රෝගීන් දැවී යන ඖෂධ ක‍්‍රීඩාව

තරිඳු උඩුවරගෙදර

සෞඛ්‍ය අමාත්‍ය රා ජි ත සේනාරත්න පසුගිය කාලයේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අදාළව කරන ලද කතා රැෙසක් වටරවුම් ගසා අවසන් වූයේ පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධයක් වෙතට පැමිණීමෙන් පසුවයි. එක්තරා සමාගමක් රුපියල් දෙලක්ෂ පනස්දාහ බැගින් ගෙන්වූ ඖෂධයක් රුපියල් අනූදාහ බැගින් ගෙන්වන්නට හැකිවූ බවත් එයින් ලැබෙන ලාභයෙන් ලංකාවේ සියලූ හෘදය රෝගීන්ට ස්ටෙන්ට් නොමිලේ ලබාදිය හැකි බවත් ඔහු කීවේය.

ට‍්‍රස්ටුසුමැබ් නම් නාමයෙන් යුතු එන්නතක් වන අදාළ ඖෂධය මීට පෙර හර්සෙප්ටින් යන නමින් ස්විට්සර්ලන්තයේ රෝච් සමාගමේ සිට ලංකාවට ආනයනය කරන ලද්දේ බවර් සමාගම විසිනි. රුසියාවේ බයෝකැඞ් සමාගමෙන් හර්ටිකැඞ් යන නමින් යුතු ලාබ ඖෂධ තොගය ෆාමාස් නම් ශ‍්‍රී ලාංකික සමාගමක් හරහා ගෙන්වීම නවත්වන ලෙස ඉල්ලා බවර් සමාගම විසින් අභියාචනාධිකරණය වෙත ගිය අතර එහිදී එම ඖෂධය ගෙන්වීමට අතුරු තහනම් නියෝගයක් පැනවීය. කෙසේ වෙතත් පසුව එම තහනම ඉවත් කළ අතර එම තහනමට විරුද්ධව විශාල ප‍්‍රචාරයක් මාධ්‍ය හරහා ගියේ බවර් සමාගම විසින් ඖෂධ ඒකාධිකාරයක් පවත්වාගෙන යන බව කියමිනි.

ඉන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශය මෙතෙක් පිළිකා රෝගියෙකුට ප‍්‍රතිකාර සඳහා වෙන් කරන ලද මුදල් ප‍්‍රමාණයට තිබුණු රුපියල් ලක්ෂ 15ක සීමාව ඉවත් කිරීමටද සෞඛ්‍ය ඇමතිවරයා පියවර ගත්තේය. එයිනුදු නොසෑහුණු සෞඛ්‍ය ඇමතිවරයා පිළිකා රෝගීන්ට ලබාදෙන ප‍්‍රතිපාදන වැඩිකිරීමට ස්තූතියක් සඳහන් විශාල පුවරුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට එල්ලවාගෙන ඇත.

ඒ සියල්ල අවසානයේ පසුගිය සතියේ වාර්තා වී තිබුණේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් අදාළ ඖෂධය රෝගීන්ට ලබාදීම ප‍්‍රතික්ෂේප කරන බවයි. ඒ අස්සේ රාජිත සේනාරත්න මහතා කියා තිබුණේ රෝගීන්ට මේ ඖෂධය ලබා නොදෙන බවට පැමිණිලි ලැබී තිබෙන බවත් ඒ පිළිබඳ සොයා බලා පියවර ගන්නා බවත්ය. රාජිත ඇමතිවරයා විසින් මේ රුසියානු ඖෂධය කෙරෙහි දක්වන අපූර්ව ඇල්ම සැක උපදවනසුලූය. මේ ඇල්ම රුසියානු බයෝකැඞ් සමාගමට හෝ එය ලංකාවට ගෙන එන ෆාමාස් සමාගම්වල අයිතිකරුවන්ට හෝ ඒවායින් මූල්‍යමය ලාභ ලබන පුද්ගලයන්ටත් එහා ගිය ඇල්මක් යැයි සිතේ. ඇමතිවරයාට සරලවම දිය හැකි පිළිතුර ඖෂධ අඩුමිලට ගෙන්වන්නත් ඖෂධ සමාගම්වල ඒකාධිකරය බිඳදමන්නත් මේ ඇල්ම ඇතිවූ බවයි. එහෙත් මීට පෙර ලොරසිපෑම් ඖෂධය රුපියල් දෙලක්ෂ පනස්දාහට ගෙන්විය හැකිව තිබියදී ලංකාවේ ලියාපදිංචි වී නොතිබුණු සමාගමක් හරහා රුපියල් මිලියන තිස්හයකට ගෙන්වන විට රාජිත ඇමතිවරයාට මේ ඇල්ම කොහේ තිබුණාදැයි සැක සහිතය. එපමණක් නොව අසාමාන්‍ය මාධ්‍ය ආකර්ෂණයක්ද මේ සිදුවීම්වලට ලැබුණු අතර රුසියානු ඖෂධයට විරුද්ධ වූ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට මඩගැසීම් මාධ්‍ය හරහා දක්නට ලැබුණි.

ට‍්‍රස්ටුසුමැබ්

ට‍්‍රස්ටුසුමැබ් යනු පිළිකා රෝගීන් අතරින් පියයුරු පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධයකි. එම ඖෂධය මෙතෙක් ලංකාවට ගෙන්වූයේ ඉහත කී ලෙසටම බවර් සමාගම හරහා ස්විට්සර්ලන්තයේ සිට හර්සෙප්ටීන් යන නමින් යුතුව වන අතර අදාළ ඖෂධය සම්බන්ධයෙන් පේටන්ට් බලපත‍්‍රය හිමි සමාගමෙන් මෙසේ එම ඖෂධය ගෙන්වා ඇත. රාජිත ඇමතිවරයා කී ලෙසටම අදාළ ඖෂධයේ මිල අධිකය. ඒ පේටන්ට් හිමි ඔරිජිනල් ඖෂධය නිසාය. අදාළ ඖෂධය නිපදවා වසර 15ක් යනතුරු වෙනත් සමාගම්වලට නිපදවිය නොහැකි ලෙස තනි අයිතියක්ද ස්විට්සර්ලන්ත සමාගමට තිබී ඇත.

බෙහෙත ගෙන්වූ රුසියාවේ බයෝකැඞ් සමාගමේ වෙබ් අඩවියෙහි එම සමාගමෙන් නිපදවන ට‍්‍රස්ටුසුමැබ් ඖෂධය සඳහා රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි අනුමැතිය ලැබුණු බවට පුවතක් පළ කර ඇති අතර එම ප‍්‍රවෘත්තිය මේ වසරේ පෙබරවාරි 11 වැනිදා පළකරන ලද පුවතකි. එහි අනුමැතිය ලැබුණු දිනයක් සඳහන් කර නැති අතර පුවත පළකිරීමට ආසන්න කාලයේ අනුමැතිය ලැබුණායැයි සිතිය හැකිය. අප සමඟ අදහස් දැක්වූ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඉහළ නිලධාරියෙකු කීවේ එම ඖෂධය රුසියානු වෙළෙඳපොළට නිකුත් කළේ ජනවාරි මාසයේදී බවයි. වෙබ් අඩවියෙහිම සඳහන් ආකාරයට මේ ඖෂධය රුසියාවේ නිෂ්පාදනය කරන්නට සැලසුම් සකසන්නේ 2010 වර්ෂයේ වන අතර පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් කියන්නේ මේ ඖෂධය ප‍්‍රමාණවත් තරම් කාලයක් රුසියාවේ පාවිච්චි කරන ලද බෙහෙතක් නොවන බවයි. සාමාන්‍යයෙන් ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධයක් ලියාපදිංචි කිරීමේදී ඖෂධය නිපදවූ රටේ වසර දෙකක් කාලයක්වත් සාර්ථකව භාවිත කර තිබිය යුතු බව ඖෂධ විශේෂඥයෝ පිළිගනිති.

අනෙක් අතට අප සමඟ අදහස් දක්වමින් මහරගම පිළිකා රෝහලේ හිටපු විශ‍්‍රාමික විශේෂඥ වෛද්‍ය, පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්වත් මණ්ඩලයේ හිටපු සභාපති මහේන්ද්‍ර පෙරේරා පැවසුවේ ට‍්‍රස්ටුසුමැබ් ඖෂධ නාමයෙන් ස්විට්සර්ලන්ත සමාගමෙන් හැර අඩු මිලට මිලදී ගැනීමට අවශ්‍ය නම් වඩා විශ්වාසදායී සමාගම් ලෝකයේ ඇති බවත්, ඇමරිකාවට පවා ට‍්‍රස්ටුසුමැබ් ඖෂධය අපනයනය කරන බයෝකොන් නම් ඉන්දියානු සමාගම එවන් සමාගම් අතර සිටින බවත්ය. ඖෂධ අධිකාරියේ නිලධාරියෙකු අපට පෙන්වා දුන්නේ බයෝකොන් සමාගම විසින්ද අදාළ ඖෂධය ගෙන්වීම සඳහා අවසර ඉල්ලා ඇති බවත් එයට අවසර ලබාදීමට කටයුතු කර නොමැති බවත්ය. බයෝකොන් සමාගමේ ශාඛාවක් ශ‍්‍රී ලංකාවේද තිබෙන අතර රුසියානු සමාගම මෙන් නොව බයෝකොන් ලංකාවට විශ්වාසදායී ආගන්තුක නොවන සමාගමකි.

ලංකාවේ අවසරය

බයෝකැඞ් සමාගමේ ට‍්‍රස්ටුසුමැබ් ඖෂධයට ලංකාවේ අවසරය ලැබී ඇත්තේ සෞඛ්‍ය ඇමතිවරයාගේ විශාල මැදිහත්වීම් නිසා බව ඖෂධ අධිකාරියේ ඉහළම නිලධාරියෙක් පෙන්වා දුන්නේය. සෞඛ්‍ය ඇමතිවරයා විසින් කිහිපවරක්ම ඖෂධ අධිකාරියේ නිලධාරීන්ට දුරකථන ඇමතුම් ලබා දී ඖෂධයට අනුමැතිය ලබාදීම ප‍්‍රමාද වන්නේ ඇයිදැයි විමසා ඇති බව එහි නිලධාරීහු පැවසූහ.

අදාළ ඖෂධය පිළිබඳව වාර්තාවක් සකස් කරන දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වත්මන් ඖෂධ අධිකාරියේ සභාපති අසිත ද සිල්වාගෙන් ඉල්ලා ඇති අතර ඔහු විසින් එම ඖෂධය සුදුසු බවට නිර්දේශ කර ඇත්තේය. එම නිර්දේශය සැලකිල්ලට ගනිමින් ඖෂධ අධිකාරිය ඖෂධයට අනුමැතිය ලබා දී ඇත.

මේ වසරේ පෙබරවාරි මාසයේදී ට‍්‍රස්ටුසුමැබ් ඖෂධ තොගයක් ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර මාර්තු මාසය වන විට ඉහත කී ලෙස සෞඛ්‍ය ඇමතිවරයාගේ හදිසිය මත ඒ වනවිට ෆාමාස් සමාගමෙන් ගෙන්වූ රුසියානු ඖෂධය ලියාපදිංචි කොට එයට ටෙන්ඩරයට ලබාදීමට කටයුතු කර ඇත්තේය. අදාළ ඖෂධය නිසි පරිදි ලියාපදිංචි කර නැති බවත් එය ප‍්‍රමිතියෙන් තොර බවත් පවසමින් එම ඖෂධය අලෙවි කිරීම තහනම් කරමින් අභියාචනා ධිකරණය ඉදිරියේ නඩුවක් පවරා ඇත්තේ ඒ අතරතුරේය. නඩුවේදී ඉල්ලා සිට ඇති ආකාරයට අදාළ ඖෂධය බෙදාහැරීමට අතුරු තහනම් නියෝගයක් පනවා ඇති අතර ඒ වනවිට ඖෂධය ගෙන්වා අවසන්ය.

අතුරු තහනම් නියෝගය ක‍්‍රියාත්මක වන අතරතුරේම අපේ‍්‍රල් මාසයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ‍්‍රී ලංකා වෛද්‍ය සැපයුම් අංශයට ෆාමාස් ආයතනයෙන් ලබාදුන් ඖෂධ තොගය සඳහා මුදල් ගෙවීම සිදුකර ඇත්තේය. එසේ මුදල් ගෙවා ඇත්තේ සැලකිය යුතු කාලයක් තිස්සේ ගෙවිය යුතු මුදල් නොලැබ පොරොත්තු ලැයිස්තුවේ ඖෂධ සමාගම් සිටියදී වීම විශේෂත්වයකි. අනෙක් සමාගම් සියල්ල පසුකරගෙන ඒ මොහොතේ ෆාමාස් සමාගමට යහපාලනය උදාවූ සෙයකි.

තවත් තොග

පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ අතිශය බරපතළ විරෝධයක් මේ ඖෂධයට තිබියදී නැවතත් මෙම ඖෂධය ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කර ඇත්තේ මැයි සහ ජුනි මාසවලදීය. ඒ වනවිටත් අතුරු තහනම් නියෝගය ක‍්‍රියාත්මක වෙමින් තිබුණද මෙම ටෙන්ඩරයට ෆාමාස් සමාගම ඉදිරිපත් වී ඇත. බවර් සමාගමද ඉදිරිපත් වී ඇත. ඒ මොහොතේ මෙම ඖෂධය සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩු විභාගවෙන බව පවසමින් ටෙන්ඩර් ෆයිල් පසෙකින් තබා ඇති අතර ජුනි 22 වැනිදා අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමෙන් පසුව ටෙන්ඩර් ෆයිල් සැලකිල්ලට ගැනීම සඳහා නිලධාරීහු පියවර ගනිමින් සිටිති. දිගින් දිගටම ටෙන්ඩර් ෆාමාස් සමාගමට ලබාදී ඇති අතර රාජිත සේනාරත්න මහතා ඒ බව ප‍්‍රසිද්ධියේ පවසමින් සිටින්නේය. මේ වනවිටත් මිලියන පන්සියයක පමණ ටෙන්ඩර් ෆාමාස් සමාගමට ලබා දී ඇත. ඒවා බොහොමයකට මුදල් ගෙවා අවසන්ය. බිලියන ගණන් වටිනා ඖෂධ ගෙන්වීමට සූදානම්ය.

මේ වනවිට ටෙන්ඩර් කැඳවීම සලකා බැලීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ලෙස සහභාගි වී ඇති වෛද්‍යවරුන් දෙදෙනාම ෆාමාස් සමාගමේ ඖෂධයට අනුමැතිය ලබාදී නැති අතර එහෙත් එම ඖෂධය ගෙන්වීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය විසින් නැවතත් ෆාමාස් සමාගමට අනුමැතිය ලබාදී ඇත. ෆාමාස් නම් සමාගමේ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කරන ඩිල්ෂාඞ් ඉක‍්‍රම් සෑහෙන වාසනාවන්තය. අධිවේගයෙන් ගනුදෙනු සිදුවන්නේය.

ලංකාවෙන් බහුතරය කාන්තාවන්ය. ඒ කාන්තාවන්ගෙන් දහයෙන් එකකට පියයුරු පිළිකා වැලඳෙන්නේය. ඒ රෝගීන්ගෙන් තුනෙන් එකකට මෙම ඖෂධය ලබාදෙන්නේය. එතරම් පාවිච්චි කරන ඖෂධය රාජිත සේනාරත්න ඇමතිවරයාගේ පවුලේ අයෙකුට පිළිකාවක් වැලඳුණහොත් පාවිච්චි නොකරනු ඇත. ඒ ඔවුන් හෘදය සැත්කමට පවා සිංගප්පූරු යන නිසාය. මේ බාල බෙහෙත් තොග ගණන් ගෙන්වා ලබා දෙන්නේ අප වැනි සාමාන්‍ය පවුල්වල රෝගීන්ටය. රාජිත සේනාරත්න මහතා සිතාගෙන ඉන්නේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ටත් වඩා තමා දන්නා බවද? නැත්නම් මේ අපි නොදන්නා යහපාලනය විය හැකිය.
පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මෙසේ අදහස් දැක්වීය.

‘ඔය කියන ඖෂධය ලියන්නේ පියයුරු පිළිකා රෝගීන්ට කැන්සර් එක විහිදෙන්න කලින්. ඒ විහිදීම මන්දගාමී කරන්න. ඒත් මේ ගෙනල්ලා තියෙන ඖෂධය පරීක්ෂණවලට ලක්කරලා තියෙන්නේ පිළිකාව විහිදුණ රෝගීන් සඳහා. ඒත් සුළු ප‍්‍රමාණයක්. ඇත්තටම පිළිකාව විහිදුණාට පස්සේ පාලනය කරන්න ඖෂධය දීලා වැඩක් නැහැ. අනෙක් අතට මේක සීයට විස්සයි ප‍්‍රතිඵල ලැබෙන්නේ. එහෙම පසුබිමක වෛද්‍යවරුන්ගේ උපදෙස් නොගෙන බලෙන් ගෙනල්ලා මේ බෙහෙත ලබාදෙන්නේ මොන අරමුණින්ද කියලා දන්නේ නැහැ. කොච්චර ලාබ වුණත් බොරුවට බෙහෙත් දීලා වැඩක් නැහැනේ. මේ වෙද්දී ඉන්දියාවේ බයෝකොන් සමාගමත් ඉල්ලූම් කරලා තියෙනවා. එහෙනම් ඒ සමාගමට අවසරය දෙන්න පුළුවන්නේ. රෙජිස්ටර් කරලා අවුරුද්දක්වත් නැති බෙහෙතක් ගෙනල්ලා බලෙන් දෙන්න කියූ පළියට දෙන්න විදියක් නැහැ. මගේ නම දාලා ලියන්න බය නැතිව.’

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූ අතර මේ ඔහු විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඖෂධ වේදීන්ගේ රැුස්වීමක් අමතා මෙම සිදුවීම ගැන කළ අදහස් දැක්වීමකි.

‘කිසියම් රෝගයක් සඳහා එක් ඖෂධයක් පමණක් ලියාපදිංචි කිරීමටයි පියවර ගෙන තිබුණේ. නමුත් නිදහස් සෞඛ්‍ය ජනතාවට ලබාදීමේ අරමුණින් එක් ඖෂධයකට ආදේශක ඖෂධ මෙහිදී ලියාපදිංචි කිරීමටයි මම ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබාදී ඇත්තේ. පිළිකා රෝගය සදහා ලබාදෙන ඖෂධයක් බහුජාතික සමාගමක් විසින් රුපියල් ලක්ෂ දෙකහමාරකට ලබාදීමට පියවර ගෙන තිබුණා. එය පසුව රුපියල් 65,000 දක්වා අඩු කළා. නමුත් එම ඖෂධයට ආදේශක ඖෂධයක් ඉන්දියාවෙන් සහ රුසියාවෙන් ඉදිරිපත් කෙරුණා. මහාචාර්ය අසිත ද සිල්වාගේ නිර්දේශවලට අනුව රුසියානු සමාගමේ ඖෂධය සියයට 100ක ගුණාත්මකභාවයකින් යුක්ත වූ අතර, එය මිලදී ගන්නා ලෙස මම වෛද්‍ය සැපයුම් අංශයට නියෝග කළා. මෙම රුසියානු ඖෂධය මහරගම පිළිකා රෝහලේ ඇතැම් වෛද්‍යවරු භාවිත නොකරන බවට මට පැමිණිලි ලැබී තිබෙනවා. මම ඒ පිළිබඳව සොයා බලනවා.’