිකාරයන්ගේ මුදල් ආධාර ලබා නොගත යුතුයි කියන අදහස එහිදී අනුමත විය. එහි තේරුම මුදලින් ආධාර කරන විදේශීය ආධාර ආයතනවලින් මුදල් ලබාගැනීම වරදක් හෝ පාපයක් ලෙස ව්‍යාපාරය සලකන නිසා නොවන බවද කිව යුතුය. විදේශ ආධාර ආයතනවලින් මුදල් ආධාර ලබාගැනීමේදී එම ආයතනවල අරමුණුවලට ගැළපෙන ලෙස කිසියම් ප්‍රමාණයක හෝ අපේ න්‍යාය පත්‍රය සකස් කරගැනීමට සිදුවන්නේය. ආධාර ආයතනයකට ගැළපෙන කොන්දේසි සහිතව සමාජ ව්‍යාපාරයක් සිය න්‍යාය පත්‍රය සකස් කරගත යුතු නැති බව අපි තරයේ විශ්වාස කරමු. අනෙක් අතට විදේශ ආධාර ආයතනයකින් මුදල් ලබාගන්නා විට ලබාගත හැකි අරමුදල් විශාල වීම නිසා එම ව්‍යාපාරය සේ ම එම ව්‍යාපාරයේ පුද්ගලයන්ද දූෂිත වීමේ අනතුරක් පවතී. අනෙක් අතට විදේශ ආධාර ආයතනයකින් ලැබෙන මුදල් ආධාර මත යැපෙන ව්‍යාපාරයක දැතිරෝද කැරකෙන්නේ තමන්ගේ අභ්‍යන්තර ශක්තියෙන් නොව බාහිර ශක්තියෙනි. එය ව්‍යාපාරයේ නිර්ව්‍යාජභාවය විනාශ කරයි.
ව්‍යාපාරය තෝරාගත් මාර්ගය දුෂ්කර විය හැකි වුවත් එය නිවැරදිය. එවිට අප යැපෙන්නේ අපේ සාමාජිකයන්ගේ ශක්ති යෙන් හා ආධාර කරුවන්ගේ ශක්තියෙනි. අය කරන්නට බලාපොරොත්තු වන සාමාජික මුදල වසරකට රුපියල් 1000කි. ඊට අතිරේකව මසකට රුපියල් 5000 බැගින් ආධාර කරන ආධාරකරුවන් 500ක් සොයාගත හැකි වෙතොත් ඒ මාර්ගයෙන් පමණක් අපට උපයාගත හැකි ආදායම මසකට රුපියල් ලක්ෂ 25කි. කළු සල්ලිකාරයන්ගෙන් ආධාර ලබා නොගන්නේද අව්‍යාජභාවය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නිසාත්, කළු සල්ලිකාරයන්ට ව්‍යාපාරය අනියම් ලෙස පාලනය කිරීමට කිසිදු ඉඩක් ලබා නොදීම අවශ්‍ය නිසාත්ය. ව්‍යාපාරය වැදගත් හා අව්‍යාජ කාර්යභාරයක් ඉටුකරන බව මහජනතාවට පෙනේ නම් මහජනයා එම කාර්යය සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය ආධාර හා අනුබලය ලබාදෙනු ඇත.
සංවිධාන ව්‍යුහය සඳහා තිබිය යුතු මූලධර්ම ද හඳුනාගන්නා ලදි. සමාජිකයා කුලභේදයෙන්, වර්ග භේදයෙන් හා ආගම් භේදයෙන් තොර විය යුතුය. මිථ්‍යා විශ්වාසයන්ගෙන් ද තොරවිය යුතුය. ගුණ යහපත් විය යුතුය. පවුලේ සාමාජිකයන්ගේ සේ ම අසල්වැසියන්ගේද විශ්වාස යට හා ගෞරවයට හේතුවන පැවැත්මකින් යුතුවිය යුතුය. නීතිගරුක විය යුතුය. වෘත්තිකයන් වන අවස්ථාවලදී එම වෘත්තියේ ගුණධර්ම ආරක්ෂා කරන පුද්ගලයකු විය යුතුය. සමාජ සංවේදී විය යුතුය.
ජාතිය ගොඩනැගීම පිළිබඳ විෂයේදී පමණක් ඒ ගැන ව්‍යාපාරය දරන නිල අදහස සියලු සාමාජිකයන් පිළිගත යුතුය. අනෙක් ඕනෑම විෂයකදී ව්‍යාපාරයේ නිල මතයට වෙනස් මතයක් දැරීමේ හා ඔවුන්ගේ අදහස ව්‍යාපාරයේ නිල මතය බවට පත්කිරීම සඳහා ක්‍රියාකිරීමේ අයිතිය වෙනස් මත දරන සාමාජිකයන් සතුය.
ව්‍යාපාරයේ පරමාධි පත්‍ය බලය සාමාජිකයන් සතුය. සාමාජික සම්මේලනය ව්‍යාපාරයේ උත්තරීතරම ආයතනය වේ. ව්‍යාපාරයේ ව්‍යුහය විවිධ මණ්ඩලවලින් යුතුය. ශාඛාව පහළම මණ්ඩලය වන විට සම්මේලනය ඉහළම මණ්ඩලය වේ. සම්මේලන දෙකක් අතර කාලය තුළ සම්මේලනය විසින් පත්කර ගන්නා මධ්‍යම මණ්ඩලය උසස්ම මණ්ඩලය ලෙස ක්‍රියාකරනු ඇත. ශාඛාවක් විසින් ගනු ලැබූ විශේෂ තීරණයක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මණ්ඩලයට දැනුම් දුන් විට එම මණ්ඩලය එම අදහස හෝ යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුළු කොට ඊළඟට පවත්වනු ලබන සාකච්ඡා සභාවේදී සාකච්ඡාවට ලක් කළ යුතුය. එම යෝජනාව හෝ අදහස පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ප්‍රාදේශීය මණ්ඩලය සතුය. ශාඛාවෙන් ලැබුණු එම යෝජනාව හෝ අදහස ප්‍රාදේශීය මණ්ඩලය අනුමත කරන අවස්ථාවකදී එම මණ්ඩලය එම යෝජනා හෝ පිළිගත් අදහස ජාතික මධ්‍යම මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුය. මධ්‍යම මණ්ඩලය එය න්‍යාය පත්‍රයට ඇතුළත් කොට එළැඹෙන සභාවේදී එය සාකච්ඡාවට ලක් කළ යුතුය. මධ්‍යම මණ්ඩලය දක්වා පැමිණෙන යෝජනාවක් මධ්‍යම මණ්ඩලය විසින් නිෂ්ප්‍රභ කරන අවස්ථාවකදී මධ්‍යම මණ්ඩලය එය සම්මේලනයට ඉදිරිපත් කිරීම සඳහා සම්මේලනයේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතු අතර එම අදහස හෝ යෝජනාව සම්මේලනයේදී සාකච්ඡාවට ලක් කොට එය ඡන්ද විමසීමකට ලක් කළ යුතුය. සම්මේලනයේදී එය අනුමත වුවහොත් එම මතය ව්‍යාපාරයේ පිළිගත් නිල මතයක් බවට පත්විය යුතුය.
මෙම වැඩමුළුවේදී ගතහැකි තවත් වැදගත් තීරණයක් ලෙස සැලකිය හැක්කේ පුනරුද ව්‍යාපාරයට සම්බන්ධ සියලුදෙනා තම පවුලේ සාමාජිකයන්ද පුනරුද ව්‍යාපාරයට සම්බන්ධ කරගත යුතු බවය. එය පුනරුද ව්‍යාපාරයේ ශක්තිය තරකර ගැනීමේ සීමිත අරමුණින් ගනු ලැබූ තීරණයක් ලෙස නොසැලකිය යුතුය. එය ඊට වඩා පුළුල් අර්ථයෙන් ගනු ලැබූ තීරණයකි. රටේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති බිහිසුණු හා අශීලාචාර වටාපිටාව පවුල් සංස්ථාවේ ඇතිවී තිබෙන පරිහානිය කෙරෙහි බලපා තිබේ. බොහොමයක් පවුල්වල යහපත් අභ්‍යන්තර සංවාදයක් ඇත්තේ ම නැති තරම්ය. පවුල් ජීවිත යාන්ත්‍රිකය. නිසි අරමුණකින් හෝ ප්‍රබෝධයෙන් තොරය. ජීවත්වන්නේ ජීවත් වෙන්නන් වාලේය.
පවුල තුළද ශාස්ත්‍රීය වටාපිටාවක් තිබිය යුතු වුවත් බොහෝ පවුල්වල එවැනි තත්ත්වයක් ඇත්තේම නැති තරම්ය. පියාගේ පැවැත්ම ඒකාධිපති පාලකයකුගේ තත්ත්වයට සමානය. මව සැලකෙනුයේ පියාගේ ලිංගික අවශ්‍යතාවන් සපුරා ගැනීමටත්, දරුවන් බලාගැනීමටත්, ගෙදර දොර කටයුතු බලාගැනීමටත් තිබෙන යන්ත්‍රයකට සමාන ආකාරයකටය. කාන්තාවන් සැලකෙනුයේ ශාස්ත්‍රීය සාකච්ඡාවලට අවශ්‍ය ප්‍රඥාව නැති ගෙදරදොරේ කෙරෙන කටයුතුවලට පමණක් සීමාවිය යුතු අය ලෙසය. කුඩා දරුවන් සැලකෙනුයේ තමන්ගේ මුළු කාලයම අධ්‍යාපනයට පමණක් යොමුවිය යුතු අය ලෙසය. අධ්‍යාපනය හැර දරුවන්ට නිර්මාණශීලී දේවල නිරතවීම තහනම්ය. බිරිඳ හා ස්වාමිපුරුෂයා අතර සේ ම දෙමාපියන් හා දරුවන් අතර ද ශාස්ත්‍රීය සංවාදයක් ඇත්තේ ම නැති තරම්ය.
ලංකාවේ අධ්‍යාපනය තිබෙන්නේ පටු රාමුවකය. අධ්‍යාපනය ලබන ළමුන්ගෙන් කිසියම් විශාල පිරිසක් ශාස්ත්‍රීය අධ්‍යාපනයකට කැමති නැත. එවැනි ළමුන් 8 වැනි පන්තියේ සිට කාර්මික හෝ තාක්ෂණ අධ්‍යාපනයකට යොමු කළ යුතුය. ශාස්ත්‍රීය අධ්‍යාපනයට කැමති නැති ළමෝ ඒ සඳහා පැවැත්වෙන තරග විභාගවලින් අසමත් වෙති. අසමත් වෙන ළමුන් සමාජය පමණක් නොව මාපියන් පවා සලකන්නේ කාලකණ්ණි ළමුන් ලෙසය. ආණ්ඩුව විසින් පවත්වාගෙන යන කාර්මික හා තාක්ෂණික විද්‍යාල ඇතත්, ශාස්ත්‍රීය අධ්‍යාපනයකට කැමති නැති ළමුන් එම විද්‍යාලවලට යොමු කිරීම සඳහා වන ශක්තිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැත. ඒ සඳහා අවශ්‍ය අවබෝධය මාපියන්ටද නැත.
ටියුෂන් අධ්‍යාපනය පිළිබඳවද මාපියන්ට නිසි අවබෝධයක් නැත. ටියුෂන් අවශ්‍ය ළමුන්ට සේ ම ටියුෂන් අනවශ්‍ය ළමයිද ටියුෂන් පන්තිවලට යවති. ළමුන්ට සිය ළමා කාලයෙන් වැඩි කොටසක් වැය කරන්නට සිදුවී තිබෙන්නේ අධ්‍යාපනය හා ටියුෂන් අධ්‍යාපනය සඳහාය. ළමුන් අනාගතයේදී තෝරා ගත යුතු රැකියාව හා ඒ සඳහා අවශ්‍ය විෂය ධාරාව බොහෝ විට තීරණය කරන්නේ මව්වරුන් විසින්ය. එහිදී මව වැදගත් කොට සලකනුයේ දරුවාට තිබෙන හැකියාව හා කැමැත්තට වඩා ඉලක්ක කරගත් රැකියාවට තිබෙන පිළිගැනීම හා ඉන් උපයාගත හැකි ආදායමය. මේ ක්‍රමයට කැමති නැති ඉලක්කයක් සපුරා ගැනීමට දරන උත්සාහය තුළ ජීවිත අසාර්ථක කරගන්නා ළමුන්ගේ සංඛ්‍යාව විශාලය. මෙවැනි කාරණාවලදී මාපියන්ට හා දරුවන්ට අවශ්‍ය මගපෙන්වීම් ලබාදෙන ආයතන ක්‍රමයක් ලංකාවේ නැත. පුනරුද ව්‍යාපාරයට ඒ අඩුව සැපිරිය හැකිය.
ලංකාවේ පාසල් ළමුන්ගෙන් බහුතරයක් ගණිත ඇතුළු විද්‍යා විෂයන්ගෙන් අසමත් වෙති. ඒ තත්ත්වය කෙරෙහි ලංකාවේ පවුල් සංස්ථාව තුළ රජකරන මිථ්‍යා විශ්වාසයන් වැදගත් හේතුවක් ලෙස බලපා තිබෙන්නේ යැයි කිව හැකිය. පවුලේ හැම වැදගත් දෙයක්ම සිදුවන්නේ නැකත පදනම් කරගෙනය. විභාගවලට පෙනී සිටින ළමුන්ට බාරහාර වීමට බලකරති. මානසික රෝගයක් තිබෙන දරුවකු රැගෙන යටන්නේ මානසික වෛද්‍යවරයෙකු වෙත නොව පේනකාරයෙකු වෙත හෝ කට්ටඩියෙකු වෙතය. මේවා පෙනෙනු ඇත්තේ ඉතාමත් අහිංසක දේවල් ලෙස වුවද ඒවා ළමුන් කෙරෙහි ඇති කරන බලපෑම ඉතාමත් විනාශකාරීය. ඒ මගින් ළමුන්ට තර්කානුකූලව හිතන්නට මතන්නට තිබෙන හැකියාව මොටකරයි. මෙම විනාශකාරී තත්ත්වයෙන් ළමා පරපුර මුදාගැනීම සඳහා පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් පවා වැදගත් කාර්යභාරයක් සිදුවන්නේ නැත.
ළමුන් විවාහ කර දෙන අවස්ථාවලදී කේන්ද්‍රය නැතුවම බැරි කොන්දේසියක් ලෙස ක්‍රියාකරන තත්ත්වයක් රටේ පවතී. නූගත් මිනිසුන් පමණක් නොව, උගත් මිනිසුන් පවා පුද්ගල යෙකුගේ උපන් වේලාවේ තිබෙන ග්‍රහ තාරකාවල පිහිටීම ඒ පුද්ගලයාගේ සමස්ත ජීවිතයම කෙරෙහි බලපාන්නේ යැයි විශ්වාස කරති. මෙම විශ්වාසයන් මිනිසා ම්ලේච්ඡ තත්ත්වයක සිටින කාලයේදී ඇති කරගත් විශ්වාසයක් ලෙස සැලකිය හැකිය. දියණියගේ හඳහනේ පුරුෂ මාර යෝග තිබෙන අවස්ථාවලදී ඇය විවාහ වුවහොත් පුරුෂයා මරණයට පත්වී දුව කනවැන්දුම් ගැහැනියක බවට පත්වනු ඇතැයි මාපියෝ විශ්වාස කරති. එම විශ්වාසය නිසා විවාහවීමෙන් වැළකී සිටින කාන්තාවන්ගේ සංඛ්‍යාව අතිවිශාලය.
පුනරුද ව්‍යාපාරයේ සාමාජිකයන්ගේ පවුලේ සියලුදෙනා ව්‍යාපාරයට එකතු කරගැනීම මගින් අපේක්ෂා කරන වැදගත් දෙයක් වනුයේ පවුල් සංස්ථාව තුළ රජ කරන එවැනි පසුගාමී හා මිථ්‍යා විශ්වාසයන්ගෙන් ඔවුන් මුදාගැනීමය. ඒ සියලුදෙනා තර්කානුකූලව සිතන පතන අය බවට පත්කිරීමෙන් එම පවුල් සංස්ථා නිසි අරමුණකින් හා ප්‍රබෝධමත් ලෙස ජීවත් වන පවුල් සංස්ථා බවට පත්කිරීමය.■