රාවය

ඇණවුම් නොමැතිව අත්තිකාරම් ගෙවූ ලංගමයේ ගැහිල්ල

ඇණවුම් නොමැතිව අත්තිකාරම් ගෙවූ ලංගමයේ ගැහිල්ල

ලසන්ත රුහුණගේ

ලංගම හා පෞද්ගලික යන පොදු ප‍්‍රවාහන සේවාවන් දෙක පිළිබඳව ජනතාව තුළ තෘප්තියක් නොමැති බවත්, ඒ වෙනුවෙන් නව වැඩපිළිවෙළක් දියත් කිරීමේ අවශ්‍යතාව දීර්ඝ කාලයක පටන් පැවති බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිිරිසේන පවසා තිබුණේ මහනුවර පල්ලේකැලේ පළාත් සභා ශ‍්‍රවණාගාරයේ ජූලි 18 වැනිදා පැවති සහසර බස්රථ සේවාවේ නියමු ව්‍යාපෘතිය හඳුන්වා දීමේ උත්සවයේදීය.

එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබුණේ ලංගම සේවක වැටුප් ගෙවීම සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් ප‍්‍රතිපාදන ලබාදීම පිණිස සෑම මාසයකම කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් සම්මත වන බවත්, රටට ජනතාවට බරක් වී තිබෙන මෙම ආයතන එම තත්ත්වයෙන් මුදාගෙන ලාභ ලබන ආයතන මෙන්ම ජනතා ප‍්‍රසාදයට ලක්වන ආකාරයේ සේවයක් ලබාදෙන ආයතන බවට පත්කිරීම රජයේ අරමුණ බවත්ය.

එසේම ලංගමට එවැනි තත්ත්වයක් හිමිකර දීම කෙරෙහි පසුගිය සෑම ආණ්ඩුවක්ම වගකිව යුතු බවද, එකී සෑම ආණ්ඩුවක්ම ලංගමය දරාගැනීමට නොහැකි තරම් සේවකයන්ගෙන් පුරවාලූ බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබුණි.

ජනාධිපතිවරයාගේ ඉහත ප‍්‍රකාශය තවදුරටත් තහවුරු කරමින් ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ ජූලි 17 සිළුමිණ පුවත්පතට ප‍්‍රකාශ කර තිබුණේ ලංගමට වැටුප් ගෙවීම සඳහා මසකට රුපියල් මිලියන 1350ක මුදලක් වැයවන බවත්, එය භාණ්ඩාගාරය මගින් ලබාදෙන බවත්ය. වැඩිදුරටත් එම තත්ත්වය නියෝජ්‍ය ඇමතිවරයා විස්තර කර තිබුණේ ලංගම සේවක පිරිස 36,700ක් බවත් භාණ්ඩාගාරයෙන් ලබාදෙන මුදල එම සේවක සංඛ්‍යාවෙන් බෙදූ විට එක් අයෙකුට ලැබෙන්නේ රුපියල් 16,200ක් බවත්, ඉතිරි මුදල බස්රථ ධාවනයෙන් සෙවිය යුතු බවත්ය. ලංගමය සතුව බස්රථ 5,500ක් තිබෙන බවද එක් බස්රථයකින් 7 දෙනෙකු යැපිය යුතු බවද ලංගමය බේරාගැනීම සඳහා ස්වේච්ඡා විශ‍්‍රාම ක‍්‍රමය ක‍්‍රියාත්මක කළ යුතු බවද ය.

එම සේවක සංඛ්‍යාව අතර රියදුරන් 10,500ක් සිටින බවද, කොන්දොස්තරවරුන් 10,400ක් සිටින බවද, කාර්මිකයන් 6,200ක් සිටින බවද, සෙසු රාජකාරී සඳහා 9,750ක් සිටින බවද, මගීන් ලක්ෂ 22ත් 25ත් අතර ප‍්‍රමාණයක් ලංගම මගින් දිනකට රැුගෙන යන බවද, එම ප‍්‍රමාණය සමස්ත මගීන්ගෙන් 8.4%ක් බවද නි. ඇමතිවරයා පැහැදිලි කර තිබුණි.

 

ලංගමට එසේ වීමට හේතුව පසුගිය ආණ්ඩුවල ලංගමය බාරව පත්වුණ දේශපාලනඥයන්ගේ අවිධිමත් පත්කිරීම් හා අකාර්යක්ෂම පාලනය බවට විවාදයක් නැත. එසේ වුවද ජනාධිපතිවරයාත්, වත්මන් ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමතිවරයාත් ලංගම සම්බන්ධයෙන් නොකියන තවත් තිත්ත ඇත්තකුත් තිබේ. ඒ ලංගමයේ සිදුවන හා සිදුවී තිබෙන මහා පරිමාණ ඡුාවාරම්ය. නැතහොත් හොරකම්ය.

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගමගේ සමයේ ලංගමයේ සිදුවූ මහා පරිමාණ වංචා ගණන මෙතෙක් සම්පූර්ණ වශයෙන්ම හෙළිදරව් වී නොමැති බව ඒ සම්බන්ධයෙන් අප සතුව ඇති තවම අනාවරණය නොකරන ලද ගවේෂණයට ලක්වෙමින් පවතින තොරතුරුවලින් පෙනී යයි. එසේ වුවද ලංගමය ගැන පසුගිය සමයේ මාධ්‍ය මගින් වඩාත් කතාබහ කළ ලක්වූ සිද්ධීන් දෙකක් වූයේ ලංගම සඳහා බස්රථ 2,000ක් මිලදී ගැනීමේ ක‍්‍රමවේදයත් බස්රථවලට අවශ්‍ය අමතර කොටස් ලබාගැනීම සඳහා ඇතිකරගන්නා ලද ගිවිසුමත්ය. මෙම ගනුදෙනු දෙක පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ වනවිටත් සිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අමතර කොටස් ලබාගැනීමේ ගනුදෙනුව අධිකරණයටද යොමුකර ඇත.

අදාළ අමතර කොටස් ගනුදෙනුව පිළිබඳව රාවය මීට පෙර ‘වෙල්ගම බය ඇයි?’ යනුවෙන් සති තුනක කාලයක් එක දිගට වාර්තා කරනු ලැබීය. එකී වෙල්ගම සමය පිළිබඳව අලූතෙන්ම අපට අනාවරණය වන්නේ ලංගම සඳහා අමතර කොටස් ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමේදී ලබානොගත් හෝ නොලැබුණු භාණ්ඩ වෙනුවෙන් අත්තිකාරම් වශයෙන් මුදල් ගෙවා ලංගමයට අලාභ කිරීමේ හෝ ලංගමයේ මුදල් හොරකම් කිරීමේ ක‍්‍රියාදාමයක් සිදුවූ ඇති බවය.

ලංගමයේ අභ්‍යන්තර විගණන අංශය විසින් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සිදුකරන විගණනයකදී මේ බව මුලින්ම අනාවරණය කරගෙන ඇති අතර, ඒ බව 2015.10.22 දින සහිත ශ‍්‍රීලංගම/අගිය/ගිපව්/02/2015/17 දරන විගණන විමසුම මගින් එහි ප‍්‍රධාන මූල්‍ය කළමනාකාර අමතා ඇත. එහි පිටපත් ශ‍්‍රීලංගම සභාපතිවරයාට හා ප‍්‍රධාන විධායක නිලධාරියාට යොමුකර තිබේ. පියවා නොමැති අත්තිකාරම් ගෙවීම් ජංගම ගිණුම් අංක 004-1001-5-2010894 පරීක්ෂාව එම විගණන විමසුමට අදාළ කරුණ වී ඇත.

එහිදී විගණනය සඳහන් කරන්නේ ‘චෙක්පත් මගින් අත්තිකාරම් ලෙස සැපයුම්කරුවන්ට ගෙවීම් කර ඇතත් එම අත්තිකාරම් පියවා නොමැති අවස්ථාවන් රාශියක් දක්නා ලදී. ලබාගත් අත්තිකාරම් මුදලට අදාළ බිල්පත් පියවීමෙන් පසුව නැවත ගෙවීම් කළ යුතු වුවත් මෙම සැපයුම්කරුවන්ට දිගින් දිගටම අත්තිකාරම් ලෙස ගෙවීම් කර ඇත.’ යනුවෙනි. ඊට ඇති පළමු උදාහරණය වශයෙන් දක්වන්නේ ‘නන්දන ඔටෝ ප‍්‍රඩක්ට් කම්පැනි ප‍්‍රයිවට් ලිමිටඞ්’ ආයතනයට 2012 වර්ෂයේදී ගෙවා අත්තිකාරම් පියවා නොමැති අවස්ථා 21ක් ගැනය. එම අවස්ථා 21දී ශ‍්‍රී ලංගම විසින් නන්දන ඔටෝ ප‍්‍රඩක්ට් කම්පැනි ප‍්‍රයිවට් ලිමිටඞ් ආයතනයට ලබාදී ඇති මුළු මුදල රුපියල් මිලියන තිස්පන් ලක්ෂ පනස්දාහකි.

එසේම 2014 වර්ෂයටද අදාළ ජංගම ගිණුමෙන්ම නන්දන සිවිල් ඉංජිනියරින් නමැති (නන්දන ඔටෝ ප‍්‍රඩක්ට් කම්පැනි ප‍්‍රයිවට් ලිමිටඞ් අයත් නැප්කෝ සමූහයේ සමාගමකි) ආයතනයට අවස්ථා 80කදී ලබාදී ඇති මුළු අත්තිකාරම් මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 70කි.

ඉන් රුපියල් මිලියනය බැගින් වූ චෙක්පත් 4ක් හා රුපියල් ලක්ෂ 5 ක චෙක්පතක් අවලංගු කර ඇති අතර, ඒ අනුව අදාළ ආයතනයට එම වසරේදී ලැබී ඇති අත්තිකාරම් මුදල රුපියල් මිලියන 65.5කි.

තවද 2015 වර්ෂයේදී අදාළ ජංගම ගිණුමෙන්ම නන්දන ඔටෝ ප‍්‍රඩක්ට් ආයතනයට අවස්ථා 30කදී ලබාදී ඇති අත්තිකාරම් මුදල රුපියල් මිලියන 29යි එක් ලක්ෂයකි. ඒ අනුව නැප්කෝ සමූහයට අයත් නන්දන නමින් යුතු ආයතනවලට එම වර්ෂ තුනේදී දුනුකොළ නොගෙන ඉහත සඳහන් ජංගම ගිණුමෙන් ලබාදී ඇති මුළු මුදල රුපියල් මිලියන 124.5 කි. ලංගම සතු වෙනත් ගිණුම්වලින්ද ඒ ආකාරයට අත්තිකාරම් ලෙස හඳුන්වමින් නන්දන නමැති නැප්කෝ සමුහයේ ආයතනවලට මුදල් ලබාදී ඇතිද යන්න සෙවීම වත්මන් යහපාලන ලංගම බලධාරීන්ගේ වගකීමය. මෙම අත්තිකාරම් ගනුදෙනුවේ විශේෂත්වය වන්නේ කිසිදු භාණ්ඩ ඇනවුම් ඉන්වොයිසියක් නොමැතිව අත්තිකාරම් වශයෙන් හඳුන්වමින් මුදල් ගෙවීම හා එසේ ගෙවන ලද අත්තිකාරම් මුදල් සම්බන්ධයෙන් භාණ්ඩ ලැබුණා දැයි පරීක්ෂා නොකර හා බිල්පත් පියවීමකින් තොරව නැවත නැවතත් යහපාලන ආණ්ඩු වෙනස උදාවන තෙක්ම 2012 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වාම වර්ෂ තුනක කාලයක් අත්තිකාරම් වශයෙන් ලංගම වැනි ආයතනයකට දරාගත නොහැකි තරම් මුදල් ප‍්‍රමාණයක් ගෙවීමය. ඒ සඳහා ශ‍්‍රීලංගමයේ මූල්‍ය අංශයට කිසිදු බාධාවක් නොතිබීම හා නීති විරෝධී අයුරක් වැටහී නොතිබීමය. මූල්‍ය ගනුදෙනු සිදුකළ යුතු ආකාරය ගැන මනා දැනීමක් ඇති මූල්‍ය අංශ සේවකයන්ට එවැන්නක් සිදුකිරීම සඳහා අනිවාර්යයෙන්ම දේශපාලන හස්තයක බලපෑමක් හා ආරක්ෂාවක්, අනුග‍්‍රහයක් තිබිය යුතුමය.

මෙම අත්තිකාරම් ගනුදෙනුවට අදාළව ශ‍්‍රීලංගම හා හුවමාරු වූ ඊට අදාළ ලිපි කිහිපයක් අපට ලැබී තිබේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ සොහොයුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇති කරන ලද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයෙන් එහි එවක අතිරේක ලේකම් (සංවර්ධන) ආර්.ඒ.ඒ.කේ. රණවක ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා අමතමින් 2012.06.15 දින සහිතව අදාළ ලිපිය ලියා ඇති අතර, එහි ශීර්ෂය ලෙස සඳහන් කර ඇත්තේ ‘නැප්කෝ දුනුකොළ ශ‍්‍රී ලංගමට සැපයීම වෙනුවෙන් මුදල් ලබාගැනීම’ යනුවෙන්ය. නැප්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ නන්දන ප‍්‍රියන්ත පෙරේරා, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ට යොමුකරන ලිපියක් ප‍්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කරමින් නන්දන ප‍්‍රියන්ත පෙරේරාගේ ඉල්ලීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසද එම ලිපියෙන් ඉල්ලීමක් කරයි. ඒ සඳහා වූ සිය ඉල්ලීම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරට නන්දන ප‍්‍රියන්ත පෙරේරා යොමු කරන්නේ 2012.05.24 දින සහිතව වන අතර ඒ මගින් කියන්නේ ලංගමට සපයා ඇති දුනුකොළ වෙනුවෙන් අයවීමට ඇති රුපියල් මිලියන 15ක පමණ මුදල ලබාදීමට සහාය වන ලෙසය. ඒ මඟ යමින්ම 2013.07.17 දින සහිතව ශ‍්‍රීලංගම සභාපතිවරයා අමතමින් නන්දන ප‍්‍රියන්ත පෙරේරා නැවත වරක් සඳහන් කරන්නේ ලබාදුන් දුනුකොළ වෙනුවෙන් අයවිය යුතු රුපියල් මිලියන 39ක මුදල ලබාදීමට කටයුතු කරන ලෙසය. එහෙත් පුදුමයට කරුණ වන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එහි අභ්‍යන්තර විගණන අංශය සකස් කරන විගණන විමසුම් මගින් හෙළිදරව් වූ ඇනවුම් නොමැති හා භාණ්ඩ නොසැපයූ මෙම අත්තිකාරම් මුදල් ගනුදෙනු හේතුවෙන් ලංගමට මුදල් ගෙවීමට ඇති බව ශ‍්‍රීලංගම සභාපතිවරයාට එවන ලිපියකින් නැප්කෝ සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස අත්සන් තබන පුද්ගලයා පිළිගැනීමය. එම ලිපියෙන් කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ ‘ලබාගත් අත්තිකාරම් වෙනුවෙන් බිල්පත් පියවීමට නොහැකි වූයේ ප‍්‍රමාණවත් ඇනවුම් අප ආයතනයට ලබා නොදීම තුළ’ බවය. එහි සරල තේරුම වන්නේ නැප්කෝ දුනුකොළ සඳහා කිසිදු ඇනවුමක් සිදුකර නොතිබියදී ඇනවුම් සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 126ක පමණ මුදලක් මහජනයාගේ බදු මුදල්වලින් එවක ලංගම බලධාරීන් ව්‍යාපාරිකයකුට ගෙවමින් අමුතු අත්තිකාරම් සෙල්ලමක් සිදුකර ඇති බවය.

යහපාලනයකදී සිදුවිය යුත්තේ අදාළ අත්තිකාරම් මුදල පියවා ගැනීම පමණක් නොව, ඒ සඳහා නීතිවිරෝධී අවසර හා අනුබල ලබාදුන් සියල්ලන්ට එරෙහිවද කටයුතු කිරීමය.

 

මුදල් අයකරන්න නීතියෙන් කටයුතු කරනවා | රමාල් සිරිවර්ධන, සභාපති, ලංගම

ඔය කරුණ පිළිබඳව මාව දැනුවත් කළේ ගිය අවුරුද්දේ අන්තිමට. ඒ සමගම මම එම සමාගම කැඳවලා ඔවුන් අත්තිකාරම් වශයෙන් ලබාගෙන තිබෙන මුදල් වහාම ගෙවන්න කියලා කිව්වා. ඒත් රුපියල් මිලියන එකසිය විසිහයකින් රුපියල් ලක්ෂ අටයි ගණනක් විතරයි ගෙවලා තිබුණේ. ඒ නිසා නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස මම උපදෙස් දුන්නා. ඊට අදාළ එන්තරවාසි යැව්වා. නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. මේ නඩු පැවරීමේ කටයුතු ඉක්මන් කිරීම සඳහා නීතිඥවරුන්ටත් එම කටයුතු බාරදීලා තියෙනවා. එම මුදල් අයකර ගැනීමට අපි නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නවා.
මම තුන් වතාවක් අවුරුදු එකොළහක කාලයක් ලංගමයේ කටයුතු කරලා තියෙනවා. ඒ කිසිම වතාවක ඉන්වොයිස් නැතුව මම ගෙවීම් කරලා නැහැ.