දුර්වර්ණ ඇමති මණ්ඩලය


kathu

ඇමති මණ්ඩලය කියන්නේ විධායකයේ කොටසකි. රටේ දේශපාලන ප්‍රතිපත්ති ගැන තීන්දු තීරණ ගන්නෝත්, ඒවා ක්‍රියාත්මක කරන්නට රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන නායකත්වය දෙන්නෝත් මේ ඇමතිවරු ය. ඔවුන්ට ඒ සඳහා කිසියම් කාලයකට සීමා කොට, දේශපාලන බලය ලබා දෙන්නේ රටේ මහජනතාව විසිනි. ඒ නිසා, මහජනතාවගේ වුවමනා එපාකම් පරිදි, තමන්ට ලැබුණු තාවකාලික ඇමති ධුරවල කටයුතු කිරීම ඇමතිවරුන්ගේ කාර්යයයි.
මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට පැවරී ඇති කාර්යභාරය, සාමාන්‍ය ආණ්ඩුවක ඇමතිවරුන්ට පැවරෙන කාර්යභාරයට වඩා වෙනස් ය. මන්ද යත්, මහජනතාව මේ ආණ්ඩුව පත් කෙළේ ම, පරණ ආණ්ඩුවල පාලන රටාවෙන් වෙනස් වූ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට නිසා ය. එය හුදු ඔළුගෙඩි මාරුවක් නොවන නිසා ය. එනයින් ම, වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පැනවී ඇති අප්‍රකාශිත ආචාර ධර්ම සමූහයක් ඇත්තේ ය. ඒවා සැදී ඇත්තේ පසුගිය ආණ්ඩුවේ පාලන පිළිවෙතේ මූලධර්මවලට සපුරා ප්‍රතිපක්‍ෂ මූලධර්මවලිනි.
බලය අත්තනෝමතික ලෙස යොදා නොගැනීම, ඥාති සංග්‍රහයේ නොයෙදීම, නීතිය ක්‍රියාත්මක කිරීමට බලපෑම් නොකිරීම, මහජන මුදල් අවභාවිත නොකිරීම, මහජන මුදල් මංකොල්ල නොකෑම, වංචා දූෂණවල නොයෙදීම, සිය කටයුතු පාරදෘශ්‍ය ආකාරයෙන් කිරීම මෙන් ම හැම විට ම මහජන මිතුරු ප්‍රවේශයක් අනුගමනය කිරීම ඒ මූලධර්ම හැටියට සැකෙවින් සඳහන් කළ හැකි ය. මේ මූලධර්ම අනුගමනය කරන්නන් නියම යහපාලන ඇමතිවරුන් වන විට, ඒවාට එරෙහි ව යන්නන් සැලකිය හැක්කේ පසුගිය ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ සාමාජිකත්වයේ ම දිගුවක් හැටියට ය. එවැනි පිරිසක් මෙවැනි ආණ්ඩුවකට ගැළපෙන්නේ නැත. එවැනි පිරිසකට පසුගිය ආණ්ඩුවේ වැරදි තවදුරටත් පෙන්වමින් සිටින්නට සදාචාරාත්මක අයිතියක් ඇත්තේ ද නැත.
පසුගිය ආණ්ඩුවේ වැරදි ගැන සෙවීම පසෙක තිබියේ වා, මේ ආණ්ඩුවේ ද ඇමතිවරුන් සැලකිය යුතු ප්‍රමාණයකට විවිධාකාර දූෂණ චෝදනා යහමින් එල්ල වී තිබේ. බලය අත්තනෝමතික ලෙස යොදා ගැනීම, ඥාති සංග්‍රහයේ යෙදීම, මහජන මුදල් අවභාවිත කිරීම, මහජන මුදල් මංකොල්ලකෑම, වංචා දූෂණවල යෙදීම, නීතිය ක්‍රියාත්මක කිරීමට බලපෑම් එල්ල කිරීම, සිය කටයුතු පාරදෘශ්‍ය ආකාරයෙන් නොකිරීම අඩු වැඩි වශයෙන් ඔවුන්ට එල්ල වී ඇති චෝදනා ය. ඥාති සංග්‍රහය, සිය ගජමිතුරු වෙළෙඳුන් සමඟ එක් වී විවිධ ජාවාරම්වල යෙදීම, වංචා දූෂණ හා අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට බලපෑම් කිරීම සමහර ඇමතිවරුන්ගේ දෛනික චර්යාව වී ඇති බවට පොදු මහජන පිළිගැනීමක් තිබේ. හුදෙක් රාජපක්‍ෂවරුන්ගේ පරණ වැරදි පෙන්වමින් මේ වැරදි යටපත් කරන්නට නොහැකි ය.
මේ පිරිස සංඛ්‍යාවෙන් කුඩා වුණත්, ඔවුන්ගේ නරක ක්‍රියාකාරිත්වය නිසා, ආණ්ඩුවේ ප්‍රතිරූපයට සිදුවන්නේ බලවත් හානියකි. ජනවාරි 8වැනිදා ජනතාව තැබූ බලාපොරොත්තු මෙවැනි කිහිප දෙනකුට විනාශ කරන්නට කිසිසේත් ඉඩ දිය නොහැකි ය.
දැන් ආණ්ඩුවේ ධුරකාලයෙන් අර්ධයක් ගෙවී තිබේ. තමන් ආ මඟ දෙස ආපසු හැරී බලන්නට මේ හොඳම කාලයයි. වෙන විදියකට කිවහොත්, ආණ්ඩුව තුළ චෝදනා ලබා සිටින්නවුන් ගැන කිසියම් පියවරක් ගන්නට මේ හොඳම කාලයයි. තවදුරටත් පැහැදිලි කළොත්, ඇමති මණ්ඩලය තුළ සිටින චෝදනාලත්තවුන් එක්කෝ ඇමති ධුරයෙන් ඉවත් කිරීම, නැතිනම් ඔවුන්ගේ ඇමති ධුර වෙනස් කිරීම දැන් අත්‍යවශ්‍ය ය. එසේ නොවන විට ජනතාව සිතනු ඇත්තේ, ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, පසුගිය කාලයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කළාක් මෙන්, ඕනෑ ම කෙනකුට රට මංකොල්ලකන්නට ඉඩ දී අහක බලාගෙන සිටීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරන බවයි.
ඇමති මණ්ඩලය ගැන ඇති මහජන අදහසට කන් දෙන බව පෙන්විය හැකි එක් ක්‍රමයක් නම්, ඔවුන් ඇමති ධුරවලින් පහකිරීම අපහසු නම්, වහා ම මේ චෝදනා ලත් ඇමතිවරුන්ගේ ධුරවල වෙනසක් වත් කිරීමයි. ඒ බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව, අගමැතිවරයා ඒ සඳහා අවශ්‍ය සහාය ජනාධිපතිවරයාට දිය යුතු ය. එහෙත් ඉන් නැවතිය යුතු නොවේ. නීතිය ඔවුන්ට ද සමාන බව ක්‍රියාවෙන් ම පෙන්විය යුතු ය.■