යාපනයේ ගැටුමෙන් පසු

තරිඳු උඩුවරගෙදර

ආයුබෝවන්….. සුබ අලූත් අවුරුද්දක් වේවා…… අද තිබ්බ බණ වගේ සාර්ථක වැඩ ගොඩක් කරන්ඩ තියනවා… අපි ළඟදිම හම්බුවෙමුද….. ගරු සභාවට යෝජනා කරනවා….’ මේ ජනවාරි දෙවැනිදා යාපනය විශ්වවිද්‍යාලයේ ෆේස්බුක් කණ්ඩායමෙහි සාමාජිකයකු අනෙක් සාමාජිකයන් වෙත කර තිබුණු යෝජනාවකි.

කතාබහ යාපනය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම ගැන නම් එය උඩරට නැටුමකට සීමා කර නොතැබිය යුතුය. මේ අවුරුදු හැත්තෑවකට ළං වෙන පශ්චාත් යටත්විජිත රාජ්‍ය ඛේදවාචකයක තවත් එක් සිදුවීමක් පමණකි. ඒ ගැන ඒ සන්දර්භය තුළ කතා නොකිරීමට බොහෝ දෙනා ප‍්‍රියකරති. ඉහත සටහන පමණක් අපි ලියා තබන්නෙමු. ඒවායින් බොහෝ දේ සිතාගත හැකිය.

සිදුවීම

සිදුවීම ගැන රටම උනන්දු විය. සියල්ලෝම සිදුවූයේ කුමක්දැයි සොයා බැලූහ. සියල්ලෝ සිදුවීම දනිති. ඒ නිසා කෙටියෙන් මෙසේ සිදුවීම සටහන් කර තැබිය හැකිය.
පසුගිය 16 වැනිදා යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ නවක සිසුන් ඇතුළත් කරගැනීමේ උත්සවයේදී ඇති වූ මතභේදයක් හේතුවෙන් සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී සිසුන් කිහිපදෙනෙකු රෝහල්ගත කිරීමට සිදුවීම, වාර්තා වූ සිදුවීම විය. සිදුවීම වූ සැණින් හමුදාව සහ පොලීසිය විශ්වවිද්‍යාලය තුළට විත් ගැටුම සමනයට පත් කොට විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන් දකුණට එවීමට කටයුතු කර ඇතැ’යි වැඩිදුරටත් වාර්තා කොට තිබුණි. සිදුවීමේ ගිනිපුපුරක් තිබුණි. ගැටුම ඇතිවෙන්නට හේතුව සිංහල සිසුන් නවක සිසුන් පිළිගැනීමේ උළෙලට උඩරට නර්තනාංගයක් ඇතුළත් කිරීම වෙනුවෙන් පෙනී සිටීම නිසා වීම ගිනිපුපුර විය. උඩරට නර්තනාංගය පහුගිය අවුරුදුවල න්‍යාය පත‍්‍රයේ තිබී ඇති බවත්, මෙවර න්‍යාය පත‍්‍රයට එය ඇතුළත් කර නැති නිසා සිංහල සිසුන් විසින් න්‍යාය පත‍්‍රයේ නොමැති නර්තනාංගය සංවිධානය කොට පවත්වන්නට සූදානම් වෙද්දී ඇතිවුණු මතභේදයකින් ගැටුම ඇරඹුණු බවත් වැඩිදුරට කියැවුණි.

මේ උඩරට නර්තනාංගය පෙර වසරවල පවත්වන්නට හේතු වී ඇත්තේ විශ්වවිද්‍යාලවල දෙමළ සිසුන්ගේ කැමැත්ත හෝ යෝජනා නොව මහින්ද රාජපක්ෂ යුගයේ යාපනය විශ්වවිද්‍යාලය තුළ පතුරුවා තිබූ මිලිටරිමය අධිකාරිය නිසායැයි අප සමග අදහස් දැක්වූ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුහු සහ ආචාර්යවරු කීහ. මෙතෙක් කල් ඒ අධිකාරිය ඉවසා සිටි දෙමළ සිසුන් මේ උඩරට නර්තනාංගය දකින්නට ඇත්තේ සහෝදර ජනවර්ගයේ සංස්කෘතිය විඳීමේ අවස්ථාවක් ලෙස නොව තමන් මත පැටවුණු බලහත්කාරයක් ලෙසයි.

ප‍්‍රතිචාර

ඒ සිදුවීමත් සමගම එයින් උපරිම ප‍්‍රයෝජන නෙලාගන්නට ජාතිවාදීහු පෙරමුණ ගත්හ. විමල් වීරවංශ කීවේ සංහිඳියාව දෝරේ ගලනවා කියාය. යාපනය ඊලාම් විශ්වවිද්‍යාලයක් නෙවෙයි කියා ඇමති චම්පික රණවක කියා තිබුණි. සංහිඳියාව වෙනුවෙන් කතා කරන අය නිහඬ වීම ගැන කනගාටු වන බවද චම්පික රණවක කියා තිබුණි.

සියල්ලට වඩා සමාජ මාධ්‍යවල ඇතිවුණු කැළඹීම භයානක පෙරනිමිති කියාපානසුලූ විය. ‘ජාතිවාදයට විරුද්ධ වෙමු!’ යන සටන්පාඨය දකුණෙන් එන්නට විය.
මේ සිදුවීම අතිශයින්ම සරල ලෙස කියවාගත්තෝ බොහෝය. දකුණේ විශ්වවිද්‍යාලවල දෙමළ සිසුන්ට මෙසේ පහර දෙන්නේ නැති බව බොහෝ දෙනා කියති. දකුණේ විශ්වවිද්‍යාලවල හින්දු උත්සව පැවැත්වීම වෙනුවෙන් දෙමළ සංගම් ක‍්‍රියාත්මක වෙන්නේද? එසේ ක‍්‍රියාත්මක වුණත් බලහත්කාරී සහ උද්දච්ච ලෙස එසේ ක‍්‍රියාත්මක වන්නේද?

අනෙක් අතට දකුණේ විශ්වවිද්‍යාලවල දෙමළ සංස්කෘතිකාංග දෙමළ සිසුන් විසින් සංවිධානය කොට බලහත්කාරයෙන් ඇතුළත් කරන ඒවා නොවේ. ඒවා සිංහල සිසුන් විසින් කැමැත්තෙන් ඇතුළු කරන ඒවාය. මිලිටරි අධිකාරයක් හෝ සිංහල අධිපතිවාදී බලයක් සමග වසර ගණනක් තිස්සේ මේ නර්තනාංගය මේ උත්සවයට ඇතුළත් කර නොතිබුණේ නම් මේ වසරේ දෙමළ සිසුන්ගෙන්ම මෙවන් සංස්කෘතිකාංගයක් න්‍යාය පත‍්‍රයට යෝජනා කරන්නට ඉඩ තිබුණි.

යාපනයේ දෙමළ සිසුවා

යාපනය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසර ශිෂ්‍ය ප‍්‍රදීප් ගුණරත්නම් මේ සිදුවීම පිළිබඳව ලිපියක් ලියා තිබුණි.
‘පසුගියදා යාපනය විශ්වවිද්‍යාලයේ සිදු වූ සිද්ධිය සහ ඊට අදාළ පුවත් සම්බන්ධවද කිසිදු කතාබහකට මා අකැමැතිය. සිංහලය දමිළය කියා ජනතාව කුපිත කර වර්ණනා කරන සියලූ මාධ්‍යවලට පිටතින් සිටීමට මම කැමැත්තෙමි.

එදා විශ්වවිද්‍යාලය පසුකොට එන විට එහි ඉතා විශාල නිහැඬියාවක් තිබිණි. විශ්වවිද්‍යාලය පොලිසියෙන් වට කර තිබිණි. දහවලේ සිදු වූ සිද්ධියත්, මාධ්‍යයෙන් එය විකෘති කිරීමත් අතරමඟදී අසන්නට ලැබූ දේවලූත් මා ආවේගයකට පත් කළේය. නිවසට පැමිණි විගස මුහුණු පොතේ දමන ලද අදහසද මම පසුව අයින් කළෙමි. මා තුළද භීතිය හා හැඟීම් වෙලාගත් සේය. පසුගියදා විශ්වවිද්‍යාලයේ සිසුන් අතර සිදු වූ ගැටුමේදී සිසුන් මැදිහත් වූවාට වඩා සමාජ ජාල හරහා වෙනත් අය තීව‍්‍ර ලෙස මැදිහත් වූහ. විශේෂයෙන්ම රැකවරණයක් ඇති විදෙස්ගතවූවන්ට සහ බලයත්, දේශපාලන හයියත් ඇති අයට අප ආයුධ දරා සටන් කළ යුතුය යන හැඟීම ඇත. සෑම ජාතියකම මෙවන් පසුගාමී අදහස් ඇත්තෝ බහුලය.

මෙය විශ්වවිද්‍යාලයයේ ගැටුමකි. පළමුව කුපිත වී අත් එසවූවන්ගේ සහ එයට උත්තරයක් වශයෙන් අත් එසවූවන්ගේ ප‍්‍රශ්නයකි. එම කොටස් දෙකෙහිම පිරිස් විශ්වවිද්‍යාලය තුළ සැරිසරති.

මෑතක සිට මේ ගැටුම සීතල යුද්ධයක් ලෙස ගිනිපුපුරු දමමින් තිබුණේය. විහාරයක් සෑදිය යුතුයි කියන පෝස්ටර, නන්දි පිළිමය කැඞීම, බංකු කැඞීම් විද්‍යා පීඨයට සමීපතමව හොර රහසේ සහ එළිපිට සිදුවූ සිද්ධි එදා පුපුරු ගැසුවේය.

සාතිශය දමිළ සහ සාතිශය සිංහල සිසුන් පිල් දෙකකට රඳවා ගහගන්නා ලෙස කීමට ජනමාධ්‍ය සහ සමාජ ජාල ක‍්‍රියා කරයි. ඔවුන්ගේ රසාස්වාදයට සහ උනන්දුවට සිසුන් පළි නැත.

යාපනය විශ්වවිද්‍යාලයට පෙර නොවූ ලෙස සිංහල සිසුන් වැඩි වැඩියෙන් ඇතුළු කරන්නේ ජාතිවාදී හැඟීමෙන්ද? පීඨ කිහිපයක හැර සෙසු පීඨවල සිංහල දෙමළ සිසුන් මුහුණට මුහුණ හමුවුණත් සිනහවක් නැතිව යන්නේ ඇයිදැයි කීමට පිළිගත හැකි තාර්කික පිළිතුරක් පාලනාධිකාරියට තිබේද? මේවා සිංහල සිසුන්ගේ වැරදි කියා කිව නොහැකිය. මේවා ජාතිවාදයෙන් නෑවී සිටින පාලකයන්ගේ ක‍්‍රියාය.

පාලකයන් මේවාට උත්තර දීමට ප‍්‍රමාද වීම තුළ මෙය දරුණු ව්‍යසනයක් දක්වා වර්ධනය විය හැකිය. මෙම දරුණු රෝගය නැවතත් අප විනාශයට ගෙන ගොස් නතර කරනු ඇත.

එකම පීඨයේ එකට සිටින තුන් ජාතියේම සිසුහු පිටස්තරයන්ගේ සිතීමකට හුරු වෙමින් සිටිති. පිටස්තරයන් සම්පේ‍්‍රෂණය කරන පසුගාමී අදහස් වසරක් පාසා ඔවුන්ගේ යටිසිත්වල පැලපදියම් වෙමින් තිබේ.

පාරම්පරිකත්වය, පෞද්ගලිකත්වය සහ අපගේ වාසස්ථාන විනාශ කරන්නෝ සිසුහු නොවෙති. එසේ කරනවුන් පිටුපස ඇත්තේ බලය මෙන්ම ප‍්‍රාථමික අදහස් සහිත දේශපාලනඥයන් සහ මුදල් කොල්ලකන්නවුන්ය.

අපි සිසුහුය. ඔවුන් මෙන් කුහකයෝ නොවෙමු. අපි එකම පීඩක පරිසරයක එකම පන්තියේ සැරිසරන්නෙමු. ඉගෙන ගන්නෙමු. එදිනෙදා මුහුණට මුහුණට හමුවන්නෙමු. නැගිට පරස්පරතාවන් බලන අපි මිනිසුන් ලෙස ඉපදෙන්නෙමු. යළිත් අපි සිනාසීමට පටන්ගනිමු.’

දේශපාලනික විග‍්‍රහයක්

අක්ෂය සාමූහිකය නියෝජනය කරමින් මෙම සිදුවීම පිළිබඳව දීර්ඝ ලිපියක් ලියන රමිඳු පෙරේරා විසින් යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවීම මනා ලෙස විග‍්‍රහ කර තිබුණි. මේ එම ලිපියෙන් උපුටා ගත් කොටස් ඇසුරින් සකස් කළ සංක්ෂිප්ත සටහනකි.

‘මෙම ගැටුම ගැන සිංහල සමාජය තුළ ඇති වූ අදහස් දැක්වීම්වල ප‍්‍රධාන ආඛ්‍යානයන් දෙකක් හදුනාගැනීමට පුළුවන. පළමු වන ආඛ්‍යානය ඉදිරිපත් වන්නේ උග‍්‍ර සිංහල ජාතිවාදීන්ගේ පාර්ශ්වයෙනි. එම පැහැදිලි කිරීමට අනුව නව ආණ්ඩුවට කොන්දක් නැත. දෙමළ බෙදුම්වාදීන් මෙලෙස සෙල්ලම් දැමීම යනු ආණ්ඩුවේ දේශපාලන නපුංසකකම නිසා සිදුවන්නකි.

දෙවැනි ආඛ්‍යානය ඉදිරිපත් වන්නේ සිංහල ‘මධ්‍යස්ථවාදීන්’ ලෙස කිව හැකි පාර්ශ්වයේය. මෙම මධ්‍යස්ථවාදීන්ගේ ආඛ්‍යානය අනුව සිංහල සමාජයේ සැලකිය යුතු කොටසක් දෙමළ සමාජය සමග සංහිඳියාව ඇති කරගැනීමට වෑයම් කරමින් සිටින අවස්ථාවක යාපන සරසවියේ සිංහල සිසුන්ට පහරදීම මගින් දෙමළ සිසුන් විසින් බලවත් අකෘතඥකමක් සිදුකොට ඇත.

රූපික අර්ථයෙන් ලංකාව තනි රටක් බව සැබැවි. එහෙත් යථාර්ථයේදී ලංකාව යනු ජනවාර්ගික-දේශපාලනික සැකසුම් දෙකක සංයුක්තයකි. උතුරු ලංකාව හා දකුණු ලංකාව ලෙස ජනවාර්ගික-දේශපාලන සැකසුම් දෙකකින් මෙම රටේ ව්‍යුහය සකස් වී තිබේ.

උතුරේ හා දකුණේ ජනයාගේ දේශපාලනික ‘සාමාන්‍ය දැනුම’  බරපතළ ලෙස වෙනස්ය. එකම දෙය ඔවුන් හඟින්නේ හාත්පසින්ම වෙනස් ආකාරවලටය. උදාහරණයක් විදිහට හමුදාව යන්න දකුණු දේශපාලන සැකැස්මට ‘අපේ හමුදාව’ වන විට උතුරු සැකැස්මට එය ‘සිංහල හමුදාවය.’ මැයි 19 යන්න දකුණු සැකැස්මට ‘විජයග‍්‍රහණයේ දිනය’ වනවිට උතුරු සැකැස්මට එය ‘සංහාරයේ හා පරාජයේ දිනයකි.’ යුද්ධය තුළ සිදුවූ මානව හිමිකම් කඩවීම් පිළිබඳ ප‍්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සංවිධානය මතුකරන විට එක් සැකැස්මකට එය ‘අනවශ්‍ය ඇඟිලි ගැසීමක්’ වන විට අනෙක් සැකැස්මට එය ‘අපේක්ෂාසහගත මැදිහත්වීමකි.’ සරලව කිවහොත් නිදහසෙන් පසු යුගය තුළ ලංකාවේ සමාජය විකාශනය වී තිබෙන්නේ එකිනෙකට වෙනස් දේශපාලන පරිකල්පනයන්ගෙන් යුක්ත දේශපාලන ප‍්‍රජාවන් දෙකක් වශයෙනි.

දකුණු දේශපාලන සැකැස්ම විසින් උතුරු සැකැස්ම ස්වකීය ආධිපත්‍යයට යටත් කොට ගෙන සිටී. ලංකාවේ ජාතික ප‍්‍රශ්නය යනු අනෙකක් නොව මෙම යටත් කරගෙන සිටීම පිළිබඳ දේශපාලන ප‍්‍රශ්නයයි.

උතුරු නැගෙනහිර දෙමළ ජනයා එම ජනයාගේ කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින අතර එම ආධිපත්‍යයික රාමුවෙන් නිදහස් වීම සඳහා දෙමළ උතුර පැත්තෙන් එන කවර හෝ ඉල්ලීමක් බෙදුම්වාදය හෝ ත‍්‍රස්තවාදය ලෙස සලකා බැහැර කරනු ලැබේ. රට සභා හෝ ෆෙඩරල් හෝ ආදි ආකෘතීන් මාර්ගයෙන් දකුණු සැකැස්මේ ඒකීය රාජ්‍ය ආධිපත්‍යය ලිහිල් කරන ලෙස ආරම්භයේදී උතුරු ලංකාවේ දෙමළ ජනයා ඉල්ලීම් කළ අතර ඊට දකුණු සැකැස්ම දැක්වූ නොසලකා හැරීමේ ප‍්‍රතිචාරය මත සම්පූර්ණ නිදහස ලැබීම සඳහා වූ ඉල්ලීම ස්වාධීන දෙමළ රාජ්‍යයක වේශයෙන් ඉදිරිපත් වූයේය. මෙය 80 ගණන්වලදී සන්නද්ධ කැරැුල්ලක රූපය ගත්තේය. 2009 මැයි 19 යනු සිංහල බහුතරවාදයේ ආධිපත්‍යයට එරෙහිව උතුරු දේශපාලන සැකැස්ම ගසනු ලැබූ සන්නද්ධ කැරැුල්ල තීරණාත්මකව කුඩුපට්ටම් කොට දමා එම ප‍්‍රදේශ මත දකුණු සැකැස්මේ අධිකාරිය නැවත තහවුරු කෙරුණු දිනයයි. යාපනය විශ්වවිද්‍යාලයේ වෙස් නැටුම් ගැන කතාකරන සිංහල මධ්‍යස්ථවාදීන්ට ගෝචර නොවන්නේ උතුරු හා දකුණු දේශපාලන සැකැසුම් අතර තිබෙන මෙම ප‍්‍රතිවිරෝධය හා ඒ දෙක අතර තිබෙන ආධිපත්‍යයික සම්බන්ධයයි.

මේ සන්දර්භය තුළ සිංහල ජාතිවාදියාට හා මධ්‍යස්ථවාදියාට ‘සාමාන්‍ය’ දේවල් ලෙස පෙනෙන දේ උතුරට පෙනෙන්නේ සාමාන්‍ය දේවල් ලෙස නොවේ. සිංහල කතා කරන සොල්දාදුවන්ගෙන් සමන්විත දහස් ගණනක හමුදාවක් උතුරු අර්ධ ද්වීපය තුළ වාඩිලා ගෙන සිටීම දකුණට සාමාන්‍ය දෙයක් ලෙස පෙණුනාට උතුරට එය ආක‍්‍රමණික ක‍්‍රියාවකි. යුද්ධය අවසාන කාලයේ දහස් ගණන් දෙමළ සාමාන්‍ය ජනයා මිය යාම දකුණේ ජාතිවාදියාට ‘නොසිදුවීමක්’ හා මධ්‍යස්ථවාදියාට ‘ගිය දේ ගියා – අපි දැන් සංහිඳියාවෙන් ඉමු’ වර්ගයේ සිදුවීමක් වූවාට උතුරු ජන විඥානය තුළ එය පැසවන තුවාලයකි. උතුරු සැකැස්මට අනුව තත්ත්වය සාමාන්‍ය නැත. ඔවුන් ජීවත් වන්නේ තමුන්ව යටත් කරනු ලැබුවා වූ ‘විශේෂිත’ සන්දර්භයකය. එම යටත්භාවය හා තමා මත වන සිංහල බහුතරවාදී රාජ්‍යයේ ආධිපත්‍යය කෙරෙහි කෝපයක්, ද්වේශයක් හා විරෝධයක් එම සමාජය තුළ පැතිරී තිබේ.

පීඩකයාගේ ජාතිකවාදය හා පීඩිතයාගේ ජාතිකවාදය දෙකම වි්‍යුක්ත තලයකදී එකක් වුව සංයුක්ත තලයේදී අපට මේ දෙක හමුවන්නේ ආකෘති දෙකකිනි. එකක් යටත් කරගැනීමේ අභිලාෂය මත බලය යොදන උද්දච්ච පීඩක බලවේගයකි. අනෙක එම උද්දච්ච පීඩක බලයට එරෙහිව මතු වෙන ප‍්‍රතිචාරාත්මක, විරෝධය පෑමේ බලයකි. චම්පික රණවක ලංකාව සිංහල බෞද්ධ රට යැයි කියන විට සහ දෙමළ ජාතික සන්ධානය උතුරට ෆෙඩරල් ක‍්‍රමයක් අවශ්‍ය යැයි කියන විට මේ දෙකම ජාතිකවාදී කතිකා තුළින් මතුවන දේශපාලන ප‍්‍රස්තුතයන් වුව මේ දෙක එක ප‍්‍රවර්ගයක ලා සැලකිය හැක්කේ නොවේ.

අප තේරුම්ගත යුත්තේ උතුරු දේශපාලන සැකැස්ම තුළ දෙමළ උතුර මත වන දකුණේ මහජාතිවාදී අධිකාරිය පිළිබඳ අවිවේචනාත්මක වන ගමන් උතුරේ දෙමළ ජනයා ජාතිවාදී නොවී තමා පෙලන දකුණේ දේශපාලන සැකැස්ම සමග සහජීවනයට එකග විය යුතු යැයි ඉල්ලා සිටීම ස්වෝත්තමවාදී තක්කඩිකමක් වන්නේය.’

සිදුවීමෙන් පසු

මේ වනවිට යාපනය විශ්වවිද්‍යාලය විවෘත කළ හැකි තත්ත්වයට පැමිණ ඇත්තේය. පීඨ කිහිපයක් විවෘත කර ඇති අතර, ඉදිරි දින කිහිපයේදී අනෙක් පීඨ විවෘත කරනු ඇත. සිදුවීම පිළිබඳව සොයා බලන්නට ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත්තේය. කලහකාරීන්ට දඬුවම් ලැබෙනු ඇත. මෙවර අන්තවාදීන්ට ආණ්ඩුවේ අනුග‍්‍රහය ලැබුණේ නැති නිසා ගැටුම්ද ඇති නොවීය. බේරුවල සුළු සිදුවීමකින් නගරයක් ගිනි තැබූ හැටි හොඳින් මතක ඇති අපට, කළු ජූලියක අත්දැකීම් හොඳින් මතක ඇති අපට ආණ්ඩුවේ දේශපාලනඥයන් චේතනාන්විතව ගැටුම වර්ධනය කිරීමට උත්සාහ නොගැනීම ගැන සැනසුම් සුසුමක් හෙළිය හැකිය. එමෙන්ම එදා මහින්ද රාජපක්ෂ නම් ගෝත‍්‍රික ඒකාධිපතියාව ඥාණසාර වැනි හෙංචයියන්වද සමග පරාජය කිරීම ගැන සැනසුම් සුසුමක් හෙළිය හැකිය.

මේ සමස්ත සිදුවීමේදී නිවැරදි හෝ වැරදිකරුවන් සිසුන් අතරින් සොයාගන්නට උත්සාහ කළහොත් ගැටලූව එකතැනම පවතිනු ඇත. වැරදිකරුවන් මේ දෙපිරිසම නොව ඉන් පිටත පිරිසක් බවත් සැබෑ සතුරන් ඔවුන් බවත් හඳුනාගත යුතුය. යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල ශිෂ්‍ය සංගමය යනු පන්සලක දායක සභාවක්වත්, ගමේ තරුණ බෞද්ධ සංගමයක්වත් නොවන බව තේරුම් ගත යුතුය. දේශපාලනය, සංස්කෘතිය සමග බැඳුණු විශ්වවිද්‍යාල සිසුන්ට ගැළපෙන දේවල් කරන සංගමයක් ලෙස කටයුතු කරන්නේ කෙසේදැයි ඔවුන් අවබෝධ කරගන්නේ නම් වැදගත්ය. මේ සිංහල – දෙමළ දේශපාලනය සම්බන්ධ ගැටලූවක්ම නොවේ. සමස්ත රාජ්‍යයේ අසාර්ථකත්වයේ ප‍්‍රතිඵලයකි. අධ්‍යාපන සංස්කෘතියක් නැතිවීමේ අවුලකි. මෙයට වගකිව යුත්තේ සමස්ත සමාජයක් ලෙස අප සියල්ලෝම බව අවබෝධ කරගත යුතුය. මහින්ද රාජපක්ෂ පරදවා ප‍්‍රශ්න විසඳේ යැයි බලා සිටින බුද්ධිමත් පුරවැසියන්ට කළ යුතු විප්ලවය තවමත් එහෙම් පිටින්ම අප ඉදිරියේ ඇති බව මෙවන් සිදුවීම් විසින් යළි යළිත් සිහිපත් කරවන්නේය.