ඉඩම් ලැබුණාට පස්සේ

තරිඳු උඩුවවරගෙදර

ෙම්ක ස්මාට්ෆෝන් එකකින් කන්කසන්තුරේදී ලියන්න පටන්ගත්ත සටහනක්. දැන් සටහන් පොත්, කොළ වෙනුවට ඕනෑම තැනක ඉඳන් ලියන්න පුළුවන්. මේ අපට ආපු අදහස් වැලක්. ප‍්‍රමෝදයෙන් ඉන්න මිනිසුන් පිරිසක් ගැන හිතමින් ලියූ සටහනක්.

ඈතින් පේන්නේ කන්කසන්තුරේ කර්මාන්ත ශාලාව. ඒක වැඩ නොකර අවුරුදු ගාණක් තිස්සේ නිදාගෙන ඉන්න යෝධයෙක් වගේ. අපි ත‍්‍රීවීල් එකකින් කීරිමලේ පැත්තට යමින් හිටියේ. අපි යනකොට පේනවා කෝටි ගාණක් යටකරලා හදපු මහින්දලාගේ සම්මන්ත‍්‍රණ ශාලාවක් හෝ මාළිගාවක් හෝ ඕනම නමකින් හඳුන්වන්න පුළුවන් ගොඩනැගිල්ල. අපි යන පාර අයිනේ හමුදාවෙන් කැලෑ කපලා ඉඩම් මනිමින් බරටම වැඩ. පොඞ්ඩක් නවත්වලා විස්තර ඇහුවාම කීවේ අවතැන් කඳවුරුවල ඉන්න ජනතාවට ගෙවල් හදන බව.

හමුදාව දාඩිය දමමින් වැඩ. ‘ඉහල අණට අපිම සමතලා කරපු ගෙවල් දැන් ඉහල අණින් අපටම හදන්න වෙලා.’ හමුදා නිලධාරියෙක් කියනවා. ‘තුවක්කුවෙන් මිනිස්සු මරනවා තරම් මේ වැඬේ ලේසි නැහැ.’ හමුදා සෙබළුන් නඟපු මැසිවිලි දිහා බලන් ඉඳලා නැවත පිටත්වෙන වෙලේ ත‍්‍රීවිල් එකේ රියැදුරු සහෝදරයා අපි එක්ක කියනවා. ‘යුනිෆෝම් එකෙන් තමයි සෙබලාව හදන්නේ. වෙපන්වලිනුයි ඕඩර්ස්වලිනුයි තමයි සෙබලා මිනීමරුවෙක්’ කරන්නේ. හමුදාවෙයි කොටින්ගෙයි හැම යුනිෆෝම් එකක් ඇතුළෙම ඉන්නේ මිනිස්සු. සෙබළෙක්ට මුලින්ම මිනීමරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. එයාලාගේ ඔළුවට වෛරය දානවා. එයාලා ඒ වෛරයෙන් යුද්ධ කරනවා. යාපනේ ඉඳන් අමාරුවෙන් සිනමාපටයක් හදන්නට දුක්විඳින කේසවරාජන් නවරත්නම් සහෝදරයා කී දෙයක් අපට සිහිවෙනවා. ඔහු යුද්ධය මැද්දේ හිටපු යුද විරෝධියෙක්. එල්ටීටීය එක්ක හිටපු යුද විරෝධියෙක්. කොහොම වුණත් මේ කතාවල ඇත්තකුත් තියෙනවා. හමුදාව අවුරුදු විස්සකට විතර කලින් බිමට සමතලා කරපු බිම්වල දැන් එයාලාම ඉදිකිරීම් කරනවා.

ඇතැම් අයට හමුදාවෙන් හදන ගෙවල් ලැබෙනවා. වැඩි පිරිසකට ගෙවල් හදන්න කියලා ආණ්ඩුවෙන් කියලා තියෙනවා. හදලා ඉවර වුණාම ගිය වියදම කොටස් වශයෙන් ආණ්ඩුව ගෙවනවා.

සාලාව හමුදා කඳවුරෙන් බිමට සමතලා වුණ ගෙවල් සමතලා වෙලා සති දෙකක් ඇතුළත ආපහු හදන්න පටන්ගත්තා. ඒ නිවාස හැදිල්ල ප‍්‍රමාද වෙද්දී ඒක ප‍්‍රශ්න කරන්න ගොඩක් අය හිටියා. ආණ්ඩුවෙන් සල්ලි ලැබුණා. ඒත් මේ නිවාස සමතලා වෙලා අවුරුදු විස්සකට පස්සෙත් එයාලා ගෙවල් හැදුවාට පස්සේ තමයි සල්ලි දෙන්නේ. සාලාව වගේ මේ ඉඩම් ගැන කවුරුත් ප‍්‍රශ්න කළේ නැහැ විතරක් නෙවෙයි ප‍්‍රශ්න කරද්දී හමුදාව අයින් කරන්න එපා කියමින් මේ මිනිස්සුන්ගේ ඉඩම් අයිතියට බාධා කරන්න ඕන තරම් අය හිටියා. එකම වෙනසයි. මේ මිනිස්සු දෙමළ වීම සහ දෙමළ මිනිස්සුන්ගේ ඉල්ලීම් නොතකා ඉන්න තරම් ලංකාවේ සිංහල ආණ්ඩු ඉතිහාසය පුරා හිතුවක්කාර වීම තමයි වෙනස.

අවුරුදු විස්සකට පස්සේ අලූතින් නිදහස් කරපු ප‍්‍රදේශවල අපි ඇවිද්දා. ඒවා මැද්දෙන් අවුරුදු විස්සක් තිස්සේ වැවුණු කැලෑ තිබුණා. ඒ ප‍්‍රදේශ නිදහස් කරලා මාස කිහිපයක් වෙනවා. සමහරු ඒ තැන්වල පුංචි ගෙවල් අටවාගෙන පදිංචියට ඇවිල්ලා. තවත් සමහරු ගෙවල් හදන්න පටන් අරන්. ඒ මේ පැතිවලට පදිංචියට එන්න ආසාවෙන් ඉන්න අය වෙන්නැති. ඒත් වැඩි ඉඩම් ප‍්‍රමාණයක් තිබුණු විදියටම කැලෑ වෙලා තිබුණා. කැලෑ සුද්ද කළත් ගෙවල් නොහදපු ඉඩම් ගොඩක් තිබුණා. ඉතින් මේ පැත්තේ පදිංචියට එනවා කියන්නේ කැලෑවක් මැද්දේ ජීවත් වෙනවා වගේ තමයි. තාර නොදමපු ගුරු පාරවල්වලින් ගමන් කරන්න තියෙන්නේ.

අපේ මිත‍්‍ර කේසවරාජන් නවරත්නම්ගේ ඉල්ලීමක් අනුව තමයි අපි මේ පැත්තට ආවේ. ඒ ඔහුගේ බිරිඳ එක්ක. නවරත්නම් මහත්මියගේ මහගෙදර තිබුණු ඉඩමත් නිදහස් වෙලා. දැන් ඇය ආණ්ඩුවෙන් අවශ්‍ය ලියකියවිලි ලබාගෙන ගෙදර හදන්නට පටන් අරන්. කේසව් අයියා චිත‍්‍රපටිය අවසන් කරන්නට හතර අතේ දුවන වෙලාවක ගෙදර හැදීමේ බර ඔහුගෙන් නිදහස් කරලා බිරිඳ ඒක කරට අරගෙන. යාපනේ ඔහු ඉන්න ගරාවැටුණු කුලී ගෙදරින් තමන්ගේම නිවසකට යන්න දැන් ඔවුන්ට පුළුවන් වේවි. ඒක අවුරුදු විස්සක විතර සිහිනයක්.

මාස කිහිපයකට කලින් නිදහස් කරපු ඉඩම්වල පදිංචි වුණ සමහරුන් වෙනත් රටවල හිටපු අය. තවත් ඇතැම් අය යාපනයෙන් පිට ගිහින් පදිංචි වෙලා හිටපු අය. නවරත්නම් මහත්මියට අවුරුදු විසිපහකට පස්සේ ළමා කාලයේ හිටපු මිතුරියක් මුණගැහුණා. ජයසුන්දරම් මහත්මිය. අවිවාහක තරුණියන් විදියට අවුරුදු විස්සකට කලින් හමුවුනු මේ දෙදෙනා දැන් හමුවෙද්දී වියපත් මව්වරුන් බවට පත්වෙලා. කාලය විසින් සියල්ල වෙනස් කරලා. දැන් ඔවුන්ට නැවතත් පැරණි හිතමිත‍්‍රකම් අලූත් කරගන්න පුළුවන්. තවත් අය කැලෑවට ගිය ඉඩමකට අත දිගුකරලා හඬා වැටෙන්නේ අවුරුදු විස්සකට කලින් හදිසියේ වෙන්වෙන්න වුණ හිතමිත‍්‍රයන් සිහිපත් කරමින්. ඇතැම් අය ජීවිතවලටත් සමුදීලා.

ජයසුන්දරම් මහත්මිය හෝ වෙනත් කිසිවෙක් මේ වෙලාවෙ මාධ්‍යවලට කතා කරන්න කැමති වුණේ නැහැ. විශේෂයෙන් සිංහල මාධ්‍යවලට. කතා කරන්නේ මොකටද? අන්තිමේදී ප‍්‍රශ්න විසඳෙනවා කියලා තේරෙන මොහොතක අනවශ්‍ය ප‍්‍රශ්න ගෙන්වාගන්නේ මොකටද? ඒ අයට ප‍්‍රශ්න ඇති. ඒවා කියන්න මේක අවස්ථාව නෙවෙයි කියලා හිතනවා ඇති.

නවරත්නම් මහත්මියට තිබුණු ප‍්‍රශ්නය තමන්ගේ නිවසට එන්න තියෙන පාර තවමත් හමුදාවට අයිති ඉඩම් ප‍්‍රදේශයේ තිබීම. ඇගේ ගෙදර සීමා වෙලා තියෙන්නේ හමුදා කඳවුරට. කටුකම්බි වැට ඇගේ වත්ත කෙළවරින් යනවා. කන්කසන්තුරෙයි නගරයට ඉතා සමීප ඇගේ නිවසට යන්න වෙලා තියෙන්නේ ලොකු වටයක් ගිහින් නිවසේ පිටිපස්ස පැත්තෙනුයි.

හමුදා කඳවුර කේසවරාජන්ලා එක්ක හිතවත්කම් පවත්වනවා. භාෂාවත් නොදැන. සිංහල දන්නේ කේසවරාජන් විතරයි. ඔහුගේ බිරිඳ එක්කත් දියණියන් එක්කත් මුර කපොල්ලේ ඉන්න හමුදා නිලධාරීන් කතා කරනවා. නිල ඇඳුමට තියෙන බිය ටිකෙන් ටික පහවෙනවා වෙන්නත් පුළුවන්. කේසවරාජන්ගේ දියණියන් උදැල්ල කැත්ත ඉල්ලාගන්න ආරක්ෂක කලාපයේ සීමාව ළඟට ගිහින් අයියේ කියලා කතා කරනවා. ආ! නංගි ගෙදර බලන්න ආවාද කියලා සහෘද ආමන්ත‍්‍රණයකින් හමුදා සෙබළුන් කතා කරනවා. අපි ඒ සුන්දර අවස්ථාව ඡුායාරූපයට ගන්න උත්සාහ කරද්දී හමුදා සෙබළුන් බියෙන් හැකිලෙනවා. ‘ෆොටෝ ගන්නවා නම් කෑම්ප් එකෙන් අවසර ගන්න මල්ලී.’ ඔවුන් කියනවා.

කේසවරාජන් හැමදාම කිව්වේ නිල ඇඳුම ඇතුලේ මනුස්සයා ඉන්නවා කියලයි. ඒත් ඉහළින් අණ ලැබුණු පළවෙනි මොහොතේම ඇතුලේ ඉන්න මනුස්සයාව යටපත් කරගෙන නිල ඇඳුමට ක‍්‍රියාත්මක වෙන්න වෙනවා කියලයි.

අවුරුදු විසිපහක් විතර තිස්සේ තමන්ගේ කියා ඉඩමක්, ගෙදරක් තියෙනවා කියා දැන දැන කුලී ගෙවල්වල ජීවත්වීම ලේසි කටයුත්තක් නෙවෙයි. ළඟදි විවාහ වුණ අපේ මාධ්‍ය මිත‍්‍රයා රමේෂ් කීවෙත් ඒ කතාව. ඔහුගේ නිවස තියෙන්නේ පලාලි හමුදා කඳවුර අසලමයි. වාසනාවකට ෂෙල් වෙඩිල්ලකට අහු නොවී තිබුණු ඔහුගේ ගෙදර බිත්ති සියල්ල ඉතිරි වී තිබුණා. ඒවා පිළිසකර කරගෙන වහල, උළුවහු සවි කරන්න විතරයි ඔහුට තිබුණේ. අවුරුදු විසිහයක විතර තරුණයෙක්ට තමන් දණගාපු ගෙදර ඉඳන් විවාහ චාරිත‍්‍ර කරන්න ලැබීම ඔහුට වචනයෙන් විස්තර කරන්න බැරි අත්දැකීමක් වුණා. ඔහුට ගෙදර ගැන තිබුණේ සිහිනමය අත්දැකීමක්. අවුරුදු විස්සක් තිස්සේ යාපනය නගරයේ ගෙවල් කිහිපයක මාරුවෙන් මාරුවට යමිනුයි ඔහු ජීවත්වුණේ.

මෙය වෙනම අත්දැකීමක්. කැලෑවට ගියපු, පාළු, වැඩිදියුණු නොකළ පැතිවල අමාරුවෙන් යා යුතු තැන්වල වුණත් තමන්ගේ නිවස ලැබීම ගැන කේසවරාජන් වගේම රමේෂ් විඳින සතුට අපට හොඳින්ම තේරුම් ගන්න පුළුවන් වුණා. මෙහේ ගංවතුරෙන් හෝ හමුදා කඳවුර පිපිරීමෙන් නිවාස අහිමි වුණ අයගේ දුක දැකපු අයට අවුරුදු විස්සක් තිස්සේ නිවස නැතිවීමේ වේදනාව තේරුම් ගන්න පුළුවන් ඇති. ඒ සතුට විඳින්න බැරි වුණු බොහෝ දෙනෙක් තවමත් ඉන්නවා. හමුදා කඳවුරේ වැට මායිමට ඇවිත් තමන්ගේ ඉඩම නිදහස් වනතුරු බලාගෙන ඉන්න අය බොහොමයක් ඉන්නවා. ඇත්තටම තවමත් නිදහස් නොකරපු ඉඩම් තියෙන්නේ සුළුපටු ප‍්‍රමාණයක් නෙවෙයි.

බොහෝ අය තමන්ගේ ඉඩම් ලැබුණත් ඇවිත් පදිංචි වෙන්න කැමැත්තකින් නෙවෙයි ඉන්නේ. තමන්ට ආරක්ෂාව තියෙන බවක් බොහෝ දෙනෙක්ට දැනිලා නැහැ. එහෙම අපි එක්ක කියන අය ඉන්නවා. තවමත් දෙමළ මිනිස්සුන්ට එරෙහිව සිද්ධ වුණ යුද අපරාධ ගැන හොයන්න ආණ්ඩුව මධ්‍යස්ථ උත්සාහයන් ගන්නේ නැති තත්ත්වයක් තියෙන්නේ. විශ්වාසය තහවුරු කරන්න කළ යුතු දේ බොහොමයි. ඒවා අවසන් වුණාට පස්සේ කන්කසන්තුරේ පැරණි ප්‍රෞඪත්වයෙන් යළිත් නැඟී සිටීවි. ලංකාවේ දියුණුවට ඔවුන් දායකත්වය දේවි. වුවමනා වෙන්නේ විශ්වාසය තහවුරු කිරීමේ උණ තියෙන දේශපාලන නායකත්වයක් විතරයි. මේ සටහන ප‍්‍රමෝදයෙන් ලීවා වුණත් කටුක වේදනාවන් මේ කතා මැද්දේ නැතිවා නෙවෙයි. ඒත් අගය කළ යුතු තැන පොඩි අගය කිරීමක් විදියට ඉඩම් ලැබුණු මිනිස්සු ස්තූතියි කියලා කියන බව තීරණ ගන්නාවුන්ට කිව යුතුයි. ඉඩම් නොලැබුණු මිනිසුන් ගොඩක් ඉන්න බව ආයෙමත් කිව යුතුයි.